Sunday, January 18, 2015

කාබනික වගාවල අස්‌වැන්න අරභයා වැදගත් පර්යේෂණයක්‌

කාබනික වගාවල අස්‌වැන්න අරභයා වැදගත් පර්යේෂණයක්‌
ධනේෂ් විසුම්පෙරුම

විදුසර 2015-01-14 (Vidusara)
http://www.vidusara.com/2015/01/14/feature1.html



කාබනික ගොවිතැන හා කාබනික ආහාර පිළිබඳ සාකච්ඡාව අද තරම් අවධානයකට ලක්‌ වූ කාලයක්‌ තවත් නොමැති තරම් ය. මේ ප්‍රවණතාව සමස්‌තයක්‌ ලෙස ලෝකය පුරා ම දැකිය හැකි වූවකි. ජීව විද්‍යාත්මක පොහොර හා පළිබෝධ පාලන ක්‍රම යොදාගනිමින් සිදු කරන ගොවිතැන ලෙස සරලව හැඳින්විය හැකි කාබනික ගොවිතැනේ දී රසායනික පොහොර හා රසායනික පළිබෝධ නාශක යොදා නො ගැනේ. කාබනික ගොවිතැනෙන් නිපදවෙන කාබනික ආහාර සඳහා වැඩි ඉල්ලුමක්‌ ඇත්තේ කාබනික ආහාරවල ඇති සෞඛ්‍යමය වැදගත්කම නිසා ය. එසේ ම කාබනික ගොවිතැනේ ඇති පරිසර හිතකාමී ස්‌වභාවය හේතුවෙන් තිරසර සංවර්ධනය හා සම්බන්ධව කාබනික ගොවිතැන ඉතා වැදගත් තැනක්‌ ගනියි.

කෙසේ වෙතත් කාබනික භෝග නිෂ්පාදනය පිළිබඳව පවත්නා ප්‍රධාන ගැටලු කිහිපයක්‌ ද ගැන ලෝකයේ වැඩි අවධානයක්‌ යොමු වී ඇත. නිදසුනක්‌ ලෙස ගත හොත්, කාබනික ආහාරවල පෝෂණ ගුණය ගැන හා ඒවායෙන් ලැබෙන අස්‌වැන්නේ ප්‍රමාණය පිළිබඳව පුළුල් ආකාරයේ විවාදයක්‌ කලක පටන් පවතී. කාබනික ආහාරවල පෝෂණය හා සෞඛ්‍යමය බලපෑම පිළිබඳව සිදු කළ පසුගිය වර්ෂයේ පළ වූ සමාලෝචනයකට අනුව කාබනික ආහාරවල පෝෂණ හා සෞඛ්‍යමය බලපෑමක්‌ පවත්නා බව පසුගිය වර්ෂය ඇතුළත පෙන්වා දී ඇත. ('විදුසර' 2014 ජුලි 30 දින කලාපය බලන්න).

කාබනික භෝගවල අස්‌වැන්න අඩු මට්‌ටමක තිබීම ද මෙවැනි තවත් ගැටලුවකි. ඒ නිසා කාබනික ආහාරවල මිල ගණන් ඉහළ මට්‌ටමක පවතින අතර, එය අද දිනයේ දැඩි අවධානයකට ලක්‌ ව ඇති ගැටලුවකි. මේ අතරින් කාබනික භෝගවල අස්‌වැන්න පිළිබඳව සිදු කළ අධ්‍යයනයක ප්‍රතිඵල මීට සති කිහිපයකට පෙර ප්‍රකාශයට පත් ව තිබිණි. ඉන් පෙන්වා දී ඇති කරුණු දෙකක්‌ වන්නේ කාබනික භෝගවල අස්‌වැන්න, සම්මත කෘෂිකර්මයේ අස්‌වැන්නට වඩා අඩු වීම මෙතෙක්‌ සිතුවාට වඩා අඩු බව ය. අනෙක්‌ කරුණ වන්නේ භෝග විවිධාංගකරණයට හේතු වන ඇතැම් කෘෂි පිළිවෙත් මගින් මේවායේ අස්‌වැන්න ඉහළ නංවිය හැකි බව ය. (මූලාශ්‍රය( Proceedings of Royal Society B, DOI: 10.1098/rspb.2014.1396)


කාබනික භෝගවල අස්‌වැන්න සිතුවාට වඩා ඉහළයි


මේ පර්යේෂණය වූ කලී කාබනික හා නූතන සම්මත කෘෂිකර්මය පිළිබඳව සංසන්දනාත්මක අධ්‍යයනයකි. මේ සඳහා අධ්‍යයන 115ක්‌ පමණ ප්‍රමාණයකින් ලබාගත් දත්ත - එනම්, කාබනික හා සම්මත කෘෂිකාර්මික අස්‌වනු පිළිබඳ දත්ත - 1071ක්‌ පමණ ප්‍රමාණයක්‌ යොදාගෙන තිබේ. මේ දත්ත ප්‍රමාණය මින් පෙර සිදු කර ඇති මෙවැනි සංසන්දනාත්මක අධ්‍යයනයක දී භාවිත කළ ප්‍රමාණය මෙන් තුන් ගුණයක්‌ තරම් ඉහළ වීම විශේෂත්වයකි. මේ ආකාරයෙන් යොදාගත් අධ්‍යයන රටවල් 38ක්‌ පුරා සිදු කරන ලද ඒවා වන අතර, ඒවා විවිධ භෝග විශේෂ 52ක්‌ පිළිබඳව වසර 35ක පමණ තරම් කාලයක්‌ තිස්‌සේ සිදු කරන ලද අධ්‍යයන වේ.

මෙහි දී අනාවරණය වී ඇති පළමු කරුණ වන්නේ සම්මත කෘෂිකර්මයට වඩා කාබනික වගාබිම්වල අස්‌වැන්න අඩු වන්නේ හුදෙක්‌ 19.2%ක්‌ තරම් වූ ප්‍රමාණයකින් බව ය. (වඩාත් නිවැරැදිව පවසන්නේ නම් මේ අගය 15.5%ත්, 22.9%ත් අතර අගයක්‌ ගනී). සම්මත කෘෂිකාර්මික ක්‍රම යටතේ වගා කරන ලද භෝග වර්ග සියල්ලේ ම අස්‌වැන්න කාබනික වගා යටතේ වගා කරන භෝගවලට වඩා ඉහළ මට්‌ටමක පැවැති බව මෙහි දී අනාවරණය වූ කරුණකි. එසේ ම මෙය වැදගත් වන්නේ කාබනික හා සම්මත වගා ක්‍රමවල අස්‌වනු අතර ඇති ඵලදා පරතරය (yield gap), මින් ඉහත සිදු කරන ලද අධ්‍යයනවලින් දක්‌වා තිබූ ප්‍රමාණය වූ 20-25% අතර වූ ප්‍රමාණයකට වඩා අඩු වන නිසා ය. මෙය නව අධ්‍යයනයෙන් පෙන්වා දී ඇති ප්‍රමාණය හා සංසන්දනය කරන විට සුළු අඩු වීමක්‌ සේ පෙනුණ ද, ප්‍රමාණාත්මකව මෙය විශාල අගයකි.


අස්‌වැන්න ඉහළ නංවන කෘෂි පිළිවෙත්


එපමණක්‌ නො ව මේ අධ්‍යයනයේ දී හඳුනාගෙන ඇති ආකාරයට භෝග වර්ගය හා කළමනාකරණ ක්‍රමවේදය අනුව ද කාබනික භෝගවල අස්‌වැන්න තීරණය වේ. එවැනි වැදගත් සාධක දෙකක්‌ සේ හඳුනාගෙන ඇත්තේ බහු භෝග වගාව (multi-cropping) හා ශෂ්‍ය මාරුව (crop rotation) යන උපක්‍රම ය. මෙහි දී අනාවරණය වී ඇති පරිදි කාබනික බහුභෝග වගාව මගින් කාබනික හා සම්මත වගාවල ඵලදා පරතරය 9%ක්‌ පමණ දක්‌වා අඩු කරගත හැකි ය. මේ වගා ක්‍රම දෙකේ ම ඒක බෝග වගා සිදු කළ විට සාමාන්‍ය ඵලදා පරතරය 17%ක්‌ පමණ ඉහළ වූ අතර වගා ක්‍රම දෙක ම බහු භෝග වගා වූ විට මේ ඵලදා පරතරය 21%ක්‌ පමණ තරම් ඉහළ වී ඇත. මෙය මෙතෙක්‌ පර්යේෂණාත්මකව පෙන්වා දී ඇති දෙයකි.

එසේ ම කාබනික වගාබිම්වල වැඩි වාර ගණනක්‌ ශෂ්‍ය මාරුව සිදු කිරීමේ දී කාබනික හා සම්මත වගාවක්‌ අතර ඵලදා පරතරය 8%ක්‌ පමණ දක්‌වා අඩු වේ. ඒ කාබනික බිම්වල ශෂ්‍ය මාරු කිරීම් වැඩි වශයෙන් සිදු කරන විට ය. අනෙක්‌ අතට මේ වගා ක්‍රම දෙකේම ශෂ්‍ය මාරු කිරීම් කළ විට හා ශෂ්‍ය මාරුව නො කළ තත්ත්ව යටතේ දැකිය හැකි ඵලදා පරතරය පිළිවෙළන් 20%ක්‌ හා 16%ක්‌ පමණ කරම් ඉහළ වී ඇත. මෙයින් පෙනෙන්නේ බහුභෝග වගාව හා ශෂ්‍ය මාරුව මගින් කාබනික වගාවල අස්‌වනු ඉහළ නැංවිය හැකි බවයි. මෙය මෙතෙක්‌ පර්යේෂණාත්මකව පෙන්වා දී නො තිබුණු කරුණකි. බහු භෝග වගාව හා ශෂ්‍ය මාරුව යනු වගා බිම්වල භෝග විවිධාංගකරණය සඳහා යොදාගන්නා පිළිගත් ක්‍රමවේද දෙකකි. එසේ ම මෙහි දී පෙනෙන පරිදි භෝග විවිධාංගකරණය යනු කාබනික මෙන්ම සම්මත කෘෂිකර්මයේ ද අස්‌වැන්න ඉහළ නැංවීමට උපකාර වන්නක්‌ බව පැහැදිලි ය.

අනෙක්‌ අතට ඇතැම් අධ්‍යයනවලින් පෙන්වා දී ඇති ආකාරයට රනිල හා රනිල නො වන ශාකවල අස්‌වනු අතර හෝ බහුවාර්ෂික හා වාර්ෂික භෝගවල අස්‌වනු අතර මෙවැනි වෙනස්‌කමක්‌ මේ පර්යේෂණයෙ දී අනාවරණය වී නොමැත. එසේ ම වාරි ජලසම්පාදනය හා කාබනික ගොවිබිම් බවට පත් ව ගත වූ කාලය වැනි සාධක හා අස්‌වැන්න අතර සම්බන්ධතාවක්‌ ද හෙළි වී නොමැත. මේ වගා ක්‍රමවල අස්‌වනු වෙනස පිළිබඳව දියුණු රටවල් හා දියුණු වන රටවල් විසින් සිදු කරන ලද අධ්‍යයන අතර ද එවැනි වෙනස්‌කමක්‌ අදාළ පර්යේෂකයන්ට හමු වී නොමැති වීම තවත් වැදගත් කරුණකි.

මේ අධ්‍යයනයේ වැදගත්කම


ඉහත කී පර්යේෂණයෙන් පෙන්වා දී ඇති ආකාරයට කාබනික නිෂ්පාදනවලින් ඉහළ අස්‌වැන්නක්‌ ලබාගැනීම මඟින් මේ පිළිබඳ පර්යේෂණ තවදුරටත් පැවැත්වීම සඳහා හැකියාවක්‌ ලැබෙනු ඇත. එසේ ම මෙහි දී හඳුනාගෙන ඇති බහු භෝග වගාව හා ශෂ්‍ය මාරුව යන කෘෂි පිළිවෙත් දිගු කාලයක පටන් ඉහළ අස්‌වැන්නක්‌ ලබා ගැනීම සඳහා බොහෝ රටවල ගොවි ජනතාව භාවිත කරන පිළිවෙත් ය.

කාබනික භෝගවල අස්‌වැන්න ඉහළ නංවාගැනීමට පියවර ගැනීම ලෝකයේ අනාගතය උදෙසා ඉතා වැදගත් කරුණකි. දිනෙන් දින ඉහළ යන ලෝක ජනගහනය සඳහා අවශ්‍ය ආහාර සැපයුම ලබා දීම සඳහා වර්තමාන ආහාර නිෂ්පාදනය ඉහළ නැංවිය යුතු ව තිබේ. මෙය අභියෝගයක්‌ වන්නේ භූමිය හා ජලය වැනි සම්පත් සීමාසහිත වූ තත්ත්වයක්‌ තුළ ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම සිදු කළ යුතු ව ඇති බැවිනි. කෘෂිකර්මය නිසා සිදු වන පාරිසරික හානිය අවම කරමින් ආහාර නිෂ්පාදනය කළ හැක්‌කේ කාබනික භෝග වගාව මගින් වුව ද, කාබනික භෝග වගාවේ දැකිය හැකි අඩු අස්‌වැන්න හේතුවෙන් ලෝකයට අවශ්‍ය ආහාර නිෂ්පාදනය සැපයිය හැකි ද යන්න ගැටලුවක්‌ ව තිබිණි. ඉහත දැක්‌වූ ආකාරයට කාබනික ගොවිතැනේ අස්‌වැන්න ඉහළ තත්ත්වයකට නැංවිය හැකි ක්‍රමවේද පවතී නම්, ඒ සඳහා වැඩි ගොවීන් පිරිසක්‌ යොමු වීමට ද මෙය හේතුවක්‌ වනු ඇත. එය වැදගත් වන්නේ ලෝක ජනතාව ගේ ආහාර සුරක්‌ෂිතතාව සපයා දීම පිණිස ය.

කාබනික ගොවිතැන සාමාන්‍යයෙන් සැලකෙන්නේ වාණිජමය වශයෙන් පාඩුදායක ලෙස ය. ඊට හේතු වී ඇත්තේ ද වැඩි ශ්‍රමයක්‌ වැය කිරීම අවශ්‍ය වීම හා අඩු අස්‌වැන්නක්‌ ලැබීමයි. මේ නිසා කාබනික නිෂ්පාදනවල මිල බොහෝ විට ඉහළ මට්‌ටමක පවත්නා ආකාරයක්‌ දැකගත හැකි විය. සාමාන්‍යයෙන් කාබනික භෝගවල මිල ගණන් සම්මත (රසායනික) කෘෂිකාර්මික නිෂ්පාදනවල මිල ගණන්වලට වඩා දෙගුණයක්‌ හෝ ඊට වැඩි ප්‍රමාණයකින් අධික වේ. මෙය කාබනික ආහාර පරිභෝජනයෙන් මිනිසුන් ඈත් කිරීම සඳහා හේතු වී ඇති බව අප මින් පෙර ද පෙන්වා දී ඇත්තෙමු. කාබනික භෝගවල අස්‌වැන්න ඉහළ නැංවීමෙන් ඒවායේ මිල අඩු කිරීම සඳහා යම් අවස්‌ථාවක්‌ අවස්‌ථාව පවතී.

http://www.vidusara.com/2015/01/14/feature1.html

No comments:

Post a Comment