Sunday, January 18, 2015

පරිසර පුවත් - Environment News (2015-01-14)

පරිසර පුවත් - 2015-01-14
ධනේෂ් විසුම්පෙරුම

විදුසර 2015-01-14 (Vidusara)

http://www.vidusara.com/2015/01/14/news3.html
http://www.vidusara.com/2015/01/14/news4.html
http://www.vidusara.com/2015/01/14/news5.html

ෆොසිල ඉන්ධනවලින් වැඩි ප්‍රමාණය භාවිත නො කළ යුතුයි


දේශගුණ වෙනස්‌ වීම නිසා ඇති විය හැකි බරපතළ තත්ත්වයේ අහිතකර බලපෑම් වැළැක්‌වීමට නම්, උෂ්ණත්වය ඉහළ යැම සෙල්සියස්‌ අංශක දෙකක ප්‍රමාණයේ පවත්වාගත යුතු බව පිළිගැනේ. මේ සඳහා අවශ්‍ය කරුණු දක්‌වන පර්යේෂණයකට අනුව ගත වන සියවස ඇතුළත පවත්වා ගැනීම 50%ක අවස්‌ථාවක්‌ පවත්වාගැනීම අවශ්‍ය නම්, 2011-2050 අතර කාලයේ දී වායුගෝලයට නිකුත් වන සමුච්චික කාබන් විමෝචන ප්‍රමාණය ගිගාටොන් 1100 ප්‍රමාණයේ පවත්වාගත යුතු ය. ඒ සඳහා ලෝකයේ ෆොසිල ඉන්ධන සංචිත අතරින් වැඩි ප්‍රමාණයක්‌ ඒවා පිහිටා ඇති ප්‍රදේශවල භාවිත කිරීමෙන් වැළැකිය යුතු බව ඉහත ආකෘතික අධ්‍යයනයේ දක්‌වා තිබේ. මේ සඳහා අද වන විට ලෝකයේ ගල්අඟුරු සංචිත අතරින් 80%ට අධික ප්‍රමාණයක්‌ ද, ගෑස්‌ සංචිත අතරින් 50%ක්‌ පමණ ද, තෙල් සංචිත අතරින් 30%ක්‌ පමණ ප්‍රමාණයක්‌ ද භාවිත නො කළ යුතු වේ.

මේ අධ්‍යයනයෙන් පෙන්වා දී ඇති තවත් කරුණක්‌ වන්නේ මෙසේ ෆොසිල ඉන්ධන දහනය නො කළ යුතු ප්‍රදේශ හඳුනාගැනීමයි. කැනඩාව, රුසියාව, සවුදි අරාබිය හා ඇමෙරිකාව ඔවුන් ගේ භූමි ප්‍රදේශ තුළ පිහිටි ෆොසිල ඉන්ධන සංචිතවලින් වැඩි ප්‍රමාණය භාවිත කිරීමෙන් වැළකී සිටීම අවශ්‍ය ය. එසේ ම ආක්‌ටික්‌ ප්‍රදේශයේ කැණීම් කිරීම වැනි මිලෙන් අධික විය හැකි ෆොසිල ඉන්ධන සොයා සිදු කරන ගවේෂණ ද නො කළ යුතු වේ.

මින් පෙර සිදු කර ඇති පර්යේෂණවලින් පෙන්වා දී ඇත්තේ ලෝකයේ ඇති සියලු ෆොසිල ඉන්ධන සංචිත දහනය කළේ නම්, ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක දෙකේ සීමාවේ පවත්වාගැනීමට අවශ්‍ය කාබන් විමෝචන ප්‍රමාණය මෙන් තුන් ගුණයක්‌ පමණ ප්‍රමාණයක්‌ නිකුත් විය හැකි බවයි. (මූලාශ්‍රය: Nature, DOI: 10.1038/nature14016)
- http://www.vidusara.com/2015/01/14/news3.html


ෆුකුෂිමා සහල්වල විකිරණ ප්‍රමාණය අඩු වේ

2011 වර්ෂයේ දී ජපානයේ ෆුකුෂිමා ප්‍රදේශයේ ඇති වූ න්‍යෂ්ටික අනතුර හේතුවෙන් නිකුත් වූ විකිරණවල බලපෑමට ලක්‌ වූ ප්‍රදේශයේ කුඹුරුවල නිෂ්පාදනය කරන ලද සහල් තොග සම්බන්ධව සිදු කළ විකිරණ පරීක්‌ෂාවෙන් පසුව අවදානමක්‌ නොමැති සේ තහවුරු වූ බව පසුගිය සතියේ වාර්තා විය. රජය පනවා ඇති ආරක්‌ෂිත මට්‌ටම වන කිලෝග්‍රෑමයකට බෙකරල් 100ක ප්‍රමාණයට වඩා අධික විකිරණ මට්‌ටමක්‌ පසුගිය කන්නයේ අස්‌වැන්න වූ සහල් තොගයෙන් වාර්තා වී නොමැත. මෙවැන්නක්‌ සිදු ව ඇත්තේ පළමු වරට ය. මීට ඉහත 2012 හා 2013 වර්ෂවල උක්‌ත ප්‍රදේශයේ සුළු වශයෙන් වගා කරන ලද සහල් තොගවල තිබූ අධික විකිරණශීලීතාව නිසා ඒ තොග විනාශ කරනු ලැබ තිබේ.

මේ ආකාරයට විකිරණ පරීක්‌ෂාවෙන් සහල් ආරක්‌ෂිත මට්‌ටමට පැමිණ තිබීම මේ දක්‌වා අදාළ අනතුරේ බලපෑම් පාලනය කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ගවල සාර්ථකත්වය පෙන්වන්නක්‌ බව දක්‌වා ඇත. අදාළ න්‍යෂ්ටික බලාගාරයේ සිදු වූ අනතුරෙන් පසු ෆුකුෂිමා ප්‍රදේශයේ කෘෂි නිෂ්පාදන හා අවට ප්‍රදේශයේ සාගරයේ මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කිරීම සම්බන්ධව සීමා පනවා තිබිණි.
- http://www.vidusara.com/2015/01/14/news4.html

තෙල් අනතුරකට වන්දි ගෙවීමට ෂෙල් සමාගම එකඟ වේ

2008 හා 2009 වර්ෂවල නයිජීරියාවේ පිහිටි නයිජර් ඩෙල්ටා ප්‍රදේශයේ දී ඇති වූ තෙල් කාන්දුවීම් දෙකක්‌ සඳහා වන්දි මුදලක්‌ ගෙවීමට ලෝකයේ ප්‍රකට තෙල් සමාගමක්‌ වන ෂෙල් සමාගම එකඟතාව පළ කර ඇත. මේ එකඟතාව ඇති කරගෙන තිබෙන්නේ අදාළ ප්‍රදේශයේ වාසය කරන බෝඩෝ ප්‍රජාව සමඟ ය. මේ ආකාරයෙන් අදාළ ප්‍රජාවට අයත් පහළොස්‌ දහසකට අධික ධීවර ප්‍රජාවකට ගෙවීමට ඇති මුදල ඩොලර් මිලියන 84ක්‌ පමණ වේ. ඒ, එක්‌ එක්‌ ප්‍රජා සාමාජිකයා වෙත ගෙවනු ලබන මුදලක්‌ හා පොදුවේ ප්‍රජාව වෙත ගෙවනු ලබන වන්දි මුදලක්‌ ලෙසිනි. සමාගම සමඟ පළමුව ඇති කරගත් එකඟතාව අනුව ගෙවීමට නියමිත ව තිබුණේ මීට වඩා ඉතා අඩු මුදලකි. 

නයිජීරියාවේ පසුගිය කාලයේ ඇති වූ තෙල් කාන්දුවීම් අතරින් විශාලතම තෙල් කාන්දු සිදුවීම් වූ මේ තෙල් කාන්දු දෙක නිසා ඔගොනිලන්තය නම් මේ ප්‍රදේශයේ පිහිටා ඇති කඩොලාන බිම් ප්‍රදේශ හෙක්‌ටයාර දහස්‌ ගණනාවක්‌ විනාශ විය. එසේ ම ධීවරයන් ගේ ජීවනෝපාය සපයාගැනීමට මෙන්ම ජනතාව ගේ සෞඛ්‍යයට ද බලපෑම් ඇති විය. ඉහත කී තෙල් කාන්දුවීම වඩාත් බරපතළ තත්ත්වයේ එකක්‌ වූ අතර ඒවායේ වගකීම සමාගම භාරගෙන ඇති බව එහි නයිජීරියානු නියෝජිත සමාගමේ ප්‍රකාශකයන් පවසා ඇත.
- http://www.vidusara.com/2015/01/14/news5.html

No comments:

Post a Comment