Friday, June 9, 2017

අධික වර්ෂාපතනය ගෙන ආ ආපදාව ගැන පසු විපරමක්‌

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 07.06.2017, පි. 11, 24 (Vidusara)

http://www.vidusara.com/2017/06/07/feature5.html



2017 වර්ෂයේ මහ ගංවතුර හා නාය යැම් නිසා ඇති වූ හානිය බරපතළ ය. ඒ බව ආපදාව පිළිබඳ සංඛ්‍යාලේඛන අනුව පෙනේ. මේ ලිපිය ලියන ජූනි 3 දින ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය නිකුත් කළ දත්ත අනුව මේ ආපදාව නිසා 224 දෙනකු පමණ මිය ගොස්‌ ඇති අතර තවත් 72ක්‌ පමණ පිරිසක්‌ අතුරුදන් ව ඇත. මේ කාලය ඇතුළත පවුල් 179,376කට අයත් 698,289ක පමණ පිරිසක්‌ අපදාව නිසා බලපෑමට ලක්‌ ව සිටිය හ. නිවාස 2,093ක්‌ පමණ මුළුමනින් ම ද, තවත් නිවාස 11,056ක්‌ පමණ අර්ධ වශයෙන් ද හානියට පත් ව ඇත. ඇති වූ මහ ගංවතුර මෙන්ම නාය යැම් ද මේ විනාශය සඳහා හේතු වී තිබේ. වැඩි ම බලපෑමක්‌ ඇති වී ඇත්තේ රත්නපුර, මාතර, කළුතර හා ගාල්ල දිස්‌ත්‍රික්‌කවලට වුව ද මෙහි හානි දිස්‌ත්‍රික්‌ක 15කට බලපා ඇත.

මේ ආපදා තත්ත්වය සඳහා බලපෑ මූලික හේතුව ශ්‍රී ලංකාවේ බස්‌නාහිර, දකුණු හා සබරගමු පළාත්වලට නිරිතදිග මෝසම සක්‍රිය වීමත් සමග කෙටි කාලයක්‌ තුළ වැටුණු අධික වර්ෂාව විය හැකි බව වර්ෂාපතන දත්ත අනුව පෙනේ. නිදසුනක්‌ ලෙස ගත හොත් මැයි මස 26 වැනි සිකුරාදා පෙරවරුවෙන් අවසන් වූ පැය 24ක කාලය ඇතුළත කුකුළේ ගග ප්‍රදේශයට මිලිමීටර් 553ක වර්ෂාපතනයක්‌ ලැබුණු බව වාර්තා විය. එසේ ම වීරකැටියෙන් මිලිමීටර් 495.5ක වර්ෂාපතනයක්‌ ද, ගාල්ලේ බටුවන්ගලින් මිලිමීටර් 395ක්‌ ද, පාදුක්‌කට මිලිමීටර් 387.2ක්‌ ද, රත්නපුරයෙන් මිලිමීටර් 348.5ක වර්ෂාපතනයක්‌ ද ලෙස අධික වර්ෂාපතනයක්‌ වාර්තා වී තිබිණි. වර්ෂාව වැඩි කාලයක්‌ අඛණ්‌ඩ ව පතිත වීම ද ගැටලුවක්‌ වී ඇති බව පෙනේ. වර්ෂාව පැය 48ක පමණ කාලයක්‌ තිස්‌සේ පතිත වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් උපුටා දක්‌වමින් පුවත්පත් වාර්තාවල පළ විය. එසේ ම මේ වර්ෂාපතනය තවදුරටත් පැවැතීම සඳහා බෙංගාල බොක්‌කේ ජනනය වූ 'මෝරා' සුළි කුණාටුව ඇති වීමට පසුබිම් වූ තත්ත්වය ද බලපෑමක්‌ ඇති කළ බව ඇතැම් මූලාශ්‍ර සඳහන් කරයි.

මේ අනුව මෝසම් වැසි සමයේ කෙටි කාලයක දී අසාමාන්‍ය ලෙස අධික වර්ෂාපතනයක්‌ මේ වර්ෂයේ දී ලැබී ඇති බවක්‌ පෙනේ. එවැනි අධික වැසි ඇතැම් වර්ෂවල පමණක්‌ ඇති වී තිබෙන බව වාර්තා අනුව පැහැදිලි ය. වැසි මගින් වැටුණු ජලයෙන් සංතෘප්ත වූ පසකට ජලය තවදුරටත් උරාගැනීම අසීරු ය. වන වැස්‌මක්‌ තිබුණ ද එය සිදු විය හැකි ය. එවිට සිදු වන්නේ ජලය එම ගංගා නිම්න දිගේ පහළට ගමන් කිරීමයි. එමගින් ගංගා නිම්නයේ පහත් බිම්වල මහ ගංවතුරක්‌ ඇති විය හැකි ය. වතු වගා සඳහා කැලණි නිම්නයේ ඉහළ ප්‍රදේශවල කැළෑ එළිපෙහෙළි කිරීම අඩු මට්‌ටමක තිබූ 1872 වර්ෂය වන විට එහි සැලකිය යුතු වන ආවරණයක්‌ පැවතිය ද එම වර්ෂයේ ඇති වූ අධික වැසිවල ප්‍රතිඵලයක්‌ ලෙස ගෙග් පහළ ප්‍රදේශවල වාර්තාගත මහ ගංවතුරක්‌ ඇති වීම මීට නිදසුනකි. එකල කොළඹ හා ගම්පහ දිස්‌ත්‍රික්‌කවල තෙත්බිම් ගොඩ කිරීම අවම වුව ද, බොහෝ ප්‍රදේශ ගංවතුරට යට විය.

2017 වර්ෂයේ ඇති වූ ගංවතුර දෙවැනි වන්නේ 2003 වර්ෂයේ ඇති වූ ගංවතුරට පමණක්‌ බව ඇතැම් පාර්ශ්වවලින් කියෑවෙනු අපට අසන්නට ලැබිණි. (තවත් අයට අනුව මෙවර ගංවතුර 2003 වර්ෂයට වඩා බරපතළ ය). 2003 යනු ජනතාව ගේ මතකයේ ඇති මෑත කාලයේ වූ වැඩි ම විනාශය ඇති වූ වර්ෂය වේ. කෙසේ නමුත් ඊට වඩා බරපතළ ගංවතුර අතීතයේ මේ කලාපයට ඇද වැටී තිබේ.

2003 ගංවතුර හා නාය යැම්


2003 වර්ෂයේ දී ඇති වූ ගංවතුර පිළිබඳව විමසා බැලීමේ දී එය ඇති වන්නේ 2003 මැයි මස 17 දින ආරම්භ වූ කෙටි කාලයක්‌ තුළ වැටුණු අධික වර්ෂපාතනය නිසා බව වාර්තාගත ය. ඒ අනුව මැයි 17 දින රත්නපුරයට මිලිමීටර් 345.2ක වර්ෂාපතනයක්‌ ලැබී ඇත. (රත්නපුරයට පමණක්‌ නො ව වෙනත් ප්‍රදේශවලට ද 2017 දී වැටුණු වර්ෂාපතනය මීට වඩා ඉහළ බව ඉහත සඳහන් දත්ත අනුව පැහැදිලි ය).

2003 දී ගංවතුරේ බලපෑමට ලක්‌ වූයේ මූලික වශයෙන් කළු ගග, නිල්වලා ගග හා ගිං ගග යන ගංගා නිම්න වේ. දිස්‌ත්‍රික්‌ක වශයෙන් ගත් විට රත්නපුර, මාතර, ගාල්ල, කළුතර, හම්බන්තොට හා නුවරඑළිය දිස්‌ත්‍රික්‌ක ය. ගංවතුරේ බලපෑම අධික ව පැවතියේ රත්නපුර, මාතර හා කළුතර යන දිස්‌ත්‍රික්‌වල ය. එදා ගංවතුරින් යට වූ ප්‍රදේශ ඊට ලක්‌ වූ ආකාරය හා 2017 ගංවතුරෙන් යට වූ ආකාරය අතර යම් යම් සමානකම් තිබේ. විශේෂයෙන් කළු ගංගා නිම්නයේ හා නිල්වලා නිම්නයේ මේ සමානකම දැකිය හැකි ය. ජලයෙන් යට වූ ප්‍රදේශ මෙන්ම, ජලය බැස යැමේ දී ඇති වූ ප්‍රමාදයේ ද සමානකම් තිබේ. රත්නපුර, නෙළුව, මොරවක, අකුරැස්‌ස වැනි නගර අඩි ගණනක්‌ ජලයෙන් යට වූ අතර, මාතර හා තදාසන්න ප්‍රදේශවල ජලය බැස යැම සිදු ව ඇත්තේ සෙමිනි. 2003 දී ද මේ වර්ෂයේ මෙන්ම මාතර රෝහලේ වාට්‌ටු සමහරක්‌ ජලයෙන් යට වී ඇත. එසේ ම මේ ගංවතුර හා නාය යැම් නිසා සැලකිය යුතු පිරිසක්‌ මිය ගොස්‌ තිබේ. 2003 ජූනි 03 දින හැන්සාඩ් වාර්තාවට අනුව 2003 ගංවතුරින් මිය ගිය ගණන 235ක්‌ හා අතුරුදන් වූ පිරිස 19ක්‌ බව සඳහන් වේ. එසේ ම විපතට පත් පවුල් ගණන 138,924ක්‌ විය. නිවාස 9503ක්‌ සම්පූර්ණයෙන් ද, තවත් 30,688ක්‌ අර්ධ වශයෙන් ද හානියට ලක්‌ වී තිබිණි. (කෙසේ වෙතත් මේ දත්ත ඒ දිනවල ඇතැම් පුවත්පත් වාර්තාවල පළ වූ දත්තවලට වඩා අඩු අගයක්‌ ගන්නා බව මෙහි දී සඳහන් කළ යුතු ය).

කෙටි කාලයක්‌ තුළ ඇති වූ අධික වර්ෂාපතනය 2003 වර්ෂයේ ගංවතුර සඳහා හේතු වූ බව එදා විවාදයක්‌ නොමැති ව පිළිගැනුණු බව පෙනේ. 2003 මැයි 20 දින දිවයින පුවත්පතට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‌ෂවරයා පවසා ඇත්තේ එම ගංවතුර තර්ජනයට හේතුව එම ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක්‌ ඇදහැළීම බවයි. මේ ආපදාව පිළිබඳව පාර්ලිමේන්තුවේ දී සාකච්ඡා වී ඇති අතර, එදා විදුලිබල හා බලශක්‌ති අමාත්‍ය කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කර තිබූ පරිදි "මින් පෙර නො වූ විරූ ආකාරයේ ධාරාණිපාත වර්ෂාවක්‌" ඇදහැළීමෙන් ඇති වූ "විශාල ජලධාරාවන් ගංගා ෙද්‍රdaණි හරහා ගලා යැමෙන්" එම ගංවතුර ඇති වී තිබේ.

2017 වර්ෂාපතන දත්ත අනුව මේ වර්ෂයේ කෙටි කාලයක දී වැටුණු වර්ෂාපතනය 2003 දී ලැබුණු වර්ෂාපතනයට ද වඩා අධික විය හැකි බවක්‌ පෙනේ. එවැනි වර්ෂාවක්‌ ගංගා නිම්න දිගේ පහළට ගමන් කරන විට පහත් ප්‍රදේශවල ගංවතුර ඇති වීම පුදුමයට හේතුවක්‌ නො වේ. එසේ ම කළු, ගිං හා නිල්වලා නිම්නයේ ගංවතුර එතරම් දුර්ලභ දෙයක්‌ නො වේ. "ගෙන් ගෙට දා කර වදාපු දරුවන් ගිංතොට නැන්දත් නැහැ දන්නේ - ගිංතොට නැන්ද ගෙ දූවරු හින්දයි ගගබඩ පත්තුව වැනසෙන්නේ" යන කවියෙන් ව්‍යංගයෙන් කියෑවෙන්නේ ද ගිංගග නිම්නයේ නිතර ඇති වූ ගංවතුර පිළිබඳ ව ය. මේ ගංගා නිම්නවල සාපේක්‌ෂව ඉහළ ප්‍රදේශවල පිහිටා ඇති ප්‍රදේශවල පහත්බිම් පවා සැම වසරක ම පාහේ ජලයෙන් මදක්‌ යට වන ප්‍රදේශ වේ. රත්නපුර, පාලින්ද නුවර මෙවැනි ප්‍රදේශ සඳහා නිදසුන් ය. ඇතැම් ප්‍රදේශවල ගංවතුර ගලන තුරු බලා සිටින්නේ යල කන්නයේ කුඹුරු වගා කිරීමට ය. ඒ ගංවතුරින් ලැබෙන රොන්මඩ තුළ තැන්පත් ව ඇති "ගං පෝර" ප්‍රයෝජනයට ගැනීමට ය. ඇතැම් ප්‍රදේශයක ඇති වන ගංවතුර ප්‍රමාණය ගණන් කොට කුඹුරු වැපිරීම සිදු කරනු ලැබේ. එහෙත් වෙනස වන්නේ 2003 හා 2017 යන වර්ෂ දෙකේ ඇති වී තිබෙන්නේ සාමාන්‍ය ගංවතුරක්‌ නො ව මහා ගංවතුරක්‌ වීමයි.

ගංවතුර හානිය උග්‍ර කළ සාධක


කෙසේ වෙතත් සැම විටක දී ම මෙන් ගංවතුර නිසා ඇති වූ හානිය උග්‍ර කිරීම සඳහා බලපෑ සාධක කිහිපයක්‌ පැහැදිලිව හඳුනාගත හැකි ය.

තෙත්බිම් හා පහත් බිම් ගොඩ කිරීම ගංවතුරේ බලපෑම උග්‍ර කිරීම සඳහා බලපා ඇති බව සත්‍යයකි. තෙත්බිම්වලට වැසි ජලය එකතු වීම නිසා ඊට වඩා උස්‌ බිම් වැසි ජලයෙන් යට වීම වළකී. එහෙත් මේ වන විට බොහෝ ප්‍රදේශවල පහත්බිම් ප්‍රදේශ ගොඩ කර ඇති අතර ඒවායේ නිවාස හා වෙනත් ඉදි කිරීම් ද සිදු කර ඇත. මේ නිසා ජලය එක්‌රැස්‌ වීම සඳහා පහත් බිම් නොමැති බැවින්, ඒ අවට ප්‍රදේශ මෙන්ම කලින් ජලයෙන් යට නො වූ ප්‍රදේශ ද යට වීමේ අවස්‌ථාවක්‌ ඇත. අනෙක්‌ අතට 1947, 1969 වැනි තෙත්බිම් හා පහත්බිම් ගොඩ කිරීම අදට වඩා අඩු තත්ත්වයක පැවැති වර්ෂවල දී පවා මේ ප්‍රදේශවල මහා ගංවතුර තත්ත්ව ඇති වීම වැදගත් නිරීක්‌ෂණයකි. එම වර්ෂ මේ කලාපයෙන් අධික වර්ෂාපතනයක්‌ වාර්තා වී ඇති වර්ෂ අතර වේ. ඒ අනුව තෙත්බිම් හා පහත්බිම් ගොඩ කිරීම ගංවතුර සඳහා බලපෑ එක ම හේතුව නො වූ බව පෙනේ. කළු, ගිං හා නිල්වලා නිම්නයේ මෙවැනි බරපතළ ගංවතුර අතීතයේ වාර්තා වී තිබේ. ගංගා නිම්නයට පතිත වන අධික වර්ෂාපතනය තෙත්බිම් මගින් දරාගැනීමට නොහැකි තරම් විශාල අවස්‌ථාවල දී මහ ගංවතුර ඇති වේ.

දක්‌ෂිණ අධිවේගී මාර්ගය ඉදි කිරීම මේ ගංවතුර සඳහා හේතුව බව ද මෙවැනි තවත් මතයකි. එහෙත් ඉහත දැක්‌වූ ආකාරයට 2003 වර්ෂයේ මහා ගංවතුර ඇති වූ අවස්‌ථාවේ බලපෑමට ලක්‌ වූ ප්‍රදේශ හා 2017 ගංවතුරෙන් බලපෑමට ලක්‌ වූ ප්‍රදේශවල සැලකිය යුතු සමානතාවක්‌ තිබේ. බලපෑම ද ආසන්න වශයෙන් සමාන ය. එහෙත් 2003 වර්ෂය වන විට දක්‌ෂිණ අධිවේගී මාර්ගය ඉදි කර නො තිබිණි. එසේ ම මීට ඉහත ඇතැම් වර්ෂවල දී මේ කලාපයේ මේ ප්‍රදේශවල මෙවැනි ම මහා ගංවතුර ආපදා ඇති වී තිබේ. කෙසේ වෙතත් අධිවේගී මාර්ගයේ පාලම් හා බෝක්‌කුවල පිහිටීම හා ප්‍රමාණය නිසා ඉහළ ප්‍රදේශවල සිට ගලා එන ජලය බැස යැම අවහිර වීමෙන් ඇතැම් ප්‍රදේශවලට බලපාන ගංවතුරක්‌ ඇති වීම සඳහා මේ මාර්ගය හේතු වන්නට පිළිවන. ඉතා අධික වැස්‌සක දී මේ අවදානම ඉහළ යා හැකි ය. එහෙත් එය සමස්‌ත ගංවතුරට හේතු වූවක්‌ බව ඉන් පැවසිය නොහැකි ය. එය කරුණු දෙකක්‌ නිසා වඩාත් පැහැදිලි වේ. ඉන් පළමුවැන්න අධිවේගී මාර්ගයට වඩා සැලකිය යුතු දුරකින් හා ගංගා නිම්නවල ඉහළින් පිහිටා ඇති රත්නපුර, මොරවක වැනි ප්‍රදේශ හා තරමක්‌ දුරින් පිහිටි පාලින්ද නුවර වැනි ප්‍රදේශ දැඩි ලෙස ජලගැල්මට ගොදුරු වීමයි. මේ ප්‍රදේශ ගංවතුරට ලක්‌ වන්නේ ගංවතුරේ මුල් අවස්‌ථාවේ දී ය. ඒ වන විට අදාළ ගෙග් ඉහළ නිම්නයට වැටුණු වැසි ජල ප්‍රවාහය අධිවේගී මාර්ගය පිහිටා ඇති ප්‍රදේශ කරා ගලා ගොස්‌ නැති තරම් ය. මේ ප්‍රදේශ අතීතයේ පටන් ම වාර්ෂිකව සුළු හෝ මහා ගංවතුරකට ලක්‌ වන බව වාර්තා මගින් සනාථ වේ. එසේ ම අධිවේගී මාර්ගයට වඩා පහළින් පිහිටා ඇති ප්‍රදේශ ද දැඩි ගංවතුරකට ලක්‌ ව තිබීම දෙවැනි කරුණය ය.

අධිවේගී මාර්ගය ගංවතුරට බලපෑ මූලික හෝ එක ම හේතුව නම්, ඊට පහළින් පිහිටා ඇති ප්‍රදේශ ගංවතුරට ලක්‌ විය හැක්‌කේ අඩුවෙනි. එහෙත් 2003 වැනි මහා ගංවතුරවල දී මෙන්ම මෙවර ද ගාල්ල, මාතර හා කළුතර යන දිස්‌ත්‍රික්‌ක තුනේ ම අධිවේගී මාර්ගයට පහළින් පිහිටා ඇති ප්‍රදේශ ද ගංවතුරට ලක්‌ වීම සාමාන්‍ය නිරීක්‌ෂණයකි. මේ ප්‍රදේශ සැම මෝසම් වැසි සමයක දී ම ගංගාවේ පහළට එන ජලකඳට ලක්‌ වී ගංවතුරේ බලපෑමට ලක්‌ වන ප්‍රදේශ වේ. එය මේ වර්ෂයේ මෙන් අධික වර්ෂාපතනයක්‌ සහිත වර්ෂවල දී මහ ගංවතුරක්‌ ද, සෙසු වර්ෂවල දී සාමාන්‍ය ගංවතුරක්‌ ද බවට පත් වේ.

ගංවතුර සම්බන්ධව මේ වෙරළාසන්න නාගරික ප්‍රදේශවල දී වැඩි අවධානයකට ලක්‌ විය යුතු කරුණක්‌ වන්නේ පහළ ප්‍රදේශවල ජලය ගලා බසින ඇළ මාර්ග හා කාණු පද්ධති අවහිර වීම වැළැක්‌වීමට පියවර ගත යුතු බවයි. මෙය ද ගංවතුර බැස යැමට බාධාවක්‌ වූ බව පැහැදිලි ය. එසේ ම ගංවතුර සමග ද කැළිකසළ විශාල ප්‍රමාණයක්‌ මේ ප්‍රදේශවලට පැමිණේ. අනෙකක්‌ තබා ආපදා සහන ලබා දෙන සමයේ දී ද පොලිතීන් හා ප්ලාස්‌ටික්‌ වැනි දිරා නො යන අපද්‍රව්‍ය විශාල ලෙස පරිසරයට එක්‌ වන ආකාරයක්‌ දැකිය හැකි ය. ඒවා නිසි ලෙස බැහැර නො කිරීම දැඩි පරිසර දූෂණයකට මෙන්ම සෞඛ්‍ය ගැටලුවලට ද හේතු විය හැකි කරුණකි.

නාය යැම් නිසා ඇති වන හානිය ඉහළ යැම සඳහා මානව මූලික කරුණු ගණනාවක්‌ බලපා ඇති බව පැහැදිලි ය. නාය යැමේ අවදානමක්‌ සහිත අධික බෑවුම් සහිත හායනයට ලක්‌ වූ බිම් ප්‍රදේශවල ජනාවාස ඉදි කර තිබීම ඊට මූලික හේතුවයි. මේ බිම් හායනයට ලක්‌ ව ඇත්තේ ද විවිධ භෝග වගා කිරීම, භෝග මාරු කිරීම වැනි මිනිස්‌ ක්‍රියාකාරකම් නිසා ය. මේ ඇතැම් බිම් එළිපෙහෙළි කිරීමට නුසුදුසු බෑවුම් සහිත බිම් වේ. එසේ ම වාර්තා වන ආකාරයට නාය ගිය ඇතැම් ස්‌ථානවල ජනතාවට එම ස්‌ථානවලින් ඉවත් වන ලෙස මීට පෙර අනතුරු හගවා තිබේ. එහෙත් විවිධ හේතු නිසා සිය ගම් බිම් හැර දමා යැමට ජනතාව නො පෙලඹීම නාය යැම් හානිය ඉහළ යැමට හේතුවයි. එය අවාසනාවන්ත තත්ත්වයකි.

අනාගත ආපදා වැළැක්‌වීමට නම්


මේ අතර 2016 ඇති වූ ගංවතුර වැඩි වශයෙන් බලපෑවේ හා වැඩි හානියක්‌ සිදු කළේ කැලණි නිම්නයට ය. ඒ සඳහා මූලික හේතුව කැලණි ගංගාවේ ඉහළ ප්‍රදේශවලට අධික වැස්‌සක්‌ ලැබීම විය හැකි බව ඓතිහාසික ගංවතුර වාර්තා මත පදනම් ව විදුසර පුවත්පතට 2016 ජූනි 1 දින අප ලියූ ලිපියකින් යෝජනා කරන ලදි (මෙතැනින් බලන්න). 2017 නිරිතදිග මෝසමෙන් වැඩි වර්ෂාපතනයක්‌ ලැබුණේ කළු, ගිං හා නිල්වලා නිම්නවලට වන බැවින් වැඩි වශයෙන් බලපා ඇත්තේ රටේ නිරිතදිග කලාපයේ සෙසු ප්‍රදේශවලට ය.

දැන් ගංවතුර අවසන් ය. අවශ්‍ය ව ඇත්තේ විපතට පත් ජනතාවට සහන සැලසීම හා ඔවුන් ගේ ජීවිත යළිත් ගොඩනගාගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පමණක්‌ නො වේ. මීළග වැසි සමයේ දී මෙවැනි අධික වර්ෂාපතනයක්‌ ඇති වුව හොත් විය හැකි හානිය අවම කරගැනීමට ගත හැකි පියවර හඳුනාගැනීම හා ක්‍රියාත්මක කිරීම ය. තෙත් කලාපයේ ප්‍රධාන ගංගා නිම්න ආශ්‍රිත ව හා ආසන්නයේ අපේ නගර හා ගම් පිහිටා ඇති ආකාරය අනුව හානිය මුළුමනින් ම අවම කිරීම සඳහා බොහෝ කාලයක්‌ ගත වනු ඇත. ඒ ගංවතුර හා නාය යැම් අවදානම් සහිත ප්‍රදේශවල වාසය කරන ජනතාව වෙනත් සුදුසු ස්‌ථානවල පදිංචි කරවන තුරු ය. එහෙත් එතෙක්‌ කල් ගංවතුර හා නාය යැම් වැනි ආපදාවක දී සිදු වන ජීවිත හානිය අවම කරගැනීම සඳහා ප්‍රායෝගික පියවරක්‌ ගැනීම අවශ්‍ය වේ.

මෙහි දී පැවසිය යුතු තවත් කරුණක්‌ ඇත. මෑත වසර හතරෙන් තුනක ම මැයි මාසවල දී අපේ රටේ සැලකිය යුතු තරම් බරපතළ ගංවතුර පිළිබඳව වාර්තා විය. ඒ 2014 දී කළු, කැලණි හා ගිං ගග නිම්න ප්‍රදේශවලිනි. 2016 දී ප්‍රධාන වශයෙන් කැලණි නිම්නයෙනි. දැන් 2017 දී කළු, ගිං හා නිල්වලා නිම්නවලිනි. මේ අප අත්විඳින්නේ ජගත් දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ පුරෝකථන අනුව පෙන්වා දී ඇති වර්ෂාපතන තීව්‍රතාවේ (rainfall intensity) ඇති වෙමින් පවත්නා වර්ධනය විය හැකි ය. වර්ෂාපතන තීව්‍රතාව යනුවෙන් අදහස්‌ කරන්නේ ඒකක කාලයක දී පතිත වන වර්ෂාපතනයයි. කෙටි කාලයක දී ඇති වන අධික වර්ෂාපතනයක්‌ යනු මේ වර්ෂාපතන තීව්‍රතාව ඉහළ යැමකි. අපේ රටේ වර්ෂාපතන තීව්‍රතාවේ ඉහළ යන ප්‍රවණතාවක්‌ දැකිය හැකි බව මෙරට සිදු කර ඇති අධ්‍යයනවලින් පෙන්වා දී තිබේ. එය එසේ නම් අප ඉදිරියේ දී මෙවැනි ආපදාවලට තවදුරටත් සූදානම් විය යුතු ම ය. ජාත්‍යන්තර මට්‌ටමේ දේශපාලනඥයන් වැන්නන් මෙන්ම අපේ රටේ තතු දන්නා ඇතැමුන් පවා දේශගුණ වෙනස්‌ වීම විශ්වාස නො කළ ද ඊට පෙර සූදානමක්‌ ඇති ව සිටීම යහපත් ය.

http://www.vidusara.com/2017/06/07/feature5.html

Tuesday, June 6, 2017

සරසවි ප්‍රේමය අසාර්ථකද? (බස් කතා 2)

2016 අවුරුද්දේ දවසක මා ගමන් කළ 138 බසයට විජේරාම හන්දියෙන් තරුණියක් නැගුනාය. ඇය හිඳ ගත්තේ මගේ අසුනට ඉදිරි අසුනේය. ටික වේලාවකින් ඇයට දුරකථන ඇමතුමක් ලැබිණි. හෙමින් ධාවනය වූ බසයේ ශබ්දය අඩු වූ අතර, ඇය ශබ්ද නගා කතා කළ නිසා, එ් සංවාදයෙන් අඩක් හෙවත් තරුණිය කී දේ මට ඇසිනි. එ් අනුව සාරාංශය මෙසේය.

අැය මෑතදී ජයවර්ධනපුර සරසවියේ අධ්‍යාපනය හමාර කළ සිසුවියකි. ඇයට කතා කළේ සරසවි සිසුවකු බව කතා කළ දේ අනුව පැහැදිලි වූ අතර, ඔහු ඇයට වඩා පහළ වසරක සිසුවකු බව මල්ලී යනුවෙන් ආමන්ත‍්‍රණය කළ බැවින් පෙනිනි.

ටික වේලාවකින් මාතෘකාව වෙනස් විය. ඇගේ කතාවට අනුව පෙනී ගියේ කතා කළ සිසුවා පෙම්වතියක නොමැති වීමෙන් පීඩා විඳින්නකු බවයි. ඇය එම සිසුවාට උපදෙස් දෙමින් සරසවියේදී ඇති කරගන්නා පෙම් සම්බන්ධතා ගැන අපූරු කතාවක් කීවාය.

"දැන් කාලෙ කැම්පස් එක අැතුළෙ ඇති කර ගන්නා අෆෙයාර් හුඟක් හරියන්නේ නැහැ. එ්ක රිසර්ච්වලිනුත් පෙන්නල දීල තියන දෙයක්."

මට ගැටලු රැසක් ඇති විය - ඇත්තෙන්ම සරසවි ප්‍රේමය අසාර්ථක බව අලුත් පර්යේෂණ මගින් සොයාගත් දෙයක්ද? 'දැන් කාලෙ' යනුවෙන් සඳහන් කළේ අතීතයේ සරසවි තුළ ඇති වූ සම්බන්ධතා සියල්ල හෝ වැඩි ප‍්‍රමාණයක් සාර්ථකවී අැති නිසාද? බිඳවැටුණු සරසවි ප්‍රේමය නිසාම ලියැවුණ විරහ ගීත කෙතරම් තිබේද? මෙයාලා එ්වා අසා නොමැතිද?

එසේම පසුව මට තවත් ප්‍රශ්නයක් පැන නැගිණි. එ්, අපේ රටේ නූතන සරසවි සිසු සිසුවියන් මෙවැනි කරුණු ගැන තීරණ ගන්නේ මෙතරම් විද්‍යාත්මක ක්‍රමවලටද? යන්නය. එ් පැනය විසඳුණේ පසුගියදාක සරසවි ප්‍රේමය නිසා කියන තවත් මරණයක් ගැන අැසුණු පසුවය.

අනෙක් බස් කථා(ව) මෙතැනින් කියවන්න.

Saturday, May 27, 2017

ලූම්බිණියටත් වායු දූෂණය

ධනේෂ් විසුම්පෙරුම 

 

විදුසර, 24.05.2017, පි. 06 (Vidusara)

http://www.vidusara.com/2017/05/24/feature2.html





සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදු ස්‌ථානය වන නේපාලයේ පිහිටා ඇති ලුම්බිණිය ලෝකය පුරා බෞද්ධයන් ගේ වන්දනාවට ලක්‌ ව ඇති ස්‌ථානයකි. 1997 වර්ෂයේ දී යුනෙස්‌කෝ සංවිධානය විසින් ලුම්බිණිය ලෝක උරුමයක්‌ සේ ප්‍රකාශයට පත් කර තිබේ. මේ නිසා වන්දනාකරුවන් මෙන්ම සංචාරකයන් ද විශාල ලෙසින් පැමිණෙන ස්‌ථානයක්‌ ලෙසට සැලකෙන වැදගත් පුරාවිද්‍යාත්මක ස්‌ථානයකි. කෙසේ වෙතත් ලුම්බිණියේ ඇති පුරාවස්‌තුවලට මෙන්ම ඒ ප්‍රදේශයේ වාසය කරන ජනතාවට ද මෑතක සිට අලුත් තර්ජනයක්‌ ඇති වී තිබේ. ඒ ප්‍රදේශයේ පවත්නා අධික වායු දූෂණය නිසා ය.

මේ පිළිබඳව පසුගිය දා සාකච්ඡාවට ගැනුණේ නේපාලයේ විවිධ ස්‌ථානවල පිහිටා ඇති වායු දූෂක පිළිබඳ නිරීක්‌ෂණ මධ්‍යස්‌ථානවලින් ලබාගත් වායු දූෂක දත්තවලින් හෙළි වූ කරුණු අනුව ය. එම මිනුම් අනුව පසුගිය ජනවාරි මාසයේ දී ලුම්බිණිය ප්‍රදේශයේ වාතයේ අඩංගු සියුම් අංශුමය ද්‍රව්‍ය හෙවත් PM 2.5 ප්‍රමාණයේ අංශුමය ද්‍රව්‍ය අගය ඝන මීටරයට මයික්‍රෝග්‍රෑම් 173.035ක්‌ බව වාර්තා වී ඇත. සාමාන්‍යයෙන් ඉහළ වායු දූෂණයක්‌ ඇති කත්මන්දු නගරයේ වාතයේ මේ අගය 109.82ක්‌ වන අතර, ලුම්බිණියට නුදුරින් පිහිටා ඇති චිත්වාන් නගරයේ මේ අගය 113.32ක්‌ පමණ වීම නිසා ලුම්බිණියේ වායු දූෂණය ඉහළ බව පැහැදිලි ය. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ආරක්‌ෂිත යහපත් තත්ත්වයක්‌ යටතේ PM 2.5 කාණ්‌ඩයේ වායු දූෂක පැවතිය හැක්‌කේ ඝන මීටරයට මයික්‍රෝගෑම් 25කට අඩුවෙනි (පැය 24ක සාමාන්‍යය). එසේ ම නේපාලයේ පිළිගත් ප්‍රමිතිය අනුව එය 40ක්‌ පමණ විය යුතු ය. මේ අනුව ලුම්බිණියේ PM 2.5 අගය සැලකිය යුතු තරම් ඉහළ බව පැහැදිලි ය.

වායු දූෂණය ගැන අවධානය


ලුම්බිණිය අවට ප්‍රදේශයේ වායු දූෂණය සම්බන්ධව කලක පටන් අවධානය යොමු වී තිබිණි. ලෝක සංරක්‌ෂණය සංගමයේ නේපාල කාර්යාලය හා යුනෙස්‌කෝ සංවිධානය මගින් 2012 වර්ෂයේ දී පමණ ලුම්බිණිය අවට ප්‍රදේශයේ කාර්මික සංවර්ධනය නිසා ඇති වන පාරිසරික බලපෑම් සම්බන්ධව අධ්‍යයනයක්‌ සිදු කර තිබේ. එහි දී හෙළි වූ පරිදි එම ප්‍රදේශයේ විවිධ කර්මාන්තශාලා 57ක්‌ පමණ පිහිටා ඇති බව හඳුනාගන්නා ලද අතර, එහි දී මහා පරිමාණ කර්මාන්තශාලා 15ක්‌ පමණ ද හඳුනාගෙන තිබේ. මේ අතරින් කර්මාන්ත ශාලා 11ක්‌ ම සිමෙන්ති කර්මාන්තශාලා වේ.

එම සිමෙන්ති කම්හල්වල නිෂ්පාදන ප්‍රමාණය අනුව දිනකට කාබන් මොනොක්‌සයිඩ්, කාබන් ඩයොක්‌සයිඩ්, සල්µර් ඩයොක්‌සයිඩ් වැනි වායු විමෝචන මෙටි්‍රක්‌ ටොන් 912.6ක්‌ පමණ සිදු වන බව ද එහි දී පෙන්වා දී ඇත. මේ කාබන් විමෝචනය කරන කර්මාන්ත ව්‍යාප්ත වීම විවිධ ආකාරයෙන් හානිකර විය හැකි බව එහි අනතුරු හගවා තිබිණි.

කෙසේ වෙතත් ලුම්බිණි ප්‍රදේශයේ වායු දූෂණයට බලපාන එක ම හේතුව ප්‍රදේශයේ නිපදවෙන වායු දූෂක පමණක්‌ නො වන බව ද පෙන්වා දී ඇත. ඒ අනුව දූෂිත වාතය එම ප්‍රදේශයේ සිර වීම හා දේශ සීමා මායිම් හරහා වායු දූෂක බහුල ඉන්දු-ගංගා තැනිතලා ප්‍රදේශයේ සිට පැමිණෙන වායු දූෂක ද මේ තත්ත්වයට හේතු වන බව නිවර්තන කාලගුණවිද්‍යාව පිළිබඳ ඉන්දීය ආයතනය (IITM) හා ලෝක සෞඛ්‍ය සංවිධානය එක්‌ ව කළ අධ්‍යයනයකින් හෙළි වී ඇත. ශීත ඍතුවේ දී මේ තත්ත්වය ඇති වීම සඳහා උෂ්ණත්ව ප්‍රතිලෝම ක්‍රියාවලියක්‌ (temperature inversion) සිදු වීම හේතු වේ. එහි දී ඉහළින් පිහිටා ඇති උණුසුම් වායු ස්‌තරයක්‌ නිසා මේ ප්‍රදේශයේ පහළ සිට ඉහළට වාතය සංවහනය වීම වළකින අතර ඒ නිසා වායු දූෂක සිර වීමක්‌ සිදු වේ.

මේ හේතු නිසා අධික වායු දූෂණයක්‌ ඇති වන්නේ ප්‍රදේශයේ ශීත ඍතුව පවත්නා කාලයේ දී ය. වසරේ අනෙක්‌ කාලයේ දී ඇති වන වායු දූෂණය සඳහා හේතු වන්නේ අදාළ ප්‍රදේශයෙන් ම නිකුත් වන වායු දූෂක බව ද එහි දක්‌වා ඇත. 2013 වර්ෂයේ දී සිදු කර ඇති ඉහත අධ්‍යයනය අනුව ශීත ඍතුව ඇතුළත ලුම්බිණිය හා ඒ අවට ප්‍රදේශයේ වායු දූෂණය දැඩි ලෙස ඉහළ යයි. මෙහි දී වාර්තා වූ ආකාරයට PM 2.5 ප්‍රමාණයට වඩා අඩු සියුම් අංශුමය ද්‍රව්‍ය සාන්ද්‍රණය ඝන මීටරයට මයික්‍රෝගෑම් 270 තරම් ප්‍රමාණයකට ඉහළ නගියි. එසේ ම වඩා විශාල PM 10 කාණ්‌ඩයේ අංශුමය ද්‍රව්‍ය සාන්ද්‍රණය ඝන මීටරයට මයික්‍රෝගෑම් 350 පමණ ප්‍රමාණයට ළගා වී ඇත. එය නේපාලයේ ජාතික ප්‍රමිති මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතිය ද විශාල ලෙස ඉක්‌මවා යැමකි.

අධ්‍යයන තවදුරටත්


මේ අතර ලුම්බිණියේ වායු දූෂණය සම්බන්ධව 2016 වර්ෂයේ දී ප්‍රකාශයට පත් වූ පර්යේෂණ පත්‍රිකාවක අවධානය යොමු කරන ලද්දේ අප්‍රේල් සිට ජුනි දක්‌වා වන පූර්ව මෝසම් සමයේ දී එම ප්‍රදේශයේ වාතයේ ඇතුළත් විවිධ වායු දූෂක ගැන ය. එය සිදු කරන ලද්දේ 2013 දී ය. ඒ අනුව අංශුමය ද්‍රව්‍ය, කළු කාබන් අංශු (black carbon), කාබන් මොනොක්‌සයිඩ් හා ඕසෝන් පිළිබඳව එහි දී අධ්‍යයනය කර තිබේ. එය වායු දූෂණය නිරීක්‌ෂණය කිරීමේ වඩා පුළුල් ව්‍යDපෘතියක අංගයක්‌ සේ ක්‍රියාත්මක වූවකි. එහි දී හෙළි වූ ප්‍රකාශිත දත්ත අනුව පෙනෙන්නේ අදාළ පර්යේෂණයට ලක්‌ කරන ලද වායු දූෂක හතරේ ම අගයයන් සැලකිය යුතු තරම් ඉහළ මට්‌ටමක වූ බවයි. නිදසුනක්‌ ලෙස ගත හොත් PM10 ප්‍රමාණයේ අංශුමය ද්‍රව්‍යවල පැයක සාමාන්‍ය සාන්ද්‍රණය ඝන මීටරයට මයික්‍රෝගෑම් 10.5ත් 604.0ත් අතර අගයක්‌ ගත් අතර, PM2.5 ප්‍රමාණයේ අංශුමය ද්‍රව්‍ය සාන්ද්‍රණය ඝන මීටරයට මයික්‍රෝගෑම් 6.1ත් 272.2ත් අතර අගයක්‌ ගෙන ඇත. එසේ ම කළු කාබන් අංශු ප්‍රමාණයේ සාන්ද්‍රණය ඝන මීටරයට මයික්‍රෝගෑම් 0.3ත් 30.0ත් අතර අගයක පැවතී තිබේ. කාබන් මොනොක්‌සයිඩ් සාන්ද්‍රණය පරිමාව අනුව බිලියනයකට කොටස්‌ (ppbv) 125.0 හා 1430.0 අතර ප්‍රමාණයක්‌ ගෙන ඇත. ඕසෝන් සාන්ද්‍රණය පරිමාව අනුව බිලියනයකට කොටස්‌ 1.0 හා 118.1 අතර ප්‍රමාණයක පැවතී තිබේ.

උක්‌ත පර්යේෂණයට සම්බන්ධ වූ පර්යේෂකයන් පෙන්වා දෙන පරිදි මේ ප්‍රමාණ සමාන වන්නේ දකුණු ආසියාවේ බරපතළ තත්ත්වයේ වායු දූෂණයක්‌ ඇති ස්‌ථානවලට ය. එසේ ම PM2.5 හා PM10 කාණ්‌ඩවල අංශුමය ද්‍රව්‍යවල පැය 24ක කාලයක සාමාන්‍ය අගය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත මට්‌ටම ඉක්‌මවා යැම නිතර දැකිය හැකි වී ඇත. එනම් නිදර්ශක ලබාගත් කාලයෙන් පිළිවෙළින් 94%ක්‌ හා 85%ක්‌ පමණ අවස්‌ථාවල දී අදාළ අගය ඉක්‌මවා අහිතකර මට්‌ටමට පැමිණ තිබේ. එසේ ම මේ සියලු වායු දූෂකවල සාන්ද්‍රණය දිනයේ උදෑසන හා සන්ධ්‍යා කාලවල දී ඉහළ මට්‌ටමකට පැමිණීම ද නිරීක්‌ෂණය වී ඇත.

මේ අධ්‍යයන සමයේ දී පැවැති වායු දූෂණ තත්ත්වය සඳහා බලපෑ හේතු හඳුනාගැනීමට ද මේ පර්යේෂකයන් උත්සාහ ගෙන ඇත. ඔවුන්ට අනුව ඒ සඳහා කෘෂි අපද්‍රව්‍ය දහනය කිරීම, ප්‍රදේශයේ ඇති වූ වනාන්තර ගිනි මෙන්ම ලුම්බිණි ප්‍රදේශයට පිටතින් වායු දූෂක ප්‍රවාහනය සඳහා බලපෑ කාලගුණ තත්ත්වය ද හේතු වී ඇත. ෆොසිල ඉන්ධන දහනය ද මීට සැලකිය යුතු තරම් බලපා තිබේ. පර්යේෂකයන් පවසන පරිදි කළු කාබන් ප්‍රමාණයෙන් අඩකට පමණ දායක වී ඇත්තේ ෆොසිල ඉන්ධන දහනය කිරීමයි. එසේ ම කාබන් මොනොක්‌සයිඩ් අතරින් වැඩි ප්‍රමාණයක්‌ පැමිණ ඇත්තේ ගංගා නදී නිම්නයේ සිට ය.

වායු දූෂණයේ බලපෑම්


මේ කරුණු අනුව පෙනෙන්නේ පසුගිය වසර කිහිපය තුළ ම මේ වායු දූෂණ තත්ත්වය ලුම්බිණියෙන් වාර්තා වන බවයි. වායු දූෂණය නිසා එහි ඇති පුරාවස්‌තුවලට මෙන්ම මිනිසුන්ට ද බලපෑම් ඇති විය හැකි ය. විශේෂයෙන් වායු දූෂණය නිසා විවිධ පුරාවස්‌තුවලට ඇති විය හැකි බලපෑම් පිළිබඳව සාධක ද වාර්තා වී ඇත. මෙතෙක්‌ සිදු කර ඇති අධ්‍යයනයවලට අනුව අශෝක කුලුනේ විවිධ ද්‍රව්‍ය සියුම් කුඩු සේ තැන්පත් වීම දැකිය හැකි ය. මෙසේ තැන්පත් වී ඇත්තේ වායුගෝලයේ ඇති ජිප්සම් ලුණු, කැල්සයිට්‌, ඩොලමයිට්‌ හා මැග්නසයිට්‌ සිහින් කුඩු බව හෙළි වී තිබිණි. මේවා සිමෙන්ති කර්මාන්තයෙන් විමෝචනය වන අපද්‍රව්‍ය වේ. අනෙක්‌ අතට එහි ඇති සල්ෆර් ඩයොක්‌සයිඩ් වැනි වායු නිසා ඇති විය හැකි ආම්ලික වැසි හේතුවෙන් පුරාවස්‌තුවලට හානි සිදු විය හැකි ය.

මේ අතර ලුම්බිණියේ පවත්නා වායු දූෂණය එම ප්‍රදේශයේ වැසියන්ට මෙන්ම එහි පැමිණෙන සංචාරකයන් ගේ සෞඛ්‍ය තත්ත්වය සඳහා ද බලපෑමක්‌ ඇති කළ හැකි ය. ලුම්බිණිය නැරඹීමට හා වන්දනා කිරීමට යන පිරිස්‌ වෙතින් ද මේ වන විට වායු දූෂණය නිසා ඇති වන බලපෑම් වාර්තා වී ඇති බව සඳහන් වේ. විශේෂයෙන් ඇදුම වැනි තත්ත්ව ඇති වීම් හා ඒ නිසා ඇතැම් පිරිස්‌වලට ඔවුන් ලුම්බිණියේ ගත කරන කාලය කෙටි කිරීම සඳහා ද හේතු වූ අවස්‌ථා ඇති බව පසුගිය දා BBC පුවත් ඔස්‌සේ වාර්තා විය. එසේ ම අදාළ ප්‍රදේශවාසීන් අතර පෙනහළු රෝග ඉහළ ගොස්‌ ඇති බව ද ප්‍රදේශවාසීන් පවසා තිබිණි.

ලුම්බිණියේ ගැටලුව දීර්ඝකාලීන විසඳුමක්‌ සෙවිය යුතු කරුණක්‌ බව පැහැදිලි ය. මේ වන විට නේපාල රජය ඒ ගැන යම් යම් පියවර ගෙන තිබේ. වායු දූෂක නිරීක්‌ෂක මධ්‍යස්‌ථාන මගින් වායු දූෂණය නිරීක්‌ෂණය කිරීම වැනි පියවර මේ අතර වේ. එරට රජයේ නිලධාරියකු මේ සම්බන්ධව පසුගිය දා BBC පුවත් සේවයට පවසා තිබුණේ එම වායු දූෂකවල ප්‍රභව සොයාගැනීමට අපේක්‌ෂා කරන බවයි. ලුම්බිණි ආරක්‌ෂිත කලාපය (Lumbini Protected Zone) නමින් නම් කර ඇති ප්‍රදේශයේ ප්‍රකාශයට පත් කර ඇති නමුත් ඊට තදාසන්න ව ඇති ප්‍රදේශයේ කර්මාන්ත ව්‍යාප්ත වෙමින් ඇති බව සඳහන් ය. එසේ ම ඇතැම් කර්මාන්ත පිහිටා ඇත්තේ මේ ආරක්‌ෂිත කලාපය ඇතුළත ය. මේවා අදාළ ප්‍රදේශයට මෙන්ම එරටට වැදගත් කර්මාන්ත වන බැවින් ඒවායින් වන වායු දූෂණය පාලනය පහසු නො වනු ඇත. අනෙක්‌ අතට ගංගා නිම්නයේ සිට පැමිණෙන වායු දූෂකවලින් ඇති වන බලපෑම පාලනය ද වැදගත් ය. මේ අනුව ලුම්බිණියේ වායු දූෂණය පාලනය දීර්ඝකාලීන කටයුත්තක්‌ බව පෙනෙන්නට තිබේ.

http://www.vidusara.com/2017/05/24/feature2.html

Thursday, May 11, 2017

ගල් ලෙන්වල අවසාදිත තැන්පතුවලින් ආදි මානව DNA

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 10.05.2017, පි. 11 (Vidusara)

http://www.vidusara.com/2017/05/10/feature2.html





අතීතයේ ජීවත් වූ නියෑන්ඩර්තාල් හා ඩෙනිසෝවන් වැනි ආදී මානවයන් පිළිබඳව සිදු කරනු ලබන අධ්‍යයනවල දී ඒ පිළිබඳ පර්යේෂකයන්ට වැඩි වශයෙන් හමු වන්නේ එම ආදි මානවයන් විසින් නිෂ්පාදනය කරන ලද මෙවලම් හා මිනිසුන් විසින් නිපදවන ලද වෙනත් පුරාවස්‌තු ය. එම මානවයන් ගේ අස්‌ථරි හෝ දත් වැනි භෞතිකමය ෆොසිල ශේෂ හමු වන්නේ සීමිත ස්‌ථාන ගණනකින් හා බෙහෙවින් අඩු වශයෙනි. මේ තත්ත්වය නියෑන්ඩර්තාල් මානවයා (Homo neanderthalensis) හා ඩෙනිසෝවන් මානවයා (Homo sp. Altai හෝ Homo sapiens ssp Denisova ලෙස තාවකාලික ව නම් කර ඇත. මේ මානවයා විශේෂයක්‌ ද උප විශේෂයක්‌ ද යන්න ගැන මතභේද පවතී.) වැනි ආදී මානවයන් සඳහා පොදු වූ තත්ත්වයකි.

එසේ ම එම මානවයන් ගේ ප්‍රවේණික ද්‍රව්‍ය පිළිබඳ අධ්‍යයන සිදු කිරීම වඩාත් අසීරු වූ කරුණකි. මේ මානවයන් ගේ අස්‌ථරි අවශේෂවල වුව ද ප්‍රවේණික ද්‍රව්‍ය ඉතිරි ව ඇත්තේ අඩු වශයෙනි. එසේ ම එවැනි අස්‌ථරි ශේෂ සමහරක්‌ ප්‍රවේණික ද්‍රව්‍ය ලබාගැනීම සඳහා සුදුසු නැත.

මේ තත්ත්වය හමුවේ අතීතයේ විසූ මානවයන් ගේ ප්‍රවේණික ද්‍රව්‍ය ලබාගැනීමට හැකි නව ක්‍රමවේද පිළිබඳව අවධානය යොමු කළ පර්යේෂණයක දී එවැනි නව මාර්ගයක්‌ අනාවරණය කරගැනීමට පර්යේෂකයන් පිරිසක්‌ සමත් ව තිබේ. ඒ ලෙන් වැනි ස්‌ථානවල ඇති අවසාදිත පස්‌ තැන්පතුවලිනි.

ලෙන් හතක අවසාදිත අධ්‍යයනයට


මෙහි දී පර්යේෂකයන් ගේ අවධානයට ලක්‌ ව ඇත්තේ යම් ස්‌ථානයක ඇති අවසාදිත තැන්පතුවල (sediments) ඇති ඇතැම් ද්‍රව්‍යවලට DNA බැඳී තිබිය හැකි බවයි. ඛනිජ වර්ග හා කාබනික සංයෝග මෙසේ DNA සම්බන්ධ කරගත හැකි ද්‍රව්‍ය අතර වේ. මේ ආකාරයෙන් පස්‌ ස්‌තරවලින් ලබාගත් තැන්පතුවල තිබී ලබාගත් මයිට්‍රකොන්ඩි්‍රයාවල හා හරිතප්‍රදවල ප්‍රවේණි ද්‍රව්‍යවල කෙටි කොටස්‌ යොදාගනිමින් ඒවා දාම ප්‍රතික්‍රියා හරහා වර්ධනය කර ඒවා ලබාගත් ස්‌ථාන ආශ්‍රිත ව අතීතයේ දැකිය හැකි වූ ශාක හා සතුන් හඳුනාගැනීමට හැකි වූ අවස්‌ථා පවතී. මෙසේ තැන්පතුවලින් ලබාගත් DNA කොටස්‌ පසුව හමු වන DNA හඳුනාගැනීම සඳහා DNA සංචිත ලෙස පර්යේෂකයන් විසින් පවත්වාගෙන යනු ලබයි.

මේ පසුබිම හමුවේ ආදි මානවයන් විසූ බව නිසැක ව ම දන්නා ස්‌ථානවල අවසාදිත පස්‌ තැන්පතු පරීක්‌ෂා කිරීම මේ අධ්‍යයනයේ දී පර්යේෂකයන් යොදාගෙන ඇති ක්‍රමවේදයයි. යුරෝපයේ හා ආසියාවේ එවැනි පුරාවිද්‍යාත්මක ස්‌ථාන හතක්‌ මේ පුළුල් පර්යේෂණ කණ්‌ඩායම විසින් අධ්‍යයනයට ලක්‌ කරනු ලැබ ඇත.

එහි දී ඔවුන් බෙල්ජියම (Trou Al'Wesse ලෙන), ක්‍රොයේෂියාව (Vindija ලෙන), ප්‍රංශය (Les Cottés හා Caune de l'Arago නම් ලෙන්), ස්‌පාඤ්ඤය (El Sidrón ලෙන) හා රුසියාවේ (Denisova හා Chagyrskaya නම් ලෙන්) පිහිටි ස්‌ථානවලින් ලබාගත් අවසාදිත නියෑදි භාවිත කර තිබේ. මේ ස්‌ථානවලින් අදින් වසර 14,000ක කාලයේ සිට වසර 550,000ක්‌ තරම් වූ කාල පරාසයකට අයත් අවසාදිත නියෑදි 85ක්‌ පමණ ලබාගෙන තිබේ. මේ ස්‌ථාන සමහරකින් මේ අධ්‍යයනය සඳහාම නියෑදි ලබාගෙන ඇති අතර, ඇතැම් ස්‌ථානවලින් කලින් ලබාගත් නියෑදි DNA සඳහා පරීක්‌ෂා කර ඇත. මේ කලින් ලබාගෙන පර්යේෂණාගාරවල ආරක්‌ෂිත ලෙස තැන්පත්ව තිබූ තැන්පතු නිදර්ශකවලින් ද සාර්ථකව DNA ලබාගැනීමට හැකි වීම ද වැදගත් සිදුවීමකි. මේ නියෑදියක්‌ ඉතා කුඩා පස්‌ තැන්පතුවක්‌ සමන්විත වූ අතර යොදාගනිමින් ඔවුන් සිදු කර ඇත්තේ මයිට්‍රොකොන්ඩී්‍රය DNA ලබාගෙන ඒවා විශ්ලේෂණය කිරීමයි.

DNA හමු වීම


මේ ආකාරයෙන් සිදු කරන ලද අධ්‍යයනයේ දී ඒ ඒ ස්‌ථානවලින් හමු වූ DNA ප්‍රමාණය වෙනස්‌ විය. ඒ අනුව හමු වූ DNA අතරින් 79.1 - 96.1%ක්‌ අතර ප්‍රමාණයක්‌ හඳුනාගැනීමට නොහැකි වූ බව සඳහන් වේ. එසේ ම හඳුනාගන්නා ලද DNA අතරින් වැඩි ප්‍රමාණයක්‌ ක්‌ෂුද්‍රජීවීන්ට අයත් ලෙස හඳුනාගන්නා ලද අතර ක්‌ෂීරපායී සතුන්ට අයත් ලෙස හඳුනාගන්නා ලද DNA ප්‍රමාණය එක්‌ එක්‌ ස්‌ථානවල දී 0.05% හා 10% අතර අගයක්‌ වී ඇත.

ඉන් පසුව මේ ක්‌ෂීරපායි සත්ත්ව විශේෂ අයත් ලෙස හඳුනාගත් DNA වැඩිදුරටත් අධ්‍යයනය කර තිබේ. ඒ අනුව විවිධ ක්‌ෂීරපායි කුල දොළහකට අයත් DNA මේ අතර තිබූ බව හඳුනාගෙන ඇත. එහි දී හඳුනාගත් සතුන් අතර කලකට ඉහත වඳ වී ගිය සතුන් ද වේ. නිදසුනක්‌ ලෙස වූලි මැමත්, වූලි රයිනෝසිරස්‌, ලෙන් ආශ්‍රිත ව විසූ වලස්‌ විශේෂයක්‌ හා ලෙන්වල විසූ හයිනා විශේෂයක්‌ දැක්‌විය හැකි ය. එසේ ම අදත් දැකිය හැකි සත්ත්ව විශේෂ ද මේ අතර විය. මේ සතුන් අදාළ ස්‌ථානවල සිදු කරන ලද පුරාවිද්‍යා කැණීම්වලින් හමු වී, පුරා සත්ත්ව විද්‍යාත්මක අධ්‍යයනවලින් හඳුනාගෙන ඇති සත්ත්ව විශේෂ හා සමාන විය. නියෑදි ලබාගත් ස්‌පාඤ්ඤයේ පිහිටා ඇති ලෙනෙන් ක්‌ෂීරපායී සත්ත්ව DNA හමු වී නොමැති අතර, කැණීම්වල දී ද එම ලෙනෙන් ක්‌ෂීරපායී සතුන් ගේ අස්‌ථි හෝ දත් වැනි ශේෂ හමු වී නොමැත.

මානව DNA ඉලක්‌ක කරගැනීම


වැඩි වශයෙන් සත්ත්ව විශේෂවල DNA හමු වුව ද මානව DNA හඳුනාගැනීම සඳහා පර්යේෂකයන් වැඩිදුරටත් කටයුතු කර ඇත. ඒ අනුව නියෑදි නවයකින් මේ වන විට වඳ ව ගොස්‌ ඇති ආදි මානවයන් ගේ DNA ද හඳුනාගැනීමට හැකියාව ලැබී ඇත. මේ අතරින් අටක්‌ ම නියෑන්ඩර්තාල් මානවයන් ගේ වූ අතර එකක්‌ ඩෙනිසෝවන් මානවයන් ගේ විය. ලෙන් හතරකින් (ස්‌පාඤ්ඤයේ එල් සිඩ්රොන්, රුසියාවේ ඩෙනිසෝවා හා චගීර්ස්‌කායා හා බෙල්ජියමේ ඇට්‌ ට්‍රව් අල්වෙසේ යන ලෙන්) හමු ව ඇත්තේ නියෑන්ඩර්තාල් මානවයන් ගේ DNA ය. එසේ ම ඩෙනිසෝවන් මානවයා ගේ DNA රුසියාවේ ඩෙනිසෝවා ලෙනෙන් හමු වී තිබේ. රුසියාවේ ඩෙනිසෝවා ලෙනේ නියෑදි දෙකකින් මානවයන් දෙදෙනා ගේ ම DNA ලැබී ඇති අතර, මීට පෙර නියෑන්ඩර්තාල් ශේෂ හමු නො වූ බෙල්ජියමේ ලෙනෙන් එම ආදි මානව ශේෂ හමු වීම ද විශේෂත්වයකි.

මෙහි දී ඇතැම් ලෙන්වලින් හමු ව ඇත්තේ එක්‌ ආදි මානවයකු ගේ ශේෂ වන අතර, තවත් ලෙන්වලින් පුද්ගලයන් දෙදෙනකුට අයත් ප්‍රවේණික ද්‍රව්‍ය හමු වී ඇති බව ද වැඩිදුර අධ්‍යයනවල දී හඳුනාගැනීමට ලැබී ඇත. මෙසේ මානව ප්‍රවේණික ද්‍රව්‍ය හමු වූ ස්‌තරවලින් එම මානවයන් ගේ අස්‌ථි අවශේෂ කිසිවක්‌ හමු වූයේ නැත. මෙසේ අස්‌ථි හෝ දත් වැනි අවශේෂ හමු නො වී DNA ශේෂ හමු වීම වැදගත් කරුණකි.

මෙසේ හමු වූ නියෑන්ඩර්තාල් හා ඩෙනිසෝවන් මානවයන් ගේ ප්‍රවේණික ද්‍රව්‍ය ඔවුන් ගේ මේ දක්‌වා දන්නා ගෙනෝමයේ ප්‍රමාණය ඉහළ නැංවීම සඳහා ද වැදගත් වේ. මේ දක්‌වා මේ ආදි මානවයන්ගේ ප්‍රවේණික ද්‍රව්‍ය හමු ව ඇත්තේ සීමිත ප්‍රමාණයකි.

නව මෙවලමක්‌?


පුරාවිද්‍යාත්මක ස්‌ථානවලින් ආදි මානවයන් ගේ DNA සොයාගැනීමට හැකියාවක්‌ ලැබීමෙන් එම ස්‌ථානවල අතීතයේ ආදි මානව කණ්‌ඩායම් විසූ බව අනාවරණය කරගැනීමට අවස්‌ථාවක්‌ ලැබේ. එය වැදගත් වන්නේ ආදි මානව අස්‌ථි හා දත් වැනි ශේෂ හමු නො වුණ ද ඔවුන් විසූ බව අනාවරණය කරගත හැකි වීම ය. මෙය නව ක්‍රමවේදයකි. ඒ සෙසු ක්‍රම යොදාගැනීමට නොහැකි අවස්‌ථාවක භාවිත කළ හැකි ක්‍රමවේදයකි.

මෙය මානව පරිණාමීය ඉතිහාසය පිළිබඳ අධ්‍යයනවල දී වැදගත් වන බව අමුතුවෙන් කිව යුතු නො වේ. ඉන් කිසියම් ලෙනක යම් ස්‌තරයක ජීවත් වූයේ කුමන මානව විශේෂයක්‌ ද යන්න කීමට අවස්‌ථාවක්‌ ලැබී ඇති නිසා ය. කෙසේ වෙතත් මේ DNA පස්‌ ස්‌තර හරහා ගමන් කළ හැකි බව පෙන්වා දී තිබේ. මේ අධ්‍යයනයේ දී අවධානයට ලක්‌ කරන ලද එක්‌ ලෙනක දී එසේ වී නොමැති බව ද පෙනී ගොස්‌ ඇත. වඳ වී ගිය වූලි මැමත් හා වූලි රයිනෝසිරස්‌ DNA හමු වී ඇත්තේ එම සතුන් වඳ වී ගිය පශ්චාත් ප්ලයිස්‌ටොසීන යුගයේ ස්‌තර අතර තිබිය දී ය. එම කාලයට පසු කාලවකවානුවලට අයත් ස්‌තරවලින් මේ සතුන් ගේ ප්‍රවේණික ද්‍රව්‍ය හමු වී නැත. මේ අනුව DNA ස්‌තර හරහා ගමන් කරන්නේ ද යන්න අදාළ ස්‌ථානවල ඇති ප්‍රාදේශීය තත්ත්ව අනුව තීරණය වන්නක්‌ බව මේ පර්යේෂකයන් ගේ අදහසකි. ඒ නිසා මෙවැනි අධ්‍යයනවල දී ඒ ගැන සැලකිල්ලට ගත යුතු වේ.

මේ අනුව උක්‌ත අධ්‍යයනයෙන් හෙළිදරව් කරන අවසාදිත තැන්පතු යොදාගනිමින් DNA හඳුනාගැනීමට විශ්ලේෂණ සිදු කිරීම අනාගත පුරාවිද්‍යාත්මක ක්‍රමවේදවල සාමාන්‍ය ක්‍රමවේදයක්‌ දක්‌වා දියුණු වීමේ අවස්‌ථාවක්‌ ඇත. මේ නිසා අප මාතෘකා කරගත් මේ පර්යේෂණය පුරාවිද්‍යාවේ සන්ධිස්‌ථානයක්‌ සේ ඇතැම් අය හඳුන්වා දී තිබේ.

කෙසේ වෙතත් අවසාදිත තැන්පතු DNA ආරක්‌ෂා වීම තීරණය වන්නේ අදාළ ප්‍රදේශයේ කාලගුණ තත්ත්වයේ බලපෑම අනුව විය හැකි ය. යුරෝපයේ හා ආසියාවේ ඉහළ අක්‌ෂාංශ ප්‍රදේශවල මෙය සාර්ථක විය හැකි වුවත් ඇතැම් විට ලෝකයේ වෙනත් ප්‍රදේශවල භාවිත කළ නොහැකි විය හැකි ය. ඒ බාහිර පරිසයේ දී DNA ජීරණය වීමක්‌ සිදු වන නිසා ය.

DNA පිළිබඳ අධ්‍යයන වැදගත් වන්නේ ඒවා මගින් මානව පරිණාමය මෙන්ම ව්‍යාප්ත වීම ද විස්‌තර කළ හැකි නිසා ය. අනෙකක්‌ තබා මෙහි දී සඳහන් කරන ලද ඩෙනිසෝවන් ආදි මානවයා යනු නියෑන්ඩර්තාල් මානවයාට සමීප නෑකමක්‌ ඇති මානවයකු වුව ද ඊට වඩා වෙනස්‌ මානවයකු බව හඳුනාගන්නා ලද්දේ ද DNA භාවිතයෙනි.

මූලාශ්‍රය: Science, DOI: 10.1126/science.aam9695

ඡායාරූප: පරිණාමීය මානවවිද්‍යාව සඳහා වූ මැක්‌ස්‌ ප්ලෑන්ක්‌ ආයතනය

http://www.vidusara.com/2017/05/10/feature2.html

Monday, May 8, 2017

අන්තර්ජාතික වෙළෙඳාමෙන් ඇති වන දේශසීමා ඉක්‌මවූ සෞඛ්‍ය ගැටලු

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 03.05.2017, පි. 6 (Vidusara)

http://www.vidusara.com/2017/05/03/feature2.html




ලෝකයේ බොහෝ රටවල භාවිත කරන භාණ්‌ඩ අතර දියුණු වන රටවල්වල නිපදවන ලද විවිධ භාණ්‌ඩ තිබේ. නිදසුනක්‌ ලෙස ගත හොත් ජංගම දුරකථන, සෙල්ලම් බඩු, ඇඳුම් ආදි විවිධ පාරිභෝගික භාණ්‌ඩ දැක්‌විය හැකි ය. මෙවැනි නිෂ්පාදන නිපදවන රටවල් අතර චීනය, අග්නිදිග ආසියානු රටවල් හා ඉන්දියාව වැනි රටවල් ඉදිරියෙන් සිටියි. එවැනි අපනයන අදාළ රටවල ආර්ථිකයේ වැදගත් තැනක්‌ ගනියි. (අනෙකක්‌ තබා ලෝකයේ බොහෝ රටවල ජාතික ධජ නිෂ්පාදනය කරන්නේ ද චීන සමාගම් ය). විශේෂයෙන් බටහිර යුරෝපය හා ඇමෙරිකාව වැනි දියුණු රටවල මෙවැනි භාණ්‌ඩ සඳහා ඉහළ ඉල්ලුමක්‌ තිබේ. මේ නිෂ්පාදනවල ඇති විශේෂත්වය වන්නේ ඒවායේ පාරිභෝගිකයන් සිටින රටවල නිපදවනු ලබන සමාන නිෂ්පාදනවලට වඩා මේ ආනයනික නිෂ්පාදන ලාභදායක වීම ය. ඒ නිසා පාරිභෝගික ආකර්ෂණය දිනාගැනීමට මේ නිෂ්පාදනවලට හැකි ව ඇත.

කෙසේ වෙතත්, බටහිර දියුණු රටවල පරිහරණය සඳහා නිපදවනු ලබන භාණ්‌ඩ ආදිය නිෂ්පාදනය කිරීමේ දී නිකුත් වන වායු විමෝචන හේතුවෙන් ඒවා නිෂ්පාදනය කරනු ලබන රටවල ජනතාවට ඇති වන බලපෑම මෙතෙක්‌ අඩු අවධානයකට ලක්‌ වූවකි. මේ සම්බන්ධව සිදු කරන ලද අධ්‍යයනයක්‌ පසුගිය දා ප්‍රකාශයට පත් විය. එම අධ්‍යයනයෙන් පෙන්වා දෙන්නේ එවැනි භාණ්‌ඩ නිෂ්පාදනය කිරීම නිසා ඇති වන වායු දූෂණය හේතුවෙන් ඒවා නිෂ්පාදනය කරන රටවල සැලකිය යුතු පිරිසක ගේ සෞඛ්‍යයට බලපෑමක්‌ ඇති වන බවයි.

එසේ ම ලෝකයේ එක්‌ කලාපයකින් නිකුත් වන විමෝචන මගින් තවත් කලාපයක ඇති වන මරණ ප්‍රමාණය ගැන ද මෙහි දී ගණනය කර තිබේ. මිනිසුන් තනාගෙන ඇති දේශසීමා වායු දූෂණයට අදාළ නො වන බව මේ අනුව පැහැදිලි ය. ඒ අනුව වායු දූෂණය ගෝලීය ගැටලුවකි.

අධ්‍යයන ක්‍රමවේදය


වායු දූෂණය සම්බන්ධව වැදගත් වන දූෂකයක්‌ ලෙස අංශුමය ද්‍රව්‍ය (particulate matter) හැඳින්විය හැකි ය. මේ නිසා ඇති වන මරණ ප්‍රමාණය එළිමහන් වායු දූෂණය (outdoor air pollution) නිසා ඇති වන මරණ ප්‍රමාණයෙන් 90%ක්‌ පමණ සඳහා හේතු වන බව පැවසේ. ඒ හෘද රෝග, ආඝාතය, පෙනහළු පිළිකා හා ඇදුම වැනි තත්ත්ව ඇති වීම හේතුවෙනි.

මේ අධ්‍යයනයේ දී අවධානය යොමු කර ඇත්තේ අංශුමය ද්‍රව්‍ය අතරින් සියුම් අංශුමය ද්‍රව්‍ය හෙවත් මයික්‍රෝ මීටර 2.5ට වඩා අඩු අංශුමය ද්‍රව්‍ය (PM2.5) මගින් ඇති වන වායු දූෂණය පිළිබඳ ව ය. විදුලි බලාගාර, කර්මාන්ත ශාලා, ගුවන් යානා හා නාවික ගමනාගමනය නිසා ඇති වන වායු දූෂණය පිළිබඳව මෙහි දී සලකා ඇත. ලෝකයේ කලාප 13ක පිහිටා ඇති රටවලින් මේ සඳහා දත්ත ලබාගැනීමට මේ පර්යේෂකයන් කටයුතු කර ඇත.

මෙහි දී වායු දූෂණ දත්ත, විමෝචන මිනුම් හා ගෝලීය වායු ධාරා ආකෘති යන දත්තවල එකතුවක්‌ මගින් වායු දූෂණය ඇති වීම හා එය ගමන් කර අවසන් වූ ස්‌ථානය සම්බන්ධව 2007 වර්ෂයේ දී පැවැති තත්ත්වය ගණනය කර තිබේ. එසේ ම ගෝලීය වෙළෙඳ විශ්ලේෂණ ව්‍යාපෘතිය (Global Trade Analysis Project) නම් ව්‍යාපෘතියක දත්ත මගින් තනාගත් ආර්ථික ආකෘතියක්‌ යොදාගනිමින් වායු දූෂණය හා පාරිභෝගික භාණ්‌ඩ සඳහා පාරිභෝගිකයන් අතර ඇති ඉල්ලුම හා වායු දූෂණය අතර යම් සම්බන්ධයක්‌ තිබේ ද යන්න සෙවීම සිදු කර ඇත.

අපනයන භාණ්‌ඩ නිසා සිදු වන මරණ


මේ අධ්‍යයනයේ දී අනාවරණය වී ඇති පරිදි, 2007 වර්ෂයේ දී PM2.5 කාණ්‌ඩයේ වායු දූෂක නිසා ලෝකය පුරා මිලියන 3.45ක පමණ ජනතාවක්‌ අකාලයේ මිය ගොස්‌ ඇත. ලෝකයේ එක්‌ කලාපයක පරිභෝජනය සඳහා තවත් කලාපයක නිෂ්පාදනය කරනු ලබන භාණ්‌ඩ හා සේවාවලින් නිකුත් ව ඇති විමෝචන හේතුවෙන් අදාළ භාණ්‌ඩ හා සේවා නිෂ්පාදනය කරන කලාපයේ ඇති වී තිබෙන මරණ ගණන 762,400ක්‌ බව එහි දී ගණන් බලා ඇත. මෙය මුළු මරණ ප්‍රමාණයෙන් 22%ක්‌ සඳහා සම්බන්ධයක්‌ දක්‌වන වන බව මේ පර්යේෂකයෝ පෙන්වා දෙති.

එවැනි මරණ සඳහා භූගෝලීය ප්‍රදේශ මගින් ද නිදසුන් දක්‌වා ඇත. චීනයේ සිදු වන අකල් මරණ අතරින් 108,600ක්‌ පමණ ප්‍රමාණයක්‌ සම්බන්ධ වන්නේ බටහිර යුරෝපයේ හා ඇමෙරිකාව යන කලාපවල පරිභෝජනය කිරීම සඳහා නිෂ්පාදනය කරනු ලබන භාණ්‌ඩවලට ය.

උක්‌ත පර්යේෂකයන් සඳහන් කරන පරිදි ලාභදායක යෑයි සිතා දියුණු රටවල පාරිභෝගිකයන් මිල දී ගන්නා භාණ්‌ඩවල මිල අඩු වීමට හේතුවක්‌ වී ඇත්තේ අදාළ නිෂ්පාදන රටවල ඇති වායු දූෂණය සම්බන්ධ නීති රීති ප්‍රබල නො වීම නම්, දියුණු රටවල පාරිභෝගිකයන් ගේ ඉතිරිය ඇති වන්නේ වෙනත් රටක අහිමි වන ජීවිතවලිනි.

මේ අනුව සිය අපනයන හා සම්බන්ධ වැඩි ම මරණ ප්‍රමාණයක්‌ ඇති වන්නේ චීනයේ ය. ඒ අනුව චීනයේ වායු දූෂණයෙන් සිදු වන මරණ අතරින් 11%ක්‌ තරම් ප්‍රමාණයක්‌ එරටින් සෙසු රටවලට අපනයනය කරන භාණ්‌ඩ හා සම්බන්ධ වේ. චීනයෙන් වැඩි ම අපනයන ප්‍රමාණයක්‌ සිදු වන්නේ බටහිර යුරෝපයට හා ඇමෙරිකාව යන කලාපවලට ය.

අනෙක්‌ අතට තම කලාපයේ පරිභෝජනය කරන භාණ්‌ඩ නිසා සෙසු රටවල මරණ වැඩි ම ප්‍රමාණයක්‌ ඇති වීමට සම්බන්ධ වන කලාප වන්නේ බටහිර යුරෝපය, ඇමෙරිකාව හා දකුණු කොරියාව හා ජපානය ඇතුළත් සෙසු ආසියාව නම් කලාපයයි.

වායු දූෂක වෙනත් ප්‍රදේශවලට ගමන් කිරීමෙන් සිදු වන මරණ


මීට පෙර අධ්‍යයනවලින් පෙන්වා දී ඇති ආකාරයට ලෝකයේ එක්‌ ප්‍රදේශයක සිට දූෂිත වාතය බොහෝ දුරක පිහිටා ඇති වෙනත් ප්‍රදේශ කරා ගමන් කළ හැකි ය. මේ තත්ත්වය ඇති වන්නේ ගෝලීය වායු ධාරා මගිනි. උක්‌ත අධ්‍යයනයේ දී පර්යේෂකයන් ගේ අවධානයට මේ කරුණ ද ලක්‌ විය. ඒ අනුව එක්‌ ප්‍රදේශයක ඇති වන වායු දූෂණය වෙනත් කලාපයක්‌ කරා පැතිර යැමෙන් එසේ ඈත පිහිටා ඇති කලාපයේ ඇති වන සෞඛ්‍ය බලපෑම ඔවුන් ගේ සැලකිල්ලට ලක්‌ විය.

සමස්‌තයක්‌ ලෙස ගත හොත්, ලෝකයේ PM2.5 කාණ්‌ඩයේ වායු දූෂක නිසා සිදු වන අකල් මරණ අතරින් 12%ක්‌ හෙවත් 411,100ක්‌ පමණ ප්‍රමාණයක්‌ සඳහා හේතු වන්නේ එම මරණ සිදු වන කලාපවලින් පිටත පිහිටි කලාපවලින් නිකුත් වන වායු දූෂක ය.

නිදසුනක්‌ ලෙස ගත හොත් චීනයෙන් නිකුත් කරනු ලබන PM2.5 කාණ්‌ඩයේ වායු දූෂක නිසා ලෝකයේ වෙනත් කලාපවල ඇති වන අකල් මරණ ප්‍රමාණය 64,800ක්‌ ලෙස ගණන් බලා ඇත. මෙයට යුරෝපයේ හා ඇමෙරිකාවේ සිදු වන මරණ ද ඇතුළත් වේ. එහෙත් මේ ප්‍රමාණය, ඉහත සඳහන් කළ පරිදි බටහිර යුරෝපයේ හා ඇමෙරිකාවේ පරිභෝජනය සඳහා භාණ්‌ඩ නිෂ්පාදනයේ දී චීනයේ ඇති වන වායු දූෂණයෙන් එරට තුළ සිදු වන මරණ ප්‍රමාණයට වඩා අඩු බව පැහැදිලි ය.

කළ හැක්‌කේ කුමක්‌ ද?


මෙහි දී අවධානය යොමු විය යුතු තවත් කරුණක්‌ වන්නේ බටහිර දියුණු රටවල පරිභෝජන රටාව ද මේ තත්ත්වය වඩාත් සංකීර්ණ කරන බවයි. අධි පරිහරණය මේ රටවල දැකිය හැක්‌කකි. නිදසුනක්‌ ලෙස මේ වන විට ජංගම දුරකථනයක්‌ සාමාන්‍යයෙන් මාස හයකට පමණ වරක්‌ මාරු කිරීම සිදු වේ. එසේ භාණ්‌ඩ පරිහරණ අවශ්‍යතාව හා මිල පමණක්‌ සලකන අදාළ පාරිභෝගිකයන් අතරින් බහුතරයක්‌ ඒවා නිෂ්පාදනය කරන රටේ ජනතාව ගේ සෞඛ්‍යය හෝ පරිසරය සම්බන්ධව තැකීමක්‌ කරනු ඇතැයි සිතීම අපහසු ය. තම පරිභෝජනය ලෝකයේ වෙනත් පෙදෙසක වෙසෙන මිනිසුන් ගේ සෞඛ්‍යය සඳහා බලපාන බව පැවසීමෙන් මේ පාරිභෝගිකයන් ගේ ආකල්පවල වෙනසක්‌ ඇති කළ හැකි ද යන්න මෙහි දී ඇති වන පැනයයි. අවාසනාවකට මෙන් ලෝකයේ සෙසු රටවල් ද මේ වන විට පිවිසෙමින් සිටින්නේ එවැනි ම පරිභෝජන රටාවකට ය.

අනෙක්‌ අතට මේ භාණ්‌ඩ නිපදවන රටවල ආර්ථිකය තුළ මෙවැනි ලාබ භාණ්‌ඩ හා සේවා අපනයනය කිරීම වැදගත් තැනක්‌ ගනියි. එවැනි තත්ත්වයක්‌ ඇතුළත අදාළ රටවල පරිසර දූෂණ නීති රීති දැඩි කිරීමට ඒ රටවල් කෙතරම් උනන්දුවක්‌ දක්‌වනු ඇති ද යන්න ද සැක සහිත ය. එහෙත් මේ අධ්‍යයනයෙන් පෙන්වා දී ඇති ආකාරයට පරිසර දූෂණය පාලනය කරන තාක්‌ෂණය දියුණු කිරීමට එම රටවල් කටයුතු කිරීම ඒ කලාපවල මෙන්ම ලෝකයේ සෙසු ප්‍රදේශවල මානව සෞඛ්‍යය සඳහා යහපතක්‌ වන්නකි.

අන්තර්ජාතික වෙළෙඳාම ගෝලීයකරණය වීම නිසා මේ ආකාරයෙන් නිෂ්පාදනවල පාරිසරික හා සෞඛ්‍යමය බලපෑම් වෙනත් ප්‍රදේශයකට ගමන් කිරීමේ තත්ත්වය ඇති වී තිබේ. එහි බලපෑම ලෝකය මේ වන විට අත්දකිමින් සිටියි. එය සෞඛ්‍යය මෙන්ම පරිසරය හා සම්බන්ධව ද බලපෑමක්‌ ඇති කරන්නකි. මේ අධ්‍යයනයට සම්බන්ධ වූ පර්යේෂකයන් ඒ ගැන පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක දී පවසා ඇත්තේ මේ ගැන අන්තර්ජාතික මට්‌ටමින් කටයුතු කිරීම වැදගත් වන බවයි. වායු දූෂණය ප්‍රාදේශීය එකක්‌ නො ව අන්තර්ජාතික වශයෙන් බලපෑමක්‌ ඇති එකක්‌ ලෙස පිළිගෙන ඒ අනුව කටයුතු කිරීම වැදගත් බව ඔවුන් ගේ අදහසයි.

මූලාශ්‍රය: Nature, DOI:10.1038/nature21712

http://www.vidusara.com/2017/05/03/feature2.html

අපද්‍රව්‍ය ගැටලුවට නිවසේ දී යෙදිය හැකි පිළියම්

ධනේෂ් විසුම්පෙරුම


විදුසර. 03.05.2017, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2017/05/03/feature1.html


කැළිකසළ හෙවත් අපද්‍රව්‍ය මේ වන විට අපේ රටේ දැවෙන ප්‍රශ්නයකි. අපේ නගරවල මෙන්ම නගරවලින් පිටත දී ද ජනනය වන අපද්‍රව්‍ය ප්‍රමාණය දිනෙන් දින ඉහළ යමින් තිබේ. මේවා බැහැර ලිය හැකි ස්‌ථාන ද සීමිත ය. ඒවා මග දෙපස හා කුණු කඳු ලෙස බැහැර කිරීම නිසා තවත් ගැටලු රැසක්‌ ම ඇති වන බව අපි දැන් අත්දැකීමෙන් දනිමු.

එසේ නම් කැළිකසළ ගැටලුව සඳහා අපට කළ හැක්‌කේ කුමක්‌ ද? ඒ පැනයට විසඳුම් ලබා දීමට අපට ද හැකියාව තිබේ. මේ පිටුවේ දැක්‌වෙන්නේ අපට ගත හැකි එවැනි සරල පියවර මගින් අපේ නිවෙස්‌වල ජනනය වන අපද්‍රව්‍ය අඩු කළ හැකි ආකාරය හා ජනනය වන අපද්‍රව්‍ය සඳහා ලබා දිය හැකි පිළියම් කිහිපයකි.

අපද්‍රව්‍ය අවම කිරීම


අප නිෂ්පාදනය කරන අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කිරීම (reduce) අපද්‍රව්‍ය සඳහා ඒවායේ ප්‍රභවයේ දීම ලබා දිය හැකි හොඳ ම විසඳුමක්‌ වේ. අප භාවිත කරන ඇතැම් ද්‍රව්‍ය අපට ඒ පමණින් අවශ්‍ය ද යන්න අප අප ගෙන් ම අසාගත යුතු ප්‍රශ්නයකි. නිදසුනක්‌ ලෙස ගත හොත්, ඇතැම් අවස්‌ථාවල දී අපි අපේ නිවසේ පරිභෝජනය සඳහා අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ආහාර ද්‍රව්‍ය මිල දී ගනිමු. එසේ නැතිනම් ආහාර ගන්නා විට කෑමට නොහැකි තරම් ආහාර ප්‍රමාණයක්‌ කෑම පිගානට බෙදා ගනිමු. එය සෙසු ද්‍රව්‍ය සම්බන්ධ ව ද එසේ ම ය.

හැකි අවස්‌ථාවල දී ප්ලාස්‌ටික්‌ පොලිතීන් වැනි ද්‍රව්‍ය ප්‍රතික්‌ෂේප කිරීම ඒවා භාවිතය අවම කිරීමට හේතු වේ.






මේ සම්බන්ධව අපට කළ හැකි දේ සමහරක්‌ මෙසේ ය.
  • ප්ලාස්‌ටික්‌ හා පොලිතීන් බෑග් භාවිතය අඩු කිරීම ඒ සඳහා යෝග්‍ය විකල්ප අතර රෙදි බෑග්, පන් මලු හා වේවැල් කූඩ වේ. මේවා දිගු කාලයක්‌ භාවිත කළ හැකි අතර, භාවිතයෙන් පසු දිරාපත් වේ.
  • කඩදාසි භාවිතය අවම කිරීම සඳහා කියෑවීම සඳහා ඉලෙක්‌ට්‍රොනික මාධ්‍ය භාවිත කිරීම මේ සඳහා ස්‌මාට්‌ දුරකථන හා පරිගණක පාවිච්චිය අද වන සුලබ ය.
  • හැම විට ම කඩදාසිවල දෙපැත්ත ම භාවිතය එක්‌ පැත්තක්‌ භාවිත කළ කඩදාසි කටු සටහන් සඳහා යොදාගැනීමට ද හැකි ය. මෙමගින් අප භාවිත කරන කඩදාසි ප්‍රමාණය අඩකින් අඩු කළ හැකි ය.
  • අවශ්‍ය ප්‍රමාණයට වඩා ඇසුරුම් සහිත භාණ්‌ඩ මිල දී ගැනීමෙන් වැළැකීම මෙමඟින් ඇසුරුම් පරිසරයට එක්‌ වීම අඩු වේ. බොහෝ විට මේ ඇසුරුම් පොලිතීන් වැනි පහසුවෙන් දිරා නො යන ද්‍රව්‍යවලින් කළ ඒවා ය.
  • වරක්‌ භාවිත කර ඉවත ලන දේ වෙනුවට නැවත භාවිත කළ හැකි දේ භාවිතය ප්ලාස්‌ටික්‌ බීම බෝතල් වෙනුවට වීදුරු බීම බෝතල් ද, ප්ලාස්‌ටික්‌ ජල බෝතල් වෙනුවට තමන් ගේ ම ජල බෝතලයක්‌ ද අපට පාවිච්චි කළ කළ හැකි ය.
  • කුඩා ප්‍රමාණවලින් භාණ්‌ඩ මිල දී ගැනීම වෙනුවට හැකි හැම විට ම කල්තබාගත හැකි ද්‍රව්‍ය, අවශ්‍යතාව අනුව වැඩි ප්‍රමාණවලින් මිල දී ගැනීමෙන් අපට ලැබෙන ඇසුරුම් ප්‍රමාණය අඩු වේ.
  • ඇතැම් විට අප ඉවත දැමීමට සූදානම් වන විවිධ භාණ්‌ඩ සුළු අලුත්වැඩියාවකින් පසු තවත් කාලයක්‌ භාවිත කළ හැකි ය. ඒ ගැන සැලකිලිමත් වීම වැදගත් ය.

නැවත භාවිත කිරීම




අප ඉවත ලන ද්‍රව්‍ය නැවත භාවිත කිරීම ද (reuse) කසළ අර්බුදය සඳහා විසඳුමකි. අප භාවිතයට ගන්නා ඇතැම් ද්‍රව්‍ය සඳහා අපට වෙනත් විකල්පයක්‌ නොමැත. ඇතැම් ද්‍රව්‍ය අසුරා දෙන්නේ ෂොපින් මලුවල ය. තවත් ද්‍රව්‍යවල ඇසුරුම ප්ලාස්‌ටික්‌ හෝ වීදුරුවලින් නිම කර ඇත. එහෙත් මේ ඇසුරුම් වරක්‌ භාවිතයෙන් පසු බැහැර ලීම වෙනුවට ප්‍රයෝජනවත් ලෙස යළි නැවත භාවිත කිරීමෙන් ඒවා කසළ ගොඩට එක්‌ වීම වැළැක්‌වීමට හා ප්‍රමාද කිරීමට හැකි ය.

·

මේ අපට එසේ ගත හැකි පියවර කීපයකි.
  • අපට ලැබෙන ප්ලාස්‌ටික්‌ බඳුන් හා බෝතල් මල් හා එළවළු වැනි පැළ සිටුවීමට පෝච්චි ලෙස භාවිත කළ හැකි ය. අයිස්‌ක්‍රීම් බඳුන් මීට නිදසුන් වේ. මෙහි දී එක හා සමාන ප්‍රමාණයේ බඳුන් එක ස්‌ථානයක තැබීමට හැකි ය.
  • අප විවිධ ද්‍රව්‍ය වෙළෙඳපොළෙන් මිල දී ගැනීමේ දී ලැබෙන ෂොපින් බෑග් හෙවත් ග්‍රොසරි බෑග් යළි යළිත් භාවිත කිරීමෙන් අප භාවිතයට ගන්නා බෑග් ප්‍රමාණය අඩු වේ.
  • විවිධ ද්‍රව්‍ය ඇසීරීම සඳහා යොදගත් කඩදාසි, කාඩ්බෝඩ් පෙට්‌ටි, වීදුරු බෝතල් හා ටින් වැනි දේ වෙනත් කාර්ය සඳහා යොදාගැනීමට අපට හැකි ය. විවිධ ද්‍රව්‍ය දැමීම සඳහා බඳුන් ලෙස මේවා යොදාගත හැකි ය. එසේ ම මේවා භාවිතයෙන් විසිතුරු දේ තැනීමට ද අපට හැකි ය.
  • ජෑම්, කෝඩියල් වැනි ඇතැම් ද්‍රව්‍ය අඩංගු වීදුරු බඳුන් භාවිතයෙන් පසු ආපසු බාර දුන් විට ඒ සඳහා කිසියම් මිල අඩු කිරීමක්‌ බොහෝ වෙළෙඳසල්වලින් ලබා දෙයි.
  • මේ කරුණු සඳහා අපට යොදාගත නොහැකි වුව ද මේ සමහර ද්‍රව්‍ය ඒවා භාවිතය සඳහා අවශ්‍ය අයකු වෙත ලබා දිය හැකි ය. නිදසුනක්‌ ලෙස පුවත්පත් කඩදාසි විවිධ දේ එතීම සඳහා යොදාගැනීම දැක්‌විය හැකි ය.

ප්‍රතිචක්‍රියකරණය සඳහා යොමු කිරීම


අප භාවිත කරන ඇතැම් දේ භාවිතයෙන් පසු ප්‍රතිචක්‍රියකරණය සඳහා යොමු කළ හැකි ය. කඩදාසි, කාඩ්බෝඩ්, වීදුරු හා ප්ලාස්‌ටික්‌ මේ අතර වේ. එම ද්‍රව්‍ය ප්‍රතිචක්‍රියකරණය සඳහා යොමු කිරීම පිණිස එකතු කරන්නන්ට ලබා දීමෙන් අපට මුදලක්‌ ද ලබාගත හැකි ය. එමෙන් ම මේ වන විට බොහෝ පළාත් පාලන ආයතනවල කසළ එකතු කරන රථ මගින් මේවා වෙන වෙන ම රැස්‌ කරනු දැකිය හැකි ය. ඒ අනුව කසළ වෙන් කර ලබා දීම වැදගත් බව පැහැදිලි ය.

·

  • කඩදාසි හා කාඩ්බෝඩ් - විවිධ කඩදාසි වර්ග ප්‍රතිචක්‍රියකරණය සඳහා එකතු කිරීම සිදු කරනු ලැබේ. පුවත්පත්, ලියන කඩදාසි, පොත්, කාඩ්බෝඩ් හා කඩදාසි පෙට්‌ටි ආදි බොහෝ ද්‍රව්‍ය ප්‍රතිචක්‍රියකරණය කරනු ලැබේ.
  • වීදුරු බෝතල් ආදිය - භාවිත කළ නොහැකි, අනවශ්‍ය වීදුරු බෝතල් ආදිය ප්‍රතිචක්‍රියකරණය සඳහා යොමු කළ හැකි ය. මෙහි දී විවිධ වර්ණවල වීදුරු බෝතල හා බඳුන් වෙන් වෙන් ව එකතු කිරීම වැදගත් වේ.
  • ලෝහමය ද්‍රව්‍ය - ලෝහවලින් නිපදවන ලද විවිධ භාණ්‌ඩ තවදුරටත් භාවිත කළ නොහැකි වූ විට ඒවා ද එම ද්‍රව්‍ය එකතු කරන පිරිස්‌ වෙත ලබා දිය හැකි ය. ඒවා සඳහා ගෙවනු ලබන මිල ද ඉහළ ය.

කොම්පෝස්‌ට්‌ නිෂ්පාදනය




නිවෙස්‌වලින් ඉවත ලන දිරාපත් වන ආහාර ද්‍රව්‍ය මෙරට නාගරික කැළිකසළ ප්‍රවාහයෙන් වැඩි ප්‍රමාණයක්‌ සඳහා හේතු වේ. නිවසේ දී කොම්පෝස්‌ට්‌ නිෂ්පාදනය කිරීම මේ අපද්‍රව්‍ය ප්‍රයෝජනවත් කාර්යයක්‌ සඳහා යෙදවීමක්‌ පමණක්‌ නො ව, අප බැහැර ලන කසළ ප්‍රමාණය අඩු කිරීම සඳහා ද හේතු වේ.

ඉඩමේ ප්‍රමාණය අනුව පහසුවෙන් කොම්පෝස්‌ට්‌ නිපදවිය හැකි බඳුන් මේ වන විට හඳුන්වා දී ඇත. මේවා සිමෙන්ති මෙන්ම ප්ලාස්‌ටික්‌වලින් ද නිර්මාණය කර තිබේ. මේවා සඳහා මුළුතැන්ගෙයින් බැහැර කරන එළවළු හා පලතුරු කොටස්‌ මෙන්ම ගෙවත්ත අතුගෑමේ දී එකතු වන කොළ රොඩු ද යොදාගත හැකි ය. එසේ ම කෑමෙන් පසු ඉතිරි වන ඉඳුල් ද සාර්ථකව මේ සඳහා භාවිත කළ හැකි ය.

එපමණක්‌ නො ව, ගෙවත්තේ ඉඩ ප්‍රමාණය අනුව කොම්පෝස්‌ට්‌ නිපදවීම සඳහා වළ ක්‍රමය හා ගොඩ ක්‍රමය වැනි ක්‍රම ද යොදාගත හැකි ය. කොම්පෝස්‌ට්‌ පොහොර ගෙවතු වගා සඳහා යොදාගත හැකි ය.

http://www.vidusara.com/2017/05/03/feature1.html

Friday, April 21, 2017

කැළිකසළ ප්‍රශ්නයේ වගකීම පැවරෙන්නේ කාට ද?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 19.04.2017, පි. 5 (Vidusara)


http://www.vidusara.com/2017/04/19/feature2.html


කැලිකසළ ප්‍රශ්නය යළිත් කරළියට පැමිණ තිබේ. ඒ අප්‍රේල් 14 දින කොලොන්නාවේ මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි කුණු කන්ද ආශ්‍රිත භූමියේ කොටසක්‌ නාය යැමෙන් ඇති වූ ඛේදවාචකයත් සමගිනි. මේ සටහන තබන ඉරිදා සවස්‌ වන විට එම අනතුර නිසා විසි පස්‌ දෙනකු පමණ මිය ගොස්‌ ඇති අතර නිවාස රැසක්‌ විනාශ වී තිබේ. මේ සිදුවීමත් සමග කැළිකසළ ගැටලුව විසඳීම සඳහා ගත හැකි හා ගත හැකි ව තිබූ ක්‍රියාමාර්ග ගැන නොයෙක්‌ අදහස්‌ විවිධ මාධ්‍ය ඔස්‌සේ පළ වනු දැකිය හැකි ය. මෙහි ලා සමාජ ජාල ඔස්‌සේ හුවමාරු වන අදහස්‌ අනුව පෙනෙන්නේ මේ ගැටලුව පිළිබඳව සාමාන්‍ය ජනතාව මෙන්ම යමක්‌ දන්නා පිරිස්‌ අතර ඇති දැනුවත්භාවයේ තරම ය.

විවෘත කසළ බැහැරලීමක ඇති වූ මෙවැනි පළමු අනතුර කොලොන්නාව නො වේ. මෙවැනි ම කුණු කන්දක්‌ වන බ්ලූමැන්ඩල් කුණු කන්ද ආශ්‍රිත ව 2009 මාර්තු මාසයේ දී ගිනිගැනීමක්‌ හා කඩා වැටීමක්‌ නිසා ආසන්නයේ පිහිටා තිබූ පැල්පත් නිවාස ගණනාවකට හානි සිදු විය. ඒ අවස්‌ථාවේ දී ජීවිත හානි සිදු නො වූයේ නිවැසියන් ඒ අවස්‌ථාවේ නිවාසවලින් බැහැර ව සිටි නිසා බව කියෑවේ. කොළඹ තරම් කුණු එකතු නො වන බදුල්ලේ කසළ එකතු කරන ස්‌ථානයක්‌ ගිනිගැනීමෙන් ගැටලුවක්‌ ඇති වූයේ මීට මාස කිහිපයකට ඉහත දී ය. එහෙත් කොලොන්නාවේ කුණු කන්දේ නාය යැම මෙතෙක්‌ එවැන්නක්‌ ආශ්‍රිත ව සිදු වූ විශාලතම අනතුර වේ.

වසර ගණනක්‌ තිස්‌සේ කැළිකසළ හෙවත් ඝන අපද්‍රව්‍ය ගැටලුව සඳහා විවිධ විසඳුම් ඉදිරිපත් වූ ආකාරය මෙරට සිදු වන කටයුතු පිළිබඳව අවදියෙන් සිටි ඕනෑ ම අයකු දැක ඇති බවට සැකයක්‌ නැත. ඒ අතර කසළ අවම කිරීම, ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු කිරීම හා කිසිත් කළ නොහැකි සෙසු අපද්‍රව්‍ය බැහැර ලීම සඳහා සනීපාරක්‌ෂක බිම් පිරවුම් සඳහා වූ යෝජනාව වැනි ක්‍රියාමාර්ග විය. අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධ නෛතික වගකීම ඇත්තේ මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභ යන පළාත් පාලන ආයතනවලට ය. එහෙත් ඊට සහාය වීම සඳහා පළාත් සභා මෙන්ම මධ්‍යම රජය මගින් ද ගත් විවිධ ක්‍රියාමාර්ග ගණනාවක්‌ ම අපි දැක ඇත්තෙමු. ඒ අතර විවිධ ව්‍යාපෘති ද වේ. එහෙත් ඒ කිසිවකින් මේ ප්‍රශ්නයට නිසි පිළිතුරක්‌ මේ දක්‌වා ලැබී නොමැති බව මේ ආකාරයෙන් විවෘත කසළ කඳු ගොඩගැසීමෙන් හා ඇති වූ ඛේදවාචකයෙන් මනාව පැහැදිලි වේ.

අතීතයේ සිට අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබේ. අතීතයේ දී සිදු කළ කසළ පිළිස්‌සීම මේ වන විට සිදු නො කෙරෙන තරම් ය. නාගරික ඝන අපද්‍රව්‍යවල ඇති අධික තෙත් සහිත බව නිසා එය එතරම් ප්‍රායෝගික නො වේ. එසේ ම කසළ යොදාගනිමින් කොම්පෝස්‌ට්‌ පොහොර නිපදවීම ඇතැම් පළාත් පාලන ආයතන මගින් සාර්ථකව සිදු කරනු ලබයි. එහෙත් ඇතැම් ස්‌ථානවල දී එය දිගුකාලීනව ක්‍රියාත්මක වී නැත. ඒ පිළිබඳ වාර්තා වන අත්දැකීම් අනුව පෙනෙන්නේ අඛණ්‌ඩව ක්‍රියාත්මක කිරීම, අවශ්‍යතාව හා දේශපාලන සහයෝගය මත රඳා පවත්නා බව ය. එසේ ම විශාල ලෙස අපද්‍රව්‍ය එකතු වන කොළඹ වැනි ප්‍රදේශයක දී කොම්පෝස්‌ට්‌ නිෂ්පාදනය මහා පරිමාණයෙන් කළ යුත්තකි. එවැන්නක්‌ සඳහා ප්‍රමාණවත් උත්සාහයක්‌ සිදු වී නොමැත. අපද්‍රව්‍ය අතර ඇති ප්‍රතිචක්‍රිකරණය කළ හැකි ද්‍රව්‍ය වෙන් කර ඒ සඳහා යොමු කිරීම පිළිබඳව වැඩි උනන්දුවක්‌ මේ වන විට ඇති වී තිබේ. එහෙත් එය ප්‍රමාණවත් නොමැත.

අපද්‍රව්‍ය ප්‍රමාණය වර්ධනය සඳහා හේතු


නාගරීකකරණය, ජනගහන වර්ධනය, කාර්මිකකරණය හා ඒක පුද්ගල ආදායමේ වර්ධනය යන කරුණු රටක කසළ ජනනය ඉහළ යැම සඳහා බලපාන සාධක අතර වේ. අපේ රටේ ඝන අපද්‍රව්‍ය ගැටලුව වඩාත් බරපතළ ව දැකිය හැක්‌කේ නාගරික ප්‍රදේශවල ය. කොළඹ පමණක්‌ නො ව රටේ සියලු නාගරික ප්‍රදේශවල අපද්‍රව්‍ය ජනනය මේ සඳහා නිදසුන් ය. ග්‍රාමීය ප්‍රදේශවල ජනනය වන අපද්‍රව්‍ය ප්‍රමාණය සාපේක්‌ෂව අඩු ය. එසේ ම ජනගහනය වර්ධනය වීමත් සමග නිෂ්පාදනය වන ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය ද ඉහළ යමින් තිබේ. රටේ කාර්මිකකරණය ද මේ තත්ත්වයට බලපා ඇත. ජනතාව ගේ ඒක පුද්ගල ආදායම් වර්ධනය සමග අපද්‍රව්‍ය ජනනය වන ප්‍රමාණය ඉහළ යන බව ද පෙන්වා දී තිබේ. 2003 වර්ෂයේ පළ වූ අධ්‍යයනයකට අනුව ශ්‍රී ලාංකිකයකු විසින් එක්‌ දිනකට ජනනය කෙරෙන අපද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 0.62කි. මෙසේ ජනනය වන අපද්‍රව්‍ය අතරින් සියල්ල ම පළාත් පාලන ආයතනවලින් ගෙන යැම සඳහා බැහැර කරනු නො ලැබේ. 2008 වර්ෂයේ දී පළ වූ වාර්තාවකට අනුව මෙරට පළාත්පාලන ආයතන මගින් එක්‌ දිනකට එකතු කරනු ලබන අපද්‍රව්‍ය ප්‍රමාණය මෙටි්‍රක්‌ ටොන් 2,838ක්‌ පමණ වේ. ඉන් 59%ක්‌ පමණ එකතු වන්නේ බස්‌නාහිර පළාත ඇතුළත වන අතර, කොළඹ දිස්‌ත්‍රික්‌කය ඉන් 44%කට දායක වේ.

කෙසේ වෙතත් මේ සියල්ලට ම පදනම් වන්නේ අද අප අනුගමනය කරන ජීවන රටාව ය. එය අප නිපදවන අපද්‍රව්‍ය ප්‍රමාණය ඉහළ යැමට බලපා ඇත. බටහිර ශෛලියේ පරිභෝජනවාදී ජීවන රටාව නිසා ආහාර ඇතුළු වෙනත් ද්‍රව්‍ය අවශ්‍ය තරමටත් වඩා වැඩියෙන් පරිභෝජනය කිරීමට පෙලැඹීම එයට හේතුවයි. මෙය අතීතයේ අපේ පැවැති සරල හා අල්පේච්ඡ දිවිපෙවෙතට වෙනස්‌ ය. එහෙත් වර්තමාන සමාජ රටාව තුළ මේ ජීවන රටාවෙන් මිදීමට හැකි බවක්‌ නො පෙනේ. මේ පිළිබඳව ආකල්පමය වෙනසක්‌ ඇති කිරීමට විවිධ පිරිස්‌ හා ආයතන ගත් උත්සාහය මේ දක්‌වා සාර්ථක වී ඇති බවක්‌ නො පෙනේ. එසේ නම්, කළ යුත්තේ මේ පවත්නා තත්ත්වයට විසඳුම් සෙවීම ය.

මේ හා සමාන තත්ත්ව වෙනත් දියුණු වන රටවල ද දැකිය හැකි ය. නිදසුනක්‌ ලෙස සමාජවාදී රටක්‌ ලෙස සැලකෙන චීනයේ අපද්‍රව්‍ය ජනනය වීම අධික වේගයෙන් වර්ධනය වෙමින් තිබේ. ඒ සඳහා බලපා ඇත්තේ වේගවත් කාර්මිකකරණයක්‌ හා නාගරිකකරණයක්‌ සිදුවීම ය. 2000 දශකය මුල දී චීනය ලෝකයේ වැඩි ම නාගරික ඝන අපද්‍රව්‍ය ජනනය කරන රට බවට පත් වූයේ ඇමෙරිකාව පසු කරමිනි. මේ වන විට ලෝකයේ කසළ ජනනය වැඩී වීමේ ඉහළ ම වේගය වාර්තා කර ඇත්තේ ද චීනය බව ලෝක බැංකු වාර්තාවක සඳහන් වේ.

එහෙයින් කසළ පිළිබඳ ගැටලු ආමන්ත්‍රණය කිරීමේ දී ඒ පිළිබඳ ගත හැකි තනි පියවරක්‌ නො ව ගත හැකි පියවර ගණනාවක්‌ ඇති බව තතු දන්නවුන් ගේ මතයයි. එය අපද්‍රව්‍ය මූලාශ්‍රයේ දී හෙවත් අපද්‍රව්‍ය ජනනය වීමේ සිට ම ගත හැකි ක්‍රියාමාර්ගවලින් යුක්‌ත ය. අපද්‍රව්‍ය ජනනය වන ප්‍රමාණය අවම කළ හැකි නම් එය පළමුව වැදගත් ය. දෙවනුව වැදගත් වන්නේ ප්‍රතිචක්‍රිකරණය හා කොම්පෝස්‌ට්‌ නිපදවීම සඳහා යොමු කිරීමයි. තුන්වැනි ව වැදගත් වන්නේ කිසිත් කළ නොහැකි කසළ නිසි ලෙස බැහැර ලීම ය. ඒ පිළිබඳව විමසීමේ දී පෙනෙන්නේ අපද්‍රව්‍ය පිළිබඳ වගකීම කසළ ජනනය කරන ජනතාව වෙත මෙන්ම කසළ බැහැර කිරීමේ යෙදී සිටින ආයතන හා රජය වෙත ද පැවරෙන බවයි.

පුද්ගල වගකීමෙන් මිදිය නොහැකි ය


කසළ කඳු ලෙස ගොඩගැසුණ ද ඒවා අතරින් වැඩි ප්‍රමාණයක්‌ ජනනය වන්නේ ගෘහාශ්‍රිත ව ය. වාණිජ හා කාර්මික අංශයෙන් ජනනය වන කසළ ප්‍රමාණය ද ඉහළ ය. ගෘහස්‌ථ මට්‌ටමින් කසළ ජනනය වීම පාලනය සඳහා ගත හැකි පියවර ගණනාවක්‌ වේ. 3R සංකල්පය (Reduce, Reuse, Recycle) මෙහි වැදගත් බව කලක්‌ තිස්‌සේ පුන පුනා පවසා තිබේ. ඉන් පළමුවැන්න විවිධ ද්‍රව්‍ය භාවිතය අවම කිරීමයි. දෙවැන්න ප්‍රතිභාවිතයයි. එමගින් අපද්‍රව්‍ය ලෙස ජනනය වන ප්‍රමාණය අඩු කළ හැකි ය. තෙවැන්න එසේ භාවිත කළ ද්‍රව්‍ය හැකිතාක්‌ ප්‍රතිචක්‍රිකරණය කිරීමයි. මේ සඳහා යොදාගත හැකි අපද්‍රව්‍ය වන ද්‍රව්‍ය අතර ඇති පොලිතින්, ප්ලාස්‌ටික්‌, වීදුරු යනාදී ද්‍රව්‍ය වේ. කෙසේ වෙතත් ඉහත සඳහන් සංකල්ප භාවිතය ප්‍රමාණවත් තරම් වර්ධනය වී තිබේ ද? අප එවැනි දේ භාවිතය අවම කිරීමට හා නැවත භාවිතය සඳහා යොමු වී තිබේ ද? ප්‍රතිචක්‍රිකරණය කළ හැකි දේ අතරින් කොපමණ ප්‍රතිශතයක්‌ අප ප්‍රතිචක්‍රිකරණය සඳහා යොමු කරන්නේ ද? මේ අප හමුවේ ඇති ගැටලු ය. 90% ඉක්‌මවූ සාක්‌ෂරතාවක්‌ ඇති රටක්‌ ලෙස අපට ඉහත පියවර සඳහා යොමු ව ඇති ප්‍රමාණය ගැන සතුටු විය හැකි ද? ඒ සඳහා විවිධ වැඩසටහන් හා ව්‍යාපෘති දියත් වී ඇතත් ජනතාවට පහසු හා නිසි ක්‍රමවේදයක්‌ ගොඩනැගී තිබේ ද? අනෙක්‌ අතට කසළ ප්‍රවාහයට එකතු වන අපද්‍රව්‍ය ප්‍රමාණය අතරින් වැඩි වශයෙන් ඇති දිරාපත් වන අපද්‍රව්‍ය ප්‍රමාණය (මේ ප්‍රමාණය ප්‍රදේශය අනුව විවිධ විය හැකි බව අධ්‍යයන අනුව පෙනේ. එහෙත් එය 50%කට වඩා අධික ය.) අවම කිරීම සඳහා හේතු වන කොම්පෝස්‌ට්‌ නිපදවීම ප්‍රවර්ධනය ගැන බොහෝ දැනුවත් කිරීම් සිදු කර ඇත. එහෙත් ගෘහාශ්‍රිත ව එය සිදු වන ප්‍රමාණය ගැන අපට සතුටු විය හැකි ද? එහෙත් මේ ක්‍රියාමාර්ගය අනුගමනය කර දිරාපත් වන කසළ ප්‍රයෝජනවත් කාර්යයක්‌ සඳහා යොදාගනු ලබන්නේ කොපමණ පිරිසක්‌ විසින් ද යන්න විමසිය යුතු කරුණකි. ඉහත කරුණු සඳහා සැම පුද්ගලයකුට ම හා පවුලකට ම වගකීමක්‌ ඇත. එය ඉටු කළ හැකි හා ඉටු කළ යුතු වගකීමක්‌ වන අතර ඒ සඳහා අපේ දායකත්වය ඉහළ නැංවිය යුතු බව පැහැදිලි ය. එසේ ම මේ කටයුතු මගින් අපද්‍රව්‍ය ජනනය අඩු කළ හැකි බැවින් බැහැර ලිය යුතු අපද්‍රව්‍ය ප්‍රමාණය ද අඩු වන බව පැහැදිලි ය.

මේ පිළිබඳව තවත් වැදගත් කරුණක්‌ වන්නේ පරිශ්‍රවලින් බැහැර කරනු ලබන අපද්‍රව්‍ය ඒවා ජනනය වන ස්‌ථානයේ දී හෙවත් නිවෙස්‌ හා වාණිජ පරිශ්‍රවල දී ම වර්ග කිරීම ය. මේ වගකීම ඇත්තේ ද ජනතාවට ය. කලක්‌ තිස්‌සේ බොහෝ දෙනා පුරුදු ව සිටියේ සියලු කසළ එක්‌ බඳුනක බහා කසළ එකතු කරන රථය වෙත ලබා දීමට ය. එහෙත් මේ වන විට බොහෝ පළාත් පාලන ආයතනවල ඒ සඳහා විශේෂිත රථ යොදවා වෙන් කරන ලද කසළ ගෙන යැම සිදු කරනු ලැබේ. ඒ සඳහා පෙලඹවීමක්‌ ලෙස වර්ග නො කළ කසළ එකතු කරනු නො ලබන බවට මේ ආයතනවලින් මාස කිහිපයකට ඉහත දී දැනුම් දී ඇත. ඒවා අතර ඇති ප්‍රතිචක්‍රිකරණය කළ හැකි කඩදාසි, වීදුරු, පොලිතින් හා ප්ලාස්‌ටික්‌ ආදිය ඒ සඳහා යොමු කරනු ඇතැයි අපි සිතමු. අප එසේ සටහන් කළේ එය නිසි ලෙස සිදු නො වන බව මේ වැඩපිළිවෙළ හඳුන්වා දුන් මුල් කාලයේ මාධ්‍යවල වාර්තා වූ නිසා ය.

සනීපාරක්‌ෂක බිම් පිරවුමක අවශ්‍යතාව


මෙසේ බැහැර කරනු ලබන කසළ සම්බන්ධ වගකීම පැවරෙන්නේ පළාත් පාලන ආයතනවලට ය. කොම්පෝස්‌ට්‌ කළ හැකි හා ප්‍රතිචක්‍රිකරණය කළ හැකි මෙන්ම නැවත භාවිත කළ හැකි කසළ ඉවත් කිරීමෙන් පසු ඉතිරි වන කසළ බැහැර ලීම සඳහා කිසියම් වූ බිම් පිරවුමක්‌ අවශ්‍ය වේ. එහෙත් මේ දක්‌වා අපේ රටේ සිදු කරන්නේ විවෘත බැහැරලීම් (open dump) බව පෙනේ. මේ විවෘත බිම් පිරවුම් පසුපස ඇති දේශපාලනය හා විවිධ අයථා ගනුදෙනු ප්‍රසිද්ධ රහසකි. එහෙත් නිසි අපද්‍රව්‍ය කළමනාකරණයක්‌ සඳහා අවශ්‍ය වන්නේ සනීපාරක්‌ෂක බිම් පිරවුමකි (sanitary landfill).

සනීපාරක්‌ෂක බිම් පිරවුමක්‌ සම්බන්ධ යෝජනාව කලක පටන්ම ඇති එකකි. 1990 දශකයේ දී යෝජනා වූ මීපේ මෙන්ම වඩාත් මෑත දී පුත්තලමේ අරුවක්‌කාලු වැනි ස්‌ථාන කිහිපයක්‌ ම ඒ සඳහා යෝජනා වූ අතර විවිධ හේතු නිසා ඒවා යටපත් විය. කෙසේ වෙතත් කුඩා පරිමාණයේ එවැනි බිම් පිරවුම් කිහිපයක්‌ රටේ ක්‍රියාත්මක වේ. දොම්පේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වන්නේ එවැනි නියමු ව්‍යාපෘතියකි. එසේ ම කොළඹ හා තදාසන්න නාගරික ප්‍රදේශ වැනි විශාල ලෙස අපද්‍රව්‍ය එකතු වන ප්‍රදේශවල ජනනය වන කිසිත් කළ නොහැකි අපද්‍රව්‍ය සඳහා යෝග්‍ය ස්‌ථානයක විශාල පරිමාණයේ බිම් පිරවුමක්‌ පිහිටුවීම කඩිනමින් කළ යුත්තක්‌ වේ. ඒ සඳහා වැය වන පිරිවැය හා අවශ්‍ය සංවිධානය සඳහා මධ්‍යම රජයේ හා පළාත් පාලන ආයතනවල මැදිහත් වීම වැදගත් වේ.

එහෙත් සනීපාරක්‌ෂක බිම් පිරවුමක්‌ ස්‌ථාපිත කිරීම සිදු කළ යුත්තේ ඒ නිසා ඇති විය හැකි පාරිසරික බලපෑම පිළිබඳව නිසි සැලකිල්ල යොමු කිරීමෙන් අනතුරු ව ය. මෙය මනා අධ්‍යයනයකින් පසුව කළ යුත්තකි. එසේ ම ඒ සඳහා විද්‍යාත්මක සාධක යොදාගත යුතු ය. එසේ ම සියලු පාර්ශ්වකරුවන් ගේ සහභාගිත්වය ද මෙහි දී අවශ්‍ය ය. ඒ සඳහා පමා වීමෙන් සිදු වන්නේ මීතොටමුල්ල වෙනුවට වෙනත් තැනක විවෘත කසළ බැහැර ලීමක්‌ හෙවත් කුණු කන්දක්‌ ඇති වීම පමණක්‌ වනු ඇත.

http://www.vidusara.com/2017/04/19/feature2.html

Friday, April 14, 2017

අනාගත ලෝකයේ කාබන් ඩයොක්‌සයිඩ් මට්‌ටම හා උෂ්ණත්වය

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 12.04.2017, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2017/04/12/feature3.html




ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම සඳහා මූලික හේතුව මිනිසුන් විසින් විමෝචනය කරනු ලබන හරිතාගාර වායු විමෝචන බවට මේ වන විට ඉතා පුළුල් පිළිගැනීමක්‌ ඇත. ඒ පිළිබඳව විද්‍යාඥයන් අතරින් අතිශය බහුතරයක්‌ තුළ කිසිදු සැකයක්‌ නොමැති තරම් ය. වර්තමානයේ පවත්නා තත්ත්වය යටතේ ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම කෙතරම් වේ ද යන්න ගැන ද බොහෝ දුරට පැහැදිලි අදහසක්‌ පවතී. ඒ අනුව පවත්නා අධ්‍යයන අනුව මේ සියවස අවසන් වන විට සෙල්සියස්‌ අංශක 1.5ත් 4.8ත් අතර ප්‍රමාණයකින් උෂ්ණත්වය ඉහළ යා හැකි බව දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්‌ඩලයේ (IPCC) පස්‌වැනි ඇගැයීම් වාර්තාවේ සඳහන් විය. මේ පරාසයේ කුමන මට්‌ටමක්‌ ඇති වේ ද යන්න තීරණය වන්නේ ලෝකය කටයුතු කරන ආකාරය අනුව වායුගෝලයේ කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණයේ තරම කොපමණ ප්‍රමාණයක්‌ වනු ඇති ද යන්න මත ය. නිදසුනක්‌ ලෙස ගත හොත් උෂ්ණත්වය අංශක 4.8ක්‌ දක්‌වා ඉහළ යනු ඇත්තේ වායුගෝලයේ කාබන් ඩයොක්‌සයිඩ් මට්‌ටම මිලියනයකට කොටස්‌ 1,000ක සීමාව ඉක්‌මවා ගිය තත්ත්වයක දී ය. (වර්තමානයේ දී ඒ ප්‍රමාණය කොටස්‌ 400 ඉක්‌මවා තිබේ).

එසේ ම, මේ වන විට දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීම සඳහා ජගත් මට්‌ටමින් සම්මත කරගෙන ඇති පැරිස්‌ දේශගුණ ගිවිසුම යටතේ ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම සෙල්සියස්‌ අංශක දෙකේ සීමාවේ පවත්වාගැනීමට අදහස්‌ කෙරේ. එසේ ම අවස්‌ථාවක්‌ තිබේ නම් උෂ්ණත්වය ඉහළ යැම අංශක 1.5ක සීමාවේ පවත්වා ගැනීමට ද උත්සාහ ගැනීම සඳහා ද එකඟ වී ඇත්තේ එම අගයයන් දේශගුණ වෙනස්‌ වීමේ බරපතළ බලපෑම් වැළැක්‌වීම සඳහා හේතු වන බවට විද්‍යාඥයන් අතර පිළිගැනීමක්‌ ඇති බැවිනි. කෙසේ වෙතත් මේ තත්ත්වය අපට අපේක්‌ෂා කළ හැක්‌කේ ලෝකය අපේක්‌ෂා කරන අන්දමින් ලෝකයේ කටයුතු සුබවාදී ලෙස සිදු වුව හොත් පමණකි.

එසේ නො වුව හොත් විය හැක්‌කේ කුමන ආකාරයේ දෙයක්‌ ද යන්න තරමක්‌ ගැටලු සහිත කරුණකි. එවැනි තත්ත්ව ගැන සිදු කරනු ලබන අධ්‍යයන ද කලින් කල වාර්තා වේ. පසුගිය දා ප්‍රකාශයට පත් වූ එක්‌ අධ්‍යයනයකට අනුව, දේශගුණ වෙනස්‌ වීම පාලනය කිරීම සඳහා ලෝකය සැලකිය යුතු පියවරක්‌ නො ගත හොත්, වායුගෝලයේ කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය හා උෂ්ණත්ව වර්ධනය මෙතෙක්‌ සිතුවාට වඩා බෙහෙවින් ඉහළ යා හැකි බව පෙන්වා දී තිබේ. ඒ අනුව අදින් වසර මිලියන 200කට පෙර පැවැති ට්‍රයාසික යුගයෙන් පසුව පැවැති ඉහළ ම කාබන් ඩයොක්‌සයිඩ් වායු සාන්ද්‍රණයට අදින් වසර 100-200 අතර කාලයේ දී ළගා විය හැකි ය. එසේ ම 23 වැනි සියවසේ දී ඇති විය හැකි දේශගුණ තත්ත්වය හමුවේ ඇති වන උෂ්ණත්වය හා සමාන තත්ත්වයක්‌ ගත වූ වසර මිලියන 420ක කාලය තුළ දැකිය නොහැකි තරම් ය. එහෙත් එසේ වන්නේ මිනිසුන් මේ වන විට ඇති සියලු ෆොසිල ඉන්ධන දහනය කළ හොත් ය.

පැරැණි වායුගෝලීය කාබන් සාන්ද්‍රණය ගැන අධ්‍යයනයක්‌


මේ අධ්‍යයනය අපූරු අධ්‍යයනයකි. එහි දී පර්යේෂකයන් අතීතයේ වායුගෝලයේ පැවැති කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය පිළිබඳව ගණනය කිරීම් 1,241ක්‌ පමණ ප්‍රමාණයක්‌ යොදාගනිමින් වසර මිලියන 420ක්‌ පමණ විශාල කාල පරාසයක්‌ සඳහා කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය පිළිබඳ අඛණ්‌ඩ වාර්තාවක්‌ සකස්‌ කර ඇත. ඒ සඳහා ඔවුන් නව පර්යේෂණ සිදු කර නොමැති අතර මේ දක්‌වා ප්‍රකාශිත අධ්‍යයන 112ක්‌ පමණ ප්‍රමාණයකින් අනාවරණය කරගෙන ඇති දත්ත යොදාගෙන තිබේ. සමස්‌තයක්‌ ලෙස ගත වූ වසර මිලියන 420ක පමණ කාලය මේ දත්ත මගින් ආවරණය වී තිබේ.

අතීතයේ පැවැති කාබන් ඩයොක්‌සයිඩ් වායු සාන්ද්‍රණය මෙතරම් යෑයි දැන් Rජු ව මැනීම කළ නොහැකි ය. ඒ නිසා යොදාගනු ලැබෙන්නේ ඒ සඳහා වූ වක්‍ර සාධක (proxy) ක්‍රමවේදයකි. ඒ පාෂාණීභූත වී ඇති ශාක සත්ත්ව ෆොසිල ආශ්‍රයෙන් ලබාගන්නා දත්ත යොදාගැනීමකි. ෆොසිලගත ශාක, ෆොසිල බවට පත් වූ බෙල්ලන්, පසේ හා සාගරයේ කාබන් සමස්‌ථානික සංයුතිය වැනි දත්ත මෙවැනි සාධක අතර වේ. ඒවා ආශ්‍රයෙන් අතීතයේ සිට මේ දක්‌වා වූ කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය ගණන් බැලීමට හැකියාවක්‌ ලැබී ඇත. මෙයින් අනාවරණය වන වැදගත් කරුණක්‌ වන්නේ වසර මිලියන ගණනක්‌ වන මේ කාලසීමාවේ දී කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය ස්‌වාභාවිකව විචල්‍ය වූ බවයි. සිසිල් තත්ත්ව පැවැති 'හිමාගාර' (icehouse) කාලවකවානුවල දී වායුගෝලයේ මේ වායු සාන්ද්‍රණය මිලියනයකට කොටස්‌ 200-400 අතර වූ බව දැක්‌වේ. නිදසුනක්‌ ලෙස ගත හොත්, කාබොනිෙµරස්‌ යුගයේ (වසර මිලියන 300කට පෙර) හා පශ්චාත් ක්‍රීටේසීය යුගයේ දී (වසර මිලියන 80කට පෙර) පැවැති කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය පූර්ව කාර්මික අවධියේ පැවැති කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය තරම් අඩු මට්‌ටමකට ආසන්න විය. උණුසුම් 'හරිතාගාර' (greenhouse) කාලවකවානුවල දී ඇතැම් විට මිලියනයකට කොටස්‌ 3,000 තරම් වූ අධික කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණයක්‌ දක්‌වා කාබන් ඩයොක්‌සයිඩ් වායු සාන්ද්‍රණය වෙනස්‌ වී තිබේ. ඩෙවෝනියන් යුගයේ (වසර මිලියන 400කට පෙර) හා ට්‍රයාසික යුගයේ දී (වසර මිලියන 220-200කට පෙර) පැවැති කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය මිලියනයකට කොටස්‌ 2,000ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ තිබේ. වසර මිලියන 215ක්‌ පමණ පෙර එක්‌ අවස්‌ථාවන මිලියනයකට කොටස්‌ 3,700ක්‌ පමණ ඉහළ මට්‌ටමකට ඉහළ ගිය අවස්‌ථාවක්‌ වාර්තා වී ඇත.

කෙසේ වෙතත්, වසර මිලියන ගණනක්‌ ඈත අතීතයේ කාබන් ඩයොක්‌සයිඩ් වායු සාන්ද්‍රණය අධික තත්ත්වයක්‌ තිබූ අවස්‌ථාවල දී වුව ද ලෝකයේ උෂ්ණත්වය ඉහළ ගියේ අඩුවෙනි. වෙනත් තාරකා මෙන්ම සූර්යයා දීප්තිමත් වී ඇත්තේ ක්‍රමයෙන් බව පෙන්වා දී තිබේ. ඒ නිසා කාබන් ඩයොක්‌සයිඩ් වායුවේ හා සූර්යාලෝකයේ ශුද්ධ තාප බලපෑම ඈත අතීතයේ දී වඩා අඩු විය. මේ තත්ත්වය හේතුවෙන් පෘථිවියේ ජීවයේ පැවැත්ම සඳහා යෝග්‍ය වූ තත්ත්වයක්‌ පැවතී තිබේ. සූර්යයා ගේ ප්‍රතිදානය ඉහළ යද්දී දිගුකාලීනව දේශගුණයේ උණුසුම් වීමක්‌ ඇති නො වූයේ මේ නිසා බව දක්‌වා ඇත. ශුද්ධ දේශගුණ බලපෑම (net climate forcing) ඇති වූ වෙනස්‌ වීම බෙහෙවින් අඩු වීම නිසා ලෝකයේ දේශගුණය සාපේක්‌ෂව ස්‌ථාවර ව පැවතී ඇති අතර, එය ජීවයේ පැවැත්මට හිතකර වූ තත්ත්වයක්‌ ද වී තිබේ.

මේ පර්යේෂකයන් පවසන පරිදි, සමස්‌තයක්‌ ලෙස ගත් විට පසුගිය වසර මිලියන 420ක කාලය ඇතුළත දිගුකාලීන කාබන් ඩයොක්‌සයිඩ් වායු සාන්ද්‍රණය වසර මිලියනයකට කොටස්‌ 3.4ක්‌ පමණ ප්‍රමාණයක්‌ බැගින් අඩු වී තිබේ.

අනාගතය පිළිබඳ දැක්‌ම භයානකයි?


කෙසේ වෙතත් ලෝකය මේ වන විට පවතින්නේ සාපේක්‌ෂව සිසිල් සමයක වුවත් මේ වන විට දැකිය හැකි දේශගුණ වෙනස්‌ වීමේ වේගය ඉතා අසාමාන්‍ය වූවක්‌ වීම මෙහි දී අනාවරණය වූ තවත් වැදගත් කරුණකි. එබැවින් මේ පර්යේෂණය මගින් අනාගතය සම්බන්ධව ඇති කර ඇත්තේ එත්කරා ආකාරයක අනතුරු හැගවීමකි.

ඉහළ යන කාබන් ඩයොක්‌සයිඩ් මට්‌ටම පාලනය කිරීමට මිනිසුන් අසමත් වේ නම් හා මේ වන විට ඇති ෆොසිල ඉන්ධන සියල්ල දහනය කළ හොත්, වායුගෝලයේ කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය 2250 වර්ෂය වන විට මිලියනයකට කොටස්‌ 2,000ක්‌ පමණ ප්‍රමාණයක්‌ දක්‌වා ඉහළ යා හැකි ය. ඒ කාබන් ඩයොක්‌සයිඩ් මට්‌ටම ළගා විය හැකි උපරිම මට්‌ටම බව මේ අධ්‍යයනයේ සඳහන් වේ. මෙවැනි ඉහළ මට්‌ටමක පැවැති කාබන් ඩයොක්‌සයිඩ් වායු සාන්ද්‍රණයක්‌ අවසන් වරට දැකිය හැකි වූයේ අදින් වසර මිලියන 220-200 අතර කාලයකට ඉහත පැවැති ට්‍රයාසික යුගයේ දී ය.

එසේ ම අදින් වසර මිලියන 200කට පෙර සූර්යයා ගේ ආලෝකය මීට වඩා අඩු හෙවත් ඇඳිරි වූවක්‌ විය. එහෙයින් එදා පැවැති ශුද්ධ දේශගුණ බලපෑම ප්‍රමාණය අනාගතයේ එවැනි තත්ත්වයක දී අප අත්විඳින මට්‌ටමට වඩා අඩු විය. එහෙත් අද තත්ත්වය වෙනස්‌ ය. එබැවින් මෙවැනි තත්ත්වයක්‌ ඇති වුව හොත් 23 වැනි සියවස වන විට ලෝකයේ දේශගුණ තත්ත්වය අදින් වසර මිලියන 420කින් මෙපිට ඇති වී නොමැති තරම් වූ ඉහළ උෂ්ණත්වයක්‌ වෙත ළගා වීමේ අවදානමක්‌ ඇත. මෙය ලෝකයට සිදු කරන ලද එක්‌තරා අනතුරු හැගවීමකි. කෙසේ වෙතත් එවැන්නක්‌ සිදු වන්නේ කාබන් ඩයොක්‌සයිඩ් විමෝචන පාලනය සඳහා කිසිදු පියවරක්‌ නො ගෙන, ෆොසිල ඉන්ධන සියල්ල දහනය කර අවසන් වුව හොත් බව මේ පර්යේෂකයන් පැහැදිලිව ප්‍රකාශ කර තිබේ.

මූලාශ්‍රය: Nature Communications, DOI: 10.1038/NCOMMS14845

http://www.vidusara.com/2017/04/12/feature3.html

Friday, April 7, 2017

ලෝකයේ මුල්වරට ගංගාවලටත් නෛතික පුද්ගලභාවයක්‌ ඇති බවට පිළිගැනීමක්‌

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 05.04.2017, පි. 5, (Vidusara)


http://www.vidusara.com/2017/04/05/feature1.html




ජලය හා ගංගා, ඇළ, දොළ ආදී විවිධ ජල මූලාශ්‍ර ඈත අතීතයේ පටන් මිනිසා ගේ ජීවිතය හා තදින් බැඳී පවත්නා ස්‌වාභාවික සම්පත් ය. ජලය මිනිසුන් ගේ පැවැත්ම සඳහා ඉතා වැදගත් විය. මිනිසුන් කෘෂිකාර්මික දිවිපෙවෙතකට හුරු වීමේ දී ජලය ඔවුනට නැති ව බැරි සම්පතක්‌ විය. එසේම ශිෂ්ටාචාර සාර්ථක ලෙස ස්‌ථාපිත වීමේ දී ඒවායේ පැවැත්ම සඳහා ජලය පැවැතීම මෙන්ම ජලයේ සුලබතාව වැනි කරුණු ඉතා වැදගත් විය. ජලය, ශිෂ්ටාචාරවල අවනතිය සඳහා ද බලපෑ මූලික සාධකයක්‌ බව සැලකේ. එහෙයින් ම සමස්‌ත මානව ශිෂ්ටාචාරයේ උන්නතිය සඳහා ජලය කෙතරම් වැදගත් වී ද යන්න පැහැදිලි ය.

ජලය ශිෂ්ටාචාරයකට කෙතරම් වැදගත් ද යන්න තේරුම්ගැනීමට අපට ඇති හොඳ ම උදාහරණය අපේ රටේ පැරැණි ශිෂ්ටාචාරයේ ආරම්භය හා ව්‍යාප්තිය පිළිබඳව කරුණු විමසීමයි. අපේ ශිෂ්ටාචාරය ගංගා ෙද්‍රdaණි හා වැව් ආශ්‍රිත ව කෙතරම් බැඳී පැවැති ශිෂ්ටාචාරයක්‌ වී ද යන්න මෙරට ඉතිහාසය හා පුරාවිද්‍යාව දත් අයට පමණක්‌ නො ව පැරැණි නටබුන් පිරුණු වියළි කලාපයේ ඇවිද යන ඕනෑ ම අයකුට පැහැදිලි වේ. එසේ ම අද පවා මෙරට ගොවිතැන පදනම් වූ කෘෂිකාර්මික සමාජයේ දී ජලය අතිශයින් වටිනා සම්පතක්‌ වේ. එය තේරුම්ගත හැක්‌කේ ජලය හිග කාලවකවානුවල දී මෙරට ජනතාව මුහුණ දෙන තත්ත්වය දැකීමෙන් පමණකි.

එහෙත් කාලයත් සමග ලෝකයේ වටිනාකම් වෙනස්‌ වී ඇත. අද අප අනුගනමය කරන්නේ එදා අපේ අතීත මුතුන්මිත්තන් අනුගමනය කළ සමාජ ආර්ථික රටාව නො වේ. මේ වන විට අප අනුගමනය කරන ආර්ථික රටාවට අනුව ලෝකයේ සියලු ස්‌වාභාවික සම්පත් වෙළෙඳ භාණ්‌ඩ බවට පත් වෙමින් තිබේ. ජලය ද එවැනි එක්‌ වෙළෙඳ භාණ්‌ඩයක්‌ ලෙස සැලකීමට උත්සාහ ගන්නා ආකාරය (commodification of water) ගැන කලක්‌ තිස්‌සේ ජගත් මට්‌ටමින් අසන්නට ලැබේ. එහෙත් ලෝකය පුරා ජනතාව ගේ හා සමාජ ක්‍රියාකාරීන් ගේ හඩ ඊට එරෙහි ව නැගී තිබේ. එහෙත් ජලය අද දක්‌වා ම සැලකෙන්නේ පොදු දේපොළක්‌ (public good) ලෙස ය.

ජලය මිනිසුන් ගේ ජීවිතවලින් වෙන් කළ නොහැකි ලෙස සම්බන්ධ වී ඇති බවට වන නිදසුන් ලෝකයේ විවිධ ප්‍රදේශවලින් විටින් විට අපට අසන්නට ලැබේ. ජලය හා ජල මූලාශ්‍රය තම සංස්‌කෘතික උරුමය තුළ පූජනීය සේ ලෙස සලකන ජන කොටස්‌ ලෝකයේ විවිධ ප්‍රදේශවල වාසය කරති. එවැනි උත්සාහයක්‌ නිසා ලෝකයේ මුල් වරට ජල මූලාශ්‍රයක්‌ වන ගංගාවක්‌ වෙත නෛතික පුද්ගලභාවයක්‌ ලැබීම පසුගිය මාසයේ දී වාර්තා වූ සුවිශේෂ සිදුවීමකි.

නවසීලන්තය ලොවට දුන් ආදර්ශය


පසුගිය මාර්තු මස පහළොස්‌ වැනි දා නවසීලන්තයෙන් වාර්තා වූ පුවතකට අනුව එරට පිහිටා ඇති ප්‍රධාන ගංගාවක්‌ වන වන්ගානුයි (Whanganui) නම් ගංගාවට මිනිසකු හා සමාන නෛතික අයිතියක්‌ ඇති බවට වූ නීතියක්‌ පාර්ලිමේන්තු පනතක්‌ මගින් සම්මත කරගෙන ඇත. ඒ අනුව එය නෛතික පුද්ගලභාවයක්‌ (legal entity) සහිත ලෙසින් පිළිගනු ලැබිය යුතු නෛතික තත්ත්වය හිමි සේ තීරණය වී ඇත. මෙය ගංගාවකට පුද්ගලයකුට හා සමාන වූ නෛතික අයිතියක්‌ ලබා දුන් ලෝකයේ පළමු අවස්‌ථාව සේ සැලකේ.

මෙය දීර්ඝ කාලයක්‌ තිස්‌සේ නවසීලන්තයේ උතුරු දූපතේ වාසය කරන මාඕරි ආදිවාසී ගෝත්‍රික වන්ගානුයි ඉවි නම් ජන කොටස්‌ විසින් ගෙන යන ලද අරගලයක ප්‍රතිඵලයකි. මාඕරි බසින් තේ අවා තුපුආ (Te awa tupua) යන නමින් ද හැඳින්වෙන මේ ගංගාව ආශ්‍රිත ප්‍රදේශය ඈත අතීතයේ පටන් ම මාඕරි ගෝත්‍රික ජනාවාස විශාල වශයෙන් ව්‍යාප්ත ව තිබූ ප්‍රදේශයකි. එය ඔවුන් ගේ සියලු කටයුතු සඳහා වැදගත් වූ අතර ගමනාගමනය සඳහා විශේෂයෙන් වැදගත් වී ඇත. ඔවුන් මේ ගංගාව ජීවත් වන භූදර්ශයක්‌ සේ මෙන්ම ඔවුන් ගේ ම සාමාජිකයකු සේ සලකා තිබේ.

කෙසේ වෙතත් නවසීලන්තය අද පාලනය කරන්නේ එරට මීට සියවස්‌ කිහිපයකට පෙර ජනාවාස කරගත් බටහිර ජාතිකයන් බැවින් මේ අයිතිය දිනාගැනීමේ සටන පහසු එකක්‌ වී නැත. ඔවුන් ගේ මේ ඉල්ලීම ඔවුන් වසර 160කට ආසන්න කාලයක්‌ තිස්‌සේ රජයෙන් සිදු කර ඇති බව සඳහන් වේ. ඒ එම ගංගාව ඔවුන් ගේ ආදිවාසියකු සේ සලකන ලෙස පවසමිනි. මෙය අදාළ ගෝත්‍රික ජන කොටස්‌ සමග පැවැති දීර්ඝතම සාකච්ඡාවක අවසානය වූ බව එරට රජයේ නියෝජිතයන් ද සඳහන් කර ඇත.

මේ අනුව යම් ආකාරයකින් අදාළ ගංගාවට හානියක්‌ සිදු කිරීම හෝ දූෂණය කිරීම හෝ නීතියට අනුව අදාළ ගෝත්‍රයේ සාමාජිකයකුට හානියක්‌ සිදු කිරීම හා සමාන වේ. ඉදිරියේ දී අදාළ ස්‌වදේශිකයන් අතරින් පත් කරනු ලබන භාරකාරයන් දෙදෙනකු ගංගාව සම්බන්ධ කටයුතු සඳහා පත් කිරීමට නියමිත වේ. ඉන් එක්‌ අයකු රජය විසින් නම් කෙරෙන අතර, අනෙක්‌ තැනැත්තා වන්ගානුයි ඉවි ජන කොටස විසින් තෝරාගනු ලැබීමට නියමිත ය.

ස්‌වාභාවික සම්පතකට නෛතික පුද්ගලභාවයක්‌ හිමි කර දීම හා සම්බන්ධ ව මෙවැනි සිදුවීමක්‌ එතරම් ගැටලුසහගත විය නොහැකි බව නවසීලන්තයේ ගිවිසුම් සම්බන්ධ අමාත්‍යවරයා පවසා ඇත. එය හුදෙක්‌ භාර හෝ පවුලේ සමාගම් හෝ සමිති ආදිය නෛතික පුද්ගලයකු සේ සලකනවා වැනි ය යන්න ඔහු මෙහි දී පෙන්වා දී තිබේ. මේ අනුව උක්‌ත තීරණය ඓතිහාසික වශයෙන් වැදගත් තීරණයක්‌ බව පෙනේ.

ඉන්දියානු ප්‍රාන්ත අධිකරණයක්‌ ගත් තීන්දුව


මේ තීරණය පිළිබඳව ප්‍රචාරයට පත් වී වැඩි දිනක්‌ යැමට පෙර එවැනි ම සිදුවීමක්‌ ඉන්දියාවෙන් ද වාර්තා විය. ඉන්දියාවේ උත්තර්කන්ද් ප්‍රාන්තයේ අධිකරණයක්‌ පසුගිය මාර්තු මස 20 දින ලබා දුන් තීන්දුවකින් ප්‍රකාශ කළේ ගංගා නදිය හා එහි ප්‍රධාන අතු ගංගාව වන යමුනා නදියට මිනිසුන් හා සමාන ව නෛතික පුද්ගලභාවයක්‌ ඇති බවයි. මේ අනුව අදාළ ගංගා දෙක දූෂණය කිරීමට හෝ හානි කිරීමට කටයුතු කිරීම නීතිමය වශයෙන් මිනිසකුට හානි කිරීම හා සමාන වේ.

මෙම අධිකරණ තීන්දුව ලබා දීමේ දී අදාළ විනිසුරුවරුන් දෙපොළ ඉහත සඳහන් නවසීලන්ත ගංගාවේ සිදුවීම ගැන ද සඳහන් කර ඇති බව අනතර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබේ. එසේ ම ගංගා හා යමුනා නදී හා ඒවායේ අතු ගංගා, අයිතීන් කාර්යභාරයක්‌ හා වගකීම් ඇති නෛතික පුද්ගලයන් ලෙසත් සැලකිය යුතු බව මෙහි දී දක්‌වා තිබේ.

එසේ ම උක්‌ත අධිකරණය නියෝගයට අනුව ගංගා හා ඒවායේ අතු ගංගා ආරක්‌ෂා කිරීම හා සංරක්‌ෂණය කිරීම සඳහා වූ වගකීම හිමි නෛතික භාරකරුවක්‌ තිදෙනකු පත් කිරීමට ද නියම කර ඇත. (මෙසේ භාරකරුවන් පත් කර ඇත්තේ එම ගංගා නිසි වයස්‌ සම්පූර්ණ නො වූ ළමයින් සේ නීතිය ඉදිරියේ දී සැලකීම නිසා බව එක්‌ වාර්තාවක දැක්‌වේ). ඉදිරි මාස තුනක්‌ ඇතුළත මේ නදී පිරිසිදු කිරීම හා නඩත්තු කටයුතු සිදු කිරීම සඳහා වූ කළමනාකරණ මණ්‌ඩලයක්‌ පත් කිරීමට ද නියම කර තිබේ.

ඉන්දියාවේ මේ ගංගා දෙක මුහුණ දී ඇති ගැටලුව නවසීලන්තයේ සිදු වූ සිදුවීම හා සමානු නො වූ අතර එය බරපතළ ගැටලුවක්‌ වූ බව ලෝකයට රහසක්‌ නො වේ. හින්දු ආගමිකයන් විසින් පූජනීය සේ සලකනු ලබන මේ ගංගා දෙකේ ජල දූෂණය වර්තමාන ඉන්දියාවේ සාකච්ඡා වන බරපතළ ගැටලුවකි. ඊට කාර්මික ජල දූෂණය මෙන්ම ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය නිසා සිදු වන ජල දූෂණය ද ඇතුළත් වේ. ඒ තත්ත්වය විසඳීම සඳහා ඉන්දියාව විශාල මුදලක්‌ වියදම් කරයි. මේ ගංගා දෙකේ දූෂණය වැළැක්‌වීම සඳහා විවිධ පිරිස්‌ අධිකරණ ක්‍රියාමාර්ගයවලට එළැඹ ඇති අතර උක්‌ත තීන්දුව ලබා දී ඇත්තේ ද එවැනි නඩුවක දී ය. මෙවැනි සංකීර්ණ ගැටලුවක්‌ උක්‌ත තීන්දුව මගින් විසඳාගත හැකි ද යන්න කාලය තීරණය කරනු ඇත.

ස්‌වාභාවික සම්පත් නෛතික පුද්ගලයන් සේ සැලකීම


එක්‌ සතියක්‌ ඇතුළත ලෝකයට නව්‍ය ආකාරයක නෛතික පුද්ගලභාවයක්‌ සහිත තිදෙනකු එක්‌ ව ඇත. ඒ ස්‌වාභාවික සම්පත් ය. මේ තිදෙනා ම ගංගා වේ. එය ස්‌වාභාවික සම්පත් හා මිනිසා අතර සිදු වන අන්තර්ක්‍රියාවේ නව මානයක්‌ වේ ද යන්න අද අප හමුවේ ඇති පැනයයි.

නෛතික පුද්ගලභාවයක්‌ සහිත වශයෙන් පුද්ගලයකු ලෙස සලකනු ලැබීම යනු ගංගාවක්‌ සම්බන්ධව වැදගත් කරුණක්‌ බව සැබෑවකි. ස්‌වාභාවික සම්පතකට නෛතික හිsමිකමක්‌ ලැබීම වැදගත් සන්ධිස්‌ථානයකි. මේ අනුව අදාළ සම්පතට ද එහි අයිතිය හා පැවැත්ම රැකගැනීම සඳහා අධිකරණයට යා හැකි ය. එසේ ම ගිවිසුම් ඇති කරගැනීමට ද හැකි ය. එහෙත් ඒ සම්බන්ධව තීරණය කරනු ලබන්නේ ද, ඒවා ක්‍රියාත්මක කරනු ලබන්නේ ද ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නා වූ භාරකාරයන් විසිනි. එනම් මිනිසුන් විසිනි.

කෙසේ වෙතත් මේ පිළිබඳ කරුණු ගැඹුරින් සලකා බලන විට ගංගාවලට අදාළ වන්නේ කුමන ආකාරයේ නීති ද, කුමන ආකාරයක තත්ත්වයන් ද, ඇති වන සංවිධාන ව්‍යqහය ආදිය තවමත් පැහැදිලි නැත. එසේ ම ඕනෑ ම නෛතික කටයුත්තක්‌ සඳහා නීතිය පිළිබඳ විශේෂඥ දැනුම, ඒ සඳහා අවශ්‍ය මුදල් ආදිය අවශ්‍ය වේ. එසේ ම ගංගා වෙනුවෙන් අවසානයේ දී ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීමේ දී ඇති වන බාහිර බලපෑම් ද නො සලකා හළ නොහැකි වනු ඇත. එබැවින් මෙහි දී ඇති වී තිබෙන්නේ අවසානයක්‌ නො ව, වඩා දීර්ඝ වූ නීතිමය ක්‍රියාවලියක ආරම්භයක්‌ පමණක්‌ විය හැකි බව මේ ගැන මූලික විශ්ලේෂණයක්‌ කරන Conversation.com වෙබ් අඩවියේ සටහනක්‌ තබන එරින් ඔ'ඩොනල් හා ජූලියා ටැල්බට්‌-ජෝන්ස්‌ ප්‍රකාශ කර තිබේ.

මේ කරුණු අනුව පැහැදිලි වන්නේ නෛතික අයිතියක්‌ ලැබීම වැදගත් සිදුවීමක්‌ බව සත්‍යයක්‌ වුවත් එසේ ලැබෙන අයිතිය භාවිත කරනු ලබන ආකාරය මත එහි ඵලදායිත්වය රඳා පවත්නා බව ය.

http://www.vidusara.com/2017/04/05/feature1.html

Sunday, April 2, 2017

නියැන්ඩර්තාල් මානවයාගේ ආහාරය හා හැසිරීම පිළිබඳ නව තොරතුරු

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 22.03.2017, පි. 5 (Vidusara)

Vidusara: Not available online


නියැන්ඩර්තාල් මානවයන් යනු වඳවී ගිය ආදි මානවයන් අතරින් නූතන මානවයා හට වඩාත් සමීපතම වූ මානවයා සේ සැලකෙන මානවයාය. අප මේ වන විට දන්නා කරුණු අනුය නියැන්ඩර්තාල් මානවයින් හා නූතන මානවයන් යුරේසියාව නමින් අද හඳුන්වනු ලබන ප‍්‍රදේශය ඇතුළත සමකාලීනව වාසය කළ අතර අතර, අන්තර් අභිජනනය කළ බවටද සාධක ඇත. නූතන මානවයාගේ ජෙනෝමයේ නියැන්ඩර්තාල් ජාන ඇති බව මේ වන විට අනාවරණය වී ඇති කරුණකි. හේතු කිහිපයක් නිසා නියැන්ඩර්තාල් මානවයින් වඳව ගියේ අදින් වසර 40,000කට පමණ පෙර බව සැලකේ.

කෙසේ වෙතත් මේ නියැන්ඩර්තාල් මානවයින්ගේ ආහාරය කෙබඳු ආකාරයක් ගත්තේද යන්න ගැන තරමක් මතභේද පවතී. ඇතැම් අධ්‍යයනවලින් පෙන්වාදී ඇති පරිදි මේ ආදි මානවයින් අධික ලෙස මාංශභක්ෂක වූ ආහාර රටාවක් පෙන්නුම් කර ඇත. එහෙත් තවත් අධ්‍යයනවලින් අනාවරණය කර ඇති ආකාරයට ඔවුන්ගේ ආහාර රටාව මගින් පෙන්වාදී ඇත්තේ එය ඔවුන් ජීවත් වූ ප‍්‍රදේශයේ ආහාර සුලභතාවය මත රඳා පැවතුණු කරුණක් වූ බවයි. ඔවුන් ශාකමය ආහාර ගත් බවද අනාවරණය වී තිබේ.

මේ අතර පසුගියදා ප‍්‍රකාශයට පත් වූ පර්යේෂණ වාර්තාවකින් නියැන්ඩර්තාල් මානවයින්ගේ ආහාරය පිළිබඳව හා ඔවුන් හා නූතන මිනිසුන් අතර තිබූ සම්බන්ධතා පිළිබඳව වැදගත් කරුණු රැුසක් පෙන්වාදී ඇත.

මේ අධ්‍යයනයේදී නියැන්ඩර්තාල් මානවයින්ගේ දත්වල ඝන වූ මැලියම් අතර තැන්පත්ව තිබූ ආහාර හා බැක්ටීරියා හඳුනාගැනීමක් සිදුකර තිබේ. දත්වල වීදුරුමස් හා දත අතර ප‍්‍රදේශයේ බැක්ටීරියා විශාල ප‍්‍රමාණයක් එ්කරාශීව සාදන ජෛව පටලයක් දත් මැලියම් (tooth plaque) නම් වන අතර, මෙය ඉවත් නොකළහොත් එය මත ඛනිජමය ද්‍රව්‍ය තැන්පත්වී කැල්කියුලස් (calculus) ලෙස හඳුන්වන ඝන ස්තරයක් බවට පත් වේ. අතීතයේ විසූ මානවයින්ගේ දත්වල මේ කැල්සනීභූත ස්තරයේ ඇති ද්‍රව්‍යවලින් DNA ලබාගැනීමට මේ කණ්ඩායමේ පර්යේෂකයන් අතරින් දෙදෙනකු මුලින්ම උත්සාහ කර ඇත්තේ මීට දශක දෙකකට පමණ පෙරදීය. එහෙත් එදා පැවති තාක්ෂණිය අනුව එම තැන්පතුවල තිබූ ක්ෂුද්‍රජීවීන් හෝ ආහාර හඳුනාගැනීම සඳහා ඔවුන්ට එදා හැකියාවක් ලැබුනේ නැත. කෙසේ වෙතත්, පැරණි DNA විශ්ලේෂණය කිරීමේ තාක්ෂණය දියුණු වීමත් සම`ග දත්වල මැලියම්වල ඇතුළත් ද්‍රව්‍යවල DNA විශ්ලේෂණය සඳහා අවස්ථාවක් ලැබී ඇත.

මෙහිදී අතීතයේ විසූ නියැන්ඩර්තාල් ආදි මානවයින් පස් දෙනෙකුගේ දන්ත මැලියම්වල අඩංගුද්‍රව්‍ය යොදාගනිමින් හා එ්වායේ ඇතුළත් ෘභ් පිළිබඳව සිදු කළ විශ්ලේෂණයකින් මේ අධ්‍යයනය සමන්විත වේ. ඉන් නිදර්ශක දෙකක් ස්පාඤ්ඤයේ එල් සිඞ්රොන් නම් ගුහාවකින් හමු වූ අදින් වසර 50,000ක් පමණ පැරණි ඒවාය. තවත් දෙකක් බෙල්ජියමේ ස්පයි ගුහාවෙන් හමු වූ වසර 42,000ක් පමණ කාලයක් පැරණි මානව අවශේෂ වේ. අනෙක ඉතාලියේ බ්‍රෙයුඉල් ගුහාවෙන් හමු වූ නිදර්ශකයකි. එසේම මෙහිදී අනාවරණය වූ දත්ත සමඟ වනගතව විසූ චිම්පන්සින්ගේ හා නූතන මිනිසුන්ගේ දත්වල තිබූ ද්‍රව්‍යවල

DNA සමඟ සංසන්දනය කිරීමක්ද සිදුකර ඇත. එහිදී පෙනී ගොස් ඇති ආකාරයට ඓතිහාසික චිම්පන්සින් හා මානවයින් සමඟ මේ නියැන්ඩර්තාල් දන්ත නිදර්ශකවල ක්ෂුද්‍රජීවී ගහනයේ විවිධත්වය සංසන්දනය කිරීමෙන් මේ පර්යේෂකයන්ට පෙනීගොස් ඇති වැදගත් කරුණක් වී ඇත්තේ, නියැන්ඩර්තාල් මානවයින්ගේ දත්වල ක්ෂුද්‍රජීවී ගහනය (microbiota) වඩා සමීප වන්නේ ඓතිහාසික චිම්පන්සින්ගේ ක්ෂුද්‍රජීවී ගහනයට බවයි.

ආහාර භාවිතය පිළිබඳ අනාවරණ

මෙහිදී අනාවරණය වූ කරුණු අනුව බෙල්ජියමේ හා ස්පාඤ්ඤයේ ගුහා දෙකෙන් හමු වූ නියැන්ඩර්තාල් මානවයින්ගේ ආහාර රටාව පිළිබඳ කැපී පෙනෙන වෙනස්කම් ඇති බව පෙනේ. එහිදී හෙළි වූ සාධකවලට අනුව, ස්පයි ගුහාවේ විසූ මානවයින් වූල් රයිනෝ (Ceratotherium simum) හා වල් බැලළුවන් (Ovis aries) වැනි මාංශභක්ෂක ආහාරවලට මුල්තැනක් දුන් බව පෙනී ගොස් ඇත. එසේම එහි තිබී හමු වූ සත්ත්ව අස්ථි ශේෂ අනුව වෙනත් සතුන්ද ආහාරයට ගත් බව පැහැදිලිය. නමුත් ස්පාඤ්ඤයේ විසූ නියැන්ඩර්තාල් මානවයින් පිළිබඳ කළ අධ්‍යයනයවලින් හෙළි වී ඇත්තේ ඔවුන් ප‍්‍රධන වශයෙව් ශාකමය ආහාරවේලක් ලබාගත් බවයි. මේ ස්ථාන දෙකේම විසූවන් හතු වර්ග ආහාරයට ගත් බව ප‍්‍රවේණික ද්‍රව්‍ය මගින් අනාවරණය වී තිබේ.
ස්පාඤ්ඤයේ එල් සිඞ්රොන් ගහාවෙන් ලැබුණු සාධක අනුව එම මානවයින් හතු වර්ග (Schizophyllum commune), කැළෑ පාසි වර්ග (Physcomitrella patens) හා පයින් ශාකයේ (Pinus koraiensis) ගෙඩි වැනි ද්‍රව්‍ය ආහාරයට ගෙන ඇති බව පෙනී ගොස් ඇත.

මේ අනුව නියැන්ඩර්තාල් මානවයින් තම ආහාරය සඳහා තමන් වාසය කළ ප‍්‍රදේශයේ දැකිය හැකි වූ ආහාර වර්ග මත පදනම් වූ බවට පැහැදිලි සාධක මෙම පර්යේෂණය මගින් ලැබී ඇති බව පැහැදිලිය. එනම් ඔවුන් අදාළ ප‍්‍රදේශවල ආහාර සුලභතාවය අනුව බහුවිධ යැපුම් උපායමාර්ග අනුගමනය කර ඇති බවද පැහැදිලිය. මේ බව තහවුරු කිරීම සඳහා වැඩිදුර ප‍්‍රවේශයක් අවශ්‍ය බව මේ පර්යේෂකයන් විසින් පෙන්වාදී තිබේ.
කෙසේ වෙතත් ආහාර පිළිබඳව මේ පර්යේෂණයෙන් අනාවරණය වූ කරුණුවල සත්‍යතාවය සම්බන්ධව ඇතැම් විiාඥයන් සැක මතුකර ඇති බව මේ පිළිබඳව ඉදිරිපත්ව ඇති අදහස් අනුව පෙනේ. එවැනි එක් අදහසකට අනුව අද වන විට වඳවී ගොස් ඇති එහෙත් අතීතටේ නියැන්ඩර්තාල් මානවයින් විසින් ආහාරයට ගත් ශාක හා සතුන්ගේ DNA දත්ත වර්තමාන විද්‍යාඥයන් සතුව ඇති ශාක හා සත්ත්ව හා ශාක DNA දත්ත සමුදායවල ඇතුළත් නොවිය හැකිය.

ඖෂධ භාවිතය පිළිබඳ සාධක

එල් සිඞ්රොන් ගුහාවේ එක් මානවයකුගේ දත්වල තිබී පොප්ලර් ශාක (Populus trichocarpa) ශේෂ හා Zymoseptoria tritici, Phaeosphaeria nodorum, Penicillium rubens, හා Myceliophthora thermo-phila වැනි දිලීර පළිබෝධ සහිත ආහාර ගත් බවට සාධක හමුවීහ විශේෂත්වයක් ගනියි. එය තම ආබාධ සඳහා ඔසුවක් ලෙස භාවිත කර ඇති බවට සාධකයක් ලෙස මේ පර්යේෂකයින් විසින් පෙන්වාදී තිබේ. මීට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ පොප්ලර් ශාක කොටස් හා පෙනිසිලින් පුස්වල DNA මේ මානවයින්ගේ දත්වලින් හමුවීමයි.

පොප්ලර් ශාකයේ ඇතැම් කොටස්වල ස්වාභාවික වේදනා නාශකයක් වන සැලිසිලික් අම්ලය ඇතුළත් වේ. එය වේදනා නාශකයක් ලෙස යොදාගන්නා ඇස්පිරින් වල ඇතුළත් ප‍්‍රධාන සංඝටකය වන අතර එම අවශ්‍යතාවය සඳහා මිනිසුන් විසින් ඓතිහාසික වශයෙන් භාවිතයට ගෙන තිබේ. එය මුඛයේ ඇති වූ ගෙඩියක් සඳහා වේදනා නාශකයක් ලෙස එම මානවයින් විසින් යොදාගන්නා ලද බවක් මේ පර්යේෂකයන් විසින් යෝජනාව කර ඇත. එසේම පෙනිසිලින් පුස් යනු පෙන්සිලින් සඳහා වූ මූලාශ‍්‍රයයි. මේ පර්යේෂකයක් විශ්වාස කරන්නේ ආහාර මාර්ගයේ Enterocytozoon bieneusi නම් මිනිසුන්ට පාචනය ඇතිකරන බැක්ටීරියා ආසාදනයක් සඳහා ප‍්‍රතිකාර ලෙස පෙනිසිලින් ඇතුළත් පුස් සහිත ආහාන ඇතැම් විට යොදාගන්නට ඇති බවයි. අදාළ බැක්ටීරියාව පිළිබඳ සාධකද හමුව තිබීම සේ සඳහා වැඩිදුර තහවුරු කිරීමකි.

මේ ආකාරයෙන් ස්වයං-ප‍්‍රතිකාර කිරීම්වල නියැන්ඩර්තාල් ආදි මානවයින් යෙදුනේ නම් එය වැදගත් සොයාගැනීමක් බව පැහැදිලිය. එසේම පෙන්සිලින් වැනි ද්‍රව්‍යයක් ඔසුවක් ලෙස භාවිත කළේ නම් එය සිදුව ඇත්තේ නූතන මානවයින් විසින් එ් පිළිබඳව විසිවැනි සියවසේදී අනාවරණය කරගැනීමට හතළිස් දහසකට හෝ පණස් දහසකට පමණ පෙර වීම සුවිශේෂ සිදුවීමකි.

නූතන මානවයා සමඟ වූ සම්බන්ධතා

වඳවී ගොස් ඇති නියැන්ඩර්තාල් මානවයින් හා නූතන මානවයින් අතර තිබූ සමීප සම්බන්ධතා ගැනද මෙහිදී කරුණු අනාවරණය වී ඇත. නිදසුනක් ලෙස ගතහොත්, නියැන්ඩර්තාල් මානවයින්ගේ මුඛයේ දැකිය හැකි වූ ක්ෂුද්‍රජීවීන් නූතන මානවයින්ගේ මුඛය තුළ දැකිය හැක්කේ ඉතා දුර්ලභවය.

මෙම පර්යේෂණයේදී නූතන මානවයින් හා නියැන්ඩර්තාල් මානවයින් අතර ඇති සම්බන්ධව ගැන කරුණු අනාවරණය කරගැනීමට උපකාරී වූ එවැනි එක් ක්ෂුද්‍රජීවීයකු වන්නේ Methanobrevibacter oralis නම් ජීවියාය. මෙම ජීවියා නූතන මානවයාගේ මුඛයේද හමුවන අතර, නියැන්ඩර්තාල් මානවයින්ගේ දත් විශ්ලේෂණයෙන්ද හමු වී ඇත. එහෙත් මේ ක්ෂුද්‍රජීවීන්ගේ ජෙනෝම විශ්ලේෂණයෙන් පෙනී ගොස් ඇති ආකාරයට එහි නූතන මානවයා තුළ හමුවන දර්ශය හා නියැන්ඩර්තාල් මානවයින් අතර හමුවන දර්ශය ප‍්‍රවේණිකව වෙන් වී ඇත්තේ අදින් වසර 112,000ත් 143,000ත් අතර කාලයකට පමණ කාලයකට පෙරදී බව පෙනී ගොස් ඇත. එම වෙන්වීම සිදුව ඇත්තේ නියැන්ඩර්තාල් මානවයාගේ හා නූතන මානවයාගේ පොදු පූර්වජයා වෙන්වීමෙන් වසර දහස් ගණනාවකට පසුවය.

එ් අනුව මේ බැක්ටීරියාව නියැන්ඩර්තාල් මානවයා හා නූතන මානවයා අතර හුවමාරු වී ඇති බව උක්ත විiාඥයන්ගේ අදහසයි. මේ විශේෂ දෙක අතර එම සම්බන්ධතාවය ඇති වූයේ මෑත පෙරදිග ප‍්‍රදේශවලදී බව සැක කෙරේ. මේ සමීප සම්බන්ධතාව අවම වශයෙන් සිපගැනීමකට හෝ ආහාර හුවමාරු කරගැනීමක් හෝ විය හැකිය. මේ අනුව මේ මානව විශේෂ දෙක අතර අන්තර්-සම්බන්ධතා මෙතෙක් සිතුවාට වඩා සුහද වූ ඒවා විය හැකි බවද මේ පර්යේෂකයන්ගේ අදහස වේ. කෙසේ වෙතත් මේ විශේෂ දෙක අතර අභිජනනයක් සිදුව ඇති බව ප‍්‍රවේණික ද්‍රව්‍ය පිළිබඳ පර්යේෂණ අනුව පැහැදිලිය.

(මූලාශ්‍රය - Nature, DOI: 10.1038/nature21674)