Monday, April 13, 2020

මිනිස් ස්වභාවය පෙන්වන දුම්කොළ හා කංසා

නවලෝකය ‌හෙවත් ඇමරිකානු මහාද්වීප නිජබිම් කරගත් දුම්කොළ ශාකය ඔසුවක් ‌ලෙස හා ආගමික හා උත්සවවල මුලින්ම භාවිත කළේ ද ඒ ප්‍රදේශයේ විසූ ස්වදේශිකයන්ය. ඇමරිකාවට ගිය යුරෝපීයයන් ඒ ශාකය යුරෝපයට ගෙන ආවේ විස්මයජනක ඔසුවක් ලෙසින්ය. එම ශාකයේ ඖෂධීය ගුණ දන්නා නමුත් අද එය ප්‍රධාන වශයෙන් වගාකරන්නේ හා භාවිත වන්නේ කුමක් සඳහා ද? දුම්වැටි නිෂ්පාදනය සඳහාය.

මධ්‍යම ආසියාව නිජබිම් කරගත් කංසා විවිධ භාවිතයක් තිබූ ශාකයකි. ආහාරයක්, ඉන්ධනයක්, පෝෂක සපයන්නක්, කඩදාසි නිපදවීමට, ගොඩනැගිලි ද්‍රව්‍යයක්, ඔෳෂධයක් හා රෙදිපිළි තැනීමට ආදි ලෙස විවිධ අවශ්‍යතා සඳහා යොදාගෙන ඇත. එහෙත් කංසා අද භාවිත‍ වන්නේ ඔසුවක් හෝ අන් ප්‍රයෝජනකට නොව මත්ද්‍රව්‍යයක් ලෙසය.

අද යමක් කියැවීමේ දී මේ දෙකේම ඖසධ භාවිතය ගැන කියැවීමට ලැබිණි.

මේ දෙකම ලංකාවට හඳුන්වා දුන් ශාක වේ. දුම්කොළ 16 සියවස අග හෝ 17 සියවස මුලදී පෘතුගීසීන් විසින් හඳුන්වා දෙන ලද්දකි. කංසා කෝට්ටේ යුගය වන විටද මෙරට පැවති අතර, අග්නිදිග හා නැගෙනහිර ආසියාව හා සමීප සම්බන්ධතා පැවති කාලයේ සේද මාවත ඔස්සේ පැමිණි බව සිතිය හැකිය. මේවා ඉන් පසු අපට කෙතරම් අත්‍යවශ්‍ය වී තිබේද යත් බුලත් විටට සමහරුන්ට දුම්කොළ නැතිවම බැරිය!

මේ දෙකේම භාවිතය අපට පෙන්වන්නේ කුමක්ද? යහපත් භාවිත රැසක් තිබිය දී මිනිසුන් ඒවා භාවිත කර ඇත්තේ හුදු විනෝදාස්වාදයට, රැල්ලට හා සෞඛ්‍යයට හිතකර නොවන කටයුතු සඳහා බවයි.

අද අප අන්තර්ජාලය, Facebook, Youtube ආදිය භාවිත කරන්නේ ද ඒ ආකාරයටම නොවේද? පහසුවෙන් නාස්තියට, ‌නොමඟට හා නරකට ‌යොමු වීම සාමාන්‍ය මිනිස් ස්වභාවයයි. අද ‌හෝ ‌හෙට අප වෙනස් කරගත යුත්තේ ද එයයි. අවාසනාවකට මෙන් එයද අභියෝගාත්මක කාර්යයකි. බුලත් විටෙන් දුම්කොළ ඉවත් කිරීමට ගත් උත්සාහය සමහරුන්ට බරපතළ ගැටලුවක් වූ අයුරු මතකද?

ධනේෂ් විසුම්පෙරුම

13.04.2020

Saturday, April 11, 2020

"පුදුම හදිස්සියක්නෙ මෙයාට" (කට කැඩිච්ච කතා 04)

මාස ගණනකට ‌පෙර දවසක් උදේ වරුවෙ මං සාමාන්‍යයෙන් බෙහෙත් ගන්න පුරුදු පාමසියට ගියා. එදා පේන්න හිටියෙ සාමාන්‍යයෙන් ඉන්න තරුණ ගැහැණු ලමයා විතරයි.

මම මට අවශ්‍ය බෙහෙත් හා ප්‍රමාණ ගැන කියද්දි, ටිකක් නවීන ‌මොඩ් පන්නයෙ තරුණයෙක් ඇවිත් පාමසියෙ කවුන්ටරෙන් කවුන්ටරේට ඔළුව දමමින් "කෝ කවුද ඉන්නෙ" කියලා අසමින් මුදල් ගෙවන කවුන්ටරේ පැත්තට බලමින් ගියා. ඒ පාමසියෙ බෙහෙත් දෙන කුඩා කවුන්ටර් 3ක් පමණ තියනවා. මුදල් ගෙවන්න තිබ්බෙ තව තැනක.

මේ බව දුටු අර තරුණිය "පුදුම හදිස්සියක්නෙ මෙයාට" කියලා මට කියලා ඔහු ගිය පැත්තට ගියා. ඔහු එවිට හිටියෙ මුදල් ගෙවන තැනට කිට්ටුම කවුන්ටරේ ළඟ.

ඔහු ගිහින් ගත්තෙ කොන්ඩොම් පැකට් එකක්. මුදල් ගෙවා බඩු අරන් ඔහු යන්න ගියාම, අර තරුණිය බලනවා ඔහු යන දිහා. මං හිතන්නෙ ඒ තරුණයාට තිබුණු හදිසිය මොකද්ද කියලා අර නංගිට තේරෙන්න ඇති. මම හිනා නොවී හිටියෙ ටිකක් අමාරුවෙන්.

ධනේෂ් විසුම්පෙරුම

දෙලොවක් අතර සහ Hit & Run

ධනේෂ් විසුම්පෙරුම


දෙලොවක් අතර කී විට පැහැදිලි වන්නේ කිසියම් ගැටලුවක් නිසා තීරණයක් ගත නොහැකිව, වරදකාරී හැඟීම නිසා වියවුලක පැටලී සිටින මානසික තත්ත්වයකි. Hit & Run කී විට එහි අර්ථය ද පැහැදිලිය - එ නම් වාහනයක අනතුරක් සිදු කර පළා ගිය අවස්ථාවකි (එහි වෙනත් අර්ථ ද ඇත). 

මේ දෙකම චිත්‍රපටවල නම්ය. එකක් ලංකාවේ නිපද වූ චිත්‍රපටයක් වන අතර, අනෙක ඇමරිකානු චිත්‍රපටයකි. එහි සමානකම ඇත්තේ කතා තේමාවේය. ඒ දෙකම hit & run සිදුවීම් නිසා දොලොවක් අතර අතරමං වූ පුද්ගලයින් දෙදෙනෙකු ගැන කියැවේ.

දෙලොවක් අතර


'දෙලොවක් අතර' චිත්‍රපටය රිය අනතුරකින් පසු පොලිසියට වාර්තා නොකර පලා යන රියැදුරෙකුගේ සිතේ ඇති වන වරදකාරී හැඟීම නිසා ඇති වන ගැටුම නිරූපණය කරයි. ඉහළ සමාජයේ පවුලක සාමාජිකයෙකු වන නිශ්ශංක විජේසිංහ, චිත්‍රා නම් යෙහෙළියක සමඟ සමාජශාලාවක නැටුමකට ගොස් ආපසු පැමිණෙන අතර, අධික වැස්ස මධ්‍යයේ සිදුවන අනතුරකින් අයෙකු තුවාල ලබයි. නිශ්ශංක හා යෙහෙළිය අනතුරෙන් පසු සිදුවීමෙන් පලා යති. එහෙත් අනතුර සැඟවීම නිසා නිශ්ශංක මෙන්ම යෙහෙළිය ද මානසිකව පීඩාවට පත්වෙති. පොලීස් පරීක්ෂණ අතර, අනතුර දුටු අයෙකුගේ සාක්ෂි මත සැකය නිශ්ශංක වෙත යොමු වේ. එහෙත් ඔහුගේ පවුලේ අය එය වසන් කිරීමට සිය බලය පාවිච්චි කරමින් හැකි දේ කරති. නිදසුනක් ලෙස පවුලේ සේවකයා එය කළ බව පොලිසියට පවසන්නේ නිශ්ශංකගේ පියාය. ඔහුගෙන් ප්‍රශ්න කරනු ලැබේ. පසුව තුවාලකරු මියයන අතර, සේවකයා පොලිස් අත්අඩංගුවට පත් වේ. ඒ වන විට ද වරදකාරී හැඟීම නිසා මානසික පීඩාවට පත්ව සිටින නිශ්ශංකට තවදුරටත් තත්ත්වය දරාගත නොහැකි වෙයි. අවසානයේදී චිත්‍රා සමඟ කළ කතාබහකින් පසුව ඔහු ඇය හා සමඟ කුරුඳුවත්ත පොලීසියට පිවිසීමෙන් කතාව නිමා ‌වෙයි. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අධ්‍යක්ෂණයක් වන '‌දෙලොවක් අතර' 1966දී තිරගත වී ඇත. ටෝනි රණසිංහ ප්‍රධාන භූමිකාව කළ පළමු චිත්‍රපටය මෙය බව මම අසා ඇත්තෙමි.

Hit & Run


පසුගියදා මුල් වරට 'දෙලොවක් අතර' චිත්‍රපටය නැරඹීමෙන් පසු මට සිහි වූයේ පසුව 1999 දී විකාශය වූ ඇමරිකානු රූපවාහිනී චිත්‍රපටයක් වන 'Hit & Run' චිත්‍රපටයයි. එහි කතාවට අනුව දෙදරු මවක වන ජොආනා කෙන්ඩල් වැසි සහිත අවස්ථාවක සිය රථය ධාවනය කරන අතර, ඇගේ අවධානය ගිලිහී ගොස් කුඩාගැහැණු දරුවෙකු අනතුරට පත් වේ. හදිසි ඇමතුම් අංකයකට දුරකථන ඇමතුමක් දී ආපසු පැමිණෙන ඇය, එහි ඇති කලබලකාරී තත්ත්වය දැක අනතුර සිදු කළේ තමන් බව නොපවසා එතැනින් නික්ම යයි. එහෙත් පසුව සිතේ ඇතිවන වරදකාරී හැඟීම නිසා මානසික වශයෙන් දැඩි පීඩාවකට පත් වන ඇය සමාජය ඒ සිදුවීම ගැන කතා කරන ආකාරයෙන් තවදුරටත් ව්‍යාකූල වේ. පොලිසියේ සැකය ද ඈ වෙත යොමු වන අතර, අවසානයේ ඇය පොලිසීයට බාර වන්නීය. ඉන් පසුව ඇයගේ ජීවිතයේ ඇති වූ වෙනස්කම් - පවුලේ ගැටලු හා වෙන්වීම් - වැනි සිදුවීම් ඔස්සේද කතාව ගලා යයි. චිත්‍රපටය අවසන් වන්නේ ඇය සිය දියණියන් දෙදෙනා බැලීමට යාමෙනි. සත්‍ය කතාවක් මත පදනම්ව ඩෑන් ලෙර්නර් (Dan Lerner) විසින් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය මම දෙවරක් රූපවාහිනි‌යෙන් නරඹා ඇත්තෙමි. (මෙම තේමාව සහිත තවත් චිත්‍රපට බටහිර ඇති බව සඳහන් වේ.)

'‌දෙලොවක් අතර' චිත්‍රපටයේ ටෝනි රණසිංහ (නිශ්ශංක) මෙන්ම 'Hit & Run' චිත්‍රපටයේ මාගරට් කොලින් (ජොආනා) ද ඉතා විශිෂ්ට රඟපෑමක යෙදෙති. තමන් සිදු කළේ වරදක් බව දැනුනු පසුව සිතේ ඇති වන ව්‍යාකූලත්වය හා මානසික ගැටුම් ඉතා සියුම් ලෙස විවරණය කරමින් ‌මේ දෙදෙනාම අපූරු රංගනයක යෙදී ඇත. එය කෙතරම් ද යත් එවැනි වරදක් කිසිදා නොකළ අයෙකු තුළ ද වරදකාරී හැගීම් ඇති වී දෙලොවක් අතරට පිවිසෙන්නාක් බඳුය. ටෝනි මෙන්ම හෝ ඔහුටත් වඩා දක්ෂ චරිත නිරූපණයක් මාගරට් විසින් කළ බවක් ද මට සි‌තෙයි. 


(ඡායාරූප අන්තර්ජාලයෙනි)

11.04.2020

Tuesday, March 10, 2020

පැමිණ ගිය නුඹට

මේ නිහඬ රා්‍රියේ
කලකින් ඔබ පැමිණි වග
ඒ සිහින් සරයෙන්
මා සවනට ඇසුණා

පිළිගැනුමට ගිය මට
ඔ‌බෙ සුවඳ දැනුණා
ඔය නෙතින් ගලාගිය
කඳුළක සිසිලස
මා සුරතට දැනුණා

එනමුත් ඇයි නුඹ
ආ සැනින් මා දමා
නික්මුණේ ‌නොකියාම
සුවඳ පමණක් තබා

වාසනා නැතිද තව
මා හා රැදෙන්නට.
ජීවය පුබුදන්නට..
ජීවිතය දෙන්නට...
.
.
.
"වර්ෂා"...,
ඔබෙනි මේ විමසුම

ධනේෂ් විසුම්පෙරුම
2020.03.10

ජාතිකවාදී රාජ්‍ය හා පරිසර සංරක්‌ෂණය...

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.03.04, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2020/03/04/feature1.html


ජාතිකවාදය (Nationalism) හා පරිසර ආරක්‌ෂාව යනු එකට යන ගමන් නො කරන සංකල්ප දෙකක්‌ බව සාමාන්‍යයෙන් පිළිගත් කරුණකි. මේ සඳහා බොහෝ දෙනා දක්‌වන නිදසුනක්‌ වන්නේ ජාතිකවාදී මතවාදයක්‌ සහිත රජයයක්‌ බලයට පත් වූ රටවල පරිසර ප්‍රතිපත්ති වෙනස්‌ වන අන්දමයි.

මේ සඳහා ඇති ආසන්න ම ජගත් මට්‌ටමේ උදාහරණය වන්නේ නූතන ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය යටතේ එරට ඇති වී තිබෙන වෙනස්‌කම් ය. ඔහු බලයට පත් වීමට පෙර අට වසරක කාලයක්‌ එරට පාලනය කළ ඩිමොක්‍රටික්‌ පාක්‌ෂික ජනාධිපති බැරැක්‌ ඔබාමාගේ කාලයේ දී, ඊට පෙර ඇමෙරිකාව ගෙන ගිය පරිසර ප්‍රතිපත්තිවල යම් වෙනස්‌කම් ඇති විය. නිදසුනක්‌ ලෙස ගත හොත් දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධ ව අවශ්‍ය පියවර ගැනීමට ඇමෙරිකාව ප්‍රමාද වීම දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීම සඳහා ලෝකය ගත් උත්සාහයට බරපතළ ගැටලුවක්‌ වී තිබිණි. එහෙත් ඔබාමා පාලනය යටතේ ඒ තත්ත්වය තරමක්‌ වෙනස්‌ වී සුබවාදී ප්‍රවේශයක්‌ දැකිය හැකි විය. අවාසනාවකට මෙන් ඔබාමා පාලනය යටතේ ගත් පරිසර හිතකාමී පියවර ගණනාවක්‌ ම ආපසු හැරවීමට හෝ නවතා දැමීම සඳහා හෝ ඉන්පසුව බලයට පැමිණි ට්‍රම්ප් ක්‍රියා කළේ ය. දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධව මේ වන විට ඇති වැදගත් ම එකඟතාව වන පැරිස්‌ ගිවිසුමෙන් ඉවත් වීම සඳහා ද ට්‍රම්ප් පාලනය යටතේ ඇමෙරිකාව තීරණය කළේ ය. දේශීය වශයෙන් ද ඔහු ගත් ඇතැම් පියවර ද පාරිසරික වශයෙන් අහිතකර වූ බව ප්‍රකට කරුණකි.

සාමාන්‍යයෙන් ජාතිකවාදී මෙන්ම දක්‌ෂිණාංශික දේශපාලන ව්‍යාපාර පරිසරය හා සම්බන්ධව අසුබවාදී එකක්‌ බව පිළිගැනෙයි. එයට හේතුව දක්‌ෂිණාංශික පක්‌ෂ පරිසර කරුණු දෙස බලන්නේ ද ජාතික වූ හා සංස්‌කෘතික ඇසින් මෙන්ම භූමිය පිළිබඳ ඇසින් ද යන දෙකෙන් ම වන නිසා ය. මේ නිසා ඔවුන් පාරිසරික ගැටලු සම්බන්ධ ව ගන්නා ප්‍රවේශය දේශීය එකක්‌ වන අතර ජගත් මට්‌ටමේ එකක්‌ නො වේ.


ජාතික දේශසීමා ඉක්‌මවා ගිය පරිසර ගැටලු


එහෙත් සමහර පාරිසරික ගැටලු ජාතික මට්‌ටමෙන් ඔබ්බට ගිය ඒවා වෙයි. ඒවාට මිනිසුන් විසින් සකස්‌ කරගනු ලැබ ඇති දේශසීමා වලංගු නො වේ. මෙවැනි තත්ත්ව ලෝකයේ දැකිය හැකි වූයේ බොහෝ කලක පටන් ය. අම්ල වැසි මෙන්ම රටවල් හරහා ගලා යන ගංගාවල දැකිය හැකි ජල දූෂණය වැනි අර්බුද සමඟ ජාතික රාජ්‍ය ම`ගින් පාලනය කළ නොහැකි පාරිසරික ගැටලු ඇති බව ලෝකයට පැහැදිලි විය. ඒ ගැටලුවලින් පරිසරය හා ඒ ඒ රටවල ජනතාව ආරක්‌ෂා කරගැනීමට නම් ජාතික මට්‌ටමින් ඔබ්බට ගිය විසඳුම් අවශ්‍ය විය. එවැනි අවස්‌ථාවක දී ජගත් මට්‌ටමේ උත්සාහයක්‌ අවශ්‍ය විය. එම ගැටලු විසඳීමේ අරමුණ ඇති ව ගත් ප්‍රයත්න නිසා නූතන ජගත් පරිසර ව්‍යාපාරය ද ක්‍රමයෙන් වර්ධනය වූයේ ය. එහි දී බොහෝ රාජ්‍ය ස්‌වකීය දේශපාලන ප්‍රතිපත්ති කෙසේ වෙතත් ජගත් මට්‌ටමේ ක්‍රියාමාර්ගවලට අනුගත වූයේ එම ගැටලුවල බරපතළ තත්ත්වය නිසා ය.

අද දැකිය හැකි බරපතළ පාරිසරික ගැටලු වන දේශගුණ වෙනස්‌ වීම හා ඕසෝන් ස්‌තරය විනාශ වීම වැනි ගැටලු මේ සඳහා හොඳ ම නිදසුන් වෙයි. ඕසෝන් ස්‌තරය ආරක්‌ෂා කරගැනීම ලෝකයේ සියලු ම රාජ්‍ය එක්‌ ව ගත් ජගත් මට්‌ටමේ උත්සාහයක ප්‍රතිඵලයකි. ඒ සඳහා වන ජාතික ප්‍රතිපත්ති අතර ම ජගත් මට්‌ටමෙන් ඇති කරගත් එකඟතා සමඟ කටයුතු කිරීම අවශ්‍ය විය. අද වන විට දේශගුණ වෙනස්‌ වීම සඳහා ද ගෝලීය මට්‌ටමේ ක්‍රියාකාරිත්වයක්‌ අවශ්‍ය ව තිබෙයි. ඒ වර්තමාන දේශගුණ වෙනස්‌ වීමේ අහිතකර බලපෑම් ලෝකයේ සියලු රටවලට එක ලෙස බලපාන බැවිනි. එය ඒ ඒ රටවල් සිදු කරන හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය මත ර`දා පවතින්නක්‌ නම් නො වේ. (තවමත් දැකිය හැකි දේශගුණ සංශයවාදීන් විවිධ රටවල සිටිය ද, හරිතාගාර වායු විමෝචනය වීම, මිහිතල උණුසුම් වීම හා දේශගුණ වෙනස්‌ වීම මේ වන විට පිළිගත් බරපතළ පාරිසරික අර්බුදයකි). අද අපේ රට වුව ද අද මුහුණ පා ඇති තත්ත්වය එබඳු ය - අපේ හරිතාගාර වායු දායකත්වය කෙබඳු වුවත් අපට එහි බලපෑමට ලක්‌ වීමට සිදු වෙයි. මෙවැනි තවත් ගැටලුවක්‌ ලෙස ආසියානු දුඹුරු වලාව ලෙසින් හඳුන්වන ලද ආසියානු කලාපයේ දැකිය හැකි පරිසර දූෂක වායුවලින් සමන්විත වලාව දැක්‌විය හැකි ය.


ජාතිකවාදී පරිසරවාදයක්‌?


කෙසේ වෙතත් මේ වන විට ලෝකයේ හඳුනාගෙන ඇති ප්‍රවණතා අතර පරිසර හිතවාදී ලක්‌ෂණ සහිත ජාතිකවාදී ප්‍රවණතා පිළිබඳව ද සඳහන් වේ.

පරිසර ජාතිකවාදය (Eco-nationalism) යනුවෙන් හඳුන්වනු ලබන්නේ එවැනි ලක්‌ෂණ සහිත මතවාදයකි. එය හරිත ජාතිකවාදය (Green nationalism) හෙවත් පාරිසරික ජාතිකවාදය (Ecological nationalism) යනුවෙන් ද ඇතැම් විට හඳුන්වනු ලැබේ. එහි දැකිය හැකි ලක්‌ෂණ වන්නේ ජාතිකමය ලක්‌ෂණ සහිත පරිසර දෘෂ්ටියක්‌ තිබීම ය. නිදසුනක්‌ ලෙස විදේශීය රටවලින් ආනයනය කරනු ලබන ඉන්ධන හා බලශක්‌තිය වෙනුවට විකල්පය ලෙස තම රට ඇතුළත ප්‍රමාණවත් තරම් බලශක්‌තියක්‌ ජනනය කිරීම දැක්‌විය හැකි ය. මෙසේ තම රටේ දී බලශක්‌තිය ජනනය කිරීම ම`ගින් බලශක්‌තියෙන් ස්‌වයංපෝෂිත වූ රටක්‌ ලෙස බ්‍රසීලය දක්‌වනු ලැබේ. කෙසේ වෙතත් බලශක්‌තිය ම රටේ ම නිෂ්පාදනය කිරීමේ ක්‍රමවේදය සඳහා ලෝකයේ සෙසු රටවල් ද උත්සාහ කර ඇතත්, එය අසාර්ථක වූ අවස්‌ථා ද දැකගත හැකි ය.

එමෙන් ම මේ ආකාරයෙන් සිදු කරන තවත් ජාතිකවාදී හා පරිසර හිතවාදී ක්‍රියාවක්‌ වන්නේ දේශීය ව දැකිය හැකි ජීවී විශේෂ හා භූදර්ශනවල වැදගත්කම හා සංකේතාත්මකව හුවා දැක්‌වීමයි. සංරක්‌ෂණ කටයුතුවල දී එවැනි දේශීය ජීවී විශේෂ හා භූ දර්ශන සඳහා ප්‍රමුඛතාව ලබා දීම දැකිය හැකි ය. මෙතෙක්‌ කල් වන වගා වැනි කටයුතු සඳහා යොදාගත් විදේශීය ශාක වෙනුවට දේශීය ශාක පමණක්‌ යොදාගැනීම දැක්‌විය හැකි ය. මෙය දේශපාලන දෘෂ්ටියකින් කෙසේ වෙතත්, පාරිසරික දෘෂ්ටියකින් සමහර රටවල් ම`ගින් ක්‍රියාත්මක කරනු ලබන්නකි. එහි පාරිසරික ප්‍රයෝජන ද බෙහෙවින් ඇත. මේ ආකාරයෙන් පාරිසරික වශයෙන් වැදගත් භූ දර්ශන ජාතිකමය වැශයෙන් වැදගත් සේ දක්‌වන අවස්‌ථා සඳහා නිදසුන් බොහෝ රටවලින් අපට ලැබේ. නිදසුනක්‌ ලෙස ඕස්‌ටේ්‍රලියාවේ පිහිටා ඇති මහා බාධක පරය දැක්‌විය හැකි ය. එය එරට විසින් සලකනු ලබන්නේ ජාතික වශයෙන් වැදගත් වූ සම්පතක්‌ ලෙස ය. එමෙන් ම සමහර රටවල් විසින් තම රටවල ජෛව විවිධත්වයෙහි සංකේතයක්‌ බඳු ජීවී විශේෂ හා පරිසර පද්ධති සඳහා ක්‍රියාත්මක කරනු ලබන සුවිශේෂී සංරක්‌ෂණ ප්‍රයත්න පවා මෙවැනි ක්‍රියාවලි සඳහා සාධක වෙයි.

පරිසර ජාතිකවාදය යම් ආකාරයකින් දේශපාලන වශයෙන් වැදගත් වූ අවස්‌ථා ඇති බව පෙන්වා දී තිබෙයි. නිදසුනක්‌ ලෙස ගත හොත් සෝවියට්‌ දේශය බිඳවැටීම සඳහා එහි සාමාජිකත්වය දැරූ විවිධ රටවල් තුළ පෙලඹවීමක්‌ ඇති කළ එක්‌ කරුණක්‌ ලෙස මෙය දක්‌වා ඇත. සෝවියට්‌ දේශය යටතේ පැවැති සමූහාණ්‌ඩු වූ එස්‌තෝනියාව, ලිතුවේනියාව හා යුකේ්‍රනය වැනි රටවල ඇති වූ නිදහස්‌ අරගල සඳහා සැලකිය යුතු බලපෑමක්‌ පාරිසරික විරෝධතා නිසා ඇති වූ බව සඳහන් වෙයි. ඒ වැඩි වශයෙන් න්‍යෂ්ටික බලයට විරෝධය පාමින් සිදු කරන ලද විරෝධතා ය. කෙසේ වෙතත් රුසියානුවන් විසින් සෝවියට්‌ සමූහාණ්‌ඩුවල සම්පත් කොල්ලකෑම හා ඒ රටවල ස්‌වාභාවික පදනම විනාශ කිරීමට කටයුතු කිරීම ද සෝවියට්‌ පාලනය Rජු ව සිදු කළ බව පෙනේ. ඒ නිසා ඇති වූ පරිසර හායනය එම සමූහාණ්‌ඩුවල ඇති වූ නිදහස්‌ ව්‍යාපාරවලට උත්තේජනයක්‌ සපයා ඇත.

කෙසේ වෙතත් පරිසර ජාතිකවාදය යන්නෙන් පරිසරය හෙවත් සොබාදහම සංස්‌කෘතික පරිසරයෙන් පිටත පවතින ව්‍යqහයක්‌ ලෙස සැලකීමක්‌ ද දැකිය හැකි ය. ඒ අනුව එය මානව සංස්‌කෘතියෙන් බාහිර වූ දෙයක්‌ වන අතර, හැකි හැම විට ම නොඉඳුල් ව හා ආරක්‌ෂිත ව තැබීමට කටයුතු කළ යුතු බවක්‌ මෙහි දී කියෑවේ. මෙවැනි ක්‍රියාවලියක්‌ දැකිය හැකි රටවල් සඳහා නිදසුන් ලෙස ඕස්‌ටේ්‍රලියාව හා නවසීලන්තය වැනි රටවල් දක්‌වා ඇත.

මේ පරිසර ජාතිකවාදය දේශපාලන ප්‍රතිපත්ති හා සම්බන්ධ වූ වැදගත් අවස්‌ථාවක්‌ ලෙස ඇතැම් දේශපාලන පක්‌ෂ විසින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රතිපත්ති දක්‌වා ඇත. ඒ සඳහා නිදසුනක්‌ ලෙස බ්‍රිතාන්‍ය ජාතික පක්‌ෂය විසින් 2005 වර්ෂයේ දී ප්‍රකාශයට පත් කරන ලද එක්‌ ප්‍රතිපත්තියක්‌ දැක්‌විය හැකි ය. ඒ අනුව ඔවුන් බලයට පත් වුව හොත් එරටට පැමිණෙන මහා පරිමාණ විදේශක සංක්‍රමණ නැවැත්වීම සඳහා කටයුතු කරන බව පොරොන්දුවක්‌ විය. එම`ගින් එරට තුළ ඇති එක ම සැබෑ පරිසරවාදී 'හරිත' පක්‌ෂය ඔවුන් බව ද දක්‌වා තිබිණි. ඒ, සංක්‍රමණ නැවතීමත් සමඟ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම වැනි කටයුතු සඳහා අවශ්‍ය සම්පත් හා අවකාශය ඉතිරි වන නිසා ය.


බටහිර පරිසර වාදය හා පෙරදිග අපි


කෙසේ වෙතත් අපේ රට වැනි පෙරදිග රටවල අනාදිමත් කාලයක සිය පැවතියේ පරිසරය හා සහජීවනයෙන් එකට ජීවත් වූ ජීවන ක්‍රමයකි. පරිසරය හා බැඳුණු සංස්‌කෘතියකින් යුක්‌ත මේ රටවල චින්තනය එය මානවකේන්ද්‍රීය වූ බටහිර චින්තනයට වඩා වෙනස්‌ වූවකි. එහෙත් අවාසනාවකට මෙන්, සියවස්‌ ගණනාවක යටත්විජිත වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස අද අප විසින් අනුගමනය කරනු ලබන්නේ බටහිර සංවර්ධන ආකෘතියයි. එවැනි තත්ත්වයක්‌ ඇතුළත බටහිර පරිසරවාදය ම මෙරට තුළ ද අද වන විට ඇති වී තිබීම පුදුමයක්‌ නො වේ.

අද අප වැනි රටවල් හමුවේ ඇති අභියෝගය වන්නේ අපේ සංස්‌කෘතික වටිනාකම් තුළ පැවැති පරිසර හිතකාමී ජීවන රටාව නැවතත් ස්‌ථාපිත කිරීමට හැකි සංවර්ධන ආකෘතියක්‌ සකස්‌ කිරීම ය. එහෙත් මෙහි දී බටහිර සංවර්ධන ආකෘතියෙන් හා බටහිර විද්‍යාවෙන් ගත යුතු දේ තිබිය හැකි බව පැහැදිලි ය. ජාතිකවාදී මතවාදයක්‌ තුළ මෙය සිදු කිරීම පිළිබඳව තවදුරටත් සාකච්ඡා කළ යුතු බව පෙනේ.

Monday, March 9, 2020

ඉස්කොලෙ කතා 2 - පස්සෙන් යන්න එපා කී ‌දෙක

මේ සිද්ධිය අපි 10 ‌හෝ 11 පන්තියෙ හිටිය කාලෙ වූ දෙයක්.

දවසක් කිසියම් රැස්වීමක් සඳහා අපේ පංතිවල ළමුන් ශාලාවට කැඳවූවා. කාරණය නම් මට මතක නෑ. එදා අපේ විදුහල්පති තුමා අපූරු කාරණයක්  සිහිකළා. (ඒක කීවෙ අපේ යාළුවෙක් බස් එකෙන් වැටිලා තුවාලයක් කරගෙන හිටි නිසාද කියලා නම් මතක නෑ)

"ළමයි පස්සෙන් පන්නන්න ඕන නැති දේවල් දෙකක් තියනවා."

"එකක් තමයි බස්. අනෙක තමයි ගෑණු ළමයි."

"මොකද කියලා දන්නවද?" දැන් ‌කොල්ලො ටික හරිම උනන්දුවෙන් අහගෙන ඉන්නවා.

"මොකද ඕව එකක් ගියාට ඊට පස්සෙන් තව ඒවා එනවා."

අපි ඉතින් විදුහල්පතිතුමා වගෙම ගුරුවරුත් දුන්නු අනෙක් අවවාද පිළිගත්තට, අපේ ගොඩක් කොල්ලො අඩුවෙන්ම සැලකිල්ලට ගත් අවවාදය ‌මේක වෙන්න ඕන. ඒ ‌නොපිළිගැනීම බස් සම්බන්ධයෙන් වගෙම ගෑණු ළමයි සම්බන්ධයෙනුත් ‌පොදුයි!

මගෙම අත්දැකීමෙන් කියන්නෙ. 138 බස් එකක් පස්සෙන් එල්ලෙන්න ගිහින් වැටුනෙ නුගේගොඩ ‌බෝ ගහ ළඟදි. 173 බස් එකකින් බහින්න ගිහින් වැටුනෙ කුරුඳුවත්තෙ ‌පොලිසිය ඉස්සරහදි.

අනිත් කාරණය ගැන උදාහරණ කියන්න ඕන නෑනෙ!

ධනේෂ් විසුම්පෙරුම
2020.03.09

Sunday, February 23, 2020

ඉස්කොලෙ කතා 1 - ‌දොර ඇරල තිබ්බට...

දවසක් අපේ ඉස්කෝලෙ රැස්වීමක් තිබ්බා. මොකක් හරි වැරද්දක් කරල තිබ්බ එකක්. මොකද පංතී කීපයක් විතරයි හිටියෙ. රැස්වීම තිබ්බෙ නවරඟහලේ. මං හිටියෙ 10න් පහළ පන්තියක වෙන්න ඕන.

ඒකට ආපු විදුහලේ ජ්‍යේෂ්ඨ ගුරුමහතෙක් ‌මෙහෙම කතාවක් කීවා.

"රෝයල් එකේ ළමයෙක් ඕන තැනකදි අඳුනගන්න පුළුවන්"

"කොහොමද?" ඔහු ඇහුවා. සභාව මීයට පිම්බා වගෙයි.

"දොර ඇරල තියෙන කාමරයකින් ජනේලෙන් පැනල යන කොල්ලෙක් ඉන්නව නං ඒ රෝයල් එකේ ළමයෙක්!"

(ඉස්කෝලෙ මේ වගේ සිද්ධි තව තියනවා. කියන්නම්කො.)

Saturday, February 22, 2020

සියවසකට පෙර ලංකාවට දැනුණු භූ කම්පනයක්


ධනේෂ් විසුම්පෙරුම



ඉරිදා ලංකාදීප 2020.02.23 (රසවිත, පි. 4), Irida Lankadeepa

On paper - lankadeepa.lk


මීට දින කීපයකට පෙර පෙබරවාරි 12 වැනි දින අලු‍යම අපේ රටේ දකුණු ප්‍රදේශවලට දැනුණු භූ වලනයක් සම්බන්ධව වාර්තා විය. එය ඇති වී තිබුණේ ලංකාවට ගිනිකොණ දෙසින් උතුරුදිග ඉන්දියානු සාගර කලාපයේ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර තිබිණි. ඒ භූ කම්පනය වඩාත් දැනී තිබුණේ මෙරට දකුණු පළාතේ ප්‍රදේශ කීපයකටය. ඒ ප්‍රදේශවල ඒ අත්දැකීම ලද ජනතාව ඔවුන්ගේ අත්දැකීම් සම්බන්ධව ජනමාධ්‍යවලට සඳහන් කර තිබිණි.


මෙවැනි භූ කම්පන වරින්වර අපේ රටට දැනෙයි. අපේ මෑත ඉතිහාසය සම්බන්ධව හැරී බැලූවිට මේ වසරේ භූ කම්පනය දැනී වසර සියයකට පෙර, එනම් 1920 පෙබරවාරි මස 11 වැනිදා අලුයම් කාලයේදී ද ලංකාවට භූ කම්පනයක් දැනී ඇති බවයි. මේ සිදුවීම පිළිබඳව එදා මෙරට පළ වූ සිංහල මෙන්ම ඉංග්‍රීසි පුවත්පත් ද වාර්තාකර ඇත.


අලු‍යම දැනුණු භූ කම්පනය


අප මාතෘකා කරගත් භූ කම්පනය 1920 පෙබරවාරි 11 බදාදා දින උදෑසන තුනට පමණ මෙරට වැසියන්ට දැනී ඇත. බොහෝ පිරිස් ඒ කම්පනයට නින්දෙන් අවදි වී ඇති බව වාර්තාවල සඳහන්ය. මෙම භූ චලනය එදින පෙ.ව. 3.16ට කොළඹ පිහිටා තිබූ නිරීක්ෂණාගාරයේ (Observatory) භූ කම්පන මානයේ සටහන් වූ බව කොළඹ නිරීක්ෂණාගාරයේ අධිකාරිවරයා වෙනුවෙන් ජේ.ඊ. එවන්ස් විසින් නිකුත් කරන ලද වාර්තාවක සඳහන් වේ.


එසේම මෙම භූමිකම්පාව ඊට පෙර මෙරටට දැනී ඇති භූ කම්පනවලට වඩා තදින් දැනී ඇති බව ඒ දිනවල පළ වූ පුවත්පත් වාර්තා කර ඇත්තේ මෙරට විවිධ ප්‍රදේශවලින් ලැබී ඇති වාර්තා උපුටා දක්වමිනි.


එමෙන්ම පුවත්පත් වාර්තාවලට අනුව නම්, තවත් දෙවැනි භූ කම්පනයක් ඊට පැයකට පමණ පසුව ඇති වී තිබෙයි. ඒ කලින් එකට වඩා ඈත ප්‍රදේශයක ඇති වූ එකක් බව ද ඒවායේ සඳහන් වෙයි.


අත්දැකීම් සමහරක්


අදින් වසර සියයකට පමණ පෙර ඇති වූ මේ භූ චලන ලක්වැසියන්ට දැනුණේ කෙසේද යන්න එදා පුවත්පත්වල සඳහන් වේ. කොළඹ දකුණු ප්‍රදේශයේ මුහුදට සමීපව පිහිටි නිවසක වාසය කළ අයෙක් සඳහන් කර ඇති ආකාරයට එම කම්පනය නිසා ඔහු නින්දෙන් අවදි වී තිබේ. දිනමිණ පුවත්පතේ පළ වූ වචනවලින්ම සඳහන් කරන්නේ නම්, ඔහුට “රාත්‍රියේ තුනට හදිසියෙන් ඇහැරුණ බවත්, කාමරයේ තිබූ ලී බඩු ආදිය සොරුන් පැහැර ගන්නාක් මෙන් ගමන් කරන ස්වභාවක් පෙනුණු බවත්, එතකොටම ඇඳ සෙලවෙන්ට පටන්ගත්” බවත් පවසා ඇත. එසේම ඔහු සිටි සයනය සෙලවී ඇත්තේ ඒ මත යමක් ගැස්සී උඩ ගිය පරිද්දෙන් යැයි හෙතෙම සඳහන් කරයි. ඔහුගේ නිවසේ විසූ අනෙක් අයට ඒ හා සමාන අත්දැකීම් ලැබී ඇත. මේ අතර තවත් තැනකින් වාර්තා වන පරිදි ගෘහ භාණ්ඩ තත්පර කීපයක කාලයකට සෙලවී තිබේ.

කොළඹ කැම්බල් උද්‍යාන ප්‍රදේශයේ වාසය කළ වැසියෙකු ටයිම්ස් පුවත්පතට ලියා දන්වා එවා ඇති පරිදි, ‌එම භූ කම්පනය තත්පර 20ක් පමණ කාලයක් පැවතී ඇත. කාමරයේ තිබූ දේ දෙදරුම් කෑ බව ඔහු පවසයි.

කෙසේ වෙතත් අඹේපුස්සේ පදිංචිව සිටි ෂෙල්ටන් ද සේරම් සඳහන් කර ඇති ආකාරයට මේ කම්පනය දැනී ඇත්තේ තත්පර තුනක් පමණ කෙටි කාලයකි. එසේම එම කම්පනය නැගෙනහිර සිට බටහිර දිශාවට ගමන් කළ බවක් තමන්ට දැනුණු බව ඔහු පවසා ඇත.

කඳුකර ප්‍රදේශයේ ස්ථානවලට ද මේ භූ කම්පනය දැනී තිබේ. ටයිම්ස් පුවත්පතේ නුවරඑළිය වාර්තාකරු දක්වා ඇති ආකාරයට මෙම කම්පනය දැනී ඇත්තේ සුළු පිරිසකටය. ඒ ද තත්පර 6-7ක් වැනි කෙටි කාලයකටය. එහෙත් රත්තොට ප්‍රදේශයේ මිඩ්ලන්ඩ් වතුයායේ නිලධාරියෙකු වූ මැන්සෙල් ලෙ ෆෙව්රෙ පවසා ඇති පරිදි එම භූ කම්පනය ඔහු විසූ ප්‍රදේශයට තදින් දැනී තිබේ.

කෙසේ වෙතත් රටේ උතුරට වන්නට පිහිටා ඇති අනුරාධපුර ප්‍රදේශයට ද මෙම භූ කම්පනය තදින් දැනී ඇති බවක් ඒ පිළිබඳ වාර්තා විමසන විට පෙනේ. එම ප්‍රදේශයට විනාඩි දෙකක් පමණ කාලයක් පුරා මේ භූමිකම්පාව දැනී ඇති බව සඳහන් වෙයි. ඇතැම් පිරිස් තමන් නිදා සිටි ඇඳන්වලින් ඉවතට පැන විවෘත ස්ථානවලට ද දිව ගොස් ඇත. බෙර ශබ්දයක් වැනි ශබ්දයක් ඇසුණු බවක් අනුරාධපුරයෙන් ලැබී ඇති වාර්තාවල වැඩිදුරටත් සඳහන් වෙයි. එම වාර්තා අනුව පෙනෙන්නේ කිසියම් කලබලකාරී බවක් අනුරාධපුරයේ දැකිය හැකි වූ බවයි.


නිල වාර්තා


ලංකාවේ තැනින් තැනට විවිධ මට්ටම්වලින් හා එකිනෙකට වෙනස් වූ කාලසීමාවක් මෙම කම්පන දැනී ඇති බව පැහැදිලිය. මෙම භූමිකම්පාව පමණක් නොව ඒ කාලයේ ඇති වූ එවැනි සිදුවීම් පිළිබඳව වාර්තා තැබීමට එවකට මෙරට පාලනය කළ විදේශීය රාජ්‍ය නිලධාරීන් උනන්දුවක් දක්වා ඇත. මෙවැනි දෑ පිළිබඳව නිල වශයෙන් රාජකාරි කරන ලද්දේ එවකට මිනුම්දෝරු දෙපාර්තමේන්තුව යටතේ පැවති කොළඹ නිරීක්ෂණාගාරයේ බලධාරීන්ය.

නිරීක්ෂණාගාරයේ අධිකාරී ඒ.ජේ. බැම්ෆ්ර්ඩ් ස්වකීය වාර්ෂික වාර්තාවේ සඳහන් කරන්නේ සුළු භූ කම්පනයක් පෙබරවාරි 11 වැනි දින පෙරවරු 3.10ත් 3.15ත් අතර කාලයේදී නිරීක්ෂණය වූ බවයි. ඔහු පවසන ආකාරයට මෙය වඩාත් තදින් දැනී ඇත්තේ රටේ බස්නාහිර හා උතුරු ප්‍රදේශවලටය. කෙසේ වෙතත් එතරම් හානියක් නොවූ බව ඔහු පවසයි. උපකරණවල සහායයෙන් තොරව ද දැනුණු බව කියන්නේ පෙර සඳහන් පරිදි සාමාන්‍ය ජනතාවට දැනුණු සිදුවීම් පිළිබඳවය.

සුපුරුදු පරිදි මේ සිදුවීම ද ඇතුළුව ලංකාවේ නිරීක්ෂණාගාරයේ සටහන් වූ භූමිකම්පා පිළිබඳ සවිස්තර වාර්තාවක් ඔහු බ්‍රිතාන්‍ය සංවිධානයේ භූ කම්පන විද්‍යා කමිටුව වෙත (Seismological Committee of the British Association) යැවූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Tuesday, February 18, 2020

සම්පත් පරිභෝජනය හා චක්‍රීය ආර්ථිකය...

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.02.05, පි. 7 හා 24 (Vidusara)

විදුසර - http://www.vidusara.com/2020/02/05/feature2.html




රෝම සමාජය (Club of Rome) නම් විද්වත් සමූහයක මැදිහත් වීමෙන් සකස්‌ කරන ලද Limits to Growth වාර්තාව 1972 වර්ෂයේ දී නිකුත් විය. (එය පසු කලක 'වර්ධනයේ සීමා' නමින් සිංහල භාෂාවට ද න`ගන ලදි). එම වාර්තාවෙන් අවධානය යොමු කර තිබුණේ ලෝකයේ පවත්නා සීමාසහිත වූ සම්පත් සැපයුම හමුවේ අනාගතයේ දී ලෝකයේ ඇති විය හැකි ආර්ථික හා ජනගහන වර්ධනයේ තත්ත්වය හා සීමා පිළිබඳව ය. එම`ගින් පෙන්වා දී තිබුණේ එතෙක්‌ සිදු කරගෙන ආ පරිදි ඓතිහාසික සම්පත් භාවිතයේ කිසිදු වෙනසක්‌ සිදු නො කර වර්ධනය සඳහා කටයුතු කළ හොත් 2072 වර්ෂය වන විට ලෝකයේ වර්ධනයට යම් යම් සීමා ඇති විය හැකි බවයි. එම සීමා සැලකිය යුතු තරම් බරපතළ විය හැකි බව ද දැක්‌වෙයි. එමෙන් ම 1972 වර්ෂය වන විට වර්ධනය පිළිබඳව ලෝකයේ පැවැති ප්‍රවණතා වෙනස්‌ කළ හැකි නම් තිරසර පාරිසරික හා ආර්ථික ස්‌ථාවරත්වයක්‌ අත්පත් කරගත හැකි ය. මේ දෙවැන්න අත්පත් කරගැනීමට කටයුතු කිරීම මිනිසුන් කෙතරම් ඉක්‌මනින් ආරම්භ කරන්නේ ද යන කාරණය මත ඒ තිරසාරත්වය අත්පත් කරගැනීමට වැඩි අවස්‌ථාවක්‌ පවතී.

පරිගණක ආකෘති මත පදනම් ව සකස්‌ කරන ලද මේ වාර්තාවේ පුරෝකථනය කරන ලද ඇතැම් සිදුවීම් හා ඒවා ඇති වෙතැයි දක්‌වන ලද දින වකවානු මේ වන විට එලෙසින් ම සාක්‌ෂාත් වී නොමැතිවා විය හැකි ය. ඇතැම් සම්පත් සීමා වනු ඇති බවට එහි ලබා දී තිබූ දිනවකවානුව වැරැදි විය හැකි ය. එහෙත් එම`ගින් පෙන්වා දුන් මූලික කරුණ වූ සංවර්ධනය හෙවත් වර්ධනය යනු සීමා රහිත එකක්‌ නො වේ ය යන්න අද වන විට පිළිගත් සත්‍යයකි. සම්පත් සීමා වීම වර්ධනය සඳහා සීමා පැනවිය හැකි ය. එය ඉක්‌මනින් හෝ පසුව හෝ ඇති විය හැකි දෙයකි. අපට මේ බව සිතුණේ පසුගිය දා නිකුත් වූ වාර්තාවක සඳහන් වන කරුණු නිසා ය.

චක්‍රිකරණයේ හිදැස වාර්තාව 2020 (The Circularity Gap Report 2020) නමින් නිකුත් වී තිබෙන මේ වාර්තාව චක්‍රිය ආර්ථිකයක්‌ වෙත ලෝකය පිවිසීම වේගවත් කිරීම සඳහා කටයුතු කරන ආයතනයකි.


වර්ෂයක්‌ තුළ සම්පත් ටොන් බිලියන 100ක්‌


මිනිසුන් විසින් එක්‌ වර්ෂයක්‌ තුළ භාවිත කරනු ලබන විවිධ සම්පත් ප්‍රමාණය ටොන් බිලියන 100ක සීමාව ඉක්‌මවා ගොස්‌ ඇති බව පසුගිය දා එළිදැක්‌වූ වාර්තාවක සඳහන් වෙයි. මේ සීමාව ඉක්‌මවා ගොස්‌ ඇත්තේ පළමුවැනි වරට ය. එය නිශ්චිත ව දක්‌වන්නේ නම් ටොන් බිලියන 100.6කි.

මේ අතරින් ටොන් බිලියන 50.8ක්‌ පමණ ඛනිජ ද්‍රව්‍ය වේ. ඒවා වැඩි වශයෙන් වැලි, මැටි, බොරළු හා සිමෙන්ති වැනි ගොඩනැගිලි කර්මාන්තය සඳහා අත්‍යවශ්‍ය දේ ය. ටොන් බිලියන 24.6ක්‌ පමණ ගස්‌ හා භෝග වෙයි. තවත් 15.1ක්‌ පමණ ගල්අ`ගුරු, තෙල් හා ගෑස්‌ වැනි පොසිල ඉන්ධන ය. එමෙන් ම ටොන් බිලියන 10.1ක්‌ පමණ ලෝහ සහිත පස්‌ ය.

ලෝකය වාර්ෂික ව භාවිත කරන විවිධ සම්පත් ප්‍රමාණය 1970 සිට මේ වන විට සිව් ගුණයකින් පමණ ඉහළ ගොස්‌ ඇත. එහෙත් මේ කාලය තුළ ජනගහනය වර්ධනය වී ඇත්තේ දෙගුණයකින් පමණකි. අද ජීවත් වන අයකු එක්‌ වසරක දී සම්පත් ටොන් 13ක්‌ පමණ භාවිත කරන බව මේ අනුව පෙනේ.

භාවිතය සඳහා අවශ්‍ය සම්පත් මේ ආකාරයෙන් අලුතින් උකහාගැනීම සඳහා බලපාන කරුණු කීපයක්‌ තිබෙයි. ඉන් පළමුවැන්න වන්නේ වර්ධනය සඳහා නොඉඳුල් සම්පත් අලුතින් ලබාගැනීම සඳහා අප පුරුදු වී සිටීම ය. පවත්නා සම්පත් වඩා හොඳින් භාවිත කිරීම සම්බන්ධ ව ලෝකයේ ඇති අවධානය අඩු ය. දෙවැන්න වන්නේ අප තවදුරටත් නිවාස, යටිතල පහසුකම් හා බර යන්ත්‍ර තවදුරටත් අලුතින් ඉදි කිරීම ය. මේවා ලෝකයේ වැඩි වන ජනගහනයට අවශ්‍ය වෙයි. තෙවැනි හේතුව වන්නේ භාවිතය අවසානයේ එම ද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණය සඳහා ප්‍රාමාණික සැකසුම් ක්‍රමවේදයක්‌ නො තිබීම හා නිෂ්පාදනවල සැකසුම දුර්වල වීම ය. මේ නිසා සිදු වන්නේ අලුත් අමුද්‍රව්‍යවලට ඇති ඉල්ලුම ඉහළ යැම ය. ඒ සඳහා සම්පත් පරිසරයෙන් උකහා ගැනීම දිගින් දිගට ම සිදු වේ.


සම්පත් නැවත භාවිතය


මේ වාර්තාව මගින් පෙන්වා දෙන අනෙක්‌ වැදගත් කරුණ වන්නේ ප්‍රතිචක්‍රිකරණය පිළිබඳ තත්ත්වයයි.

ලෝකයේ වාර්ෂිකව භාවිත වන ඉහත සඳහන් කළ සම්පත් ප්‍රමාණය අතරින් වසරකට පසුව භාවිත වන්නේ ටොන් බිලියන 31කි. මේ මූලික වශයෙන් ගොඩනැ`ගිලි හා රථවාහන වැනි ද්‍රව්‍ය වේ. එම සම්පත් වැඩි කාලයක්‌ භාවිතයේ ඇති ඒවා ය.

තවත් ටොන් බිලියන 14.6ක්‌ පමණ වූ සම්පත් ප්‍රමාණයක්‌ වායු විමෝචන ලෙස පිට වෙයි. ඒ පොසිල ඉන්ධන හා වෙනත් දහනය ම`ගින් වායුගෝලයට එක්‌ වන හරිතාගාර වායු ඇතුළු ද්‍රව්‍ය වේ. ටොන් බිලියන 22.4ක්‌ පමණ පරිසරයට එක්‌ වෙයි.

තවත් ටොන් බිලියන 32.6න් පමණ ඉවත දමනු ලැබේ. ඒ අතර කැණීම් අපද්‍රව්‍ය ටොන් බිලියන 7.4ක්‌, ලේඛනගත නො කළ අපද්‍රව්‍ය ටොන් බිලියන 4.4ක්‌, බිම් පිරවුම් සඳහා යොදාගන්නා ද්‍රව්‍ය ටොන් බිලියන 11.2ක්‌, පුළුස්‌සා දමනු ලබන ටොන් බිලියනයක්‌ යන ද්‍රව්‍ය අපතේ යයි. සමස්‌තයක්‌ ලෙස ගත් විට නැවත භාවිතය හා ප්‍රතිචක්‍රිකරණය සඳහා යොදා ගනු ලබන්නේ මුළු සම්පත් ප්‍රමාණයෙන් ටොන් බිලියන 8.65ක්‌ පමජි. ප්‍රතිශකයක්‌ ලෙස පවසන්නේ නම් නැවත භාවිතයක්‌ සඳහා ගනු ලැබෙන්නේ මුළු සම්පත් ප්‍රමාණර්යෙන් 8.6%කි.

එය මෑත කාලයේ ලෝකයේ දැකිය හැකි ප්‍රවණතාවය පෙන්වාදෙන්නකි. ගත වූ අවසන් වසර දෙක ඇතුළත සම්පත් පරිභෝජනය කරන ප්‍රමාණය 8%කින් ඉහළ ගොස්‌ ඇතත්ණී ඒ වසර දෙක තුළ ප්‍රතිචක්‍රිකරණය හා යළි භාවිතය 9.1% සිට 8.6%ක්‌ පමණ දක්‌වා අඩු වී ඇත. ඒ අනුව චක්‍රිකරණය පිළිබඳ පරතරය වර්ධනය වෙමින් තිබෙයි. එමගින් පෙන්වා දෙන්නේ තත්ත්වය හොඳ නැති බවයි. එය වැඩි අවධානයක්‌ යොමුකර සොයා බැලිය යුතු කරුණක්‌ බව සඳහන් වෙයි.

මේ ආකාරයෙන් ලෝකයේ පවත්නා සම්පත් සීමා රහිත බවක්‌ සිතමින් පරිභෝජනය කිêමට යැම ලෝකයටම අහිතකර ප්‍රතිඵලයක්‌ අත්කර ක්ෂය හැකි දෙයක්‌ බව පැහැක්ෂලිය. එසේ නම් අප යොමු විය යුත්තේ සම්පත් අපතේ නොයන ක්‍රමවේදයක්‌ කරාය.


චක්‍රිය ආර්ථිකයක්‌ කරා


චක්‍රිය ආර්ථිකයක්‌ යනුවෙන් අදහස්‌ කරන්නේ ලෝකයේ අද භාවිත වන රේ‚ය ආර්ථික මොඩලයට විකල්පයක්‌ ලෙස ඉක්ෂරිපත් වූවකි. රේ‚ය ආර්ථික මොඩලයේ" යමක්‌ නිෂෘපාදනය කරණී භාවිත කර බැහැර කරනු ලබයි. එහෙත් චක්‍රිය ආර්ථිකයක" එම සම්පත් හැකිතාක්‌ කාලයක්‌ භාවිකයේ තිබේ. ඒවා භාවිතයට ගැනීමේ" ඒවායේ උපරිම ප්‍රයෝජනය ගන්නා අතරණී ඒවායේ ïව කාලය අවසානයේ" නැවත භාවිකයකට ගෙන යා හැකි විය යුතුය. මෙම ක්‍රමයේ" අපද්‍රව්‍ය තිබිය නොහැකිය. ඒ අදාළ අපද්‍රව්‍ය තවත් ක්‍රියාදාමයක ආරම්භයක්‌ වන නිසාය. මේ නිසා අදාළ අමුද්‍රව්‍ය අඛණ්‌ඩව භාවිතයට ගනු ලැබෙයි.

මේ අනුව ලෝකයේ ඇති සීමිත සම්පත් තිරසර ආකාරයෙන් භාවිතය පිළිබඳව ඇති ගැටලූර්වට සුදුසු විසදුමක් ලෙස චක්‍රිය ආර්ථිකය සැලකිය හැකි බව පැහැක්ෂලිය.

මෙහි" චක්‍රිය ආර්ථිකව සම්බන්ධව වැදගත් වන කරුණු කිහිපයක්‌ පවතී. ඉන් එකක්‌ වන්නේ ලෝකයේ රටවල් චක්‍රිය ආර්ථික සංකල්පයට පහසුකම් සැපයිය යුතු වීමය. මෑත කාලයේ" ලෝකයේ මේ පිළිබඳව යොමු වී ඇති රටවල් හෝ රටවල් සඹූහ දැක්‌විය හැකියත ඉන් එකක්‌ වනුයේ යුරෝපා සංගමයයි. චීනය ද එවැනි ක්‍රමවේදයක්‌ වෙත යොමු වී ඇති රටකි. එසේම ලෝකයේ තවත් රටවල් චක්‍රිය ආර්ථිකයකට සම්බන්ධ ප්‍රතිපත්ති වෙත පිවිසුණු ආකාරයක්‌ දැක ගත හැකිය.

මූලාශ්‍රය - The Circularity Gap Report 2020, www.circularity-gap.world/2020

Friday, February 14, 2020

ෆැන්ටසියක් නොවූ ෆැන්ටසියාව!

ෆැන්ටසියාව - කුසුම්සිරි විජයවර්ධන
2018 (දයාවංශ ජයකොඩි සහ සමාගම)

ධනේෂ් විසුම්පෙරුම

සිරිතක් වශයෙන් නවකතා හා කෙටිකතා කියැවීම මා අතින් නතර වූයේ වසර ගණනකට පෙරදීය. ඒ අධ්‍යයන අවශ්‍යතා සඳහා පොත්, පුවත්පත් හා වෙනත් වාර්තා කියැවීම පටන් ගත් කාලයේදී සිටය. ඒවා කියවන විට තවත් දෙයක් කියැවීමට කාලයක් ලැබෙන්නේ නැති තරම්ය! ඉඳහිට ප්‍රබන්ධයක් කියවූ අවස්ථා තිබුණද ඒ අතළොස්සකි. එහෙත් දකින්නට ලැබෙන ඓතිහාසික තේමා සහිත නවකතා පොත් මිලදී ගැනීම මම දිගටම සිදුකළ අතර, මගේ නොකියවූ පොත් ගොන්නෙහි ඒවා ගොඩ ගැසී ඇත. ඒ දකින විට මට සිහි වන්නේ දවල්ට, රෑට බත් කන විට පවා කිසියම් පොතක් කිය වූ අතීතයයි. 

එහෙත් කෙසේ හෝ කාලය සොයාගෙන නවකතා කියවන්නට උත්තේජනයක් මට ලැබී ඇත. ඒ අලුත්ම පසුබිමක ලියැවුණු අපූරු කෘතියක් එහි කතුවරයාගෙන් මට ලැබුණු නිසාත්, එහි කර්තෘ හමු වූ හෝ කතා කළ හෝ හැම විටම ඒ පොත කියවන මෙන් බල කළ නිසාත්ය. මම ඔහුට ඒ පිළිබඳව ස්තුති කරන්නේ ඒ පොත කියැවූ දා සිට දැන් දිනපතාම නවකතාවක් හෝ චරිතාපදානයක් වැනි විෂය මූලික නොවන දේ කියැවීමට මා පෙළඹී ඇති නිසාය.

යළි පොත් කියැවීමට මා යොමු කළ මේ කෘතිය 'ෆැන්ටසියාව' නම් වෙයි. ඒ පොත මට දුන් මිතුරා කුසුම්සිරි විජයවර්ධනය. මේ ඒ පොත ගැන මට හිතෙන දේ හා දැනෙන හැටිය.

ෆැන්ටසියාවේ කතාව


ෆැන්ටසියාව නූතන සමාජය වටා ගෙතී ඇති කතාවකි. එහි ලියැවී ඇත්තේ ස්මාර්ට් ෆෝන්, බ්ලොග්, ෆේස්බුක්, ට්විටර් ඇසුරේ ගෙවී යන ජීවිත පිළිබඳවය. මේ සයිබර් ජීවිතය නූතන තරුණ පරපුරට පමණක් නොව, අඩු වැඩි වශයෙන් ඩිජිටල්කරණය වූ ලෝකයක කල් ගෙවන මැදිවියේ හා වැඩිහිටි වියේ අයටද පොදුය.

මෙහි කතාව සයිබර් අවකාශයේ ජීවත් වන චරිත කීපයක් වටා දිවයයි. එහි කතා නායිකාව වන නර්මි හෙවත් නර්මදා සයිබර් ලෝකයේ ක්‍රමයෙන් ජනප්‍රිය වූ තරුණියකි. ගැමි හෝ අර්ධ නාගරික සංස්කෘතික පසුබිමක් ඇති ඈ සිය උගත්කමට සරිලන වෘත්තියක නියැලෙන්නියකි. එහෙත් ඇයට ‘තැනක්’ හෙවත් පිළිගැනීමක් හෙවත් ජනප්‍රියත්වයක් ලැබෙන්නේ ඇයගේ සයිබර් ලියමනෙන්ය. ඇගේ ‘ආච්චිගේ රෙද්ද’ බ්ලොග් අඩවියේ හා ෆේස්බුක් ලිවීමෙන්ය.

ඒ ජනප්‍රියතාවයත් සමඟ ඇයට ළං වන සයිබර් ලෝකයේ වීරයෙකු ලෙස සැලකෙන රහල් සමඟ ඇය කෙටි කලක් තුළ විවාහ වන්නීය. එහෙත් රහල් යනු ඊට වඩා වෙනස් මනසක් හෝ අරමුණක් හෝ ඇති (හෝ නැති) හා වෙනස් සමාජයක ජීවත්වන අයෙකි. ඔවුන් දෙදෙනා අතර බරපතළ ගැටුම් ඇති නොවූවද, එවැනි විවාහයකට වැඩි කල් පැවැත්මක් නැති බව පෙන්වමින් ඔවුන්ගේ විවාහය දෙදරා යයි. එය සයිබර් ලෝකයේ මැවුණු ෆැන්ටසියක් හෙවත් ‘ෆැන්ටසියාවක්’ හා සමාන වන්නේ එමගිනි.

මේ ඒ කතාවේ සාරාංශයයි. නර්මදා හා රහල්, වැනි චරිත අපේ ලෝකයේ ඕනෑ තරම් සිටිති. සයිබර් ලෝකයේ මෙන්ම වෙනත් මාධ්‍යවලින් මවන ෆැන්ටසි ලෝකවල ජීවත්වන්නවුන්ද බොහෝය.


සයිබර් ලෝකයේ සමාජය


කුසුම්සිරි අපට අපූරු කතාවක් කියයි. ඒ සයිබර් ලෝකය හෙවත් ඩිජිටල් ලෝකය අපේ සමාජයට පිවිස ඇති ආකාරයයි. තමන් පීඩාවිඳින හුදකලාවෙන් මිදීමට ඩිජිටල් උපකරණ මගින්, සයිබර් ලෝක තුළ ජීවත් වන පිරිස් බොහෝය. මේ එවැනි එක් කතාවක් පමණක් බව සිතෙන්නේ අප කවුරුත් අඩු වැඩි වශයෙන් සයිබර් අවකාශයේ ජීවත්වන නිසාය.

හොඳින් විමසා බැලූවිට අපේ සමාජයේ බොහෝ දෙනා හුදකලාවක හා අපේක්ෂා භංගත්වයක ගිලී ජීවීතය තුළ අතරමං වී ඇති බව පෙනේ. ධනය, බලය හෝ තත්ත්වය හෝ වෙනත් යමකින් ජීවිතය සම්පූර්ණ කරගත් බව පෙනෙන අය සමහරෙක් තවත් පැත්තකින් අසාර්ථක වී ඇතිවා විය හැකිය. ඔවුන් නතරවන්නේ කොතැනකද? හුදකලාව හා අපේක්ෂා භංගත්වයකය. ජීවිතයේ වැඩි කාලයක් සයිබර් අවකාශයේ සරන අය තුළ මෙවැනි පිරිසක් අපි දකිමු. සයිබර් අවකාශයේ සිය හැඟීම් බෙදාගැනීමෙන් හා දුටු-නොදුටු මිතුරු-මිතුරියන් අන්තර්ජාලය හා එතැනින් ඇරඹෙන මිතුරු සමාගම් මගින් ඔවුන්ගේ හුදකලාව නැතිවී යයි. එයින් ඔවුන්ට ලැබෙන්නේ ලෝකයම බව ඔවුන්ගේ අදහසය. මේ කතාවේ නර්මදා වරක් පවසන්නේ සේම, ‘ලෝකෙම අතේ වගේ තමයි’ය. ඇත්තෙන්ම මෙතෙක් ඔවුන් පෙළූ හුදකලාව නිමා කර ගැනීමට සයිබර් අවකාශය සහාය ලබාදුන්නද එය හුදෙක් තාක්ෂණික බැඳීමක් පමණකි. එහෙත් මෙතෙක් ඔවුන්ය නොලැබුණු තැන, පිළිගැනීම හා අවකාශය ඔවුන්ට ලැබී ඇත. මේ කතාව තුළ විග්‍රහ කරන ජීවිත සමහරක් ගත වන්නේ එවැනි වූ ෆැන්ටසියාවකය. එය සැබෑ ලෝකයේ නොමැති බව පසක් වන විට සිදුවිය යුත්ත සිදු වී හමාර විය හැකිය.

සයිබර් ලෝකය හැමවිටම හානිකර ප්‍රතිඵල දෙන්නක් නොවේ. මේ සයිබර් ජීවිතය හුදෙක් තරුණ පරපුරට පමණක් නොව, වැඩිහිටියන්ගේ හුදකලාව නැති කරන බවත් එදිනෙදා ජීවිතයේ දහසකුත් එකක් ගැටලු අතර සතුටක් ලබා දෙන්නක් බව අපි දනිමු. ෆැන්ටසියාවේ එන මහාචාර්ය ජයදේවගේ ෆේස්බුක් ආගමනය ඊට නිදසුනකි.

එහෙත් භෞතිකව කාලයක් නාදුනන මිනිසුන් සයිබර් අවකාශය හරහාම හඳුනාගෙන සමීපවීමෙන් ඇතිවන සමීප සම්බන්ධතා වේ නම්, ඒවා අස්ථිර ඒවා බව කුසුම්සිරි මේ කතාවෙන් කියයි. සැබෑ ලෝකයේ හඳුනාගෙන වසර ගණන් පෙම් කර සිදුවන විවාහයන් පවා දික්කසාදවලින් කෙලවර වන්නේ නම් සයිබර් අවකාශයෙන් හඳුනාගත්තවුන් අතර එය පුදුමයක් නම් නොවේ. සයිබර් ප්‍රේමය ෆැන්ටසියක් වීමට ඇති ඉඩ වැඩිය. කුසුම්සිරිගේ 'ෆැන්ටසියාව' ෆැන්ටසියක් ‌නොවන බව මා කී‌වේ එනිසාය.

මට සිහිවන්නේ මේ පොත ගැන තිබූ සංවාදයකදී ආචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් පැවසූ දෙයකි. එනම් නර්මදාගෙන් සිංහල බෞද්ධ කුල කාන්තාව නිරූපණය වන බවකි. ඒ කතාවේ සත්‍යයක් ඇතැයි මමද සිතමි. ජීවිතයේ කෙබඳු හැලහැප්පීම් මැද වුවද ඇයට ජීවිතය ගොඩ නංවා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ ඒ නිසා විය යුතු යැයි සිතමි.


කුසුම්සිරිගේ නවකතා ප්‍රවේශය


ෆැන්ටසියාව යවු කුසුම්සිරි විජයවර්ධනගේ පළමු නවකතාව බව ඇසීමි. නවකතාවක් තාක්ෂණික වශයෙන් විමසීමට තරම් විෂය දැනුමක් මට නැතත්, පසෙක නොතබා කියැවිය හැකි කතාවක් ඉදිරිපත් කිරීමට සිය පළමු උත්සාහයෙන්ම එහි රචකයා සමත් වී ඇත. එබැවින් ඔහු එම අංශයේද සිය ප්‍රතිභාව පෙන්වා තිබේ.

මේ කතාවේ ආකෘතිය සඳහා ද වෙනස් මෙවලම් ඔහු විසින් භාවිත කර ඇත. ආකෘතික වශයෙන් සමාජ මාධ්‍ය හා සයිබර් මෙවලම් නවකතාවකට ගෙන ඒමට කුසුම්සිරිට හැකියාව ලැබී ඇත. එවැන්නක් සිදුව ඇත්තේ පළමුවරට බව ද දැනගන්නට ලැබිණි.

එකිනෙකට වෙනස් චරිත ගණනාවක් අපූරු ලෙස නිරූපණය කිරීමට මේ පොත පුරා කුසුම්සිරිට හැකියාව ලැබී ඇත. ඒ මිනිසුන් අතර ඇතිවන සමාජ සම්බන්ධතා මෙන්ම, පෞද්ගලික ගැටලුද නිරූපණය කර ඇති අයුරුද අපූරුය. සිය සේවා ස්ථානයේ මෙන්ම, මගතොටදී මුණගැසෙන අය අතර ඇතිවන සම්බන්ධතා මෙන්ම ඇති නොවන සම්බන්ධතාද මෙහි මොනවට විස්තර කර ඇත. ඒවා අපට එදිනෙදා අහන්නට දකින්නට ලැබෙන ඒවාය. කාර්යාලයේ හා දුම්රියේ පෙම් සබඳතා, මිත්‍ර සම්බන්ධතා වැනි මානව සම්බන්ධතා ඒ අතර වෙයි.

කතාවේ අවසානය වේගවත් වැඩි යැයි මට සිතේ. එය වේගවත් කඩා වැටීමක් බව ඔහු අපට ඒත්තු ගන්වා ඇත. ඒ කඩා වැටීම මට, අපට දැනෙතත්, නර්මි දැක්වූ බව පෙන්වන උපේක්ෂා සහගත ස්වභාවය මට පුදුමය. එය මීට වඩා සෙමින් අවසන් වූයේ නම් මේ ෆැන්ටසි ලෝකයේ යථාර්ථය වඩාත් තීරණාත්මකව දක්වන්නට ඔහුට ඉඩක් තිබුනා යැයි මට සිතේ. එහෙත් එසේ වුයේ නම්, මෙහි රසය වෙනස් වීමට ඉඩ තිබිණි.

මිත්‍රයා, ඔබට ස්තුතියි ඒ පොත කියැවීමට සැලැස්වූවාට... ඒ වගෙම මා යළිත් ප්‍රබන්ධ කියැවීමටයොමු කළාට.

ධනේෂ් විසුම්පෙරුම
14.02.2020