Wednesday, June 30, 2021

ගස්ලබු ගහ දිගේ ඉස්කෝලෙන් පැනිල්ල (ඉස්කෝලෙ කතා 8)


මේක අපේ පාසලේදි 1980 ගණන්වල මුල සිදු වූ කතාවක්. මට කීවෙ ඒ කතානායකයාමයි!

ඕනම පාසලක පාසල් භුමියෙන් එළියට යන්න ක්‍රම කීපයක් තියනවනේ.  

එකක් තමයි නිසි අවසරයක් ලබාගෙන ගේට්ටුවෙන් බැහැර යෑම (ඒකට ව්‍යාජ අත්සන් දැමීම වෙනම කාරණයක්)

දෙවැන්න තමයි ගේට්ටුවෙන් නොවන ක්‍රමවලින් බැහැර යෑම (තාප්පයෙන් පැනීම, තාප්පෙ කැඩුණු තැන්වලින්, පූල් ‌ගේට්ටුවෙන් වගේ)

***

ඉතින් දවසක් මං කියන කතාවේ කතානායකයා ඔය දෙවන ක්‍රමයට පාසලෙන් එළියට යෑමට හිතුවා. (මොකටද යන්න ගියෙ කියල නං කීවෙ නෑ)

ඒකට එයා තෝරගත්තෙ විශේෂ තැනක්. අපේ පාසල අසලින් යන, පාසලේ නමින්ම තියන අතුරු පාරෙ මහ ගස් තියන නිසා මේ කියන තැන එතරම් පේන්නෙ නෑ. අනෙක මේ ස්ථානය ප්‍රධාන ගේට්ටු දෙකටත් ටිකක් ඈතයි.

හැබැයි එතන තාප්පෙ ටිකක් උසයි. ඒත් වාසනාව කියන්නෙ තාප්පෙ අයිනේ පාසල ඇතුළෙ ගස්ලබු ගහක් තිබිලා. ගහේ ආධාරයෙන් තාප්පෙ උඩට නැගලා එළියට යන්නයි තියෙන්නෙ. 

ඉතින් දවසක් මේ කියන තරුණයා ඇතුළු කීප දෙනෙක් පාසලෙන් කලින් යන්න හිතිලා ගහ අල්ලන් තාප්පෙට නැගලා අනිත් පැත්තට පැන්නලු.

පැනල පාර පැත්තට හැරුණ විතරයි එතන නියෝජ්‍ය විදුහල්පති තුමාලු! මදැයි... පුදනකොටම කාපි ....කිව්වලු.

එතුමා දුන්න දඬුවම තමයි අපූරු... 

එතුමාගෙ අණ තමයි "තමුන් ආපු විදියටම ඇතුළට යනව" කියන එක. මදැයි කළා...දැන් ඒ පැත්තෙන් ආපසු යන්න පාර පැත්තේ සපෝට් එකට ගහක් ගලක් නෑ. 

මොකක් කරන්නද ඉතින් දඬුවමක්නෙ... අපි එක්ක කියපු විදියට, අපේ කතා නායකයා එදා අත පයත් හූරගෙන තමයි ඇතුළට ගිහින් තියෙන්නේ...

පසු සටහන - අද එතුමා විශිෂ්ටයෙක්. අර විදියෙ වැඩක් කළා කියල දන්න කෙනෙක් හිතන්නෙ නෑ!

(ඡායාරූපයේ දකුණු පැත්තෙ පේන හරියෙ තමයි ේ සිදුවීම වුන බව කියන්නෙ)

Tuesday, June 22, 2021

අම්මලා දූලා කරන්න සබන්වලට බැරි උනත්... (කට කැඩිච්ච කතා 06)



සබන් කතාවක් මතක් උනා... මේක මං අහපු එකක්.

අපි අනූ ගණන්වල මුල හරියෙ වගෙ එක්තරා සුවඳ සබන් වර්ගයකට අපූරු දැන්වීමක් තිබ්බා. 

ඒ දැන්වීමෙ කියන විදියට ඒ සබන් වර්ගය පාවිච්චි කරනව නම් අම්මයි දූයි කවුද කියලා අඳුනගන්න බැරි වෙනවා... මොකද ඒ තරමට අම්මගෙ පෙනුම තරුණව තියාගන්න පුළුවන්ලු ඒ සබන් ගෑවොත්! මං හිතන්නෙ ඒ නිසා ඒ සබන් එකත් ටිකක් නැගලා ගියා. 

ඉතින් එක්තරා උසස් පෙළ පන්තියක* ඉතාම ජනප්‍රිය සර් කෙනෙක් දවසක් මේ දැන්වීම විවේචනය කළා...

"ඔය සබන් ජාති ගාල අම්මලා දූල වගෙ කරන්න පුළුවන්ද? බෑනෙ.

හැබැයි දූල අම්මල කරන්න නම් ලේසියෙන් පුළුවන්. වැඩි වෙලාවක් යන්නෙ නෑ. 

සබන් ඕනත් නෑ"

එදා ඒ පංතියෙ හිටපු දූලා ගෙදර ගිහින් අම්මලාට කීවද දන්නෙ නෑ ඒ කතාව.

* මේක උනේ විද්‍යාව පංතියක නම් නෙමෙයි.


ධනේෂ් විසුම්පෙරුම

2021.06.22

Saturday, June 19, 2021

මගේ හිසටම කඩා පාත් වූ පූසෝ...

අනාරාධිතව අපේ ගෙදර පදිංචි වී සිටින පූසන් ගැන වරින්වර මම ෆේස්බුක් පළ කිරීම් කීපයක් දැමීමි. බොහෝ දෙනා ඒවා රසවින්ද අතර දැන් ඒ පූස් කතා මගේ ඔලුවටම කඩා පාත් වන්නට ගෙන ඇත.

ඒ මෙසේය. 

ටික දවසකට පසු මට හමු වු එක් රජයේ ආයතනයක සේවය කරන යෙහෙළියක්, සිනා වී මෙසේ කීවාය.

"මට අයියව දැක්කම මතක් වෙන්නෙ අයියගෙ පූසව"

අනේ අපොයි කියා මට සිතිනි. මට වඩා පුසාව මතකයි එයාට! (ඒ කියන්නෙ පින්තූරවල වැඩියෙන් හිටපු සුදුයි තැඹිළියි දෙකම තියන පුසා - පිස්සු පූසා හෙවත් "පිපූ" හෙවත් ඇන්තනි...)


ආයෙත් දවසක ඈ මෙසේ විමසුවාය.

"අයිය රටවත් ගියාද?" 

"මොකක්?" අන්දුන් කුන්දුන් වූ මම විමසීමි. 

"ඇයි අර අයියා 'ගුවන් ගතව එමි' කියලා කියල තිබ්බෙ? මං හිතුව රටවත් ගියාද කියලා.."

එයා දැකල තියෙන්නෙ මේ පෝස්ටුව!



පූසා ගුවන්ගත වෙන හැටි ගැන කවියක් ලියූ එක එයා තේරුම්ගත් හැටි එසේය.

මං මේ තවත් පුසෝ  ගැන ලියනවාද කියලා හිතෙනවාය...


කෝකටත් පූස් ස්ක්‍රීන් ෂොට් ටික මෙතැනට එක් කරමි.

"සාලයො නැති වු දවසක මං එළියට යනකොට..."


"සාලයො ගෙදර නැතිව බිස්කට් දුන්නම..."


"මේ ඉන්නෙ වයස එක්කෙනා. හැබැයි චණ්ඩියා"


"සාලයෝ ගේනකම් බලා ඉන්න පැතුම (මේ සුදු පුසි දැන් නැහැ)"



"මං ගෙදර ආපු වෙලාවක දාපු පිළිගැනීමක්"


"මාළු නැති දුක පළ කරමින් "


"නුගසෙවනේ දී..."


"එයා එනකම් මග බලන් උන්නු හැටි..."


"සැපෙන් සනීපෙන් වාහනේ යෝග්‍ය භාවිතයක"


"Online බඩු ඇවිත් නැති ශෝකය"