ධනේෂ් විසුම්පෙරුම
දේශය, 28.11.2021, පි.19
“ආරේයැස් ලයිබ්‍රරියේ
දූලි වැකුණු මේසය ළඟ
අද මම ලිපියක් කියවමි
ඔබේ පොතක් පෙරලාගෙන.
සෙමෙන් සෙමෙන් ඔබ එයි
පියගැට නැග.
නටබුන් මැද
නටබුන් වූ ප්‍රතිමාවක් සේ
මේසය එහා කොනේ
මා අසලම හිඳගෙන නිශ්ශබ්දව
ඔබත් පොතක් කියවන්නට පටන් ගනී.”
(මහගම සේකර, බෝඩිම, 1970)
කීර්තිමත් පුරාවිද්‍යාඥයෙකු වන මහාචාර්ය සෙනරත් පරණවිතානයන් පිළිබඳව මහගම සේකර විසින් රචනා කරන ලද ‘පරණවිතාන’ නම් වූ ඉහත කවි පංතියේ සඳහන් ‘ආරේයැස් ලයිබ්‍රරිය’ කුමක්දැයි ඔබ දන්නවාද? ඒ අද ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සමිතිය (RASSL) නමින් හඳුන්වන, 1845 වර්ෂයේ දී එවක මෙරට පාලනය කළ බ්‍රිතාන්‍ය උගතුන් හා නිලධාරීන් පිරිසක් විසින් ආරම්භ කරන ලද පැරණිතම ශාස්‍ත්‍රීය සමිතියයි.
වසර 176ක් වැනි දිගුකාලයක් දෙස්-විදෙස් විද්වතුන් විසින් අපේ රටේ උරුමය පිළිබඳව ජාතිය දැනුම්වත් කිරීමට, ඒ පිළිබඳ පර්යේෂණ හා සාකච්ඡා කිරීමට විද්වතුන්ට මූලස්ථානය වූයේ රාජකීය ආසියාතික සමිතියයි. දැනුම ගවේෂණය කරන විද්වතුන්ට හා විද්‍යාර්ථීන්ට දැනුම සපයන සැඟවුණු දැනුම සපයන මෙරට පැරණිතම පුස්තකාලයක් සමිතිය සතුය. එසේම අපේ උරුමයේ විවිධ පැතිකඩ ඔස්සේ දේශන, සාකච්ඡා හා සම්මන්ත්‍රණ පැවැත්විම සමිතියේ තවත් කාර්යයකි. සමිතිය ආරම්භයේ සිටම පළ කරන සමිතියේ ශාස්‍ත්‍රීය සඟරාව රටේ අනාගත පරම්පරාවට මෙන්ම ලෝකයටම මේ දැනුම සම්ප්‍රේෂණය කරයි. එසේම සුවිශේෂ මාතෘකා යටතේ අපේ උරුමය පිළිබඳ ශාස්ත්‍රීය ග්‍රන්ථ හා ග්‍රන්ථ මාලා ද කලින් කලට එළි දක්වා තිබේ.
ඉතිහාසය හා පුරාවිද්‍යාව පිළිබඳ පර්යේෂණ
සමිතියේ අරමුණු අතර, ශ්‍රී ලංකාවේ නූතන හා අතීත ජනතාවගේ ඉතිහාසය, ආගම, භාෂාව, සාහිත්‍යය, කලාව, විද්‍යාව හා සමාජ තත්ත්වය පිළිබඳව අධ්‍යයන ප්‍රවර්ධනය කිරීම මූලික වේ. අද වන විට සමාජීය සහ මානව විද්‍යාවන් පිළිබඳ අවධානය වඩාත් ඉහළ ගොස් තිබේ. ඉතිහාසය හා පුරාවිද්‍යාව මේ අතර විශේෂිතය.
රාජකීය ආසියාතික සමිතිය ආරම්භයේ සිට අද දක්වාම උක්ත විෂය සම්බන්ධ බොහෝ ලිපි සමිතියෙන් පළ කරනු ලබන ශාස්‍ත්‍රීය සඟරාවේ පළ වේ. 1845 දී ලාංකීය උගතෙකු වූ සයිමන් කාසිචෙට්ටි විසින් සමිතියේ සඟරාවේ මුල්ම කලාපයට රචනා කරන ලද ‘පැරණි කාසි කිහිපයක්’ නම් ලිපිය මේ විෂයයක් ගැන සාකච්ඡා වූ පළමු ලිපිය වන අතර එතැන් සිට අද දක්වා මේ විෂයයන් හා සම්බන්ධව බොහෝ ලිපි සඟරාවේ පළ වී ඇත.
මෙරට පුරාවිද්‍යාව පිළිබඳ රාජ්‍ය මට්ටමේ ආයතනික මැදිහත් වීම්වලට පෙර 1880 දශකයේ දී සමිතිය මැදිහත් වී පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධව කටයුතු කර තිබේ. 1884 වර්ෂයේ දී එවකට සිටි ආණ්ඩුකාරවරයාගේ යෝජනාවක් අනුව අරමුදලක් පිහිටුවන ලදි. උතුරුමැද පළාතේ ඓතිහාසික නටබුන්වල පුරාවිද්‍යාත්මක අවශේෂ පරීක්ෂා කිරීම සඳහා සක්‍රියව මැදිහත් වීම එහි අරමුණ විය. අරමුදල සඳහා රුපියල් 875ක මුදලක් සාමාජිකයන්ගේ දායකත්වයෙන් එකතු වූ අතර, ඒ මුදල්වලින් මිරිසවැටියේ වාහල්කඩක කැනීම් කටයුතු සිදු කර ඇත්තේ පළාතේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ මැදිහත්වීමෙනි. සමිතියේ සාමාජිකයන් වූ මන්නාරම උප ඒජන්තවරයාට මාන්තායිහි ද, වවුනියා උප ඒජන්තවරයාට වවුනියාවේ ද කැනීම් කිරීම සඳහා සමිතියේ මූල්‍ය අනුග්‍රහය ලැබී ඇත. මේ කටයුතු සිදුවන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවීමට පෙර කාලයේ දීය.
රාජ්‍ය ආයතනික ව්‍යූහය ස්ථාපිත කිරීම
මේ කාලය තුළ මෙරට ජාතික මට්ටමේ ආයතන කීපයක් ආරම්භ කිරීමට සමිතිය නිර්දේශ කර හා මුල් වී ඇති අතර ඒ හරහා රටේ අනාගත දැක්ම සකස් කරන්නට සමිතිය දායක වී තිබේ. ජාතික කෞතුකාගාරය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ අතර වේ. එසේම තවත් අධ්‍යාපනික හා විද්‍යාත්මක ආයතන රැසක් පිහිටුවීමට සමිතිය මුල් වී ඇත.
ආරම්භයේ සිටම සමිතිය සතුව විවිධ කොතුක වස්තු එකතුව සඳහා කෞතුකාගාරයක් පිහිටුවීම පිළිබඳව සමිතියේ නියෝජිතයන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවේ ප්‍රතිඵලය වූයේ එවකට ලංකාවේ ආණ්ඩුකාර විලියම් ග්‍රෙගරි විසින් රජයේ ආයතනයක් ලෙස කොළඹ කෞතුකාගාරය පිහිටුවීමය. එය 1877 වර්ෂයේ දී විවෘත විය.
සමිතියේ පුරාවිද්‍යා කටයුතුවල අත්දැකීමත් සමඟ, පුරාවිද්‍යා නටබුන් ආරක්ෂා කිරීම සඳහා රජය මැදිහත්වීමේ අවශ්‍යතාවය පිළිබඳව සමිතිය 1889 දී පමණ රජයට දන්වා ඇත. එහි අවසන් ප්‍රතිඵලය වූයේ 1890 වර්ෂයේ අයවැයෙන් වැඩි මුදලක් පුරාවිද්‍යා කටයුතුවලට වෙන් කර වර්තමාන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරම්භ කිරීමය. එහි පළමුවැනි කොමසාරිස් තැන ලෙස පත්වූයේ රාජකීය ආසියාතික සමිතියේ ලේකම්වරයෙකු වූ එච්. සී. පී. බෙල්ය.
ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සමිතියේ කටයුතු සඳහා එකල සිටම රාජ්‍ය තන්ත්‍රයේ ඉහළම අනුග්‍රහය සමිතියට ලැබිණි. සමිතියේ අනුශාසකවරයා වූයේ රටේ ප්‍රධානියාය. ඒ අනුව ආණ්ඩුකාරවරු, අග්‍රාණ්ඩුකාරවරු හා අද වන විට ජනාධිපතිවරයා සමිතියේ අනුශාසකත්වය දරයි. සමිතිය 1992 වර්ෂයේ දී පාර්ලිමේන්තු පනතකින් සංස්ථා ගත කරන ලද අතර, සාමාජික ඡන්දයෙන් පත්වන උගත් විද්වත් පිරිසකගෙන් සමන්විත පාලක මණ්ඩලය එහි කටයුතු නියාමනය කරයි.
සමිතියේ කටයුතුවල සාර්ථකත්වය සඳහා එදා සිටම ලැබුණු රජයේ මූල්‍යමය අනුග්‍රහය වැදගත් විය. මේ රාජ්‍ය අනුග්‍රහය හා පිළිගැනීම තවදුරටත් නොඅඩුව ලැබීමෙන් අපේ ජාතික උරුමය අනාගත පරපුරට දායාද කරන්නට සමිතියට හැකි වනු ඇත.
(මේ ලිපිය සම්පාදනය කරන අවස්ථාවේ දී ලේඛකයා ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සමිතියේ පාලක මණ්ඩල සභිකයෙකුව සිටියේය.)