Sunday, January 11, 2015

පරිසර පුවත් - Environment News (2015-01-07)

පරිසර පුවත් - 2015-01-07
ධනේෂ් විසුම්පෙරුම

විදුසර 2015-01-07
(Not available online)



මාර්ගයේ ශබ්දය සැලකිය යුතු බලපෑමක් කරයි



මහා මාර්ගවලින් ජනනය වන නීතියෙන් අනුමත ප්‍රමාණයට වඩා අධික වූ ශබ්දය මිනිසුන්ගේ සෞඛ්‍යයට සැලකිය යුතු බලපෑමක් සිදුකරන බව යුරෝපය පාදක කරගත් ඇගැයීම් වාර්තායකින් පෙන්වාදී තිබේ. යුරෝපා පාරිසරික නියෝජතායතනය නිකුත් කළ මේ ඇගැයීම අනුව ශබ්ද දූෂණය යුරෝපයේ බරපතළ ආකාරයේ පරිසර දූෂණයක් වේ.

"යුරෝපයේ ශබ්දය 2014" නම් මේ වාර්තාවේ දක්වා ඇති ආකාරයට, මාර්ගවල අධික ශබ්දය නිසා යුරෝපීයයන් අතරින් හතරෙන් එකක් පමණ පිරිසකට ස්වකීය නින්ද අහිමි වීමේ පටන් හෘදයාබාධ දක්වා වූ විවිධ සෞඛ්‍ය ගැටලූ රාශියකට ලක් වීමේ අවදානමක් පවතී. මේ ප්‍රමාණය සංඛ්‍යාත්මකව ගතහොත් මිලියන 125කටද අධිකය. මේ අධ්‍යයනයට අනුව මිලියන 20ක් පමණ පිරිසක් තමන් කරදරකාරී හෝ හිරිහැර තත්ත්වයකට ලක්වන බවක වාර්තා කර ඇති අතර, තවත් මිලියන 8ක් පමණ තරම් පිරිසක් නින්ද නොයෑම පිළිබඳව සඳහන් කර ඇත. එසේම 250,000කට අධික ජනගහනයක් ඇති නගරවල ශබ්ද දූෂණයට ලක්වන පිරිස් අධිකය.

යුරෝපයේ සිදුවන රෝහල් ගතවීම් අතරින් 43,000කටද, ආතති තත්ත්ව (hypertension) අතරින් 900,000කටද, අඩු වයසින් සිදුවන මරණ අතරින් 10,000ක් පමණ තරම් ප්‍රමාණයකටද පරිසරයේ ඇති අධික ශබ්දය හේතුවක් විය හැකි බව ගණන් බලා ඇත. එසේම මේ සඳහා ගත හැකි පියවර වාර්තා කරන උක්ත වාර්තාව නගරවල නිශ්ශබ්ද ප්‍රදේශ පිහිටුවීම හා වාහනවල ටයර සඳහා අඩු ශබ්දයක් නිකුත් කරන ටයර යෙදීම වැනි පියවර ගත යුතු බව දක්වා ඇත. (මූලාශ්‍රය: Noise in Europe 2014, www.eea.europa.eu/publications/noise-in-europe-2014)

පක්ෂීන්ට දැනුණු ටෝනාඩෝව


මේ වර්ෂයේ මුලදී ඇමරිකාවේ ඇපලේචියානු ප්‍රදේශයේ ඇති වුණු ටෝනාඩෝවක් ඇති වීමට දිනකට පෙර ඒ ප්‍රදේශයෙන් පක්ෂීන් ඉවත්ව ගොස් ඇති බව පසුගියදා පළ වූ අධ්‍යයනයක සඳහන් වේ. Vermivora chrysoptera නම් ඛෙහෙවින් කුඩා හම්බු කුරුල්ලන් විශේෂයකට (golden-winged warblers) අයත් පක්ෂීන් පස්දෙනෙකු යොදාගනිමින් මේ අධ්‍යයනය සිදුකර ඇත.

පසුගිය අප්‍රේල් මාසයේ ටෝනාඩෝව ඇති එක් දිනක් හෝ දින දෙකකට පමණ පෙර මේ පක්ෂීන් ඔවුන් කූඩු තැනීම සිදුකරන ඇපලේචියානු ප්‍රදේශයෙන් කිලෝමීටර් 700ක් පමණ ඈත ප්‍රදේශයක් වෙත ගමන් කර ඇති අතර ටෝනාඩෝවෙන් දින ගිහිපයකට පසු ආපසු අභිජනන බිම් වෙත පැමිණ තිබේ. ඒ අනුව ඔවුන් කිලෝමීටර් 1500ක් පමණ දුරක් ගමන් කර ටෝනාඩෝ අනතුරින් මිදීමට සමත්ව ඇත. මේ පක්ෂීන් ඔවුන්ගේ වාර්ෂික පර්යටනය සම්පූර්ණ කර කිලෝමීටර් පන්දහසක් පමණ දුරක් ගමන් කර කොලොම්බියාවේ සිට ස්වකීය අභිජනන භූමිය වෙත ආපසු පැමිණ ඒ වන විට ගත වී ඇත්තේ දින කිහිපයක් පමණක් වීම මෙහි ඇති විශේෂත්වයයි. ටෝනාඩෝ අනතුර පිළිබඳව පක්ෂීන්ට දැනගැනීමට හැකියාව ලැඛෙන්නට ඇත්තේ ඔවුන් සතු අඩු සංඛ්‍යාතයක් ඇති ශබ්ද ඇසීමට ඇති හැකියාව විය හැකි බව පර්යේෂකයන්ගේ අනුමානයයි.

පක්ෂීන්ගේ ගමන් රටාව අධ්‍යයනය කරන්නට යොදා ගන්නා ආලෝක ප්‍රමාණය මනින කුඩා උපකරණ සවිකරන ලද පක්ෂීන් මේ අධ්‍යයනය සඳහා විද්‍යාඥයන්ට උපකාරී වී ඇත. ස්වාභාවික ආපදා සතුන්ට පූර්වයෙන් දැන ගත හැකි වීම පිළිබඳ විද්‍යාත්මක වාර්තා ගණනාවක් පසුගිය දශකයක පමණ කාලය තුළ වාර්තා වී ඇත. මේ කරුණු පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කිරීම ආපදා සම්බන්ධව යෝග්‍ය බව පැහැදිලිය. (මූලාශ්‍රය: Current Biology, DOI: 10.1016/j.cub.2014.10.079)

No comments:

Post a Comment