Monday, January 26, 2015

පරිසර පුවත් - Environment News (2015-01-21)

පරිසර පුවත් - 2015-01-21
ධනේෂ් විසුම්පෙරුම

විදුසර 2015-01-21 (Vidusara)
http://www.vidusara.com/2015/01/21/news1.html


ලෝකයේ උණුසුමින් ඉහළම වර්ෂය 2014


ලෝකයේ උෂ්ණත්වය පිළිබඳ නිරවද්‍ය වාර්තා තබාගැනීම ඇරඹුණු 1880 වර්ෂයේ සිට අද දක්‌වා වූ කාලයේ දී පැවැති වඩාත් උණුසුමින් අධික වර්ෂය 2014 බව මේ වන විට තහවුරු වී ඇත. 2014 වර්ෂයේ පැවැති සාමාන්‍ය උෂ්ණත්වය, ලෝකයේ දිගුකාලීන සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස්‌ අංශක 0.69ක්‌ (ෆැරන්හයිට්‌ අංශක 1.24ක්‌) පමණ අධික ය. (ලෝකයේ දිගු කාලීන සාමාන්‍ය උෂ්ණත්වය සේ සැලකෙන්නේ 1950-1980 කාලයේ පැවැති සාමාන්‍ය උෂ්ණත්වයයි). එසේ ම මින් පෙර වාර්තා වී තිබූ වැඩි ම උෂ්ණත්වය වූ 2005 හා 2010 වර්ෂවල උෂ්ණත්වයට වඩා, 2014 උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 0.04ක්‌ (ෆැරන්හයිට්‌ 0.07ක්‌) පමණ අධික ය.

2014 වර්ෂයේ උෂ්ණත්වය මේ ආකාරයෙන් වාර්තා අතරට එක්‌ වන බව පසුගිය සති කිහිපයේ දී පෙන්වා දී තිබිණි. බ්‍රිතාන්‍ය කාලගුණ කාර්යාලය හා ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) මේ බව පැවසූ ආයතන විය. පසුගිය සතියේ දී ඇමෙරිකාවේ නාසා (NASA) හා ජාතික සාගරික හා වායුගෝලීය පරිපාලනයේ (NOAA) පර්යේෂකයන් විසින් මෙය තහවුරු කරන ලදි. සති කිහිපයකට පෙර ජපාන කාලගුණවිද්‍යා ආයතනය පෙන්වා දී තිබූ පරිදි, 1981-2010 සාමාන්‍යයට වඩා 2014 උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 0.27ක්‌ පමණ ඉහළ ය.

මේ දක්‌වා වාර්තා වී ඇති වැඩි ම උෂ්ණත්වයකින් යුක්‌ත වර්ෂ 15 අතරින් 14ක්‌ මේ සියවස ඇතුළත ඇති වී තිබීම දේශගුණ වෙනස්‌ වීමේ බරපතළ බව හඟවයි. මේ වර්ෂය අවසානයේ පැවැත්වෙන පැරිස්‌ දේශගුණ සමුළුවේ දී ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම පාලනය කිරීම සඳහා හැකියාවක්‌ සහිත ගිවිසුමක්‌ ඇති කරගැනීමේ ඇති වැදගත්කම මෙයින් ද පෙන්වා දෙයි.


මුහුදු මට්‌ටම ඉහළ යන වේගය මෑත දී ඉහළ ගිහින්


ලෝකයේ සාගරවල ජල මට්‌ටම ඉහළ යැමේ වේගය පිළිබඳ අධ්‍යයනයකින් පෙනී ගොස්‌ ඇති පරිදි මෑත කාලයේ දී ලෝකයේ මුහුදු මට්‌ටම ඉහළ යන වේගය වර්ධනය වී ඇත. එහි දී අනාවරණය වී ඇති ආකාරයට 1900-1990 අතර කාලයේ දී ලෝකයේ මුහුදු මට්‌ටම ඉහළ ගොස්‌ ඇත්තේ වර්ෂයකට මිලි මීටර් 1.2ක්‌ පමණ වූ සාමාන්‍ය අගයකිනි. මේ ප්‍රමාණය විසිවැනි සියවස සඳහා වූ මෙතෙක්‌ පිළිගත් අගය වූ මිලි මීටර් 1.6ත් 1.9ත් අතර අගයට වඩා අඩු අගයක්‌ ගනියි. එනම් මෙතෙක්‌ පෙන්වා දී තිබූ අගයට වඩා අඩු වේගයකිනි.

චන්ද්‍රිකා මගින් ලබාගත් දත්තවලින් අනාවරණය වී ඇති ආකාරයට, 1990 වර්ෂයෙන් පසු ගත ව ඇති කාලයේ දී මුහුදු මට්‌ටම වාර්ෂිකව මිලිමීටර් 3ක පමණ වේගයකින් ඉහළ යමින් තිබේ. මේ අනුව මෑත දශක දෙකක පමණ කාලය ඇතුළත මුහුදු මට්‌ටම ඉහළ යන වේගයේ වර්ධනයක්‌ දැකිය හැකි ය. මේ අධ්‍යයනයෙන් අනාවරණය වන පරිදි එය 25%ක්‌ පමණ ප්‍රමාණයකින් ඉහළ යැමකි.

මේ අනුව අනාගතයේ ඇති විය හැකි මුහුදු මට්‌ටම ඉහළ යැම පිළිබඳ පුරෝකථන පිළිබඳව යළිත් සලකා බැලිය යුතු බව මේ පර්යේෂකයන් දක්‌වා ඇත. මුහුදු මට්‌ටම ඉහළ යැම දේශගුණ වෙනස්‌ වීම නිසා ඇති වන බරපතළ තත්ත්වයේ බලපෑම් අතර වේ. (Nature, DOI:10.1038/nature14093)


ජාන විකරණය කළ භෝග සම්බන්ධ යුරෝපා නීති වෙනස්‌ වේ


යුරෝපා සංගමයේ රටවල ජාන විකරණය කළ භෝග සම්බන්ධව මෙතෙක්‌ කලක්‌ තිස්‌සේ පැවැති සීමා වෙනස්‌ කිරීමට අදහස්‌ කරන බව පෙන්වා දී තිබේ. මේ අනුව, එවැනි භෝග වර්ග වගා කිරීම පිළිබඳව තීරණය කිරීමේ වැඩි අයිතියක්‌ සංගමයේ සාමාජික රටවල් වෙත ලබා දීමට සංගමය එකඟ වී ඇත. මේ සම්බන්ධ නීතිය යුරෝපා පාර්ලිමේන්තුව බහුතර ඡන්දයෙන් සම්මත කර ඇති බව වාර්තා වේ.

මේ දක්‌වා යුරෝපා රටවල වාණිජමය වශයෙන් වගා කිරීමට අවසර ලැබී තිබුණේ එක්‌ ජාන විකරණය කරන ලද භෝගයක්‌ - ඉරිඟු වර්ගයක්‌ - සඳහා පමණි. ඊට හේතුව වී තිබුණේ මේ භෝග වර්ග නිසා සෞඛ්‍යයට හා වනජීවීන්ට ඇති විය හැකි බලපෑම් පිළිබඳව යුරෝපා රටවල ඇති වූ අවධානයයි. කෙසේ වෙතත් මේ භෝග වගාව ප්‍රවර්ධනය කරන ඇතැම් යුරෝපීය රටවල් දක්‌වා තිබුණේ මේ භෝග හා සම්බන්ධ නීති වෙනස්‌ විය යුතු බව ය.

එවැනි තත්ත්වයක්‌ තුළ ඇති වී තිබෙන නව නීති අනුව තම රටවල ජාන විකරණය කළ භෝග වර්ග වගා කිරීම පිළිබඳව ජාතික මට්‌ටමින් තීරණ ගැනීමට වැඩි අවස්‌ථාවක්‌ ලැබී තිබේ. මේ අනුව තහනම් කිරීමට ඇති අවස්‌ථා මෙන්ම අවසර ලබා දීමට හැකි අවස්‌ථාද පුළුල් වන බව පෙනේ. කෙසේ වෙතත් මේ කර්මාන්තයේ යෙදෙන සමාගම් හා අදාළ රටවල ආණ්‌ඩු සමඟ සාකච්ඡා කිරීමට දී ඇති අවසරය පිළිබඳ බරපතළ විවේචන පවතී. අනෙක්‌ අතට සම්පූර්ණයෙන් ම වැළකී සිටීමට තිබූ අවසරය ලිහිල් කිරීම ද පාරිසරික අංශවල දැඩි විවේචනයට ලක්‌ ව ඇත.

http://www.vidusara.com/2015/01/21/news1.html

No comments:

Post a Comment