Sunday, November 24, 2019

ද්විපාද චරණයේ ආරම්භය තවදුරටත් අතීතයට යයි

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2019.11.20, පි. 05 (Vidisara)



(ඡායාරූපය - වැඩුණු පිරිමි සතාට අයත් හමු වූ පොසිල අස්ථි)


දෙපයින් ගමන් කිරීම හෙවත් ද්වීපාද චරණය යනු මානවයන් බිහි වීම සඳහා වැදගත් වූ දියුණු පරිණාමීය ලක්ෂණයක් ලෙස සැලකෙයි. එමෙන්ම දෙපා මත ඍජුව ඇවිදීමට හැකි වීම සෙසු ප‍්‍රයිමේටාවන් අතරින් ආදිමානවයින් වෙන් කළ හැකි මූලික ලක්ෂණයක්ද වෙයි. එබැවින් ද්විපාද චරණය හෙවත් දෙපාවත්බව (bipedalism) ඇති වූ කාල වකවානුව පරිණාමය ගැන අධ්‍යයනය කරන විද්‍යාඥයන්ගේ අවධානයට ලක් වූවකි. ඒ පිළිබඳව දිගු කලක සිට වාද විවාද ඇති විය. නිදසුනක් ලෙස ගතහොත්, මෙම ලක්ෂණ මානවයින්ට ලැබී තිබෙන්නේ රුක්වාසීව ජීවත් වූ ඔරන්උටන් වැනි වානරයන්ගෙන්ද, නැතහොත් ඇඟිලි මත ඇවිද යන පොළාව මත වැඩි කාලයක් ගත කරන ගොරිල්ලා වැනි වානරයෙකුගෙන්ද යන්න මෙහි දී සාකච්ඡුාවට ලක් වූ වැදගත් කරුණකි.

ද්වීපාද චරණය පිළිබඳව මේ වන විට ඇති පැරණිම නිශ්චිත සාධක වන්නේ Ardipithecus ramidus නම් ආදි මානව (hominin) විශේෂයයි. පැහැදිලිව දෙපයින් ගමන් කළ සත්ත්ව විශේෂයක් වන ඔවුන් වාසය කළේ අදින් වසර මිලියන 4.4කට පමණ කාලයකට ඉහත දීය. එමෙන්ම අදින් වසර මිලියන 6ත් 7ත් අතර කාලයකට පෙර මේ දෙපා මත සංචරණයේ ආරම්භය සිදුවන්නට ඇති බව විශ්වාස කරන්නට සාධක ඇත. චිම්පන්සින් හා බොනබෝ වැනි වානර විශේෂ අයත් වන පරිණාමීය ශාඛාව, ආදි මානව ශාඛාවෙන් වෙන්ව ගොස් ඇත්තේ අදින් වසර මිලියන 7කට පෙරය.

මේ පිළිබඳව වැදගත් වන සොයාගැනීමක් පිළිබඳ විස්තර පසුගියදා ප‍්‍රකාශයට පත් අධ්‍යයනයක සඳහන් වෙයි. එමගින් පැහැදිලි කරනු ලබන්නේ ද්වීපාද චරණය පිළිබඳ ලක්ෂණ පෙන්වන වානර විශේෂයක පොසිලයක් ගැනය. ඒ පොසිල අදින් වසර මිලියන එකොළහකටක් වඩා පැරණි ඒවාය. පොසිලවලින් හෙළි වන සාධක අනුව එම වානරයන්ගේ පුර්ව ගාත‍්‍රා හෙවත් අත් ගස්වල එල්ලී සිටීම සඳහා ගැලපෙන ඒවා වුව ද, අපර ගාත‍්‍රා හෙවත් දෙපාවල ලක්ෂණ හා කොඳු ඇට පෙළෙහි ලක්ෂණ අනුව එම වානරයන් දෙපාවලින් ගමන් කළ හැකි වූ බවයි. ඒ අනුව එම පර්යේෂකයින් විසින් ද්විපාද චරණය ආරම්භ වන්නේ අදින් වසර මිලියන 12කට පමණ පෙර බව යෝජනා කර ඇත. එය පිළිගනු ලැබුවහොත්, ද්විපාද චරණයේ ආරම්භය සඳහා මෙතෙක් ලබා දී තිබූ කාලය වඩා ඈතට ගෙනයයි.


ජර්මනියෙන් ලැබුණු පොසිල සාධක


දකුණු ජර්මනියේ පිහිටා ඇති බැවේරියාවේ මැටි පතලකින් 2015 හා 2018 අතර කාලයේදී ලැබුණු වානර විශේෂයට අයත් සතුන් සිව්දෙනෙකුගේ පොසිල මේ අධ්‍යයනයට ලක් වූ ඒවාය. ඒ අතර පිරිමි සතෙකුගේ, ගැහැණු සතුන් දෙදෙනෙකුගේ හා පැටියෙකුට අයත් අස්ථි සාධක තිබිණි. මේ පොසිල අතර, ඌර්වස්ථි කොටස්, ජංඝාස්ථි කොටස්, අත්වල පහළ කොටස්වල අස්ථි, කොඳු ඇට කොටස් හා අත්වල හා පාදවල අස්ථා ආදිය ඇතුළත් විය.

බැලූ බැල්මට මෙම වානරයා තරමක් හෝ සමාන වන්නේ අද වෙසෙන බොනොබෝ නම් වානරයකු යා සමානය. මීටරයක් පමණ උස බව සැලකෙන මේ සත්ත්වයාගේ බර සෙසු මහා වානරයන්ගේ උසට වඩා අඩුය. පිරිමි සතෙකු කිලෝග‍්‍රෑම් 31ක් පමණද, ගැහැණු සතෙකු කිලෝග‍්‍රෑම් 18ක් පමණවන්නට ඇති බව ගණන් බලා ඇත. මෙම වානර විශේෂය Danuvius guggenmosi යන සත්ත්ව විද්‍යාත්මක නාමයෙන් නම් කර ඇත. ඔවුන් අදින් වසර මිලියන 11.62 ක් පමණ කාලයකට පෙර ජීවත් වූ බවට කාලනිර්ණය කර ඇත.

මෙම වානර පොසිලවල හමු වූ මනාව ආරක්ෂා වූ තත්ත්වයක පැවතිණි. එබැවින් මෙම වානරයින් ගමන් කරන ආකාරය පිළිබඳව මනාව අධ්‍යයනය කිරීමට පර්යේෂකයින්ට හැකියාව ලැබී ඇත. විශේෂයෙන් වැලමිට, දණහිස, උකුල හා වලලූකර වැනි ක‍්‍රියාකාරිත්වය අතින් වැදගත් ශරීර සන්ධි පිළිබඳව විශේෂයෙන් විශ්ලේෂණය කිරීමට හැකියාව ලැබී ඇත. මෙතරම් පැරණි කාලයකට අයත් එකම ඇටසැකිල්ලකින් එවැනි අවස්ථාවක් ලැබී ඇත්තේ පළමුවන අවස්ථාවට බව දක්වා ඇත.


(ඡායාරූපය - නව වානරයා මෙබඳු වන්නට ඇත)


පොසිලවල දැකිය හැකි වූ ලක්ෂණ


මෙම වානර පොසිලවල කොඳු ඇට හා පාදයේ අස්ථිවලින් පෙනී ගොස් ඇත්තේ එම සතුන් පාද දෙකකින් ගමන් කළ හෙවත් ද්විපාද චරණයේ යෙදුණු බවයි. ඇතැම් කොඳු ඇටවල හැඩය මගින් පෙනී ගොස් තිබුණේ අදාළ වානරයාගේ දේහයේ යටිකයේ පසු පෙදෙස (lower back) දිගු හා නම්‍යශීලී එකක් වූ බවයි. ඒ උඩු කයෙහි බර උකුල මත දරාගනිමිනි. එම ස්වභාවය නූතන මානවයාට පවා සිය සමබරතාවය රැුකගෙන දෙපාවලින් ඍජුව ඇවිද යෑමට උපකාර වන ලක්ෂණයකි. එමෙන්ම මෙම වානරයන්ගේ දණහිස් හා වලලූකරවලද බර දරාගැනීමට හැකි අනුවර්තන දැකිය හැකි බවද පෙන්වා දී තිබේ. මේ ලක්ෂණ අනුව එම වානරයා සිරිතක් වශයෙන් තම දෙපා මත සිය ශරීරයේ බර දරාගනිමින් ඍජුව ගමන් කළ බව හෙවත් ද්විපාද චරණයක යෙදුණු බව මෙම පර්යේෂකයන් විසින් පැහැදිලි කර ඇත.

කෙසේ වෙතත් මෙම වානරයාගේ අත් හෙවත් පූර්ව ගාත‍්‍රාවල මෙන්ම පාදවලද දැකිය හැකි වී තිබෙන්නේ වඩා වෙනස් තත්ත්වයකි. ඒවායේ දැකිය හැකි වී තිබෙන්නේ ගස්වල අතු තදින් අල්ලා ගැනීමට ගැලපෙන අනුහුරු වීම්ය. ඒ අනුව මෙම වානරයින් අපූරු හා ඔවුන්ටම ආවේණික වූ ගමන් විලාශයක් දක්වන්නට ඇති බව මේ විද්‍යාඥයන්ගේ අදහසයි. ඒ අනුව මෙම වානරයන් රුක්වාසී ජීවිතයක් ගත කළා විය හැකි අතර, දෙපාවලින් පමණක් ගමන් කරමින් සිය ශක්තිමත් අත්වලින් අතුවල එල්ලීමට හැකියාව තිබූ බව ඔවුන්ගේ අදහස වෙයි.


ද්විපාද චරණයේ ආරම්භය


ද්විපාද චරණයේ ආරම්භ වීම පරිණාමයේ වැදගත් අවස්ථාවක් වන්නේ එමගින් තවත් කටයුතු ගණනාවක් සඳහා අවස්ථාව සැලසුණු බැවිනි. යමක් ඇල්ලීමට, විමසා බැලීමට, විවිධ මෙවලම් භාවිතයට මෙන්ම යමක් රුගෙන යාම සඳහාද අවස්ථාව ලැබෙන්නේ මෙම පරිණාමීය ඉදිරි පියවරත් සමඟය.

මේ නව අධ්‍යයන වාර්තාවෙන් යෝජනා කරනු ලබන්නේ ද්විපාද චරණයේ හැකියාව ලැබෙන්නේ මානවයින් හා මහා වානරයින්ගේ පොදු පූර්වජයෙකු ගෙන් බවයි. ඒ අනුව ද්විපාද චරණය හෙවත් දෙපා මත ඇවිදීම මුලින්ම පරිණාමය වන්නේ අදින් වසර මිලියන 12කට පමණ පෙර ගස් මත විසූ වානරයෙකුගෙනි. එම දිනය මෙතෙක් විශ්වාස කළ කාලයට වඩා වසර මිලියන 5ත් 6ත් අතර කාලයක් පැරණිය. එමෙන්ම ඒ හැකියාව ලැබී තිබෙන පොදු පූර්වජයා වාසය කර තිබෙන්නේ මෙතෙක් විශ්වාස කළ ආකාරයට අප‍්‍රිකාවේ නොව, යුරෝපයේය. එය ද මෙතෙක් තිබූ පුළුල් විශ්වාසය අභියෝගයට ලක්කරන්නකි.

මේ අනුව මහා වානරයන් හා ආදිමානවයින්ගේ පරිණාමය පිළිබඳව මෙන්ම, දිවි පාද චරණය ආදිමානව ලක්ෂණයක්ය යන අදහස මෙම අධ්‍යයනයෙන් අභියෝගයකට ලක් කර ඇත. මෙහිදී යෝජනා වී ඇති පරිදි ද්විපාද චරණය ආදිමානව විශේෂ බිහිවීමට පළමුව සිදුවී තිබේ නම් එය වැදගත්ය. ද්විපාද චරණය ආදිමානවයන්ට සුවිශේෂී වූ හා ආදිමානව ස්වභාවය තීරණය කරන ලක්ෂණයක් ලෙස මේ වන විට සැලකේ. ඉහත දක්වා ඇති පරිදි එම මතය හා දිනවකවානු මෙම නව අධ්‍යයනය මගින් ප‍්‍රශ්න කර ඇත. ඒ සඳහා කෙබඳු පිළිගැනීමක් ලැබෙනු ඇතිද?


නව අදහස් පිළිගැනීමට ලක්වේද?


කෙසේ වෙතත් මේ මතය සමඟ සියලූ විද්‍යාඥයින් එකඟ නොවන බවක් පෙනෙයි. නිදසුනක් ලෙස ගතහොත් දිගු හා නම්‍යශීලී යටිකය ප‍්‍රදේශයක් තිබූ බව පැවසීමට තරම් ප‍්‍රමාණවත් කොඳු ඇට කොටස් හමු වී නැති බව සමහර විද්‍යාඥයින් පෙන්වා දී ඇත. එමෙන්ම අස්ථිවල හැඩය පමණක් පදනම් කරගෙන වානරයින් ගමන් කරන ආකාරය ගැන අදහස් දැක්වීම අපහසු බව ද තවත් විද්‍යාඥයින් පිරිසක් විසින් පෙන්වා දී ඇත. අනෙක් අතට මේ වානර විශේෂය වඩා පැරණි වූ පමණින් ආදිමානවයින්ගේ ඍජු පරිණාමීය රේඛාවට එම විශේෂය අයත් වී යැයිතීරණය කිරීම නැණවත් තීරණයක් විය හැකිද යන්න තවත් විද්‍යාඥයින් විසින් ප‍්‍රශ්න කර තිබෙයි. එක් අයෙක් පවසා ඇත්තේ ඇතැම් විට වානරයින් අතර ද්විපාද චරණය එක් වරක් නොව කීපවරකදී පරිණාමය වන්නට ඇති බවයි. එසේ ද්විපාද චරණයක් දැක්වීමට මේ වානරයින්ට යම් අවශ්‍යතාවයක් ඇති වන්නට ඇත.

මේ අනුව පෙනී යන්නේ ඉදිරි පර්යේෂණ මත මේ වානර විශේෂය අයත්වන ස්ථානය වඩා නිවැරදිව තීරණය වනු ඇති බවයි. එය පිළිගනු ලැබුණහොත් එය පුරාමානව විද්‍යාව හා පරිණාමය සම්බන්ධව වැදගත් මඟ සලකුණක් වනු ඇත. මේ අනුව මානවයින් හා මහා වානරයින් අතර ඇති අඩු පුරුක (missing link) මෙම වානරයා ද යන්න තීරණය සඳහා තවත් කල් ගත විය හැකිය.


මූලාශ්‍රය - Nature, DOI: 10.1038/s41586-019-1731-0