ඒ අපි කොළඹ ආවට පස්සේ අම්මා කළුබෝවිල රෝහලේ සේවය කරන්න යන කාලේ - ඒ කියන්නේ 1978-2000 කාලය අතරයි. සෞඛ්‍ය සේවයේ රාජකාරි අනුව ඔවුන් ඕනම දවසක රෝහලේ සේවයේ ඉන්න ඕන. අපේ අම්මා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් (අද තනතුරේ නම) ලෙසයි සේවය කළේ ඉතින් තරුණ හා දුර බැහැර ගම්වල පදිංචි සහෝදර සේවිකාවන් සිංහල අවුරුදු කාලයට නිවාඩු ගියාම අවුරුදු දවස්වල රාජකාරියට යන්න ඉන්නේ කිට්ටුව පදිංචිව ඉන්න අය තමයි. රෝහලේ ඉදල කීලෝමීටර් දෙකහමාරක විතර දුරක පිහිටි, නාවල පාරේ විජයබා මාවතේ අප පදිංචිව සිටි නිසා අම්මා ඒ අතලොස්සක් වූ පිරිසට අහු උනා.
ඉතින්, බොහෝ අවුරුදුවල, අලුත් අවුරුදු නැකත් වෙලාවලට අපේ අම්මට ගෙදර ඉන්න උනේ නෑ. වාට්ටුවේ වැඩට හිරවෙලා. එදාට ගෙදර හිටියේ තාත්තයි, අක්කයි, මමයි. වැඩි කතා නැතත් තාත්තා ඒ මූලික දේවල් කළා. අම්මා කලින් දවසේ හදපු කැවිලි එක්ක අපි අවුරුදු කෑමත් කෑවා. රේඩියෝ එකෙන් රට වටා අවුරුදු ඇහුවා (අපේ වාසනාවට ටීවී එකේ අවුරුදු විච්චූර්ණ සුලබ උනේ ඉන් පස්සේ).
සඳහන් කළ යුතු තවත් දෙයක් තමයි, ඒ කාලේ ඒ වගේ දවස්වල වැඩට යන එන එකේ තිබ්බ අපහසුව. අසූව දශකය කියන්නේ මේ වගේ තුන්රෝද සුලභ නැති කාලයක්. ඒ වගේම එහෙම දේට අපේ අම්මා වියදම් කරන්නේ නෑ කවදාවත්ම. ඉතින් 176 බස් එකක මිනිත්තු දහයකින් යන්න පුළුවන් ගමනට, බස් එකක් එන තෙක් පැයක් විතර ගත වූ දවස් තිබ්බා. ඒ කාලේ පුද්ගලික බස් තිබ්බත් මේ වගේ දවසට පාරෙ දිව්වෙ අද වගේම ලංගම (මතක විදියට ඒ කාලේ මගම) බස්ම තමයි.
සෞඛ්‍ය, රාජ්‍ය ප්‍රවාහන, ආරක්ෂක අංශ ඇතුළුව සිංහල (හා හින්දු) අවුරුද්ද දවසේ පවා සේවයේ යෙදෙන අත්‍යාවශ්‍ය සේවාවල සැමටම ප්‍රණාමය පුදමි!