මට පිටිපස්සේ හිටපු නිසා නොපෙනුනත් කියන ඒවා ඇහෙනවා මට. මගේ කැම්පස් කාඩානුකූලව ඒවාට සවන් දීම මගේ ගතියනේ... ඉතින් ඉයර්පෝන් එකෙන් ලෙනාඩ් වුල්ෆ් ගැන සූම් කතාවක් අහන අතර, අර කෙල්ලගේ කතාත් මට ඇහෙනවා. මෙන්න මතක තිබ්බ තුනක්.
කතා අංක එක - හිච්චි කණු
"අම්මේ මොකද මේ ලයිට් කණුවල එක එක ඒව ලියලා තියෙන්නේ"
"ඒගොල්ලන්ගේ නම් වෙන්න ඇති" අම්මා කීවා. මට හිනා ගියත් හැරිලා බැලුවෙ නෑ.
"ඒව අදුනගන්න දාන එකක් වෙන්නැති" අම්මා ඒක නිවැරදි කළා.
දුවට තවත් ප්‍රශ්න.
"මේ කණු හිච්චියිනේ අම්මේ. අපේ ගෙවල්පැත්තේ ලයිට් කණු ලොකුයිනේ"
මේ කෙල්ල මේ දකින්නේ ලයිට් කණු නොවන බවත් ටෙලිපෝන් කණු බව අම්මා කීවේ නෑ. බාග වෙලාවට අම්මත් දන්නේ නැතිවැති. මට ඕප දූප ඕන උනාට එයාලට ලයිට් කණු ටැලිපෝන් කණු වැඩක් නෑනෙ. ලයිට් ගෙදරට එනවනම්, කෝල් එනවා නම් කණු මොකටද?
කතා අංක දෙක - සහෝදරයින්
"අද පංතියෙදි අම්මලා තාත්තලා කරන රස්සාවල් ගැනයි සහෝදර සහොදරියො ගැනයි ඇහුවා."
"මං ලිව්වා මට සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා කියලා"
"ඒ ඔයාගෙම අය නෙවෙයිනේ දුවේ. ළඟ ගෙවල්වල හිටියට ඒ නෑයොනෝ" කියලා අම්මා කීවා.
"ඒගොල්ල ගැන නෙමෙයි මං ලිව්වෙ. ගෙදර ඉන්න දෙන්න ගැන" ඒ දුව කීවා.
"ඒ කවුද?" අම්මා අහපි.
"ඇයි බූලයි, පූසයි" ඒ දුව දුන් අපූරු උත්තරේ.
"ඒගොල්ලො සත්තුනේ. ඔයාගෙ සහෝදරයො නෙවෙයිනෙ." අම්මාගේ අදහස ඒ.
"ඒ ගොල්ලො මගේ සහෝදරයො තමයි. එච්චරයි"
ඒ දුව අවසන් තීන්දුව දුන්නා. ආයෙ කතා බෑ!
කතා අංක තුන - බස් ගාස්තුව
"මෙතන ඉදන් එකයි බාගයක් කියල නේද ටිකට් ගන්නේ"
"ඔව්. එකයි බාගයයි."
"එතකොට එකසිය විස්සයි ද?" දුව අහනවා.
"නෑ. හතළිහයි, විස්සයි" අම්මා පැහැදිලි කරනවා.
"මට අහුනෙ අරමනේ" දුව තවදුරටත් කියනවා.
මං හිතුවා ඒකත් තීන්දුව දීලා, එච්චරයි කියලා එකසිය විස්සක් බස් එකට දෙයි කියලා. ඒහෙම උනේ නෑ. එයාලා හතලිහේ දුර ගිහින් හන්දියට කලින් හෝල්ට් එකෙන් බැස්සා.
මම හන්දියෙන් බැහැලා ආවා.
ධනේෂ් විසුම්පෙරුම
2022.07.19