ධනේෂ් විසුම්පෙරුම සහ මුදිත කරුණාමුනි
දිවයින ඉරිදා සංග්‍රහය, 2025-08-31
(අවසන් යාවත්කාලීන කිරීම - 2025-10-08)
රාවණ ගැන අපේ රටේ යළිත් කතාබහක් ඇති
වූයේ මීට දෙසතියකට පමණ පෙර දී ය. ඒ එක්තරා රජයේ ආයතනයක් මගින් රාවණ රජුගේ ගුවන්
යානා ඇති ස්ථානවලින් ඒවා ගොඩ ගැනීම සඳහා පර්යේෂණ කරන්නට යන බව සඳහන් පුවතක් ඇතැම්
පුවත්පතක පළ වූ අවස්ථාවේ දී ය. මේ පුවත පිළිබඳව ඇති වූ සංවාදය හමුවේ එය අසත්‍යයක්
බව සඳහන් පෞද්ගලික ෆේස්බුක් පණිවුඩයක් නිකුත් කර තිබිණි.
කෙසේ වෙතත් මීට වර්ෂ කීපයකට පෙර ඒ
පිළිබඳව පර්යේෂණ සිදුකරන බව සඳහන් කරමින් අදාළ ආයතනය මගින් දැන්වීමක් පළ වූ බව අපට
මතක ය. ඒ මෑත කාලයේ රාවණ පිළිබඳ ඇති වූ සමාජ කථිකාවේ උපරිමයක් සේ සැලකිය හැකි
සිදුවීමයි.
රාවණ හා රාමායණය සම්බන්ධව මෑත දශක
එකහමාරකට මදක් වැඩි කාලයේ ඇති වී තිබෙන උනන්දුව හා රජයේ ආයතන විසින් ගත් පියවර ඒ
පිළිබඳව තතු දත්තවුන්ට රහසක් නම් නොවේ. වාල්මිකී විසින් රචිත ප්‍රබන්ධයක් වන
රාමායණයේ සඳහන් පරිදි ලංකාපුරයේ විසූ රාවණ නම් රජු අද අප වාසය කරන ශ්‍රී ලංකාවේ
විසූ ඓතිහාසික රජෙකු යැයි පවසන්නට මෙන්ම ඒ සඳහා සාධක දක්වන්නට ගත් ප්‍රයත්න රැසක්
දැකිය හැකි විය.
එනිසා රාමායණය,
සෘජුව ශ්‍රී ලංකා ඉතිහාසයට අතිරේක
ගැළපීම් කරමින් නිගමනයන් ගන්නා ව්‍යාපාරයන්ට මානව විද්‍යාත්මක විමසීමෙන් පිළිතුරු
සැපයීම අපගේ වගකීම වේ. මේ ලිපිය එම විමසීම උදෙසා තර්ක, සාධක, භාෂා, ඉතිහාස හා පුරාවිද්‍යා සාධක එකතු කරමින්, ජනප්‍රිය ප්‍රවාදය හා විද්‍යාත්මක සත්‍යය
අතර සීමා ඉතා පැහැදිලිව වෙන් කර දැක්වීමට ගන්නා උත්සාහයකි.
රාමායණය ප්‍රබන්ධයකි
රාමායණය යනු ජනප්‍රියතාවක් ගොඩනඟාගෙන
තිබූ කාව්‍ය ප්‍රබන්ධයකි. එය සම්ප්‍රදායගත පුරාණ, ජනකතා සහ ආගමික නියෝජන එකතු වෙමින් විවාදයට පණ
පුරන විශාල කථාවකි. ඒ කෘතිය සඳහා ඉන්දියාවේ පැවති විවිධ 'ජන කතා' පාදක කොට ගෙන තිබේ. අග්නි පුරාණ, කුර්ම පුරාණ, විෂ්ණූ පුරාණ, භාගවත පුරාණ, පද්ම පුරාණ වැනි කෘතිවල රාමායණ කතාව ඇතුළත්
වෙයි. දසරථ ජාතකය ම හෝ, එම ජාතක කතාවට මුල් වූ ජන කතාව හෝ දෙකෙන් එකක් හෝ රාමායණයට වස්තු වී
ඇති බව පෙන්වා දී තිබේ.
විවිධ උගතුන්ගේ අවධාරණය අනුව රාමායණයේ
විවිධ ‘ස්වරූප’ සම්පාදනය වන්නේ වරින් වර කොටස් එකතු කරමින් ය. වාල්මිකි විසින් හෝ
වාල්මිකි නමින් වූ කොටසක් ඇතැයි බොහෝ දෙනා පිළිගත්තත්, මුළු කථාවම දිගු කාලයක් තිස්සේ මුවින් මුවට ගිය
ජනප්‍රවාද ගහනයකින් හා පූජනීය සංකල්පවල ප්‍රචාරයෙන් සෑදුනු බව පෙනේ. දැනට
පිළිගැනෙන සාධක අනුව කාව්‍ය සංස්කෘතය හෙවත් ලෞකික සංස්කෘතය ක්‍රි.පූ. තෙවන
සියවසින් ඈතට නොයන අතර, සංස්කෘතය විධිමත් රීති මාලාවක් අනුව විග්‍රහ කළ පාණිනී විසූ කාලය ක්‍රි.ව.
සිවු වන සියවස පමණ වෙයි. එසේ නම් රාමායණය ක්‍රිස්තු වර්ෂ ආරම්භක සියවස් දෙක, තුන ඇතුළත රචනා වූවක් විනා, දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන කෘතියක්
නොවන බව සැලකිය යුතු වෙයි.
රාමායණයේ එන ‘ලංකාපුරය’ පිළිබඳ සංකල්පය
ද නාමික සමානතාවක් හේතුවෙන් වර්තමාන ශ්‍රී ලංකාවට සෘජුව සම්බන්ධ කිරීම කර තිබුණ ද, රාමායණයේ සඳහන් ලංකා පිහිටා ඇත්තේ ත්‍රිකූට
නමින් පුරාණෝක්තික පර්වතයක මස්තකයේ බව ද, එය විශ්වකර්ම විසින් නවරත්නයෙන් ගොඩනඟන ලද අති
අලංකාර නගරයක් ලෙස ද වර්ණනය වීම මේ කථා පුවතේ කල්පිත භාවය පැහැදිලි කරයි. එමෙන්ම
රාමායණයෙහි දැක්වෙන සෙසු ස්ථාන නාම සියල්ල ම පාහේ ගැළපෙනුයේ භාරතීය භූ දර්ශනයට
විනා අපේ දිවයිනේ පරිසරයට නම් නො වේ. එවැනි පුරාණ අලංකාර ලෝකය කාව්‍ය නිමාව සඳහා
යෙදූ ‘පසුබිමක්’ බව පෙන්වයි. භූගෝලීය හා පුරාවිද්‍යාත්මක අර්ථයෙන් සත්‍ය වස්තූන්ට
සෘජු සමානතාවයක් ගොඩනඟා ගැනීමට ඉඩ නොදෙන ලංකාපුරය හුදෙක් කවි කල්පිතයක් පමණක් විනා
ශ්‍රී ලංකාව නො වන බව පැහැදිලි ය.
ශ්‍රී ලංකාවේ දී රාමායණය
රාමායණය ශ්‍රී ලංකාවේ සාහිත්‍යයේ
දැක්වෙන ආකාරය පිළිබඳව හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු වූ චාල්ස් ගොඩකුඹුර මහතා
විසින් ලියන ලදුව, The Ramayana Tradition in Asia නම් ලිපි සංග්‍රහයේ පළ වී ඇති ලිපිය වැදගත් ය.
එහි දී මෙරට සාහිත්‍යයේ හා ජන කතා ආදියේ රාමායණය පෙන්වා දී ඇති ආකාරය විස්තර කර
ඇත.
අනුරාධපුර
යුගයේ සිට රාමායණය උගතුන් වියතුන් අතර සම්භාව්‍ය ග්‍රන්ථයක් ලෙස සම්මානයට ලක් වූ
බව පැහැදිලි වන්නේ ඒ පිළිබඳව ඇතැම් කෘතිවල සඳහන් වන නිසාය. මෙරට රජකම් කළ කුමාරදාස
රජු විසින් කළ ජානකීහරණ කාව්‍යයේ වස්තුබීජය වූයේ ද රාමායණ කතාවයි. කෙසේ වෙතත් ඒ
සියල්ලේ රාමායණය සාහිත්‍ය කෘතියක් වූ බව පෙනේ. මේ කතා කෝට්ටේ කාලය වන විට සාමාන්‍ය
ජනතාව අතර ද තිබූ බව පෙනේ. ගිරා සංදේශයේ සඳහන් වන අම්බලමේ දී ඇති වන කතා අතර, රාම සීතා කතා තිබීම මීට නිදසුනකි.
රාමායණය
ඒ අයුරින් මෙරට සාමාන්‍ය ජනතාව අතර පැලපදියම් වන්නට ඇත්තේ ඒ කාලයේ දී දකුණු
ඉන්දියානු රාජ්‍ය සමඟ ඇති වූ ඇසුර හා සංක්‍රමණිකයන් සමඟ විය හැකි බව පෙනේ. ඉහත
අම්බලමේ කතා පිළිබඳ සඳහන් කරන ගොඩකුඹුර මහතා මේ අම්බලම් යනු විදේශීයයන් ද නවාතැන්
ගත් තැන් බව සඳහන් කරයි.
දකුණු
ඉන්දියාවේ වෙනත් කෘති සිංහල බසට නැගීම පිළිබඳ නිදසුන් කෝට්ටේ හා මහනුවර සමයේ දී
සැලකිය යුතු කරම් දැකිය හැකි නමුත් රාමායණය කෘතියක් ලෙස සිංහල බසින් මුලින්ම පළ වී
ඇත්තේ ක්‍රි.ව. 1841 දී පමණ බව
පී.බී. සන්නස්ගල මහතාගේ සිංහල සාහිත්‍ය වංශය කෘතියේ සඳහන් වේ. ඒ ‘සිංහල රාමායණය’
හෙවත් ‘රාවණ සංහාරය’ නමිනි. එසේම 1880 දී
පමණ මේ ඇසුරින් ජෝන් ද සිල්වා විසින් සකස් කරන ලද රාමායන නාටකය මෙරට ජනතාව තුළ
රාමායණ කතාව පිළිබඳ යළි පිබිදීමක් ඇති කරන්නට ඇති බව සිතිය හැකිය. මේ බව පෙනෙන්නේ
උක්ත, 1841 දී පළ වූ
සිංහල රාමායණය කෘතියේ අයිතිය මිලට ගත් සී දොස් බස්තියන් එයට ශූද්ධියක් එක් කොට පළ
කළ නිසා ය.
සාමාන්‍ය ජනතාව ඇතැම් ඉතිහාස කරුණු
පිළිබඳ විශ්වාස කරන්නේ ඇතැම් ජනප්‍රිය නවකතාවල පැවසෙන කරුණු අනුව වීම අද දවසේ අප
නිතර දකින තත්ත්වයකි. ඒ අනුව ඉහත කී ආකාරයේ කෘති හා නාට්‍ය මගින් මෙරට ජනතාවට ඇති
වූ බලපෑම සුළු කොට තැකිය නොහැකිය.
21 වන
සියවස පුරා රාමායණය පිළිබඳව ලියූ ලිපි, කෘති ආදියේ දී මෙරට රාමායණයට සම්බන්ධ කිරීම සඳහා ගත් ප්‍රයත්න දැකිය හැකි
විය. ඒවා සමහරක් ස්ථාන නාම පදනම් කරගත් බව පෙනේ. මේ පිළිබඳව ද ගොඩකුඹුර මහතා සිය
ලිපියේ පැහැදිලි කිරීමක් සිදු කර තිබේ. නිදසුනත් ලෙස ගතහොත් ‘සීතා’ හා සම්බන්ධ කර
ඇති ස්ථාන නාම ආදියේ දී ශීතල හඳුන්වන ‘සීත’ යන්න පසුව සීතා යනුවෙන් ගෙන ඇති බව ඔහු
දක්වා ඇත. එසේම රාවණ යන නාමය ඇතුළත් ඇතැම් ස්ථානවලට ඒ නම ලැබී ඇත්තේ ඒ නමින්
හඳුන්වනු ලබන ජලජ බෙල්ලෙකුගෙන් බව ඔහු පෙන්වා දී තිබේ.
‘රාමායන
මංපෙත’
මෑත කාලයේ දී රාමායනය හෝ රාවණ පිළීබඳව
තිබූ උනන්දුව වෙනත් මගක් ගත්තේ 2000 දශකයේ අග භාගයේ දී පමණ රාමායනය පදනම් කරගත් සංචරණයක් ආරම්භ කිරීම හා සමඟ ය.
‘රාමායන මංපෙත’ හෙවත් Ramayana Trail නම් වූ මේ උත්සාහයේ අරමුණ වූයේ ඉන්දියානු
සංචාරකයන් ආකර්ෂණය කරගැනීමයි. ඒ සම්බන්ධව ඉන්දියානු හා ශ්‍රී ලංකා බලධාරීන් විසින්
කළ සාකච්ඡා පිළිබඳව තොරතුරු ඉන්දියානු පුවත්පත් ආදියේ හා වෙබ් අඩවිවල අදත් දැකිය
හැකි ය.
ඒ
සඳහා එවකට රජයේ ආයතන ද උනන්දුවක් දැක්වූ බව රහසක් නොවේ. සංචාරක කර්මාන්තයට අදාළ
ඇතැම් රාජ්‍ය ආයතනවල වෙබ් අඩවිවල ඒ සඳහා පිටු පවා වෙන්ව තිබිණි. කෙසේ වෙතත්
පසුකාලයක දී ඒවා වෙබ් අඩවිවලින් ඉවත් කරන්නට කටයුතු කර තිබිණි.
රාමායණයට සම්බන්ධ ස්ථාන පාදක කරගත්
සංචරණ කටයුතු එසේ සිදුවෙමින් තිබිය දී රාවණ පිළිබඳ සෙවීමේ උනන්දුවක් මෙරට තුළ
යළිත් ඇති විය. ඒ රාවණ යනු මෙරට විසූ රජෙකි යන්න උත්කර්ෂයට නගමිනි. එය ඉහත කී
රාමායණ සංචරණයේ බලපෑමෙන් සිදුවූවක් විය හැකි බවක් අපට සිතෙන්නේ එවැනි සුවිශේෂි
උනන්දුවක් ඊට පෙර ඒ තරම් පැතිර නොතිබූ නිසාය. ඒ සමඟ රාවණ සම්බන්ධ පොතපත, සාකච්ඡා කණ්ඩායම් ආදිය ද ක්‍රමයෙන්
දැකිය හැකි විය. ඒ සමඟ මේ මතයට පක්ෂ විපක්ෂ කණ්ඩායම් අතර වූ වාද විවාද ද ජනමාධ්‍ය
ඔස්සේ දැක ගත හැකි විය.
මේ තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා රාජකීය
ආසියාතික සමිතිය 2010 වර්ෂයේ දී සම්මන්ත්‍රණයක් සංවිධානය කළේය. ඒ සම්මන්ත්‍රණයේ දී
රාමායනය යනු ප්‍රබන්ධයක් යන්න මෙන්ම රාමායනය හා සම්බන්ධ කර ඉදිරිපත් කරන ලද විවිධ
සාධක පදනමක් නොමැති බවත් පෙන්වා දෙන ලද්දේ ඒ පිළිබඳ ප්‍රවීණයන් වූ විද්වතුන්
විසිනි.
මේ ආකාරයෙන් ශ්‍රී ලංකාව තුළින්
පුරාවිද්‍යාත්මක දත්ත, ලේඛන, අභිලේඛන හා භාෂා සාධක සෙවීමේදී ද, රාවණා නම් ඓතිහාසික අයෙකු හෝ ‘රාවණ රාජධානිය’ක්
පිළිබඳ විශ්වාසදායක සලකුණු සොයාගත නොහැකි වී ඇති බව පෙන්වා දෙන ලදි. ක්‍රි.පූ.
තුන්වන සියවසේ සිට සියවස් කිහිපයක කාලය ආවරණය කරන බ්‍රාහ්මී ලිපි ගණනාවක් අතර
‘රාවණ’ යන පුද්ගල නාමය හෝ අද කියන වෘත්තාන්ත සම්බන්ධ සටහන් හමුවී නොමැති වීම, අද මට්ටමින් ප්‍රචලිත වන ව්‍යාජ-පුරාවිද්‍යාත්මක
ප්‍රයත්නයන්වලට (උදා: සීගිරිය/ඉසුරුමුණි ආශ්‍රිත වැරදි සම්බන්ධකම්) විවේචනාත්මක
අර්ථකථන අවශ්‍ය කරයි.
එසේම රාවණට හෝ රාමායණයට සම්බන්ධ යැයි
හුවා දැක්වෙන යුදගනාව, උස්සන්ගොඩ වැනි ස්ථානවල දැකිය හැක්කේ ස්වාභාවික භූදර්ශන බව පෙන්වා දී
තිබේ. ඒවා ඇති වීමට බලපා ඇති හේතු නූතන විද්‍යාව මගින් පැහැදිලි කර තිබේ.
මේ සියලු කරුණු කාරනා සලකා බලන විට, අවසාන වශයෙන් කිව යුත්තේ රාමායණය කියවිය යුත්තේ වචනාර්ථයෙන් පමණක් නොව සංකේතාර්ථ, ආගමික සංකල්ප හා සාහිත්‍යය යථාර්ථයන් එකලස් කළ කාව්‍යයක් ලෙස ය. එහි චරිත වන රාම, සීතා, රාවණ ආදිය භාරතීය භූසමාජීය දර්ශනයක් තුළ ගොඩනඟා ඇති කල්පිත නාට්‍යාකාර පරපුරකි. මේ සැකෙවින් ගෙනහැර පෑ කරුණුවලින් සනාථ වන්නේ රාමායණය ප්‍රබන්ධයක් බවත් එහි දැක්වෙන ලංකාපුරය මේ දිවයිනට සම කළ හැක්කේ නාමික වසයෙන් පමණක් බවත් ය. මෙහි හමු වන චරිත සත්‍ය වසයෙන් ජීවත් වූ චරිත නොව කවියකුගේ මනසෙහි පහළ වුණු මනස් පුතුන් පමණක් බවත් ය.