Wednesday, February 18, 2015

පර ආශ‍්‍රිත මසුන් පිළිබඳ මාර්ගෝපදේශයක්



ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2015.02.18, පි. 18


(Field Guide to Reef Fishes of Sri Lanka – Vols. 1 and 2 - Arjan Rajasuriya)

ශ‍්‍රී ලංකාවේ පර මත්ස්‍යයින් පිළිබඳ ක්ෂේත‍්‍ර මාර්ගෝපදේශකය (වෙළුම 1 හා 2) - ආර්ජන් රාජසූරිය
පර (reefs) යනු අපේ රටේ පිහිටා ඇති ඉතා අගනා පරිසර පද්ධතියකි. එහි ඇති සුවිශේෂ ජෛව විවිධත්වය මෙන්ම එ්වා මගින් සැලසෙන පරිසරපද්ධති සේවාද නිසා මේ විවිධ පරවල වැදගත්කම ඉහළය. කොරල්පර, වැලිගල් පර හා ගල් පර යනුවෙන් ආකාර තුනකට වර්ග කරන මේ පර ආශ‍්‍රිතව දැකිය හැකි ජීවීන් විවිධ ජීවී කාණ්ඩවලට අයත් වන අතර ඒ අතරට මත්ස්‍ය විශේෂ විශාල සංඛ්‍යාවක්ද වේ.
 
ශ‍්‍රී ලංකාවේ පර පිළිබඳ අධ්‍යයනය කිරීමේ යෙදී සිටින පිරිස් මේ දක්වා මුහුණ දී තිබු එක් ගැටලූවක් වූයේ මෙරට පර ආශ‍්‍රිත මසුන් පිළිබඳව ප‍්‍රාමාණික මාර්ගෝපදේශක ග‍්‍රන්ථයක් නොමැති වීමයි. මේ අඩුව පිරවීමට මෑතදී නිකුකත් වූ වෙළුම් දෙකකින් යුක්ත Field Guide to Reef Fishes of Sri Lanka නම් කෘතිය සමත්ව ඇත. මේ වෙළුම් දෙකෙහි පර ආශ‍්‍රිත මත්ස්‍ය විශේෂ 260ක් පිළිබඳ තොරතුරු ඇතුළත් වේ. එහි පළමු වෙළුමේ මත්ස්‍ය කුල 37කට අයත් පර මත්ස්‍ය විශේෂ 158ක් පිළිබඳ තොරතුරු ඇතුළත් විය. එසේම පසුගියදා නිකුත් වූ දෙවැනි වෙළුමේ තවත් කුල 14කට අයත් මත්ස්‍ය විශේෂ 102ක් පිළිබඳව තොරතුරු අන්තර්ගතය. මෙහි කතුවරයා සඳහන් කරන පරිදි, මේ කෘතියේ ඇතුළත් වන්නේ පර ආශ‍්‍රිතව දැකිය හැකි අවධානයට යොමු වන වර්ණවත් මත්ස්‍ය විශේෂ රාශියක්ම මේ මාර්ගෝපදේශක කෘතිවල ඇතුළත් වේ.
 
මේ සෑම මත්ස්‍ය විශේෂයකම දේහ ප‍්‍රමාණය, ගෝලීය ව්‍යාප්තිය හා මෙරට තුළ ව්‍යාප්තිය, ඔවුන් දැකිය හැක්කේ කුමන පර ආශ‍්‍රිතවද හා දැකිය හැකි ස්ථාන, ගැඹුර, හැසිරීම, ආහාර වැනි කරුණු මේ කෘතිවල ඇතුළත් වේ. එසේම, සෑම මත්ස්‍යයකුම හඳුනාගැනීම සඳහා උපකාරී වන රූපයක්ද මෙහි ඇතුළත් වේ. එසේම මේ මත්ස්‍යයින්ගේ ආර්ථික වැදගත්කම, ඔවුන්ට ඇති තර්ජන, IUCN රක්ත ලැයිස්තුවේ එන අවදානම් මට්ටම හා ශී‍්‍ර ලංකාව ඇතුළත ආරක්ෂිත මට්ටමද ඇතුළත් වීම සුවිශේෂීය.

එසේම මේ කෘතියේ හැඳින්වීම කොටසේදී මේ මසුන් ජීවත්වන පරවල පවත්නා වාසස්ථාන විවිධත්වය පිළිබඳවද පැහැදිලි කර ඇත. එමෙන්ම මෙහි විස්තර කරන ඒ ඒ මත්ස්‍ය කුල පිළිබඳ කෙටි විස්තරයක්ද ඇතුළත්ව තිබේ.
විශේෂයෙන්, පර්යේෂකයන්ට මෙන්ම විනෝදාංශයක් ලෙස පර ආශ‍්‍රිතව කිමිදීමේ යෙදෙන අයටද මේ මාර්ගෝපදේශක ග‍්‍රන්ථ ප‍්‍රයෝජනවත් වනු ඇත. වර්තමානය වන විට තර්ජනයට ලක්ව ඇති මේ සුවිශේෂ පරිසර පද්ධතිවල වෙසෙන මත්ස්‍ය විශේෂ හඳුනාගැනීමට අවශ්‍ය දැනුමක් ලබාදීමට හැකි වීම එ්වායේ සංරක්ෂණයට දායකත්වයක් දරනු ඇති බව පැහැදිලිය.

මේ කෘති ද්විත්වය සම්පාදනය කර ඇත්තේ දශක කිහිපයක්තිස්සේ සාගර ජීවීන් පිළිබඳව අධ්‍යයනයෙහි යෙදෙන ආර්ජන් රාජසූරිය විසිනි. මේ කෘතියේ ඇතුළත් මත්ස්‍යයන්ගේ චිත‍්‍ර මේ විෂය පිළිබඳව අධ්‍යයනයේ යෙදෙන ශාන්ත ජයවීරගේය.

‘කඩොලාන අනාගතයටත්’ (Mangroves for the Future) නම් ජාත්‍යන්තර ව්‍යාපෘතියේ ප‍්‍රතිපාදන මත මේ කෘතිය ප‍්‍රකාශයට පත් කර ඇත්තේ ස්වභාව සංරක්ෂණ අන්තර්ජාතික සංගමයේ ශ‍්‍රී ලංකා කාර්යාවල (IUCN) විසිනි.

බ්ලොග් ගත කිරීම - 2022.12.12

No comments:

Post a Comment