Monday, February 16, 2015

පරිසර පුවත් - Environment News (2015-02-04)

පරිසර පුවත් - 2015-02-04
ධනේෂ් විසුම්පෙරුම


විදුසර 2015-02-04 (Vidusara)

http://www.vidusara.com/2015/02/04/news2.html


රයිනෝ විශේෂයක්‌ රැකගැනීමට සුවිශේෂ උත්සාහයක්‌


මේ වන විට දැඩි ලෙස අන්තරාදායක තත්ත්වයේ පසු වන උතුරුදිග සුදු රයිනෝ (Northern white rhino -
Ceratotheriumsimumcottoni) නම් උප විශේෂය ආරක්‌ෂා කරගැනීම සඳහා නූතන තාක්‌ෂණය යොදාගැනීමට මේ පිළිබඳව කටයුතු කරන විද්‍යාඥයන් පිරිසක්‌අදහස්‌කර තිබේ. මේ සඳහා කෘත්‍රිම/ නාලස්‌ථ සංසේචනයක්‌ (in-vitro fertilisation) ක්‍රමවේදය යොදාගැනීම සඳහා ඔවුන් ගෙන් අදහසක්‌ ඉදිරිපත් ව තිබේ. අද වන විට මේ විශේෂයේ සතුන් මිහි මත ඉතිරි ව ඇත්තේ පස්‌ දෙනකු පමණ තරම් සුළු ප්‍රමාණයකි.

පසුගිය දා කෙන්යාවේ පැවැති රැස්‌වීමක දී තීරණය කර ඇති පරිදි මේ වන විට ඉතිරි ව සිටින ගැහැනු සතුන් ගේ ඩිම්බ අනාගතයේ දී සංසේචනය කිරීම සඳහා ආරක්‌ෂා සහිත ව තබාගැනීමට අපේක්‌ෂා කර ඇත. කෙසේ වෙතත් මේ සංසේචනය ප්‍රායෝගිකව සිදු කිරීම සඳහා අදාළ තාක්‌ෂණයේ වැඩිදුර වර්ධනය අවශ්‍ය ව ඇති බව සඳහන් වේ. ජර්මනියේ පිහිටි ආයතනයක මේ සතුන් ගෙන් ලබාගත් ශුක්‍රාණු මේ වන විටත් තැන්පත් කර තිබේ.

අප්‍රිකාවේ සීමිත ප්‍රදේශයක ජීවත් වන මේ රයිනෝ උපවිශේෂයේ ඉතිරි ව ඇති සියලු සතුන් ජීවත් වන්නේ ආරක්‌ෂිත සංරක්‌ෂණාගාරයක හෝ සත්ත්වෝද්‍යාන දෙකක ය. මේ නිසා මේ සතුන් ස්‌වාභාවික පරිසරයෙන් වඳ ව ගිය (Extinct in the Wild) උපවිශේෂයක්‌ ලෙස ද සැලකේ.


ආන්තික කාලගුණයේ අවදානම දෙගුණ කරන දේශගුණ වෙනස්‌ වීම


පැසිෆික්‌ සාගරයේ ඇති වන දේශගුණ සංසිද්ධියක්‌ වන ලා නිනා තත්ත්වය නිසා ආන්තික කාලගුණික තත්ත්ව ඇති වීමට තිබෙන අවදානම දෙගුණ කිරීම සඳහා දේශගුණ වෙනස්‌ වීම බලපාන බව අධ්‍යයනයක්‌ මගින් පෙන්වා දී තිබේ. මේ කරුණු අනාවරණය වී ඇත්තේ ආකෘතික අධ්‍යයනයකිනි.

පැසිෆික්‌ සාගරයේ ඇති වන වෙනස්‌වීම්වල ප්‍රතිඵලයක්‌ වන ලා නිනා තත්ත්වය සාමාන්‍යයෙන් ඇති වන්නේ වසර 23කට එක්‌ වරක්‌ පමණ ය. එහෙත් දේශගුණ වෙනස්‌ වීමේ බලපෑම නිසා මේ තත්ත්වය වසර 13කට වරක්‌ ඇති විය හැකි බව මේ අධ්‍යයනයෙන් පෙන්වා දී ඇත. මේ අනුව අතීතයට වඩා වැඩි ප්‍රමාණවලින් ආන්තික තත්ත්ව ඇති විය හැකි ය.

ලා නිනා තත්ත්වයක්‌ බොහෝ විට ඇති වන්නේ ඊට ප්‍රතිවිරුද්ධ තත්ත්වය වන එල්නිනෝ තත්ත්වයට පසුව එන වර්ෂයේ දී ය. නිදසුනක්‌ ලෙස ගත හොත් 1997-98 වර්ෂවල ඇති වූ එල්නිනෝ තත්ත්වයෙන් පසුව 1998-99 කාලයේ දී ආන්තික ලා නිනා තත්ත්වයක්‌ ඇති විය. මේ තත්ත්ව දෙකෙන් ම ලෝකයේ ප්‍රදේශ

රැසක විවිධ අංශවලට සැලකිය යුතු බලපෑමක්‌ ඇති වී තිබිණි.

දේශගුණ වෙනස්‌වීමේ බලපෑම නිසා එල්නිනෝ තත්ත්වය ද මේ ආකාරයට ම දෙගුණයකින් පමණ ඉහළ යා හැකි බව මින් පෙර පෙන්වා දී තිබිණි. ඒ අනුව එකිනෙකට ප්‍රතිවිරුද්ධ ආන්තික තත්ත්ව වැඩි අවස්‌ථාවල දී ඇති විය හැකි බව පෙනේ. මේ අනුව හෙළි වන්නේ එල්නිනෝ හා ලා නිනා තත්ත්වවලට දේශගුණ වෙනස්‌වීම සිදු වන බලපෑම පිළිබඳව විද්‍යාඥයන්ට වැඩි අවබෝධයක්‌ ලැබෙමින් පවතින බව ය. (මූලාශ්‍රය: Nature Climate Change, DOI:10.1038/nclimate2492)


http://www.vidusara.com/2015/02/04/news2.html

No comments:

Post a Comment