Friday, November 22, 2024

මල්ටි බන් යනු මොනවාද?

මල්ටි බන් කතා - 01

හයිලෙවල් පාර පැත්තෙන් යන එන දවසට දෙල්කඳ හන්දියෙ බේකරි කඩේකින් මේ ජාතියෙ බනිස් එකක් කාල තේ එකක් බොන එක පුරුද්දක් වෙලා. දැන් නං සතියට දවස් දෙක තුනයි... ඒ බොහෝ විට උදේ, ඉදහිට හවස.



ඉතින් ඒ කඩේ ඉන්න මිනිත්තු පහට දහයට එක එක කතා අහන්න ලැබෙනව. ඒ හන්දියෙත් දන්න කියන අය ඉන්නව. ඒ නැතත් විවිධ දේ අහන්න දකින්න ලැබෙනව. ඉතින්, අද ඉදල ඒ වගේ කතාත් මෙතන ලියවෙයි - "මල්ටි (බන්) කතා"...
අද ලියන්නම් මේ බන් එක ගැන... මොනවද මේ මල්ටි බන් කියන්නේ?
මේකට විවිධ නම් කියනවා. 'මල්ටි බන්', 'ඩොට් බන්' වගේම 'ජෑම් බන්'. ජෑම් බන් කියන එක පැහැදිලියි නේ (මේක ජෑම් පාන් එකෙන් වෙනස්). ඩොට් බන් කියන්නෙ ජෑම් ටික ඩොට් එකක් විදියට තියන නිසානේ. මල්ටි බන් කියන්නෙ ජෑම් වගේම බනිස් මතුපිට තියන දේ නිසා - ඒ කේක් කැබලි බවයි මම අහලා තියෙන්නෙ.
හිතවත් විරාජ් නානායක්කාර ෆේස් බුක් එකේ කීව විදියට මේවට ගාල්ලෙ දි 'ගැට බනිස්' කියලයි කියන්නේ. ඒ මතුපිට ඇති ගැට සහිත ගතිය නිසා.
මල්ටි බන් කීවම ඒකෙ අදහස අනුව එකකට වැඩි දෙයක් තියන ඕනම බන් එකක් අයිතියිනේ. Multi seeded bun, multi grain bun කියල, මතුපිට තල වගේ ධාන්‍ය දමපු බනිසුත් තියනව.
ඔය නම් සමහර ඒව සමහර පැතිවල භාවිත වන්නෙ නෑ. කොළඹ නගරය ඇතුළෙ උනත් ඒක එහෙමයි.

ධනේෂ් විසුම්පෙරුම

2024-11-22

No comments:

Post a Comment