Monday, August 31, 2020

ගොඩනැගිලිවල කාලය තීරණය සඳහා ඓතිහාසික වාර්තා යොදාගැනීම

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.08.05, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2020/08/05/feature2.html


පැරණි ගොඩනැගිලි ඉදිකරන ලද දින වකවානුව තීරණය කිරීමේදී පුරාවිද්‍යාත්මක සාධක යොදාගැනීම ඉතා සාමාන්‍ය දෙයකි. විශේෂයෙන් පැරණි ගොඩනැගිලි සම්බන්ධව ප්‍රාමාණික ඓතිහාසික වාර්තා නොමැති තත්ත්වයක දී මේ ආකාරයට කටයුතු කිරීම සාර්ථක ක්‍රමවේදයකි. ඒ සඳහා අදාළ ගොඩනැගිල්ලේ වාස්තුවිද්‍යාත්මක ලක්ෂණ, එතැනින් හමුවන සෙල්ලිපි මෙන්ම වෙනත් පුරාවස්තු ආදිය ද යොදා ගත හැකිය. ගඩොල්වල ප්‍රමාණය, අලංකරණ මෝස්තර, ගල් කණු ආදියේ ඇති සලකුණු ආදිය ද මේ සඳහා යොදාගත හැකිය. මෙවැනි උපක්‍රම යොදාගෙන ලංකාවේ බොහෝ පැරණි ගොඩනැගිලි සඳහා සාර්ථක ලෙස දින නියම කර ඇත.
 
කෙසේ වෙතත් මෙහිදී ගැටලු ඇති වන කරුණු කීපයක් හඳුනාගැනීමට හැකියාව තිබේ. ඉන් එකක් වන්නේ කලින් කලට ප්‍රතිසංස්කරණය කර ඇති ගොඩනැගිලි හා වෙනත් ඉදිකිරීම්වල එවැනි අවස්ථා ගැන කාලය තීරණය කිරීමේදීය. මෙරට හමු වී ඇති බොහෝ ස්තූප සජීවී ආගමික ස්ථාන බැවින් ඒවා වරින්වර ප්‍රතිසංස්කරණය කර ඇත. එහෙත් ඓතිහාසික වාර්තාවල සඳහන් වන්නේ ප්‍රධාන පෙළේ ස්තූප හා ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණ සම්බන්ධව පමණි. නිදසුනක් ලෙස මහියංගනය ස්තූපය හා ලෝවාමහාපාය වැනි ස්ථාන දැක්විය හැකිය. එහෙත් රටේ බොහෝ ප්‍රදේශවල දැකිය හැකි වෙනත් ස්තූප රැසක ද මෙවැනි ප්‍රතිසංස්කරණ සිදුව ඇති අතර ඒ ගැන පුරාවිද්‍යාත්මක සාධක ද දැකිය හැකිය. මේ සමඟ ඇති ඡායාරූපයක දැක්වෙන අනුරාධපුරයේ, කටියාවේ පිහිටා ඇති නාවාගල ස්තූපය එවැන්නකි. එහි අවසන් ඉදිකිරීමේ පේසා වලලුවලට ඇතුළතින් පැරණි ඉදිකිරීමක පේසා වලලු පෙනේ. ස්තූප ප්‍රතිසංස්කරණය කිරීමේදී මේ ආකාරයෙන් කොටසක් නිරාවරණය කර තැබීම අධ්‍යාපනික වශයෙන් ඉතා වැදගත්ය.



නාවාගල ස්තූපයේ පැරණි ඉදිකිරීම් පෙනෙන ආකාරය


මෑතකාලීන ස්මාරක සඳහා වාර්තා වැදගත්ය


සමහර ස්මාරක ආදියේ අතීතය සම්බන්ධව නොදැනීම නිසා විවිධ ආකාරයේ පසුබිම් කතා ඇති වේ. ඒවා සමහරක් පදනමක් නොමැති ඒවාය. එවැනි කතා ඇති වන ස්ථානවල සැබෑ ඉතිහාසය ගොඩනැගීමට මෙවැනි සමකාලීන වාර්තා වැදගත් වෙයි. 

ඈත අතීතයේ කෙසේ වුවද පසුගිය සියවස් කිහිපයක කාලය තුළ ඉදිකරන ලද ගොඩනැගිලිවල කාලය තීරණය කිරීම සඳහා යොදාගත හැකි ප්‍රමාණවත් ලිඛිත සාධක පවතී. විශේෂයෙන් සමකාලීන වාර්තා, සිතියම්, චාරිකා සටහන් ආදි ප්‍රාථමික මෙන්ම සමකාලීන ද්විතීයික මූලාශ්‍රයද තිබෙයි. එබැවින් ඒවා ඉදිකරන ලද කාලය තීරණය කිරීමේ දී එවැනි සාධක යොදාගැනීමට හැකිය.

මේවා වැදගත් වන අවස්ථා දෙකක් සම්බන්ධව අපට මෙහිදී සඳහන් කළ හැකිය. ඉන් එකක් වන්නේ පැරණි වාස්තුවිද්‍යාත්මක මෝස්තරයකට පසුකාලීනව ගොඩනැගිලි තැනූ අවස්ථාවලදීය. අනෙක් අවස්ථාව වන්නේ එකම මෝස්තරයට එකම ස්ථානයේ ගොඩනැගිලි කීපයක් විවිධ කාලවලදී තනා ඇති අවස්ථාවලදීය.


පැරණි මෝස්තර අනුව කළ පසුකාලීන ඉදිකිරීම්


පැරණි යුගයක වාස්තු විද්‍යාත්මක ලක්ෂණ සහිතව පසුකාලයක දී කරන නිර්මාණවලට දින නියම කිරීමේ දී ඒ පිළිබඳ වාර්තා නොමැති වීමෙන් නොමග යෑමට හැකිය. මෙවැනි අවස්ථාවල දී වාස්තුවිද්‍යාත්මක දත්ත මත තීරණ ගැනීමට නොහැකි වන්නේ ඒ ගොඩනැගිල්ලේ වාස්තු විද්‍යාත්මක ලක්ෂණ පෙර කාලයකට අයත් වුවත්, නිර්මාණය පසු කාලයකට අයත් වන නිසාය. ඒ සඳහා ඓතිහාසික වාර්තා ප්‍රයෝජනවත් වේ. මෙවැනි ඉදිකිරීම් ගණනාවක්ම අපේ රටේ පවතී. 

මෙවැනි ඉදිකිරීමක් සඳහා වන හොඳම නිදසුනක් වන්නේ රුවන්වැල්ල පැරණි බලකොටුව අසල මාර්ගය අසලම ඇති අම්බලමයි. එහි දැකිය හැකි කණු හා වහල උඩරට (මහනුවර) සම්ප්‍රදායට අයත්ය. ඒවා බෙහෙවින් උසස් මට්ටමේ නිර්මාණ ලෙස හැඳින්විය හැකිය. එහෙත් මෙය ඉදිකිරීම සම්බන්ධව ප්‍රමාණවත් වාර්තා ඇති බැවින් ද, ඒ ගැන සඳහන් ශිලාලේඛනයක් ඇති බැවින් ද එය ඉදිකර ඇත්තේ 1900 දශකයේ දී බව අපි දනිමු. (පසුකාලීනව මේ ගොඩනැගිල්ලේ බිත්ති බැඳ තිබූ අතර වාර්තා වන පරිදි මෑත දී ඒවා ඉවත් කර මුල් පෙනුම ලබා දී ඇති බව වාර්තා වෙයි.) උඩරට සම්ප්‍රදායකට අයත් වූ වාස්තු විද්‍යාත්මක ලක්ෂණ සහිතව බ්‍රිතාන්‍ය යුගයේදී ඉදිකරන ලද මෙවැනි අම්බලම් කීපයක් රටේ විවිධ ස්ථානවල පවතී.



රුවන්වැල්ලේ අම්බලම බිත්ති සහිතව (2016)


පසුගියදා කොටසක් කඩා දමන ලද කුරුණෑගල ගොඩනැගිල්ල පිළිබඳ සිදුවීම ද මෙවැනි සිදුවීමක් බව සාධක අනුව පෙනේ. එම ගොඩනැගිල්ල පිහිටා ඇති ස්ථානය ද ඇතුළත් භූමිභාගයේ 1878 වර්ෂය වන විට සරඹ පිටියක් පැවති බව සිතියම් අනුව පෙනෙයි. එය 1878 වර්ෂයට පෙර එම ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ ස්ථිර ඉදිකිරීමක් නොතිබූ බවට සාධකයකි. 1887 වර්ෂයේදී ඒ ස්ථානයේ වික්ටෝරියා රැජිනගේ ජුබිලි මංගල්‍යයක් වෙනුවෙන් ‘ජුබිලි අම්බලමක්’ ඉදි කළ අතර, භාවිතයට නොගත් බැවින් පසුව එම අම්බලම කඩා දමා 1893-94 කාලයේ දී එතැන නගරශාලාවක් ඉදි කරන ලද බවට ලිඛිත සාධක පවතී. එම අම්බලමේ තිබූ මහනුවර සම්ප්‍රදායේ දැව කුළුණු ද භාවිත කර නගර ශාලාව තනා ඇත. ඒ අනුව මෑතකදී කොටසක් කඩා දමන ලද ගොඩනැගිල්ල එම නගරශාලාවේ යම් යම් වෙනස්කම් කිරීමෙන් පසුව නවීකරණය කළ ගොඩනැගිල්ලක් බව නිගමනය කිරීම සාධාරණය. මහනුවර සම්ප්‍රදායේ ලක්ෂණ සහිත ‘මුලාදෑනි නවාතැනක්’ හෙවත් ‘ස්වදේශික අම්බලමක්’ 1903-04 අතර කාලයේදී කුරුණෑගල නගරයේ තනනු ලබන්නේ නගරයට පැමිණෙන දේශීය නිලධාරින්ගේ භාවිතයටය.


එකම මෝස්තරයට විවිධ කාලවල කළ ඉදිකිරීම්


මෙවැනි තවත් අපූරු අවස්ථාවක් වන්නේ එකම ගොඩනැගිලි සංකීර්ණයක, එකම වාස්තුවිද්‍යාත්මක මෝසතරයට තනා ඇති ගොඩනැගිලි විවිධ කාලවකවානුවලදී ගොඩනගා තිබීමය. මෙය අදාළ ගොඩනැගිලි සංකීර්ණයේ අලංකාරිත්වයට හේතුවක් වෙයි. කොළඹ ජාතික කෞතුකාගාර ගොඩනැගිලි සංකීර්ණය මේ සඳහා හොඳම නිදසුනක් ලෙස දැක්විය හැකිය.



කොළඹ ජාතික කෞතුකාගාරයේ මුල් ගොඩනැගිල්ල (1896 පමණ) (අන්තර්ජාලයෙනි)

කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්‍රධාන ගොඩනැගිලි ත්‍රිත්වය හා ශ්‍රවනාගාරය සහිත ගොඩනැගිල්ල වාස්තු විද්‍යාත්මකව ගත් විය එකම මෝස්තරයකට අයත් වෙයි. එහෙත් මේවා කාලවකවානු හතරකදී ඉදිකරන ලද්දේ වෙයි. කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්‍රධාන ගොඩනැගිල්ලේ වැඩ අවසන් කරන ලද්දේ 1876 වර්ෂයේදී ය. ඉතාලියානු ගෘහනිර්මාණ මෝස්තරයට සැලසුම් කරන ලද එහි සැලසුම ජේම්ස් ජී. ස්මිදර්‌ගේය. එම කොටස විවෘත කරන ලද්දේ 1877 වසරේදීය. එයට අයත් වන්නේ ඉදිරියෙන් ඇති මහා මාර්ගයට සමාන්තරව ඇති ගොඩනැගිල්ල පමණි. (මෙහි සඳහන් ඡායාරූපය 1908ට පෙර ගන්නා ලද්දකි). එයට වාස්තු විද්‍යාත්මකව සමාන වුවත් ඊට දෙපසින් ඇති ගොඩනැගිලි ඉදිකර ඇත්තේ පසුකාලයකදීය. වර්තමානයේ ජාතික කෞතුකාගාර පුස්තකාලය පිහිටා ඇති කොටස ඉදිකරන ලද්දේ 1907-1910 අතර කාලයේදීය. ඒ සඳහා ඇස්තමේන්තු ගත කර ඇති මුදල රු. 120,500ක් වූ අතර ඊට අඩුවෙන් මේ කාර්යය අවසන් කර ඇත. මේ කොටසේ පළමු මහජන රැස්වීම පවත්වා ඇත්තේ 1909 වර්ෂයේ මැයි මස 13 වන දාය. එසේම ජාතික කෞතුකාගාරයේ බටහිර අංශය ලෙස හඳුන්වනු ලබන කොටස 1927-1930 අතර කාලයේදී ඉදිකරන ලදි. තවත් කොටස් දෙකක් 1962 දී හා 1973 වර්ෂයේදී අවසන් කර ඇත. එසේම කෞතුකාගාර ශ්‍රවණාගාරය පිහිටා ඇති ගොඩනැගිල්ල ඉදිකරන ලද්දේ 1990 දශකයේදී පමණය. මේ අනුව වාස්තුවිද්‍යාත්මක මෝස්තරය එකම වුවත් ඇතැම් ගොඩනැගිලි ඉදි කළ කාලවකවානු වෙනස් වීමට ඉඩ ඇති බව පැහැදිලිය. එවැනි අවස්ථාවල වාර්තාවල වැදගත්කම ඉහළය.

මේ කරුණු අනුව පෙනී යන්නේ සමහර ගොඩනැගිලිවල කාලය තීරණය කිරීමේදී සැලකිය යුතු කරුණු ගණනාවක් ඇති බවයි. වාස්තුවිද්‍යාත්මක ලක්ෂණ මගින් එය සිදු කළ හැකි වුවත්, එය අපහසු වන අවස්ථා පවතී. එවැනි අවස්ථාවලදී ඓතිහාසික වාර්තාවල ඇති වටිනාගම ඉහත දැක්වූ නිදසුන් අනුව පෙනෙයි. මෙමගින් පෙනන්නේ බහුවිධ මූලාශ්‍රය භාවිත කිරීමේ ඇති වැදගත්කමයි.


ඡායාරූප - බන්දුල සිසිර කුමාර හා දිනිත් ඉන්දික හෑගොඩ

Saturday, August 1, 2020

කුරුණෑගල නගරයේ කඩා දමන ලද ගොඩනැගිල්ල හඳුනාගැනීම

ධනේෂ් විසුම්පෙරුම



සාරාංශය

වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ, කුරුණෑගල නගරයේ පිහිටා ඇති හා 2020 ජුලි මස දී කොටසක් කඩා දමන ලද ගොඩනැගිල්ල කුමක්ද යන්න හා එහි ඉතිහාසය පිළිබඳව සමකාලීන ඓතිහාසික සාධක මගින් හඳුනාගැනීම සඳහා මෙම ලිපියෙන් උත්සාහ කර තිබේ. ඒ අනුව බ්‍රිතාන්‍ය යුගයේ මෙරට සේවය කළ නිලධාරින්ගේ රාජකාරි ලිපි, දිනපොත් සටහන්, සිතියම් හා සැලසුම් රජයේ ආයතනවලින් සම්පාදනය කර ඇති ඒ ආයතනවල වාර්ෂික පාලන වාර්තා හා සඟරා ලිපි වැනි ලේඛන මේ සඳහා යොදාගෙන ඇත.

ඒ අනුව, මෑත දී කොටසක් කඩා දමන ලද ගොඩනැගිල්ල පිහිටා ඇති ස්ථානය ද ඇතුළත් භූමිභාගයේ 1878 වර්ෂය වන විට සරඹ පිටියක් පැවති බව හා 1878 වර්ෂයට පෙර එම ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ ස්ථිර ඉදිකිරීමක් නොතිබූ බව මූලිකව නිගමනය කළ හැකිය. 1887 වර්ෂයේදී ඒ ස්ථානයේ මුලින්ම ජුබිලි අම්බලමක් ඉදි කළ අතර, පසුව එම අම්බලම කඩා දමා, එහි තිබූ මහනුවර සම්ප්‍රදායේ දැව කුළුණු ද භාවිත කර 1893-94 කාලයේ දී එතැන නගරශාලාවක් ඉදි කරන ලද බවට පැහැදිලි සාධක තිබේ. අප මාතෘකා කරගත් මෑත දී කඩා දැමුණු ගොඩනැගිල්ල එම නගර ශාලාවට යම් යම් වෙනස්කම් කිරීමෙන් පසුව නවීකරණය කළ ගොඩනැගිල්ලක් බව නිගමනය කිරීම සාධාරණ වේ.

වඩා පැරණි යුගයකට අයත් වාස්තු විද්‍යාත්මක මෝස්තරයකට අනුව හෝ එවැනි අංග යොදාගනිමින් හෝ පසු කාලයක ගොඩනැගිලි නිර්මාණය කළ අවස්ථාවකට සුවිශේෂී නිදසුනක් වන මෙම ගොඩනැගිල්ල ස්වදේශික ගෘහනිර්මාණශිල්පය බ්‍රිතාන්‍ය නිලධාරීන්ගේ අවධානයට ලක්ව ඇති ආකාරයටද නිදසුනකි. එබැවින් මෙම ගොඩනැගිල්ල සංරක්ෂණය කිරීම මෙන්ම පුරාවිද්‍යා පනත යට‌තේ ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම අත්‍යාවශ්‍යය.
 

අරමුණ


මෙම ලිපියේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ, කුරුණෑගල නගරයේ පිහිටා ඇති හා 2020 ජුලි මස දී කොටසක් කඩා දමන ලද ගොඩනැගිල්ල කුමක්ද යන්න හා එහි ඉතිහාසය පිළිබඳව ඓතිහාසික ලිඛිත සාධක මගින් හඳුනාගැනීම සඳහා උත්සාහ කිරීමයි.


පිහිටීම


කොටසක් කඩා දමන ලද ‌ගොඩනැගිල්ල මීට වසර කීපයකට පෙර දිස්වූ ස්වභාවය Google Street View ඡායාරූපයක් වන 1 රූපයෙන් දැක්වේ. එය පිහිටා ඇත්තේ දඹුළු පාර (A 6) හා දොස්තර ද සිල්වා මාවත යන මාර්ග දෙකට මැදිව දළ වශයෙන් ත්‍රිකෝණාකාර වූ භුමියකය. මේ භූමියට පිටුපසින් තාප්පයකින් වෙන්ව පිහිටා ඇත්තේ ඉඩම් සහ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලයයි. ඊටත් පසුපසින් පිහිටා ඇති අද වන විට හිස් භූමියක් ලෙස පිහිටා ඇති භූමි කොටස ද ඇතුළත් විශාල ත්‍රිකෝණාකාර භූමිය දඹුළු පාර (A 6), දොස්තර සිල්වා මාවත (ලේන්) හා මහ වීදිය (Main Street) යන මාර්ගවලින් වට වී ඇති භූමියකි (2 රූපය). මෙම ස්ථානයේ 2006 හා 2020 ගන්නා ලද Google Earth ඡායාරූප දෙකක් 3 රූපයෙන් දැක්වේ. 



මේ කොටසක් කඩා දමා ඇති ගොඩනැගිල්ල කුමක්ද යන්න සම්බන්ධව විවිධ පාර්ශ්ව ප්‍රකාශ කර ඇති මත කීපයක් හඳුනා ගත හැකිය. ඒ අතර (අ). බුවනෙකබාහු රජුගේ රාජසභාව, (ආ). කච්චේරි ගොඩනැගිල්ල, (ඇ). පැරණි උසාවි සංකීර්ණය හා (ඈ). මහනුවර යුගයේ ගොඩනගන ලද ගොඩනැගිල්ලක්ය යන අදහස් මූලික වේ. මේ අදහස් පිළිබඳ විමසුමක් මෙම ලිපියේ සාකච්ඡාව යටතේ දක්වා ඇත. 


ක්‍රමවේදය


මේ පිළිබඳව සිදු කළ අධ්‍යයනයේදී දී අදාළ ස්ථානය කුමක්ද යන්න නිරීක්ෂණය කරන ලදි. ඉන් පසුව මේ පිළිබඳව ඇති ඓතිහාසික වාර්තා යොදාගනිමින් මෙම ගොඩනැගිල්ල කුමක්ද යන්න හඳුනා ගැනීමට උත්සාහ කිරීමට යෙදුණි. එහි දී යොදාගෙන ඇති සමකාලීන ලේඛන අතර, බ්‍රිතාන්‍ය යුගයේ මෙරට සේවය කළ නිලධාරින්ගේ රාජකාරි ලිපි, දිනපොත් සටහන්, සිතියම් හා සැලසුම් වැනි ප්‍රාථමික මූලාශ්‍රය ඇතුළත් වේ. එමෙන්ම එම නිලධාරින් විසින් සම්පාදනය කර ඇති, විවිධ ආයතනවල වාර්ෂික වාර්තා හා සඟරා ලිපි වැනි ලේඛන ද යොදාගෙන ඇත. ඒවා වැඩි ප්‍රමාණයක් ද සමකාලීන ලේඛන වෙයි. 


ප්‍රතිඵල 


(i) මේ භූමියේ අතීත භාවිතය හඳුනාගැනීම 

අතීතයේ මේ ස්ථානයේ පිහිටා තිබූයේ කුමක්ද යන්න හඳුනාගැනීමට මුලින්ම උත්සාහ කරන ලදි. එහිදී පෙනී ගොස් ඇති ආකාරයට 1878 වර්ෂය වන විට හෝ ඊට පෙර මේ භූමිය සරඹ භූමියක් ලෙස භාවිත වී ඇති බව පෙනෙයි. ඒ 1878 වර්ෂයේදී සකස් කර ඇති සිතියමක මෙම භූමිය Parade Ground ලෙස සඳහන් කර ඇති බැවිනි (4 රූපය) (1). එම සිතියමට අනුව මේ භූමියේ ඇති එකම ඉදිකිරීම බටහිර දිශාවේ කෙලවරට වන්නට පිහිටා ඇති ඉදිකිරීමකි. 


1883 වර්ෂයේ මැයි මස 16 වැනි දින දිසාපති මෙන්ම ලෝකල් බෝඩ් සභාපතිවරයා විසින් මේ භූමිය ලෝකල් බෝඩ් වෙත ලිඛිතව පවරාදී ඇත. (Local Board යනු 19-20 සියවස්වල මෙරට ප්‍රධාන නගරවල කටයුතු සඳහා පිහිටුවා තිබූ සභා වර්ගයකි. ඒ නගරසභා ඇතිකිරීමට පෙරය. මෙහි ප්‍රධානියා දිසාපති හෝ උපදිසාපතිය) එම ලේඛනයේ දී ද මේ භූමිය හඳුන්වා දී ඇත්තේ Parade Ground ලෙසය. මේ බව 1903.09.19 දින යටත්විජිත ලේකම් නැත වෙත යවන ලද ලිපියක සඳහන් වේ (2). එම ලිපියට අමුණා ඇති සැලසුමක (5 රූපය) දැක්වෙන පරිදි, වර්තමානයේ දොස්තර ද සිල්වා මාවත එකල හඳුන්වා ඇත්තේ පැරේඩ් ස්ට්‍රීට් (Parade Street) යනුවෙනි. එම පිටිය හමුදා හෝ පාසල් ළමුන් අතර භාවිත වූ බව සිතිය හැකිය. එවැනි පිටියක් ලෙස භාවිත වූ භූමියක පොළොව මතුපිට පැරණි ඉදිකිරීම් නොතිබීමට වැඩි අවස්ථාවක් පවතී. 


ඒ අනුව මේ භූමි භාගයේ යම් යම් ඉදිකිරීම සිදුකිරීම ආරම්භ වී ඇත්තේ මේ කාලයන් පසුව විය යුතුය. මේ මාතෘකාවේදී වැදගත්වන ඉදිකිරීම පිළිබඳ සාධක ලැබෙන්නේ 1880 දශකයේ මැද භාගයේ සිටය. 

(ii) කඩා දැමූ ගොඩනැගිල්ල හඳුනාගැනීම 

මේ වාර්තා අනුව පෙනෙන්නේ මෑත දී කොටසක් කඩා දැමූ ගොඩනැගිල්ල 1887 දී පමණ ඉදි කළ ජුබිලි අම්බලමෙහි කොටස් භාවිත කරමින් 1894 දී පමණ තනන ලද නගර ශාලාව වීමට වැඩි අවස්ථාවක් ඇති බවයි. නගර ශාලාව පසුකලක වෙනස්කම් සිදුකර වෙනත් කාර්යයන් සඳහා යොදාගත් බව ද පැහැදිලිය. 

දොස්තර ද සිල්වා මාවත (එකල පැරේඩ් වීදිය) හා දඹුළු පාර අතර භූමියේ ජුබිලි අම්බලමක් තනන ලද්දේ 1887 වර්ෂයේදී බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජිනගේ රාජපදප්‍රාප්තියේ ස්වර්ණ ජයන්තිය නිමිත්තෙනි. එවැනි ජුබිලි සිහිවටන ගණනාවක් ලංකාවේ විවිධ ප්‍රදේශවල ඉදිකරන ලදි. එම අම්බලම තැනීමේ අරමුණ වූයේ නගරයට පැමිණෙන පිරිස්වල භාවිතය සඳහාය. (3) 

එසේ ඉදිකරන ලද අම්බලම විවෘත එකක් වූ බව 1901.05.30 දින එවකට කුරුණෑගල දිසාපති වූ කොලින් ඇලෙක්සැන්ඩර් මරේගේ දිනපොතේ ඇති සඳහනක් අනුව පෙනේ. වසර හතරක් වැනි කාලයත් තුළ එම අම්බලමෙන් ප්‍රයෝජනයක් නොමැති බව හෙළි වූ බව ඔහු කියයි. ඔහු ඊට වසර එකොලහකට පමණ පෙර කුරුනෑගල වැඩබලන දිසාපති ලෙස සිටිය දී එම අම්බලම නගරශාලාවක් බවට පත් කළ යුතු බව ලෝකල් බෝඩ් රැස්වීමකදී සඳහන් කළ බවද හෙතෙම සඳහන් කරයි. තමන් කුරුණෑගලින් මාරු වී ගිය පසු එම නිර්දේශය ඉටු කර ඇති බව සඳහන් කරන ඔහු පවසන්නේ “සෑම විටම දැකුම්කලු වූ උඩරට වාස්තු විද්‍යාත්මක මෝස්තරය” නව ගොඩනැගිල්ලේදී දී ආරක්ෂා වී ඇති බවයි. ඒ අනුව, ඉදිකරන ලද නගරශාලාව නිතර මහජන රැස්වීම්, ප්‍රසංග, නැටුම් හා නාට්‍ය ආදියට භාවිත වූ බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි. පහත දක්වා ඇත්තේ එම දිනපොත් සටහනේ උදෘතයයි.‍ 

“The first Jubilee Kandyan Ambalam built on style at a cost of Rs. 7000 was after standing 4 years noted as useless. It was a handsome structure but being open on all sides was never used. ... I used to see 3 or 4 coolies shivering on the lee side of the pillars on a wet day. When I was here eleven years ago, I suggested at a local board meeting that it should be converted into a town hall. This was carried into effect after I left. The Kandyan style of architecture which always looks so picturesque was preserved inclosing [?] in & adding to the building & now the town has a most useful building which is always used on public occasions, for public meetings, concerts, dances & plays. It [pays] its [w]ay which so satisfactory.” (4)

මේ ආකාරයට අම්බලම, නගරශාලාවක් බවට පත් කරන ලද්දේ 1893 හා 1894 වර්ෂවල දීය. ඒ ගැන ලෝකල් බෝඩ් වාර්තාවල සඳහන් වේ. ජුබිලි සිහිවටනයක් ලෙස තැනූ අම්බලම පළාත් මාර්ග කමිටුවෙන් (Provincial Road Committee) ලෝකල් බෝඩ් මණ්ඩලය වෙත පවරන ලද බව හා එය කඩා ඉවත් කර නගරශාලා ගොඩනැගිල්ල තැනූ බව 1893 වර්ෂය සඳහා වන කුරුණෑගල ලෝකල් බෝඩ් වාර්ෂික වාර්තාවේ සඳහන්ය. එසේම අම්බලම් ගොඩනැගිල්ලේ තිබූ ද්‍රව්‍ය හැකිතාක් යොදාගත් බව ද එහි සඳහන් කර ඇත. එසේ තැනූ ගොඩනැගිල්ලේ ප්‍රමාණය දිගින් අඩි 72ක් හා පළලින් අඩි 22ක් වූ බව ද සඳහන් වෙයි. ලෝකල් බෝඩ් සභාපති මෙන්ම දිසාපති ද වූ ඊලියන් ආම්ස්ට්‍රෝන් කිංග් මෙසේ වාර්තා කරයි. 

“The ambalam, which was built as a jubilee memorial, never having proved of use, was handed over to the Local Board by the Provincial Road Committee. The Board has pulled down this structure, and is building upon its site a Town Hall, utilizing as much as possible old materials. Before the end of the year the greater part of the shell of the new structure was built. Further funds have since been voted in order to extend the building. It will contain a Hall 72 feet long and 22 feet wide.” (5)

මෙම නගරශාලාව 1894 අවසන් භාගයේදී විවෘත කරන ලද බව එම වර්ෂය සඳහා වන ලෝකල් බෝඩ් වාර්ෂික වාර්තාවේ සඳහන් වෙයි. එහි ස්ථිර වේදිකාවක් හා නේපත්‍යාගාරයක් ද සකස්කර ඇත. මූලික වශයෙන් මෙම ගොඩනැගිල්ලට අලංකරණයක් එක් කළ උඩරට මෝස්තරයේ ලී කුළුණු ගැන සඳහන් කරන මේ වාර්තාව ඒවා එතැන කලින් තිබූ ගොඩනැගිල්ලේ උරුමයක් බව පවසයි. එසේම මේ නගරශාලාව තැනීමට රු. 5785.57ක මුදලක් වැය කළ බව ද එහි සඳහන් වෙයි. එම වාර්තාවේ අදාළ උදෘතය මෙසේය. 

“The Town Hall, commenced in the previous year, was completed and opened in the end of 1894. It is provided with a permanent stage and green room, and the entire cost of the work was only Rs. 5785.57. The wooden pillars in the Kandyan style, which chiefly contribute to its ornamentation, were, however, a legacy from the building which it displaced.” (6)


එසේම මේ ගොඩනැගල්ලට නව එකතු කිරීමක් 1899 වර්ෂයේදී සිදුකර ඇත. 1899.06.22 දින එවකට සිටි දිසාපති වූ හාඩිංග්ස් හේ කැමරන්ගේ දිනපොත් සටහනක් අනුව එදින පැවති ලෝකල් බෝඩ් රැස්වීමේදී එම යෝජිත නව කොටස ගැන එකඟතාවයක් ඇති වී තිබෙන අතර, ඒ සඳහා අවශ්‍ය මුදල් ජුබිලි අරමුද‌ලේ ඉතිරි මුදලින් ගෙවීමට ද එකඟ වී ඇත (7). මෙසේ ජුබිලි අරමුදලෙන් මුදල් වැයකර ඇත්තේ එම ගොඩනැගිල්ලේ මුලාරම්භය ජුබිලි අම්බලම නිසා බව පැහැදිලිය. 

ලිපි කිහිපයක්, සැලසුම් හා සිතියම් මගින් මේ නගරශාලාව (කලින් අම්බලම) තිබූ ස්ථානය හඳුනාගැනීමට හැකියාව ලැබේ 

1900 වර්ෂයේ පෙබරවාරි මාසයේ ආණ්ඩුකාරවරයා කුරුණෑගලට පැමිණි අවස්ථාවේදී ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය නගරශාලාව පසුපස ඇති ඉඩමේ ඉදිකළ යුතු බව තීරණය කළ බව ෆ්රැන්සිස් කොන්රඩ් ෆිෂර් දිසාපති තැන 1900.03.12 දින යවන ලද ලිපියක සඳහන් වේ.(8) එම ඉඩම තෝරාගැනීම ගැන සිය දිනපොතේ සටහනක් තබා ඇති දිසාපතිවරයා නගර ශාලාවට පසුපසින් තිබූ පාසල් ශාලාව (school room) ඉවත් කර රෙජිස්ටාර් කාර්යාලය තැනීමට එම ඉඩම යොදාගන්නා ලෙස ආණ්ඩුකාරයා විසින් කළ නගර නිරීක්ෂණ‌යෙන් පසුව එකඟ වූ බව සටහන් කරයි. එදින ආණ්ඩුකාරයා නගර ශාලාවේදී ලෝකල් බෝඩ් සාමාජිකයන් හමු වී රුස්වීමක් ද පවත්වා ඇත.(9) 

මේ ඉඩම සඳහන් සැලසුම් දෙකක් උක්ත ලිපි ගොනුවේ ඇතුළත්ය. ඉන් එකක් වන 1903.09.19 දින දරන ලිපියකට අමුණා ඇති සැලසුමේ දඹුළු පාර, පැරේඩ් වීදිය හා කඩ වීදිය (බසාර් වීදිය - අද මහ වීදිය) යන මාර්ග තුනෙන් සීමා වූ ත්‍රිකෝණාකාර භූමියේ නගරශාලාව (Town Hall), ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල ගොඩනැගිල්ල (Land Registry) හා කුඩා ජලාශයක් (Reservoir) සලකුණු කර ඇත. (5 රූපය). එම ලිපියේ සඳහන් වන්නේ මෙම ත්‍රිකෝණාකාර භූමියේ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය හැර සෙසු ඉඩම් කොටස් දෙක (A හා C යන කොටස් දෙක) ලෝකල් බෝඩ් යටතට පවරා ගැනීමට අවසර ඉල්ලීමකි. මේ ගැන කලින් එකඟ වී ඇති පරිදි කටයුතු කළ යුතු බව යටත් විජිත ලේකම් සඳහන් කර ඇත)(10). 

මේ මාර්ග මෙන්ම මේ ගොඩනැගිලි පිහිටා ඇති ස්ථාන ද 1907 හා 1909 වර්ෂවල ජල සම්පාදනය සම්බන්ධව සකස් කළ සිතියම්වල පැහැදිලිව සඳහන් වේ. මෙයින් 1907 වර්ෂයට අදාළ සිතියම පහත දැක්වේ (6 රූපය).(11) 


නිගමනය


මේ කරුණු අනුව මෑත දී කොටසක් කඩා දමන ලද ගොඩනැගිල්ල පිහිටා ඇති ස්ථානය ඇතුළත් භූමියේ සරඹ පිටිය පැවති බවත් හා 1878 වර්ෂයට පෙර එතැන ස්ථිර ඉදිකිරීමක් නොතිබූ බව නිගමනය කළ හැකිය. 1887 වර්ෂයේදී ඉදි කළ ජුබිලි අම්බලම ඒ ස්ථානයේ මුලින් පැවති බවත්, පසුව එම අම්බලම කඩා දමා, එහි තිබූ මහනුවර සම්ප්‍රදායේ දැව කුළුණු හා වෙනත් ද්‍රව්‍ය ද භාවිත කර එතැන නගරශාලාවක් ඉදි කරන ලද බවත් පැහැදිලිය. අප මාතෘකා කරගත් මෑත දී කොටසක් කඩා දමන ලද ගොඩනැගිල්ල එම නගර ශාලාවට යම් යම් වෙනස්කම් කිරීමෙන් නවීකරණය කළ ගොඩනැගිල්ලක් බව නිගමනය කිරීම සාධාරණ වන්නේ කරුණු දෙකක් නිසාය. 

(i). පළමුවැන්න වන්නේ මේ නගර ශාලාව තැනීමේදී ඊට පෙර තිබූ අම්බලමේ තිබූ උඩරට සම්ප්‍රදායේ දැව කණු භාවිත කළ බවට සාධක තිබීමය. අද කොටසක් කඩා දමා ඇති ගොඩනැගිල්ලේ ඇති උඩරට සම්ප්‍රදායේ නිර්මාණ වන දැව කණු, එසේ නගරශාලාව ඉදිකිරීමේ දී ද යොදාගත් බව සඳහන් වන ජුබිලි අම්බලමෙන් ඉතිරි වූ කණු වීමට බොහෝ දුරට ඉඩ ඇත. 

(ii). දෙවන්න වන්නේ නගර ශාලාවට දකුණින් ත්‍රිකෝණයක එක් කෝණයක් වැනි ස්ථානය දෙසට වන්නට තවත් ගොඩනැගිල්ලක් තැනීමට තරම් භූමියක් නොමැති වීමය. මේ බව දැක්වෙන 7 රූපය සකසා ඇත්තේ පරිමාණයට අඳින ලද 3 රූපය හා Google Earth ඡායාරූපය යොදාගනිමිනි. එහි‌ ඉඩම් රෙජිස්‍ට්‍රාර් කාර්යාලයට (1900 පමණ ඉදි කළ) සාපේක්ෂව නගර ශාලාවේ (1893-94 ඉදි කළ) පිහිටීම හා එය වර්තමාන Google Earth ඡායාරූපයක් මත අතිපිහිත කළ විට දළ වශයෙන් පෙනෙන ආකාරය (රෝස පාටින්) දක්වා ඇත. එහි නගරශාලා පිවිසුම හා මාර්ගය ද ලකුණු කර ඇත. එසේම දඹුළු පාර පුළුල් වී ඇති ආකාරය බැලූවිට, එදා නගරශාලා ගොඩනැගිල්ලත් දඹුළු පාරත් අතර ඇති ඉඩ ප්‍රමාණය ද අද වන විට අඩු වී ඇති බව පෙනෙයි. ඒ අනුව නගරශාලා ගොඩනැගිල්ලට ඉදිරියෙන් වෙනත් ගොඩනැගිල්ලක් තිබීමට ඇති අවස්ථාව අඩුය. නගරශාලාව දැකුම්කලු එකක් බව සඳහන් කර ඇති නිසා එය ආවරණය වන ලෙස තවත් ගොඩනැගිල්ලක් තැනීමට බලධාරීන් අවසර දේ ද යන්නද සැකසහිතය. (අප මේ ගැන අවධානය යොමු කළේ මහනුවර සම්ප්‍රදායේ ලක්ෂණ ඇතිව ඉදි කළ තවත් ගොඩනැගිල්ලක් කුරුණෑගල නගරයේ 1903-04 කාලයේ ඉදි කළ නිසාය. ඒ ගැන විස්තර පහත සඳහන් වේ).
 
ජුබිලි අම්බලම කඩා බිඳ දමා, පසුව වෙනත් සැලැස්මකට අනුව නගර ශාලාව තනන ලද නිසා පාදම පවා වෙනස් විය යුතුය. පසුව සිදු කළ එක් කිරීම්වලදී එම පාදම තවදුරටත් වෙනස්වන්නට ඇත. කුරුණෑගල නගරයේ අද පවත්නා (නව) නගර ශාලාව 1948 වර්ෂයේදී විවෘත කරන ලද්දකි. එම කාලයට පසු හෝ ඊට පෙර සිට මෙම පැරණි නගරශාලාව තිබූ ගොඩනැගිල්ල වෙනස්කම් සිදුකර වෙනත් භාවිතයකට යොදාගෙන ඇති බව සිතිය හැකිය. නිදසුනක් ලෙස ගතහොත් දැනට ජීවත්ව සිටින සමහරුන්ට අනුව මීට දශක කීපයකට පෙර කාලයේදී මෙම ගොඩනැගිල්ල උප දිසාපති කාර්යාලය ලෙස භාවිත වී ඇත. 

විශේෂයෙන් පැරණි යුගයකට අයත් වාස්තු විද්‍යාත්මක මෝස්තරයට අනුව හෝ එවැනි අංග යොදාගනිමින් හෝ පසු කාලයක ගොඩනැගිලි නිර්මාණය කළ සුවිශේෂී අවස්ථාවකට මෙම ගොඩනැගිල්ල ද නිදසුනකි. නිදසුනක් ලෙස මෙම ගොඩනැගිල්ල මෙන්ම පහත විස්තර කරන කුරුණෑගල නගරයේම ඉදිකරන ලද මුලාදෑනි නවාතැන, 20 වන සියවසේ මුල දී ඉදි කළ රුවන්වැල්ල අම්බලම දැක්විය හැකිය. එසේම ස්වදේශික ගෘහනිර්මාණශිල්පය පිළිබඳව බ්‍රිතාන්‍ය නිලධාරීන්ගේ අවධානයට ලක්ව ඇති ආකාරය ද ඉහත දක්වා ඇති ඓතිහාසික වාර්තා අනුව පැහැදිලිය. එබැවින් මෙම හඳුනාගැනීම මෙම ගොඩනැගිල්ල සංරක්ෂණය කිරීමට මෙන්ම පුරාවිද්‍යා පනත යට‌තේ ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට උපකාර කරගත යුතුය. 


සාකච්ඡාව


කොටසක් කඩා දැමූ ගොඩනැගිල්ල පිළිබඳව ඉදිරිපත් වී ඇති සෙසු මත පිළිබඳව සිදු කළ නිරීක්ෂණ කීපයක් සාකච්ඡාව යටතේ සඳහන් කළ යුතුය. ඉහත සඳහන් කරන ලද පරිදි මේ ගොඩනැගිල්ල පිළිබඳව මත කීපයත් ඉදිරිපත්ව ඇත. මේ අතර (අ). බුවනෙකබාහු රජුගේ රාජසභාව, (ආ). කච්චේරි ගොඩනැගිල්ල, (ඇ). පැරණි උසාවි සංකීර්ණය හා (ඈ) මහනුවර යුගයේ ගොඩනගන ලද ගොඩනැගිල්ලක් යන අදහස් මූලික වේ. 


(අ). බුවනෙකබාහු රජුගේ රාජසභාව - මේ ගොඩනැගිල්ල 13-14 සියවස්වලට අයත් කුරුණෑගල යුගයේ එකක් වීමට ඓතිහාසික සාධක නොමැති බවත් එය ජනප්‍රවාදයක් බවත් මේ වන විට ප්‍රකාශ වී ඇත. කුරුණෑගල මාලිගා භූමියෙන් හමු වී ඇති ශිලාමය අවශේෂ එකල තිබූ ගොඩනැගිලි කෙබඳු වුයේද යන්න පෙන්වා දෙයි. එසේම ගොඩනැගිල්ලක් නොතිබූ ස්ථානයක දැවමය නිර්මාණ පමණක් සියවස් හතක් පමණ කාලයක් ඉතිරි වී තිබීම ද අපහසුය. එසේම කඩා දැමුණු ගොඩනැගිල්ලේ ඇති දැව නිර්මාණ මහනුවර සම්ප්‍රදායේ මෝස්තර බව පැහැදිලිය. 

(ආ). කච්චේරි ගොඩනැගිල්ල - මේ ගොඩනැගිල්ල කච්චේරි ගොඩනැගිල්ල බවට ද අදහසක් ඉදිරිපත් විය. ඒ සඳහා හේතු වී ඇත්තේ 1893 වර්ෂයේ දී රාජකීය ආසියාතික සමිතියේ ලංකා ශාඛාවට එෆ්. මොඩර් විසින් රචනා කරන ලිපියක (12) එන තොරතුරු වරදවා වටහා ගැනීම බව පෙනේ. මොඩර් එහි ඇති ගොඩනැගිලි දෙකක් ගැන සඳහන් කරයි. ඒ ‘කච්චේරිය’ හා ‘මාලිගාව’ යනුවෙනි. දිසාපති තැනගේ කාර්යාලය වන කච්චේරියට කුරුණෑගල තිබූ යුද කඳවර තරම් ඉතිහාසයක් තිබිය හැකි බව ඔහු කියයි. එසේම 1848 වර්ෂයේදී කැරලිකරුවන් කච්චේරියේ පැවති සුරක්ෂිතාගාරය (Vault) කැඩීමට උත්සාහකරද්දී එල්ල වූ පොරෝ පහරක සලකුණු ගැන ද සඳහන් කරයි. 

එහෙත් මේ සඳහන් කච්චේරිය පිහිටා ඇති ස්ථානය ඇත්තේ දඹුළු පාරෙන් බොහෝ ඈතට වන්නටය. එය වර්තමාන වත්හිමි පාරේ (අතීතයේ සර්කියුලර් පාර) තරමක් දුරින් පිහිටා ඇත. එම කච්චේරිය Kachcheri ලෙස 1878 හා 1907 දින දරණ සිතියම් දෙකක (5 හා 6 රූප) සඳහන් වන ගොඩනැගිල්ලය. 1903 වර්ෂයේ අඳින ලද එම කච්චේරියේ ඉදිරි පෙනුම දැක්වෙන චිත්‍රයක් 8 වන රූපයේ ද, එහි බිම් සැලසුම 9 වන රූපයේ ද දැක්වේ (13). එහි පෙර සඳහන් සුරක්ෂිතාගාරය Vault ලෙස සඳහන් වී ඇති ආකාරය උපුටා දක්වා ඇත. එසේම ගොඩනැගිල්ලේ කාමර සැලසුම අනුව කෙතරම් නිලධාරීන් පිරිසක් එහි සේවය කර තිබේද යන්න පෙනෙයි. 



මෙම පැරණි කච්චේරිය පසුව දෙමහල් ගොඩනැගිල්ලක් බවට පත් කර ඇති අතර, එම රතු පාටින් දක්වා ඇති යෝජිත නවීකරණයෙන් පසු ඉදිරි පෙනුම දැක්වෙන සැලසුමක් 10 රූපයේ දැක්වේ. ඒ අනුව වර්තමානයේ පළාත් සභා ගොඩනැගිල්ල අසල ඇති පැරණි ගොඩනැගිල්ල මේ කච්චේරියේ ඉතිරිව ඇති කොටස විය යුතුය. 


එසේම මොඩර් මාලිගාව ලෙස සඳහන් කර ඇත්තේ දිසාපතිවරයාගේ නිල නිවසය. ඉංග්‍රීසි බසින් Residency හෝ Residence ලෙස සඳහන් වන දිසාපති නිල නිවසක් කුරුණෑගල දී මුලින්ම ඉදිකරන ලද්දේ 1819-22 අතර පමණ කාලයේ දී ය. (14), එහෙත් එය වෙනුවට පසුකලක වෙනත් ගොඩනැගිල්ලක් තනා ඇති බව අද පවත්නා ගොඩනැගිල්ලේ නිර්මාණ ලක්ෂණ අනුව පෙනෙයි. 

(3). පැරණි උසාවි සංකීර්ණය - පැරණි උසාවි සංකීර්ණය පිහිටා තිබුණේ වර්තමාන සූරතිස්ස මාවත, කොළඹ පාර හා නුවර පාරෙන් සීමා වන පෙදෙසේ බව 1878 සිතියම අනුව ද පෙනෙයි. මෙහි පිහිටා ඇති එක් ගොඩනැගිල්ලක් 2009.07.10 දින පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. 

(4) මහනුවර යුගයේ ගොඩනගන ලද ගොඩනැගිල්ලක් - මේ අදහස ජනනය වන්නේ මේ කඩා දමන ලද ගොඩනැගිල්ලේ දැකිය හැකි උඩරට සම්ප්‍රදායට අනුව නිර්මාණය කරනු ලැබ ඇති කණු නිසාය. එහෙත් බ්‍රිතාන්‍ය යුගයේ 1880 දශකයේදී ඉදි කළ ජුබිලි අම්බලමේ තිබූ උඩරට සම්ප්‍රදායේ කණු පසුව ඉදිකරන ලද නගරශාලාවේ භාවිත කළ බවට පැහැදිලි සාධක ඉහත දක්වා තිබේ. එසේම පසුව 1903 පමණ කාලයේදී කුරුණෑගල නගරයේ තනන ලද ‘මුලාදෑනි නවාතැන’ (Headmen’s Lodge) හෙවත් ස්වදේශික අම්බලම (Native Ambalam) නම් ගොඩනැගිල්ල ද උඩරට සම්ප්‍රදායේ ගෘහනිර්මාණ ශිල්පය ඇතුළත් ගොඩනැගිල්ලක් විය. නගරයට පැමිණෙන රජයේ ස්වදේශික නිලධාරින්ගේ භාවිතය සඳහා ආටිගල මුහන්දිරම්ගේ ධන පරිත්‍යාගයෙන් (15), 1903-1904 කාලයේදී ඉදිකරන ලද (16) මේ අම්බලම කාමර දෙකකින්, ශාලාවකින් හා මුළුතැන්ගෙයකින් ද සමන්විත විය. (17) ඒ අනුව උඩරට සම්ප්‍රදායේ ගෘහ නිර්මාණ අංග තිබූ පමණින් යමක් උඩරට සම්ප්‍රදායට අයත් කිරීම කළ නොහැකිය. මේ සඳහා දැක්විය හැකි තවත් නිදසුනක් වන්නේ රුවන්වැල්ල බලකොටුව අසල පිහිටා ඇති 20වන සියවසේ මුල් භාගයේ ඉදිකරන ලද අම්බලමයි. බ්‍රිතාන්‍ය යුගයේදී ඉදි කළ එහි ද උඩරට සම්ප්‍රදායේ අංග දැකිය හැකිය. මෙවැනි තවත් ඉදිකිරීම් රටේ විවිධ පෙදෙස්වල ඇත. 

ස්තුතිය - දිනිත් ඉන්දික හෑගොඩ, භූෂණ කල්හාර, එෂාන් ඉමල්ක විජයරත්න, ප්‍රසාද් ෆොන්සේකා, බන්දුල සිසිරකුමාර, මුදිත කරුණාමුනි, ලලිත් ගමගේ, ජයසිංහ බණ්ඩාර යන මහත්වරු හා ජාතික ලේඛනාගාරක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය 


රූප පිළිබඳ විස්තර


1. කඩා දමන ලද ගොඩනැගිල්ල වසර කීපයකට පෙර පැවති ස්වභාවය (Google Street View ආශ්‍රයෙනි) 

2. කඩා දමන ලද ගොඩනැගිල්ල හා වෙනත් ස්ථාන දැක්වෙන සිතියම (Google Map ආශ්‍රයෙනි) 

3. අදාළ ස්ථානයේ 2006 හා 2020 වර්ෂවල Google Earth ඡායාරූප සංසන්දනයක් 

4. 1878 වර්ෂයේ කුරුණෑගල නගරයේ කොටසක් දැක්වෙන සිතියමක් (මූලාශ්‍රය 1) 

5. මෑතදී කඩා දමන ලද ගොඩනැගිල්ල පිහිටි ස්ථානය හා ඒ අවට පිහිටා තිබූ ගොඩනැගිලි දැක්වෙන 1903 වර්ෂයේ සිතියමක් (මූලාශ්‍රය 2) 

6. කුරුණෑගල නගරයේ ජල සැපයුම සඳහා වූ සැලසුම් දැක්වෙන 1907 වර්ෂයේ සිතියමක් (මූලාශ්‍රය 11) 

7. ඉඩම් රෙජිස්‍ට්‍රාර් කාර්යාලයට සාපේක්ෂව පැරණි නගර ශාලාවේ සාපේක්ෂ පිහිටීම හා එය වර්තමාන Google Earth ඡායාරූපයක් මත අතිපිහිත කළ විට දැක්වෙන ආකාරය 

8. පැරණි කච්චේරියේ ඉදිරි පෙනුම දැක්වෙන 1903 වර්ෂයේ චිත්‍රයක් (මූලාශ්‍රය 14) 

9. පැරණි කච්චේරියේ බිම් සැලසුම දැක්වෙන 1903 වර්ෂයේ චිත්‍රයක් (මූලාශ්‍රය 14) 

10. පැරණි කච්චේරිය සඳහා යෝජනා කළ නවීකරණයෙන් පසු ඉදිරි පෙනුම දැක්වෙන 1904 වර්ෂයේ චිත්‍රයක් (මූලාශ්‍රය 14) 


මූලාශ්‍රය


(1). සැසි වාර්තා අංක 12/1878 – Report of the Commission appointed to inquire into the Causes of the Bursting of the Bund of the Kurunegala Tank 

(2). PF 1106 ගොනුව (ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාරය) 

(3). Administration Report of Kurunegala Local Board, 1893, පි. 10 

(4). වයඹ පළාතේ දිසාපතිගේ දිනපොත් සටහන, 1901.05.30 (ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාරය) 

(5). Administration Report of Kurunegala Local Board, 1893, පි. 10 

(6). Administration Report of Kurunegala Local Board, 1894, පි. 9 

(7). වයඹ පළාතේ දිසාපතිගේ දිනපොත් සටහන, 1899.06.22 (ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාරය) 

(8). PF 1106 ගොනුව (ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාරය) 

(9). වයඹ පළාතේ දිසාපතිගේ දිනපොත් සටහන, 1900.02.01 (ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාරය) 

(10). PF 1106 ගොනුව (ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාරය) 

(11). PF 2007 ගොනුව (ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාරය) 

(12). Modder, F. (1893), Kurunegala Vistaraya with notes on Kurunegala, ancient and moders, Journal of the Royal Asiatic Society o (Ceylon Branch), වෙළුම 13 (අංක 44), පිටු. 35-57 

(13). PF 1238 ගොනුව (ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාරය) 

(14). Binham, P.M. (1921) History of the Public Works Department, Ceylon, 1796 to 1913, වෙළුම 1, පි. 36 

(15). Administration Report of Kurunegala Local Board, 1899, පි. 14 

(16). Administration Report of Government Agent, North-Western Province, 1904, පි. 8 

(17). වයඹ පළාතේ දිසාපතිගේ දිනපොත් සටහන, 1901.05.30 (ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාරය) 


පළමුව ප්‍රසිද්ධියට පත් කරන ලද්දේ - 2020.08.01 

Saturday, July 25, 2020

ගිනි නොගත් මතකය

ඒ සඳුදා දවසෙ පාසල් ගමින් සිටි අප එදා උදේ බොරැල්ල නගරයට එන විට උදේ හතට විතර ඇති. වෙනදාට වඩා වෙනසක් ඈත තියාම අම්මත් මමත් දැක්කා. ඒ බොරැල්ල හන්දියේ නාරාහෙන්පිට පාරේ කඩ පෙළ ගිනි ගෙන විනාශ වෙලා තිබුණු හැටි. ඒ වර්තමාන සුපර්මාකට් එක ඉදිරියේ අනිත් පැත්තේ තිබූ ඒ කඩපෙළයි. පහේ පංතියේ සිටි කුඩා දරුවකු වූ මම එය දුටු පසු 176 බසයේ ජනේලෙන් මදක් ඉස්සී  ඒ දෙස බැලූ පසු දුටු ඒ දර්ශනය තවමත් මතකයි.

ඒක මහා විනාසයක් බව පෙනුණා. ඒ එක්කම කොළඹ පාරත්, වෝඩ් පෙදෙසත් අතර මුල්ලේ තිබූ කඩ කීපයකුත් ගිනි ගෙන විනාසවෙලා තිබ්බා. ඒ කඩවලට උඩින් ඊට යාබදව තිබූ තට්ටු ගොඩනැගිල්ලේ බිත්තියේ තිබූ BCC දැන්වීම මට තාමත් මතකයි.

ඒ දවස වෙලා තිබෙන්නෙ මොකද්ද කියලා නොදැන උනත් අපි පාසලට, දෙමටගොඩ වේළුවන විද්‍යාලයට, ගියා. එතැනදි බලනවිට තරමක කලබලගතියක් තිබ්බා. ළමයි ඇවිත් තිබ්බෙත් සෑහෙන අඩුවෙන්. අම්මා පාසලේ නැවතුනෙත් ඒ නිසා. ඊට පස්සේ විවේක කාලෙදි විතර ඇවිත් හිටි ළමයින්ට ආපහු යන්න කීවා. එන්න විදියක් නැති නිසා පාසලේ කැන්ටිම කරන අයගේ වාහනේ නැගලා ළමයි හා වැඩිහිටි කීපදෙනෙක් ආවා. අපි රාජගිරියට ආවෙ, වනාතමුල්ල ඕවල් (පී. සරවනමුත්තු) ක්‍රීඩංගනය තියන පාරෙන් ඇවිත්, කොටාපාරේ ගෝතමී පාර කිට්ටුවට වැටෙන පාරෙන් ඇවිත්. (අද මේක ප්‍රසිද්ධ ෂෙෘ්ට්කට් එකක්)

මේ වන විට රටේ මොකක් හරි කලබලයක් කියලා දැනගෙන හිටියා. ඒ දවස්වල තාත්ත වැඩ කළෙත් බන්ධනාගාර මූලස්ථානෙ. මේ කියන්නෙ ජංගම දුරකථන හා නිවෙස්වල ස්ථාවර දුරකථන නැති කාලෙ. එයා ආවෙ අපටත් පස්සෙ.

ටික ටික සිදුවීම ආරංචි උනා. පෙරදා රාත්‍රියේ ඒ ආරම්භ වෙලා තිබේබෙ "ජූලි කලබලය". මා කියූ ඒ දිනය තමයි 1983 ජුලි 25... අදට වසර තිස් හතකට පෙර අද වැනිම වූ දවසක්.

අපේ ගෙවල් පැත්තෙත් ටිකක් කලබල තිබ්බා. අපි පදිංචි නාවලට නුදුරු විජයබා මාවත පැත්තෙ එතරම් කලබලයක් නොවූවත්, ආසන්න ප්‍රදේශවල දෙමළ ජනතාව පදිංචි නිවාස කීපයකින් ඔවුන් එලවා දමා ගිනිතබා තිබුණා. පසුව වැලිපාක් කියපු, දැන් තෙත්බිම් උද්‍යානය කියලා නම් කර ඇති ස්ථානය ඉදිරිපිට කන්දවත්ත පාරට යාබදව තිබූ තරමක් විශාල නිවස ඉන් එකක්. එය අයත් වුනේ මානික්කම් කියා මතතෙකුට බවයි දැනගන්න ලැබුණෙ. ගිනි තැබීමෙන් පසු ඒ නිවෙසේ බිත්ති වසර ගණනාවක් තිස්සේ ඉතිරිව තිබුණේ හරියට භයානක සිහිවටනයක් වගේ.

මේ කලබල දින කීපයක් තිබ්බා. විවිධ සිදුවීම් ගැන අපට කටකතා ලෙස ආරංචි උනා. කඩවල් කොල්ල කාපු හැටි. ගිනිතියපු හැටි වැනි බොහෝ දේ ආරංචි වුණා. අපේ පැත්තෙත් ජාති-ආල කාරයො කීප දෙනෙක් එවැනි දේ නියැලුණා. ඒ අතර, එජාප මෙන්ම ශ්‍රිලනිප පාක්ෂිකයොත් හිටියා. සමහරු පසුව වසර ගණනකට සිරගතවුණා. 

ඒ කලබල නිසාම අගෝස්තු මාසෙ මමත් පෙනී සිටින්න තිබුණු ශිෂ්‍යත්ව විභාගයක් සති කීපයකින් කල්ගියා. ඒකෙත් හොඳක් උනාද දන්නෙ නැති උනත්, විභාගය හොඳින්ම ගොඩ ගියා. ඒකට නම් ස්තුතිවන්ත වෙන්න ඕන මගේ ගුරුවරයාට - ඒ ගැන වෙනම ලියන්න ඕන. 

(ජුලි කලබලවලට හේතු වූ යාපනයේ සිදු වූ සිදුවීම ඇතුළු බොහෝ දේ ගැන සවිස්තරව කියවන්නට මට ලැබුණෙ ඊට සෑහෙන කාලයකට පසුවයි. මේ අපි කියන්නෙ රජයේ ගුවන්විදුලි හා රූපවාහිනී චැනල් පමණක් තිබුණු, පත්තර කීපයක් පමණත් තිබුණු, පුද්ගල පරිගණක, ජංගම දුරකථන හා අන්තර්ජාලය නොතිබූ යුගයක් ගැනයි.)

ධනේෂ් විසුම්පෙරුම

2020.07.25

Thursday, July 23, 2020

රැකගත යුතු අවශේෂ කැලෑ

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.07.22, පි. 4 (Vidusara)



පසුගියදා අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයකට අනුව කටයුතු සිදුවුවහොත් රටේ වනාන්තර අතරින් සැලකිය යුතු ප්‍රමාණයක අනාගත පැවැත්ම සඳහා යම් තර්ජනයක් ඇති වී තිබෙන බවට වන සාකච්ඡාවක් මේ වන විට දැකිය හැකිය. මේ සඳහා පරිසරවේදීන්, පරිසර සංවිධාන, විද්වතුන් මෙන්ම රජයේ ආයතන වෘත්තීය සමිති ද සම්බන්ධ වී ඇත.

2020 ජුලි මස 01 වන දා පැවති කැබිනට් රැස්වීමේදී “රජයේ අවශේෂ කැලෑ වශයෙන් සලකනු ලබන ඉඩම් දිස්ත්‍රික් ලේකම්/ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පැවරීමේ අවශ්‍යතාව” යන මැයෙන් සඳහන් වන අමාත්‍ය මණ්ඩල තීරණයේ සාරාංශය මෙසේය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනයට නියම කර ඇති රජයේ අවශේෂ කැලෑ වශයෙන් හඳුන්වනු ලබන ඉඩම්, පරිසර හා වනජීවී කටයුතුවලට බාධාවක් නොවන පරිදි හා ඉඩම්වල අයිතිය තවදුරටත් රජය සතුව පවත්වා ගනිමින් තාවකාලිකව වෙනත් කාර්යයන් සඳහා යොදා ගැනීමට හැකි වන පරිදි ඒ සඳහා වන බලතල දිස්ත්‍රික් ලේකම්/ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පවරා දීම සඳහා සුදුසු ක්‍රමවේදයක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලෙස පරිසර සහ වනජීවී සම්පත් ඇමතිතුමාගෙන් ඉල්ලා සිටීම එදා ගත් තීරණයයි. මෙවැනි ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය ලෙස දක්වා ඇත්තේ චක්‍රලේඛයේ විධිවිධාන පරිදි එම ඉඩම් කිසියම් වෙනත් පරිහරණ කටයුත්තක් සඳහා යොදා ගත යුතු වන්නේ නම් ඒ සඳහා දීර්ඝ ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බැවින් එකී අවශේෂ කැලෑවල හේන් ගොවිතැන් වැනි කටයුතුවල යෙදෙන ගොවීන් දැඩි අපහසුතාවන්ට පත් වී ඇති අතර එකී ඉඩම් ආර්ථික වශයෙන් ඵලදායී කාර්යයන් සඳහා යොදා ගැනීමට බාධාවක් වී තිබීමය.

කෙසේ වෙතත් ඉන්පසුව පැවැති කැබිනට් රැස්වීම්වලදී මේ ගැන යළි සාකච්ඡාවක් ඇති වූ බවක් වාර්තා මෙතෙක් ප්‍රකාශයට පත් වී නැත. කෙසේ වෙතත් ආරක්ෂිත ප්‍රදේශ හා මුඩු ඉඩම් පිළිබඳ සොයා බැලීම සඳහා කිසියම් කමිටුවක් පත් කර ඇති බවක් පසුගිය සතියේ ඉරිදා පුවත්පතක වාර්තා වී තිබිණි.


රජයේ අවශේෂ කැලෑ යනු


මේ කියන අවශේෂ කැලෑ හෙවත් වෙනත් රජයේ වනාන්තර (other state forests) යනු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය ආඥා පනත් යටතේ පාලනය නොකරන ලද කැලෑය. වන සම්පත් හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් විසින් 2001.08.10 දින නිකුත් කරන ලද අංක 05/2001 චක්‍රලේඛයේ විධිවිධාන පරිදි මේ අවශේෂ කැලෑ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පත් කරන ලදි. 

අපේ රටේ වනාන්තරවල පාලනය කලින් කල වෙනස් වූ ආකාරය වන සම්පත් සංරක්ෂකයින්ගේ වෘත්තීය සංවිධානය විසින් පැහැදිලි කර ඇත. නූතන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පිහිටුවන ලද්දේ 1887 වර්ෂයේදී බ්‍රිතාන්‍යයන් යටතේ ලංකාව පාලනය වූ කාලයේදීය. ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියෙන් 1904 වර්ෂයේ දී මෙරට සියලුම වනාන්තරවල භාරකාරිත්වය වන සංරක්ෂකට යටතට පත් කරන ලදි. එහෙත් 1934 දී එය වෙනස් කරන ලද අතර, දිසාපති හා වන සංරක්ෂක යන දෙපාර්ශ්වයම කැලෑ පාලනය පවරන ලද අතර ඒවායේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නීති ක්‍රියාත්මක කිරීම ඒ පාර්ශ්ව දෙකම සිදු කළේය. ඉන්පසු 1952 වර්ෂයේ දී වියළි කලාපයේ අක්කර 500කට (හෙක්ටයාර 200) හා අනිකුත් ප්‍රදේශවල අක්කර 50කට (හෙක්ටයාර 20) වඩා ප්‍රමාණයෙන් අඩු අවශේෂ කැලෑ පාලනය කිරීම දිසාපතිවරුන් යටතේ රදවා ඉතිරි සියලු කැලෑ වන සංරක්ෂකගේ පාලනයට යටත් කරන ලදි. එහෙත් 1998 පමණ වන විට වනාන්තර පාලනයේ දී ඇති වූ තිබූ ගැටලු නිසා ජනාධිපතිනියගේ උපදෙස් පරිදි ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ පාලනය යටතේ ඇති කැලෑ බිම් ප්‍රමාණය සීමා කරන ලදි. ඒ අනුව වියළි කලාපයේ අක්කර 200කට (‌හෙක්ටයාර් 80) හා තෙත් කලාපයේ අක්කර 20 (හෙක්ටයාර් 8) කට වඩා ප්‍රමාණයෙන් අඩු වනාන්තර පමණක් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ පාලනයට පත් කරමින් අංක 05/98 දරණ චක්‍රලේඛය, 1998.07.01 දින වන සම්පත් හා පරිසර අමාත්‍යාංශය නිකුත් කළේය. මේ තීරණය වෙනත් රාජ්‍ය ආයතනවල දැනුවත්ව සිදුකරන ලද්දකි.

වනාන්තරවල ආරක්ෂාව උදෙසා 5/2001 චක්‍රලේඛය නිකුත් කරන ලද්දේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ පාලනය යටතේ පැවති සියලු අවශේෂ වනාන්තරවල කළමනාකරණය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරමිනි. ඒ අනුව එම අවශේෂ කැලෑ ජාතික වන ප්‍රතිපත්තියට අදාළව කළමනාකරණය කිරීම, වැඩිදියුණු කිරීම හා ආරක්ෂා කිරීම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලදි. ඒ වනාන්තරවල විද්‍යාත්මක කළමනාකරණය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලද නමුත්, ඒවායේ ආරක්ෂාව සඳහා දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට වන ආඥා පනත යටතේ පැවරී ඇති බලතල ක්‍රියාත්මක කළ හැකි විය. එසේම යම් සංවර්ධන ක්‍රියාකාරකමක් සදහා ඒවාට අයත් යම් ඉඩමක් නිදහස් කරගැනීමට අවශ්‍ය වේ නම් ඒ සඳහා ගත යුතු ක්‍රියාපිළිවෙතක් ද හදුන්වා‌දෙන ලැබ තිබිණි.

ඉන් අනතුරුව 2006 වර්ෂයේදී නිකුත් කරන ලද 02/2006 චක්‍රලේඛය මගින්, සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ඉඩම් නිදහස් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. එසේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ ඇති, එහෙත් වනාන්තර ලක්ෂණ නොදරන ඉඩම් ප්‍රාදේශීය ලේකම්වරුන්ට භාර දීමේ නව ක්‍රමවේදයක්ද පවතී. එබැවින් 5/2001 චක්‍රලේඛය අහෝසි කිරීමේ හෝ සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයක් පවතී ද යන්න ගැටලුවකි.


මේවා රැකගත යුත්තේ ඇයි?


ශ්‍රී ලංකාවේ මුළු බිම් ප්‍රමාණයෙන් වනාන්තරවලින් ආවරණය වී ඇත්තේ 29.7%ක් පමණ ප්‍රදේශයක් පමණකි. එය හෙක්ටයාර ලෙස ගතහොත් මිලියන දෙකක් පමණ වේ. වන සංරක්ෂණ ආඥා පනත හා වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ ආරක්ෂිත ප්‍රදේශ ලෙස පවත්නා වනාන්තර හැර තවත් වනාන්තර හෙක්ටයාර 694,000ක් පමණ මීට අයත් වෙයි. අප මාතෘකා කරගත් අවශේෂ හෙවත් වෙනත් වනාන්තර අයත් වන්නේ මේ ප්‍රමාණයටය. එම ප්‍රමාණය ලංකාවේ මුළු වනාන්තර බිම් ප්‍රමාණය අතරින් තුනෙන් පංගුවක් පමණ වෙයි.
මේ අවශේෂ වනාන්තර අතර බෙහෙවින් වැදගත් පරිසර පද්ධති පවතී. විද්‍යාත්මක පර්යේසණවලින් හඳුනාගෙන ඇති පරිදි ඇතැම් ස්ථානීය ආවේණික විශේෂ පවා මේ අවශේෂ කැලෑවල දැකිය හැකිය. එබැවින් මේ කැලෑවල වැදගත්කම ගැන ජනමාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද බොහෝ පිරිස් දැනුම්වත් වී ඇත. 

මේ චක්‍රලේඛයේ නෛතික භාවය තහවුරු වූ හා ඒ නිසාම ආරක්ෂා කරගත හැකි වූ වෙනත් රජයේ වනාන්තර පිළිබඳව මෑත කාලීනව ලැබුණු අධිකරණ තීන්දු කීපයක්ද තිබෙයි. නිදසුනක් ලෙස ගතහොත් මින්නේරියට නුදුරුව පිහිටා ඇති පටපිලිකන්ද ප්‍රදේශයේ අවශේෂ වනාන්තරයක දේශපාලන මැදිහත්වීමක් සහිතව ඉදිකරන ලද ඉදිකිරීමක් නීත්‍යනුකූල නොවන බවට තීරණය කරන ලද්දේ මේ චක්‍රලේඛයේ සඳහන් ක්‍රමවේදය අනුගමනය කර නොතිබූ නිසාය. (එම ඉදිකිරීම අද වන විට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා දී තිබෙයි.) එමෙන්ම කෝකිලායි ප්‍රදේශයේ රජයේ වනාන්තරයක මහවැලි බලධාරින්ගේ අනුමැතිය ඇතිව සිදුකරමින් තිබූ දැව හෙලීමක් සඳහා ද උක්ත චක්‍රලේඛය අනුව නිසි අවසර ලබා ගෙන නොතිබූ බව අධීකරණය හමුවේ හෙළි වීමෙන් පසුව ඒ කටයුත්තද නවතා දැමීමට සිදුවිය. ඇතැම් වාණිජ සමාගම්වලට ඉඩම් ලබාදීමට එරෙහිව අධිකරණයට ගිය පසුව ඒවා නිත්‍යානුකූල නොවූ බවත් ඒ ඉඩම් නැවත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනය යටතට පත් කිරීමටත් තීරණය වූයේ ද මේ චක්‍රලේඛය නිසාය. 

මේ කරුණු අනුව පෙනෙන්නේ මේ අවශේෂ කැලෑවල ආරක්ෂාව සඳහා 5/2001 චක්‍රලේඛය වැදගත් වන බවයි. ඒ දේශපාලන හා නිලධාරි මැදිහත්වීම් ඇතිව සිදුකරන ඉඩම් පැවරීම්වලට මේ චක්‍රලේඛය බාධා වන නිසාය.
අනෙක් අතට මේ චක්‍රලේඛය ඉවත් කිරීමෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න ගැන සාධාරණ බියක් ඇති වීම වැළැක්විය නොහැකිය. එය හුදෙක් හේන් වගාවට හෝ ඉඩම් නැති ජනතාවට පදිංචිවීමට හා වගා කිරීමට ඉඩම් ලබාදීම පමණක් විය හැකිද? අපේ රටේ කටයුතු සිදුවන ආකාරයට ඒ ගැන සැක ඇතිවීම පුදුමයක් නොවේ. මේවායේ අවසාන අපේක්ෂාව රටේ ඉඩම් මහා පරිමාණ සමාගම්වලට ලබාදීම විය නොහැකිද? මේවා අපැහැදිලි තැන්ය. එබැවින් වඩාත් හොඳම දේ වන්නේ මේ චක්‍රලේඛය අහෝසි කිරීම වළක්වා ලීමය. ලබන මාසයට යෙදෙන මහමැතිවරණයෙන් පසුව රජය මේ ගැන කුමන පියවරක් ගනු ඇතිදැයි අවදියෙන් සිටීම පරිසර හිතැති සැමගේ වගකීම වෙයි. පරිසරයට හානිකර විය හැකියැයි විරෝධයට ලක් වූ ඇතැම් ව්‍යාපෘති නතර කරන බවට පොරොන්දු දී බලයට පැමිණි පාර්ශ්ව පවා මද කලකින් ඒවාට අනුමැතිය ලබාදුන් හැටි අපි දුටුවෙමු. එමෙන්ම ඒවා තමන්ගේ නමට ලියාගන්නට උත්සාහ කළ හැටි ද අපි දුටුවෙමු. කොළඹ වරාය නගරය පිළිබඳ සිදුවීම මීට හොදම නිදසුන වෙයි.


රජයේ පරිසර ප්‍රතිපත්තියට මෙය එකඟ ද?


වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ “රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දස වැදෑරුම් ප්‍රතිපත්තිවල නව වැන්න වන්නේ “තිරසාර පරිසර කළමනාකරණය” යන්නයි. ඒ යටතේ මෙසේ සඳහන් වෙයි. 

“ගහකොළ, ඇළදොළ සහ සතා සීපාවා මුල් කරගත් පරිසරය බැඳී ඇත්තේ අපගේ සුසුමත් සමඟ ය. එබැවින් අනාගත පරම්පරාව වෙනුවෙන් අප පරිසරය තිරසාර ලෙස ආරක්ෂා කරගත යුතු ය. අලුත් වන වගා සංග‍්‍රාමයක් මෙන් ම සියලූ වනාන්තර ආරක්ෂා කිරීමට අප කටයුතු කළ යුතු ය. යල්පිනූ නීති රාමුව වෙනස් කර සියලූ පරිසර අවභාවිතයන් නිමා කිරීම සඳහා අවශ්‍ය නීති රාමුවක් ස්ථාපනය කළ යුතු ය.” (පිටුව 3)

“භූමි පරිභෝජන ප‍්‍රතිපත්ති හා ජල කළමණාකරන ප‍්‍රතිපත්ති වල තිරසාර බව තහවුරු කරන අතරතුරම ජාතික වන වැස්ම (forest cover) 30% දකවා ඉහළ දැමීමට ක‍්‍රියාමාර්ග ගනු ලැබේ. ඒ සඳහා යලි වන වගාවන් සිදුකිරීමට සුදුසු පරිසර නිසියාකාරව හඳුනා ගැනීමට නිශ්චිත ක‍්‍රියාමාර්ග ගනු ලැබේ.” (පිටුව 64 හා 66)

අවාසනාවකට මෙන් ඉහත කී ආකාරයට 5/2001 චක්‍රලේඛය අහෝසි කළහොත් සිදුවනු ඇත්තේ මේ වන විට යම් තරමකින් හෝ ආරක්ෂිතව ඇති වනාන්තර භූමි එළි කිරීමට අවස්ථාවක් ලැබීමය. වන වගා යනු ස්වාභාවික වනාන්තරවලට විකල්පයක් නම් නොවේ. ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා ස්වාභාවික වනාන්තරයකින් ලැබෙන ප්‍රයෝජනය වන වගාවකින් නොලැබෙයි. එමෙන්ම, පරිසර පද්ධති සේවා සම්බන්ධයෙන්ද වන වගාවකට වඩා විශාල සේවයක් ස්වාභාවික වනාන්තරවලින් ලැබෙයි. 

මේ කරුණු අනුව පෙර සඳහන් චක්‍රලේඛය සංශෝධනය කිරීමට රජය කටයුතු කළහොත් එය වර්තමාන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ එන ප්‍රතිපත්තිවලට ද එකඟ නොවන බව ද පැහැදිලිය. එබැවින් මේ යෝජනාව අත්හැර දැමීම වර්තමාන රජයේ පරිසර සලකුණ යහපත්ව තබාගැනීමට වැදගත් වනු ඇත.

Sunday, July 19, 2020

ඉස්කෝලෙ කතා 03 - "Come Down To The..."

ඉස්කොලෙ යන කාලෙ PT කියලා පීරියඩ් එකක් තිබ්බනෙ. සතියකට දවසක් එන ඒ පීරියඩ් එකෙදි ඉතින් අපි බලන්නෙ සෙල්ලම් කරන්නනෙ. (අපි කිව්වට ඉතිං මං නං එච්චර සෙල්ලම් කළේ නෑ.)
ගොඩක් දවස්වල ඒ පීරියඩ් එකට සර් ආවෙත් නෑ. 

දහයෙ හෝ එකොලහෙ පන්තියෙ හිටියද දවසක් අපිට ඒ පීරියඩ් එකට සර් ආවා. සර්ට ඕන උනා අපිව ගෙන්න ගන්න පිට්ටනියෙ තිබ්බ සියඹලා ගස් දෙක ළඟට. සර් ඉංග්‍රීසියෙන් කතාව පටාන් අරන් සිංහලෙන් මෙහෙම ඉවර කළා

"Come Down to the සියඹලා ගස් දෙක යටට"

සර් මේක විහිළුවට කිව්වද, නැත්තං තිබ්බ හදිසියට සියඹලා ගස්වල ඉංග්‍රීසි නම අමතක උනාද කියල අද වන තුරු මම නං දන්නෙ නෑ. ඒත් එදා අපි ගහ යටට යද්දි සර් ආවා මතකයි. ඒත් PT කළාද අපි සෙල්ලං කළාද කියල නං මතකයක් නෑ.

පසු සටහන - පහුගිය දවසක විද්‍යාලෙ කණ්ඩායමක් මේ ගස් දෙක තිබ්බ තැන දියුණු කරලා තිබෙනවා. පහත ලින්ක් එකේ කියන්නෙ ඒ ගැනයි. එහි සඳහන් වන පරිදි 1950 ගණන්වල "මම ඔබව සියඹලා ගහ යටදි හමුවෙන්නම්" (I’ll meet you under the Tamarind tree) කියලා කොල්ලෙක් තව කොල්ලෙක්ට කියන්නෙ අභියෝගයක් කරද්දි.

Tuesday, June 30, 2020

මගේ හදවත පාරන "සැඳෑ අඳුර ලොව ගලන වෙලාව"..

ධනේෂ් විසුම්පෙරුම



මේ ගීතය සෝමතිලක ජයමහගේ මා ප්‍රියකරන ගීත අතරින් එකකි. එයට මා ප්‍රිය කරන්නේ හුදෙක් එහි අරුත නිසාම පමණක් නොවේ. විරහ වේදනාව පිළිබඳව මා මුලින්ම ඇසුවේ හා තේරුම් ගත්තේ මේ ගීය හා බැඳුණු එක්තරා කතාවක් නිසාය.

මගේ මව පවුල් සෞඛ්‍ය සේවිකාවක් ලෙස වසර 35ක් පමණ රාජකාරි කළාය. ඒ කාලයේ ඉඳහිට ඇයට කෙටිකාලීන පුහුණුවීම් සඳහා ඇතැම් ආයතනවලට යෑමට සිදු විය. වරක් ඈට අංගොඩ මානසික රෝහලේ පුහුණුවකට යෑමට සිදු විය. ඒ අප මාතර පදිංචිව සිටි, මගේ වයස අවුරුදු තුන-හතරක් පමණ වූ කාලයේය.

එහි නේවාසිකව සිටි සුන්දර තරුණියක් (අපේ අම්මාගේ වචනයෙන් "ලස්සන කෙල්ලෙක්") මේ "සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට" ගීතය නිතරම ගායනා කළාය. එහි සේවය කළ හෙදියන් පවසා ඇති අන්දමට ඈ මානසික රෝහලට ඇතුළත්ව ඇත්තේ ප්‍රේමය බිඳවැටීමෙන් පසුව ඇති වූ මානසික ගැටලුවක් නිසාය. ඇගේ සුන්දරත්වයත්, ඇය ඒ ගීය ගායනා කළ මිහිරත් නිසා, එහි පුහුණුව ලද සති දෙකක පමණ කාලයේදී මේ ගීතය අපේ අම්මාගේ සිතට තදින්ම කාවැදී තිබේ. පසුකලක මේ ගීතය ඇසුණු සෑම වෙලාවකට පාහේ ඈ අපට මේ කතාව කීවාය, සිහි කළාය.

මා මුලින්ම මේ කතාව ඇසුවේ මට වයස අවුරුදු හත-අටක් පමණ කාලයේය. අදත් මේ ගීතය ඇසෙන හැම විටකම ඒ කතාව මට සිහි වේ. ඒ කිසියම් වේදනාවක්ද සමඟිනි... (අම්මා මේ කතාව කී හැම විටකම නිහඬව මම එය අසා සිටියේ ද ඒ නිසාය).

ප්‍රේමය සුන්දර වන්නාක් මෙන්ම, ප්‍රේමය බිඳ වැටීම අතිශය වේදනාත්මක විය හැකිය.

"සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
කවුළු පියන් පත් වැසෙන වෙලාවට
දහසක් දොම්නස් සිහින පවුරු මැද
තනිවුන ඔබේ සුසුමන් සෙමෙන් විත්
මගෙ සවනත පාරයි

තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද
සරන විටදි රැය ගෙවෙන තුරාවට
මහද සෙනෙහි ඔරුවේ නැගි ඔබ
එතෙර වන්න නිබදේ
නිදි ලොව වෙත එතෙර වන්න නිබදේ

නිමල පැතුම් සපුරා ගෙන හද තුල
සිහින ලොවෙන් නෙත හැරෙන වෙලාවට
අරුණළු නැගෙනා පැයේ කුසුමක් වෙමි
ජීවන මල් ගොමුවේ
ඔබේ ආදර ජීවන මල් ගොමුවේ"

ගායනය, පද රචනය හා සංගීතය - සෝමතිලක ජයමහ

වසංගත මරණ ගණන් ගැනීමේ ගැටලු

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.06.24, (Vidusara)
Not available online



මේ වන විට ලෝකයේ පැතිර පවත්නා නව්‍ය කොරෝනා හෙවත් කොවිඩ්-19 වසංගතය නිසා සිදු වන මරණ ගණන පිළිබඳ ප්‍රකාශිත සංඛ්‍යාලේඛනවල යම් යම් ගැටලු ඇති වී තිබෙන බව වාර්තා වෙයි. සමහර රටවල මේ රෝගය වැළඳීම නිසා සිදු වූ ඇතැම් මරණ, ඒ රෝගය නිසා සිදු වූ බව වාර්තා වී නොමැති බැවින් නිල සංඛ්‍යාලේඛනවලට ඇතුළත්ව නොමැත. ඒ සඳහා විවිධ හේතු බලපා තිබේ. මේ නිසා ලෝකයේ කොවිඩ්-19 මරණ ගණන මේ ප්‍රකාශිත සංඛ්‍යාවට වඩා ඉහළ විය හැකි බව සමහර විද්‍යාඥයෝ ද අනුමාන කරති. එසේම සැබෑ රෝගීන් ගණන ද මීට වඩා ඉහළ විය හැකිය.

මෙසේ මිය ගිය මෙන්ම රෝගී වූ පිරිසේ ගණන ද නිවැරදිව දැන ගැනීම වැදගත්ය. වසංගත තත්ත්වය, එය ව්‍යාප්ත වන ආකාරය හඳුනා ගැනීම සඳහා මේ කරුණු ඉතා වැදගත්ය. එය රෝගයේ සැබෑ බලපෑම පැහැදිලි කරන අතර, රෝගයේ බලපෑම අඩු කිරීම සඳහා ප්‍රතිපත්ති සකස් කිරීමටද වැදගත් වෙයි.


වාර්තා නොවීම සඳහා හේතු


මෙවැනි එක් අවස්ථාවක් වන්නේ රෝහල්වලින් පිටත වැඩිහිටි නිවාස ආදියේ සිදු වූ කොඩිඩ්-19 මරණ නිසි ලෙස වාර්තා නොවීමයි. සමහර රටවල් කොරෝනා රෝගයෙන් මියගිය බවට සලකන ලද්දේ රෝහල්ගතව සිට මිය ගිය රෝගීන් පමණි. රෝහලෙන් පිටත මේ රෝගය නිසා මියගිය අය ගණන් කිරීම ආරම්භ කළේ පසුවය. මෙය යුරෝපා රටවල් ගණනාවක සිදුව තිබිණි. මැයි මස 5 වන දා දක්වා ප්‍රංශයේ එවැනි නිවාසවලින් වාර්තා වූ මරණ ගණන 9,471ක් පමණ වී තිබෙයි. ඒවා සියල්ලම නොවෙතත් යම් ගණනක් හෝ කොවිඩ්-19 නිසා සිදු වූ බව බව සිතිය හැක්කේ ඒ ගණන ස්වාභාවිකව සිදුවන මරණ ගණනට වඩා ඉහළය. එම ගණන ඒ වන විට එරටින් වාර්තා වී තිබූ නිල කොවිඩ්-19 මරණ ගණනින් පහෙන් පංගු දෙකක් පමණ විය. ස්පාඤ්ඤය ද පසුව රෝහල්වලින් පිටත මියගිය කොවිඩ්-19 රෝගීන් ගණනය කිරීම ආරම්භ කළේය.

මෑත කාලයේ ඉන්දුනිසියාවේ ඇති වූ මරණ දෙදහසකට අධික ප්‍රමාණයක් කොවිඩ්-19 රෝගයේ උග්‍ර අවස්ථාවේ ලක්ෂණ පෙන්නුම් කරන ඒවා බව වාර්තාවක සඳහන් විය. එහෙත් එම රෝගීන් කොවිඩ්-19 සඳහා පරීක්ෂා කර නැති බැවින් කොවිඩ්-19 මරණ සංඛ්‍යාවට ඇතුළත් වී නැත. එසේ ඇතුළත් නොවූ මරණ ගණන ඒ වන විට එරටින් වාර්තා වී තිබූ නිල කොවිඩ්-19 මරණ ගණන මෙන් තුන් ගුණයක් පමණ විය. ඒවා සියල්ලම කොවිඩ්-19 මරණ බවට පැවසිය නොහැකි නමුත්, මේ අනුව එරට සමස්ත කොවිඩ්-19 මරණ ගණන වඩා ඉහළ විය හැකි බව අනුමාන කළ හැකිය. එමෙන්ම මාර්තු මාසයේදී එරට අගනුවර වන ජකාර්තා නගරයේ සුසාන භූමි වලින් වාර්තා වූ භූමදාන ප්‍රමාණයේ 40%ක පමණ ඉහළ ගොස් තිබිණි.

කොවිඩ්-19 මරණ අඩුවෙන් වාර්තා වීම සඳහා බලපෑ තවත් හේතුවක් වූයේ වාර්තාකරණය සම්බන්ධව පැන වූ සීමාය. ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල මියයන රෝගීන්ගේ මරණ සහතිකයේ කොවිඩ්-19 රෝගය නිසා මිය ගිය බව සඳහන් නොකරන ලෙස වෛද්‍යවරුන්ට උපදෙස් දුන් අවස්ථා ගැන ද ටෙලිග්‍රාප් පුවත්පතේ සඳහන් වේ. එසේ කළ හැක්කේ රජයෙන් පත් කළ කමිටුවකින් අනුමත කළ විට බව පැවසේ. ඒ ඉන්දියාවෙනි. එය රෝගය නිසා ඇති වන මරණ ගණන උවමනාවෙන්ම අඩු කර දැක්වීමට කරන ලද්දක් ද යන්න පුවත්පත ප්‍රශ්නකර ඇත. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කොවිඩ්-19 මරණ ගණන අඩු අගයක් ගැනීමට හේතුව වාර්තා නොවූ මරණ තිබීම ද යන්න පරීක්ෂා කිරීම සඳහා මධ්‍යම රජය විසින් කමිටුවක් ද පත් කරන ලදි.

මේ අතර රෝගීන්ගේ සංස්කෘතිකමය සීමා නිසා ද මේ රෝගය නිසා ඇති වූ මරණ අඩුවෙන් වාර්තා වී ඇති බව පෙනෙයි. පාකිස්ථානයේ ඇතැම් වැසියන් රෝගියාට කොවිඩ්-19 රෝගය ඇතත්, රෝගියා මියගියහොත් අවමඟුලට ඇති වන සීමා නිසා රෝහලට යෑමට අකමැති වී ඇත. මෙවැනි පිරිස් රෝගය නිසා මියගිය ද, ජාතික මට්ටමේ නිල සංඛ්‍යාලේඛනවලට ඇතුළත් නොවෙයි.


නිවැරදි සංඛ්‍යා සොයාගත හැකි ක්‍රමයක්


මෙවැනි අවස්ථාවලදී නිවැරදි මරණ ප්‍රමාණය ගණනය කළ හැකි ක්‍රම තිබෙයි. එවැනි එක් සරල ක්‍රමයකදී සිදුකරන්නේ කිසියම් රටක හෝ ප්‍රදේශයක පසුගිය වසර කිහිපයක කිසියම් කාලයක (නිදසුනක් ලෙස කොවිඩ්-19 රෝගය පැවති මාස කිහිපය) ඒ රටක සිදු වී ඇති මරණ ගණනේ සාමාන්‍ය හා සංසන්දනය කිරීමේ දී රෝගය පැවති වසරේ ඒ කාලයේ සිදුවිය හැකි මරණ සංඛ්‍යාව ගණනය කිරීමෙනි. එසේ සාමාන්‍ය වර්ෂයක සිදුවිය හැකි මරණ ගණනට වඩා රෝගයක් පැවති වර්ෂයක වැඩියෙන් සිදුවන මරණ ඇති වී තිබෙන්නේ අදාළ වර්ෂයේ එම කාලයට බලපෑ සාධකයක් නිසාය. එහෙත් එසේ නොවන වෙනත් තත්ත්ව නිසා ඇති වන මරණ ද මේ අතර තිබිය හැකි අතර. ඒවා සම්බන්ධව නිවැරදි කිරීම් කිරීමෙන් කොවිඩ්-19 මරණ ගණන ආසන්න වශයෙන් ගණනය කළ හැකි බව විද්‍යාඥයන්ගේ අදහසයි.

මීට එක් නිදසුනක් වන්නේ මාර්තු 17 සිට මැයි 3 දක්වා ස්පාඤ්ඤයේ ඇති වූ මරණ ගණනයි. පසුගිය වසර 12ක සාමාන්‍යය අනුව, සාමාන්‍ය තත්ත්වය යටතේ එරට තුළ මේ කාලයේ ඇති විය හැකි මරණ ගණන 52,697ක් පමණ විය යුතු බව ගණනය ඇත. ඒ මරණ ගණනට අමතරව මේ වර්ෂයේ කොවිඩ්-19 නිසා හඳුනාගත් මරණ ගණන 25,119කි. එහෙත් ඊට අමතරව තවත් මරණ 5,745ක් පමණ ද සිදුව ඇත. මේ මරණ 5,745 තුළ කොවිඩ්-19 වැළඳී හඳුනාගැනීමට නොහැකි වූ මරණ තිබිය හැකිය. එසේම, වෙනත් හේතු නිසා ඇති වූ මරණ මෙන්ම, ‘පූර්ව මර්ත්‍යතාව’ (early mortality) ද තිබිය හැකි බව පෙන්වා දී තිබෙයි. පූර්ව මර්ත්‍යතාව ලෙස හඳුන්වනු ලබන්නේ වියපත් හා වෙනත් රෝගයක් සහිත ආයු අපේක්ෂාව අඩු වී, කොවිඩ්-19 රෝගය වැළදීමෙන් ඉක්මනින් සායනිකව අයහපත් තත්ත්වයකට මරණයට පත්වන අයයි. ඔවුන් මරණයට පත්වන්නේ ඔවුන්ට වැළඳී තිබූ අනෙක් රෝගයක් නිසා වුවද, කොවිඩ්-19 වයිරසය ඒ මරණ කඩිනම් කර ඇත.

පසුගිය අප්‍රේල් මාසයේදී රුසියාවේ මොස්කව් හා ශාන්ත පීටර්ස්බර්ග් නගරවල සිදු වූ සියලු මරණ ගණනේ එකතුව පසුගිය වසර පහක ඒ මාසයේදී සිදු වූ මරණවල සාමාන්‍යයට වඩා 2073ක් පමණ ඉහළ වූ විය. එහෙත් අප්‍රේල් මාසයේදී ඒ නගර දෙකෙන් වාර්තා වූ නිල කොවිඩ්-19 මරණ ගණන 629ක් වූ අතර, ඒ ගණන ඉහත ඉලක්කමෙන් අඩු කළ විට, අප්‍රේල් මාසයේදී සිදු වන සාමාන්‍ය මරණ ගණනට වඩා මරණ 1444ක් වැඩියෙන් සිදු වී ඇති බව පෙනෙයි. මේ අතරින් සමහරක් කොවිඩ්-19 නිසා සිදු වූ ඒවා විය හැකිය.
ඇමරිකාවේ පවා මීට සමාන තත්ත්වයක් ඇති වී තිබේ. රෝගය වාර්තා වූ මුල් සති කිහිපයේදී එරටින් වාර්තා වූ අතිරේක මරණ ගණන, කොවිඩ්-19 රෝගයෙන් මියගිය බවට වාර්තා වූ ප්‍රමාණය මෙන් දෙගුණයක් පමණ විය. මේ අතිරේක මරණ ගණන අයනු මේ කාලයේදී සාමාන්‍යයෙන් ඇති වන මරණ ගණනට වඩා වැඩියෙන් සිදුවන මරණ ගණනයි.

වර්තමානයේ වැනි වෛද්‍ය, සන්නිවේදන ක්‍රම ප්‍රචලිත කාලයක මෙසේ සිදුවිය හැකි නම්, අතිතයේ පැවති වසංගතවල දී ඇති වූ මරණ ගණන කෙතරම් අක්‍රමවත්ව වාර්තා වී තිබේදැයි යන්න සිතාගත හැකිය. එහෙත් මෙවැනි ක්‍රම යොදාගනිමින් අතීතයේ ඇති වූ වසංගත අවස්ථාවල සිදුව ඇති මරණ ප්‍රමාණය ගණනය කිරීමට පියවර ගෙන තිබේ. එවැනි අවස්ථාවක් ගැන නිදසුනක් ලංකාවෙන් පෙන්වා දීමට හැකිය. ඒ 1918-1920 කාලයේ ලංකාවේ ව්‍යාප්ත වූ ස්පාඤ්ඤ උණ වසංගතය නිසා ඇති වූ මරණ ගණන නිවැරදිව ගණනය කිරීමට යොදාගත් ක්‍රමවේදයයි.


ස්පාඤ්ඤ උණ නිසා ලංකාවේ ඇති වූ මරණ


1918 හා 1920 දක්වා සමස්ත ලෝකයේම ව්‍යාප්ත වූ, ස්පාඤ්ඤ උණ නිමින් වඩාත් ප්‍රකට වූ ඉන්ෆ්ලුවන්සා රෝගය නිසා මරුමුවට පත් වූ මිනිසුන් සංඛ්‍යාව මිලියන 20ත් 100ත් ත් අතර වෙයි. වඩා සාධාරණ අගය වන්නේ මිලියන 50කි.

මේ රෝගය ලංකාවට ද බලපෑ අතර ඒ නිසා මරණයට පත් වූවන් ප්‍රමාණය ඒ දිනවල පළ වූ වාර්තාවල සඳහන් වන්නේ වෙනස් ආකාරයටය. රෙජිස්ටාර් ජනරාල්වරයාගේ සංඛ්‍යාලේඛන අනුව 1918-19 වර්ෂවල මේ රෝගය නිසා මරණයට පත්වූවන්ගේ ගණන 41,916කි. මේ ගණනට නියුමෝනියාවෙන් හා වෙනත් සංකූලතාවලින් මියගිය ගණන අඩංගු වී නැත. එහෙත් 1921 වර්ෂයේ ජන සංගණන වාර්තාවට අනුව මේ ඉන්ෆ්ලුවන්සාවෙන් ඇති වූ මරණ ගණන 57,000කි.

කෙසේ වෙතත්, මේ පිළිබඳව පසුකාලයක විද්‍යාත්මක ක්‍රම භාවිතයෙන් අධ්‍යයනය කර තිබේ. සංගණන වාර්තා හා ලියාපදිංචි කිරීමේ දත්ත භාවිත කරමින් සී. එම්. ලැංග්ෆෝඩ් හා පී. ස්ටෝරි විසින් 1992 වර්ෂයේ පළ කළ එක් අධයයනයකට අනුව මේ ඉන්ෆ්ලුවන්සාව නිසා ලංකාවාසීන් 50,000ක් පමණ මියගිය බව සඳහන් කර ඇත. ඒ ගණන මෙරට එවකට සිටි මුළු ජනගහනයෙන් 1.1%ක් පමණ පිරිසකි.

නියාල් ජොන්සන් හා ජර්ගන් මුලර් විසින් 2002 දී පළ කළ අධ්‍ය්‍යනයකට අනුව ඒ වසංගතයෙන් ලංකාවේ මියගිය ගණන 91,600ක් ලෙසය. වර්නන් අයි ලී හා තවත් අය විසින් සිදු කළ අධ්‍යයනයකදී මේ මරණ ගණන 51,000ත් 91,600ත් අතර ගණනක් විය හැකි බව පෙන්වා දී තිබෙයි.

මේ පිලිබඳව 2014 වර්ෂයේදි පළ වූ සිද්ධාර්ත් චන්ද්‍රා හා දිල්ශානි සරත්චන්ද්‍ර විසින් සිදුකළ අධ්‍යයනයක දී අවධානය යොමු කර ඇත්තේ 1891 සිට 1931 දක්වා වූ සංගනන පහක දත්ත ඇසුරින් සකස් කළ ජනගහනය වර්ධන ආකෘතියකි. ඒ අනුව ඔවුන් පෙන්වා දෙන පරිදි මේ රෝගය නිසා ඇති වූ ජනගහන හානිය මීට පෙර අධ්‍යයනවලින් පෙන්වා දුන් මරණ ප්‍රමාණයට වඩා ඉහළය. එය සංඛ්‍යාත්මකව ගතහොත් 307,000 හා 313,000 අතර වෙයි. එය මෙරට ජනගහනයෙන් 6.7%ක් පමණ වෙයි. එමගින් ලංකාවේ 1918-19 ඇති වූ ඉන්ෆ්ලුවන්සා මරණ අනුපාතය මීට පෙර අධ්‍යයනයවලින් පෙන්වා දුන් ගණනට වඩා සැලකිය යුතු තරම් ඉහළ බව යෝජනා කර ඇත.

Saturday, June 13, 2020

1921 ව්‍යවස්ථාදායක සභා මැතිවරණය - ඡන්දදායකයා හා අපේක්ෂකයා

ධනේෂ් විසුම්පෙරුම

"සීමිත පිරිසකට ඡන්ද බලය හිමි වූ 1921 මැතිවරණය"



ඉරිදා ලංකාදීප, තක්සලාව, 2020.04.26, පි. 10 (Irida Lankadeepa)
Not available online



අපි දැන් මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය අභිමුව සිටින්නෙමු. තවත් මාස දෙකක් ඇතුළත දිනයකදී මෙරට ව්‍යවස්ථාදයකය වන පාර්ලිමේන්තුවට සභිකයන් තෝරා යැවීමේ බලය ජනතාවට ලැබී ඇත. ඒ අනුව දිස්ත්‍රික් මට්ටමින් මන්ත්‍රීවරුන් 196 දෙනෙකු හා ජාතික ලැයිස්තුව තුළින් මන්ත්‍රීවරුන් 29 දෙනෙකුද පාර්ලිමේන්තුවට පත්කරයැවීම සඳහා රට පුරා වෙසෙන මිලියන පහළොවකට අධික ඡන්දදායක පිරිසක් මේ මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමි වෙයි.

වර්තමානයේ කිසිදු භේදයකින් තොරව සියලු දෙනාටම ඡන්ද බලය හිමි වී ඇත්තේ සර්වජන ඡන්දබලය නිසාය. කිසිදු වෙනසක් හෝ සුදුසුකමක් නොමැතිව පිරිමින් හා කාන්තාවන් ඇතුළු සියලු දෙනාටම හෙවත් සර්වජන ඡන්දබලය මෙරට වැසියන්ට හිමි වූයේ 1931 වර්ෂයේ දීය. ඒ වන විට ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් විය. ඊට පෙර, 1910 වර්ෂයේ සිට, මෙරට වැසියන්ට හිමිව තිබුණේ සීමිත පිරිසකට ඡන්ද බලය හිමි වූ තත්ත්වයකි.

බ්‍රිතාන්‍ය පාලකයන් විසින් 1910 වර්ෂයේ දී සීමිත පිරිසකට ඡන්ද බලයක් ලබාදුන් අවස්ථාව එවකට ආණ්ඩුකාර ධූරය දැරූ හෙන්රි මැකලම් නමින් මැකලම් ප්‍රතිසංස්කරණ ලෙස හඳුන්වනු ලැබේ. ඒ අවස්ථාවේදී ව්‍යවස්ථාදායක සභාවට මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු පත් කිරීමට උගත් පිරිසකට අවස්ථාව ලැබිණි. එහිදී ‘ලාංකික’ (Ceylonese) මන්ත්‍රීවරයා තේරීමට මෙරට වැසි උගත් ලාංකික පිරිසකට අවස්ථාව ලැබිණි. ඒ හැර සෙසු මන්ත්‍රීධූර වූයේ යුරෝපීය (නාගරික) යුරෝපීය (ග්‍රාමීය) හා බර්ගර් යන මන්ත්‍රීධූරයි.

මේ මන්ත්‍රී ධූර ප්‍රමාණය පිළිබඳව සෑහීමට පත් නොවූ ලාංකික නායකයන් අඛණ්ඩව සිදු කළ ඉල්ලීම් අනුව ඡන්ද බලය හිමි ජනතාවගේ ප්‍රමාණය මෙන්ම ඡන්දයෙන් පත්කරගන්නා ලද මන්ත්‍රීවරුන්ගේ ගණන ද පසුව ඉහළට නංවන ලදි. ඒ අනුව මීට වසර සියයකට පමණ පෙර 1920දී පමණ සම්මත වූ මැනිං ප්‍රතිසංස්කරණ අනුව ව්‍යවස්ථාදායක සභාවට ඡන්දයෙන් පත්කරගන්නා මන්ත්‍රීවරුන් ගණන 16ක් දක්වා ඉහළ ගියේය. ඒ යටතේ පවත්වන ලද පළමු මැතිවරණ 1921 වර්ෂයේ මාර්තු හා අප්‍රේල් මාසවල පවත්වන්නට යෙදිණි.


1921 දී ඡන්දදායක සුදුසුකම්


1920 වර්ෂයේ දී ඡන්දදායකයෙකු වීමට අවශ්‍ය වූ සුදුසුකම් ගණනාවක් විය. ඒ අතර බ්‍රිතාන්‍ය විජිතයේ වැසියෙකු වීම, කාන්තාවක නොවීම, වයස අවුරුදු 21ට වැඩිවිය යුතු වීම ආදිය සඳහන් වෙයි. එසේම ඉංග්‍රීසි, සිංහල හෝ දෙමළ බසින් කියැවීමට, ලිවීමට හැකි විය යුතු විය. එසේම ඡන්දදායක නාමලේඛනයට නම ඇතුළත් කරන මැතිවරණ කොට්ඨාසයේ එම වසරේ ජුලි 31දිනට පෙර වසරක් පමණ කාලයක් හෝ පදිංචිව සිටිය යුතු විය. එසේම කිසියම් වරදකට මාස තුනකට වැඩි කාලයක් සිර දඬුවම් නියම වී නොතිබීම වැනි අධිකරණයෙන් දඬුවම් නියම වී නොතිබීම හා මානසික වශයන් හොඳ තත්ත්වයක සිටීම ද මෙහි සඳහන් විය. එමෙන්ම සතු විය යුතු වූ දේපොළ පිළිබද නිරණායක ද මීට අයත් විය.

කෙසේ වෙතත් 1910 වර්ෂයේදී ඡන්ද හිමියෙකු වීමය නම් අවශ්‍ය වෘත්තීන් නියම කර තිබූ අතර එය 1920 දී ඉවත් කර තිබිණි. 1910 වර්ෂයේ 1910 අංක 13 දරණ ආඥාපනතෙන් නියම කළ පරිදි එසේ ඡන්ද බලය හිමි වීමට තිබිය යුතු සුදුසුකම් අතර, නිශ්චිත වෘත්තීන් ගණනාවක නියුතු වුවන් ඇතුළත් විය. ඒ අතර නීතිඥ, අධිනීතීඥ, නොතාරිස්, වෛද්‍ය, මිනුම්දෝරු, ඉංජිනේරු, නාකරික මන්ත්‍රී, හමුදා නිලධාරීන්, රජයේ විශ්‍රාම වැටුප් හිමියන් වැනි පිරිස් ඇතුළත් විය. එසේම බ්‍රිතාන්‍ය හෝ ඉන්දීය හෝ යටත්විජිත විශ්වවිද්‍යාලයක උපාධිධරයෙකු හෝ උපාධි අපේක්ෂකයෙකු වීමද සුදුසුකමක් විය. එමෙන්ම ජ්‍යේෂ්ඨ හෝ කණිෂ්ඨ කේම්බ්‍රිජ් දේශීය (Cambridge Local) විභාග සමත්වීමඒ සඳහා සුදුසුකමක් ලෙස සැලකිණි. 1910 වර්යේදී පැවති ඡන්දදායකයෙකු වීමට අවශ්‍ය සුදුසුකම් යටතේ 1919 වන විට ඡන්ද බලය හිමි වූ ලාංකිකයන් ගණන වූයේ 3,013ක් තරම් අඩු පිරිසකි. සෙසු පිරිස (යුරෝපීයයන් හා බර්ගර් ජාතිකයන්) සමඟ මුළු එකතුව 6,100කට මදක් වැඩි විය. එය මෙරට ජනගහනයෙන් 0.14%කටත් වඩා අඩු ප්‍රමාණයක් විය.

එතෙක් උගත් ලාංකිකයන්ට සීමා වී තිබූ ලාංකික සභික ධුරවලට ඡන්දය පළ කිරීමේ අයිතිය මැනිං ප්‍රතිසංස්කරණ යටතේ 1920 දි පුළුල් කිරමේදී ඉංග්‍රීසි හා තවත් භාෂාවක් භාවිතය දක්වා පුළුල්ව ඇති බව පෙනේ. ඒ අනුව 1921 වර්ෂයේ පැවති මැතිවරණවලදී ඡන්ද බලය හිමි වූ ලාංකිකයන් ගණන 53000කට ආසන්න අගයක් දක්වා ඉහළ ගියේය. ඔවුහු මන්ත්‍රී ධුර 11කට සභිකයින් තෝරා යැවීමට අවස්ථාව ලදහ. සෙසු සභික ධූර පහක් සමඟ රටේ සමස්ත ඡන්දදායකයින් ගණන 55,000ක් ඉක්මවීය. (වගුව බලන්න) 1921 වන විට මෙරට ජනගහනය 4,498,000ක් වූ බැවින් ඡන්දදායක පිරිස 1.2%ක් තරම් අඩු ප්‍රතිශතයක් ගත්තේය. එහෙත් 1910 නිර්ණායක අනුව සිටි ඡන්දදායකයන් ගණනට වඩා 1921 වන විට ඡන්දදායක පිරිස නව ගුණයක් තරම් වැඩි වූ බව ලංකා නිල් පොත් වාර්තා හා පරිපාලන වාර්තාවල එන සංඛ්‍යාලේඛන අනුව පැහැදිලිය.


1921 දී මන්ත්‍රීවරයෙකු වීමට නම්


1920 මැනිං ප්‍රතිසංස්කරණ යටතේ මෙරට පිහිටුවන ලද ව්‍යවස්ථාදායක සභාව පෙර පැවති ව්‍යවස්ථාදායක සභාවට වඩා පුළුල් විය. රජයේ ඉහළ නිලධාරීන් පස්දෙනෙකු සභාවට නිල බලයෙන්ම පත් වු අතර, තවත් සභිකයෝ නවදෙනෙක් ද රජයේ නිලධාරීන් වූහ. එමෙන්ම මැතිවරණ මගින් සභිකයන් 16 දෙනෙකු පත් වූ අතර, තවත් 7 දෙනෙකු ආණ්ඩුකාරයා විසින්ද පත්කර ලදි. මුළු සභික ධූර ගණන 37ක් විය. (1910 මැකලම් ප්‍රතිසංස්කරණ යටතේ පිහිටුවන ලද ව්‍යස්ථාදායක සභාවේ සාමාජිකයන් ගණන 21ක් පමණක් වූ බැවින් 1920 සභාව වඩා පුළුල් වු බව පැහැදිලිය. මේ සභික ගණන 1923 දී තවදුරටත් ඉහළ නංවන ලදි.)

1920 සැප්තැම්බ්ර් මස 23 දින නිකුත් වූ සභාවේ නියෝග අනුව ව්‍යවස්ථාදායක සභාවට පත් වීම සඳහා 1921 දී පැවති මැතිවරණයට ඉදිරිපත් වීමට අවශ්‍ය සුදුසුකම් ඉහත දක්වා ඇති ඡන්දදායකයෙකු වීමට අවශ්‍ය වූ සුදුසුකම් හා සමාන බවක් පෙනුණ ද ඊට වඩා ඉහළ මට්ටමක විය. ඒවා මෙසේය.

සභිකධූරයකට ඉල්ලීමට ඉදිරිපත් වන අපේක්ෂකයා මෙරට රජයේ නිලධාරියෙකු නොවිය යුතු විය. ඒ පුද්ගලයාගේ වයස වයස අවුරුදු 25ට වඩා වැඩි විය යුතු විය (ඡන්දදායකයාගේ වයස සීමාව වූයේ අවුරුදු 21කි). එසේම අදාළ තැනැත්තා බ්‍රිතාන්‍ය විජිතයේ පුරවැසියෙකු විය යුතු විය. ඒ තැනැත්තා ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට, කියැවීමට හා ලිවීමට හැකියාව ඇති අයෙකු විය යුතුය. (ඡන්දදායකයකු වීමට පෙර කී භාෂා තුනෙන් දෙකක හැකියාව පමණක් වැදගත් වූ බව පෙනේ)

එම පුද්ගලයා කිසියම් මැතිවරණ කොට්ඨාසයක ඡන්දදායකයෙකු ලෙස ලියාපදිංචිවීමට අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කර තිබිය යුතු වූ අතර, එසේ ලියාපදිංචි වී තිබිය යුතු ද විය. ඡන්ද බලය හිමිවන්නේ පිරිමින්ට පමණක් වීම නිසා මෙම කරුණ මගින් අපේක්ෂකත්වය ද පිරිමින්ට සීමා කිරීම දැකිය හැකි විය. එසේම නාමයෝජනා කරනු ලබන දිනයට වහාම පෙර වසර තුනක කාලයක් තමන් ඉදිරිපත් වීමට අපේක්ෂා කරන මැතිවරණ කොට්ඨාසයේ පදිංචි වී සිටිය යුතු විය.

අදාළ අපේක්ෂකයා බංකොලොත් වී නොතිබිය යුතු වූ අතර වස්තුභංගත්වයට පත් වූ බවට ප්‍රකාශයට පත් කර නැති වීම ද සුදුසුකමක් විය. එමෙන්ම අදාළ බලයලත් ආයතනවලින් ඒ තැනැත්තා නීතිය හෝ වෛද්‍ය වෘත්තියේ යෙදීම තහනම් නොකළ අයෙකු වීම ද සුදුසුකමක් විය. ඊට පෙර රාජ්‍ය සේවයේ නියුක්තව සිටි අයෙකු වූයේ නම් රාජ්‍ය සේවයෙන් නෙරපූ අයෙකු නොවිය යුතු විය.

මේ හැරුණු විට එම පුද්ගලයාගේ ආදායම සම්බන්ධවද සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා තිබිණි. ඒ කරුණු තුනකින් එකකි. ඉන් පළමුවැන්න වූයේ රු. 1,500කට නොඅඩු පැහැදිලි වාර්ෂික ආදායමක් තිබීමය. දෙවැන්න රු. 6000කට නොඅඩු වටිනාකමකින් යුක්ත නිශ්චල දේපොළක් ඔහුගේ ‌හෝ ඔහුගේ බිරිඳගේ අයිතිය යටතේ තිබිය යුතු වීමය. තෙවැනි කරුණ වුයේ නාගරික ප්‍රදේශයක නම් රු. 500ක අවම වාර්ෂික වටිනාකමක්ද, වෙනත් ප්‍රදේශයක් නම් රු. 400ක වාර්ෂික වටිනාකමක්ද තිබෙන දේපොළක් අඩුම වශයෙන් වසරක කාලයයක් හිමි වී හෝ බදුකරුවෙකු ලෙස හිමි වී තිබීමය.

මේ කරුණු අනුව පෙනෙන්නේ ව්‍යවස්ථාදායක සභාවට ඉල්ලුම් කිරීමේදී සැලකිය යුතු සුදුසුකම් ප්‍රමාණයක් පිළිබඳව අවධානය යොමු කර තිබූ බවයි. එදා පැවැති අධ්‍යාපන මට්ටම අනුව මේ සභික ධූර සඳහා ඉදිරිපත් වී ඇත්තේ සැලකිය යුතු ඉහළ අධ්‍යාපනයක් ලද පිරිසක් බව පැහැදිලිය.


1921 මැතිවරණ ප්‍රතිඵල


මේ යටතේ ව්‍යවස්ථාදායක සභාවට සභිකයක් තේරීමේ මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවු අතර සභික ධූර 16න් 11ක් සඳහාම සභිකයන් පත් වී ඇත්තේ නිතරඟයෙනි. ඉතිරි කොට්ඨාස පහ සඳහා 1921 අප්‍රේල් මස 21 වන දින ඡන්ද විමසීම් පවත්වන ලදි. මෙහිදී එම කොට්ඨාසවල ප්‍රකාශිත වලංගු ඡන්ද ප්‍රතිශතය 70%ක් ඉක්මවා තිබීම විශේෂත්වයකි.

සමස්ත ව්‍යවස්ථාදායක සභාවට පත් වූ සභිකයන් මෙසේ දැක්විය හැකිය.





මන්ත්‍රී ප්‍රතිලාභ


මෙසේ සුදුසුකම් මත සභික අපේක්ෂකත්වය ලැබ සභික ධූරයක් ලබාගන්නා තේරුණු මන්ත්‍රීවරුන්ට ලැබුණු ප්‍රතිලාභ මොනවාද? ඔවුන්ට ඒ සඳහා වැටුපක් නම් හිමි නොවීය. එහෙත් මේ මැතිවරණයට ඉදිරිපත් වීමට මෙන්ම ජයගැනීම ද මගින් ජනතාව නියෝජනය කිරීමටද හැකිය. එය ඔවුන්ගේ ප්‍රජා නායකත්වය තවදුරටත් තහවුරු කරන අවස්ථාවක් වෙයි. ඉහත දැක්වූ මැතිවරණයට ඉදිරිපත් වූ හා ජයගත් අයගේ පසුබිම ගත්විට වැඩි පිරිසක් සාම්ප්‍රදායික ප්‍රභූ නායකත්වයේ සිටි අය බවද පෙනේ.

මැතිවරණය ජයගැනීමට ගත් විවිධ උත්සාහ ගැනද ඇතැම් විට අසන්නට ලැබෙයි. රත්නපුර දිස්ත්‍රික්කයේ රටේ මහත්මයෙක් එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරයේ යෙදීම පිළිබඳ චෝදනායක් ඇති වූ අවස්ථාවේදී එහි තමන් ඔහු කැඳවා ප්‍රශ්න කළ බව දිසාපති සඳහන් කරයි. ඔහු ඒ අවස්ථාවේදී අදාළ නීති රෙගුලාසි ගැන රජයේ සේවකයන් දැනුම්වත් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත. රටේ මහත්මයා යනු දිස්ත්‍රික්කයක සිටින දේශීය නිලධාරීන් අතර ඉහළ මට්ටමේ රජයේ සේවකයෙකි. මැතිවරණයකට ඉදිරිපත් වන අපේක්ෂකයෙකු වෙනුවෙන් සහාය වීමට ඔහුට බලයක් හිමි නොවීය. මේ සමඟ අපට සිහිපත් වන්නේ අද සිටින රජයේ සේවකයන් අපේක්ෂකයන් වෙනුවෙන් සහාය දක්වන ආකාරයයි.

නායකත්වය හා ප්‍රජා සේවය වෙනුවෙන් කිසිදු මූල්‍ය ප්‍රතිලාභයක් නොලබා දේශපාලනයට පිවිසියේ එදාය. එහෙත් අද තත්ත්වය වෙනස්ය. අද මෙරට නායකයන් දේශපාලනයට පැමිණෙන්නේ කුමකටද යන්න ගැන ජනතාව සාකච්ඡා වන්නේ ඒ නිසාය. අද මැතිවරණයකදී එක් මන්ත්‍රී අපේක්ෂකයෙකු විසින් වියදම් කරනු ලබන මුදල කෙතරම්ද යන්න ගැන සාකච්ඡාවක් ඇති වී තිබේ. ඒ ප්‍රමාණය ඔවුන්ට ලැබෙන වැටුපෙන් හා දීමනාවලින් වසර පහක් තුළ ඉපැයීමට නොහැකිය. එබැවින් අධික මුදලක් වියදම් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමට ප්‍රයත්න දරන්නේ කුමකටද යන්න ගැන කුකුසක් මතු වීම සාධාරණය.
 
(මූලිකවශයෙන් සමකාලීන මූලාශ්‍ර ද පසුකාලීන මූලාශ්‍ර කිහිපයක් ද උපයෝගි කරගනිමින් ලියන ලද්දකි)

Tuesday, June 9, 2020

අතීත මතක මාවතක පියනැගුවෙමි

ධනේෂ් විසුම්පෙරුම




නුගේගොඩට නුදුරුව පිහිටි අතුරු මාර්ග කීපයක පා ගමනින් යන්නට මට පසුගිය කාලයේ (කොරෝනා නිවාඩුවට පෙර) සිදු විය. මගේ දිවියේ වසර දොළහකටත් අධික කාලයක් අප පවුලේ අය පදිංචිව සිටියේ ඉන් එක් මාවතක පිහිටි ඇනෙක්සියකය. ඊට මගේ පාසැල් සමයේ වසර 12ක්ම හෙවත් ළමා කාලයම පාහේ අයත්ය. 1992 වර්ෂයේ ඒ නිවසින් අපේම වූ නිවසකට පැමිණි දාට පසු මා ඒ පාරේ ගියේ වරක් දෙවරක් පමණි. ඒ ද වාහනවලය.

පසුගියදා මට යළි ඒ මාවතේ හා යාබද මාවත් කීපයක පයින් ඇවිද යන්නට අවස්ථාව ලැබුණේ වසර පහලොවකට පමණ පසුවය. එසේ පිය නැගූ හැම දිනක්ම ජීවිතයේ මතක රැසක් අවදි කළේය. ඒ සමහරක් සුන්දරය, තවත් ඒවා වේදනාත්මකය. ඒ මතක සමහරක් සටහන් කිරීමට මට සිතුනේ ඒවා එතරම්ම සිතේ තැන්පත්ව ඇති නිසාය.

එදා තාර දමා තිබුන ද තැනින් තැන ගල් ගැල වී ඇති තිබූ ඒ මාවත් තුනම අද වන විට කාපට් දමා ඇත. එසේම ඒවාට සම්බන්ධ වූ පස් පාරවල් ක‌ොන්ක්‍රීට් කර ඇත. නැතිනම් ගල් අල්ලා තිබිණි. එදා ඉඳහිට වාහන ධාවනය වූ මේ පාරවල දැන් වෙනදාට වඩා වාහන දැකිය හැකිය. ඒවා නවීන පන්නයේ අලුත් වාහනය.

එදා මට පුරුදු නිවෙස් රැසක් තිබූ තැන්වල අද වෙනත් නිවෙස් ඉදි වී ඇත. මම ඉංග්‍රීසි පංති ගිය ගූරුවරයෙකුගේ හා ගුරුතුමියකගේ නිවෙස් දෙකක් තිබූ තැන්වල දැන් නවීන නිවාස ඉදිවී ඇත. එක් ගුරුවරියකගේ නිවස මා ඉතා ප්‍රිය කළ පැරණි පන්නයේ ආලින්දයක් තිබූ නිවසක් විය. ඒ පැත්තේ තිබූ අතලොස්සක් වූ එවන් නිවාස අතරින් හොඳ තත්ත්වයේ තිබූ සුන්දරම නිවස වූයේ එයයි. අද එතැන තිබුණේ තට්ටු දෙකක නිවෙසකි. මේ මතකය සිහි වී එතුමිය මට දුන් ඉංග්‍රීසි අරාබි නිසොල්ලාසය පොත සොයා බැලුවෙමි. එය මගේ පොත් එකතුවේ විය!

මගේ මිතුරන් විසූ නිවෙස්ද වෙනස් වී ඇත. ඒවායේ අලුත් පන්නයේ, තට්ටු දෙකේ තුනේ නිවාස ඉදි වී ඇත. ඒවායේ ස්වරූපය අනුව නේවාසික පරිසරයක් ලෙස සමස්ත ප්‍රදේශයේම තත්ත්වය ඉහළ ගොස් ඇති බව පැහැදිලි විය. එදා තිබූ කෙටි තාප්ප හා වැටවල් වෙනුවට අද උස් තාප්ප ඉදි වී තිබිණි. එයින් දැක්වුණේ මිනිසුන් එකිනෙකාගෙන් දුරස් වී ඇති අන්දමයි. අප පදිංචිව සිටි නිවසට යාබදව පිහිටි අක්කරයක පමණ ඉඩමක් මැද එක් පැරණි නිවසක් තිබූ තැනක අද නිවාස ගණනාවක් ඉදිව ඇත. ඒ ඉඩම බෙදා විකිණීම ආරම්භ වූයේ අප එහි සිටි කාලයේදීමය.

අලුතින් ඉදි වී තිබෙන බොහෝ නිවෙස්වල වාසය කරන්නේ මුල්පදිංචිකරුවන් නොවේ. ගේට්ටුවේ හෝ තාප්පයේ නම් සඳහන් කර තිබූ එකදු නිවෙසක හෝ මට පුරුදු නමක් හමු නොවීය. එසේම ඇතැම් නිවෙසක් විකුණා ඇත්තේ ඒ මිතුරු මිතුරියන්ගේ උසස් අධ්‍යාපනය සඳහා බව ඒ දිනවලම දැනගන්නට ලැබිණි. තවත් පවුල් වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වූයේ මේ ප්‍රදේශයේ වූ ඉඩම වැඩි මුදලකට විකුණා, ලොකු ඉඩමක් ගෙන දරුවන්ට ද බෙදා දීම සඳහාය. (කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තමා උපන් ගම් පිටින් ආ අයට විකුණා ඈත ප්‍රදේශවලට යෑම පසුගිය දශක කීපය තුල දැකිය හැකි විය).

එහෙත් වෙනස් නොවී තවමත් එදා මෙන්ම තිබූ නිවාස කීපයක්ම මට හඳුනාගත හැකි විය. ඉන් එකක් ඒ අයම පදිංචි නිවසක් බව මම දන්නේ එහි වෙසෙන්නේ ප්‍රසිද්ධ අයෙකු නිසාය. අනෙක් නිවස නම් නිසි නඩත්තුවක් නොමැතිව පැවති අතර ගබඩාවක් ලෙස භාවිත වන බවක් පෙනිණි.

පාරේ එතරම් වාහන ධාවනය නොවූ එකල අප පදිංචිව සිටි මාවතේ අප ක්‍රිකට් සෙල්ලම් කළේ මේ පින්තූරයේ පෙනෙන ඉසව්වේය. මදක් බෑවුම් සහිත ඒ පාරේ වාහන යන විට සෙල්ලම නවතා කඩුල්ල (පුටුවක් හෝ ලෑලි කැබැල්ලකි) පාරෙන් ඉවත්කරමින් "පාරෙ ක්‍රිකට්" ගැසූ හැටි සිහි විය. ඉදහිට අවට නිවසක ජනෙල් වීදුරුවක් බිඳුණු පසු ක්‍රිකට් ක්‍රීඩාවට සති කිහිපයක තහනමක් පැනෙවෙයි. එහෙත් එවැන්නක් සිදු වූයේ කලාතුරකිනි. මේ පාරෙන් හැරී යන අපේ නිවෙස හා තවත් නිවාස දහයක් පමණ පිහිටි ගුරුපාරේ දුවද්දී ගසක මුලක් පැටලී වැටී දකුණු අත දෙවන වරටද කඩාගත් හැටි මට මතක් විය. මතකයේ හැටියට ඒ 1980 ඔක්තෝබර් මාසයේ මුල දිනයක දීය.

අපේ නිවෙස් අසල විසූ පවුල්වල අය ම‌ගේ මතකයට ආවේ නිතැතින්මය. වැඩිහිටියන්, මෙන්ම සමවයස් මිතුරු මිතුරියන් ගණනාවකගේ මුහුණු සිතේ ඇදී ගියේය. ඒ ඇතැම් අය ගැන මතකය සුන්දරය. පෙර සඳහන් කළ පරිදිම ඒ අය වැඩිදෙනා අද වන විට නිවෙස් විකුණා හෝ විවාහ වී හෝ ප්‍රදේශය අත්හැර ගොසිනි. අපේ නිවෙස් අසල සිටි මට වඩා වසරක් බාල නිවුන් සොහොයුරන් දෙදෙනෙකු සක්‍රිය හමුදා සේවයේය. ඔවුන්ගේ වැඩිමල් සොයුරිය මට වසරකට දෙකකට වරක් හමුවන නිසා ඔවුන් ගැන දන්නෙමි. එක් අයෙකු යුද්ධයේදී තුවාලද ලද්දේය. ඔවුන්ගේ ඥාතීන් වූ සම වයස් මිතුරියන් දෙදෙනෙකු ද අපේ මිතුරු සමූහයේ විය. ඉන් එක් යුවතියක් දකුණු පළාතේ රැකියාවකට ගොස් ඒ ප්‍රදේශයටම දීග ගොසිනි. අනෙක් තරුණියගේ පවුලේ අය පදිංචිය වෙනස් කළේ අප එහි සිටි කාලයේදීමය. මේ සිව්දෙනා මෙන්ම සමහර විට මේ පවුල්වල වැඩිමහල් සොයුරු සොයුරියන් මෙන්ම වැඩිහිටි ඥාතීන් ද ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම ගුරුපාරේ කළ ටින් කැඩීමට ද එක් වූහ. මේ සිව්දෙනාම මට 1992න් පසු හමු වී නැත.

ඒ මාවතේ එකල උදේ හවස දුටු "නෙතට පියදසුන්" වූ ඇතැම් අය ගැන මතකය ගෙන ආවේ නම් මදක් සුන්දර වූ ද මදක් දොම්නසකින් යුක්ත වූද හැඟීමකි. මම ඒ බොහෝ දෙනා හඳුනාගත්තේ දහම්පාසලෙනි. එසේම, අතිරේක පංතිවල, මහමග, බසයේ ද හමු වූ ඔවුන් වැඩි දෙනා මට බාලය. එයින් එවකට කුඩා දැරියන් දෙදෙනෙකුගේ නම් මෙන්ම මුහුණු ද තාමත් මතකය. ඒ ඔවුන් දහම්පාසලේදී හමු වූ නිසාත්, එහි සමිති සමාගම් කටයුතුවල යෙදුණු නිසාය. මේ සමහර මිතුරු මිතුරියන් ඉන්නා ඡායාරූප මා සතුව ඇත. ඒවා සමහරක් බොඳව ගොස් ඇතත්, මතකය ඊට වඩා ප්‍රබලය.

පෙර සඳහන් කළ අද ගබඩාවක් වී ඇති නිවසේ කලක් පදිංචිව සිටි මගේ වයසට සමාන වයසක සිටි යුවතිය මට ඒ නිවස දුටු විටම සිහිවිය. බෙහෙවින් රූමත් වූ ඇය අප දැන සිටි සෙසුු යුවතියන්ට වඩා පොෂ් පෙනුමක්ද සතු වූවාය. ඇය ගියේ ප්‍රකට කතෝලික පාසලකටය. වසරකටත් අධික කාලයක් අපි බොහෝ දිනවල උදේ එකම බස් එකේ පාසල් ගියද කිසිදිනක කතා කර නැත්තෙමු. ඇගේ නිවස ආසන්නයේ සිටි අපේ යාළුවන් දැමූ නම තාමත් මතකය. ඇය අඳින ඇඳුම් නිසා වැටුණු ඒ නම ඇය කිසිදිනෙක දැන සිටියාදැයි නොදනිමි. දවසක් සවස ඒ නික්නේම් එක මට කී මිතුරා සමඟ ඒ වචනය සන්ධි කළ හැටි සාමාන්‍ය පෙළ සිංහල දැනුමින් වටහා ගන්නට උත්සාහ කළෙමු. ඔහු අද අප අතර නැත. ඔහු පසු කලක යුධ හමුදාවට බැඳී උතුරේදී රට වෙනුවෙන් දිවි පුදකළේය. ඔහු ගැන මතක වේදනාත්මකය. ඔහුගේ වැඩිමල් සොයුරිය මට පසුකලක වරක් දෙවරක් හමු වී ඇතත් කතා කරන්නට අවස්ථාවක් ලැබී නැත.

ඉදහිට හමුවන ඒ පැත්තේ මිතුරෙකුගෙන් මෙවැනි තොරතුරු දැන ගතිමි. ඒ පැත්තේ පදිංචිව සිටි අයියා කෙනෙක් මට ඊයේ පෙරේදා ෆේස්බුක් එකෙන්මු හමු විය. 1990 ගණන්වලම ඒ ප්‍රදේශය හැර ගිය පවුලක වැඩමලා වූ ඔහු ළඟ දී දිනක් මට දුරකථනයෙන්ද ඇමතීය.

වෙනත් ප්‍රදේශවල පදිංචියට ගොස් ඇති ඇතැමුන් එදායින් පසු කෙදිනකවත් මගතොටකදී හෝ දැක නැත. එසේම තාමත් ඒ ප්‍රදේශයේ පදිංචි ටික දෙනා අතරින් මට හමු වී ඇත්තේ ද කීප‌ දෙනෙකු පමණකි. එම පෙදෙසින් අප පිටමංව ගත වූ සියවස් කාලකට අධික කාලයේ යළිත් හමු වී නැති අය බොහෝය. ෆේස්බුක් අඩවියෙහි ද මට තාමත් හමු ව ඇත්තේ ද දෙදෙනෙකු පමණය.

මට නිතැතින්ම සිහු වූයේ ටී.එම්. ජයරත්න ගයන මේ ගීතයයි. ඒ ගීතයේ කියැවෙන සන්දර්භය වෙනස් වූවත් මේ කොටස මගේ මතකයනට ද අදාළ බව සිතිණි.

''මේ පුංචි රටේ - කෙදිනක හෝ
මතු කවදා හෝ - යළි අප හමුවේවි''

මේ මා දකින්නේ කාලය මැවු වෙනසක අරුමයයි. ඒ කාලය දෙස මා බැලූවේ සිහින් ශෝකයක් හා සියුම් සතුටක්ද ඇතිව වුවද යම් උපේක්ෂාවකින්ද යුක්තවය. එසේ සිතීමට හැකි වීමම සතුටකි... මේ සටහන තබා අවසන් වූ මොහ‌ොතේ සිතට දැනුණේ මද සැහැල්ලවකි.

සැබැවින්ම එය මතක මාවතක පියනැගීමක් ම විය.

2020.06.08

Sunday, June 7, 2020

වසංගත නිසා අතීතයේ සීමා වූ ආගමික උත්සව

ධනේෂ් විසුම්පෙරුම


ඉරිදා ලංකාදීප, 2020.06.07, තක්සලාව, පි. 7 (Sunday Lankadeepa)

http://www.lankadeepa.lk/sunday/thaksalawa/55-573177


සමස්ත ලෝකයටම බලපා ඇති නව කොරෝනා හෙවත් කොවිඩ්-19 වසංගතය නිසා අපේ රටේ විවිධ අංශවලට බලපෑම් ඇති වී තිබෙයි. මේ අතර අපේ රටේ ආගමික උත්සවවලට හා වන්දනා ගමන්වලට ද සීමා ඇති වී ඇත. වාර්ෂික ශ්‍රී පාද වන්දනා සමයේ අවසාන මාස දෙකක කාලය මෙහි බලපෑමට ලක් විය. බෞද්ධයින්ගේ වැදගත්ම පසළොස්වක පොහොය වන වෙසක් පොහොය ගෙවී ගියේ බොහෝ දුරට පන්සල් යෑමෙන් තොරව තම තමන්ගේ නිවෙස්වල ආගමික කටයුතුවල යෙදෙමිනි.

මේ ලිපිය ලියන අවස්ථාව වන විට මේ වර්ෂයේ පොසොන් පොහොය ද ඒ හා සමානව ගත වෙන්නක් බවට පත්ව ඇත. කිතුනු බැතිමතුන්ගේ වැදගත් ආගමික උත්සවයක් වන මහ සිකුරාදා සහ පාස්කු ඉරුදින ආගමික කටයුතු ද ප්‍රසිද්ධ රැස්වීම්වලින් තොරව ගෙවී ගියේ අප්‍රේල් මාසයේ දීය. මැයි මාසයට යෙදුණු ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උත්සවයද ගෙවී ගියේ ප්‍රසිද්ධ ආගමික කටයුතු නොමැතිවය. මේ ආකාරයෙන් ආගමික කටයුතු සම්බන්ධව පසුගිය මාස තුනක පමණ කාලය පුරා පවත්නා මේ තත්ත්වය ගැන සමාජයේ යම් සාකච්ඡාවක් ද ඇති ව තිබෙනු දක්නට ලැබිණි.

මේ ආකාරයෙන් ආගමික උත්සව සඳහා සීමා පනවනු ලැබූයේ රජයේ බලධාරීන් විසින් පැනවූ සීමා කිරීම් නිසාය. එසේ සිදුකර ඇත්තේ පවත්නා කොවිඩ්-19 වසංගත රෝගය තවදුරටත් රට පුරා ව්‍යාප්ත වීම වලක්වා ගැනීම සඳහාය. අද පමණක් නොව මෙවැනි පියවර ගත් අවස්ථා රැසක්ම අපේ රටේ අතීතයේ දැකිය හැකිය. විශේෂයෙන් මෙවැනි සිදුවීම් ගැන වාර්තා දැකිය හැකි බ්‍රිතාන්‍ය පාලන සමයේ දී කොළරාව, මහාමාරිය, වසූරිය හා උණ සන්නිපාතය වැනි රෝග ඇති වූ අවස්ථා ගණනාවක්ම වාර්තා වෙයි. එවැනි අවස්ථාවල රෝගය ව්‍යා​ප්ත වීම වැලැක්වීම සඳහා ගෙන ඇති පියවර අතර අදාළ ආගමික උත්සවය පැවැත්වීම තහනම් කිරීම හෝ නැවැත්වීම, සහභාගි විය හැකි පිරිස සීමා කිරීම මෙන්ම ඇතැම් අවස්ථාවකදී ඒ උත්සවවලට සහභාගිවන වන්දනාකරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම ද වෙයි. කතරගම, දෙවුන්දර, තලවිල, මඩු වැනි ස්ථානවල පවත්වන ආගමික උත්සව මේ බලපෑමට ලක්වූ උත්සව අතර වෙයි. 20 වැනි සියවසේ මුල් කාලයේදී ලංකාවේ ඇති වූ විවිධ වසංගත තත්ත්ව හමුවේ ප්‍රකට ආගමික උත්සවවලට ඇති වූ බලපෑම් ගැන සාකච්ඡා කිරීම මෙම ලිපිය මගින් සිදුකරනු ලැබේ.


කතරගම උත්සව


ඌව පළාතේ දකුණු කෙළවරට වෙන්නට පිහිටා ඇති කතරගම දේවාලය හා කිරිවෙහෙර මෙරට සුප්‍රකට ආගමික උත්සව පැවැත්වෙන ස්ථානයකි. දිවයින පුරා විවිධ ප්‍රදේශවලින් විශාල පිරිසක් මේ උත්සවවලට සහභාගි වෙති. කතරගම වෙත ළඟා වීමට හැකි මාර්ග ගණනාවක්ම පවතී.

කතරගම ආගමික උත්සව හා සම්බන්ධව බලධාරීන්ගේ අවධානය යොමු වූ අවස්ථා ගණනාවක්ම මේ කාලයේදී හඳුනාගත හැකිය. 1919 වර්ෂයේ දී කතරගම දී පැවැත්වීමට නියමිතව තිබූ උත්සව දෙකම නවත්වන ලද්දේ කොළරා වසංගතය නිසාය. මේ වර්ෂයේ පැතිර ගිය කොළරා වසංගතයෙන් ඌව පළාතට හා දකුණු පළාතට සැලකිය යුතු බලපෑමක් සිදු වූ බව ඌවේ ආණ්ඩුවේ එ්ජන්තවරයාගේ වාර්තා අනුව පෙනෙයි. නිදසුනක් ලෙස ගතහොත් ඌව පළාතෙන් වාර්තා වූ රෝගීන් 131 දෙනාගෙන් 92ක් පමණ මියගොස් ඇත. රෝගය මුලින්ම වාර්තා වූ බදුල්ල නගරයේ මරණ 16ක් පමණ ඇති වී තිබෙයි. එමෙන්ම මෙම රෝගය බදුල්ලේ සිට තල්දෙන, එගොඩවෙල හා මීගහකිවුල හා මහියංගණ වැනි ප්‍රදේශ දක්වා පැතිර ගියේය. එසේම පළාතේ දකුණු ප්‍රදේශය ගැන සැලකූ විට, කොටමුදුන, බුත්තල, වැල්ලවාය හා තෙලු‍ල්ල දක්වා ද එදා රෝගය තදින් ව්‍යාප්ත විය. මේ නිසා කතරගම ආගමික උත්සව නතර කිරීම එදා බලධාරීන් ගත් නැණවත් තීරණයක් බව පෙනේ. මක් නිසා ද යත් එවැනි තැනක රෝගය තදින් ව්‍යාප්ත වීමට මෙන්ම, රට පුරා පැතිර යෑමට පවා අවස්ථාව තිබූ නිසාය. මේ බව තහවුරු වෙන්නේ කතරගමට නුදුරින් පිහිටා ඇති හම්බන්තොට, තිස්ස යන ප්‍රදේශවලද මේ කාලයේදීම ‌රෝගය ඉතා තදින් ව්‍යාප්ත වූ නිසාය. කතරගම උත්සවවලට සහභාගිවන විශාල පිරිසක් හම්බන්තොට දිස්ත්‍රික්කය හරහා ද ගමන් කරති.

මේ ආකාරයටම 1914 වර්ෂයේදී කතරගම ජූලි මාසයේ පැවැත්වෙන ප්‍රධාන උත්සවය වන ඇසළ උත්සවය තහනම් කරන ලද්දේ කතරගම ප්‍රදේශයේම පැතිරගිය වසූරිය වසංගතය නිසාය. ඒ වර්ෂයේ ව්‍යාප්ත වූ වසූරිය වසංගතය වසර මැද බදුල්ලේ නමුණුකුළ ආසන්නයේ වතුයායක මුලින්ම ඇති වී බදුල්ල, පස්සර, ලු‍නුගල හා කතරගම දක්වාම ව්‍යාප්ත වී ඇත. රෝගීන් 87ක් හමු වූ බවක්, මරණ 24ක් සිදු වූ බවක් වාර්තා වෙයි.


දෙවුන්දර උත්සවය


මාතර නගරයට නුදුරින් පිහිටා ඇති දෙවුන්දර උපුල්වන් දේවාලය ආශ්‍රිතව පැවැත්වෙන ඇසළ පෙරහර මෙන්ම ඒ ආශ්‍රිතව පැවැත්වෙන සල්පිල් සහිත උත්සවය ඒ ප්‍රදේශයේම ඉතා ප්‍රකට උත්සවයකි. එයද රටේ පැතිර ගිය වසංගත තත්ත්වවල බලපෑමට ලක්විය.

1919 වර්ෂයේ ඇති වූ කොළරා රෝගය වඩාත්ම බලපා ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයට බව ඉහත සඳහන් කරන ලදී. හම්බන්තොට නගරයේ පමණක් රෝගීන් 252ක් පමණ මියගොස් ඇත. හම්බන්තොටින් ජූලි මාසයේ වාර්තා වූ රෝගය එතැනින් තිස්ස ප්‍රදේශයට හා තංගල්ලට ද ව්‍යාප්ත වී ඇත. මේ හේතුව නිසා යාබද මාතර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති දෙවුන්දර දේවාලය ආශ්‍රිත වාර්ෂික උත්සවය නොපවත්වන ලදී.

එසේම ඇතැම් වර්ෂවලදී දෙවුන්දර ආගමික උත්සවයට සහභාගි වූ අයගේ ප්‍රමාණය සීමා කළ බවට වාර්තා ඇත. නිදසුනක් ලෙස මහාමාරිය හා වසූරිය රෝගය ලංකාවේ සෙසු ප්‍රදේශ ගණනාවක පැතිර තිබූ 1914 වර්ෂයේදී දෙවුන්දර උත්සවයට සහභාගි වීමේ අවදානම ගැන ජනතාවට අනතුරු හඟවා ඇත. මේ නිසා එයට සහභාගි වූ ජනතාව කැපී පෙනෙන ආකාරයෙන් අඩු වූ බව වාර්තා වෙයි. මේ නිසා එහි සේවය සඳහා යොදවන ලද පොලිස් නිලධාරින් ප්‍රමාණයද අඩු කරන ලද බව මාතර දිස්ත්‍රික්කයේ උප ඒජන්තවරයා සඳහන් කර ඇත.


තලවිල පල්ලියේ උත්සවය


කල්පිටිය අර්ධද්වීපයේ පිහිටා ඇති ප්‍රකට කතෝලික දේවස්ථානයක් වන තලවිල ශාන්ත ආනා පල්ලියේ වාර්ෂික මංගල්ලය ද මේ කාලයේ ඇතැම් අවස්ථාවල වසංගතවල බලපෑමට ලක් වී ඇත. 1919 මාර්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ තලවිල මංගල්ලය නොපවත්වන ලදී. එයට බලපෑවේ ඒ වෙන විට මෙරට පැතිර තිබූ ඉන්ෆ්ලු‍වන්සා උණ වසංගතයේ බලපෑමය. කතෝලික ජනතාව සැලකිය යුතු පිරිසක් වාසය කළ පුත්තලම දිස්ත්‍රික්කයේ දකුණු ප්‍රදේශයට හා බස්නාහිර පළාතට එම උණ රෝගය තදින් බලපා තිබිණි. (මේ සඳහන් කරන්නේ 1918 සිට 1920 දක්වා කාලයේදී අවම වශයෙන් ලංකාවාසීන් 57,000ක් පමණ පිරිසකට මරු කැඳවූ ස්පාඤ්ඤ උණ වසංගතය ගැනය).

එමෙන්ම එම වර්ෂයේ ජූලි මාසයේ පවත්වන ලද උත්සවය ද වෙනත් වර්ෂවලට වඩා කුඩා පරිමාණයේ උත්සවයක් ලෙස පවත්වන ලද්දේ රටේ බොහෝ ප්‍රදේශවල සහල් හිඟයක් පැවති නිසාය. එම උත්සවයට සහභාගි වීම සඳහා අවස්ථාව ලබා දෙන ලද්දේ උත්සව දින ගණනට ප්‍රමාණවත් තරම් සහල් ප්‍රමාණයක් ළඟ තිබූ අයට පමණක් බව උප ඒජන්ත තැනගේ වාර්තාවල සඳහන්ය. එවැනි තත්ත්වයක් තිබියදී පවා අවසන් දින උත්සවයට හත්දහසක් පමණ පිරිසක් සහභාගි වී ඇත. වෙළෙඳාම් කටයුතුවල ඇති වූ ගැටලු‍ ද, යුද්ධය නිසා ඇති වූ සීමා ද නිසා පළමු වැනි ලෝක යුද්ධය පැවති සමයේදීද මේ උත්සවයට සහභාගි වූවන් ගණන සාමාන්‍ය අගයට වඩා අඩු වූ බව සඳහන් වේ. 1918 වර්ෂයේදී එවැනි තත්ත්වයක් ඇති වූ අතර, මේ තත්ත්වය රටේ බොහෝ ආගමික උත්සවවලට සහභාගි වූ ජනතාව අඩු වීමට බලපා තිබිණි.


හැටන්වල කතෝලික උත්සවය


හැටන් නගරයේ පැවැත්වෙන ශාන්ත ආනා රෝමානු කතෝලික උත්සවය නොපැවැත් වූ අවස්ථාවක් පිළිබඳව ද මේ කාලයේදී වාර්තා වෙයි. 1918 වර්ෂයේ ජූලි මාසය වෙන විට පැතිර තිබූ මහාමාරිය වසංගත තත්ත්වය නිසා ඒ මාසයේ 27 හා 28 දිනවල පැවැත්වීමට නියමිතව තිබූ වාර්ෂික උත්සවය දින නියමයක් නොමැතිව කල් දැමූ බව ඒ සඳහා මැදිහත් වූ මධ්‍යම පළාතේ ආණ්ඩුවේ එ්ජන්තවරයා සඳහන් කරයි. ඒ වන විට රෝගය නාවලපිටිය ප්‍රදේශයේ පැතිර තිබූ අතර, අවට ප්‍රදේශවල වතු ආශ්‍රිතව සේවය කරන පිරිස් උත්සව සමයේදී හැටන් නගරයට පැමිණීම වැලැක්වීමට අසීරු වූ නිසා එම පියවර ගත් බව ඒ වාර්තාවල සඳහන් වෙයි.


අනුරාධපුර උත්සව සමය


අනුරාධපුරයේ වෙසක් හා පොසොන් උත්සව එකල පවා බෞද්ධයන් විශාල වශයෙන් සහභාගි වූ උත්සව අතර විය. 1914 වර්ෂයේ කොළඹ සහ තවත් ප්‍රදේශවල බරපතළ මහාමාරිය වසංගතයක් පැවැති අවස්ථාවේදී පවා අනුරාධපුර පොසොන් උත්සවය පවත්වන ලද්දේ සෞඛ්‍ය අාරක්ෂාව සම්බන්ධව ගත් ඉතා දැඩි ආරක්ෂක පියවර යටතේය. උණ හා වෙනත් රෝග ලක්ෂණ සහිත පිරිස් නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් අනුරාධපුරයේ රඳවා තබන ලදී. එමෙන්ම, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද, අනුරාධපුර ‘ලෝකල් බෝඩ්’ හෙවත් පළාත් මණ්ඩලයේ (වර්තමාන නගර සභාවට සමාන පළාත් පාලන ඒකකය) නිලධාරින්ද, ගම්මුලාදෑනීන් ඇතුළු දේශීය නිලධාරීන්ද මෙසේ වන්දනාකරුවන් අතර ගැවසෙමින් රෝගීන් සිටින්නේදැයි පරීක්ෂා කර තිබෙයි. සනීපාරක්ෂක පහසුකම් ද වෙනදාට වඩා සපයා තිබූ අතර, වන්දනා සමය අවසන් වූ වහාම නගරය මුළුමනින්ම පවිත්‍ර කර තිබේ. ඔවුන් ගත් මේ පියවර සාර්ථක වූ බව සඳහන් කරන අනුරාධපුරයේ ආණ්ඩුවේ ඒජන්තවරයා, වන්දනා සමයේදී කිසිදු මහාමාරිය රෝගියෙකු වාර්තා නොවූ බවද පවසයි. මෙහි ඇති වැදගත්ම කරුණ වන්නේ සාමාන්‍යයෙන් 5,400ක් පමණ වාසය කරන මේ නගරයට ඒ වර්ෂයේ පැමිණි වන්දනාකරුවන්ගේ ගණන 60,000ක් පමණ බව සඳහන් වන නිසාය. එවකට අනුරාධපුර නගරය පිහිටා තිබුණේ වර්තමාන පූජානගරය ආශ්‍රිතව වන අතර, අද පවත්නා අනුරාධපුර නගරය (නව නගරය) නිර්මාණය වන්නේ ලංකාව නිදහස ලැබීමෙන් පසුවය.


ශ්‍රීපාද වන්දනාව


මේ කාලයේදී වරක් ශ්‍රී පාද වන්දනාව සම්බන්ධවද ගැටලු‍වක් ඇති වී තිබෙයි. එයද 1914 දී කොළඹ ඇති වූ මහාමාරිය වසංගත සමයේදීය. ශ්‍රී පාද වන්දනා සමයේ රෝග ව්‍යාප්ත වීම පිළිබඳව අවදානමක් ඇති වූ අතර, කොළඹ සිට පැමිණෙන වන්දනාකරුවන් මගින් මධ්‍යම පළාතට ද රෝගය ව්‍යාප්ත විය හැකියැයි සැකයක් විය. එහෙත් වෙනත් වන්දනා ගමන් මෙන් වන්දනාකරුවන්ගේ සංඛ්‍යාව සීමා කිරීමද කළ නොහැකි බව සඳහන් කරන සබරගමු පළාතේ ආණ්ඩුවේ ඒජන්තවරයා ඒ සඳහා වෙනත් පියවරක් ගෙන ඇත.

ඒ අනුව, විවිධ ස්ථානවලදී වන්දනාකරුවන් වෛද්‍ය පරීක්ෂණවලට ලක් කිරීමට තීරණය කරන ලදී. එම වෛද්‍ය පරීක්ෂණ කටයුතු සිදුකරන ලද්දේ වන්දනාවේ යෑම සඳහා වැඩි පිරිසක් දුම්රියෙන් පැමිණ බසින ස්ථාන වූ කුරුවිට හා රත්නපුරයේදී හා රත්නපුර රෝහලේදීය. මේ වන විට සබරගමු හෙවත් රත්නපුර දුම්රිය මාර්ගය ලෙස හැඳින්වෙන දුම්රිය මාර්ගය රත්නපුරය දක්වා දිගු කර තිබිණි. එකල පුංචි කෝච්චිය ශ්‍රී පාද වන්දනාව සඳහා යොදාගත් මූලික ප්‍රවාහන මාධ්‍යයක් ද විය (අවාසනාවකට මෙන් අවිස්සාවේල්ල සිට රත්නපුර හරහා ඕපනායක දක්වා වූ මේ දුම්රිය මාර්ගය අද වන විට ගලවා දමා ඇත.) මේ සඳහාම කුරුවිටට නුදුරු හිග්ගස්හේන ප්‍රදේශයේ මාර්ගයේ පොලිස් ආරක්ෂක මුරපොළක් පිහිටුවන ලද අතර, එමගින් මහාමාර්ගය ඔස්සේ පැමිණෙන වන්දනාකරුවන් වන්දනා මාර්ගවලට යොමු කිරීමට හා වෛද්‍ය පරීක්ෂණ පැවැත්වීමට යොමු කරන ලදී. ඒජන්තවරයා පවසන ආකාරයට, මහාමාරිය පැතිර තිබූ කොළඹ හා ආශ්‍රිත ප්‍රදේශවලින් පැමිණි වන්දනාකරුවන් ගණන සැලකූ විට මේ වන්දනා සමය තුළ මහාමාරිය හෝ වෙනත් බරපතළ වසංගතයක් හමු නොවීම සතුටු විය හැකි කරුණක් විය.


http://www.lankadeepa.lk/sunday/thaksalawa/55-573177