Monday, January 31, 2022

වී වගාවට අභියෝගයක් වූ ලවණතාව

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 26.01.2022, පි. 12-13 (Vidusara)

http://www.vidusara.com/2022/01/26/feature7.html

ශ්‍රී ලංකාවේ වී වගාව සඳහා බලපාන පාරිසරික ගැටලු අතර නියඟය, ගංවතුර, ලවණතාව සහ යකඩ විෂ වීම වැනි කරුණු ප්‍රධානය. මේ අතරින් ලවණතාව යනු කලින් කලට වෙනස්වන හා බරපතළ විය හැකි, එහෙත් ප්‍රමාණවත් අවධානයක් යොමු වී නැති ගැටලුවකි. මෙම සම්බන්ධයෙන්, එහි බලපෑමට දැඩිව ලක්ව ඇති දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු කළ ගවේෂණයක දී අනාවරණය වූ තොරතුරු මෙම ලිපිය සඳහා මූලික පදනම වෙයි. ලවණතාවයේ බලපෑමට ලක්ව ඇති කුඹුරු බහුල වෙරළට ආසන්නව පිහිටා ඇති හම්බන්තොට දිස්ත්‍රික්කයේ බූන්දල ඌරණිය හා අම්බලන්තොට මානජ්ජාව යන ප්‍රදේශ මේ අතරින් දෙකකි. එසේම පුත්තලම දිස්‍ත්‍රික්කයේ රට අභ්‍යන්තරයට වන්නට පිහිටා ඇති ආණමඩුව හා කොට්ටුකච්චිය ප්‍රදේශවල ගම්මාන කිහිපයක ද ක්ෂේත්‍ර නිරීක්ෂණ සිදුකරන ලදි. එසේම මේ සම්බන්ධව කටයුතු කරන රාජ්‍ය ආයතනවල විද්‍යාඥයින් හමු වී සිදුකරන ලද සම්මුඛ සාකච්ඡා සහ මේ පිළිබඳව පළ වී ඇති පර්යේෂණ පත්‍රිකා සහ වාර්තා සමාලෝචනයෙන් මේ ලිපිය ලියැවී ඇත.


ලවණතාව යනු කුමක්ද?


ලවණතාව සඳහා හේතු වන්නේ ජලයේ දියැවී ඇති ලවණ පසේ තැන්පත් වීමයි. ලවණතාව සඳහා බලපාන්නේ සෝඩියම්, මැග්නීසියම්, කැල්සියම්, පොටෑසියම්, ෆ්ලෝරයිඩ්, ක්ලෝරයිඩ්, සල්ෆේට්, කාබනේට්, බයිකාබනේට්, නයිට්‍රේට් වැනි අයන වර්ගය. මේවායින් සෑදෙන ලවණ ජලයේ දියැවී, ජලය වාෂ්පීකරණය වීමෙන් පසු ලවණ පසේ තැන්පත් වීමෙන් ලවණතාව ඇති වේ. මේ නිසා වාෂ්පීකරණය වැඩි තත්ත්වයක දී ලවණතාව අධික විය හැකිය.

ලවණතාවයේ බලපෑම දැකිය හැකි ප්‍රදේශය අනුව වර්ග දෙකක් හඳුනාගත හැකිය. ඉන් පළමුවැන්න වෙරළාශ්‍රිත ලවණතාවයි (Coastal salinity). උදම් සහ වියළි කාලගුණය ද, මුහුදු ජලය වෙරළ තීරයේ භූමිය තුළට පැමිණීම ද ඊට මූලික වශයෙන් හේතු වේ. වැලි කැණීම වැනි කටයුතු නිසා මේ තත්ත්වය තවදුරටත් බරපතළ විය හැකිය. වෙරළාශ්‍රිත ලවණතාව ඇති වන්නේ ෆ්ලෝරයිඩ්, සල්ෆේට්, සෝඩියම්, මැග්නීසියම් වැනි අයනවලින් සෑදෙන සංයෝග නිසාය. මුහුද ආශ්‍රිතව ඇති බැවින් වෙරළබඩ ලවණතාව සාමාන්‍යයෙන් දැකිය හැකිය. මේ තත්ත්වය මන්නාරම, පුත්තලම, යාපනය, ත්‍රිකුණාමලය, අම්පාර, හම්බන්තොට, ගාල්ල, කළුතර හා මාතර යන දිස්ත්‍රික්කවල වඩා සුලබ වේ.

දෙවැනි වර්ගය වන්නේ රට අභ්‍යන්තර ලවණතාවයි (Inland salinity). මේ ලවණතාව සඳහා හේතුවන්නේ කැල්සියම්, මැග්නීසියම්, සෝඩියම් වැනි අයන සමඟ සෑදෙන කාබනේට හා බයිකාබනේට ලවණ ය. රට අභ්‍යන්තර ලවණතාව පවත්නා දිස්ත්‍රික්ක අතර, අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, හම්බන්තොට, අම්පාර යන දිස්ත්‍රික්ක ප්‍රමුඛ වේ. ඇතැම් ප්‍රදේශවල රට අභ්‍යන්තර ලවණතාව ක්‍රමයෙන් වර්ධනය වන බව 2007 වර්ෂයේ පමණ සිට හඳුනාගෙන ඇත. ඇතැම් මහවැලි කලාපවල ද ලවණතාවෙ වර්ධනය වන ආකාරය මෑත කාලයේ හඳුනාගෙන තිබේ. ජලය වාෂ්ප වීමත් සමඟ වාරි ජලය සැපයෙන ප්‍රදේශවල ලවණතා‍ෙ ඉහළ යන ආකාරයක් දැකිය හැකිය.
 
ශ්‍රී ලංකාවේ ලවණතාවයේ බලපෑමට ලක්ව ඇති ප්‍රදේශ


ශ්‍රී ලංකාවේ වී වගා කරන කුඹුරු ඉඩම් අතරින් හෙක්ටයාර 100,000ක පම ලවණතාව දැකිය හැකිය. සාමාන්‍යයෙන් මහ කන්නයේ දී මෙරට කුඹුරු හෙක්ටයාර ලක්ෂ 800,000ක් පමණ වගා කරනු ලබන අතර, යල කන්නයේදී වගා කරනු ලබන්නේ හෙක්ටයාර 450,000ක් පමණ ප්‍රමාණයකි. මේ අනුව වගා කරනු ලබන කුඹුරු ඉඩම්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ලවණතාවයේ බලපෑමට ලක් විය හැකි බව පැහැදිලිය. එහෙත්, එය ජල සුලබතාවය අනුව විචල්‍ය වේ. වැඩි වර්ෂාවක් සහිත මහ කන්නයේ දී කුඹුරුවල ලවණතාව වගාව සඳහා බලපාන්නේ අඩු වශයෙනි. එහෙත් සාමාන්‍යයෙන් වඩා වියළි කාලගුණයක් සහිත යල කන්නයේ දී ලවණතාවයෙන් වැඩි බලපෑමක් සිදු වේ. නියඟයේ බලපෑම සමඟ ද ලවණතාවයේ බලපෑම ද ඉහළ යයි. එමෙන්ම අධික වාෂ්පීකරණයක් සහිත ප්‍රදේශවල ලවණතාව අධිකය.

එසේම වර්තමාන දේශගුණ වෙනස් වීම හා සමඟ ලවණතාව ඉහළ යෑමේ අවදානමක් පවතී. ඉහළ යන පරිසර උෂ්ණත්වය, අධික වාෂ්පීකරණය, නියඟය තීව්‍ර වීම, ජලය හිඟ වීම හා මුහුදුමට්ටම ඉහළ යෑම වැනි කරුණු මේ සඳහා දායක වේ.


ශාකවලට බලපාන ආකාරය


ඉහළ ලවණතාව නිසා ගොයම් ශාක මිය යෑමට වඩා සිදුවන්නේ ඒවායේ නිෂ්පාදකතාවය හෙවත් වගාබිමේ වී අස්වැන්න අඩු වීමය. එනම් හෙක්ටයාරයකට නිපදවනු ලබන වී ප්‍රමාණය අඩු වීමය.

ලවණතාව මනිනු ලබන්නේ ජලයේ විද්‍යුත් සන්නායකතාවයෙනි. එනම් මීටරයකට ඩෙසිසීමන් අගයෙනි. ඒ ඒ ඩෙසිසීමන් අගය අනුව ලවණතාවයට ඔරොත්තු දීම පහත වගුවේ දැක්වේ. ඒ අනුව ඩෙසිසීමන් 2-8 අතර පරාසයක ලවණතාවය වී පමණක් නොව, වෙනත් භෝගවලට ද බලපායි.



ලවණතාවයේ බලපෑමට පත් කුඹුරක් - අම්බලන්තොට

ලවණතාවයේ බලපෑමට පත් කුඹුරක් - කොට්ටුකච්චිය


ලවණතාව ශාකයේ ජල අවශ්‍යතාවයට, ලවණ විෂ වීමට හා පැළ විඩාපත් වීම වැනි කරුණු ඔස්සේ විවිධ අංශවලින් බලපායි. බීජ ප්‍රරෝහණ අවස්ථාවේ මෙන්ම ශාක වර්ධන අවස්ථාවේදී ද ලවණතාවයේ බලපෑම අධිකය. මල් පිපෙන හා මේරු අවධියේ දී ලවණතාවයේ බලපෑම වඩා අඩුය. වර්ධක අවස්ථාවේ ඇති වන මෙම බලපෑම පාලනය කළ හැකි නම් ශාකයට ඇතිවන අහිතකර බලපෑම අඩු කර ගත හැකිය.

ලවණතාවයේ බලපෑම අඩු කිරීම සඳහා භෝග ප්‍රභේද හා කෘෂි පිළිවෙත් දියුණු කර ඇත්තේ මේ අනුවය.


සුදුසු වී ප්‍රභේද වගාකිරීම


ලවණතාව සඳහා ඔරොත්තු දෙන වී ප්‍රභේද හඳුන්වා දීම මේ තත්ත්වයට ඉදිරිපත්ව ඇති එක් විසඳුමකි. මේ සඳහා සාම්ප්‍රදායික වී වර්ග මෙන්ම, දියුණු කරන ලද වී වර්ග ද වගා කරනු ලැබේ.

අපගේ ක්ෂේත්‍ර නිරීක්ෂණයට ලක් වූ අම්බලන්තොට, බූන්දල, කොට්ටුකච්චිය වැනි ලවණතාවයෙන් පීඩා විඳින ප්‍රදේශවල වී ගොවීන්ට අනුව අතීතයේ දී වගා කරන ලද සාම්ප්‍රදායික හෙවත් පාරම්පරික වී ප්‍රභේද අතර ලවණතාවට ඔරොත්තු දෙන වී ප්‍රභේද විය. ඒ අතර පොක්කාලි, පච්චපෙරුමාල්, මඩතවාළු වැනි වී වර්ග මූලිකය. පසුකාලීනව මේ වී ප්‍රභේද භාවිතයෙන් ඈත් වී ඇත. ලවණ සහිත කුඹුරු ඉඩම්වල වෙනත් වී ප්‍රභේද වගා කළ නොහැකි බැවින් ඊට ඔරොත්තු දෙන වී වර්ග වගා කිරීමේ අවශ්‍යතාව ඇති විය. එහි දී පාරම්පරික වී ප්‍රභේද නැවත හඳුන්වා දීම සඳහා විවිධ සංවිධාන සහ කණ්ඩායම් මැදිහත් වී තිබේ. නිදසුනක් ලෙස 2004 වර්ෂයේ සුනාමියෙන් පසු හම්බන්තොට දිස්ත්‍රික්කයේ එවැනි එක් ව්‍යාපෘතියක් දියත් කරන ලදි. ‘ප්‍රැක්ටිකල් ඇක්ෂන්’ සංවිධානය මුලින්ම වී වර්ග දහයක් යොදාගනිමින් අම්බලන්තොට ප්‍රදේශයේ සිදුකරන ලද පරීක්ෂණයක් මත මත පදනම්ව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක මේ වගාකිරීම් ව්‍යාප්ත කර තිබේ. ඒ සඳහා සම්බන්ධ වූ අතුල වීරරත්න මහතා පෙන්වා දුන් ආකාරයට කාබනික වගා ක්‍රමයට පාරම්පරික වී ප්‍රභේද වගාව සිදු කර ඇත. එහි දී නවීන යෝග්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය ද සිදු කර ඇත. පසුකාලයක මෙම කාර්යය ප්‍රචලිත කිරීම සඳහා දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මැදිහත් වී සහාය ලබා දී තිබේ.

ඒ අවස්ථාවේ බූන්දල ප්‍රදේශයේ ආරම්භ කළ අදටත් සාර්ථකව ගොවීන් අතර ක්‍රියාත්මක වන ප්‍රයත්නයක් පිළිබඳව අපට කරුණු දැක්වුයේ ගොවි ක්‍රියාකාරිකයෙකු වන චන්ද්‍රසෝම වීරරත්න මහතා ය. ඒ අනුව වෙරළාශ්‍රිත ලවණතාව නිසා වෙනත් කිසිදු වී ප්‍රභේදයක් වගා කිරීම අපහසු වීමෙන් මුළුමනින්ම පාහේ අත්හැර දමා තිබූ ඌරණිය කුඹුරු යායේ අක්කර පනහක පමණ ප්‍රමාණයක අද දක්වාම පාරම්පරිකවී ප්‍රභේද වගා කරනු ලැබේ. ඒ ගොවීන්ගේ අත්දැකීම අනුව ලවණතාව ඇති කුඹුරුවල වගා කරන පාරම්පරික වී ප්‍රභේද අතරින් පොක්කාලි වඩාත් සුදුසුය. ඒ හැර පච්චපොරුමාල්, මඩතවාළු, දහනල හා රත්දැල් ආදිය වගා කරනු ලැබේ. මේ අතර කොට්ටුකච්චිය ප්‍රදේශයේ දී අප සමග සාකච්ඡා කළ කළ ගොවීන්ගේ අත්දැකීම් අනුව පච්චපෙරුමාල්, මුරුංගාකායම්, දික් වී, හැංගිමුත්තන් වැනි වී ප්‍රභේද අතීතයේ ලුණු සහිත කුඹුරුවල වගා කර තිබේ.


ඌරණීය වෙල්යාය, බූන්දල

මානජ්ජාව වෙල්යායා, අම්බලන්තොට


ලවණතාවට ඔරොත්තු දෙන දියුණු කරන ලද වී වර්ග පිළිබඳව හා ඒවා භාවිත වන ආකාරය මේ සමඟ ඇති සාකච්ඡාවක පළ වේ.



ලවණතාව අවම කළ හැකි කෘෂි පිළිවෙත්


ලවණතාව සහිත කුඹුරුවල ලවණතාව අවම කර වී වගා කිරීම සඳහා අනුගමනය කළ යුතු කෘෂිකාර්මික පිළිවෙත් අතර කෘෂිකර්ම බලධාරීන් විසින් ප්‍රවර්ධනය කරනු ලබන හා ගොවීන් විසින් අනුගමනය කරනු ලබන පිළිවෙත් සමහරක් මෙසේය.

  • ගැඹුරට සී සෑමෙන් වැළකීම - ජලය හිඟ යල කන්නයේ දී හා නියං කාලවලදී ලවණතාව දැඩිව බලපෑ හැකි නිසා අඩුවෙන් සී සෑම සුදුසුය. එවිට පසේ යටින් ඇති ලවණ මිශ්‍ර වීම අඩු වේ. කොට්ටුකච්චිය ඇතුන්ගොඩ ප්‍රදේශයේ ගොවීන් සමඟ සිදු කළ සාකච්ඡාවලදී පෙනී ගියේ ලවණ සහිත කුඹුරුවල කලක් තිස්සේ වගා කරන ගොවීන් මෙම කරුණ හොඳින් ග්‍රහණය කර ඇති බවයි. ඔවුහු ඇතැම් විට උදලු මඟින් සිදු කරන බිම් සැකසුමක් පමණක්ම සිදුකරති. එසේම ලවණතාව සුලබ වඩත්ත වැනි වැනි ගම්මානවල අවම බිම් සැකසුමක් සහිතව කැකුලමට වගා කරන ආකාරය දැකිය හැකිය.

  • වැපිරීමට පෙර පස කිහිපවාරයක් සෝදා යැවීම - ලවණ සහිත කුඹුරක බිම් සැකසීමේ දී කිහිපවරක් වතුර බැඳ තබා පස සෝදා යැවීම සුදුසුය. ගොවීන් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන බව අපේ නිරීක්ෂණවල දී දැක ගත හැකි විය. කෙසේ වෙතත් එසේ නැවත නැවත සෝදා යැවීමට තරම් ප්‍රමාණවත් ජල සැපයුමක් ඇතැම් ප්‍රදේශවල නොමැති වීම ගැටලුවකි. ලවණතාව දැකිය හැකි කුඹුරු අතරින් රැසකට ජලය සැපයෙන්නේ සුළු වාරිමාර්ගවලින් හෝ මුළුමනින්ම වර්ෂා ජලයෙනි. එවැනි අවස්ථාවල යල කන්නයේ ජල සැපයුම සීමිත බැවින් සෝදා යැවීමෙන් ලවණ ඉවත් කිරීම ද අසීරු විය හැකිය. මෙය පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල අප නිරීක්ෂණය කළ එක් ගැටලුවකි.

  • කාබනික ද්‍රව්‍ය පසට එක් කිරීම - කාබනික පොහොර සහ කාබනික ද්‍රව්‍ය යොදා ගැනීමෙන් පස දියුණු කිරීම හරහා ද ලවණතාව අඩු කරගත හැකිය. ඒ සඳහා විවිධ ද්‍රව්‍ය භාවිත කළ හැකිය. කර දහයියා යොදා ගැනීම, කුකුල් පොහොර, කොම්පෝස්ට් පොහොර, ගොම පොහොර වැනි ද්‍රව්‍ය යොදා ගැනීම මෙහි දී සිදුකෙරේ. එමගින් පසේ ලවණතාව පාලනය වන අතර, වී වගාවට අවශ්‍ය පෝෂණය ද ලබා ගත හැකිය.

  • පැරෂුට් ක්‍රමයට වී වගා කිරීම - විශේෂ තැටියක වපුරා පැළ වූ වී, කුට්ටි පිටින් ගෙන කුඹුරේ විසිරවීම මෙහි දී සිදුවේ. එහිදී සිටුවනු ලබන්නේ දින 12ක් පමණ වයසැති වී පැළ බැවින් ඒ්වා කුඹුරේ දී ලවණතාවයේ බලපෑමට ලක්වන්නේ වර්ධක සමයේ වඩා අඩු කාලයකි. එබැවින් පැරෂුට් ක්‍රමය ලවණතාවය ඇති කුමුරුවල වී වැපිරීම සඳහා සුදුසු සාර්ථක ක්‍රමයක් ලෙස පිළිගැනේ.

  • අගල් 2-3 ක ප්‍රමාණයකට වතුර රඳවා තැබීම - පසේ අඟල් දෙක තුනක් පමණ ජලය රඳවා තැබීම මගින් ලවණතාවය අඩු කළ හැකිය.


ලවණතාවට මුහුණ දීමේ ගැටලු


මේ ගවේෂණයේ දී ලවණතාවට මුහුණ දීමේ දී ඇති වන ගැටලු පිළිබඳව ද අවධානය යොමුකරන ලදි. ඉන් එකක් වන්නේ, ලවණතාවයේ බරපතළ බව ගොවියා ප්‍රමාණවත් තරමින් අවබෝධ කර නොමැති වීමයි. එයට එක් හේතුවක් වන්නේ, ලවණතාවයේ බලපෑම ඉහළ යන්නේ ඇතැම් කන්නවලදී පමණක් වීමයි. ඉන්පසුව එන කන්නයක දී ලවණතාවයේ බලපෑම අඩු විය හැකිය. ඒ සමඟ ඒ සඳහා ගන්නා පියවර පිළිබඳ ඇති අවධානය අඩු වීම සිදුවේ. ඒ නිසා එම තත්ත්වය තුළ ලවණතාවට ඔරොත්තු දෙන වී ප්‍රභේද වගා කිරීම අවධානයකට ලක් නොවන බවක් පෙනේ.

එමෙන්ම ඇතැම් අවස්ථාවලදී ලවණතාවට ඔරොත්තු දෙන වී ප්‍රභේදවල බිත්තර වී ලබා ගැනීමේ අපහසුතාවටද ගොවීන් මුහුණ දී ඇති බව අප සමඟ සාකච්ඡාවට එක් වූ ඇතැම් ගොවීන්ගේ අත්දැකීමයි. එවිට ඔවුන්ට සිදුවන්නේ තිබෙන වී ප්‍රභේදයක් වගා කිරීමටය. මේ නිසා සුදුසු ප්‍රභේදවල හොඳ තත්ත්වයේ බිත්තර වී ප්‍රමාණවත් තරමින් ලබාගැනීමට අවස්ථාව සැලසීම වැදගත්ය. මෙය අප සමඟ අදහස් දැක්වූ ගොවීන් බොහෝ දෙනා පෙන්වා දුන් කරුණක් වන අතර එය පාරම්පරික ප්‍රභේද මෙන්ම දියුණු කළ ප්‍රභේදවලට ද පොදු බව පෙනේ. මේ සඳහා රාජ්‍ය අංශයට මැදිහත් විය හැකි අතරම, ගොවීන් අතර බිත්තර වී නිෂ්පාදනය ද අඛණ්ඩව ප්‍රවර්ධනය කළ යුතුය.

ඉහත සඳහන් කර ඇති ආකාරයට ලවණතාවයේ බලපෑම අඩු කර ගත හැකි එක් ක්‍රමයක් වන භූමිය සෝදා හැරීම හා ජලය බරඳ තැබීම වැනි කටයුතුවල යෙදීම සඳහා ජල සම්පාදනය ද වැදගත්ය. මේ අවශ්‍යතාව ඇති ප්‍රදේශවලට ජල සැපයුම ලබාදී දීමට පියවර ගත හැකිය. වැව් වැනි වාරි ජල පද්ධති මනාව නඩත්තු කිරීම හා ජලය කාර්යක්ෂම ආකාරයෙන් බෙදාහැරීම වැදගත්ය. මෙය වඩා වියළි තත්ත්ව යටතේ සිදුකරන යල කන්න ගොවිතැනේ දී වඩාත් වැදගත්ය. මේ තත්ත්වය කොට්ටුකච්චිය ප්‍රදේශයේ දී අපගේ නිරීක්ෂණයට ලක් විය.

ලවණතාවයේ බලපෑම අවම කිරීමේ දී පැරෂුට් තාක්ෂණය යොදාගෙන වී වැපිරීම සුදුසු බව ඉහත සඳහන් කළෙමු. ගොවීන්ට පැරෂුට් තාක්ෂණය හඳුන්වා දී ඇති නමුත්, භාවිතය පිළිබඳ ප්‍රායෝගික ගැටලු ගොවීන්ට පවතින බව පෙනේ. එනම්, එම තාක්ෂණයට හුරු වීම පිළිබඳව ඇති ගැටලුවයි. කොට්ටුකච්චිය හා ආණමඩුව ප්‍රදේශයේ ගොවීහු මේ පිළිබඳව සඳහන් කළහ. එපමණක් නොව පැරෂුට් තාක්ෂණය සඳහා යොදාගන්නා තැටි සඳහා වැයකළ යුතු පිරිවැය ද ගොවීන්ට ගැටලුවක් විය හැකි ය. මෙම තාක්ෂණය ඵලදායී වන ප්‍රදේශවල රාජ්‍ය මැදිහත්වීමක් මගින් මේ තත්ත්වයට විසඳුමක් දිය හැකි නම් එමඟින් ලවණතාව පවත්නා කන්නවල ලවණතාව ජය ගැනීමට ගොවීන් පෙළඹවීමට අවස්ථාවක් පවතී.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවීන්ට ලබා දෙන පුහුණුව බොහෝවිට කන්න රැස්වීම් හරහා සිදු කරන්නකි. එය ප්‍රායෝගික පුහුණුවක් වේ. සාමාන්‍යයෙන් දැනුම්වත් කිරීමේ ද්‍රව්‍ය ලබා දීම සිදු වන්නේ අඩු වශයෙනි. මේ ආකාරයට දැනුම් සම්ප්‍රේෂණය වීමේ යම් යම් ගැටලු ඇති බව අපට පෙනී ගිය කරුණකි. එසේම ඇතැම් විට රැස්වීම් සඳහා සම්බන්ධ වන්නේ ගොවියාට වඩා එම පවුලේ කාන්තාව වීම ද ප්‍රායෝගිකව ගැටලුවක් බව කෘෂිකර්ම නිලධාරීහු අප හා පැවසුවහ. එයට එක් හේතුවක් වන්නේ දැනුම්වත් කිරීම් ලබා ගත යුතු පිරිමි පාර්ශ්වය විශේෂයෙන් කුඹුරු වැඩ කටයුතු කරන පිරිමි, එයට සම්බන්ධ නොවීමයි.

එසේම වඩා හොඳ ප්‍රභේදවල බිත්තර වී සොයා ගැනීමට නොහැකි වීම, ප්‍රමාණවත් තරම් කාබනික ද්‍රව්‍ය එක් කිරීම පිළිබඳ දැනුමක් නොමැති වීම සහ ඒ සඳහා යොමු නොවීම ද පැහැදිලිව දැකිය හැකි විය.

ලවණතාව සහිත කුඹුරු ඉඩම් බොහෝවිට වැඩි ප්‍රමාණයක් පාහේ මහා වාරි මාර්ගවලින් ජලය සම්පාදනය නොකරන ඒවා වීමත් එමෙන්ම ඒවා බොහෝ දුරට එම කුඹුරු ඉඩම් හිමියන්ගේ යැපුම් අවශ්‍යතා සඳහා වගා කරන ඉඩම් වීමත් වැදගත් කරුණු වේ. එවැනි කුඹුරු ඉඩම් අසාර්ථක වීම නිසා ඇති වන මූලික ගැටලුවක් වන්නේ, ඔවුන්ගේ ආහාර සුරක්ෂිතතාවට බලපෑමක් ඇති වීමයි. වී හැරුණුවිට වෙනත් භෝග වගා කිරීම සඳහා ද ලවණතාව බලපාන බැවින් එය විසඳුමක් වන්නේ නැත. එමෙන්ම දිගින් දිගටම වගාව අසාර්ථක වුවහොත් මේ ගොවීහු විකල්ප රැකියා අවස්ථා හොයා සිය ගම්මානයෙන් බැහැර වීම දැකිය හැකිය. එය සමාජීය හා පවුලේ ගැටලු ඇති වීමට ද හේතු වේ. ඇතැම් ප්‍රදේශවල මේ ජනතාව පදිංචි වී අත්තේ වෙනත් ස්ථානවලින් අවතැන් වූවන් ලෙස වීම මේ තත්ත්වය තවත් තීව්‍ර කරයි. එබැවින් ඔවුන්ගේ මෙන්ම රටේ ආහාර සුරක්ෂිතතාව සඳහා ලවණතාවට විසඳුම් සැපයීමට මෙන්ම අඛණ්ඩව අවධානය යොමු කිරීමට ද රජයට වගකීමක් ඇත.



විශේෂ ස්තුතිය - බතලගොඩ වී පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක, විශ්‍රාමික ජ්‍යේෂ්ඨ පර්යේෂණ නිලධාරී පී. වී. හේමචන්ද්‍ර, පාරම්පරික වී හා කාබනික ගොවිතැන පිළිබඳ ක්‍රියාකාරීන් වන හේමන්ත අබේවර්ධන හා ධම්මිකා ප්‍රියදර්ශනී (කොට්ටුකච්චිය) යන මහත්ම මහත්මීන්ට.

මෙම ලිපියේ වාර්තාකරණය Internews’ Earth Journalism Network ජාලයේ අනුග්‍රහයෙනි.

ඡායාරූප - දිලුප් චන්ද්‍රනිමල්

Wednesday, January 26, 2022

පසුතැවුම (?)

කළත් මම බොහෝ දේ
එහැම ‌කටයුතු මට නොවේ...
නොයෙක් දේ කළෙම් මම
සමාජයට ද අනුනට ද
කාලය ශ්‍රමය වැයකර!

මගෙම වැඩ රැසක් ඇත
මගහැරී - නොකෙරී!
කෙටි සටහන්ව නතරව
ලැප් එකේ ගොනුවක...
සටහන් ‌පොතක පිටු අතර...
ඉදිරියට නොගොසින්!

නැවතී හැරී බැලුවෙමි
කාලය ගතව ඇත...
ඉතිරි කාලය කෙතෙක් වෙද
නොදනිමි මම...
විමසමි මම මගෙන් ම
ගමන වෙනස් කළ යුතු
කාලය එළැඹ ඇත්තෙද?


ධනේෂ් විසුම්පෙරුම


26.01.2022

Saturday, January 22, 2022

හැමවෙලේම පෝන් එකේ...?

 හැමවෙලේම පෝන් එකේ...?

මාව දකින අයටත් එහෙම හිතෙනවා ඇති. ඔව්. මම සෑහෙන පෝන් එකේ ඉන්නවා. පුද්ගලයින් වගේම ගෘප් එක්කත් පණිවුඩ හුවමාරු කරනවා. හැබැයි ඒ වගේම පෝන් එකෙන් වැඩත් කරනවා.
අද උදේ 8.30 හා 9.30 අතර බස් එකේදි මම හිටියෙ පෝන් එකේමයි. මම නිව්ස් කීපයක් බැලුවා. FB පෝස්ට් දෙකක් දැම්මා. යාලුවෙක්ගේ පර්යේෂණ වාර්තාවක් කියවන්න ගත්තා - අදහස් දෙන්න. ආ තව චැට් කළත් ටිකක්... Insta ගිහින් හාස්යයත් වින්දා. (ගියේ ගමනාන්තය වන හෝමාගමට යන බස් එකක නිසා බයකුත් නෑනේ)
මට එහෙම ලියන්න හිතුනේ පස්සේ අහපු කතාවක් නිසා. මෙන්න මේව...
> අද පරම්පරාව ඉන්නේ පෝන් එකේමලු.
> කාලය කනවලු.
> ජීවිතේ රස විඳින්නේ නෑලු.
ඒත් පෝන් එකේ ඉන්න පමණින්ම ඒ අය ගේම්වල හෝ චැට්වල කාලය කනවා නොවන්න පුළුවන්. ඒ වගේම පෝන් එකෙන් යමක් කියවනවා හෝ වැඩ කරනවා වෙන්නත් පුළුවන්. අර විදියට කාලය නාස්ති කරන අයත් ඇති... ඒ අයට ඒකෙන් කරන්න පුළුවන් දේ කියා දෙන්න.
මේක ලියන්නේ ඒ උදේ ගිය පොත් එළිදැක්වීමේ ඉදල ආපහු එන ගමන්. දැන් පන්නිපිටියේ. මගේ අතේ තියෙන්නේ නම් අනිත් පෝන් එක. පොටෝ එක ගන්නේ ස්මාට් එකෙන් නේ.

ධනේෂ් විසුම්පෙරුම

22.01.2022

Wednesday, January 19, 2022

බලශක්ති විවිධාංගීකරණය

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 19.01.2022, පි. 11 (Vidusara)

http://www.vidusara.com/2022/01/19/feature3.html

පසුගිය දිනයක විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරියෙකු ජනමාධ්‍යයක් සමඟ සංවාදයකට එක්වෙමින් විදුලි උඳුන් භාවිතයෙන් ආහාර සකස් කරන පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා තිබුණේ රාත්‍රී ආහාරවේල සවස 6ට පෙර පිළියෙළ කරන ලෙසයි. සවස හයෙන් පසුව සිදුවන විදුලි කප්පාදුව එමගින් අවම කරගත හැකි බව දක්වා තිබිණි.

කෙසේ වෙතත් මේ පණිවුඩය අපේ සමාජයේ සැලකිය යුතු පිරිසක් හරිහැටි ග්‍රහණය කරගත් බවක් දැකිය නොහැකිය. ඇතැම් පිරිස් ඒ අදහස සමහරු විවේචනයට ලක් කර තිබිණි. රැකියාවල නියැලෙන පිරිස් වෙසෙන නිවාසවල එසේ කරන්නේ කෙසේද යන්න සමහරුන්ට ගැටලුවක් වී තිබිණි. එහෙත් එසේ නොවන අයට පවා මේ ඉල්ලීම පිළිබඳව ගැටලු තිබූ බව පැහැදිලි විය.

මේ පිළිබඳ වැදගත්ම කරුණ වන්නේ එවැනි ඉල්ලීමක් විදුලිබල මණ්ඩලයේ නිලධාරින් විසින් සිදුකරන ලද්දේ කුමක් නිසාද යන්න නිසාය. ඔවුන් එසේ කියන්නේ අපේ රටේ විදුලි ඉල්ලීම දවස තුළ වෙනස් වන ආකාරය සලකා බලාය. අපේක්ෂා කළ හැකි ආකාරයටම රටේ විදුලි ඉල්ලුම වැඩිම වන්නේ සවස 6 හා 10 අතර කාලයේ දී ය. ඒ අවස්ථාවේ රට පුරාම නිවාසවල විදුලි ආලෝකය, රූපවාහිනී භාවිතය ආදිය ඉහළ යයි. එබැවින් ඒ කාලයේ දී අධික විදුලියක් වැය වන හා වෙනත් අවස්ථාවල දී සිදු කළ හැකි කටයුතුවලින් ඈත් වී සිටීමට පාරිභෝගිකයාට ද හැකිය. ඉවුම් පිහුම් හා රෙදි මැදීම වැනි කටයුතු, එසේ වැලකී සිටිය හැකි අධික විදුලියක් වැයවන කටයුතු අතර වේ. පාරිභෝගිකයන් ඒ පිළිබඳ සැලකිල්ලක් දක්වන්නේ නම්, ජනනය කළ යුතු විදුලිබලය අඩු වන බව පැහැදිලිය. එමගින් ඒ් කාලසීමාවේදී රටේ විදුලි ඉල්ලුම හා සැපයුම තුලනය කළ හැකිවේ.

මේ දිනවල ගැටලුව උග්‍ර වී ඇත්තේ ඇතැම් බලාගාර ඉන්ධන නැතිව ක්‍රියාකරවිය නොහැකිව ඇති නිසාය. මේ හේතුව නිසා රටේ සමහර පැතිවල වැඩිම විදුලිය ඉල්ලුම ඇති කාලය තුළ කෙටි කාලසීමාවල විදුලිය කප්පාදු කිරීමට පියවර ගෙන තිබිණි. ඒ ලබාදිය හැකි විදුලි සැපයුම මගින් රටේ ඉල්ලුම තුලනය කිරීමට අපහසු වන අවස්ථාවල දී ය. මෙරට විදුලි සැපයුමෙන් සැලකිය යුතු දායකත්වයක් සපයන නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය අක්‍රිය වූ අවස්ථාවල දී ද මෙවැනි තත්ත්ව අපි දුටුවෙමු.

ඉහත දැක්වූ විදුලිය අධික ලෙස භාවිත වන ක්‍රියාකාරකම් වන්නේ ඉවුම් පිහුම් කටයුතු, ජලය උණුකිරීම, රෙදි මැදීම ආදි කටයුතුය. විදුලිබලය සම්බන්ධ කටයුතු කරන බලධාරීන් ‌තිරසර ආකාරයෙන් විදුලිය පරිභෝජනය කිරීම පිළිබඳව ජනතාව දැනුම්වත් කරන්නේ කලක පටන්ය. එහෙත් පෙර කී ඇතැම් අදහස් පිළිබඳව විමසිලිමත්ව බැලූ විට අපට පෙනී යන්නේ සබුද්ධිකව හා තිරසර ආකාරයෙන් බලශක්තිය භාවිතය ගැන ප්‍රාමාණික අවබෝධයක් බොහෝ දෙනාට නොමැති බවයි. ‘මයි කාර් - මයි පැට්රෝල්’ යනුවෙන් ප්‍රකට න්‍යාය හැම තැනකටම නොගැලපේ. අප හැමගේම ක්‍රියාකාරකම්වල දී සමස්තයක් ලෙස රට හා සම්පත් පිළිබඳ වගකීමක් තිබේ. ඉහත කී ඉල්ලීම මගින් විදුලිබල බලධාරීන් පෙන්වා දුන්නේ ඒ් කරුණය.

මේ සියලු කරුණු අනුව අපේ සම්පත් තිරසර ලෙස භාවිතය මෙන්ම තිරසරභාවය ගැන අවබෝධය සන්නිවේදනය කිරීම ද තවමත් අභියෝගයක් බව අපට සිතේ.


ඉන්ධන පිළිබඳ අර්බුදය


විදුලි බලයෙන් ඉවීම ගැන යළිත් අවධාන වූයේ බලශක්තිය පිළිබඳ තවත් ගැටලුවක් නිසාය. ඒ ද්‍රව පෙට්‍රෝලියම් වායු හෙවත් ගෑස් භාවිතය සම්බන්ධව ඇතිවූ අවිනිශ්චිත තත්ත්වයයි. ගෑස් සංයුතිය පිළිබඳව ඇති වු ගැටලුවක් නිසා වාර්තා වූ අනතුරුදායක සිදුවීමි මේ සඳහා හේතු විය. එසේම ඒ හා ඇතිවූ ගෑස් හිඟය හේතුවෙන්, ආහාර සැකසීම සඳහා විකල්ප ඉන්ධනවලට යොමුවීම ගෑස් පාරිභෝගිකයන් යොමු විය. මේවා අතර විදුලිය උඳුන්, භූමිතෙල් උඳුන් හා දියුණු කළ දර උඳුන් ආදිය වේ.

මෙරට නිවාසවලින් 78.5%ක් පමණ ඉවුම් පිහුම් සඳහා දර යොදාගන්නා බව සුනිත්‍ය බලශක්ති අධිකාරියේ වෙබ් අඩවිය පෙන්වා දෙයි. එහෙත් ඒ වැඩි වශයෙන් අර්ධ නාගරික හා ග්‍රාමීය නිවාසවල විය යුතුය. නාගරික සමාජයේ වැඩි වශයෙන් භාවිත වන්නේ ගෑස් හා විදුලියයි. ගෑස් නොමැති තත්ත්වයක් තුළ නාගරික ජනතාව වැඩි වශයෙන් යොමු වී ඇත්තේ විදුලිය හා භූමිතෙල් භාවිතයට බව පෙනේ. භූමිතෙල් ලිප්වල මිල ද දෙතුන් ගුණයකින් ඉහළගොස් ඇත. එසේම දියුණු කළ වඩා කාර්යක්ෂම වූ දර ලිප්වල මිල ද ඉහළ ගොස් ඇත. එමෙන්ම නාගරික හා අර්ධනාගරික ප්‍රදේශවල නගරයේ දී දැන් දර මිටියක් රු. 80කට අධිකය. මෙසේ ලිප් හා දර සඳහා ඇති ඉල්ලුම තරමට සැපයුම ප්‍රමාණවත් නොවීම නිසා මිල ඉහළ ගොස් ඇති බවක් පෙනේ.

එක් බලශක්ති ප්‍රභවයක් මත පමණක් යැපෙන විට මේ තත්ත්වය ඇති වේ. එය විදුලි ජනනය මෙන්ම ගෘහස්ත බලශක්ති පරිභෝජනයේ ද එක හා සමානය.


බලශක්ති විවිධාංගීකරණය


එක් බලශක්ති ප්‍රභවයක් හෝ සැපයුම්කරුවෙකු මත යැපීම වෙනුවට විවිධ බලශක්ති ප්‍රභව, සැපයුම්කරුවන් හා සම්ප්‍රේෂණ මාර්ග භාවිත කිරීම බලශක්ති විවිධාංගීකරණය වේ. මෙය කිසියම් රටක බලශක්ති සැපයුම ස්ථාවරව පවත්වාගැනීමට හෙවත් බලශක්ති සුරක්ෂිතතාවයට උපකාරී වන්නකි. එක් බලශක්ති ප්‍රභවයක් මත රැඳී සිටීමෙන් යම් ආකාරයකින් ඒ බලශක්ති ප්‍රභවය හිඟ වීම, සැපයුම බිඳවැටීම හෝ මිල ඉහළ යෑම වැනි තත්ත්වයක් ඇති වුවහොත් රටක බලශක්ති සැපයුම බැඳ වැටීමට හැකිය. මේ තත්ත්වය වළක්වාගැනීමට නම් විවිධ බලශක්ති ප්‍රභව වෙත යොමුවීම වැදගත්ය.

සංකල්පයක් ලෙස මෙය රටක් ලෙස මෙන්ම ගෘහස්ථව වැදගත් බව පැහැදිලිය. ඒ බව පැහැදිලි වූයේ පසුගිය කාලයේ දී ඇති වූ ගෑස් හිගය නිසා ජනතාව ගෑස් පෝලිම්වල බලා සිටින දකින විටය. ගෑස් මගින් පමණක් නිවසේ බලශක්ති අවශ්‍යතා සපයා ගැනීමට පුරුදු වී සිටි ජනතාවට වෙනත් විකල්ප බලශක්ති ප්‍රභවයක් නැති බවක් පෙනිණි. එහෙත් මෙහි දී ජනතාවගෙන් පිරිසක් විකල්ප ඉන්ධන වෙත යොමු වී ඇති බව ඉහත දැක්විය. ඒ අතර, ඉන්ධන දර හා භූමිතෙල් වැදගත්ය.

මෙවැනි පරිවර්තනයක් මෑත කාලයේ දී කර්මාන්ත ක්ෂේත්‍රයේ සිදු වූ ආකාරය නිරීක්ෂණය කළ හැකිය. ඒ බොයිලේරු භාවිත කරන කර්මාන්තවලය. මේ බොයිලේරුවල ඉන්ධන ලෙස භාවිත වන්නේ මූලික වශයෙන් ඩීසල් හා පොසිල ඉන්ධනය. එහෙත් ඒ වෙනුවට දැව ඉන්ධන යොදාගැනීම සඳහා වූ ප්‍රවණතාවයක් මෑත කාලයේ දී හඳුනාගැත හැකිය. එයට බලපා ඇති එක්හේතුවක් වන්නේ දර සාපේක්ෂව ලාබදායක ඉන්ධනයක් වීමය. එමෙන්ම පොසිල ඉන්ධන වෙනුවට දර වැනි ජෛව ස්කන්ධ බලශක්ති ප්‍රභව භාවිතය නිසා සාපේක්ෂව පිරිසිදු බලශක්තිය වෙත යොමු වීමකි. එසේම ඒය පුනර්ජනනය කළ හැකි බලශක්තියක් ද වේ. එමගින් අදාළ කර්මාන්තයට ද හරිත ලකුණක් ලැබෙන අතර විමෝචන අඩුවීමක් ද සිදු වේ. මේ නිසා කර්මාන්ත අංශයේ මෙවැනි පිරිසිදු හරිත බලශක්තිය ප්‍රවර්ධනය කිරීමට පිවිතුරු නිෂ්පාදන ජාතික මධ්‍ය්ථානය වැනි ආයතන කටයුතු කර තිබේ. අනෙක් අතට දිවාකාලයේ දී විදුලිය භාවිත කරන ආයතන ගණනාවක් සූර්ය බලයෙන් විදුලිය ලබාගැනීමට යොමු වී තිබීම ද දැකිය හැකිය.

පෙර සඳහන් කළ ආකාරයට නාගරික ප්‍රදේශවල දර ඉන්ධන වෙනුවට ගෑස් භාවිතය ඉහළ ගොස් ඇත. දර හා භූමිතෙල් භාවිතවට සාපේක්ෂව ගෑස් භාවිතයේ ඇති පහසුව මෙන්ම, විදුලිබලයට වඩා සාපේක්ෂව ලාබදායක වීම ඊට හේතුවයි. මේ නිසා ගෙවත්තේ ඉවතලන දැව හා පොල්කටු ආදිය ඉවත දැමීම සිදුවිය. නිවෙස්වල ඉදිකර තිබූ තිබූ පෝරණු ඉවත් කරන ලදි.

කෙසේ වෙතත් ගෑස් භාවිතයේ ඇති තවත් වාසියක් වන්නේ සෞඛ්‍යමය වශයෙන් යම් බලපෑමක් තිබීමයි. දර හා භූමිතෙල්වලට වඩා ගෑස් භාවිතය ගෘහස්ථ වායු දූෂණය අඩු කිරීම සම්බන්ධව වැදගත්ය. වෙනත් ආකාරයකට පවසන්නේ නම් ප්‍රමාණවත් වාතාශ්‍රයක් නොමැති ස්ථානවල දර හා භූමිතෙල් වැනි ඉන්ධන භාවිත කිරීම සෞඛ්‍යයට බලපෑමක් කළ හැකිය. මේ පිරිසිදු බලශක්තිය භාවිතය බොහෝ රටවල් උනන්දු වී ඇති අතර, දර භාවිතයෙන් ඈත් විය නොහැකි අවස්ථාවලදී කාර්යක්ෂම වැඩි දියුණු කළ උඳුන් ආදිය හඳුනවා දීම ද මෙහි දී සිදුකර ඇත.


තිරසර බලශක්තිය


තිරසර බලශක්ති භාවිතයක් රටකට බෙහෙවින් වැදගත්ය. පාරිසරික වශයෙන් තිරසර වීම මේ අතරින් පළමුවැන්නය. එහි දී හරිතාගාර වායු විමෝචන අඩු වීම, විෂ සහිත අපද්‍රව්‍ය ජනනය අවම වීම වැනි කරුණු වැදගත්ය. දෙවැනි වැදගත් කරුණ යන්නේ සමාජ තිරසරභාවයයි. ඊට අයත් වන්නේ ජනතාවගේ දරිද්‍රතාවය අවම කිරීම, ජීවන තත්ත්වය දියුණු කිරීම මෙන්ම බලශක්ති සුරක්ෂිතතාවය වැනි කරුණුය. මෙහි දී බලශක්ති ප්‍රභවවල මිල දරිද්‍රතාවයට බලපාන අතර, ජීවත තත්ත්වය දියුණු කිරීමේ දී බලශක්තියේ ගුණාත්මක බව හා සොඛ්‍යයට ඇති විය හැකි බලපෑම වැදගත්ය. බලශක්ති සුරක්ෂිතතාවය ද ඒ ආකාරයෙන්ම වැදගත්ය. තුන්වන කරුණ වන ආර්ථික තිරසරභාවය ජාතික මට්ටමේ දී මෙන්ම ගෘහස්ථ මට්ටමේ දී ද වැදගත් වේ. රටක බලශක්ති සැපයුම ඒ රටේ ආර්ථිකයට දරාගත හැකි මට්ටමක එකක් විය යුතුය. අපේ රටේ විදුලි සැපයුමෙන් වැඩි ප්‍රමාණයක් දිගුකාලයක් තිස්සේ සපයන ලද්දේ ජලවිදුලි බලයෙනි. එය ලාබදායක විය. ඒ කාලයේ දී ඇතැම් දේශපාලනඥයන් ප්‍රකාශ කර තිබුනේ ඉන්දියාවටත් විදුලිය දිය හැකි බවයි. එහෙත් රටේ විදුලි ඉල්ලුම ඉහළ යෑමත් සමඟ දැන් රටේ විදුලි අර්බුදයක් කලින් කල ඇති වේ. අද වන විට අපේ රටේ දැන් විදුලි සැපයුමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සැපයෙන්නේ ගල්අඟුරුවලිනි. එය වැදගත් වන්නේ ගල්අඟුරු තවමත් ලාබදායක ඉන්ධනයක් වන නිසාය. එහෙත් එය පාරිසරික වශයෙන් බලපෑම් කරන්නම් වන බැවින් වර්තමාන ලෝකය ගල්අඟුරුවලින් ඈත්වීමට සුදානම් වෙමින් තිබේ.