Wednesday, February 25, 2015

පරිසර පුවත් - Environment News (2015-02-11)

පරිසර පුවත් 2015-02-11

ධනේෂ් විසුම්පෙරුම


විදුසර 2015-02-11 (Vidusara) - Not available online


සාගරය ආම්ලිකකරණය සාගර ජීවීන්ට බලපාන ආකාරය


හරිතාගාර වායු විමෝචන ඉහළ යෑම සමඟ සාගර ජලයේ ආම්ලිකතාවය ඉහළ යන අතර, මේ නිසා සාගරයේ වෙසෙන විවිධ කාණ්ඩවල ජීවීන්ට අහිතකර බලපෑම් ඇති වේ. සාගරයේ වෙසෙන කොරල්, බෙල්ලන්, වැනි කවච තනන ජීවී විශේෂ සාගර ජලයේ pH අගයට සංවේදී වේ - එ නම් pH අගය අඩු වන විට - ආම්ලික තත්ත්ව හමුවේ මේ කැල්සියම් කවචවල පැවැත්ම අනතුරට ලක්වන නිසාය. විවිධ දේශගුණ සංසිද්ධ යටතේ, මේ තත්ත්වය බලපාන ආකාරය පසුගියදා ප‍්‍රකාශයට පත්ව ඇති නව විශ්ලේෂණයක් මගින් පෙන්වාදී ඇත.

එහිදී අනාවරණය වී ඇති ආකාරයට ඉහළ හරිතාගාර වායු විමෝචන සංසිද්ධියක් යටතේදී කැල්සියම් කවච තනත ජීවී විශේෂ අතරින් 21%-32% අතර ප‍්‍රමාණයකට සැලකිය යුතු ආකාරයක බලපෑමක් ඇති විය හැකිය. එසේම අඩු විමෝචන පවත්නා තත්ත්වයක් යටතේදී මේ ජීවීන් අතරින් 7%-12% අතර ප‍්‍රමාණයකට බලපෑමක් ඇති විය හැකිය. මෙහිදී බලපෑම යනුවෙන් අදහස් කර ඇත්තේ එක් එක් ජීවී විශේෂයේ ගහනයෙන් 10%ක් පමණ ප‍්‍රමාණයකට බලපෑමක් ඇති වීමට පවත්වා අවස්ථාවයි.

මේ අධ්‍යයනය සඳහා ආම්ලිකකරණය වූ ජලය කැල්සියම් කවච තනන ජීවීන්ගේ වර්ධනයට, ප‍්‍රජනනයට හා පැවැත්මට බලපාන ආකාර සම්බන්ධව පරීක්ෂණවලට අදාළ දත්ත යොදාගෙන ඇත. (මූලාශ‍්‍රය: Environmental Science and Technology, DOI: 10.1021/es505485m)


වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාම පාලනය සඳහා ප‍්‍රවාහන සේවා සපයන්නන් පුහුණු කළ යුතුයි


වනජීවී ද්‍රව්‍යවල ජාත්‍යන්තර වෙළෙඳාම පාලනය කිරීම සඳහා ප‍්‍රවාහන සේවා ආදිය සපයන පිරිස් දැනුවත් කිරීමේ වැදගත්කම පසුගියදා පැවැති සමුළුවකදී පෙන්වා දී තිබේ. ගුවනින්, නැව් මගින් හා ගොඩබිමින් සිදුවන ප‍්‍රවාහන සේවා සපයන සමාගම්වල සේවක පිරිස් සතුව මේ පිළිබඳව ඇති අවබෝධය ප‍්‍රමාණවත් නොවේ. මේ නිසා ඔවුන් නොදැනුවත්ව විවිධ ක‍්‍රම යොදාගනිමින් වනජීවී ද්‍රව්‍ය ජාත්‍යන්තර වශයෙන් ප‍්‍රවාහනය කිරීමේ අවස්ථාවක් තිබේ. මේ තත්ත්වය ප‍්‍රයෝජනයට ගන්නා වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාමේ යෙදෙන පිරිස් එය සිදුකරගෙන යන බව පෙනේ.

එසේම මේ වන විට හුදෙක් අමුද්‍රව්‍ය ලෙස අපනයනය කිරීම වෙනුවට වනජීවී ද්‍රව්‍ය කිසියම් සැකසුමකින් පසුව අපනයනය කරනු ලබන ආකාරයක් දැකගත හැකිය. නිදසුනක් ලෙස ගතහොත්, විශාල ලෙස වනජීවී ද්‍රව්‍ය අපනයනය කරන අප‍්‍රිකානු රටවලින් විවිධ නිෂ්පාදන ලෙස සකස් කර අපනයනය කරන ආකාරය දැකිය හැකිය. නිදසුනක් ලෙස ගතහොත්, ඇත් දත් වෙනුවට එ්වායින් තැනූ ආභරණ අප‍්‍රිකාවේම නිපදවා ආසියානු රටවලට අපනයන කිරීමට ගත් අවස්ථා නීතියේ රැුහැනට හසු වී ඇත. මේ පිළිබඳ විශේෂඥයන් දක්වා ඇති ආකාරයට, ආසියානු කැටයම් ශිල්පීන් අප‍්‍රිකාවේ සිට මේවා නිෂ්පාදනය කරන බවට සැක කළ හැකිය.

ජාත්‍යන්තර වරාය හා ගුවන්තොටුපල ආදි ස්ථානවල සේවයේ යෙදෙන රේගු හා වෙනත් නීති නිලධාරීන්ට ජාත්‍යන්තර වශයෙක් සෑම බහාලූමක් හා ඇසුරුමක්ම පරීක්ෂා කිරීම අසීරු වන තත්ත්වය තුළ ප‍්‍රවාහනය වැනි සේවා සපයන්නන්ගේ දැනුම පුළුල් කිරීම වැදගත්ය.

No comments:

Post a Comment