Thursday, August 23, 2012

ජගත් පරිසර විමසුම 137 (Global Environmental Watch, 137)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 2012-08-22, පි. 11 (Vidusara, 2012-08-22 p.11)
http://www.vidusara.com/2012/08/22/feature3.html


විමසුම - නාය යැම්වලින් සිදු වන ජීවිත හානි අනතුර අඩු තක්‌සේරුවක
ප්‍රමුඛ පුවත - හුදෙකලා වූ වනාන්තරවල ක්‌ෂීරපායීහු වඳ වෙති
පුවත් සැකෙවින් - ආක්‌ටික්‌ ප්‍රදේශයේ අයිස්‌ දිය වීමත් වේගවත්/ ෆුකුෂිමා ඛේදවාචකයේ සෞඛ්‍ය බලපෑම්/ බ්‍රසීලයේ ආන්දෝලනාත්මක වේල්ලේ ඉදි කිරීම් අත්හිටුවයි



විමසුම

නාය යැම්වලින් සිදු වන ජීවිත හානි අනතුර අඩු තක්‌සේරුවක

නාය යැම් යනු ලෝකයේ දැඩි ලෙස සාකච්ඡාවට ලක්‌ වන ස්‌වාභාවික ආපදා වර්ගයකි. විශේෂයෙන් වර්ෂා සමයේ දී ඇති වන මේ ස්‌වාභාවික ආපදාව සඳහා මානව කටයුතු ද සැලකිය යුතු තරමින් හේතු වේ. විශේෂයෙන් අවිධිමත් භූමි භාවිතය මෙවැනි තත්ත්වයක්‌ සඳහා හේතු වන කරුණකි. මෙය ශ්‍රී ලංකාවේ අපට ද එතරම් නුපුරුදු ආපදාවක්‌ නො වේ. විශේෂයෙන් අධික වැසි කාල සමයේ දී නාය යැම් පිළිබඳව සිදු කරන අනතුරු හැඟවීම් අපට අසන්නට ලැබේ.

මේ ස්‌වාභාවික ආපදාව නිසා සිදු වන මානව ජීවිත හානි ප්‍රමාණය පිළිබඳව අවධානය යොමු කළ අධ්‍යයනයක්‌ පසුගිය දා ප්‍රකාශයට පත් විය. ඉන් පෙනෙන වැදගත් ම කරුණ නම් නාය යැම් නිසා සිදු වන ජීවිත හානි ප්‍රමාණය පිළිබඳව අඩු තක්‌සේරුවක්‌ පවතින බව පෙන්වා දීම ය. එසේ ම නාය යැම් අවදානම අධික ප්‍රදේශ හඳුනාගැනීම සඳහා ද මේ අධ්‍යයනයෙන් උත්සාහ දරා තිබේ. ඊට ශ්‍රී ලංකාව ද අයත් වීම අපට වැදගත් කරුණකි.

නාය යැම්වල ජීවිත හානි කිහිප ගුණයකින් අධිකයි

මේ අධ්‍යයනය දිගුකාලීන දත්ත යොදාගෙන ඇති අධ්‍යයනයකි. එහි දී 2004 සිට 2010 අතර අවුරුදු හතක පමණ කාලය තුළ නාය යැම් නිසා සිදු වූ මරණ ප්‍රමාණය පිළිබඳව අවධානය යොමු කර තිබේ. මේ කාලයේ දී නාය යැම් නිසා මිය ගිය මිනිසුන් ගණන පිළිබඳව මින් පෙර පැවැති ඇස්‌තමේන්තුව වූයේ 3000-7000 අතර ප්‍රමාණයකි. එහෙත් මේ අධ්‍යයනයේ දී මේ කාලය තුළ සිදු වූ නාය යැම්වලින් ඇති වූ හානිය පිළිබඳව නැවත විමසීමක්‌ සිදු කර ඇත. ඒ අදාළ සිදුවීම් පිළිබඳව දත්ත සමුදායක්‌ ඇති කිරීමෙනි. එහි දී භූමිකම්පා වැනි සිදුවීම්වලින් ඇති වූ නාය යැම් පිළිබඳව නො සලකා හැර තිබේ.

අධ්‍යයනයෙන් අනාවරණය වන කරුණු අනුව මේ වසර හතක කාලය තුළ ලෝකයේ සිදු වූ මාරක නාය යැම් 2620කින් මිය ගිය පුද්ගලයන් ගේ ප්‍රමාණය 32,322ක්‌ පමණ තරම් බව හෙළි වී තිබේ. එය කලින් සිතූ ප්‍රමාණය දස ගුණයක්‌ පමණ ඉහළ ය. මෙසේ නාය යැම්වලින් සිදු වන මරණ ප්‍රමාණය අඩුවෙන් වාර්තා වීමට හේතුවක්‌ වී ඇත්තේ බොහෝ නාය යැම්වලින් සිදු වන මරණ ප්‍රමාණය 10කට වඩා අඩු වීම ය. දත්ත එකතු කිරීමේ දී මරණ 10ට වඩා අධික ප්‍රමාණයක්‌ වාර්තා වූ සිදුවීම් පමණක්‌ වාර්තා වීම මෙවැනි සිදුවීම්වලට හේතු විය හැකි බව පෙන්වා දී ඇත. එසේ ම මේ අගය පවා අඩු තක්‌සේරුවක්‌ විය හැකි බව ද මේ පිළිබඳව සිදු කරන ලද සාකච්ඡාවල දී දක්‌වා තිබේ.

නාය යැම් සඳහා හේතු වන ප්‍රධාන සාධක වන්නේ කාලගුණ රටාව, වන විනාශය හා අවදානම් සහිත ප්‍රදේශවල ජන ඝනත්වයෙන් අධික මානව ජනාවාස පැවතීම බව ද මේ වාර්තාවේ පෙන්වා දී තිබේ. මේ අනුව අධික වර්ෂාපතනයකට ලක්‌ වන අධික බෑවුම් සහිත හා අධික ජනගහනයකින් යුක්‌ත ප්‍රදේශ නාය යැම්වල වැඩි බලපෑමකට ලක්‌ වීමට ඉඩ තිබේ. විශේෂයෙන් මේ කලාපයේ මෝසම් වැසිවල ප්‍රබලතාව නාය යැම් සඳහා බලපාන ප්‍රධානතම හේතුවකි.

මේ අධ්‍යයනයෙන් අනාවරණය වන කරුණු අනුව නාය යැම් යනු ගෝලීය මට්‌ටමේ ස්‌වාභාවික ආපදාවක්‌ සේ සැලකිය යුතු බව අවධාරණය කර තිබේ.

නාය යැම් අවදානම අධික ප්‍රදේශ - ශ්‍රී ලංකාවත් එකක්‌

මේ අධ්‍යයනයේ නිගමන අතර නාය යැම් අවදානම අධික වන ප්‍රදේශ හඳුනාගැනීම සඳහා විශේෂ අවධානයක්‌ යොමු වී තිබේ. නාය යැම්වලින් ජීවිත හානි වැඩි ප්‍රමාණයක්‌ සිදු වන්නේ ආසියාවේ ය. මින් වැඩි ආපදා ප්‍රමාණයක්‌ සිදු වන්නේ රටවල් ගණනාවකට අයත් වන හිමාලය කඳුකර ප්‍රදේශයේ ය. විශේෂයෙන් හිමාලයේ දකුණු ප්‍රදේශය නාය යැම් අවදානම අධික ප්‍රදේශයකි. එසේ ම චීනයේ ප්‍රදේශ දෙකක්‌ හා ඉන්දියාවේ නිරිතදිග වෙරළ තීරය, ඉන්දුනීසියාවේ ප්‍රදේශ ද මේ අවදානම අධික ප්‍රදේශ අතර වේ. ශ්‍රී ලංකාව ද මෙවැනි නාය යැම් අවදානම අධික ප්‍රදේශයක්‌ ලෙස මේ වාර්තාවේ ඇතුළත් වේ. අනෙක්‌ කලාපවලින් වැඩි ම අවදානමක්‌ ඇති ප්‍රදේශ වන්නේ දකුණු ඇමෙරිකාවේ හා හයිටි දේශයේ ප්‍රදේශ කිහිපයකි.

මේ නාය යැම් අවදානම අධික ප්‍රදේශ හඳුනාගත හැකි වීමේ ඇති වැදගත්කම විශේෂයෙන් සඳහන් කළ යුතු ය. ඒ අනුව අදාළ රටවල හා ප්‍රදේශවල බලධාරීන්ට නාය යැම් අවදානම අධික ප්‍රදේශ පිළිබඳව වැඩි අවධානයක්‌ යොමු කළ හැකි ය. විශේෂයෙන් ඒ ප්‍රදේශවල භූමි භාවිතය සම්බන්ධව අවධානය යොමු කිරීම වැදගත් ය. නාය යැම් සඳහා හේතු වන වනාන්තර විනාශය මෙන්ම නාය යැම් නිසා ඇති වන ජීවීත හානි ප්‍රමාණය ඉහළ යැමට හේතු වන ලෙස අධික බෑවුම් සහිත ප්‍රදේශවල මානව ජනාවාස පිහිටුවීම ද පාලනය කිරීමට කටයුතු යෙදීමට බලධාරීන්ට ක්‍රියා කළ හැකි ය. මේ නිසා අපේ සාකච්ඡාවට ලක්‌ වූ පර්යේෂණයෙන් එවැනි අවස්‌ථාවක්‌ ද සපයා දී ඇති බව සඳහන් කළ යුතු ය. (මූලාශ්‍රයGeology,DOI: 10.1130/G33217.1&)

ප්‍රමුඛ පුවත
හුදෙකලා වූ වනාන්තරවල ක්‌ෂීරපායීහු වඳ වෙති

නිවර්තන කලාපීය වනාන්තර අතරින් සැලකිය යුතු ප්‍රමාණයක්‌ තැනින් තැන හුදකලාව ඉතිරි ව ඇති කුඩා ප්‍රමාණයේ වනාන්නතර වේ. මේ වනාන්තර දිගු කාලයක්‌ තිස්‌සේ සිදු වූ වන විනාශයෙන් ඉතිරි වූ පරිසර පද්ධති ය. මේවායේ ජීවත් වන ක්‌ෂීරපායින් පිළිබඳව සිදු කරන ලද අධ්‍යයනයකට අනුව පෙනී ගොස්‌ ඇත්තේ ඔවුන් ගෙන් විශාල ප්‍රමාණයක්‌ වඳ වීමට ලක්‌ වෙමින් ඇති බව ය.

බ්‍රසීලයේ අත්ලාන්තික්‌ වනාන්තර පිළිබඳව සිදු කරන ලද මේ අධ්‍යයනයයේ දී සැලකිල්ලට ගෙන ඇත්තේ වනාන්තර කැබැලි බවට පත් වීම හා දඩයම නිසා එහි නිවර්තන ජෛවවිවිධත්වයට දිගුකාලීන වශයෙන් ඇති වී තිබෙන බලපෑමයි. මේ අත්ලාන්තික්‌ වනාන්තරවලින් සියයට 90ක්‌ පමණ මේ වන විට විනාශ වී ඇති අතර ඉතිරි ව ඇති ඇතැම් වනාන්තර ඉතා කුඩා ඒවා ය. එවැනි හුදකලා වනාන්තර 196ක භූදර්ශනයේ මිනිසුන් විසින් සිදු කෙරී ඇති වෙනස්‌කම් හා වෙනත් බලපෑම් මගින් විශාල ක්‌ෂීරපායී සත්ත්වයන්ට ඇතිවිය හැකි බලපෑම් අවධානයට ලක්‌ ව තිබේ. මේ සඳහා වනජීවීන් පිළිබඳව සිදු කරන ලද සමීක්‌ෂණ හා සම්මුඛ සාකච්ඡා ආදිය භාවිත කර තිබේ.

එහි දී අනාවරණය වී ඇත්තේ අදාළ වනාන්තරවල දැකිය හැකි වූ වනගත ජීවී විශේෂ බෙහෙවින් වඳ වී ගොස්‌ ඇති බව ය. අනාවරණය වූ අන්දමට මේ වනාන්තරවල ස්‌වාභාවිකව වාසය කරන ක්‌ෂීරපායී විශේෂ 18ක්‌ අතරින් අධ්‍යයනයට ලක්‌ කළ කුඩා වන ප්‍රදේශවල සාමාන්‍යයෙන් දැකිය හැක්‌කේ විශේෂ 3.9ක්‌ පමණකි.

කෘෂිකර්මය වැනි මානව කටයුතු නිසා වනාන්තර මේ ආකාරයෙන් කැබැලිකරණය වී හුදකලා වීම සිදු වේ. ඉතිරි ව ඇති ප්‍රාථමික වනාන්තරවලින් සංරක්‌ෂණයට ලබා දෙන දායකත්වය ඇතැම් විට වාද විවාදවලට ලක්‌ වූවකි. මේ පර්යේෂණයෙන් පෙන්වා දෙන්නේ මෙවැනි කැබැලි වූ වනාන්තරවලින් ඉහළ ජෛවවිවිධත්වයකට වාසස්‌ථාන සපයා දෙනු ඇතැයි අපේක්‌ෂා කළ ද, එවැන්නක්‌ සඳහා මේ වන ප්‍රදේශවල සිදු වන දඩයම් කිරීම තදින් පාලනය කළ යුතු බව ය. කෙසේ වෙතත්, ශාක වැනි ජීවීන් ගේ සංරක්‌ෂණය සඳහා මේ හුදකලා වන බිම්වලින් ප්‍රයෝජනයක්‌ නොමැති බවක්‌ මින් අදහස්‌ නො කෙරේ. (මූලාශ්‍රයPLoSONE,DOI:10.1371/journal.pone.0041671)


පුවත් සැකෙවින් 
ආක්‌ටික්‌ ප්‍රදේශයේ අයිස්‌ දිය වීමත් වේගවත්

උතුරු අර්ධගෝලයේ ආක්‌ටික්‌ සාගර ප්‍රදේශයේ දැකිය හැකි අයිස්‌ දිය වීම සාමාන්‍යයෙන් අපේක්‌ෂා කළ මට්‌ටමට වඩා වේගවත් බව යුරෝපීය අභ්‍යවකාශ ආයතනයේ චන්ද්‍රිකාවකින් ලබාගත් දත්ත අනුව පෙනේ. මේ අනුව 2004 වර්ෂයෙන් පසුව මේ ප්‍රදේශයේ වර්ෂයකට අයිස්‌ ඝන කිලෝමීටර 900ක්‌ පමණ දිය වේ. ඒ අගය මෙතෙක්‌ ඉදිරිපත් කර තිබූ පුරෝකථන බොහොමයකින් දක්‌වා තිබූ අයිස්‌ දිය වීමේ වේගයට වඩා සියයට 50කින් පමණ අධික ය.

ආක්‌ටික්‌ ප්‍රදේශය ලෝකයේ වෙනත් ප්‍රදේශවලට වඩා වේගයෙන් උණුසුම් වන බව පෙන්වා දී ඇත. එසේම අයිස්‌ දිය වීමත් සමඟ නිරාවරණය වන සාගරය මගින් වැඩි තාපයක්‌ අවශෝෂණය කර ගන්නා නිසා උණුසුම වැඩි වීම තවත් වේගවත් වීමට ද ඉඩ තිබේ. කෙසේ වෙතත් මේ තත්ත්වය දේශගුණ වෙනස්‌ වීමේ සෘජු ප්‍රතිඵලයක්‌ ද නැත හොත් ස්‌වාභාවික සාධකවල බලපෑම ද ඊට අයත් ද යන්න ගැන ගැටලුවත් ව තිබේ. මෑත දී ග්‍රීන්ලන්තයේ අයිස්‌ තට්‌ටු වේගයෙන් දිය වූ බව වාර්තා විය.

ෆුකුෂිමා ඛේදවාචකයේ සෞඛ්‍ය බලපෑම්

2011 වර්ෂයේ දී ජපානයේ සිදු වූ ෆුකුෂිමා ඛේදවාචකයේ සෞඛ්‍ය බලපෑම් පිළිබඳව අවධානය යොමු කළ පර්යේෂණ වාර්තා දෙකක්‌ පසුගිය දා ප්‍රකාශයට පත් විය. ඉන් එකක අවධානය යොමු ව තිබුණේ අදාළ ඩයිච් බලාගාරයේ සේවකයන් ගේ මානසික තත්ත්වය පිළිබඳව ය. එහි දී හෙළි ව තිබූ පරිදි, අනතුරින් මාස තුනක පමණ කාලයකට පසු වත් අනතුරට ලක්‌ නො වූ බලාගාරයක සේවකයන්ට වඩා අදාළ අනතුරට ලක්‌ වූ න්‍යෂ්ටික බලාගාරයේ සේවකයන් මානසික පීඩාවකට ලක්‌ ව සිට ඇත.

දෙවැනි අධ්‍යයනය සිදු කර ඇත්තේ අදාළ බලාගාරයට කිලෝමීටර් 22ක්‌ පමණ උතුරින් පිහිටා ඇති මිනාමිසෝමා නම් නගරයේ වැසියන් නිරාවරණය වී තිබූ සීසියම් මට්‌ටම පිළිබඳව ය. මේ නගරයේ ජනතාව අනතුරු අවස්‌ථාවේ ඉවත් කරනු ලැබූ අතර 2011 අගෝස්‌තු මාසය වන විට ඉන් අඩක පමණ පිරිසක්‌ ආපසු පැමිණ තිබිණි. ඉන්පසු මාස හයක කාලයක්‌ තිස්‌සේ කළ මේ අධ්‍යයනයෙන් පෙනී ගොස්‌ ඇත්තේ මේ පිරිස විකිරණවලට නිරාවරණය වීම අඩු බව ය. මේ දක්‌වා සෞඛ්‍ය ගැටලු ද වාර්තා වී නැතත්, ඔවුන් ගේ සෞඛ්‍යය පිළිබඳව දිගට ම අවධානය යොමු කළ යුතු බව ද මෙහි සඳහන් වේ. (මූලාශ්‍රය Journalof American Medical Association, DOI:10.1001/jama.2012.9699 yd 10.1001/jama.2012.9839)

බ්‍රසීලයේ ආන්දෝලනාත්මක වේල්ලේ ඉදි කිරීම් අත්හිටුවයි

බ්‍රසීලයේ ඉදි කිරීමට නියමිත වූ වේල්ලක ඉදි කිරීමේ කටයුතු අත්හිටුවීමට බ්‍රසීලයේ අධිකරණයක්‌ තීරණය කර තිබේ. බෙලෝ මොන්ටෙ (Belo Monte) නම් මේ වේල්ල සිංගු නම් වූ ගංගාවක ඉදි කෙරෙන අතර, ඉදි කිරීමෙන් පසුව මෙය ලෝකයේ තෙවැනි විශාලතම ජල විදුලි ව්‍යාපෘතිය වීමට නියමිත විය. ඉන් වර්ග කිලෝමීටර 500ක්‌ පමණ ප්‍රදේශයක්‌ ජලයට යට වීමට නියමිත අතර 16000ත් 40000ත් අතර පිරිසක්‌ අවතැන් විය හැකි ය.

එරට අභියාචනාධිකරණයක්‌ තීරණය කර ඇත්තේ ව්‍යාපෘතියෙන් බලපෑමට ලක්‌ විය හැකි ස්‌වදේශික ජනතාව ගෙන් ඒ පිළිබඳව අදහස්‌ ප්‍රමාණවත් ලෙස නො විමසා ඊට අනුමැතිය ලබා දීමෙන් එරට බලධාරීන් නීති විරෝධී ව කටයුතු කර ඇති බවය. ඒ නිසා ඔවුන්ගේ ඔවුන් ගේ අදහස්‌ ලබා ගත යුතු බව අධිකරණය තීරණය කර තිබේ. එසේ නො කළ හොත් අදාළ සමාගමට දෛනික දඩයක්‌ ද නියම කර ඇත.

කෙසේ වෙතත් මේ අත්හිටුවීම තාවකාලික විය හැකි බව පෙනේ. ස්‌වදේශික ජනතාව ගේ එකඟතාව ලබාගත් පසු එය යළි ක්‍රියාත්මක විය හැකි ය. එහෙත් තාවකාලික වුවත් මෙය වැදගත් වන්නේ ජනතාව ගේ අයිතිවාසිකම් ආරක්‌ෂා කිරීමේ ලා වැදගත් තීරණයක්‌ වන නිසා ය. ෆොසිල ඉන්ධන වෙනුවට යෝග්‍ය බලශක්‌ති ප්‍රභව සෙවීමේ දැඩි ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරන බ්‍රසීලය මේ වේල්ල ඉදි කිරීම කඩිනම් කිරීමේ යෙදී සිටියි.

http://www.vidusara.com/2012/08/22/feature3.html

ජගත් පරිසර විමසුම 136 (Global Environmental Watch, 136)

ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 2012-08-15, පි. 11 (Vidusara, 2012-08-15 p.11)

http://www.vidusara.com/2012/08/15/feature3.html


විමසුම - දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීමේ සටන තවත් දියාරු වන හැඩ?
ප්‍රමුඛ පුවත - පරිසරයෙන් ඒජන්ට්‌ ඔරේන්ඡ් 'ඉවත් කිරීම'
පුවත් සැකෙවින් - පාරජම්බුල කිරණ නිසා සාගර ජීවීන්ට බලපෑම්/ කුඩා සුළං ටර්බයින වවුලන්ට බලපායි/ වැඩි ම පරිසර දූෂණයකින් යුත් ස්‌ථාන

විමසුම
දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීමේ සටන තවත් දියාරු වන හැඩ?

දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීම පිළිබඳ වර්තමාන තත්ත්වය පිළිබඳව මේ තීරුව ඔස්‌සේ විමසා බැලීමට අප සිතුවේ මෑත කාලයේ දී ඒ සම්බන්ධව වාර්තා වූ ඇතැම් පුවත්වල ඇති වැදගත්කම නිසා ය. විශේෂයෙන් ලෝකයේ බරපතළ ම පාරිසරික ගැටලුව වන දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධව ඇතැම් රටවල ජනතාව ගේ හා දේශපාලන නායකත්වයේ අවධානය අඩු වී ඇති තත්ත්වයක්‌ පැවතිය ද එහි වැඩි බලපෑමකට ලක්‌ විය හැකි දියුණු වන රටක්‌ ලෙස අප මේ පිළිබඳ ප්‍රවණතා ගැන අවධානය යොමු කළ යුතු වේ. ඒ ඉදිරියේ දී අපට මුහුණ දීමට සිදු වන අභියෝග පිළිබඳව වටහා ගැනීම සඳහා ය.

කාබන්ඩයොක්‌සයිඩ් විමෝචන ඉහළ මට්‌ටමක

2011 වර්ෂයේ දී ලෝකයේ කාබන් ඩයොක්‌සයිඩ් වායු විමෝචන ප්‍රමාණය පෙර වර්ෂයට සාපේක්‌ෂව 3%කින් පමණ වර්ධනය වී ඇත. මේ වර්ධනය පසුගිය දශකයේ පැවැති සාමාන්‍ය වර්ධනය වන 2.7% ප්‍රමාණය ඉක්‌මවා තිබීම වැදගත් කරුණකි. එහෙත් මෑත කාලයේ වැඩි ම ප්‍රතිශත වර්ධනයක්‌ පැවතියේ 2010 දී ය. ඒ ලෝක ආර්ථික අර්බුදයෙන් පසු නැවත යථා තත්ත්වයට පත් වන අතර දී ය.

ප්‍රමාණාත්මකව ටොන් බිලියන 34ක්‌ වන මේ කාබන් ඩයොක්‌සයිඩ් වායු විමෝචන සඳහා දායකත්වය සපයා ඇති රටවල් හා ඒවායේ දායකත්වය මෙසේ ය. චීනය (29%), ඇමෙරිකාව (16%), යුරෝපා සංගමය (11%), ඉන්දියාව (6%), රුසියාව (5%) හා ජපානය (4%) මේ අතර ඉදිරියෙන් සිටින රටවල් වේ.

මේ අතර චීනයේ ඒක පුද්ගල කාබන් ඩයොක්‌සයිඩ් වායු විමෝචන ප්‍රමාණය (වාර්ෂික) යුරෝපයේ මට්‌ටමට ආසන්න වී තිබේ. එය 2011 වර්ෂයේ දී 9%කින් වර්ධනය වූ අතර මේ වන විට ටොන් 7.2 මට්‌ටමේ පවතී. කාර්මික රටවල සාමාන්‍යය ටොන් 6ත් 19ත් අතර පවතී. යුරෝපා සංගමයේ එය ටොන් 7.5ක්‌ පමණ වේ. එහි විශේෂත්වය වන්නේ යුරෝපා සංගමයේ මේ අගය ගිය වර්ෂයේ දී 3%කින් අඩු වී තිබීම ය. ඇමෙරිකාවේ මේ අගය ටොන් 17.3ක්‌ පමණ වේ. මේ කරුණු හෙළි කර ඇත්තේ යුරෝපා කොමිසමට අයත් ආයතනයක්‌ හා තවත් ආයතනයක්‌ එක්‌ ව පළ කර ඇති zජගත් කාබන් ඩයොක්‌සයිඩ් විමෝචන ප්‍රවණතාZ නම් වාර්ෂික වාර්තාවෙනි. (මූලාශ්‍රයTrends in global CO2 emissions,
http://edgar.jrc.ec.europa.eu/CO2REPORT2012.pdf&)

සෙල්සියස්‌ අංශක දෙකේ සීමාව කේවල් කිරීම

මේ අතර පසුගිය සතියේ ඇමෙරිකාවේ ප්‍රධාන දේශගුණ සාකච්ඡාකරු වන ටොඩ් ස්‌ටර්න් පැවසූ කරුණක්‌ සම්බන්ධව යුරෝපා සංගමය හා කුඩා දූපත් රාජ්‍ය එකමුතුව වෙතින් විරෝධය පළ වී තිබේ. ඔහු පවසන ආකාරයට මිහිතලය උණුසුම් වීම සෙල්සියස්‌ අංශක දෙකකට අඩුවෙන් පවත්වාගත යුතු ය යන පිළිගත් ඉලක්‌කය නිසා දේශගුණ සාකච්ඡා අතරමඟ නැවතීමට හේතු විය හැකි ය. මේ නිසා දේශගුණ සාකච්ඡාවල දී දැඩි මතධාරී නො වී නම්‍යශීලී විය යුතු ය යන්න ඔහු පෙන්වා දී තිබේ. එහෙත් මේ අදහස දේශගුණ වෙනස්‌ වීමට එරෙහි සටන ආරම්භ වීමට පළමුව ම අත්හැර දැමීමක්‌ සේ දක්‌වා තිබේ.

මේ ඉලක්‌කය ඇමෙරිකාවේ විරෝධයට ලක්‌ වූ පළමු අවස්‌ථාව මෙය නො වේ. මේ වන විට ලෝකය එකඟ වී ඇති උෂ්ණත්ව ඉහළ යැම සෙල්සියස්‌ අංශක දෙකේ සීමාවේ තබා ගැනීම, දේශගුණ වෙනස්‌ වීමට විසඳුමක්‌ සොයා ගැනීම පමා කිරීමේ උපක්‍රමයක්‌ සේ දැක්‌විය හැකි ය. එසේ නො වුව හොත් දේශගුණ වෙනස්‌ වීමේ බලපෑම් බරපතළ ඒවා විය හැකි බවට ඕනෑ තරම් විද්‍යාත්මක සාධක දැක්‌විය හැකි ය. 2010 දී පැවැති දේශගුණ සාකච්ඡාවල දී ලෝකය ම මේ ඉලක්‌කය පිළිබඳව තම එකඟතාව පළ කර තිබිණි. කෙසේ වෙතත් මේ ඉලක්‌කය පවා බරපතළ එකක්‌ විය හැකි බව තවත් බොහෝ අධ්‍යයනවලින් යෝජනා කර තිබේ. ඒ අනුව සරලව පවසන්නේ නම්, ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම හැකි තරම් අඩු මට්‌ටමක තබා ගත යුතු බව පැහැදිලි ය.

කෙසේ වෙතත් ඇමෙරිකාවේ මේ පිළිවෙත හමුවේ ඇතැම් පාර්ශ්ව ඇමෙරිකාවේ සහායට පැමිණිය හැකි බව අප අමතක නො කළ යුතු ය. මේ අතර වේගයෙන් කාර්මිකකරණය වන දියුණු වන රටවල් ද විය හැකි ය. එසේ වුව හොත් එය දේශගුණ සාකච්ඡාවල හරය හෙවත් වැදගත් ම ඉලක්‌කය නො සලකා හැරීමක්‌ වනු ඇත.

ලෝකයේ අභියෝගය


මේ අනුව ලෝකය ඉදිරියේ ඇති අභියෝගය කවරේ දැයි ඉතා පැහැදිලි ය. ලෝකයේ ප්‍රධානතම හරිතාගාර වායුව වන කාබන් ඩයොක්‌සයිඩ් වායු විමෝචන ඉහළ යමින් තිබේ. ලෝකයේ උෂ්ණත්වය ද ඉහළ යමින් තිබේ. එහි බලපෑම් අපට මේ වන විටත් දැකිය හැකි ය. එහෙත් මේ ගැටලුවට විසඳුම් සෙවීමට ඇතැම් රටවලට උනන්දුවක්‌ නොමැති තරම් ය. ඒ සඳහා හේතු වී ඇත්තේ ආර්ථික වර්ධනය හා සම්බන්ධ දේශපාලනික කරුණු ය. මේ නිසා මේ අර්බුදයට විසඳුම් සෙවීම දිනෙන් දින පමා වෙමින් තිබේ. ලෝකයේ ඉදිරියේ අද දවසේ ඇති අභියෝගය වන්නේ ලෝකයේ ම සහාය ලබාගත් විසඳුමක්‌ සෙවීම ය.



ප්‍රමුඛ පුවත
පරිසරයෙන් ඒජන්ට්‌ ඔරේන්ඡ් 'ඉවත් කිරීම'

දශක කිහිපයකට පෙර පැවැති වියට්‌නාම් යුද්ධයේ දී ඇමෙරිකානු හමුදා විසින් ඒජන්ට්‌ ඔරේන්ඡ් නම් කෘෂි රසායන ද්‍රව්‍යය භාවිත කිරීම ඇමෙරිකානුවන් විසින් සිදු කරන ලද මානුෂික නො වන ක්‍රියාවක්‌ ලෙස ප්‍රකට කරුණකි. ඒජන්ට්‌ ඔරේන්ඡ් යනු 2,4,5 ට්‍රයික්‌ලොරොෆීනොක්‌සිඇසිටික්‌ අම්ල හා 2,4 ඩයික්‌ලෝරොෆීනොක්‌සිඇසිටික්‌ අම්ල යන රසායනිකවල සම මිශ්‍රණයකි. ශාකවල පත්‍ර පතනය සඳහා හේතු වන මේ රසායන ද්‍රව්‍යය වියට්‌නාමයේ වනාන්තරවලට ගුවන් මගින් ඉසින ලද්දේ උතුරු වියට්‌නාමයේ සහාය ලද වියට්‌කොං ගරිල්ලා සේනා සැඟව සිටි වනාන්තර විනාශ කිරීම හා ආහාර සපයාගැනීම වැළැක්‌වීම සඳහා ය. එහෙත් අතිශයින් විෂ සහිත මේ රසායන ද්‍රව්‍යය ඉසීමෙන් විශාල පිරිසක්‌ මිය ගිය අතර ගත වූ කාලය තුළ එහි හානිකර බලපෑම්වලට විශාල පිරිසක්‌ ලක්‌ ව තිබේ. මේ අතර යුද්ධය හා කිසිදු සම්බන්ධයක්‌ නොමැති ළමයින් 150,000ක්‌ පමණ පිරිසක්‌ බරපතළ විකෘති තත්ත්ව සහිතව උපත ලබා තිබීම ඉතා කණගාටුදායක වේ.

මේ රසායන ද්‍රව්‍යයෙන් දූෂණයට ලක්‌ ව ඇති ප්‍රදේශයක්‌ පවිත්‍ර කිරීමට ඇමෙරිකානු අනුග්‍රහය ඇති ව ව්‍යාපෘතියක්‌ දියත් කර තිබේ. ඒජන්ට්‌ ඔරේන්ඡ් ගබඩා කර තැබූ දනෑංග් ප්‍රදේශයේ පිහිටි ගුවන් තොටුපළක මේ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබේ. රසායන ද්‍රව්‍යවලින් දූෂිතව ඇති පස්‌ යාන්ත්‍රිකව ඉවත් කර අධික උෂ්ණත්වයකට ලක්‌ කිරීමෙන් එහි ඇති ඩයොක්‌සින් විනාශ කිරීම මෙහි දී සිදු කිරීමට නියමිත ය. ඒජන්ට්‌ ඔරේන්ඡ් ගබඩා කර තැබූ හා ඒ නිසා අධික ලෙස දූෂණයට ලක්‌ වූ ස්‌ථාන ගණනාවක්‌ වියට්‌නාමයේ පවතී. 1975 වර්ෂයේ දී යුද්ධය නිමා වීමෙන් පසුව මෙවැනි පවිත්‍රකරණයක්‌ සඳහා ඇමෙරිකාව ඉදිරිපත් වී ඇත්තේ පළමු වරට ය.

මෙවැනි කාර්යයක්‌ සඳහා ඇමෙරිකාව ඉදිරිපත් වීම පසුපස දේශපාලනය ද ඇති බව සත්‍යයකි. අසල්වැසි චීනය සමඟ ඇති ගැටලු හා ඇමෙරිකාව හා වියට්‌නාමය අතර මෑත කාලයේ වර්ධනය වූ සම්බන්ධතා මීට හේතු වී ඇති බවක්‌ පෙනේ. මේ රසායන ද්‍රව්‍යයට නිරාවරණය වීමෙන් බලපෑමට පත් ඇමෙරිකානු සෙබළුන්ට වන්දි ලබා දී ඇති ඇමෙරිකාව, විපතට පත් වියට්‌නාම වැසියන්ට වන්දි ලබා දීමට තවමත් ඉදිරිපත් නො වීම මීට සාධකයකි. වන්දි ඉල්ලා වියට්‌නාම වැසියන් ගොනු කළ නඩුවක්‌ වසර කිහිපයකට පෙර නිශ්ප්‍රභ කරන ලදි. එහෙත් වන්දි ඉල්ලා සිදු කරනු ලබන ව්‍යාපාරය අඩාළ නො වනු ඇතැයි අපේක්‌ෂා කරනු ලැබේ.


පුවත් සැකෙවින්
පාරජම්බුල කිරණ නිසා සාගර ජීවීන්ට බලපෑම්

සාගරයේ වෙසෙන ජීවීන් ගේ මරණ ප්‍රමාණය ඉහළ යැම සඳහා පාරජම්බුල කිරණ වර්ගයක්‌ (UVB) හේතු වන බව අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ. මුහුදේ වෙසෙන ඇතැම් සත්ත්ව විශේෂ මෙන්ම ශාක විශේෂවල මරණ කැපී පෙනෙන ආකාරයෙන් ඉහළ යා හැකි ය. ඉන් වැඩි ම බලපෑමකට ලක්‌ වන්නේ ප්‍රොටිස්‌ටාවන්, ඇල්ගී, කොරල් හා ක්‍රස්‌ටේසියානුවන් ය. එසේ ම මසුන් ගේ බිත්තර හා මුල් අවස්‌ථාව ද මේ කිරණවල බලපෑමට ලක්‌ වීමට ඉඩ තිබේ.

මින් ඉහත දී සිදු කරන ලද අධ්‍යයන විමර්ශනය කිරීමෙන් හෙළි ව ඇති පරිදි මේ කාණ්‌ඩවල ජීවීන් ගේ ප්‍රමාණයේ අඩු වීම හා මේ කිරණ ඉහළ යැම සමගාමී වීම වේ. ඒ අනුව මෑත කාලයේ දී වාර්තා වී ඇති සාගර ජීවීන් ගේ අඩු වීමට බලපාන හේතුවක්‌ ලෙස මෙය ද නම් කළ හැකි බව පෙන්වා දී තිබේ. ම මේ තත්ත්වය සාගර සමස්‌ත ආහාර ජාලයට ම බලපෑම් ඇති කරයි. නිදසුනක්‌ ලෙස ඉහත කී කාණ්‌ඩවල ජීවීන් ගේ අඩු වීම ඒ මත යෑපෙන සත්ත්ව විශේෂවල ගහනය අඩුවීමට ද හේතු විය හැකි ය. නිදසුනක්‌ ලෙස ඇල්ගා ජීවීන් සාගරයේ ප්‍රධාන ම ප්‍රාථමික නිෂ්පාදකයන් ය. පාරජම්බුල කිරණවලින් සාගර ජීවීන්ට සිදු විය හැකි බලපෑම් පිළිබඳව මෙවැනි අධ්‍යයන මෙතෙක්‌ කලක්‌ සිදු කර නො තිබිණි. (මූලාශ්‍රයGlobal Ecology andBiogeography, DOI: 10.1111/j.1466-8238.2012.00784.x&)

කුඩා සුළං ටර්බයින වවුලන්ට බලපායි

කුඩා සුළං ටර්බයින නිසා වවුලන් ගේ ගහනවල ප්‍රමාණය අඩකින් පමණ අඩු විය හැකි බව බ්‍රිතාන්‍යයේ සිදු කරන ලද අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ. එවැනි ස්‌ථාන විස්‌සක්‌ පමණ ප්‍රමාණයක සිදු කර ඇති මේ අධ්‍යයනයෙන් පෙනී ගොස්‌ ඇති පරිදි වවුල් ගහනය 54% දක්‌වා වූ ප්‍රමාණවලින් අඩු වීමට එය බලපෑ හැකි ය. එහෙත් පක්‌ෂි ගහනවලට ඉන් බලපෑමක්‌ වී නොමැත.

පරිසර හිතකාමී බලශක්‌ති ප්‍රභවයක්‌ ලෙස සුළං බලයෙන් විදුලිය නිපදවීමට බ්‍රිතාන්‍යයේ ලබා දෙන සහන ව්‍යාපෘති නිසා ගොවිපොළ හා ගෘහාශ්‍රිතව මෙවැනි ටර්බයින බෙහෙවින් ජනප්‍රිය වී තිබේ. එහෙත් වනජීවීන්ට හානියක්‌ නො වී පිරිසිදු බලශක්‌තිය ද ලබා ගැනීමට නම්, වවුල් වාසස්‌ථානවල සිට මීටර් 20ක දුරක්‌ ඇතුළත කුඩා සුළං ටර්බයින ස්‌ථාපිත නො කළ යුතු බව මේ පර්යේෂකයන් ගේ අදහසයි. ඒ අනුව මේවා ස්‌ථාපනය කිරීම පිළිබඳව සැලකිලිමත් විය යුතු බව පැහැදිලි ය. (මූලාශ්‍රයPLoS ONE, DOI:10.1371/journal.pone.0041177)


වැඩි ම පරිසර දූෂණයකින් යුත් ස්‌ථාන

නිව්යෝර්ක්‌ නගරය පාදක කරගත් රාජ්‍ය නො වන සංවිධානයක්‌ මඟින් ලෝකයේ වඩාත් දූෂණයට ලක්‌ ව ඇති ස්‌ථාන දහයක්‌ නම් කර තිබේ. මේ ලේඛනයකට අනුව ඉන් මුල් දහය අතරට වැටෙන ස්‌ථාන තුනක්‌ ඉන්දියාවේ ද, දෙකක්‌ චීනයේ ද පිහිටා ඇත.

මේ ස්‌ථාන අතරින් සමහරක්‌ ලෝකයේ බරපතළ දූෂණයක්‌ පැවැති ස්‌ථාන වේ. නිදසුනක්‌ ලෙස බෝපාල් හා චර්නොබිල් දැක්‌විය හැකි ය.

උක්‌ත ආයතනය මෙවැනි ස්‌ථාන පිළිබඳව කරුණු සොයා බලන අතර, ලෝකයේ ඇති මෙවැනි ස්‌ථානවල පවත්නා පරිසර දූෂණය නිසා බලපෑමට ලක්‌ ව ඇති පිරිස ඉතා විශාල ය.

http://www.vidusara.com/2012/08/15/feature3.html

වන ගිනි පාලනය කිරීමට නම්....

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 2012-08-22, පි. 05 (Vidusara, 2012-08-22 p.05)
http://www.vidusara.com/2012/08/22/feature4.html


ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පිහිටි වනාන්තර ගිනි තැබීම් පිළිබඳව දිනපතා ම පාහේ ජනමාධ්‍ය ඔස්‌සේ වාර්තා වේ. ඒ අනුව පසුගිය මාස හතරක පමණ කාලය තුළ අපේ රටේ වියළි කලාපයේ වන ගිනි විශාල ලෙස ඉහළ ගොස්‌ ඇති බවක්‌ පෙනේ. ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ ප්‍රකාශකයකුට අනුව මේ මස මුල වන විට මාස හතරක්‌ තුළ වන ගිනි 100ක්‌ වාර්තා වී තිබේ. ඉන් විනාශයට පත් වනාන්තර ප්‍රමාණය හෙක්‌ටයාර 4000ක්‌ (අක්‌කර 10,000ක්‌) පමණ බව පැවසේ. මේ ප්‍රමාණය සාමාන්‍ය ප්‍රමාණයට වඩා අධික බව පළමු වගුව විමසීමෙන් පෙනේ. (එහෙත් වගුවේ සඳහන් වන්නේ වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා වී ඇති වන ගිනි පමණක්‌ බව සැලකිය යුතු ය). ඊට හේතුවක්‌ ව ඇත්තේ මේ වර්ෂයේ පවත්නා දැඩි නියඟයයි.

මෙසේ ගිනි තබා ඇති ඇතැම් ස්‌ථාන ජාතික වනෝද්‍යාන, අභය භූමි හෝ රක්‌ෂිත වනාන්තර වැනි ආරක්‌ෂිත ප්‍රදේශ වේ. ඉන් විශාලතම ගින්න ඇති වූයේ ඉදල්ගස්‌හින්න-ඔහිය-පට්‌ටිපොල ප්‍රදේශයේ වනාන්තරයක ය. ඉන් හානි වූ ප්‍රමාණය හෙක්‌ටයාර 600ක්‌ තරම් ය. එසේ ම අගෝස්‌තු මාසයේ ම සෝමාවතී ජාතික වනෝද්‍යානයේ ගිනි දෙකක්‌ වාර්තා විය. ස්‌වාභාවික වනාන්තර මෙන්ම වන වගා ද මෙසේ ගින්නෙන් හානියට ලක්‌ වූ ස්‌ථාන අතර වේ.

වර්ෂයේ මේ කාලයේ රටේ වියළි හා අතරමැදි කලාපයේ වන ගිනි තැබීම් ඉහළ යැම පුදුමයක්‌ නො වේ. ජූනි-සැප්තැම්බර් දක්‌වා කාලය මේ ප්‍රදේශවලට ඉතා වියළි කාලයකි. මේ කාලයේ දී තෙත් කලාපයට වැසි ලැබෙතත් වියළි කලාපයට වර්ෂාවක්‌ නො ලැබේ. එහි වනාන්තර හා පතන් බිම් ආශ්‍රිතව දැකිය හැකි තෘණ හා වෙනත් පඳුරුමය ශාක මේ කාලය වන විට බෙහෙවින් වියළී ගොස්‌ තිබේ. මේ නිසා වනාන්තර ගිනි වේගයෙන් පැතිර යයි. වියළි සුළං, ගිනි මගින් සිදු වන හානිය ඉහළ යැම සඳහා ද බලපායි. මෙවැනි ගිනි වැඩි ප්‍රමාණයක්‌ වාර්තා වන්නේ ඌව පළාත හා මධ්‍යම පළාතේ නැඟෙනහිර බෑවුමේ පිහිටි ප්‍රදේශවලිනි. නකල්ස්‌ හෙවත් දුම්බර වනාන්තරය, නමුණුකුල හා ඌව පළාතේ කඳු ප්‍රදේශ වන ගිනි සඳහා ඉතා ප්‍රකට ස්‌ථාන වේ. (තෙත් කලාපයේ වන ගිනි තැබීම් ඉහළ යන්නේ එහි වියළිතම කාලය වන පෙබරවාරි-මාර්තු කාලයේ දී ය.)

වන ගිනි ඇති වන්නේ කෙසේ ද?

අපේ රටේ වනාන්තර ස්‌වාභාවිකව ගිනි නො ගන්නා බව මේ පිළිබඳ විශේෂඥ මතයයි. එසේ නම් වන ගිනි යම් කිසිවකු විසින් ඇති කරනු ලැබිය යුතු ය. මෙසේ ගිනි තබන්නේ හේතු කිහිපයක්‌ නිසා ය. සතුන් දඩයම් කිරීම හා ගවයන්ට අලුත් තෘණ ලබාගැනීම සඳහා වුවමනාවෙන් වනාන්තර ගිනි තැබීම දැකිය හැකි ය. හේන් හා වෙනත් වගා කටයුතු සඳහා වන බිම් එළි කර සිදු කරන ගිනිතැබීම් පැතිරී යැම ද වන ගිනි සඳහා හේතු වේ. විනෝදයට වනාන්තර ගිනි තැබීම ද මීට බලපායි. දැල්වෙන සිගරැට්‌ කොට ඉවත දැමීම හා ගෙවතුවල කසළ ගිනි තැබීම වැනි කටයුතු නිසා ද වන ගිනි ඇති විය හැකි ය.

වන ගිනි පිළිබඳ මාධ්‍ය වාර්තාවල බොහෝ විට සඳහන් වන්නේ වනාන්තරයක්‌ ගිනි ඇවිළී ඇති බවත්, ඒවා නිවීමට ගත් උත්සාහයත්, ඉන් කෙතරම් ප්‍රදේශයක්‌ විනාශ වූයේ ද යන්නත් ය. මෙහි දී අදාළ රාජ්‍ය නිලධාරීන් කෙතරම් කාර්යක්‌ෂ්ම වී ද හා සේවක පිරිස්‌ ප්‍රමාණවත් වී ද යන්න වැනි කරුණු ද සඳහන් වේ. අපේ රටේ මාධ්‍ය වාර්තාකරණයේ ඇති එක්‌ අංගයක්‌ වන්නේ ජනතාව අවුස්‌සනසුලු පුවත් ය. මේ නිසා වන ගිනි ඉහළින් හුවා දක්‌වන පුවත් අතර මේවා ගිනි ඇවිළී ඇත්තේ කෙසේ ද යන්න හා ඒවා ඇති කළේ කවුරුන් ද යන්න ගැන සඳහන් වූයේ ඉතා අඩුවෙනි.

වන ගිනි වැඩි වීමෙන් පෙනෙන්නේ වන ගිනි වැළැක්‌වීමේ වැදගත්කම පිළිබඳව සාමාන්‍ය ජනතාව ප්‍රමාණවත් තරම් දැනුම්වත් වී නොමැති බව ය. වනාන්තර ගිනි තැබීමේ අහිතකර ප්‍රතිඵල බොහෝ දෙනා දන්නා කරුණු ය. දිය උල්පත් සිඳීයැම, ජෛවවිවිධත්වය හායනයට ලක්‌ වීම, නාය යැම් ඇති වීමේ ඉඩ වැඩි වීම ඉන් කිහිපයක්‌ පමණි. මේ බව දැන දැනත් වනාන්තර විනාශ කරන්නන් අපේ සමාජයේ සිටීම කණගාටුවට කරුණක්‌ පමණක්‌ නො වේ. දශක හතරක පරිසර අධ්‍යාපනයේ අසාර්ථකත්වය මින් යළිත් පෙනේ. කෙසේ වුවත් කුමන සමාජයක වුවත් අපරාධකරුවන් අතළොස්‌සක්‌ හෝ සිටින බැවින් ඒවා පාලනය කිරීම සඳහා නීතිය අකුරට ක්‍රියාත්මක කිරීම හා නීතිය දැඩි කිරීම අවශ්‍ය වේ.

වන ගිනි සඳහා අපේ රටේ නීතිය අනුව ලබා දිය හැකි දඬුවම් මෙසේ ය. 2009 අංක 65 දරන සංශෝධිත වන ආඥා පනත අනුව ගිනි තබනු ලබන වනාන්තර වර්ගය අනුව ලබා දිය හැකි දඬුවම වෙනස්‌ වේ. එය වසර දෙකත් හතත් අතර සිර දඬුවමක්‌ හා රු. 5,000ත් 200,000ත් අතර දඩයක්‌ හෝ මේ දෙක ම විය හැකි ය. එසේ ම මීට අමතරව සිදු කරන ලද හානියට වඩා අධික වූ වන්දියක්‌ ගෙවීමට ද නියම කළ හැකි ය.

එහෙත් වනාන්තර ගිනි තබන්නවුන්ට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කිරීමේ යම් ගැටලුවක්‌ ඇති බව පෙනේ. ඒ ඔවුන් කොටු කර ගැනීමේ අපහසුවයි. අප දුටු පුවත් වාර්තා කිසිවක අදාළ අපරාධකරුවන් අල්ලා ගැනීමට හැකි වූ බවක්‌ සඳහන් නො වී ය. අදාළ අපරාධකරුවන් බොහෝ විට ප්‍රදේශයේ ම පදිංචිකරුවන් වීමත් මේ විනාශකාරී ක්‍රියාවලියේ කෙටිකාලීන ප්‍රතිලාභ යම් පිරිසකට ලැබීමත් නිසා තොරතුරු සපයාගැනීම අපහසු වන බව පෙනේ. මේ පිළිබඳ නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රදේශයේ ජනතාව ගේ සහයෝගය අවශ්‍ය බව නුවරඑළිය දිස්‌ත්‍රික්‌ ලේකම්වරයා පුවත්පතකට කර තිබූ ප්‍රකාශකින් ද පෙනේ.

ජුනි මාසයේ දී වාර්තා වූ පරිදි වනාන්තර ගිනි තබන පුද්ගලයන්ට එරෙහි ව නීතිය තදින් ක්‍රියාත්මක කරන්නට රජය තීරණය කර තිබේ. ජනාධිපතිවරයා මේ දඬුවම් ඉහළ නැංවීමට පියවර ගන්නා ලෙස දැනුම් දී ඇති බව ද වාර්තා විය. ඒ අනුව අමාත්‍යංශ කිහිපයක්‌ නියෝජනය වන කමිටුවක්‌ පත් කළ බව හා මාස හයක කාලයක්‌ තුළ ක්‍රියාකාරී සැලැස්‌මක්‌ සකස්‌ කිරීමට අපේක්‌ෂා කරන බව සඳහන් විය. අදාළ නීතිවල යම් සංශෝධනයක්‌ සිදු වන්නේ නම් එය මෙවැනි අපරාධවලින් ජනතාව ඈත් කිරීමට හේතු වන ආකාරයේ එකක්‌ වීම වැදගත් ය.

ගිනි වැළැක්‌වීමට සම්පත් ප්‍රමාණවත් ද?

මේ ආකාරයෙන් ඇති වන වන ගිනි වැළැක්‌වීමට අවශ්‍ය තරම් සම්පත් හා ප්‍රතිපාදන තිබේ ද යන්න අප විමසා බැලිය යුතු පැනයයි. මේ ගිනි නිවීමට බොහෝ විට මැදිහත් වූයේ වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ, වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ හා ආරක්‌ෂක අංශවල නිලධාරීන් ය. ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය ද මෙහි දී විශේෂ වගකීමක්‌ දරයි. මේ අතරින් ආරක්‌ෂක අංශ වැදගත් වන්නේ මෙවැනි අවස්‌ථාවක අවශ්‍ය කරන ශ්‍රම සම්පත ඔවුන් සතු නිසා ය. ඔවුන් ඒ සඳහා යම් පුහුණුවක්‌ ද ලබා තිබිය හැකි ය. ගිනි නිවීම සඳහා ඇතැම් අවස්‌ථාවල ගුවන් හමුදා හෙලිකොප්ටර් ද යොදාගෙන තිබිණි. ඇතැම් අවස්‌ථාවල ප්‍රදේශවාසීන් ද පරිසර හා වෙනත් සවෙච්ඡා සංවිධාන සාමාජිකයන් ද ඊට සහාය දීඇත. මේ නිසා ඇති වූ විනාශය තරමක්‌ හෝ අවම කර ගැනීමට හැකි වූ බව පෙනේ.

අනෙක්‌ අතට අවශ්‍ය උපකරණ හා පහසුකම් රජයේ අදාළ නිලධාරීන් වෙත ලබා දීම ඉතා වැදගත් ය. පසුගිය දා වාර්තා වූ පුවතකට අනුව ගිනි නිවීම සඳහා අවශ්‍ය රථ අදාළ ප්‍රදේශවලට ලබා දීමට නියමිත වේ. මේ වනාන්තර බොහෝ විට මාර්ගවලින් යුක්‌ත නො වන බැවින් ඊට ගිනි නිවන රථ යා හැක්‌කේ ද සීමා සහිතව ය. අනෙක්‌ අතට හෙලිකොප්ටර් යොදාගැනීම යෝග්‍ය වුවත් දැඩි සුළං සහිත අවස්‌ථාවල දී ඇතැම් කාලගුණ තත්ත්ව යටතේ එය අසාර්ථක වූ අවස්‌ථා තිබේ. අනෙක්‌ අතට ගිනි නිවීම සඳහා විශේෂයෙන් නිෂ්පාදනය කළ හෙලිකොප්ටර් අපේ රටේ නොමැත. මේ නිසා වඩාත් වැදගත් වන්නේ මානව ශ්‍රමය පිළිබඳව සැලකිලිමත් වීම ය.

අපේ සූදානම ප්‍රමාණවත් ද?

වන ගිනි වැළැක්‌වීම හා පාලනය සඳහා වූ සූදානම කෙතරම් ප්‍රමාණවත් ද යන්න නම් ගැටලුවකි. මේ වර්ෂයේ නියං තත්ත්වයක්‌ ඇති වන බව කලක පටන් දැන සිටියෙමු. (අවම වශයෙන් විදුලිබල හා කෘෂිකර්ම බලධාරීන් හෝ ඒ බව දැන සිටි බව පෙනේ). නියඟය අපේ රටට අලුත් දෙයක්‌ නො වේ. සාමාන්‍යයෙන් වර්ෂ 3-4කට වරක්‌ දැඩි නියං තත්ත්වයක්‌ ඇති වන අතර, වසර දහයකට පමණ වරක්‌ ඉතා බරපතළ තත්ත්වයේ නියඟ ඇති වේ. එසේ නම් වන ගිනි තබන්නන්ට මේ කදිම අවස්‌ථාවක්‌ විය හැකි බව අදාළ බලධාරීන්ට කලින් ම දැනගෙන පෙර සූදානමක්‌ ඇති කර ගැනීමට හැකි ය. මෙය අත්‍යවශ්‍ය කටයුත්තකි.

ගිනි ඇති විය හැකි ප්‍රදේශවල වියළි කාලගුණයක්‌ ඇති වූ විට ගිනි පටි කැපීම වැනි කටයුතු කලින් ම සිදු කිරීම මේ සඳහා නිදසුනකි. ඇතැම් ප්‍රදේශවල මෙය සිදු කරන නමුත් සැම ප්‍රදේශයක ම එවැන්නක්‌ සිදු කරන බව නො පෙනේ. මෙවැනි වකවානුවල වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව දියත් කළ එක්‌ උපක්‍රමයක්‌ වූයේ ස්‌වේච්ඡා ගිනි නීවීම් සඳහා තරුණ කණ්‌ඩායම් යොදා ගැනීම ය. විශේෂයෙන් ගිනි ඇති විය හැකි හෝර්ටන්තැන්න හෙවත් මහඑළිය වැනි ප්‍රදේශවල හඳුනාගත් කාලවකවානුවල දී එය සිදු කෙරිණි. මේ ලියුම්කරු ද 1990 දශකය අගභාගයේ දී මෙවැනි කණ්‌ඩායමකට සම්බන්ධ වී ලද අත්දැකීම් අනුව පැවසිය හැක්‌කේ එය ගිනි වැළැක්‌වීමට පමණක්‌ නො ව පරිසර හිතකාමී නො වන වෙනත් කටයුතු පාලනය සඳහා ද ප්‍රයෝජනවත් වන බව ය. කෙසේ වෙතත් මෙවැනි පිරිස්‌ සඳහා කිසියම් පුහුණුවක්‌ ලබා දීම වැදගත් වේ.

ඉහත දී සඳහන් කළ ආකාරයට, මේ සියල්ලට ම වඩා ඵලදායී වන්නේ ගිනි ඇති වීමට බලපාන හේතු පාලනය කිරීමයි. මෙවැනි අවස්‌ථාවක දී රාජ්‍ය නො වන සංවිධාන හා ප්‍රජා සංවිධාන පාදක කරගෙන කළ හැකි කාර්යය සුවිශාල ය. පරිසර සංවිධාන මගින් ව්‍යාපෘති කිහිපයක්‌ අපේ රටේ ක්‍රියාත්මක වී ඇතත්, ව්‍යාපෘති අවසන් වූ පසු ජනතාව අතර කල් පවත්නා ආකල්පමය වෙනසක්‌ සිදු වී තිබේ දැයි විමසීමක්‌ කර නොමැත. එවැනි වැඩසටහන් ආදර්ශයට ගැනීමෙන් වාර්ෂිකව අදාළ කාල වකවානුවල යම් දැනුම්වත් කිරීමේ වැඩසටහනක්‌ දියත් කිරීම අත්‍යවශ්‍ය වේ. පාරිසරික අපරාධයක්‌ වන වනාන්තර ගිනි තැබීම් වළක්‌වාලීම රජයේ නිලධාරීන්ට තනි ව කළ හැකි නො වේ. ඊට මාධ්‍යවල හා ප්‍රජාව ගේ සහයෝගය අත්‍යවශ්‍ය ය. මේ තත්ත්වය ඇති කිරීමට අප සැවොම කටයුතු කළ යුතු ය.

(ස්‌තුතිය- වන ගිනි පිළිබඳ සංඛ්‍යාලේඛන ලබා දුන් වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය වන සංරක්‌ෂක ආර්. එස්‌. කුලතුංග මහතාට)

http://www.vidusara.com/2012/08/22/feature4.html

Thursday, August 9, 2012

ජගත් පරිසර විමසුම 135 (Global Environmental Watch, 135)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 2012-08-08, පි. 11 (Vidusara, 2012-08-08, p.11)
http://www.vidusara.com/2012/08/08/feature3.html


විමසුම - කඩොලාන යොදාගෙන කාබන් තිර කිරීම ආර්ථික වශයෙන් ලාබදායී වේ
ප්‍රමුඛ පුවත - CFL බල්බවල විවෘත භාවිතය ආරක්‌ෂිත ද?

පුවත් සැකෙවින් - එක්‌සොන් වැල්ඩේස්‌ අවසන් ගමන ඉන්දියාවේ‌/ ඉන්දු පැසිෆික්‌ කලාපයේ කොරල් පර වඩා ඔරොත්තු දේ/ ගුවන් බද්දට විරුද්ධ සමුළුවක්‌

විමසුම
කඩොලාන යොදාගෙන කාබන් තිර කිරීම ආර්ථික වශයෙන් ලාබදායී වේ

දේශගුණ වෙනස්‌ වීම පාලනය කිරීම සඳහා ගත හැකි පියවර අතර ශාකවල කාබන් ඩයොක්‌සයිඩ් තිර කිරීම ස්වාභාවික හා ප්‍රායෝගික පියවරක්‌ සේ දැක්‌විය හැකි ය. මේ පිළිබඳව බොහෝ අධ්‍යයන සිදු කර ඇති අතර වනාන්තර තුළ කාබන් ඩයොක්‌සයිඩ් වායු විමෝචන තැන්පත් කිරීම හෙවත් තිර කිරීම මේ වන විට පුළුල් ලෙස සාකච්ඡාවට ලක්‌ ව තිබේ. මේ අතරින් වැදගත් වන වනාන්තර වර්ග මොනවා ද යන්න ද සාකච්ඡාවට ලක්‌ වීමට තරම් වැදගත් බව කිව යුතු ය.

පසුගිය දා ප්‍රකාශයට පත් වූ මෙවැනි අධ්‍යයනයකට අනුව කාබන් ඩයොක්‌සයිඩ් වායුව තිර කිරීම සඳහා කඩොලාන යොදා ගැනීම ආර්ථික වශයෙන් ශක්‍ය වූ ක්‍රමවේදයකි. මේ සතියේ පරිසර විමසුම තුළින් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට අප සිතුවේ එහි ඇති දේශගුණ වෙනස්‌ වීම ඉක්‌මවා ගිය වැදගත්කම නිසා ය.

කාබන් තිර කිරීමේ දී කඩොලානවල කාර්යභාරය

කඩොලාන වනාන්තරවල ශාකවල ජෛව ස්‌කන්ධය තුළ හා පසේ තිර කළ හැකි කාබන් ඩයොක්‌සයිඩ් විමෝචන ප්‍රමාණය ඉහළ බව මේ වන විට පිළිගෙන ඇති කරුණකි. 2011 වර්ෂයේ දී ප්‍රකාශයට පත් වූ අධ්‍යයනයකට අනුව නිවර්තන වර්ෂා වනාන්තර මෙන් පස්‌ ගුණයක්‌ තරම් අධික කාබන් ඩයොක්‌සයිඩ් ප්‍රමාණයක්‌ කඩොලානවල තිර කළ හැකි ය. ඒ සඳහා ශාක මෙන්ම කඩොලානවල පවත්නා පස ද දායක වේ. (බලන්න - ජගත් පරිසර විමසුම 71, විදුසර, 2011-05-11)

මෙහි දී අනාවරණය වී ඇති අන්දමට, කඩොලාන වනාන්තර ආරක්‌ෂා කළ හැකි නම් ඒවා යොදාගනිමින් ටොන් එකක්‌ සඳහා ඇමෙරිකානු ඩොලර් 4-10 අතර කරම් වියදමකින් වායුගෝලයේ ඇති කාබන් ඩයොක්‌සයිඩ් වායු අඩු කළ හැකි ය. මේ සඳහා වැඩි හැකියාවක්‌ පවතින්නේ ආසියානු හා ඕෂනියා කලාපයේ ඇති කඩොලාන වනාන්තරවලට ය. ලෝකයේ හිලව් කිරීමට ඇති සමස්‌ත කාබන් ප්‍රමාණයෙන් තුනෙන් දෙකක්‌ පමණ ප්‍රමාණයක්‌ ඒ කලාපයේ වනාන්තර මඟින් හිලව් කළ හැකි ය. මේ පර්යේෂකයන් පවසන්නේ මේවා මඟින් කාබන් තිර කරන ප්‍රමාණය අනුව, සෙසු ප්‍රයෝජන නො සලකා හැරිය ද ඉන් ලැබෙන ප්‍රයෝජනය විශාල බව ය.

මෙවැනි තත්ත්වයක්‌ මත නව අධ්‍යයනයෙන් පෙන්වා දී ඇත්තේ වෙනත් කාබන් හිලව් කිරීමේ ක්‍රමවේදවලට සාපේක්‌ෂව කඩොලාන ජෛව ස්‌කන්ධය මේ පරිසර පද්ධති ආරක්‌ෂා කිරීම මඟින් කාබන් තිර කිරීම වඩා ලාභදායී බව ය. මේ නිගමනයට ඔවුන් පැමිණ ඇත්තේ ඒ පිළිබඳව සිදු කරන ලද සවිස්‌තර කරුණු සොයා බැලීමකින් පසු ව ය.

කඩොලානවලට නියම තැන ලැබී තිබේ ද?

මේ පර්යේෂණයෙන් අනාවරණය වන තොරතුරුවලට අනුව නිවර්තන වර්ෂා වනාන්තර මෙන්ම කඩොලාන වනාන්තර ද කාබන් තිර කිරීමේ ක්‍රමවේද සඳහා ඇතුළත් විය යුතු බව පෙනේ. නිදසුනක්‌ ලෙස මේ වන විට පිළිගැනීමට ලක්‌ ව ඇති වන විනාශයෙන් හා වන හායනයෙන් සිදු වන විමෝචන අඩු කිරීමේ යාන්ත්‍රණය (REDD) වැනි ක්‍රියාවලියක්‌ යටතේ කඩොලාන ද ආරක්‌ෂා කිරීමට කටයුතු කළ යුතු බව ඔවුන් නිර්දේශ කර තිබේ. ඊට වුවත් මෙය ඇතුළත් කිරීම සිදු කළ හැකි ය.

කෙසේ වෙතත් කඩොලාන මඟින් කාබන් තිර කිරීමේ ප්‍රායෝගිකත්වය තීරණය වන්නේ ලෝක කාබන් වෙළෙඳපොළේ ඒ සඳහා ඇති මිල ගණන් මත බව තවත් විද්‍යාඥයන් පවසා තිබේ. නිදසුනක්‌ ලෙස උක්‌ත පර්යේෂණය සඳහා යොදාගෙන ඇති කාබන් මිල ගණන් යල්පැන ගිය ඒවා බව දක්‌වා තිබිණි. එහෙත් වෙළෙඳපොළේ කාබන් මිල ගණන් උච්ඡාවචනය වන්නකි.

අනෙක්‌ අතට කඩොලාන වනාන්තර ආරක්‌ෂා කිරීමේ ඇති අනෙක්‌ ප්‍රයෝජන ද ඇතුළත් වූ විට මේ පරිසර පද්ධතිය සංරක්‌ෂණය කිරීමෙන් බොහෝ ප්‍රයෝජන ලබා ගත හැකි බව පැහැදිලි ය. මේ අතර කඩොලාන ජෛවවිවිධත්වය මෙන්ම ධීවර කර්මාන්තයේ දී යොදා ගන්නා මත්ස්‍යයන් හා වෙනත් විශේෂවල අභිජනන බිම් ලෙස ක්‍රියා කිරීම විශේෂ ය. එසේ ම කඩොලාන මඟින් මිනිසුන්ට සෘජු ප්‍රයෝජන රාශියක්‌ ම ලැබේ.

කඩොලාන විනාශය වේගවත්

ලෝකයේ බරපතළ ම පාරිසරික අර්බුදය වැළැක්‌වීම සඳහා තවත් ක්‍රමවේදයක්‌ සොබාදහම යළිත් වරක්‌ මිනිසුන්ට පෙන්වා තිබේ. එහෙත් එයින් ප්‍රයෝජනයක්‌ ලබා ගැනීම සඳහා ලෝකය සතු කඩොලාන බිම් ප්‍රදේශ ප්‍රමාණය කෙතරම් ද යන්න මඳක්‌ විමසා බැලිය යුතු වේ. ලෝකයේ කඩොලාන වනාන්තර පවතින්නේ මුළු වනාන්තරවලින් සියයට 0.7ක්‌ පමණ ප්‍රමාණයකි. ඉතිරි ව ඇති මේ කඩොලානවලට ද වඩාත් වේගයෙන් විනාශ වෙමින් පවත්නා පරිසර පද්ධති අතර මුල් තැනක තිබේ. එයට එක්‌ ප්‍රධාන හේතුවක්‌ වී ඇත්තේ මානව කටයුතු ය. නිදසුනක්‌ ලෙස සංචාරක කර්මාන්තයේ වර්ධනය නිසා කඩොලාන මඟින් ආවරණය වී පැවැති පරිසර පද්ධති රැසක්‌ විනාශ වී තිබේ. එසේ ම දේශගුණ වෙනස්‌ වීම නිසා ඇති විය හැකි මුහුදු මට්‌ටම ඉහළ යැම මඟින් ද මේ පරිසර පද්ධතියට එල්ල වී ඇති තර්ජනය මහත් ය. එවැනි තත්ත්වයක්‌ තුළ කඩොලාන ආරක්‌ෂා කිරීම සඳහා ද ඉහත කී ක්‍රමවේදය යොදාගත හැකි ය. (මූලාශ්‍රයProceedings of theNational Academy of Sciences, DOI:10.1073/pnas.1200519109

ප්‍රමුඛ පුවත
CFL බල්බවල විවෘත භාවිතය ආරක්‌ෂිත ද?

සංයුක්‌ත ප්‍රතිදීපන පහන් හෙවත් CFL විදුලි පහන් ඒවායේ අඩු විදුලි පරිහරණය නිසා ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය ය. එසේ ම බලශක්‌ති සංරක්‌ෂණයට ඉන් දක්‌වන දායකත්වය ද ඉහළ ය. මේ නිසා ලෝකයේ අද වන විට මේ වර්ගයේ විදුලි බුබුළු බෙහෙවින් ජනප්‍රිය ය. ඇතැම් රටවල මේ දක්‌වා භාවිත කළ සූත්‍රිකා පහන් භාවිතය අවසන් කිරීමට දින පවා නියම කර තිබේ.

කෙසේ වෙතත් මේ බල්බවලින් නිකුත් වන පාරජම්බුල කිරණ නිසා සමට යම් හානියක්‌ සිදු විය හැකි බව අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ. විවිධ ප්‍රදේශවලින් ලබාගත් CFL විදුලි බුබුළු මඟින් නිකුත් වන පාරජම්බුල කිරණ ප්‍රමාණය හා ඒවායේ ඇති පොස්‌පරස්‌ ආවරණයේ අඛණ්‌ඩතාව පිළිබඳව නිරීක්‌ෂණය කර ඇත. මෙහි දී ඔවුන්ට පෙනී ගියේ පාරජම්බුල කිරණ කාණ්‌ඩ දෙකක්‌ (UVA හා UVC) සියලු ම බල්බවලින් නිකුත් වන බවයි. ඒවා පැමිණෙන්නේ බල්බවල ඇති පොස්‌පරස්‌ ආවරණයේ සිදුරු තිබූ ස්‌ථානවලින් විය හැකි බව ද මෙහි දී පෙන්වා දී ඇත.

මේ නිසා ඇති විය හැකි සෞඛ්‍යමය බලපෑම් පිළිබඳව පරීක්‌ෂණාගාර තත්ත්ව යටතේ (සැබෑ මිනිස්‌ පටක සෛල ගෙන පරීක්‌ෂණාගාරයක්‌ තුළ) කළ පරීක්‌ෂණවල දී හෙළි වී ඇත්තේ මිනිසා ගේ සමේ පටකවල සෛලවලට යම් හානියක්‌ සිදු කිරීමට මේ බල්බවලට නිරාවරණය වීම හේතු වන බව ය. මෙහි දී පෙනී ගොස්‌ ඇති පරිදි, තන්තු සෛල හා කෙරටින් නිපදවන කෙරටිනොසෛටවලට මින් හානි පැමිණිය හැකි ය. ඒ හානි අතර ප්‍රගුණන හැකියාව අඩු වීම, ප්‍රතික්‍රිsයාකාරී ඔක්‌සිජන් නිපදවීම ඉහළ යැම හා කොලැජන් සංකෝචනය වීමේ හැකියාව අඩු වීම වැනි තත්ත්ව වේ. මේ තත්ත්වය පෙර කී පාරජම්බුල කිරණ නිසා ඇති වන තත්ත්වවලට සමාන වේ. එසේ ම මෙවැනි තත්ත්වයක්‌ සාමාන්‍ය සූත්‍රිකා පහන් නිසා ඇති නො වන බව ද හෙළි වී තිබේ.

උක්‌ත අධ්‍යයනය CFL විදුලි පහන් නිසා සමට ඇති වන බලපෑම් පිළිබඳව සිදු කරන ලද අධ්‍යයනය අතර වැදගත් වේ. මේ පර්යේෂකයන් පෙන්වා දෙන පරිදි CFL විදුලි බුබුළු භාවිත කිරීමේ දී ඒවා තරමක්‌ ඈතක සිට භාවිත කිරීමටත් හැකි නම් බල්බය අතිරේක වීදුරු ආවරණයක්‌ තුළ යොදාගැනීමත් ආරක්‌ෂිත ය. ඉන් ඉහත කී හානිකර බලපෑම් වැළැක්‌විය හැකි අතර බලශක්‌ති පරිභෝජනය වැනි ප්‍රයෝජන ද අපට ලබා ගත හැකි ය. (මූලාශ්‍රය Photochemistryand Photobiology, DOI: 10.1111/j.1751-1097.2012.01192.x


පුවත් සැකෙවින්
එක්‌සොන් වැල්ඩේස්‌ අවසන් ගමන ඉන්දියාවේ

ලෝකයේ සිදු වූ විශාලතම තෙල් කාන්දුවකට හේතු වූ එක්‌සොන් වැල්ඩේස්‌ නෞකාව ගලවා කොටස්‌ කිරීම සඳහා ඉන්දියාවේ ගුජරාට්‌ ප්‍රාන්තයේ අලාං ප්‍රදේශයට ගෙනැවිත් තිබේ. ඇලස්‌කාව ආසන්නයේ දී 1989 වර්ෂයේ මේ නැව මුහුණ දුන් අනතුරේ දී කාන්දු වූ තෙල් ප්‍රමාණය ගැලුම් මිලියන 11ක්‌ තරම් වේ. මේ වන විට එහි නම වන්නේ 'ඔරියන්ටල් නයිස්‌ටි' යන්න ය.

ඉන්දීය බලධාරීන් නැවේ කිසිදු හානිකර ද්‍රව්‍යයක්‌ අඩංගු නොමැති බව තහවුරු කර ඇති නිසා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය වූයේ එය ගලවා කොටස්‌ කිරීම සඳහා අවසර දිය හැකි බවයි. එහෙත් යම් ආකාරයකින් එහි හානිකර ද්‍රව්‍ය අඩංගු වුව හොත් ඒවා ඉවත් කිරීමේ වියදම අදාළ නැව හිමි සමාගම ගෙවිය යුතු බවට ද අධිකරණය නියෝග කර තිබේ.

මේ ආකාරයෙන් භාවිතයෙන් ඉවත් කළ නැව් ගලවා කොටස්‌ කිරීම ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල සිදු වන ක්‍රියාවලියකි. එහෙත් ඒ ක්‍රියාවලියේ ඇති පාරිසරික හා සෞඛ්‍ය බලපෑම් නිසා සමාජ හා පාරිසරික ක්‍රියාකාරීන් ගේ විරෝධයට ලක්‌ ව තිබේ.

ඉන්දු පැසිෆික්‌ කලාපයේ කොරල් පර වඩා ඔරොත්තු දේ

කොරල්පර ලෝකයේ තර්ජනයට ලක්‌ ව ඇති පරිසර පද්ධති අතර මුල් තැනකට වැටේ. විශේෂයෙන් එය බහුවිධ හේතු නිසා තර්ජනයකට ලක්‌ව තිබේ. කෙසේ වෙතත් මේ තර්ජන හමුවේ කොරල්පරවල පැවැත්ම තීරණය වීම සඳහා ඒවා පිහිටා ඇති ප්‍රදේශ මොනවා ද යන්න හේතු වන බව පසුගිය දා ප්‍රකාශිත සමාලෝචනයකින් පෙන්වා දී ඇත.

කැරිබියානු කලාපයේ කොරල්පරවලට වඩා ඉන්දු පැසිෆික්‌ කලාපයේ පිහිටි කොරල්පර ආතතිවලින් ඉක්‌මනින් යළි යථා තත්ත්වයට පත් වන බව මේ අනුව පෙන්වා දී තිබේ. මේ කොරල්පරවල ඉහළ ඔරොත්තු දීමට හේතුව ඒවායේ ඇති මුහුදු පැළෑටි ප්‍රමාණය සාපේක්‌ෂව අඩු මට්‌ටමක තිබීම ය. ඒවා වර්ධනය වන්නේ කැරිබියානු කලාපයේ මෙන් සිව් ගුණයක්‌ තරම් අඩු වේගයකිනි. මේ කාණ්‌ඩ දෙක අවකාශය සඳහා දැඩි තරගයක යෙදෙන සාගර පරිසර පද්ධති වේ.

කෙසේ වෙතත් මෙමඟින් පැවසෙන්නේ කොරල්පර ඉතා ම යහපත් තත්ත්වයක පවතින බව නම් නො වේ. ඒවාට ඇති තර්ජනය අති මහත් ය. එහෙත් මේ කොරල්පරවලට පැවැත්ම සඳහා වැඩි අවස්‌ථාවක්‌ තිබේ. (මූලාශ්‍රයTrends inEcology and Evolution, DOI:10.1016/j.tree.2012.04.007)

ගුවන් බද්දට විරුද්ධ සමුළුවක්‌

යුරෝපා සංගමය හඳුන්වා දී ඇති ගුවන් බද්දට එරෙහි රටවල් කිහිපයක රැස්‌වීමක්‌ ඇමෙරිකාව විසින් සංවිධානය කරනු ලැබ තිබේ. ඇමෙරිකාව, රුසියාව, චීනය හා ඉන්දියාව ඇතුළු රටවල් සමූහයක්‌ මීට විරෝධය පළ කළ ද යුරෝපය එය ක්‍රියාත්මක කරන බව පවසයි. ඒ අනුව 2012 වර්ෂයේ කාබන් විමෝචන සැලකිල්ලට ගැනීමෙන් පසු ඊට අදාළ බිල්පත් ලබන අප්‍රේල් මාසයේ සිට අදාළ සමාගම්වලට යොමු කිරීමට නියමිත ය.

යුරෝපා නො වන ගුවන් සමාගම් ඊට විරෝධය පළ කර ඇති අතර මීට සමාන පියවරක්‌ වෙනත් රටවල් ද අනුගමනය කිරීමෙන් ගැටලු ඇති විය හැකි බව ද පෙන්වා දී තිබේ. ඒ නිසා විකල්පයක්‌ ලෙස යොදාගත හැකි ජගත් මට්‌ටමේ විසඳුමක්‌ පිළිබඳව අවධානය යොමු වී ඇත. මේ අනුව වේගයෙන් වර්ධනය වෙමින් ඇති ගුවන් ප්‍රවාහන අංශයේ විමෝචන නිසා වන බලපෑම පාලනය සඳහා කිසියම් විසඳුමක්‌ ඇති වන බවක සේයා මතු වී ඇතත් ඒ ගැන කීමට තවමත් කල් වැඩි ය.

http://www.vidusara.com/2012/08/08/feature3.html