Monday, April 13, 2020

මිනිස් ස්වභාවය පෙන්වන දුම්කොළ හා කංසා

නවලෝකය ‌හෙවත් ඇමරිකානු මහාද්වීප නිජබිම් කරගත් දුම්කොළ ශාකය ඔසුවක් ‌ලෙස හා ආගමික හා උත්සවවල මුලින්ම භාවිත කළේ ද ඒ ප්‍රදේශයේ විසූ ස්වදේශිකයන්ය. ඇමරිකාවට ගිය යුරෝපීයයන් ඒ ශාකය යුරෝපයට ගෙන ආවේ විස්මයජනක ඔසුවක් ලෙසින්ය. එම ශාකයේ ඖෂධීය ගුණ දන්නා නමුත් අද එය ප්‍රධාන වශයෙන් වගාකරන්නේ හා භාවිත වන්නේ කුමක් සඳහා ද? දුම්වැටි නිෂ්පාදනය සඳහාය.

මධ්‍යම ආසියාව නිජබිම් කරගත් කංසා විවිධ භාවිතයක් තිබූ ශාකයකි. ආහාරයක්, ඉන්ධනයක්, පෝෂක සපයන්නක්, කඩදාසි නිපදවීමට, ගොඩනැගිලි ද්‍රව්‍යයක්, ඔෳෂධයක් හා රෙදිපිළි තැනීමට ආදි ලෙස විවිධ අවශ්‍යතා සඳහා යොදාගෙන ඇත. එහෙත් කංසා අද භාවිත‍ වන්නේ ඔසුවක් හෝ අන් ප්‍රයෝජනකට නොව මත්ද්‍රව්‍යයක් ලෙසය.

අද යමක් කියැවීමේ දී මේ දෙකේම ඖසධ භාවිතය ගැන කියැවීමට ලැබිණි.

මේ දෙකම ලංකාවට හඳුන්වා දුන් ශාක වේ. දුම්කොළ 16 සියවස අග හෝ 17 සියවස මුලදී පෘතුගීසීන් විසින් හඳුන්වා දෙන ලද්දකි. කංසා කෝට්ටේ යුගය වන විටද මෙරට පැවති අතර, අග්නිදිග හා නැගෙනහිර ආසියාව හා සමීප සම්බන්ධතා පැවති කාලයේ සේද මාවත ඔස්සේ පැමිණි බව සිතිය හැකිය. මේවා ඉන් පසු අපට කෙතරම් අත්‍යවශ්‍ය වී තිබේද යත් බුලත් විටට සමහරුන්ට දුම්කොළ නැතිවම බැරිය!

මේ දෙකේම භාවිතය අපට පෙන්වන්නේ කුමක්ද? යහපත් භාවිත රැසක් තිබිය දී මිනිසුන් ඒවා භාවිත කර ඇත්තේ හුදු විනෝදාස්වාදයට, රැල්ලට හා සෞඛ්‍යයට හිතකර නොවන කටයුතු සඳහා බවයි.

අද අප අන්තර්ජාලය, Facebook, Youtube ආදිය භාවිත කරන්නේ ද ඒ ආකාරයටම නොවේද? පහසුවෙන් නාස්තියට, ‌නොමඟට හා නරකට ‌යොමු වීම සාමාන්‍ය මිනිස් ස්වභාවයයි. අද ‌හෝ ‌හෙට අප වෙනස් කරගත යුත්තේ ද එයයි. අවාසනාවකට මෙන් එයද අභියෝගාත්මක කාර්යයකි. බුලත් විටෙන් දුම්කොළ ඉවත් කිරීමට ගත් උත්සාහය සමහරුන්ට බරපතළ ගැටලුවක් වූ අයුරු මතකද?

ධනේෂ් විසුම්පෙරුම

13.04.2020

No comments:

Post a Comment