ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 2020.10.28, පි. 8 (Vidusara)
http://www.vidusara.com/2020/10/28/feature3.html2020 වර්ෂය යනු සමස්ත ලෝකයටම එකසේ ගැටලු සහගත වර්ෂයකි. මේ වර්ෂයේ ලෝකය මුහුණ දී ඇති ප්‍රධානතම ගැටලුව වන්නේ නව්‍ය කොරෝනා හෙවත් COVID-19 වසංගතය බව අමුතුවෙන් කිව යුතු නැත. තවමත් පාලනය කරගත නොහැකි මේ වසංගතය නිසා ලෝක ආර්ථික ආර්ථික වර්ධනය බෙහෙවින් පහළ වැටී ඇත. මේ වර්ෂයේ ලෝකයේ දළ දේශීය නිෂ්පාදනය 5.2%ක් පමණ ප්‍රමාණයකින් පහළ යා හැකි බව පසුගිය ජුනි මාසයේදී ප්‍රකාශයට පත් ලෝක බැංකු වාර්තාවක පුරෝකථනය කර තිබිණි. ඔක්තෝබර් මාසය වන විට අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවසා ඇත්තේ මේ වසරේ දළ දේශීය නිෂ්පාදනය 4.4%කින් අඩු වනු ඇති බවයි. කුමන ආකාරයකින් ගත්තද, මෙය දශක ගණනාවක් තුළ ඇති වූ බරපතළම ආර්ථික බිඳවැටීමය. ඒ ඒ රටවල ආර්ථික වර්ධනයේ අඩුවීම එකිනෙකට වෙනස්ය. ආර්ථිකයේ වර්ධනයක් දැකිය හැක්කේ චීනය වැනි රටවල් කිහිපයක පමණකි. අනෙක් අතට බොහෝ රටවලට මේ තත්ත්වයට මුහුණ දීමට හැකියාවක් තිබේද යන්න ද ගැටලුවකි.
මේ තත්ත්වය තවත් බරපතළ කරමින් මේ වර්ෂයේ ඇති වන ස්වාභාවික ආපදා ප්‍රමාණයෙන්ම මෙන්ම හානිය අතින් ද වාර්තාගත මට්ටමකට ළඟා වෙමින් ඇත. නිදසුනක් ලෙස මේ වර්ෂයේ මුල් මාස හය ඇතුළත ලෝකයේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ ස්වාභාවික ආපදා ප්‍රමාණය 207ක් පමණ වන බව ජුලි මාසයේදී වාර්තා විය. එම ආපදා ගණන 2019 වර්ෂයේ මුල් මාස හය ඇතුළත වාර්තා වූ ආපදා ගණන වූ 163ට වඩා 27%කින් පමණ ඉහළය. එමෙන්ම මේ වර්ෂයේ ආපදා ප්‍රමාණය 21වන සියවසේ 2000-2019 දක්වා වූ කාලයේ මුල් මාස හයක කාලය ඇතුළත දී වාර්තා වූ ආපදා ගණනේ සාමාන්‍යය වූ 185ට වඩා ඉහළය. පසුගිය සැප්තැම්බර් මාසය අග වන විට මේ වර්ෂය තුළ දී ඇති වූ ස්වාභාවික ආපදා ගණන 361ක් දක්වා ඉහළ ගොස් තිබිණි.
එමෙන්ම මේ මාස හයක කාලය ඇතුළත ඇති වූ ස්වාභාවික ආපදා නිසා සිදු වූ දේපොළ හානිය වෙනත් වසරවල තරමටම ඉහළ වීමයි. එය ඩොලර් බිලියන 75ක් පමණ වන බව පසුගිය ජුලි මාසයේ ප්‍රකාශයට පත් වූ වාර්තාවක සඳහන් වෙයි. මේ අගය වෙනස් වූවද, 1980-2019 අතර කාලයේදී සිදු වූ ස්වාභාවික ආපදාවල වාර්ෂික හානියේ සාමාන්‍ය අගය ඩොලර් බිලියන 78ක් වීම නිසා මේ වර්ෂයේ ආපදාවල හානිය වාර්තාගත මට්ටමකට පැමිණිය හැකි බව දක්වා තිබෙයි.
මේ අතර ලෝකයේ සිදුවන ස්වාභාවික ආපදා අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් කාලගුණය හා සම්බන්ධ ආපදා වීම විශේෂය. මේ වර්ෂයේ මුල් භාගයේ ඇති වූ ආපදා අතරින් 191ක් හෙවත් 92% තරම් ආපදා කාලගුණය සම්බන්ධ ඒවා විය. ඒ අතර, සුළි කුණාටු, ගංවතුර, නියඟය, ආන්තික කාලගුණ තත්ත්ව වැනි ආපදා ඇතුළත් වෙයි.
මේ වර්ෂයේ දී ඉහළ ගිය ආපදා
මේ වර්ෂයේ ඇති වූ අපදා අතර කැපී පෙනෙන ආපදා වන්නේ නිවර්තන සුළි කුණාටු හා ලැව් ගිනි ආදියයි. නිවර්තන සුළිකුණාටු ඇති වීම පසුගිය කාලයේ දැකිය හැකි වූ අතර ඒ නිසා සිදුව ඇති හානිය වඩාත් දැකිය හැක්කේ වෙරළබඩ කලාපයේය. ඇමරිකාවට විශාල ලෙසින් බලපාන අත්ලාන්තික් කුණාටු සමය තවමත් ක්‍රියාත්මකය. එය අවසන් වන්නට නියමිතව ඇත්තේ නොවැම්බර් මාසය අවසානයේය. එහෙත් මේ වන විට කුණාටු 27ක් ඇති වී ඇති අතර, එය 2005 ඇති වූ කුණාටු ගණන හා සමාන වේ. මේ වර්ෂයේ කුණාටු සමයේදී තවත් එක් කුණාටුවක් ඇති වුවහොත් නම් කරන ලද කුණාටු ගණනට හිමි වාර්තාව 2020 වර්ෂයේ කුණාටු සමයේ සිදුවනු ඇත. මේ අතර සැඩකුණාටු (hurricane)10ක් හා දැඩි සැඩ කුණාටු (major hurricane) ගණයට වැටෙන කුණාටු 4ක් තිබෙයි. (කුණාටු නම් කරනු ලබන්නේ නිවර්තන කුණාටුවක ශක්තිය ලබා ගන්නා කුණාටුවක තත්ත්වයකට පැමිණි විටය. එනම් පැයට සැතපුම් 39-73 අතර ප්‍රමාණයකට පැමිණි විටය.) මේ කුණාටු නිසා ඇමරිකානු ඩොලර් බිලියන 27ක පමණ හානියක් සිදු වී තිබෙයි.
එසේම නිවර්තන සුළි කුණාටු නිසා ඇති වූ ආර්ථික හානිය 2000-2019 අතර කාලයේ ඇති වු හානියට වඩා 270%ක් පමණ ඉහළ බව තවත් වාර්තාවක සඳහන් වෙයි. බෙංගාල බොක්කේ ඇති වූ වාර්තාගත කුණාටු අතරින් ප්‍රබලම කුණාටුවක් සේ සැලකෙන, පසුගිය මැයි මාසයේ ඇති වූ අම්පන් කුණාටුව නිසා ඩොලර් බිලියන 13.6ක පමණ ආර්ථික හානියක් ඇති වූ බව ගණන් බලා ඇත. එය ඉන්දීය සාගරයේ උතුරුදිග ප්‍රදේශයට වැඩිම ආර්ථික හානියක් සිදු කළ සුළි කුණාටුව සේ සැලකෙයි. මෙය ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශයට හා බංගලාදේශයට බරපතළ හානි සිදුකර ඇත (මෙහි බලපෑම නිසා ඇති වූ වර්ෂාව ලංකාවේ ගංවතුර හා නායයෑම් ඇති කිරීමට සමත් විය). ඇමරිකාවේ ඇති වූ කුණාටුවලින් සිදු වූ ආර්ථික හානියට වඩා වැඩි විනාශයක් ඉන්දියාවේ හා චීනයේ ඇති වූ කුණාටු නිසා සිදු වී තිබෙයි.
මේ අතර ඇමරිකානු ඇති වූ ලැව් ගිනි නිසා ද බරපතළ තත්ත්වයක් ඇති විය. කැලිෆෝනියා ප්‍රාන්තයේ මේ වර්ෂයේ ලැව් ගිනි නිසා විනාශ වී ඇති වනාන්තර ප්‍රමාණය අක්කර මිලියන 4කට අධිකය. මීට ඉහත වාර්තා වී තිබූ වැඩිම ලැව් ගිනි වනාන්තර ගිනි නිසා විනාශ වූ වනාන්තර ප්‍රමාණය අක්කර මිලියන 2ක් පමණය. මෙවර විනාශයට පත් වනාන්තර ප්‍රමාණය එමෙන් දෙගුණයක් පමණ වෙයි.
ආපදා හානිය ඉහළ නංවන මානව කටයුතු
විවිධ ස්වාභාවික ආපදා නිසා සිදුවන හානියේ තරම ඉහළ යෑම සඳහා මානව කටයුතු ද බෙහෙවින් බලපායි. ආපදා අවදානම සහිත ප්‍රදේශවල මිනිස් ජනාවාස දුලභ වීම නිසා ආපදා නිසා සිදුවන හානිය ඉහළ යෑම සඳහා එක් හේතුවකි. නිදසුනක් ලෙස ගතහොත්, කුණාටුවලට ලක් වීමේ අවදානම සහිත වෙරළ තීරවල ජනාවාස වර්ධනය වීම නිසා කුණාටු වැනි ආපදාවලින් සිදුවන දේපොළ මෙන්ම ජීවිත හානිය ද ඉහළ යයි. අවාසනාවකට මෙන් ලෝකයේ මෙවැනි ප්‍රදේශවල මානව ජනාවාස විශාල ලෙස පිහිටා තිබෙයි.
එසේම ලැව් ගිනි ඇතිවීමේ අවදානම වැඩි ප්‍රදේශවල පිහිටා ඇති මානව ජනාවාස වර්ධනය වීම නිසා ද දේපොළ හා ජීවිතවලට සිදුවන හානිය ද ඉහළ යයි. මේ තත්ත්වය මෑත කාලයේදී ඇමරිකාවේ සිදුව තිබේ. නාගරික ප්‍රදේශවලින් ඈත්ව ජනාවාස හා වනාන්තර අතර සීමාවේ පිහිටා ඇති ප්‍රදේශවල වාසය කිරීමට කැමැත්ත දක්වන පිරිස් ඉහළ ගොස් ඇත. එවැනි ජනාවාස තුන්ගුණයකින් පමණ ඉහළ ගොස් තිබෙයි.
ආපදා සඳහා බලපාන තවත් මානව ක්‍රියාකාරකමක් ලෙස දේශගුණ වෙනස් වීම දැක්විය හැකිය. මානව කටයුතු නිසා ඉහළ ගිය හරිතාගාර වායු විමෝචනවල දායකත්වය නිසා ස්වාභාවික ආපදාවලට යම් බලපෑමක් සිදුවන්නේය යන්න මේ වන විට පුළුල් ලෙස පිළිගැනෙන කරුණකි. ලැව් ගිනි ඇති වීම සඳහා සුදුසු කාලගුණ තත්ත්ව ඇති වන වාර ගණන ඉහළ නැංවීමට මෙන්ම, එවැනි තත්ත්ව ඇති වන වාරගණන ඉහළ නංවීමටත් දේශගුණ වෙනස් වීම බලපායි. උණුසුම් කාලගුණයක් පැවතීම නිසා වියැළී යන තණ හා වෙනත් දහනය වන ජෛව ස්කන්ධය ලැව් ගිනි ඇති වීම සඳහා හේතු වෙයි. එසේම ඉහළ යන මුහුදු මට්ටම හා අධික වර්ෂාපතනය යනු කුණාටු අවස්ථාවල හා ඒ නිසා ඇති වන ගංවතුර ආපදා සඳහා බලපාන හේතුවකි. කුණාටුවල තීව්‍රතාවය ඉහළ නැංවීමට දේශගුණ වෙනස් වීම දායක වන බව ද පැහැදිලි කරුණකි.