Friday, September 25, 2020

‘ග්‍රේටා තුන්බර්ග් සාධකය’

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.09.02, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2020/09/02/feature1.html





පසුගිය දෙවසරක පමණ කාලයේ දී ලෝකයේ පරිසර හා සම්බන්ධව ග්‍රේටා තුන්බර්ග් ගැන කතා නොකළ ප්‍රධාන පෙළේ ජනමාධ්‍යයක් නොමැති තරම්ය. ස්වීඩනයේ ජීවත් වූ පහළොස් හැවිරිදි පාසල් දැරියක වූ ඈ උපතින් වර්ධනය හා සම්බන්ධ ගැටලුවකින් ද යුක්ත වූ තරුණියක විය. දේශගුණ වෙනස් වීම සම්බන්ධව එරට ගෙන තිබූ පියවර ප්‍රමාණවත් නොවන බව හඳුනාගත් ඈ ඒ සම්බන්ධව ක්‍රියාකාරී වීම සඳහා අලුත් මගක් ගත්තාය. ඇය මුලින්ම ප්‍රකට වූයේ සිකුරාදා දිනවල දී පාසල වර්ජනය කරමින් එරට පාර්ලිමේන්තුව අසළ තනිවම සිදු කළ උද්ඝෝෂණයත් සමගිනි. ඒ 2018 වර්ෂයේ අගෝස්තු මාසයේදීය. මේ පාසල් වර්ජනය හා ඒ සමඟාමීව ආරම්භ වූ උද්ඝෝෂණ මාලාව කෙටි කාලයක් ඇතුළත ලෝකයේ බොහෝ රටවල්වලට ව්‍යාප්ත විය. 2019 මාර්තු 15 දින පැවැති පාසල් වර්ජනයට රටවල් 120කට අයත් මිලියන 1.6ක පමණ සිසු පිරිසක් සම්බන්ධ වූ බවට ගණනය කර තිබෙයි. කලක් තිස්සේ අඩාල වෙමින් තිබූ පරිසර ක්‍රියාකාරිත්වයට නව පණක් ලබාදීමට මෙයින් හැකි විය.

2015 වර්ෂයේදී දේශගුණ වෙනස් වීම පාලනය කිරීම අරමුණු කරගෙන පැරිස් ගිවිසුම ඇතිකරගත් නමුත් ඒ සම්බන්ධව ලෝකයේ රටවල් ගෙන තිබූ පියවර ප්‍රමාණවත් බව කලක සිට පැහැදිලිව තිබිණි. විශේෂයෙන් ඒ ගිවිසුම යටතේ ලෝකයේ එක් එක් රටවල් ස්වේච්ඡාවෙන් සිදුකරන්නට පොරොන්දු වී තිබූ හරිතාගාර වායු සීමා කිරීම් ප්‍රමාණවත් නොවන බව පැහැදිලිව තිබිණි. එහෙත් ලෝක දේශපාලන නායකත්වය කල් මරමින් සිටියා මිස එතරම් සාධනීය පියවරක් ගැනීමට යොමු වූ බවක් ද දැකිය නොහැකි විය.

එවැනි තත්ත්වයකදී ලෝකයේ අවධානය යළිත් මේ බරපතළ ගැටලුව වෙත යොමුකරවීමට එම උද්ඝෝෂණ මාලාව මෙන්ම මේ කාලයේම ආරම්භ වූ තවත් උද්ඝෝෂණ හා සංවිධානගත කටයුතු ද මීට බලපා තිබිණි. ග්‍රේටා තුන්බර්ග් විසින් කළ පෙලඹවීම ඒ අතරින් කැපී පෙනෙන්නකි. මීට ට්විටර් හා වෙනත් සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරයක් ලැබිණි. මේ සමඟම ග්‍රේටා තුන්බර්ග් ජගත් පරිසරවේදිත්වයේ සංකේතයක් බවට පත් විය. ඇය අනාගත පරපුරේ පරිසර ක්‍රියාකාරිත්වයේ හඬ වූවාය. මේ සමඟ ඇයට ජගත් මට්ටමේ සමුළු ආදියට සම්බන්ධ වීමට මෙන්ම ඇතැම් සමුළු ආමන්ත්‍රණය කිරීමට ද හැකි විය. ඈ සිදු කළ කතා මෙන්ම පළ කළ විවිධ අදහස්වල කැපී පෙනෙන පාරිසරික පණිවුඩයක් අන්තර්ගත විය. ඒ මූලික වශයෙන් දේශගුණ වෙනස් වීම සම්බන්ධයෙනි.

ඇගේ ක්‍රියාකාරිත්වය අනුව ඇය ලෝකයට කිසියම් බලපෑමක් කළ බව පෙනෙයි. එය අද වන විට හඳුන්වනු ලබන්නේ ‘ග්‍රේටා තුන්බර්ග් සාධකය’ (Greta Thunberg Effect) හෝ ‘ග්‍රේටා සාධකය' (Greta Effect) යනුවෙනි. මුලින්ම පුවත්පත් මගින් හඳුන්වා දෙන ලද බවක් පෙනෙන මේ යෙදුම ගැන බොහෝ දේ ලියැවී ඇති අතර, ඒ සම්බන්ධව යම් යම් පර්යේෂණවල විෂය බවට ද පත්ව ඇත. මේ අනුව ඇගේ බලපෑම අංශ දෙකක් ඔස්සේ දැක්වීමට හැකි බව අපට පෙනෙයි. ඒ ව්‍යාපාර හා තනි පුද්ගලයන් පරිසරය සම්බන්ධව ගත් පියවර හා පරිසර ක්‍රියාකාරිත්වය කෙරේ ඇති කර තිබෙන බලපෑම ලෙසය.

පරිසරය සම්බන්ධව ගත් පියවර


විවිධ ව්‍යාපාර හා පුද්ගලයින් විසින් සිය කාබන් විමෝචන අවම කරගැනීම සඳහා කාබන් හිලව් කිරීමේ (carbon offsetting) ව්‍යාපෘවල සිදුකරන ආයෝජන පසුගිය කාලයේදී ඉහළ ගොස් ඇත. ඒ ආයෝජන වැඩි වශයෙන් සිදුවන්නේ දියුණු වන රටවලය. මේ ගැන කටයුතු කරන සංවිධාන පෙන්වා දෙන පරිදි, මෑත වසර එකහමාරක පමණ කාලයේදී එවැනි ආයෝජන සිව් ගුණයකින් පමණ ඉහළ ගොස්ය. ක්ලයිමේට් කෙයාර් (ClimateCare) හා ක්ලියිමේට් ස්ටුවර්ට්ස් (Climate Stewards) වැනි සමාගම් හා සංවිධාන මේ බව වාර්තා කර තිබෙයි. මේ අතර තනි තනි පුද්ගල සහභාගිත්වය වඩාත් පැහැදිලිව ඉහළ ගොස්ය.

කාබන් හිලව් කිරීමේදී සිදුවන්නේ කිසියම් ආයතනයක හෝ පුද්ගලයකුගේ කටයුතු නිසා සිදුවන කාබන් විමෝචන ප්‍රමාණයට සමාන විමෝචන ප්‍රමාණයක් පරිසරයෙන් ඉවත් කිරීමට හෝ පරිසරයට එක්වීම වැළැක්විය හැකි ව්‍යාපෘතියකට ගෙවීමක් කර කාබන් අයක් (carbon credit) මිල දී ගැනීමයි. මෙය තරමක් විවාදාත්මක වන්නේ එමගින් මුලින් පවසන තැනැත්තා තම කාබන් විමෝචනවල අඩු කිරීමක් සිදුනොකරන නිසාය. වෙනත් තැනක කාබන් විමෝචන ඉවත් කිරීමට හෝ නිකුත්වීම වැළැක්වීමට පියවරක් ගැනීම මෙහිදී සිදුවේ. මේ කාබන් වෙළෙඳාම මුළුමනින්ම පාහේ ස්චේඡාවෙන් සිදුවන මෙන්ම ස්ථිර මිලක් නියම වී නොමැති එකකි.

කාබන් හිලව් කිරීමට යොමු වීමේ දැකිය හැකි මෙම ඉහළ යෑම සඳහා හේතුවක් ලෙස ලෝකයේ දැකිය හැකි විවිධ උද්ඝෝෂණ නිසා සිදු වූ දැනුවත්භාවය හේතු වූ බව මේ සංවිධානවල අදහසයි. ඉන් එකක් වන්නේ ග්‍රේටා බලපෑමයි. එසේම මෑත දී ඇති වූ වඳවීමේ කැරැල්ල (Extinction Rebellion), පාසල් වර්ජන ආදිය ද මීට බලපා ඇති බව ඔවුන්ගේ අදහසයි. කොවිඩ් 19 මගින් ලෝකයේ කටයුතු අක්‍රිය කිරීමට පෙර පැවැති සමීක්ෂණයක දී හෙළිව තිබුණේ 2020 වර්ෂයේදී සිය පරිසර ක්‍රියාකාරකම් ඉහළ නැංවීමට විවිධ ආයතන අපේක්ෂා කරන බවයි. විශේෂයෙන් පාරිසරික ඉලක්ක අත්පත් කරගැනීම ඒ අතර වෙයි. මේ සමාගම් ප්‍රධානීන් තුළ පරිසරය හා දේශගුණ වෙනස් වීම ගැන කටයුතු කිරීමට උනන්දුවක් ඇති වීමට බලපෑමක් කළ පුද්ගල චරිතය ලෙස බොහෝ අය දක්වා ඇත්තේ ග්‍රේටා තුන්බර්ග්ගේ ක්‍රියාකාරිත්වයයි. ඒ නිසා ඔවුන් තුළ ඇති වූ පෙළඹවීමය

පරිසර ක්‍රියාකාරිත්වයට බලපෑම


මේ අතර ග්‍රේටාගේ ක්‍රියාකාරිත්වය නිසා පරිසරය සම්බන්ධය ක්‍රියාකාරී වීම ලෝකය පුරා දැකිය හැකිය. ඒ සඳහා උත්ප්‍රේරකය වී ඇත්තේ ඇයගේ ක්‍රියාකාරිත්වයයි. එවැනි නිදසුන් රැසක් පසුගිය කාලයේ පුවත්පත් හා වෙබ් මාධ්‍ය ඔස්සේ වාර්තා විය.

තරුණ ගැහැණු ළමුන් සංවිධානාත්මකව පරිසරය සම්බන්ධව ක්‍රියාකාරී වීම මෑත කාලයේ ඉහළ ගොස් ඇති බව ෆෝබ්ස් සඟරාව වාර්තා කරයි. පරිසර සටන්කාමීන් (eco-warriors) ලෙස ඔවුන් ඉදිරිපත් වීම ඉහළ යෑමට හේතුව වන්නේ ග්‍රේටාගේ බලපෑම විය හැකි බව ඒ ගැන අදහස් දක්වන අය පෙන්වා දී තිබෙයි.

එමෙන්ම මාර්ගගත () හෙවත් අන්තර්ජාලය හරහා සිදුකරන සමාජමය සක්‍රිය වීමේ ක්‍රියාකාරකම් ද ඉහළ ගොස් ඇත. තරුණ පරපුරට තොරතුරු තාක්ෂණය යොදාගන්නා ආකාරය ගැන බ්‍රිතාන්‍යයේ සිට ක්‍රියාත්මක ෆියුචර් මේකර්ස් (FutureMakers) නම් වැඩසටහනකින් පෙනීගොස් ඇත්තේ ඊට සහභාගිවන පිරිස් අතර, දේශගුණ වෙනස් වීම ගැන කටයුතු කිරීම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවයි. මේ අතර බ්‍රිතාන්‍යයේ මාධ්‍ය නියාමන ආයතනයක් වන ඔෆ්කොම් (Ofcom) ආයතනයේ සමීක්ෂණයකින් හෙළි වී ඇති පරිදි 2019 වර්ෂයේදී ළමුන් වැඩි පිරිසක් සිය සමාජමය ක්‍රියාකාරිත්වය සඳහා සමාජ මාධ්‍ය පුළුල් ලෙස යොදාගෙන ඇත. මෙය හුදෙක් පරිසරය පමණක් නොව වෙනත් කරුණු සම්බන්ධව ද දැකිය හැක්කකි.

සම්මාන හා විවේචන‌


ග්‍රේටා තුන්බර්ග් සිදු කළ කාර්යය නිසා ඇයට බොහෝ සම්මාන පවා හිමි විය. නිදසුනක් ලෙස ගතහොත්, රාජකීය ස්කොට් භූගෝලවිද්‍යා සංගමයේ (Royal Scottish Geographical Society) ගෞරවනීය අධිසාමාජිකත්වයක් (honorary fellowship) ඇයට හිමි විය. එසේම ටයිම් සඟරාවෙන් තෝරාගන්නා ලෝකයේ වඩාත් බලපෑමක් කළ හැකිපුද්ගලයින් 100 දෙනා (100 most influential people) අතරට මෙන්ම වසරේ පුද්ගලයා බවට පත් වූ ලාබාලතම පුද්ගලයා (Time Person of the Year) බවට ද පත්වීමට ඇයට හැකි විය. එසේම ෆෝබ්ස් සඟරාව විසින් නම් කළ ලෝකයේ වඩාත්ම බලවත් කාන්තාවන් 100දෙනා අතර (Forbes list of The World's 100 Most Powerful Women) ඇය සිටියි. එසේම 2019 හා 2020 නොබෙල් සාම ත්‍යාගය (Nobel Peace Prize) සඳහා යෝජනා වූ නම් අතර ඇගේ නම ද වෙයි. තවත් බොහෝ සම්මාන ද ඇය සතු විය.

කෙසේ වෙතත් ඇයට ඇතැම්විට චෝදනා ද එල්ල විය. ඒ අතර පාසල්වර්ජනය කිරීම, ඇගේ ලාබාල වයස වැනි කරුණු දැකිය හැකි විය. එසේම දේශගුණ සංශයවාදී අදහස් ඇති අයද ඇයට විවේචන එල්ල කර තිබිණි. ග්‍රේටාව විවේචනය කළ එක් ප්‍රකට චරිතයක් වූයේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය.

මෙසේ ග්‍රේටා සම්බන්ධ ඍණාත්මක අදහසක් ඇති පිරිස් සම්බන්ධව අවධානය යොමු කළ එක් අධ්‍යයනයකට අනුව ඒ විවේචන සඳහා හේතු වී ඇත්තේ දේශගුණ වෙනස් වීම සම්බන්ධව විවේචකයන් තුළ ඇති සංශයවාදී අදහස් පමණක් නොවේ. ඔවුන් සමාජ කරුණු ගැන දක්වන සෙසු ආකල්ප ද හේතු වී ඇත. නිදසුනක් ලෙස ගතහොත් ඇය කාන්තාවක වීම හා ඇගේ ලාබාල වයස ද මේ විවේචන එල්ල කළ අයගේ අකමැත්ත සඳහා හේතු වී ඇත! මේ අධ්‍යයනය ඇය හා ඇයගේ කටයුතු සම්බන්ධව සිදුකරන ලද මාස 14ක ඇමරිකානු හා ස්වීඩන ට්විටර් පණිවුඩ හා ඒවායේ හිමිකරුවන්ගේ පැතිකඩ (profile) තොරතුරු ‌යොදාගනිමින් සිදුකරන ලද්දකි. එහිදී සලකා බලා ඇති එක් අංශයක් වී ඇත්තේ ඔවුන්ගේ පසුබිම හා වෙනත් සමාජ කරුණු ගැන දක්වන අදහස්ය. එසේම මෙම අධ්‍යයනයේදී පෙනී ගොස් ඇති තවත් කරුණක් නම් ඇය විසින් කළ බලපෑම ඉහළ නැංවීමට විවිධ නළු නිලියන් හා වෙනත් ජනප්‍රිය පුද්ගලයන් විසින් කළ බලපෑම ද විශාල බවයි. (මූලාශ්‍රය - DOI: Sustainability, DOI:10.3390/su12072707)

ග්‍රේටා තුන්බර්ග් පසුගියදා යළි පාසල් ගියාය. ඒ සිය පාසල් ගමන වසරකට අධික කාලයක් නවතා තැබීමෙන් පසුවය. ඈත දහහත් හැවිරිදි වයසේ පසුවන්නියකි. මීට පෙරද තරුණ පරිසර ක්‍රියාකාරිකයන් මෙසේ සක්‍රියව දායක වී ඇත. ඇතැමුන් එක්සත් ජාතීන්ගේ සමුළුද අමතා ඇත. එහෙත් ග්‍රේටා තරම් ඉදිරියට ගිය අය අල්පය. එසේම ඇයගේ කියාදෙන තවත් දෙයක් වන්නේ තමන් ලෝක ප්‍රකට තරුවක් වුවද අධ්‍යාපනය අත් නොහල යුතු බවයි. කෙසේ වෙතත් දේශගුණ වෙනස් වීම හා පරිසරය ගැන ග්‍රේටාය කළ හැකි තවත් දේ ඇති බව සිතේ.

ඡායාරූපය - European Union 2020 – Source: EP

Thursday, September 24, 2020

වවුනියාවේ මුහුද (ගමන් කතා 2)

මේක එක්තරා ආකාරයක වෘත්තීය ගමනක් අතර සිද්ධ වෙච්ච දෙයක්. එක්තරා රාජ්‍ය නොවන ආයතනයකින් දියත් කළ තරුණ පුහුණු වැඩසටහන් මාලාවක අවසානයේ ඒ පුහුණුලාභීන් කීප දෙනෙකු හමුවී සාකච්ඡා කර ඔවුන්ගේ පුහුණුව ගැන හා ඒ නිසා ජීවිතය වෙනස් වූ ආකාරය ඒවායේ සාර්ථක කතා එකතුවක් සකස් කිරීමටයි මට තිබුණේ. මේ 2010 හෝ 2011 පමණ.

අපි ගියේ වවුනියාවටයි. අපි ගිය ගමනට ඒ ආයතනයේ ප්‍රධාන කාර්යාලයේ සේවය කරන තරුණියන් දෙදෙනකු ද සම්බන්ධ වුණා. ඉතින් අපි කාර්යාලයට ගිහින් මමත් ඒ ආයතනයේ නිලධාරියෙකුත් පුහුණු වූ තරුණ තරුණියන් හමුවන්න අදාළ ගම් කීපයකට යන්න කියලා සූදානම් වුණා. ඒ අතරෙ අර ප්‍රධාන කාර්යාලෙන් ආ තරුණියන් දෙදෙනාට කරන්න දෙයක් තිබ්බෙ නෑ. ඔවුන් වවුනියා කාර්යාලයේ ඔවුන් දන්නා අඳුනන අය සමඟ ඇවිදින්න යන තැන් කීපයක් ගැන කතා කළා.

එහිදී එක් තරුණියක් මෙහෙම ඇහුවා... "මෙහෙ බීච් එක තියෙන්නෙ කොහෙද?"

ඒකට කට්ටියම හිනා උනා. ඒ වන විට වයස විසි ගණනක සිටි ඇය ලංකා සිතියමේ වව්නියාව ඇති තැන ඇය දැන සිටියෙ නැති බවයි පෙනුණේ... මට මතක හැටියට මහනුවර කිට්ටුව පදිංචිව සිටි ඈ කළේ ගිණුම් තැබීමයි. ඒත් කොහොමහරි අපි ගම් කීපයක ඇවිදලා හවස ආපහු එන අතරෙදි, වව්නියා කාර්යාලය අය අර තරුණියන් දෙදෙනාට මුහුද පෙන්නන්න අල්ලපු දිස්ත්‍රික්කෙ වන මන්නාරමේ කෙලවරට එක්කගෙන ගිහින් තිබ්බා!

ධනේෂ් විසුම්පෙරුම

2020.09.24

Wednesday, September 23, 2020

වනාන්තර රැකීම සඳහා ඉඩම් මිල දී ගැනීම හෝ හුවමාරු කිරීම ඵලදායක ද?

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 2020.09.23, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2020/09/23/feature1.html


ගාල්ල දිස්ත්‍රික්කයේ, නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති ලංකාගම ආශ්‍රිත ප්‍රදේශයේ මාර්ග සංවර්ධනය කිරීමක් පිළිබඳ සිදුවීම මෑත දී සාකච්ඡාවට ලක්වූවකි. සති කිහිපයක් රටේ පැවැති ආන්දෝලනයකට හේතු වූ එහිදී අවසානයේ ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් පරිසරයට හානි නොවන සේ පාරක් ඉදිකරන්නට තීරණය වූ බව වාර්තා විය.

මේ මාර්ගය පිළිබඳව වූ සාකච්ඡාව වැඩි වශයෙන් පැවතියේ සමාජ මාධ්‍ය ඔස්සේය. විවිධ පාර්ශ්ව ඒ ගැන අදහස් දැක්වීම හා වාද විවාද ඇති කරගත් ආකාරය අපි දුටුවෙමු. ඒ වාද විවාද සඳහා මූලිකව බලපා තිබුණේ ඒ ඒ අයගේ දේශපාලන අදහස් බව ද බොහෝවිට දැකිය හැකි විය. අප මේ ලිපියෙන් සාකච්ඡා කිරීමට අදහස් කරන්නේ ඒ දේශපාලන අදහස් ගැන නොව, ඒ සාකච්ඡාව අතර දී මතු වූ සංරක්ෂණ උපායමාර්ගයක් ලෙස අනාගතයේදී වැදගත් විය හැකි කරුණක් පිළිබඳවය.

පෙර කී සමාජ මාධ්‍ය සාකච්ඡා අතර දී පරිසරය ගැන කතා කරන පරිසරවේදීන් හා පරිසරප්‍රේමීන්ගෙන් ෆේස්බුක් අඩවිය ඔස්සේ ඇතැම් අය විමසූ එක් පැනයක් විය. ඒ "ලංකාගම වැසියන්ට තමන්ගේ නිවාස හා ඉඩම් ලබාදීමට නගරයේ වෙසෙන පෙර කී පරිසරවේදීන් හා පරිසරප්‍රේමීන් කැමැතිද" යන්නය.

ඊට දින කීපයකට පසුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරිනියක් එවැනි යෝජනාවක් සිය ෆේස්බුක් පැතිකඩ හරහා කළාය. ඒ, ඇයට අයත් කෑගල්ලේ පිහිටි ඉඩමක් ලංකාගම අයෙකුගේ ඉඩමකට මාරු කිරීමට කැමති බවයි. ඇය කියා තිබුණේ එසේ ලබාගන්නා ඉඩම සිංහරාජ වනාන්තරයට ලබා දීම ඇගේ අරමුණ බවය. ඒ සමඟ පරිසරයට ආදරය කරන තවත් අය ගණනාවක්ම ඒ හා සමාන හුවමාරු කිරීම් ගැන ෆේස්බුක් අඩවියේ සටහන් පළ කර තිබිණි. කෙසේ වෙතත් මේ සටහන් ලියූ පසුව, ඒ ඉල්ලීම් හුදෙක් ප්‍රායෝගික නොවන බව සමහරු පවසා තිබිණි. එහෙත් ලෝකයේ මෙවැනි දේ සිදු වේ. එනම් විනාශ විය හැකි ඉඩම් මිල දී ගෙන සංරක්ෂණය සඳහා වෙන් කිරීමයි.


සංරක්ෂණය සඳහා ඉඩම් මිලදී ගැනීම


සංරක්ෂණ වටිනාකමක් ඇති හා එළි පෙහෙළි වීමේ අවදානමක් සහිත පුද්ගලික අයිතියේ ඇති ඉඩම් මිලදී ගෙන ඒවා විනාශ වී යා නොදී සංරක්ෂණය සඳහා යෙදවීම මේ වන විට ජගත් මට්ටමින් ක්‍රියාත්මක වන පරිසර සංරක්ෂණ උපායමාර්ගයකි. එය මේ වන විට ලෝකයේ රටවල් ගණනක විශාල බිම් ප්‍රමාණයක් ආරක්ෂා කිරීම සඳහා සාර්ථකව ක්‍රියාත්මක කරනු ලබන ක්‍රමවේදයකි.

එහිදී සාමාන්‍යයෙන් සිදුවන්නේ තර්ජනයට ලක්ව ඇති ප්‍රදේශයේ ඉඩම් අදාළ රටේම ක්‍රියාත්මක වන සංවිධානයක් හෝ ආයතනයක් මගින් මිල දී ගැනීමය. ඒ සඳහා අවශ්‍ය අරමුදල් සපයනු ලබන්නේ ජගත් මට්ටමින් ක්‍රියාත්මක විශාල හා ධනවත් සංවිධාන මගිනි. ඒවාට අරමුදල් ලැබෙන්නේ විවිධ පුද්ගලයන්ගෙන් හා සමාගම් ආදියෙනි. බ්‍රිතාන්‍යයේ සිට ක්‍රියාත්මක වන ලෝක ඉඩම් භාරය (World Land Trust - www.worldlandtrust.org) මෙවැනි එක් අරමුදල් සපයන ආයතනයකි. ඇමරිකාවේ ක්‍රියාත්මක වැසි වනාන්තර භාරය (Rainforest Trust - www.rainforesttrust.org) 1988 වර්ෂයේ දී ආරම්භ කරන ලද මෙවැනි සංවිධානයකි. මේ සංවිධාන මගින් ඇමරිකාවේ (උතුරේ හා ලතින් ඇමරිකාවේ), අප්‍රිකාවේ හා ආසියාවේ විශාල ඉඩම් ප්‍රමාණයක් මිලදී ගැනීමට හා ආරක්ෂා කිරීමට ඔවුන් අරමුදල් සපයා තිබේ. ඇමරිකාව ඇතුළු තවත් රටවල ද මෙවැනි තවත් වෙනත් සංවිධාන ද පවතී. ඔවුන් මේ දක්වා සැලකිය යුතු ඉඩම් ප්‍රමාණයක් විනාශයෙන් මුදාගෙන සංරක්ෂණය සඳහා යොදාගෙන ඇත.

කෙසේ වෙතත් එසේ මිල දී ගන්නා ඉඩම් මිලදී ගැනීම, ආරක්ෂා කිරීම හා කළමනාකරණය කරනු ලබන්නේ අදාළ රටේ සංවිධානය හා ප්‍රජාව විසින් හෝ ඒ දෙකම එක්වය. (එම දේශීය සංවිධාන බොහෝ විට ජෛව විවිධත්ව සංරක්ෂණය අරමුණු කරගත් ඒවා වෙයි). එසේ නැතහොත් ඒ ඉඩම් එසේම තිබෙන්නට හරිනු ලැබෙයි. ඇතැම් අවස්ථාවලදී සංරක්ෂණය සඳහා ඒ රටවල රාජ්‍ය ආයතනවලට පැවරූ අවස්ථා ද ඇත. මේ සෑම අවස්ථාවකදීම එම රටේ තත්ත්ව අනුව යෝග්‍ය වූ සංරක්ෂණ උපායමාර්ගයක් අනුගමනය කිරීමට අවස්ථාවක් ලැබෙන බව පැහැදිලිය.

අපට යාබද ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක මෙවැනි ඉඩම් මිලදීගැනීම් සිදුව ඇත. දකුණු ඉන්දියාවේ ඝාට්ස් කඳු ප්‍රදේශයේ පිහිටා ඇති මුදාහලී නම් වන තීරුව සතුන් සංක්‍රමණය වන ප්‍රදේශයකි. එහි අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා කෘෂිකාර්මික බිම් අයිතිකරුවන්ගෙන් මිලදී ගැනීම වෙනත් ගැටලු අවම ප්‍රදේශයකින් ඉඩම් ලබාදීම (හුවමාරු කිරීම) ඉන්දියානු සංවිධානයක් මගින් සිදු කර තිබෙයි.

සංරක්ෂණ අරමුණු අතින් වඩාත් වැදගත් වන්නේ සංවිධානයක් හා ප්‍රජාව මගින් සිදුකරනු ලබන මෙවැනි මැදිහත් වීම්ය. එසේම කුඩා ඉඩම් කැබලි මිලදී ගැනීමට වඩා එහිදී වැඩි වශයෙන් සිදුව ඇත්තේ විශාල ඉඩම් ප්‍රමාණයක් මිලදී ගැනීම ද වැදගත්ව. (කෙසේ වෙතත් ඇතැම් ස්ථානවලදී තනි තනි පුද්ගලයින් විසින් ද ඉඩම් මිලදී ගැනීමක් සිදුවී ඇති අවස්ථාද ඇති බව අප අමතක නොකළ යුතුය. ඒ සුප්‍රකට ධනවතුන්, කලාකරුවන් ආදි පුද්ගලයින් විසිනි. එවැනි මිලදී ගැනීම්වලදී එම ඉඩම් පුද්ගලික අයිතිය යටතේ ආරක්ෂා වන නමුත් ඊට වඩා වැඩි දිගු කාලීන සංරක්ෂණයක් ප්‍රජාව හෝ සංවිධාන මගින් සිදුකරන මෙවැනි ක්‍රියාවකින් අපට අපේක්ෂා කළ හැකිය.
මේ ආකාරයට විවිධ සංවිධාන විසින් ක්‍රියාත්මක කරනු ලදුව සංරක්ෂණය සදහා මිලට ගෙන ඇති ඉඩම්වල ප්‍රමාණය ඉතා විශාලය. මේ බලපෑම කෙතරම් ද යන් ඇතැම් රටවල පාලකයින් මෙම මැදිහත්වීම්වලට එතරම් කැමැත්තක් නොදක්වන බව ද ඇතැම් අවස්ථාවල දී වාර්තා වෙයි.


සංරක්ෂණ පරවශතාව

සංරක්ෂණ පරවශතාව (conservation easement) යනුවෙන් හඳුන්වන්නේ තවත් මේ හා සමාන වූ සංරක්ෂණ උපායමාර්ගයකි. එය ඉහත විස්තර කරන ලද ඉඩම් මිලදී ගැනීමට වඩා වෙනස් වන්නේ ඉඩම් හිමියන්ගෙන් අදාළ ඉඩම්වල අයිතිය මිලදී ගැනීමක් එහිදී සිදු‌ නොවන නිසාය. ඒ වෙනුවට ඉඩම් හිමියන් විසින් අදාළ ඉඩම්වල සංවර්ධන අයිතිය කිසියම් සංරක්ෂණ සංවිධානයකට හෝ රජයට හෝ පවරනු ලැබේ. එම පැවරීම පරිත්‍යාගයක් වශයෙන් හෝ අලෙවි කිරීමක් ලෙස කළ හැකිය.
 
එහිදී කිසියම් කාල සීමාවක් සඳහා දෙපාර්ශ්වය විසින් ස්වේච්ඡාවෙන් ඇති කරගත්තා නෛතික වලංගුතාවයක් ඇති ගිවිසුමක් ඇති කරගනු ලැබේ. ඒ අනුව ඉඩම් හිමියන්ට අදාළ ගිවිසුමෙන් අවසර නොමැති සංවර්ධන කාර්යයක් සඳහා ඒ ඉඩම් යොදාගැනීම කළ නොහැකිය. සංරක්ෂණ පරවශතාවයක දී ද මූලික අරමුණ වන්නේ එම භූමියේ ඇති සංරක්ෂණ වටිනාකම්ය. එය වනාන්තරයක් ආරක්ෂා කිරීම, ජල මූලාශ්‍රයක් ආරක්ෂා කිරීම, කිසියම් ජීවියෙකුගේ සංරක්ෂණ අවශ්‍යතා සපුරාලීම වැනි සංරක්ෂණ අරමුණු විය හැකිය.

මේ ක්‍රමය වැඩි වශයෙන් භාවිත වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේය.


ශ්‍රී ලංකාවේ මේ උපාය මාර්ග අනුගමනය කළ හැකි ද?


ඉහත සඳහන් කළ ආකරයේ උපාය මාර්ග ශ්‍රී ලංකාවේද සිදුකිරීමට නීතිමය බාධාවක් ඇති බවක් නොපෙනේ. එහෙත් එය සිදුවිය යුත්තේ පෙර සඳහන් ලෙස තනි තනි පුද්ගලයන් විසින් තර්ජනයකට ලක් වූ ප්‍රදේශයක පුද්ගලික ඉඩම් මිලට ගැනීමෙන් නොවේ. කිසියම් තනි දේශීය භාරයක් වැනි ආයතනයක් මගින් ඉඩම් මිලට ගැනීමෙන් හෝ හුවමාරු කිරීමෙනි. එවිට මිල දී ගත් ඉඩම් අදාළ භාරය මගින් පාලනය කිරීමට මෙන්ම, අවශ්ය නම් රජයට පැවරීම ද හැකිය. එවිට ඉඩමක් තනි පුද්ගලයෙකුගේ අයිතියට පත්ව පසු පරම්පරාවක් එම ඉඩම් වෙනත් භාවිතයකට ගැනීම ද වළකී. (අවිධිමත් ලෙස සංචාරක පහසුකම් ඇති කිරීම ද පාරිසරික ගැටලුවකි. සංචාරක ආකර්ෂණය ඇති ස්ථාන අවට ඉඩම් මිලට ගැනීම, රජයේ ඉඩම් අල්ලාගැනීම හා අනවසරයෙන් එළි කිරීම වැනි කටයුතු සඳහා එක් හේතුවක් වන්නේ සංචාරක නිකේතන ඉදිකිරීම සඳහා නාගරික පදනමක් ඇති ව්‍යාපාරිකයන් කරන කටයුතුය).

මේ ආකාරයෙන් පුද්ගලික ඉඩමක් වනාන්තරක් ලෙස සංරක්ෂණය කළ අවස්ථාවකට එක් නිදසුනක් වන්නේ දඹුල්ලට නුදුරුව පිහිටා ඇති, සෑප් පොපම් නම් බ්‍රිතාන්‍ය ජාතිකයා විසින් ස්ථාපනය කළ, පසුව රජයේ ආයතනයකට පවරා ඇති සෑම් පොපම් වනඋයනයි (Sam Popham Arboretum). අත්හැර දමන ලද හේන් ඉඩමක් මිල දී ගෙන වසර ගණනක උත්සාහයෙන් පසු අගනා වන උයනක් බවට පත් කිරීමට ඔහු සමත් විය. අනෙක් අතට පෞද්ගලික අයිතියේ ඇති, සංවර්ධන කටයුත්තක් නොකරන හා සංරක්ෂණය සඳහා වෙන්කර ඇති තවත් ඉඩම් අපේ රටේ ඇති බව අප අමතක නොකළ යුතුය. ගිවිසුමක් ඇතිව හෝ නැතිව හෝ ක්‍රියාත්මක ඒවා සංරක්ෂණ පරවශතාව උපායමාර්ගය හා සමාන වූ ඒවාය.

කෙසේ වෙතත් මෙවැනි කුමන උපායමාර්ගයක් වේ නම් එය ස්වේච්ඡාවෙන්ම පමණක් සිදුවිය යුතු කරුණකි. එනම්, අදාළ ඉඩම් විකිණීමට කැමැත්ත දක්වන පිරිස් වේ නම් ඔවුන් සියලු දෙනා ස්වේච්ඡාවෙන් ඊට කැමැති වීම වැදගත්ය. එවැන්නක් සිදුවන්නේ නම්, ඉඩම් හුවමාරුවක් හරහා අදාළ සමස්ත ප්‍රජාව හෝ වැඩි පිරිසක් වෙනත් ස්ථානයක ස්වේච්ඡාවෙන්ම ස්ථානගත කිරීමට කටයුතු කළ යුතු වීම පහසු කරුණකි (සමාන ඉඩම්, සමාජ ජීවනෝපාය ඇති ප්‍රදේශ නැත්තේ නොවේ). එමගින් ඔවුන්ගේ දැනට පවත්නා සමාජ සම්බන්ධතා බිඳ වැටීම ද වළක්වා ගත හැකිය (එවැනි නැවත පදිංචිකිරීම් සමහර සංවර්ධන ව්‍යාපෘතිවලදී ලංකාවේ සිදුකර ඇත). එමෙන්ම ඒ වැසියන්ගේ නිත්‍යානුකූල ජීවනෝපාය ක්‍රියාත්මක කළ හැකි ප්‍රදේශයක් වීම ද වැදගත්ය. එවැන්නක් සිදුකිරීමට අවශ්ය තාක්ෂණික දැනුම මෙරට පවතී. අවශ්‍ය වන්නේ ස්වාධීන අරමුදලක් මගින් මෙවැනි ව්‍යාපෘතියක් දියත් කිරීමය.

Thursday, September 10, 2020

ස්ථාවර වූ ජංගමය! (ගමන් කතා 1)

(ගමන් කතා කීවෙ අපි ඔය ට්‍රිප් යනකොට වූ සිද්ධිවල එකතුවක්)


ඔන්න මේක උනේ අපි මාසෙකට ට්‍රිප් දෙකක් විතර යන කාලෙ. එදා අපි කීප දෙනෙක් ගියා වාරණ පන්සලට. ගිහින් එහි තිබූ පැරණි දේවල් විස්තර බලලා ඒ කිට්ටුව කඩේකින් බනිස් කාල තේ බීලා ආපසු ආවා තිහාරිය හන්දියට. එතැනින් ඊළඟට යන්න තිබ්බ තැනට යන එක ගැන කතා කර කර ඉදිරියට යද්දි අපේ නඩේ හිටපු වැඩිහිටියා පේන්න නෑ. (වැඩිහිටියා කීවට මට වඩා අවුරුදු හතරයි නැත්තං පහයි වැඩිමල්.)

හැරිලා බලද්දි එයා පාර අයිනට වෙලා නැවතිලා. බැලින්නං එයාගෙ ජංගම දුරකථනයට කෝල් එකක් ඇවිල්ලා. ඉතිං එයා ගමන නතර කරලා, පාරෙන් ඉවතට හැරිලා කෝල් එකට ආන්සර් කරනවා. අනිත් එවුන් ගමන යනවා.

මේක දැකපු අපේ එකෙක් කිව්වා "ඕක මොබයිල් එකක් ද එහෙම නැත්තං ලෑන්ඩ් ෆෝන් එකක්ද බං" කියලා.

අපේ යාලුවාටත් එතකොට තමයි මතක් උනේ යන ගමන් කතා කරන්න පුළුවන් කියලා. ඒ මිත්‍රයා දැන් නං යන ගමං ආන්සර් කරනවා. ඒ මදිවට බයික් එකේ යන ගමනුත් ආන්සර් කරනවා. 
 

ධනේෂ් විසුම්පෙරුම
2020.09.10