Friday, November 29, 2013

ජගත් වන ආවරණය දිගින් දිගට ම අඩු වේ - නැවත වන වගා කිරිමත් පලදායී නො වේ

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara) 2013-10-23

http://www.vidusara.com/2013/10/23/feature4.html

වනාන්තර විනාශය අද ලෝකයේ දැකිය හැකි බරපතළ පාරිසරික අර්බුදවලින් එකකි. එය තවත් මුල් පෙළේ පාරිසරික ගැටලු ගණනාවකට හේතු වන්නකි. වන විනාශය සඳහා බලපාන විවිධ හේතු ඇති නමුත්, ඒ අතරින් ප්‍රධානතම සාධකය වන්නේ කෘෂිකාර්මික කටයුතු සඳහා සිදු කරන වනාන්තර එළිපෙහෙළි කිරීමයි. විවිධ වගා හා ගොවිතැන් කටයුතු සඳහා වන භූමි ප්‍රදේශ එළි කිරීම අපේ රටේ බොහෝ ආරක්‌ෂිත වන ප්‍රදේශ ආශ්‍රිතව පවා සිදු වන්නකි.

මේ නිසා වර්තමානයේ දී ලෝකය මුහුණ දී ඇති අභියෝගය වන්නේ ලෝකයේ ඉහළ යන ජනගහනයට අවශ්‍ය තරම් ආහාර නිෂ්පාදනය කරන අතර, වගා බිම් ව්‍යාප්ත වීම නිසා සිදු වන වනාන්තර විනාශය පාලනය කිරීම ය. මේ සඳහා ගත හැකි උපාය මාර්ග අතර වන වගාව හා නැවත වන වගාව වැදගත් ය. විශේෂයෙන් වනාන්තර එළි කරන ලද බිම් මෙන්ම දිගු කලක්‌ තිස්‌සේ වනාන්තර නො පැවැති බිම්වල ද වන වගා කිරීම දැකිය හැකි ය. එසේ ම අත්හැර දමන ලද කෘෂි බිම්වල වන වගා කිරීම ද දැකිය හැකි ය.

සමස්‌තයක්‌ ලෙස වන වගා කිරීම සාධනීය සංරක්‌ෂණ උපායමාර්ගයක්‌ ලෙස ද සැලකේ. වන වගාවලින් සිදු වන පාරිසරික බලපෑම් ලෝකයේ කලාපයෙන් කලාපයට වෙනස්‌ විය හැකි ය. දේශගුණ වෙනස්‌ වීම වැනි ගැටලු වළක්‌වා ලීමේ දී වන වගා කිරීම වඩා සාර්ථක උපක්‍රමයක්‌ වේ. කෙසේ වෙතත්, විශේෂයෙන් නිවර්තන කලාපීය ප්‍රදේශවල දී, වන වගාවලින් ජෛව විවිධත්ව සංරක්‌ෂණය සඳහා ඇති බලපෑම තරමක්‌ විවාදාත්මක ය. විශේෂයෙන් නැවත වන වගාවට වඩා, පැරණි වනාන්තර හා ස්‌වාභාවික වනාන්තර වර්ධනයට ඉඩ දීම ද පලදායී බව ද පෙන්වා දී තිබේ.

වනාන්තර වර්ධනය වීම

වන වගා කිරීම නිසා ලෝකයේ දියුණු රටවල් රැසක පිහිටා ඇති වනාන්තර ප්‍රමාණය මෑත කාලයේ දී සැලකිය යුතු තරමින් වර්ධනය වී තිබේ. එපමණක්‌ නො ව ඇතැමි දියුණු වන රටවල පවා වනාන්තර ප්‍රමාණයේ සැලකිය යුතු වර්ධනයක්‌ දැකිය හැකි ය. නිදසුනක්‌ ලෙස කොස්‌ටාරිකාව, චීනය වැනි රටවල් දැක්‌විය හැකි ය. විශේෂයෙන් මේ රටවල මෑත දශක කිහිපයක කාලය ඇතුළත මේ තත්ත්වයේ කැපී පෙනෙන වර්ධනයක්‌ ඇති වී තිබීම සුවිශේෂ වේ.

වනාන්තර හෙළි පෙහෙළි කිරිමෙන් අනතුරුව වනාන්තර නැවත වර්ධනය වීමක්‌ සිදු විය හැකි බව දක්‌වන 'වනාන්තර සංක්‍රාන්තිය' (forest transition) නම් සංකල්පය මඟින් මීට කලකට පෙර විස්‌තර කර තිබේ. ඒ අනුව කිසියම් ප්‍රදේශයක වන විනාශය අඛණ්‌ඩව සිදු වන අතර, එක්‌ අවස්‌ථාවක දී වන විනාශය නැවතී වන ආවරණය වර්ධනය වී ස්‌ථාවර තත්ත්වයකට පත් වේ. මේ සංකල්පය සඳහා පාදක වී ඇති එක්‌ කරුණක්‌ ලෙස දක්‌වා ඇත්තේ ලෝකයේ දියුණු රටවල් ගණනාවක හා දියුණු වන රටවල් කිහිපයක සිදු ව ඇති වන ආවරණයේ වර්ධනය බව දක්‌වා ඇත. අතීතයේ දී මේ දියුණු රටවල වන විනාශය විශාල වශයෙන් සිදු වූ අතර මෑත කාලයේ දී වනාන්තරවල වර්ධනයක්‌ දැකිය හැකි ය. ඒ හා සමාන වන විනාශයක්‌ දියුණු වෙමින් පවත්නා රටවල මේ වන විට සිදු වන අතර අනාගතයේ දී ඒ රටවල වන ආවරණයද වර්ධනය විය හැකි බව දැක්‌වේ.

මේ අතර ලෝකයේ වන වගා කිරීම මඟින් ඇති විය හැකි බලපෑම සම්බන්ධව අවධානය යොමු කර ඇති, පසුගිය දා ප්‍රකාශයට පත් වූ පර්යේෂණ පත්‍රිකාවකින් ජනගහනය වර්ධනය වන අතරතුර සිදු වන වන වගාව පිළිබඳව අවධානය යොමු කර තිබේ.

වන ආවරණය අඩු වීම නියතයි

මේ පර්යේෂණය ආහාර පරිභෝජනය හා භූමි භාවිතය පිළිබඳ ප්‍රවණතා පිළිබඳව වැඩි අවධානයක්‌ යොමු කර සිදු කර ඇත. ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙන් හා වෙනත් මූලාශ්‍රයවලින් ලබාගත් දත්ත ඒ සඳහා යොදාගෙන තිබේ. මේ අනුව සියවස්‌ ගණනාවක භූමි භාවිතය පිළිබඳව ඇති දත්ත, යොදාගනිමින් අදාළ පර්යේෂකයන් වන විනාශය හා නැවත වනවගාව ඇතුළත් ව භූමි භාවිතයේ සිදු වන වෙනස්‌ වීම් පෙන්වා දෙන ගණිතමය ආකෘතියක්‌ සකස්‌ කර තිබේ. මෙහි දී පෙනී ගොස්‌ ඇත්තේ සාධක තුනක්‌ මත භූමි භාවිතය තීරණය වන බව ය. එනම්, කෘෂිකාර්මික අස්‌වැන්න, ඒක පුද්ගල ආහාර පරිභෝජනය හා කාලය සමඟ ලෝක ජනගහනය වෙනස්‌ වන ආකාරය යන කරුණු තුනයි.

මේ ආකෘතියෙන් පෙනී ගොස්‌ ඇත්තේ, කෘෂි අස්‌වැන්නේ සිදු වන වර්ධනයට වඩා වැඩි වේගයකින් ලෝකයේ ආහාර පරිභෝජනය වර්ධනය වීම හා ඒ පිළිබඳ පෙන්වන ඓතිහාසික ප්‍රවණතා අනුව, ඉදිරි අනාගතයේ දී ලෝකයේ වනාන්තර ආවරණය තවත් අඩු විය හැකි බව ය. ඒ අනුව ලෝක ජනගහනය බිලියන 10ක පමණ ප්‍රමාණයක ස්‌ථාවර වුව හොත්, ලෝකයේ බිම් ප්‍රමාණයෙන් 67%ක්‌ පමණ කෘෂිකාර්මික හෝ නාගරික ප්‍රදේශවලින් යුක්‌ත වනු ඇත. මේ නිසා වර්තමානයේ ලෝකයේ පවත්නා වන ආවරණය තවත් 10%කින් පමණ අඩු වී, ඉදිරි සියවස්‌ දෙකක කාලය ඇතුළත ලෝකයේ සමස්‌ත වන ආවරණය 22%ක පමණ මට්‌ටමක ස්‌ථාවර වනු ඇත. මේ අනුව ඉහත දී අපේක්‌ෂා කළ ආකාරයේ වනාන්තර සංක්‍රාන්තියක්‌ ඇති වීමට අවස්‌ථාවක්‌ නොමැති බවක්‌ පෙනේ. මේ අනුව නැවත වනවගාව මඟින් අපේක්‌ෂා කරන යහපත් ප්‍රතිඵලය, වනාන්තර එළිපෙහෙළි වීම නිසා, අහිමි වනු ඇති බව පෙනේ.

මේ ආකෘතිය මගින් පෙන්වා දෙන ආකාරයට මීට විකල්ප සිංසිද්ධියක්‌ද තිබේ. ඒ අනුව ලෝක ආහාර නිෂ්පාදනය හා පරිභෝජනය ස්‌ථාවර තත්ත්වයකට පත්වුවහොත්, ඉදිරි සියවස ඇතුළතදී ලෝකයේ වන ආවරණය 33% හා 35% අතර මට්‌ටමක ස්‌ථාවර වනු ඇත. එනම්, කිසියම් වනාන්තර සංක්‍රාන්තියක්‌ ඇති විය හැකි ය. ඒ ආකාරයෙන් වන ආවරණය වර්ධනය වීමට නම්, කරුණු දෙකක්‌ සිදු විය යුතු ය. ඉන් පළමුවැන්න නම්, නවීන තාක්‌ෂණික ක්‍රම හඳුන්වා දීමෙන් කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීමයි. අනෙක්‌ කරුණ වන්නේ මිනිසුන් ගේ ආහාර පරිභෝජනය අඩු කිරීම ය. (මූලාශ්‍රයPLOS ONE, DOI:10.1371/journal.pone.0075890)

විසඳුම් කෙතරම් ප්‍රායෝගික ද?

මේ පර්යේෂණයෙන් ස්‌වාභාවික පරිසරය ආරක්‌ෂා කරගනිමින්, ජනතාවට අවශ්‍ය ආහාර සපයා දීම පිළිබඳ අභියෝගයට විසඳුමක්‌ ලබා දෙයි. කෙසේ වෙතත් වනාන්තර ආවරණය ඉහළ නැංවීම සඳහා මේ අධ්‍යයනයෙන් පෙන්වා දෙන උපායමාර්ගවල ප්‍රායෝගිකතාව මෙහි දී අප හමුවේ ඇති තවත් ගැටලුවකි.

කෘෂිකාර්මික අස්‌වැන්න වර්ධනය කිරීමේ තාක්‌ෂණය හා ක්‍රමවේද ප්‍රවර්ධනය කිරීම තවදුරටත් සිදු කළ හැකි ය. නිදසුනක්‌ ලෙස ගත හොත් භූමියේ සිදු කරන කෘෂි නිෂ්පාදනයට අමතරව ජලජීවී වගාව වැනි භූමිය භාවිත නොකරන උපක්‍රම යොදාගත හැකි ය. එහෙත් කෘෂි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා යොදාගත හැකි ඇතැම් උපාය මාර්ග පිළිබඳව ගැටලු නැත්තේ නො වේ. කෘෂි රසායනික යොදාගනිමින් සිදු කරන ගොවිතැන, ජාන වෙනස්‌ කරන ලද ආහාර භෝග, කෘත්‍රිම මස්‌ වැනි ආහාර පිළිබඳ තත්ත්වය විවාදාත්මක ය. කෙසේ වෙතත් ආහාර නාස්‌තිය අඩු කිරීම වැනි උපක්‍රම මඟින් ද ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ගත හැකි විසඳුමක්‌ තිබේ.

අනෙක්‌ අතට ලෝක ආහාර පරිභෝජනය අඩු කළ හැකි නම් ඒ මඟින් භූමිය සඳහා ඇති පීඩනය අඩු කළ හැකි බව පැහැදිලි ය. ඒක පුද්ගල ආහාර පරිභෝජනය අඩු කිරීමට ඇති හැකියාව ද අප හමුවේ ඇති විසඳුමක්‌ නොමැති ගැටලුවකි. දැනට ඇති ප්‍රවණතාව අනුව පෙනෙන්නේ ආහාර පරිභෝජනයේ වර්ධනයක්‌ හා පරිභෝජන රටාවේ තිරසර නො වන ආකාරයේ වෙනස්‌කම් ඇති වී තිබෙන බවය . මීට නිදසුනක්‌ ලෙස බොහෝ විට දැක්‌වෙන්නේ ආර්ථික දියුණුව සමඟ චීන ජනතාව ගේ ආහාර රටාවේ ඇති ව තිබෙන වෙනස්‌කම් ය. මේ වෙනස්‌කම් අතර මස්‌ භාවිතය ඉහළ වීම වැනි කරුණු වේ. වේගවත් කාර්මිකකරණයක්‌ සිදු වන බොහෝ රටවල මෙවැනි තත්ත්වයක්‌ ඇති විය හැකි ය.

කෙසේ වෙතත් මේ දැක්‌වෙන්නේ සමස්‌ත ලෝකය ලෙස ගත් විට ඇති විය හැකි තත්ත්වය බව අප තේරුම් ගත යුතු ය. එහෙත් මෙයින් අපට උගත හැකි පාඩම් නැතිවා නො වේ. අපේ පරිභෝජන රටාව, අපේ කෘෂි නිෂ්පාදනය වැනි කරුණු පිළිබඳව අවධානයක්‌ යොමු කිරීමට හැකි ය. විශේෂයෙන් අපේ පරිභෝජනය ගෝලීයකරණය වී ඇති සමාජයක මේ තත්ත්වය අවධානය යොමු කළ යුතු කරුණකි.

ඇතැම් විද්‍යාඥයන් මෙන්ම තීරණ ගන්නා බලධාරින් ද මෙවැනි ආකෘති මඟින් සිදු කරන පුරෝකථන එතරම් සැලකිල්ලට නො ගන්නා බව දැකිය හැකි ය. එය අපේ රටට පමණක්‌ නො ව ලෝකයේ තවත් රටවලට ද පොදු ය. එහෙත්, අප සූදානම් විය යුත්තේ සිදු විය හැකි අයහපත් ම තත්ත්වයට ය. ඊට මුහුණ දීමට සූදානම් වීම වඩාත් ආරක්‌ෂිත ය.

http://www.vidusara.com/2013/10/23/feature4.html

No comments:

Post a Comment