Saturday, April 11, 2020

දෙලොවක් අතර සහ Hit & Run

ධනේෂ් විසුම්පෙරුම


දෙලොවක් අතර කී විට පැහැදිලි වන්නේ කිසියම් ගැටලුවක් නිසා තීරණයක් ගත නොහැකිව, වරදකාරී හැඟීම නිසා වියවුලක පැටලී සිටින මානසික තත්ත්වයකි. Hit & Run කී විට එහි අර්ථය ද පැහැදිලිය - එ නම් වාහනයක අනතුරක් සිදු කර පළා ගිය අවස්ථාවකි (එහි වෙනත් අර්ථ ද ඇත). 

මේ දෙකම චිත්‍රපටවල නම්ය. එකක් ලංකාවේ නිපද වූ චිත්‍රපටයක් වන අතර, අනෙක ඇමරිකානු චිත්‍රපටයකි. එහි සමානකම ඇත්තේ කතා තේමාවේය. ඒ දෙකම hit & run සිදුවීම් නිසා දොලොවක් අතර අතරමං වූ පුද්ගලයින් දෙදෙනෙකු ගැන කියැවේ.

දෙලොවක් අතර


'දෙලොවක් අතර' චිත්‍රපටය රිය අනතුරකින් පසු පොලිසියට වාර්තා නොකර පලා යන රියැදුරෙකුගේ සිතේ ඇති වන වරදකාරී හැඟීම නිසා ඇති වන ගැටුම නිරූපණය කරයි. ඉහළ සමාජයේ පවුලක සාමාජිකයෙකු වන නිශ්ශංක විජේසිංහ, චිත්‍රා නම් යෙහෙළියක සමඟ සමාජශාලාවක නැටුමකට ගොස් ආපසු පැමිණෙන අතර, අධික වැස්ස මධ්‍යයේ සිදුවන අනතුරකින් අයෙකු තුවාල ලබයි. නිශ්ශංක හා යෙහෙළිය අනතුරෙන් පසු සිදුවීමෙන් පලා යති. එහෙත් අනතුර සැඟවීම නිසා නිශ්ශංක මෙන්ම යෙහෙළිය ද මානසිකව පීඩාවට පත්වෙති. පොලීස් පරීක්ෂණ අතර, අනතුර දුටු අයෙකුගේ සාක්ෂි මත සැකය නිශ්ශංක වෙත යොමු වේ. එහෙත් ඔහුගේ පවුලේ අය එය වසන් කිරීමට සිය බලය පාවිච්චි කරමින් හැකි දේ කරති. නිදසුනක් ලෙස පවුලේ සේවකයා එය කළ බව පොලිසියට පවසන්නේ නිශ්ශංකගේ පියාය. ඔහුගෙන් ප්‍රශ්න කරනු ලැබේ. පසුව තුවාලකරු මියයන අතර, සේවකයා පොලිස් අත්අඩංගුවට පත් වේ. ඒ වන විට ද වරදකාරී හැඟීම නිසා මානසික පීඩාවට පත්ව සිටින නිශ්ශංකට තවදුරටත් තත්ත්වය දරාගත නොහැකි වෙයි. අවසානයේදී චිත්‍රා සමඟ කළ කතාබහකින් පසුව ඔහු ඇය හා සමඟ කුරුඳුවත්ත පොලීසියට පිවිසීමෙන් කතාව නිමා ‌වෙයි. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අධ්‍යක්ෂණයක් වන '‌දෙලොවක් අතර' 1966දී තිරගත වී ඇත. ටෝනි රණසිංහ ප්‍රධාන භූමිකාව කළ පළමු චිත්‍රපටය මෙය බව මම අසා ඇත්තෙමි.

Hit & Run


පසුගියදා මුල් වරට 'දෙලොවක් අතර' චිත්‍රපටය නැරඹීමෙන් පසු මට සිහි වූයේ පසුව 1999 දී විකාශය වූ ඇමරිකානු රූපවාහිනී චිත්‍රපටයක් වන 'Hit & Run' චිත්‍රපටයයි. එහි කතාවට අනුව දෙදරු මවක වන ජොආනා කෙන්ඩල් වැසි සහිත අවස්ථාවක සිය රථය ධාවනය කරන අතර, ඇගේ අවධානය ගිලිහී ගොස් කුඩාගැහැණු දරුවෙකු අනතුරට පත් වේ. හදිසි ඇමතුම් අංකයකට දුරකථන ඇමතුමක් දී ආපසු පැමිණෙන ඇය, එහි ඇති කලබලකාරී තත්ත්වය දැක අනතුර සිදු කළේ තමන් බව නොපවසා එතැනින් නික්ම යයි. එහෙත් පසුව සිතේ ඇතිවන වරදකාරී හැඟීම නිසා මානසික වශයෙන් දැඩි පීඩාවකට පත් වන ඇය සමාජය ඒ සිදුවීම ගැන කතා කරන ආකාරයෙන් තවදුරටත් ව්‍යාකූල වේ. පොලිසියේ සැකය ද ඈ වෙත යොමු වන අතර, අවසානයේ ඇය පොලිසීයට බාර වන්නීය. ඉන් පසුව ඇයගේ ජීවිතයේ ඇති වූ වෙනස්කම් - පවුලේ ගැටලු හා වෙන්වීම් - වැනි සිදුවීම් ඔස්සේද කතාව ගලා යයි. චිත්‍රපටය අවසන් වන්නේ ඇය සිය දියණියන් දෙදෙනා බැලීමට යාමෙනි. සත්‍ය කතාවක් මත පදනම්ව ඩෑන් ලෙර්නර් (Dan Lerner) විසින් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය මම දෙවරක් රූපවාහිනි‌යෙන් නරඹා ඇත්තෙමි. (මෙම තේමාව සහිත තවත් චිත්‍රපට බටහිර ඇති බව සඳහන් වේ.)

'‌දෙලොවක් අතර' චිත්‍රපටයේ ටෝනි රණසිංහ (නිශ්ශංක) මෙන්ම 'Hit & Run' චිත්‍රපටයේ මාගරට් කොලින් (ජොආනා) ද ඉතා විශිෂ්ට රඟපෑමක යෙදෙති. තමන් සිදු කළේ වරදක් බව දැනුනු පසුව සිතේ ඇති වන ව්‍යාකූලත්වය හා මානසික ගැටුම් ඉතා සියුම් ලෙස විවරණය කරමින් ‌මේ දෙදෙනාම අපූරු රංගනයක යෙදී ඇත. එය කෙතරම් ද යත් එවැනි වරදක් කිසිදා නොකළ අයෙකු තුළ ද වරදකාරී හැගීම් ඇති වී දෙලොවක් අතරට පිවිසෙන්නාක් බඳුය. ටෝනි මෙන්ම හෝ ඔහුටත් වඩා දක්ෂ චරිත නිරූපණයක් මාගරට් විසින් කළ බවක් ද මට සි‌තෙයි. 


(ඡායාරූප අන්තර්ජාලයෙනි)

11.04.2020

No comments:

Post a Comment