මේක අම්මාම කියපු අම්මාගෙ කතාවක්.
අපෙ අම්මා පවුලෙ බාලයා. ඉතින් ටිකක් හුරතලේට හා ටිකක් හිතුවක්කාරෙට තමයිලු හැදිල තියෙන්නෙ (ඔය දෙවැනි එක නම් මට තියනවා මදි නැතිවම, මොකද මං ඉතින් ඒ අම්මගෙ පුතානේ...).
ඉතින් එයා පොඩි කාලෙ කෑම කනකොට එයාට බෙදල දෙන්න ඕනැලු ඉස්සෙල්ලාම. නැත්තං කන්නෙ නෑලු. මේ එයාගෙ වයස 10-12 කාලෙ වෙන්න ඕන. ඒ කියන්නෙ 1950 දශකයෙ මුල. මේක සෑහෙන කරදරයක් උනාලු එයාගෙ අම්මට (මම දැකලවත් නැති ආච්චිට).
ඉතින් ආච්චි දවසක් මේ ගැන කියලා එයාගෙ මල්ලිට - ඒ කියන්නෙ අම්මගෙ මාමට (මං ඒ සීයාව නං දවස් කීපයක් දැක්කා අසූගණන්වලදි).
ඊට ටික දවසකට පසුව ආපු පාසල් නිවාඩුවෙ අම්මගෙ මාම, අම්මව එක්කගෙන ගියාලු එයාගෙ ගෙදරට. දැරණියගල ටවුමට ආසන්න ගමක තිබ්බ අම්මගෙ ගෙදර ඉදල හැතැප්ම කීපයක් දුරයි අර නිවසට - මේ කියන කාලෙ ඒක සෑහෙන දුරක්. වාහනත් අඩුයිනෙ. (මං ඒ ගමට ගියෙ 1980 ගණන්වල)
ඒ අම්මගෙ මාමට හිටපු ළමයි ඔක්කොම වගෙ අපෙ අම්මට වඩා බාල අය. ඉතින් එහෙ හිටපු මාසෙ පුරාම කට්ටියම කෑම කද්දි අපෙ අම්මට කෑම දුන්නෙ අන්තිමටමලු.
ඒ මාසෙ අවසන් වන විට අම්මගෙ අර "මං ෆස්ට්" අසනීපෙ හොඳ වෙලා තිබ්බලු.
අම්ම තමයි මේ කතාව රසකරල කියන්නෙ.
අපරාදෙ කියන්න බෑ මටත් ඔය ලෙඩේ තිබිල තියනව පුංචි කාලෙ. හැබැයි ඉබේම හොඳවෙලා. හැබැයි පත්තරයක් ගෙනාවොත් නම් හැමදාමත් මං බලල තමයි අනිත් අයට දුන්නෙ. ඒකට කට්ටිය කිව්වෙ "අකුරු අඩුවෙයි" කියලා මං බයේ හිටියා කියලයි.