Tuesday, October 17, 2023

"කොඩි ගල්" හෙවත් "කොඩි බ්ලොක්" වෙනුවට "කොඩවලවල්" සවි කළ යුතුය.

පහත සඳහන් පළමු පින්තූරයේ දැක්වෙන්නේ කොළඹ නගරයේ උත්සව අවස්ථාවල දී පාර දෙපස කොඩි දැමීමට අවශ්‍ය කණු සිටුවීම සඳහා පදික වේදිකාවේ තබන කොඩි ගල් (කොඩි බ්ලොක්) ආපසු එකතු කරගෙන යන ආකාරයයි. මේවා ගෙන ඒමට හා ගෙන යෑමට සැලකිය යුතු ශ්‍රමයක් අවශ්‍ය බව පෙනේ. රියදුරු ද සමග මෙතැන සේවකයින් තිදෙනෙකි. ඒ සඳහා කුඩා දොඹකරයක් ඇති වාහනයක් ද යෙදවේ. මේ ගලක ප්‍රමාණය අනුව එවැනි උපකරණ ද අවශ්‍ය වේ.


පළමු ඡායාරූපය - කොඩි ගල් රැගෙන යෑම

ඇතැම් විට මේ ගල් තැබූ උත්සවය අවසන්ව ආපසු ගෙන නොයා තවත් දින ගණනක් තිබූ තැනම තිබෙන්නේ මේ නිසා විය හැකිය. මේවා ඊයේ (2023-10-16) ආපසු ගෙන ගියේ සති තුනකට වැඩි කාලයකට පසුවය. මීට සති තුනකට පමණ පෙර ගත් ඡායාරූපයක් දෙවන ඡායාරූපයේ ඇත. ඇතැම් අවස්ථාවල පදිකයන්ට අවහිර වන ආකාරයෙන් මේවා තබා ඇති ආකාරය එහි දැක්වේ.

දෙවන ඡායාරූපය - පදික වේදිකාවේ ඇති කොඩි ගලක්

ප්‍රතිපත්තියක් ලෙස මෝටර් නොවන ප්‍රවාහනය දිරිමත් කිරීම පිළිගෙන ඇති රටක පයින් යන පදික ජනතාව ගැන වඩාත් සිතිය යුතුය. එවැනි තත්ත්වයක් සඳහා පදික වේදිකාවල මෙවැනි බාධක නොතිබිය යුතු බව පැහැදිලිය.
පාර දෙපස කොඩි සිටුවිය යුතු උත්සව අවස්ථා ඇති බව ඇත්තකි. මෙහි තෙවැනි රූපයේ ඇත්තේ කොඩි කණු සිටුවීම සඳහාම සකස් කළ, පදිකයින්ට බාධාවක් නොවන සේ පදික වේදිකාවටම සවි කර ඇති කොඩිවලක් ඇති ගලකි. එහෙත් ඒවා කෙතරම් දුරට භාවිත වන්නේද යන්න විමසිය යුතුය. එහි ඇති සිදුරට පස් හා දුවිලි පිරීම වැනි අඩුපාඩු නිවැරදි කරගත හැකි නම් (ආවරණයක් යෙදීම) මෙය අගනා නිමැවුමකි.

තෙවන ඡායාරූපය - කොඩිවලක්

ඉහත කොඩිවල ඇත්තේ එතරම් පදිකයින් නැති ආනන්ද කුමාරස්වාමි මාවතේය. පාර අවහිර කළ කොඩිගල් තබා ඇත්තේ පයින් යන්නන් වැඩි මාකස් ප්රනාන්දු මාවත කෙලවරය. මේ දෙතැන ඇත්තේ කොළඹ කෞතුකාගාරය ඉදිරිපස හා පසුපසයි.

ධනේෂ් විසුම්පෙරුම

2022-10-17


Friday, October 6, 2023

කොළඹ මහ ගස් හා ‌කාලගුණ ආපදා

දේශගුණ දිනපොත - 4

ධනේෂ් විසුම්පෙරුම


අද 2023 ඔක්තෝබර් 6, සිකුරාදා දිනයි. දැන් සති කිහිපයක් තිස්සේ පවතින්නේ වැසිබර කාලගුණයක්. අද දවසේ මාර්ග අනතුරු කීපයකුත් වාර්තා වුනා. ඒ අතරින් කාගේත් අවධානය යොමු උනේ කොල්ලුපිටියේ දී ශ්‍රි ලංගම බසයක් මතට ගසක් කඩා වැටීමෙන් ඇති වූ අනතුර ගැනයි. ඉන් ජීවිත පහක් අහිමිවෙලා.

කොළඹ නගරයේ කොල්ලුපිටිය, බම්බලපිටිය, කුරුඳුවත්ත වගේ පැතිවල මාර්ග දෙපස සෙවන සඳහා සිටුවා ඇති මහ ගස් (හා අතු) වැසි සහිත කාලවල දී කඩා වැටීම අපි කාලයක් තිස්සේ දන්න දෙයක්. ඒකට එක හේතුවක් ඒ ප්‍රදේශයේ පසේ ස්වභාවය වෙන්න පුළුවන් - මතුපිට තියන තුනී පස් තට්ටුවට යටින් අඩි ගණනක් තිස්සේ තියෙන්නේ වැලි පසක්. ඒ නිසා වැසි හා සුළං කාලවල දී දිරාගිය ගස් වගේම හොඳින් තිබෙන මහා ගසුත් උදුරා කඩා වැටීමේ අවදානමක් තියනවා. අතු කඩාවැටීම් ද දැකිය හැකියි. එවැනි සිදුවීම් නිසා දේපොළ වගේම ජීවිතත් නැති වු අවස්ථා ගැන වසරක් ගානේ අපට අහන්න දකින්න ලැබෙනවා. 1984 සිට මේ දක්වාම ඔය ප්‍රදේශයේ ආයතන ආශ්‍රිතව ගැවසෙන නිසා ඒ බව හොඳින් දන්නවා.

කොළඹ මාර්ග දෙපස මේ ආකාරයෙන් ගස් සිටුවන්නේ ඉංග්‍රීසින් ලංකාව පාලනය කළ කාලෙ ඉදලයි. ඒ 19වන ශතවර්ෂයේ දෙවන භාගයේ පමණ කියලයි මට මතක. කොළඹ වගේම වෙනත් බොහෝ නගරවලත් මාර්ග දෙපස ගස් සිටුවීම සඳහා මුල් උනේ ඔවුන් - ඒ, උණුසුම හා දූවිල්ල පාලනය කිරීම සඳහාත් දර්ශනීය බව සඳහාත්). ඒ සඳහා සෙවන ගෙන දෙන හා වේගයෙන් වර්ධනය වන විදේශිය ශාක වැඩි වශයෙන් භාවිත කර තිබෙනවා. දේශීය ශාකත් ඊට අඩුවෙන් දැකිය හැකියි. ඒත් මුලින්ම සිට වූ ගස් අද දකින්න තිබෙනවාද යන්න සැක සහිතයි. මොකද මාර්ග පුළුල්කිරීම් නිසා වගේම කඩාවැටීම නිසාත් ඒ ගස් ඉවත් වී තිබෙනවා. අප අද දකින ගස් අතරින් රැසක් පසුකාලයේ සිටවූ ගස් විය යුතුයි.


දේපොළ වගේම ජීවිතත් අවදානමට ලක්වන මේ සඳහා විසඳුම මාර්ග දෙපස ඇති ගස් මුළුමනින්ම කපා දැමීම නම් නොවෙයි. සමාජ මාධ්‍යවල පළවන අදහස් අනුව එවැන්නක් පේන නමුත්, ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයා පවසා ඇත්තේ "මාර්ග දෙපස කඩාවැටීමේ අවදානමක් පවතින විශාල ගස් පිළිබඳව වහාම අධ්‍යයනයක් සිදුකර මහජනතාවට තර්ජනයක් විය හැකි සෑම දෙයක්ම ඉවත් කරන ලෙස" බවයි පෙනෙන්නේ. එය අලුත් දෙයක් නොවේ. (රාජ්‍ය ඇමතිවරයාගේ ප්‍රකාශය - https://sinhala.adaderana.lk/news/187763, 2023-10-06) 

මාර්ග දෙපස ඇති ගස් ගැන පරීක්ෂා කරමින් දිරාගිය අතු ඉවත් කිරීම, තවදුරටත් පැවතීම අවදානම් නම් සම්පූර්ණ ගසම වුවත් කපා දැමීම දැනටත් සිදුකරන කටයුත්තක්. ඒ වගේම එසේ ඉවත් කරනු ලබන වෘක්ෂ වෙනුවට නව ගස් සිටුවිය හැකියි. ඒවා ද යම් ප්‍රමාණයකට වැඩුණු පසුව අවදානම් සහිත නම් ඉවත් කළ හැකියි. ඒ ආකාරයෙන් වෘක්ෂ කළමනාකරණය කිරීම සඳහා ඒකක තියෙන ආයතන පවතිනවා. ඒ වගේම මේ සටහනේ පළවන රූපයේ ඇත්තේ මෙවැනි කිසියම් හේතුවක් නිසා අද ආනන්ද කුමාරස්වාමි මාවත හෙවත් අතීතයේ "ග්‍රීන් පාත්" නමින් හැඳින්වූ මාර්ගයේ තිබී මද කලකට පෙර කපා දැමු ගසක ශේෂයි. ඒ ගසත් තවමත් ජීවයට තෝතැන්නක්!

ඉහත කී වෘක්ෂ කළමනාකරණය අදත් සිදුවන බවට සාධක තමයි කුරුඳුවත්ත ප්‍රදේශයේ විහාරමහාදේවී උද්‍යානයට යාබදව තිබූ මාර්ගයට කඩා වැටීමේ අවදානමක් පැවති ගසක අතු ඊයේ හෙවත් 2023-10-05 දින කපා දැමීම. මේ ගැන අද දෙරණ පළවූ පුවතක් මෙසේයි - "නෙළුම් පොකුණ අසලින් පාර වැසේ" - https://sinhala.adaderana.lk/news/187720, 2023-10-05 ප.ව. 3.46ට පළවූ පුවතකි).
එය එසේ උනත්, කොල්ලුපිටියේ ලිබර්ටි බස් නැවතුම අසල තිබු අද දින (ඔක්තෝබර් 6) අනතුරට හේතු වූ ගස ගැන බලධාරීන්ගේ අවධානයක් යොමු වී නැති බවයි පෙනෙන්නේ. ඒක නම් අවාසනාවක්.

මෙහි ඇති තවත් වැදගත් කරුණක් සඳහන් කළ යුතුයි. 

එනම් වර්තමාන දේශගුණ වෙනස්වීම වැළැක්වීම සඳහා ගන්නා පියවර අතර ඇති එක් ප්‍රධාන ක්‍රියාමාර්ගයක් වන්නේ විවිධ අංශවලින් නිකුත්වන  හරිතාගාර වායු විමෝචන අවම කිරීමයි. ඒ සඳහා යෝජනා කර ඇති පියවර ඇතුළත් ශ්‍රී ලංකාවේ යාවත්කාලීන කළ ජාතිකව නිර්ණය කළ දායකත්ව (Nationally Determined Contributions, 2021 - http://www.climatechange.lk/CCS2021/UpdatedNDCsSriLanka2021.pdf) යටතේ වනාන්තර අංශයේ එක් දායකත්වයක් වන්නේ වනාන්තරවලින් බැහැර පිහිටන වෘක්ෂ (Trees Outside Forests) වැඩිදියුණු කිරීමයි. එහි දී මාර්ග දෙපස රුක් රෝපණය (roadside tree plantation) හා නාගරික වනවගාව (urban forestry) පිළිගත් පියවර දෙකකි. වර්තමානයේ කාලගුණ තත්ත්වය නිසා ඇති වී තිබෙන අවදානම සැලකිමේ දී ඉහත කී පියවර සමඟම වෘක්ෂ කළමනාකරණය සිදුකරන විද්‍යාව වන 'රුක් හා ලදු වගාව' (arboriculture) නම් විෂය පිළිබඳව ඇති පුද්ගල හා ආයතනික ධාරිතාවය අදට වඩා ඉහළ නැංවීම ගැන අවධානය යොමු වනු ඇතැයි සිතමු. දේශගුණ වෙනස්වීමේ බලපෑම් නිසා ඇති වන ආන්තික කාලගුණ තත්ත්ව හේතුවෙන් මෙවැනි ගස් කඩා වැටීම වැනි ආපදා ඇතිවීමේ අවදානම ද ඉහළ යා හැකි බැවින් මේ තත්ත්වය පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත්ය.

2023-10-06