තුන්රෝදයේ කතා 2
ගෙදර ආසන්නයේ ඇති පින් ළිඳ අසල පාර අයිනේ උදේට තුන්රෝද රථ කීපයක් නවත්වා තිබෙනු මම නිතර දකිමි. එසේම උදෙන්ම ඒ ළිඳේ නාගන්නා අය ද දකිමි.
මේ කරුණ වටහා ගන්නට මට දින කීපයක් ගත විය. රාත්‍රියේ දි මේ තුන්රෝදවල කර්ට්න් දමාගෙන ඒවායේ රියදුරන් ඇතුළේ නිදිය. ඒ ඔවුන්ගේ රාත්‍රී නවාතැනයි. උදෙන්ම අසල ඇති පින් ළිඳෙන් නෑමෙන් පසු ඔවුහු හයර් දුවන්නට යති.මට කතා කරන්නට ලැබුණු එක් රියැදුරෙකු කී පරිදි එතැන නයිට් පාක් කරන වාහන ගණන අටකි. ඔවුහු කොළඹින් බැහැර පදිංචි අය වන අතර, ඇප් හරහා එන කුලී ගමන්වල යෙදෙති. ඒ නිසා තුන්රෝද රථ පාක් අවශ්‍ය නැත. ඔහු මා හා කතා කළ දවසේ උදේ හයහමාරට එතැන සිටියේ ඔහු පමණකි. අනෙක් අය උදේ හය වන විට සූදානම්ව යන්න ගොසිනි. "බෝඩිමක හිටියා නම් අපි උදේ හත අට වෙනකනුත් නිදි සර්" යන්න ඔහුගේ අදහස විය.
මෙවැනි ජීවිතයක් තරමක් දුෂ්කර කටයුත්තකි. තුන්රෝද රියක පසුපස අසුනේ නිදාගැනීම මෙන්ම දිනපතාම නිදාගැනීම පහසු දෙයක් නොවේ. නවාතැන් සඳහා යන ගාස්තු ඉතිරි කර ගැනීම මේ ක්‍රමවේදයේ මූලික අරමුණ විය හැකිය. එවැනි තවත් පිරිසක් රාත්‍රියේ ආසන්න නගරයේ ද තැනකට රොක්වෙති.
කෙසේ වෙතත්, ගෙදර ලග හන්දියේ තුන්රෝද රියදුරු මිතුරෙකු කී විදියට නම්, ඒ අයට ප්‍රමාණවත් තරම් තුන්රෝද හයර් ඇති නිසා ඒ තරම් කට්ටක් කන්නට අවශ්‍ය නැත. ඔහු කීවේ "ඕක මොන ජීවිතයක් ද? මට නං කවදාවත් කරන්න බෑ" යනුවෙනි. ඒ මිත්‍රයා ජීවිතය ගත කරන හැටි කෙසේ ද යත්, බීමතින් රිය ධාවනය නිසා කීපවරක්ම දඬුවම් වින්දෙකි. වරක්, බීමතින් පොලිසියට හසු වී, කලබල ඇති කරගත් නිසා උසාවි ගොස් රියැදුරු බලපත්‍රය ද අහිමිව මාස දෙකක් පමණ, පොලීසිය නැති හන්දිවලට පමණක් රු. 50-60 (ඒ කාලෙ) හයර් දිවූ අයෙකි!
ධනේෂ් විසුම්පෙරුම
2024-03-21