Wednesday, February 25, 2015

‘මානව යුගයේ’ ආරම්භයට දින නියම කරයි

ධනේෂ් විසුම්පෙරුම

විදුසර 2015-02-18 (Vidusara) - Not available online


‘මානව යුගය’ යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඉංග‍්‍රීසියෙන් Anthropocene ලෙසින් හඳුන්වනු ලබන භූ විද්‍යාත්මක කාලවකවානුව බව සරළව පැවසිය හැකිය. ඉන් අදහස් වන්නේ මිනිසුන්ගේ ක‍්‍රියාකාරිත්වය ලෝකයේ පරිසරයට සැලකිය යුතු බලපෑමක් කරන්නට පටන් ගත් දා සිට ගතවන කාල වකවානුව හැඳින්වීම සඳහා යෝජනා කර ඇති භූ විද්‍යාත්මක කාලවකවානුවකි.

මෙය යෝජනා කරන ලද්දේ රසායන විද්‍යාඥයකු වන පෝල් කෘට්සෙන් හා ඊ.එෆ්. ස්ටෝර්මර් විසින් 2000 වර්ෂයේදී පමණය. එයින් පෙන්වා දෙන ලද්දේ මිනිසුන්ගේ බලපෑම ප‍්‍රමුඛ සේ සැකිය හැකි භූ විද්‍යාත්මක වූ කාලවකවානුවක් පිළිබඳ අදහසකි. මෙහිදී ඔවුන් සලකා ඇත්තේ පෘථිවියේ භූවිද්‍යාත්මක තත්ත්වයට බලපෑමක් කළ හැකි හා අනාගතයටද ඉතිරිවන පැහැදිලි හා නව ස්ථරයක් නිර්මාණය කරන අවධියක් මීට අයත් වන බවයි. (මීට වඩා වෙනස් වුවත්, මේ හා යම් පමණකින් සමාන වූ අදහසක් 1960 ගණන්වලදී රුසියානු විද්‍යාඥයන් විසින්ද ඉදිරිපත් කර ඇත.)

මේ කාලයේදී මිනිසුන් විසින් පරිසරයට ඇති කර ඇති වෙනස්කම් මේ සංකල්පය තහවුරු කිරීම සඳහා යොදාගෙන ඇත. මේ වෙනස්කම් අතරින් වැදගත් වෙනස්කම් කිහිපයක් මෙසේය. පස සෝදා යෑමේ හා අවසාදිත ප‍්‍රවාහනයේ මිනිසුන් විසින් සිදුකරන ලද වෙනස්කම්, ජනපදකරණය, කෘෂිකර්මය, හා දේශගුණ වෙනස් වීම, වායුගෝලයේ පසේ හා සාගරයේ මිනිසුන් විසින් ඇති කර තිබෙන වෙනස්කම්, ඛණිජ චක‍්‍රකරණ ක‍්‍රියාවලියේ ඇති කර තිබෙන වෙනස්කම්, ජෛව පරිසරයේ ඇති කර තිබෙන විවිධ වෙනස්කම්, න්‍යෂ්ටික පිපිරවීම් ආදියෙන් සිදුකර ඇති වෙනස්කම ආදිය මීට අයත් වේ. මේ අදහස ගත වූ කාලය ඇතුළත මේ සංකල්පයට විද්‍යාඥයන් අතර සැලකිය යුතු පිළිගැනීමක් ලැබී ඇති බව එම සංකල්පය භාවිත කිරීම වර්ධනය වීමෙන් පෙනේ.

එහෙත් ජගත් මට්ටමින් පිළිගත් පෘථිවි ඉතිහාසයේ විවිධ යුග, අවධි හා කාල වකවානු ආදිය අයත් වන භූ විද්‍යාත්මක කාල පරිමාණයට (Geological Time Scale - මේ සමඟ ඇති සටහන බලන්න), මේ මානව යුගය තවමත් ඇතුළත් කරගෙන නොමැත. එහෙත් මේ යුගය පිළිබඳව සලකා බැලීම සඳහා ස්තරායනය පිළිබඳ ජාත්‍යන්තර කොමිසම (International Commission on Stratigraphy) කටයුතු කරමින් තිබේ. මේ අනුව එළැඹෙන 2016 වර්ෂයේදී මානව යුගය පිළිබඳ අදහස මේ කොමිසමට යෝජනාවක් ලෙස ඉදිරිපත් කිරීමට මේ වන විට මානව යුගය පිළිබඳව කටයුතු කරන විද්‍යාඥයෝ කටයුතු කරමින් සිටිති.

මානව යුගය පිළිබඳව ඇති එක් ගැටලූවක් වන්නේ මේ නව කාල වකවානුව හඳුනාගැනීම සඳහා පැහැදිලි ආකාරයේ සාධක නොමැති බවයි. විශේෂයෙන් භූමියේ ස්තර අතර, මානව යුගය නිශ්චිතව හඳුනාගැනීමට ඇති සාධක මොනවාද යන්න පාෂාණ ස්තර අධ්‍යයන කරන විද්‍යාඥයින් නගන තර්කයකි.

මානව යුගය පිළිබඳ සංකල්පයේ පැවැති එක් අඩුපාඩුවක් වූයේ මේ වකවානුව කවදා ආරම්භ වීද යන්න පිළිබඳ නිශ්චිත මතයක් නොතිබීමය. මිනිසුන් බොහෝ කාලයක පටන් පරිසරයට බලපෑම් සිදු කර ඇති අතර මෙහිදී නව යුගය නිශ්චිතව හඳුනාගැනීම සඳහා අදාළ වන සීමාව කවරක්ද යන්න ගැටලූවකි. මේ නිසා මානව යුගයේ ආරම්භය පිළිබඳ කාල වකවානු තුනක් පිළිබඳ අදහස් ඉදිරිපත්ව ඇත. ඉන් පළමුවැන්න වසර දහස් ගණනකට පෙර දිනයකි. එය කෘෂිකාර්මික යුගයේ ආරම්භයේ පටන් ඇති වූ මානව බලපෑම සංකේතවත් කරයි. මේ සඳහා ඉදිරිපත්ව ඇති දෙවැනි අදහස වන්නේ වර්ෂ 1800 පමණ කාලයේදී - එනම්, කාර්මික විප්ලවය ඇති වූ කාල වකවානුව - මානව යුගය ආරම්භ වූ බවයි. මෙය පෝල් කෘට්සන් විසින්ද යෝජනා කරන ලද කාලය වේ. මේ සඳහා ඉදිරිපත්ව ඇති තුන්වැනි අදහස වන්නේ විසිවැනි සියවසේ මැද භාගයේදී පමණ ඇති වූ මහා වේගවත් වර්ධන සමයයි.

මානව යුගයට දින නියම කිරීම

පසුගියදා ප‍්‍රකාශයට පත් වූ පර්යේෂණ වාර්තාවකින් විiඥයන් සමූහයක් විසින් යෝජනා කර ඇත්තේ මානව යුගය 20වැනි සියවස මැදභාගයේදී ආරම්භ වූ බවයි. මේ කාලය යනු මිනිසුන් තමන්ගේ ක‍්‍රියාකාරකම්වල ශේෂ ඉතිරි කිරීමෙන් නොනැවතී, සමස්තයක් ලෝකය වෙනස් කිරීමට පටන්ගත් කාලය සේ දක්වා තිබේ. ලෝක ජනගහනය වේගයෙන් වර්ධනය වීම ආරම්භ වූයේ මේ කාලයේදීය. එසේම, කාබන් විමෝචන අධික ලෙස නිකුත් වීම ආරම්භ වන්නේද මේ සමයේදීය. අනෙක් අතට, මේ කාලයෙන් අනතුරුව ආක‍්‍රමණික ජීවීන් හා වඳවී යාම් කැපී පෙනෙන ආකාරයෙන් වේගවත් විය. එසේම, කොන්ක‍්‍රීට්, ප්ලාස්ටික් හා ලෝහ භාවිතයද සීඝ‍්‍රයෙන් වර්ධනය වූයේ මේ කාලයේදීය. න්‍යෂ්ටික යුගය ආරම්භ වන්නේද මේ කාලයේදීය.

මේ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ මානව යුගය පිළිබඳ අධ්‍යයනය කරන ජාත්‍යන්තර විද්‍යාඥයින් සමූහයකි. මේ කාලය තීරණය කිරීමෙන් පසුව මානව යුගයේ ආරම්භය සඳහා නිශ්චිත වූ දිනයක් ලබා දීම සම්බන්ධව ඔවුන්ගේ අවධානය යොමු විය. ඔවුන් එ් සඳහා යෝජනා කරන්නේ ලෝකයේ පළමු න්‍යෂ්ටික පිපිරවීම පැවැත්වූ දිනයයි. එ් 1945 ජුලි 16 වන දින ඇමරිකාවේ නව මෙක්සිකෝ ප‍්‍රාන්තයේ අලමොගෝර්ඩෝ ප‍්‍රදේශයේදී සිදුකරන ලද පළමු න්‍යෂ්ටික බෝම්බ පිපිරීමයි. එතැන් පටන් 1988 දක්වා ලෝකය පුරා සිදුකරන ලද න්‍යෂ්ටික පිපිරීම් ප‍්‍රමාණය කෙතරම්ද යත්, සාමාන්‍යයෙන් දින 9.6කට වරක් එක් න්‍යෂ්ටික බෝම්බ පිපිරීමක් ඇති වී තිබේ. මේ නිසා උක්ත පිපිරීම්වල ශේෂ හෙවත් පතනය (fallout), මානව යුගය හඳුනාගැනීමේ ස්තරමය තැන්පතු ලෙස සැලකිය හැකි බව මේ පර්යේෂකයන්ගේ අදහසයි. මේවා විවිධ භූ විද්‍යාත්මක ක‍්‍රමවේද මගින් එය නිශ්චිත ලෙස හඳුනාගත හැකිය. අනෙක් අතට මේ දිනය මිනිසුන් සුවිසල් බලශක්ති ප‍්‍රභවයක් භාවිතකළ පළමු අවස්ථාවද වේ. මේ කරුණු මත පදනම්ව යෝජිත ‘මානව යුගය‘ ආරම්භ වූයේ න්‍යෂ්ටික යුගයේ ආරම්භය බව මෙයින් පෙන්වාදී තිබේ.

කෙසේ වෙතත් මේ කාලනිර්ණය පසුකලක වෙනස් කර ගැනීමේ හැකියාවක් තිබේය යන්නටද ඔවුන් ඉඩක් තබා ඇත. ඊට හේතුව මානව යුගය තවමත් එහි ආරම්භක අවස්ථාවේ පවත්නා බැවිනි. කෙසේ වෙතත් මේ පර්යේෂණ තවදුරටත් ඉදිරියට යන අතර, සෙසු දින නියම කිරීම්ද සැලකිල්ලට ගනිමින් 2016 වන විට මානව යුගයට නිශ්චිත වශයෙන් දින නියම කිරීමට අපේක්ෂිතය. (මූලාශ‍්‍රය:Quaternary International, DOI: 10.1016/j.quaint.2014.11.045)

මානව යුගයද මානව කේන්ද්‍රීය වේ


‘මානව යුගය’ වැදගත් වන්නේ හුදෙක් විiාත්මක සංකල්පයක් නිසා පමණක් නොවේ. මිනිසා විසින් පරිසරයට හා ලෝකයට සිදුකර ඇති හා සිදුවිය හැකි බලපෑම් සම්බන්ධව තේරුම්ගැනීම සඳහාද මෙය යොදාගත හැකිය. එහෙත් එය හුදෙක් පෘථිවිය මත මානව ආධිපත්‍යය තවදුරටත් වර්ධනය කරන මෙවලමක් වී ඇති බවක්ද පෙනේ.

කෙසේ වෙතත්, මානව යුගය පිළිබඳ අදහස යොදාගැනෙන්නේ තවදුරටත් මිනිසා සෙසු සියල්ලට වඩා ඉහළින් ඇතැයි පැවසෙන මානව කේන්ද්‍රීය සංකල්පයක් ලෙස බව පෙනේ. එහිදී ලෝකයේ සෙසු සියල්ලටම වඩා වැදගත් වන්නේ මිනිසාය. පරිසරය හා සෙසු ජීවය මිනිසුන්ට වඩා අඩු වැදගත් තැනක් ගනියි. එය බටහිර චින්තනය සඳහා පදනම් වන එක් මූලික අදහසකි. කෙසේ වෙතත් පෙරදිග චින්තනයේ ලෝකය දකින ආකාරය මීට වඩා වෙනස් වේ. මේ නිසා මානව යුගය පිළිබඳව විමසිය යුත්තේ මේ කරුණද සිහියේ තබාගෙනය.

සටහන - භූ විද්‍යාත්මක කාල පරිමාණය (Geological Time Scale)

භූවිiාත්මක කාල පරිමාණය (Geological Time Scale) යනු පෘථිවියේ ඉතිහාසය භූ විද්‍යාත්මක වශයෙන් බෙදා වෙන් කරන කාල පරිමාණයක් ලෙස හැඳින්විය හැකිය. මෙය භූ විiාඥයන්, පුරාජීව විද්‍යාඥයන් හා වෙනත් අදාළ විෂය ක්ෂේත‍්‍රවල පර්යේෂකයන් විසින් ලෝක ඉතිහාසයේ සිදු වූ සිදුවීම් විස්තර කිරීම සඳහා යොදා ගැනෙන්නකි. මේ අනුව, වසර බිලියන 4.54 (මිලියන 4500ක්) පමණ වයස වූ පෘථිවියේ විවිධ මට්ටම්වලින් අදාළ කාල වකවානුවලට බෙදා දැක්වේ.

මේ අනුව ලෝකයේ අතීතය කල්ප (Eon) කිහිපයකට බෙදා ඇති අතර මේ කල්පයකට යුග (Era) කිහිපයක් ඇතුළත් වේ. මේ එන් යුගයක්, අවධි (Period) කිහිපයකික් සමන්විත වේ. මේ එක් එක් අවධියකට වකවානු (කාල වකවානු) (Epoch) කිහිපයක් ඇතුළත් අතර ඊට සමයයන් (Age) කිහිපයක් ඇතුළත් විය හැකිය. මේ එක් එක් කාලසීමාවක් සඳහා දින වකවානු ඇති අතර එ්වා හඳුනාගැනීමට හැකි ලක්ෂණද ප‍්‍රාමාණිකව විස්තර කර තිබේ.

මේ වන අප ගතකරමින් සිටින්නේ පැනෙරොසොයික කල්පයේ (Phanerozoic Eon), කේනොසොයික යුගය (Cenozoic Era) අැතුළතට එන චාතුර්ථක අවධියේ (Quaternary Period) අයත් වන හොලෝසීන වකවානුව (Holocene Epoch) තුළය. හොලෝසීන වකවානුව ආරම්භ වී ඇත්තේ අදින් වසර 11,700කට පමණ පෙර බව සැලකේ. එ් ප්ලයිස්ටොසීන වකවානුවේ අවසානයේදීය.

‘මානව යුගය’ නම් අලූතින් යෝජනා වී ඇති කාල වකවානුව මේ හොලෝසීන වකවානුවේ එක් සමයයක් ලෙස හෝ හොලෝසීන වකවානුව අවසන් වීමෙන් පසුව එළැඹ ඇති වකවානුව ලෙස සැලකිය යුතු යැයි යෝජනා කර තිබේ.

No comments:

Post a Comment