Tuesday, January 30, 2018

​කට කැඩිච්ච කතා 01 - දොඩම් ගෙඩි දෙක

(මේ කතා පටන් ගන්න හිතුවෙ අහල තියන එකකින්. මේක 1970 මැතිවරණ කාලෙ සිදුවුණු එකක්. අදින් දශක දෙකකට විතර කලින් මේ කතාව මට කිව්වෙ පුවත්පත් වාර්තාකරුවෙකුද වූ මගේ දහම්පාසැල් ගුරුවරයෙක්. එ්ක කිව්වෙ දහම්පාසැල් කාලෙන් පස්සෙ හමු වූ විටකදි හොඳේ)

කොළඹට නුදුරු මැතිවරණ කොට්ඨාසයකට තරග කළ අපේක්ෂකයින් දෙදෙනෙකු පිළිබඳවයි මේ කතාව. එක් අයෙක් ආරෝහ පරිණාහ දේහධාරි පුද්ගලයෙක්. ඔහු ඒ වන විට පැවැති ආණ්ඩු පක්ෂයේ සෙනෙට් මන්ත්‍රීවරයෙක්. අනෙක් තැනැත්තා ඒ වන විට එම ආසනය 1965 මැතිවරණයෙන් ජය ගෙන පාර්ලිමේන්තුව නියෝජනය කළ විපක්ෂ මන්ත්‍රීවරයායි. ඔහු එතරම් උස මහත අයෙකු නොවුනත් බොහොම දක්ෂ චතුර කථිකයෙක්.

ඉතින් දවසක් අර සද්දන්ත අපේක්‍ෂකයා එයාලගේ ආණ්ඩුවේ බලයත් හිතට අරන් තිබ්බ රැස්වීමකදී මෙහෙම කිව්වාලු.

"මාත් එක්ක මේ ආසනේට තරග කරන අපේක්ෂකයා දොඩම් ගෙඩි දෙකක්වත් උස නැති කෙනෙක්"

ඊට දින කීපයකට පසුව, අර කතාවට ලැබෙන්න ඕන උත්තරේ අර උස මහත නැති විපක්ෂයේ මුඛරි අපේක්ෂකයාගෙන් එම ස්ථානයේදීම ලැබුනලු. ඒ ඔවුන්ගේ පක්ෂයේ රැස්වීමකදී. ඒ මෙහෙම.

"මම දොඩම් ගෙඩි දෙකක්වත් උස නෑ කියපු කෙනාට මං මෙහෙම කියන්න කැමතියි - මගේ දොඩම් ගෙඩි දෙක මිරිකල දුන්නොත් උන්නැහේට මාසයක් නා ගන්න අැති වෙයි කියල..."

ඡන්ද ප්‍රතිඵල අනුව ඒ උස මහත නැති පුද්ගලයා විශිෂ්ට ජයක් ලැබුවා. ඔහුගේ පක්ෂයත් විශිෂ්ට ජයක් ලැබුවා. ඔහු මෙරට දේශපාලනයේ විශිෂ්ටයෙක්. එ් අාසනය එකල වමේ අාසනයක්.

අර සද්දන්තයාට තමන්ගේ පක්‍ෂයෙන් කැපිලි අාවා. අන්තිමට ඉන් ඉවත් වී  අර ප්‍රතිවාදියාගේ පක්ෂයට එක් වීමට සිදුවුනා. ඔහුට අන්තිමේ ජනතා වරමින් පාර්ලිමේන්තුවට පත්වීමට අවස්ථාවක් ලැබුනේ 1989දි. එදා ඔවුන් දෙදෙනාම එකම පක්ෂයෙන් ඒ පාර්ලිමේන්තුව නියෝජනය කළා. 

Saturday, January 27, 2018

එළිමහන් ක්‍රියාකාරකම්වලින් පසුව සිසු අවධානය ඉහළට

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 24.01.2018 පි. 4 (Vidusara)

http://www.vidusara.com/2018/01/24/feature1.html




ස්‌වාභාවික පරිසරයෙන් මිනිසුන්ට ලැබෙන බොහෝ ප්‍රයෝජන පිළිබඳව අපි දනිමු. ඒ අතර විවිධ ඝෘජු හා වක්‍ර සේවා වෙයි. උද්‍යාන, ගහකොළ හා වනජීවීන් වැනි ස්‌වාභාවික පරිසරයේ නොයෙක්‌ සංරචකවලට නිරාවරණය වූ පුද්ගලයන්ට ලැබෙන ප්‍රයෝජන මේ අතර තිබෙයි. නිදසුනක්‌ ලෙස ගත හොත් ශාරීරික ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීම, මානසික ආතතිය අඩු කරවීම, අවධානය ප්‍රාණවත් වීම හා සක්‍රියභාවය ඉහළ යැම වැනි කරුණු දැක්‌විය හැකි ය.

මේ තත්ත්වය ළමයින් ගේ පාසල් අධ්‍යාපනයේ දී ද දැකිය හැකි කරුණකි. සාමාන්‍යයෙන් පාසල් අධ්‍යාපනයේ ප්‍රමුඛතාවක්‌ ලැබෙන්නේ පන්ති කාමරය ඇතුළත පවත්වනු ලබන ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා ය. එහෙත් පන්ති කාමරයෙන් පිටත එළිමහනේ ස්‌වාභාවික පරිසරයේ සිදු කරනු ලබන අධ්‍යාපන කටයුතු සඳහා යම් අවධානයක්‌ යොමු වී ඇත. ගසක්‌ යට, තණ පිටියක සිදු කරන පාඩමක්‌ යනු ළමයින්ට පංති කාමරයේ සිදු කරනු ලබන සාමාන්‍ය අධ්‍යාපන කටයුතුවලට වඩා යම් වෙනසක්‌ ලබා දෙන්නකි. ඒ සඳහා පාසල් ළමයින් ගේ, විශේෂයෙන් ප්‍රාථමික පංතිවල පසු වන කුඩා ළමයින් අතර, වැඩි උනන්දුවක්‌ ද දැකගත හැකි ය.

පරිසරය පාදක කරගත් ක්‍රියාකාරකම් අනාගතයේ දී පරිසරය පිළිබඳව විමසුමක්‌ සහිත පරපුරක්‌ බිහි කිරීමට උපකාරී වෙයි. දරුවන් සිය ළමා කාලයේ දී ලබන පරිසරය පිළිබඳ ධනාත්මක අත්දැකීම් ඔවුන් ගේ වැඩිහිටි වයසේ දී පරිසර හිතවාදී හැසිරීම් ඇති වීම සඳහා වැදගත් වන බව පර්යේෂණ මගින් පෙන්වා දී තිබෙන කරුණකි. මේ අනුව ස්‌වාභාවික පරිසරය පාදක කරගත් පාඩම්වල කිසියම් වැදගත්කමක්‌ ඇති බව පැහැදිලි ය.

වර්තමානය වන විට බොහෝ යුරෝපීය රටවල විධිමත් පාසල් අධ්‍යාපන ක්‍රමවේදය තුළ ස්‌වභාවික පරිසරයේ සිදු කරන පාඩම් වැඩසටහන් සඳහා වැදගත් තැනක්‌ ලබා දීම සඳහා කටයුතු කර තිබෙයි. එහෙත් ඇමෙරිකාවේ පෙර පාසල් පද්ධතියේ හැර පාසල් අධ්‍යාපනය තුළ මේ සඳහා ලබා දී ඇත්තේ අඩු අවධානයක්‌ බව පැවසෙයි. මේ සඳහා එක්‌ හේතුවක්‌ සේ සැලකෙන්නේ එවැනි එළිමහන් අධ්‍යාපන කටයුත්තක දී ළමයින් ගේ අවධානය කේන්ද්‍රගත කර තබාගැනීමට අපහසු බවට ගුරුවරුන් තුළ ඇති විශ්වාසයයි.

කෙසේ වෙතත්, එළිමහනේ ස්‌වාභාවික පරිසරයේ සිදු කරනු ලබන පාඩමකින් පසු ව ළමයින් ස්‌වකීය පාසල් කටයුතුවලට සම්බන්ධ වීම හා අවධානය ඉහළ යන බව පසුගිය දා නිකුත් වූ අධ්‍යයනයකින් අනාවරණය කර ඇත. මේ නිසා එවැනි අධ්‍යාපන සැසියකින් පසු ව සිදු කරන ගෘහාශ්‍රිත පාඩමක දී එම ගුරුවරුන්ට බාධාවකින් තොර ව දෙගුණයක්‌ පමණ කාලයක්‌ තිස්‌සේ ඉගැන්වීමේ කටයුතුවල නියෑළීමට හැකියාව පවතී. මෙය වැදගත් වන්නේ ස්‌වාභාවික පරිසර තත්ත්ව යටතේ සිදු කරනු ලබන අධ්‍යාපන කටයුතු මගින් ලැබෙන මෙ වැනි ප්‍රතිලාභ සම්බන්ධව පැහැදිලි කිරීම් වැදගත් වන නිසා ය.

ඇමරිකානු අධ්‍යයනයක්‌


මේ අධ්‍යයනයේ දී එම අධ්‍යයන කණ්‌ඩායම, පරීක්‌ෂා කිරීම සඳහා යොමු කළ කල්පිතය වූයේ ස්‌වාභාවික පරිසරයේ එළිමහනේ සිදු කරනු ලබන පාඩමක්‌ මගින් ඊට පසුව වහා ම සිදු කරනු ලබන පන්ති කාමරය ආශ්‍රිත පාඩම්වල දී දක්‌වන අවධානය හා පාඩමට සම්බන්ධ වීම ඉහළ යන බවයි.

උක්‌ත අධ්‍යයනය සිදු කර ඇත්තේ වයස අවුරුදු 9 - 10 අතර වයසේ පසු වන තුන්වැනි ශ්‍රේණියේ පංති දෙකක ළමයින් පදනම් කරගනිමිනි. ඒ ඇමෙරිකාවේ දී ය. එහි දී පරෙස්‌සමෙන් තෝරාගන්නා ලද ගැළපෙන ආකාරයේ පාඩම් දෙකක්‌ එක්‌ පාඩමක්‌ එළිමහනේ ද, ඒ හා සමාන අනෙක්‌ පාඩම පන්ති කාමරයක්‌ ඇතුළත ද වශයෙන් සති දහයක කාලයක්‌ ළමයින්ට උගන්වා තිබෙයි. මෙය පළපුරුදු ගුරුවරයකු විසින් මෙන් ම එසේ නො වන ගුරුවරයකු විසින් ද සිදු කරනු ලැබ ඇත. ඔවුන් ගේ එළිමහනේ ස්‌වාභාවික පරිසරයේ පාඩම සඳහා තෝරාගෙන තිබුණේ පාසලෙන් පිටත පිහිටා ඇති කුඩා වනාන්තරයක්‌ පෙනෙන දුර පිහිටි තණබිමකි. මේ පාඩම සාමාන්‍යයෙන් මිනිත්තු 40ක කාලයක්‌ ගත වූ පාඩමකි. ඊට පන්ති කාමරයේ සිට අදාළ එළිමහන් ස්‌ථානයට ගමන් කරන කාලය ද අයත් ය.

මේ සැම එළිමහන් හා ගෘහස්‌ථ පාඩම් සැසියකින් පසු ව කෙටි මිනිත්තු 5ක විවේකයක්‌ ලැබේ. ඉන් පසුව ආ මිනිත්තු 20ක නිරීක්‌ෂණ කාල පරිච්ඡේදවල දී ළමයින් කෙතරම් දුරට අධ්‍යාපන කාර්යයේ නිරත වූයේ ද යන්න ගුරුවරුන් විසින් මැනීම සිදු කරන ලදි. මේ නිරීක්‌ෂණය කරන ලද කාල සීමාවේ දී ළමයින් ගේ අවධානය අන් අතකට යොමු වූ අවස්‌ථා පිළිබඳව ගණනය කිරීම සිදු කර ඇත. ඒ 'ඉඳගන්න', 'වැඩ කරන්න' වැනි යෙදුම් යොදා ළමයින් ගේ අවධානය පාඩම් කටයුතු සඳහා යොමු කළ යුතු වූ අවස්‌ථා ප්‍රමාණය ගණන් කිරීමෙනි. එසේ ම පන්තියේ දී ලබාගන්නා ලද ඡායාරූප පිටස්‌තර නිරීක්‌ෂකයකු විසින් නිරීක්‌ෂණය කරන ලදුව ළමයින් කෙතරම් හොඳින් පාඩම් කටයුතුවල නිරත වූයේ ද යන්න නිරීක්‌ෂණය කර ඇත. ඒ අනුව ළමයින් අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ වීම පිළිබඳව ලකුණු ලබා දී ඇත. එහෙත් ඒ ඡායාරූප එළිමහන් සැසියකට පසු ද, ගෘහස්‌ථ සැසියකට පසු ද යන්න නිරීක්‌ෂකයන් හට හෙළි කර නොමැත. ගුරුවරුන් ද ළමයින් අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ වීම සඳහා ලකුණු ලබා දී තිබෙයි.

ඒ අනුව හෙළි වී ඇත්තේ ස්‌වාභාවික පරිසරයේ සිදු කරන ලද එළිමහන් පාඩමකින් පසු ව එම ළමයින් වඩාත් අවධානයකින් (attention) යුතු ව සිය පාසල් කටයුතුවලට සම්බන්ධ (engage) වූ බව ය. මේ අනුව එළිමහන් පාඩමකින් පසු සිදු කරන ලද පන්ති කාමර පාඩමක දී බාධාවකින් තොර ව සාමාන්‍ය කාලසීමාව මෙන් දෙගුණයක පමණ කාලයක්‌ සිය පාඩම කරගෙන යැමට එම ගුරුවරුන්ට හැකියාවක්‌ ලැබී තිබෙයි. මෙය වැදගත් හෙළිදරව්වකි. එසේ ම ගුරුවරයා වෙනස්‌ වීම, උපදේශාත්මක ප්‍රවේශය, පන්තියේ ළමයින් ගණන, පන්ති කාමරය වැනි කරුණු, වසරේ කාලය, දවසේ කාලය වැනි කරුණු අනුව මේ වෙනස පැහැදිලි කළ නො හැකි බව ද මේ පර්යේෂකයන් දක්‌වා ඇත. එසේ ම ස්‌වභාවික පරිසරය පදනම් කරගත් අධ්‍යාපන පාඩම් පිළිබඳ සුබවාදී ලෙස සැලකූ ගුරුවරයකුට මෙන් ම එවැනි පාඩම් පිළිබඳව නිශේධනාත්මක අදහස්‌ තිබූ ගුරුවරයකුට ද ලැබුණේ සමාන ප්‍රතිඵල වීම විශේෂත්වයකි.

එළිමහනේ ස්‌වාභාවික පරිසරයේ සිදු කරන ලද පාඩම්වලින් පන්ති කාමරයේ අධ්‍යාපන කටයුතුවලට සිදු වූ බලපෑම සම්බන්ධ ව සිදු කරන ලද පළමු අධ්‍යයනය මෙය බව සඳහන් වෙයි.

අනාගතයට ඇති ප්‍රයෝජනය


ළමයින් සම්බන්ධව මීට පෙර සිදු කර ඇති මෙවැනි අධ්‍යයනවලින් පෙන්වා දී ඇති කරුණක්‌ වන්නේ පන්ති කාමරයේ ජනේලයක්‌ තුළින් පෙනෙන හරිතවත් පරිසරයක දර්ශනයකින් පවා ළමයින් ගේ අවධානය සම්බන්ධ ව යම් සාධනීය බලපෑමක්‌ ඇති කළ හැකි බවයි.

එහෙත් ඇතැම් ගුරුවරුන් එළිමහනේ පාඩම් කටයුතු සිදු කිරීමට මැළිකමක්‌ දක්‌වන බව වෙනත් රටවල සිදු කර ඇති අධ්‍යයනවලින් ද පෙනී ගොස්‌ ඇති දෙයකි. එයට හේතුව එළිමහනේ සිදු කරන පාඩම් කටයුතු මගින් ළමයින් තුළ අධි-කලබලකාරිත්වයක්‌ හෝ අධික උත්තේජනයක්‌ (overexcite) හෝ ඇති වීම නිසා ඉන් පසුව පන්ති කාමරයේ කටයුතුවලට ඔවුනට සිය මනස යොමු කිරීම අපහසු විය හැකි නිසා ය.

එහෙත් මේ පර්යේෂණ කණ්‌ඩායමේ අධ්‍යයන ප්‍රතිඵල අනුව පෙනී ගොස්‌ ඇත්තේ ළමයින් පාසලේ කටයුතුවලට වඩාත් සම්බන්ධ වී ඇත්තේ එළිමහන් පාඩමකින් පසු ව බවයි. සාමාන්‍යයෙන් විශ්වාස කරන පරිදි එවැනි පාඩමකින් පසුව ළමයින් අධික ලෙස කලබලකාරී බවට පත් වීමක්‌ හෝ අවධානය නොමැති බවක්‌ නො දැක්‌වූ අතර, ඔවුන් ස්‌වකීය පාසල් කටයුතුවලට වඩාත් සම්බන්ධ වීම හා අධික අවධානයක්‌ ඇති වීම දැකිය හැකි විය.

මේ අනුව එළිමහනේ සිදු කරනු ලබන පාඩම් කටයුතු සිසුන් අධ්‍යාපන කටයුතු හා සම්බන්ධ වීම (engage) වැඩිදියුණු කිරීම සඳහා යෝග්‍ය අඩු වියදම් හා පහසු ක්‍රමවේදයක්‌ විය හැකි බව මේ පර්යේෂකයන් දක්‌වා තිබෙයි. මෙය සලකා බැලිය යුතු කරුණක්‌ වන්නේ ඒ නිසා ය. එසේ ම ඔවුන් විධිමත් අධ්‍යාපනයේ දී සොබාදහම පදනම් කරගත් එළිමහන් පාඩම්වලට තවදුරටත් වැඩි අවස්‌ථාවක්‌ ලබා දිය යුතු බව ද දක්‌වා තිබෙයි. එය ප්‍රවර්ධනය කළ යුතු තත්ත්වයකි.

කෙසේ වෙතත් මේ තත්ත්වය සැම රටකට ම, සැම පාසලකට ම එක සේ සාධාරණ යෑයි කීමට අප හදිසි විය යුතු නැත. පාසලේ පිහිටීම හා වටපිටාව මෙන්ම එය එළිමහන් පාඩමක්‌ සිදු කිරීමට සුදුසු ස්‌ථානයක්‌ පවතින්නේ ද යන්න වැදගත් කරුණකි. ආසන්න ප්‍රදේශයේ ස්‌වාභාවික දර්ශනයක්‌ නොමැති ප්‍රදේශවල පිහිටා ඇති පාසල් පවතී. එසේ ම මෙවැනි එළිමහන් ක්‍රියාකාරකමක්‌ පැවැත්වීම සඳහා පාසල තුළ ද අවශ්‍ය වටපිටාවක්‌ තිබිය යුතු අතර, යෝග්‍ය කාලයක්‌ ද තිබිය යුතු ය. ඇතැම් විට මෙවැනි ක්‍රියාකාරකම් සමහර නිවර්තන කලාපීය රටවලට නො ගැළපෙනු ඇතැයි සිතීමට ද ඉඩක්‌ තිබෙයි. ඒ පරිසරයේ පවත්නා අධික උෂ්ණත්වය නිසා ය. අප රට වැනි රටක නම් මදුරුවන් දෂ්ටනය වැනි අතුරු විපාක ද වළක්‌වාගැනීමට විධිවිධාන යෙදීමට සිදු වේ. කෙසේ වෙතත්, දවසේ ඒ සඳහා නියමිත කාලය සකස්‌ කරගැනීම ඇතුළු අදාළ පියවර ගැනීමෙන් එම තත්ත්ව වෙනස්‌ කළ හැකි ය. එසේ ම සාමාන්‍යයෙන් මෙවැනි ක්‍රියාකාරකම් පවත්වනුයේ ප්‍රාථමික පංතිවලට ය. එහෙත් වඩා වැඩුණු සිසුන් වෙත ද මෙවැනි කටයුතුවලට සම්බන්ධ වීමට හැකියාව තිබෙයි. එය ද සලකා බැලිය යුතු කරුණකි.

මූලාශ්‍රය: Frontiers in Psychology, DOI:10.3389/fpsyg.2017.02253

http://www.vidusara.com/2018/01/24/feature1.html

Monday, January 22, 2018

වාරිමාර්ග තාක්‌ෂණයත් සේද මාර්ගය දිගේ හුවමාරු වූ හැටි

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 17.01.2018, පි. 13 (Vidusara)

http://www.vidusara.com/2018/01/17/feature4.html



සේද මාර්ගය යනුවෙන් හදුන්වනු ලබන්නේ ලෝකයේ පෙරදිග හා අපරදිග ප්‍රදේශ යා කරමින් අතීතයේ පැවැති වෙළෙඳ මාර්ගයකි. පෙරදිග ලෝකයේ චීනය හා අපරදිග ලෝකයේ පිහිටි රෝමය මේ සේද මාවතේ ගමනාන්ත විය. සාමාන්‍යයෙන් ගොඩබිම් සේද මාර්ගය වඩා ප්‍රකට වන අතර, පිළිබඳ ව මෙන් ම සමුද්‍රීය සේද මාර්ගයක්‌ පිළිබඳව ද විද්වතුන් පෙන්වා දී තිබේ.

මේ සේද මාර්ගය ඔස්‌සේ විවිධ ද්‍රව්‍ය වෙළෙඳාම් විය. ඒ ආකාරයෙන් පෙරදිග සිට අපරදිග වෙත අලෙවි කරන ලද ද්‍රව්‍ය අතර සේද ප්‍රධාන තැනක්‌ ගත්තේ ය. වූල්, රන් හා රිදී පෙරදිග දෙසට ගිය ද්‍රව්‍ය අතර විය.

එමෙන් ම සේද මාවත ඔස්‌සේ වෙළෙඳ ද්‍රව්‍ය පමණක්‌ නො ව අදහස්‌ ද හුවමාරු වී ඇති බව පැහැදිලි ය. එමෙන් ම මේ මාර්ගය දිගේ ජන සංක්‍රමණ සිදු විය. රෝග ව්‍යාප්ත විය. දැනුම හුවමාරු විය. ආගම් පැතිරිණි.

සේද මාර්ගය ඔස්‌සේ හුවමාරු වූ මෙ වැනි එක්‌ වැදගත් දැනුමක්‌ පිළිබඳ ව පසුගිය දා ප්‍රකාශයට පත් අධ්‍යයනයක්‌ මගින් පෙන්වා දී ඇත. ඒ සේද මාර්ගය ඔස්‌සේ වාරිමාර්ග තාක්‌ෂණය ව්‍යාප්ත වූ ආකාරය පිළිබඳ අදහසකි. ඒ වර්තමාන වයඹදිග චීනයේ පිහිටා ඇති ප්‍රදේශයකින් ලැබුණු සාධක පදනම් කරගනිමිනි. එම දැනුම මගින් ලෝකයේ වඩාත් වියළි කාන්තාර දේශගුණයක්‌ ඇති ප්‍රදේශයක ජීවත් වූ ජන පිරිසකට වගා කිරීමට හා සතුන් ඇති කිරීමට සුදුසු අවස්‌ථාවක්‌, අදින් වසර 1600ක්‌ තරම් ඈත කාලයක දී අවස්‌ථාවක්‌ ලැබීම මෙහි ඇති වැදගත්කම වෙයි.

නවීන ශිල්ප ක්‍රම භාවිත කළ අධ්‍යයනයක්‌


මේ අධ්‍යයනයට ලක්‌ වූ ස්‌ථානය චීනයේ මධ්‍යම සිංජියාං පළාතේ ටියෙන් ෂාන් කදු පාමුල පිහිටා ඇති, මෑත දී අනාවරණය කරගත් ස්‌ථානයකි. මොහුචහාන්ගොයුකොයු (Mohuchahangoukou) නම් වන එම ප්‍රදේශයේ මතුපිට දැකිය හැක්‌කේ තැන තැන දැකිය හැකි රවුම් ගල් හා වැල්ලෙන් පිරුණු මාර්ගවලින් යුක්‌තු වූ භූමියකි. එහි විසූ මිනිසුන් ගේ ක්‍රියාකාරකම් පිළිබඳ සාධක එහි හමු නො වූ තරම් විය.

එහෙත් චන්ද්‍රිකා ඡායාරූප හා පොළොවෙන් මීටර් 30කට උඩින් සිට ෙඩ්‍රාaන කැමරා මගින් ලබාගත් ඡායාරූප යොදාගනිමින් සිදු කරන ලද විශ්ලේෂණයක දී අනාවරණය වී ඇත්තේ අපූරු තොරතුරු සමුදායකි. ඒ අනුව ජලය රදවාගැනීම සඳහා සැකසූ වේලි, වාරි ඇළ මාර්ග හා කුඩා වගා බිම් සමූහයකට ජලය සපයන කුඩා ප්‍රමාණයේ ජලාශ ගණනාවක්‌ හදුනාගැනීමට මේ පර්යේෂකයන්ට හැකියාව ලැබී ඇත. ඒ සම්බන්ධ ශේෂ මනා ව ඉතිරි වී තිබිණි. මෙ වැනි වාරිමාර්ග පද්ධති පිහිටා තිබූ ප්‍රදේශ හතක්‌ මොහුචහාන් (Mohuchahan) ගංගාව දිගේ පිහිටා ඇති බව උක්‌ත අධ්‍යයනයේ දී සොයාගෙන තිබේ.

එසේ ම එ වැනි එක්‌ ස්‌ථානයක ක්‌ෂේත්‍රයේ එහි සිදු කරන ලද මූලික පරීක්‌ෂණ කැණීම් මගින් කරුණු ගණනාවක්‌ අනාවරණය වී ඇත. මේ කැණීම්වලින් අනාවරණය වූ පරිදි එහි පැවැති ඇළ මාර්ග සාපේක්‍ෂ ව පටු වූ අතර ගැඹුරින් ද ඉතා අඩු විය. එසේ ම විසිරී ගොස්‌ ඇති ගොවි නිවාස හා සුසාන භූමි පිළිබඳව ද කරුණු අනාවරණය වී ඇත.


මෙහි ඇති විශේෂත්වය වන්නේ එම ප්‍රදේශයේ ඓතිහාසික වර්ෂාපතනය වාර්ෂික ව මිලිමීටර් 66ක්‌ තරම් අඩු ප්‍රමාණයක්‌ බව හෙළි වී ඇති නිසා ය. එම වර්ෂා ජල ප්‍රමාණය නියගයට වඩාත් හොඳින් ඔරොත්තු දෙන තණ හාල් (මිලට්‌) වැනි ධාන්‍ය වගා කිරීම සඳහා අවශ්‍ය ජල ප්‍රමාණයෙන් පහෙන් එකක්‌ පමණ වෙයි. පර්යේෂකයන් විශ්වාස කරන්නේ වාරිමාර්ග යොදාගනිමින් මේ ප්‍රදේශයේ මිලට්‌, බාර්ලි, තිරිගු හා ඇතැම් විට මිදි වගා කිරීම සිදු කරන්නට ඇති බවයි.

මේ වාරිමාර්ග ක්‍රමය කාල නිර්ණය කර ඇත්තේ පොදු වර්ෂ 3-4 ශතවර්ෂවල දී පමණ ඉදි කරන ලද්දක්‌ විය හැකි බවට ය. එසේ වාරිමාර්ග පද්ධතියක්‌ ඉදි කිරීමෙහි අරමුණ වන්නට ඇත්තේ ඔවුන් ගේ වගාව සඳහා වැඩි භෝග ගණනක්‌ එකතු කරගැනීම විය හැකි බව ද දක්‌වා තිබේ.

වාරිමාර්ග තාක්‌ෂණය ලැබුණේ කොතැනින් ද?


මේ වාරි තාක්‌ෂණය මේ ප්‍රදේශයට ලැබුණේ කුමන ප්‍රදේශයකින් ද යන්න පර්යේෂකයන් ගේ අවධානයට ලක්‌ වූ තවත් කරුණකි.

චීනයේ සිංජියාන් (Xinjiang) කලාපයට ප්‍රධාන වාරි තාක්‌ෂණය ලැබෙන්නේ පොදු වර්ෂ පූර්ව 206 සිට පොදු වර්ෂ 220 දක්‌වා කාලයේ දී චීනයේ පැවැති හන් රාජවංශ සමයේ බව මේ වන විට පවත්නා සාමාන්‍ය පිළිගැනීම වෙයි. එහෙත් මේ අධ්‍යයනයෙන් පෙන්වා දී ඇති ආකාරයට මේ මොහුචුහාන් නිම්නයේ හමු වන වාරි තාක්‌ෂණික ක්‍රම හන් රාජවංශ සමයේ හදුන්වා දුන් වාරිමාර්ග තාක්‌ෂණයට වඩා පැරැණි එකක්‌ විය හැකි ය.

මේ ප්‍රදේශයට උතුරින් පිහිටා ඇති ටියෙන් ෂාන් කදුකර ප්‍රදේශය හරහා චීනය හා මෑත පෙරදිග කලාපය යා කළ ප්‍රාග් ඓතිහාසික සේද මාවතේ මාර්ගය වැටී තිබිණි. මේ මාර්ග ඔස්‌සේ පිහිටා තිබූ කදුකර ප්‍රදේශවල සතුන් ඇති කරමින් ජීවත් වූ කණ්‌ඩායම් අතර විශාල ප්‍රමාණයේ හුවමාරු කිරීම් ඇති වූ බවට මතයක්‌ තිබෙයි. පැරැණි සංචාරක දිවිපෙවෙතක්‌ ගෙවූ එම කණ්‌ඩායම් අතර ගෘහාශ්‍රිතකරණය වූ විවිධ මුල් භෝග වර්ගවල බීජ හුවමාරු වූ බව මේ වන විට සිදු කර ඇති පර්යේෂණවලින් අනාවරණය වී ඇත. ඒ ඔවුන් විවිධ කාලවකවානුවල දී සිය සත්ත්ව රංචු ඝෘතුමය තණබිම්වලට ගෙන යන අවස්‌ථාවල දී ය.

මේ ආකාරයට ම මුල් වාරි තාක්‌ෂණය පිළිබඳ දැනුම ද කණ්‌ඩායමෙන් කණ්‌ඩායමට හුවමාරු වන්නට ඇති බව මේ පර්යේෂකයන් ගේ අදහස වෙයි. ඒ ක්‍රියාවලිය වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ සිදු වූවක්‌ විය හැකි ය.

මේ පර්යේෂකයන් පෙන්වා දී ඇති පරිදි කුඩා පරිමාණයේ වාරිමාර්ග පද්ධති පිළිබඳ සාධක උක්‌ත ප්‍රදේශයට බටහිරදිගින් පිහිටා ඇති, ගිනිකොනදිග තුර්ක්‌මේනිස්‌ථානයේ ගියෝකිසූර් (Geokysur) ගංගා ඩෙල්ටාවේ පොදු වර්ෂ පූර්ව 3000 පමණ කාලයේ පමණ පැවැතී තිබෙයි. එසේ ම තවත් බටහිරට වන්නට පිහිටා ඇති, පොදු වර්ෂ පූර්ව 5000ට පමණ අයත් ලෙස කාලනිර්ණය කර ඇති ඉරානයේ ටෙපේ ගස්‌ ටවීලා (Tepe Gaz Tavila‌) ජනාවාසයෙන් ද මෙ වැනි වාරි පද්ධති පිළිබඳ සාධක හමු වී ඇත. එසේ ම කාන්තාර සහිත පරිසරයක්‌ වූ දකුණු ජෝර්දානයේ වාඩි ෙෆ්නාන් (Wadi Faynan) ගොවි ප්‍රජාව පශ්චාත් ලෝකඩ යුගයේ භාවිත කර ඇති වාරිමාර්ග රටාව ඉහත කී අධ්‍යයනයෙන් හෙළි වූ වාරිමාර්ග රටාව හා බොහෝ දුරට සර්වසම වෙයි. මේ අනුව මේ තාක්‌ෂණය සේද මාවත ඔස්‌සේ පැමිණි බව යෝජනා කිරීම සාධාරණ වීමට වැඩි අවස්‌ථාවක්‌ තිබෙයි.

මේ අධ්‍යයනයේ දී අනාවරණය වූ වාරිමාර්ග පද්ධතිවල ඇති විශේෂත්වය වන්නේ ඒවා ප්‍රමාණයෙන් වඩා කුඩා පරිමාණයේ ඒවා වීම ය. අධ්‍යයනයේ දී හදුනාගත් එ වැනි පද්ධති හතකින් ම ජලය සැපයීමට හැකියාව ඇත්තේ අක්‌කර 500ක්‌ පමණ ප්‍රදේශයකට පමණක්‌ වීම නිදසුනකි. එහෙත් හන් රාජවංශය සමයේ හදුන්වා දී ඇත්තේ මහා පරිමාණ වාරිමාර්ග පද්ධති වන අතර, ඒවායින් වඩා විශාල භූමි ප්‍රදේශයකට ජලය සැපයීමට හැකියාව පවතී. එසේ ම ඒවායේ දී යොදාගත් දීර්ඝ, ගැඹුරු හා පුළුල් වූ ඝෘජු ඇළ මාර්ග පද්ධතිය මගින් අක්‌කර 12000ක්‌ පමණ ප්‍රදේශයකට වාරි ජලය සැපයීමට ද හැකි විය.

එසේ ම ගොවීන් සුළු පිරිසකට වසර කිහිපයක්‌ වැනි කෙටි කාලයක්‌ තුළ අඩු ප්‍රයත්නයකින් මොහුචහාන්හි දී හමු වූ වැනි කුඩා වාරි පද්ධතියක්‌ තැනිය හැකි වීම ද වැදගත් වෙයි. එහෙත් හන් රාජවංශය සමයේ දී ඉදි කරන ලද වාරි ව්‍යාපෘතියක්‌ සඳහා විශාල ශ්‍රමයක්‌ හා අමුද්‍රව්‍ය (පස්‌) ප්‍රමාණයක්‌ අවශ්‍ය විය.

තවත් වැදගත් කරුණක්‌ වන්නේ හන් රාජවංශය සමයේ විශාල පරිමාණයේ වාරි පද්ධති මේ කලාපයට හදුන්වා දුන්න ද, මුලින් හදුනාගත් කුඩා පරිමාණ වාරිමාර්ග තාක්‌ෂණික ක්‍රම භාවිතයෙන් ඉවත් නො වී තිබීම ම ය. නිදසුනක්‌ ලෙස ගත හොත්, මේ අධ්‍යයනයෙන් අනාවරණය වූ වාරිමාර්ග තනා ඇත්තේ හා භාවිත කර ඇත්තේ හන් රාජවංශය සමයෙන් පසු ව ය.

මේ අනුව බෝග වර්ග සමග ම වාරි තාක්‌ෂණය ද චීනයේ සිංජියැං ප්‍රදේශයට ප්‍රාග් ඓතිහාසික යුගයේ දී ම වාගේ පැමිණ ඇති බව පැහැදිලි ය. ඒ අන්තර් ආසියාතික මංපෙත (Inner Asian Mountain Corridor) ඔස්‌සේ බව ද පෙනෙයි. මේ අනුව තාක්‌ෂණික දැනුම ජන කණ්‌ඩායම් අතර හුවමාරු වූ ආකාරය පෙන්වන පර්යේෂණයක්‌ ලෙස මෙය වැදගත් වෙයි.

මූලාශ්‍රය( Archaeological Research in Asia, DOI: 10.1016/j.ara.2017.09.005

http://www.vidusara.com/2018/01/17/feature4.html

Tuesday, January 16, 2018

සුමාත්‍රානු රයිනෝසිරස්‌ ගහනය අඩු වීම සඳහා හේතු වූ අතීත දේශගුණ වෙනස්‌ වීම

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 10.01.2018, පි. 11 (Vidusara)

http://www.vidusara.com/2018/01/10/feature4.html




ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ හා බෝර්නියෝ දූපතේ වාසය කරන සුමාත්‍රානු රයිනෝසිරස්‌ (Sumatran Rhinoceros) ලෙස හැඳින්වෙන රයිනෝසිරස්‌ විශේෂය ලෝකයේ ජීවත් වන රයිනෝ විශේෂ පහ අතරින් කුඩා ම විශේෂය වෙයි. Dicerorhinus sumatrensis ලෙස සත්ත්ව විද්‍යාත්මක ව හැඳින්වෙන මේ සත්ත්ව විශේෂය Dicerorhinus ගණයට අයත් වන එක ම විශේෂයයි. එම විශේෂයේ උප විශේෂ තුනක්‌ පිළිබඳ ව වාර්තා වන අතර, එක්‌ විශේෂයක්‌ මේ වන විට වඳ වී ගොස්‌ ඇති සේ සැලකේ.

සුමාත්‍රානු රයිනෝසිරස්‌ කෙතරම් දැඩි ලෙස වඳ වීමේ තර්ජනයට ලක්‌ ව ඇත්තේ ද යත්, IUCN රක්‌ත ලේඛනයේ 'දැඩි අන්තරායක' (Critically Endangered) තත්ත්වයේ ලා සැලකෙන සත්ත්ව විශේෂයකි. 2011 වර්ෂය වන විට ස්‌වාභාවික පරිසරයේ මේ විශේෂයට අයත් රයිනෝ සතුන් 216ක්‌ පමණ හමු වූ බව වාර්තා වෙයි. එහෙත් ඇතැම් මෑතකාලීන ගණන් බැලීම්වලට අනුව දැන් මේ ගණන සියයකටත් වඩා අඩු ය. අතීතයේ දී මේ සතුන් ගේ ව්‍යාප්තියේ උතුරු සීමාව ඉන්දියාව සිට ලාඕසය දක්‌වා වූ අතර, දකුණු සීමාව ඉන්දුනීසියානු දූපත් විය. එහෙත් අද වන විට මේ සතුන් වාසය කරන්නේ සුමාත්‍රා දූපතේ හා බෝර්නියෝ දූපතේ පමණකි. මැලේසියානු අර්ධද්වීපයේ මේ සතුන් ජීවත් වන්නේ ද යන්න සැකසහිත බව පෙන්වා දී තිබෙයි. මේ සතුන් පත් ව ඇති බරපතළ ම තර්ජනය වන්නේ අං ලබාගැනීම සඳහා දඩයම් කිරීමයි. එසේ ම මේ සත්ත්වයා ගේ දේහ කොටස්‌ විවිධ ඖෂධීය අවශ්‍යතා සඳහා යොදාගැනීම ද දැකිය හැකි ය. ශතවර්ෂ ගණනාවක්‌ තිස්‌සේ සිදු වූ මේ දඩයම් කිරීම නිසා සුමාත්‍රානු රයිනෝසිරස්‌ අද වන විට වඳ වීමේ තර්ජනයට ලක්‌ ව ඇති බව පිළිගැනෙයි.

කෙසේ වෙතත්, මේ සතුන් ගේ ප්‍රවේණික ද්‍රව්‍ය සම්බන්ධ ව මෑතක දී සිදු කරන ලද අධ්‍යයනයකින් අපූරු කරුණක්‌ අනාවරණය වී ඇත. ඒ අනුව, මේ රයිනෝ විශේෂයේ ගහනය අඩු වීමට බලපෑ හේතු ආරම්භ වූයේ අද ඊයේ නො ව, අදින් වසර මිලියනයකට පමණ කාලයකට පෙර පැවැති ප්ලයිස්‌ටොසීන යුගයේ මැද භාගයේ දී පමණ ය.

ප්‍රවේණික ද්‍රව්‍ය පිළිබඳ අධ්‍යයනයක්‌


මේ අධ්‍යයනය සඳහා යොදාගෙන ඇත්තේ ඇමෙරිකාවේ සින්සිනාටි සත්ත්වෝද්‍යානයේ වාසය කළ සුමාත්‍රානු රයිනෝසිරස්‌ සතෙකු ගෙන් ලබාගත් නිදර්ශකයකින් උකහාගත් ගෙනෝමයකි. ඉපු (Ipuh) නමින් හැඳින්වුණු එම සත්ත්වයා වසර 22ක්‌ පමණ කාලයක්‌ එම සත්ත්වෝද්‍යානයේ වාසය කර 2013 වර්ෂයේ දී මිය ගොස්‌ ඇත. එම සතා ගෙන් පැවත එන රයිනෝ සත්තු මේ වන විට ඉන්දුනීසියාවේ අභය භූමිවල වාසය කරති.

මේ ප්‍රවේණික ද්‍රව්‍ය යොදාගනිමින් Pairwise Sequential Markovian Coalescent (PSMC) නම් අණුක විද්‍යාත්මක තාක්‌ෂණික ක්‍රමවේදයක්‌ යොදාගනිමින් එම සතුන් ගේ ප්‍රවේණික ඉතිහාසයක්‌ ගොඩනැංවීමට මේ පර්යේෂකයන්ට හැකියාව ලැබී ඇත. මෙහි දී එක්‌ ජීවියකු ගේ ගෙනෝම අනුක්‍රමයක්‌ (genome sequence) යොදාගනිමින් එම ජීවියා අයත් විශේෂයේ ගහනයේ විශාලත්වයේ ඉතිහාසය ගොඩනැංවීමට හැකියාව ලැබෙයි. මෙය දුර්ලභ හෝ වඳ වී ගිය හෝ විශේෂ අධ්‍යයනය කිරීමේ දී විශේෂයෙන් වැදගත් වන ක්‍රමවේදයකි. උක්‌ත අධ්‍යයනයේ දී ද මේ ක්‍රමවේදයෙන් ලබාගත් දත්ත හා පාරිසරික නිෙ€ත ආකෘතියක්‌ සම්බන්ධ කරමින් අතීතයේ සිදු වූ දේශගුණ වෙනස්‌ වීම් මේ සතුන් ගේ ගහනයේ විශාලත්වයට බලපා ඇති ආකාරය අවබෝධ කරගැනීමට මේ පර්යේෂකයෝ උත්සාහ කළ හ.

සුමාත්‍රානු රයිනෝසිරස්‌ ගහනයේ වෙනස්‌ වීම්


සුමාත්‍රානු රයිනෝ ගහනය ඉතිහාසයේ දී උච්චාවචනය වූ ආකාරය මේ ප්‍රවේණික දත්ත අනුව පැහැදිලි වී තිබෙයි. මේ සතුන් ගේ ගහනයේ උපරිම ප්‍රමාණය දැකිය හැකි වී ඇත්තේ සුන්ඩාලන්තය නමින් හඳුන්වනු ලබන බිම් ප්‍රදේශය පැවැති කාල සීමාවේ ය. සුන්ඩාලන්තය යනු අදින් වසර මිලියන 2.6ක පමණ කාලයකට පෙර පටන් මුහුදු මට්‌ටම පහළ ගොස්‌ තිබූ කාලයේ දී අග්නිදිග ආසියාවේ දැකිය හැකි වූ විශාල ගොඩබිම් ප්‍රදේශයකි. ඊට මලයාසියානු අර්ධද්වීපය, සුමාත්‍රා, ජාවා හා බෝර්නියෝ යන වර්තමානය වන විට දූපත් බවට පත් ව ඇති ප්‍රදේශ ඇතුළත් විය. මේවා එක ම ගොඩබිමක්‌ ලෙස සම්බන්ධ වී තිබූ අතර ඒ අනුව මේ දූපත් ආසියා මහාද්වීපයට ද සම්බන්ධ ව තිබිණි. මේ අනුව මේ ප්‍රදේශවල සත්ත්ව සංක්‍රමණ සිදු වූ බව පැහැදිලි වෙයි. පසුව මුහුදු මට්‌ටම ඉහළ යැමේ දී මේ ප්‍රදේශ සමහරක්‌ දූපත් බවට පත් වූ අතර විශාල ප්‍රදේශයක්‌ මුහුදුබත් විය. (සිතියම බලන්න) මේ කලාපය ජෛවභූගෝල විද්‍යාත්මක ව (biogeographically) වැදගත් කලාපයක්‌ සේ සැලකේ.

සුන්ඩාලන්තය පැවැති කාලයේ දී, එනම් අදින් වසර 950,000ක්‌ පමණ කාල සීමාවකට පෙර සුමාත්‍රානු රයිනෝ ගහනය එහි උපරිම විශාලත්වයට ළඟා වූ බව ප්‍රවේණික දත්ත අනුව මේ විද්‍යාඥයන් ගේ අදහස වෙයි. එහි උපරිම ප්‍රමාණය ඇස්‌තමේන්තුගත කර ඇත්තේ සතුන් 57,800ක්‌ පමණ ලෙස ය. මේ ප්‍රමාණය සඵල ගහන විශාලත්වය (Effective population size) ලෙස හැඳින්වෙයි. එමඟින් අදහස්‌ වන්නේ යම් ගහනයක අභිජනනය කරන සතුන් ගේ ප්‍රමාණය, වැඩිහිටි සතුන් ගේ ප්‍රමාණය, පිළිබඳ සංඛ්‍යාවකි. සතුන් ගේ ගහනයේ මේ වර්ධනය සිදු වී ඇත්තේ මුල් ප්ලයිස්‌ටොසීන යුගයේ සිට මධ්‍ය ප්ලයිස්‌ටොසීන යුගය දක්‌වා වූ කාලයේ දී ය.

එහෙත් අයිස්‌ යුගයේ අවසානයේ දී මුහුදු මට්‌ටම ඉහළ යැම නිසා පෙර කී සුන්ඩාලන්තයෙන් විශාල කොටසක්‌ මුහුදුබත් විය. එයට අයත් භූමි ප්‍රදේශයේ කොටස්‌ සමහරක්‌ දූපත් බවට පත් ව මහාද්වීපයෙන් වෙන් විය. බෝර්නියෝ, ජාවා, සුමාත්‍රා දූපත් මෙසේ මලයාසියානු අර්ධද්වීපයෙන් වෙන් වීම සිදු විය. ඒ සමඟ අදින් වසර 12,000ක්‌ පමණ කාලයකට පෙර කාලය වන විට මේ කලාපයේ විශාල ක්‌ෂීරපායින් පීඩා විඳින්නට පටන්ගෙන තිබිණි. සුමාත්‍රානු රයිනෝසිරස්‌ ද ඉන් එක්‌ විශේෂයක්‌ විය.

සුමාත්‍රානු රයිනෝ වැනි සතුන් දූපත්වලට කොටු වූ අතර ඒ සමඟ මේ සතුන්ට ජීවත් වීම සඳහා යෝග්‍ය වූ පරිසරය විශාල ලෙසින් අඩු වීම හා වාසස්‌ථාන කඩ කඩ වීමෙන් ගහන වෙන් වීම දැකිය හැකි විය. අදින් වසර 9,000ක්‌ පමණ වන විට මේ සතුන් ගේ සඵල ගහන විශාලත්වය 700ක්‌ පමණ ප්‍රමාණයක්‌ දක්‌වා අඩු වී තිබූ බව මේ අධ්‍යයනයේ ප්‍රවේණික සාධක මඟින් හෙළි වෙයි. මේ සඳහා බලපෑ සාධකය වූයේ දේශගුණ වෙනස්‌ වීමයි.

ගහනයේ විශාලත්වය අඩු වීම නිසා සුමාත්‍රානු රයිනෝසිරස්‌ ගහනයේ ප්‍රවේණික විවිධත්වය අඩු වීම සිදු වී ඇත. ඒ සමඟ එදා අඩු වූ රයිනෝ ගහනය කිසිදු දිනයක යථා තත්ත්වයකට පත් වූ බවක්‌ නො පෙනෙන බව මේ පර්යේෂකයන් ගේ අදහසයි. මේ අනුව සුමාත්‍රානු රයිනෝ විශේෂය බොහෝ කාලයක්‌ තිස්‌සේ වඳ වී යැමේ මාවතේ ගමන් කරමින් සිට ඇති බව මේ විද්‍යාඥයන් ගේ අදහස වෙයි.

මානව බලපෑම


රයිනෝ සතුන් ගේ වාසස්‌ථාන වූ වනාන්තර බිම් විනාශ කිරීම හා රයිනෝ දඩයම් කිරීම වැනි මෑත කාලයේ දී මිනිසුන් විසින් සිදු කරන ලද කටයුතු ඒ වන විටත් ජාන විවිධත්වයෙන් පිරිහීමට පත් ව තිබූ මේ රයිනෝ සතුන් වඳ වී යැමේ අවදානම තවදුරටත් වර්ධනය කිරීම සඳහා හේතු වූ බව ද පැහැදිලි ය. ප්‍රවේණික විවිධත්වය අඩු සත්ත්ව විශේෂයක්‌ මිනිසුන් ගේ දඩයමට ලක්‌ වීම නිසා දැඩි අවදානමකට ලක්‌ වීමට අවස්‌ථාවක්‌ ඇත.

හොලෝසීන යුගයේ දී වනාන්තර හෙළි කිරීම මෙන් ම රයිනෝ සතුන් දඩයම් කිරීම ද මිනිසුන් විසින් සිදු කරන ලද බවට සාධක පවතියි. නිදසුනක්‌ ලෙස බෝර්නියෝ දූපතේ නියා ගුහාව වැනි ප්‍රාග් ඓතිහාසික සාධක සහිත ස්‌ථානවලින් ලැබී ඇති සාධක දැක්‌විය හැකි ය. ඒ අපර ප්ලයිස්‌ටොසීන සමයේ දී ය. මේ අනුව මෑත අතීතයේ දී රයිනෝ ගහනය අඩු වීම සඳහා මානව ක්‍රියාකාරිත්වය ද බලපා ඇති බව පැහැදිලි ය.

මේ කරුණු අනාවරණය වීම රයිනෝ සංරක්‌ෂණය පිළිබඳ ව වර්තමානයේ ඇති වී තිබෙන උත්සාහය අසාර්ථක විය හැකි යෑයි අවතක්‌සේරු කරනු නො ලැබේ. වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, සුමාත්‍රානු රයිනෝසිරස්‌ ගහනය අද මුහුණ පා ඇති තර්ජන වැළැක්‌වීම කළ නොහැකි යෑයි අවතක්‌සේරු කිරීමක්‌ ඉන් අදහස්‌ නො වෙයි. එහෙත් මේ විශේෂයේ ගහනයේ තත්ත්වය වඩා පුළුල් වූ පාරිසරික හා පරිණාමික සන්දර්භයක පිහිටුවනු ලැබීමට මේ අධ්‍යයනය මඟින් උපකාරයක්‌ ලැබෙන බව මේ පර්යේෂකයන් ගේ අදහස වෙයි. එසේ ම පරිණාමීය වශයෙන් ඇති ප්‍රවණතා හඳුනාගනු ලැබීම සංරක්‌ෂණ උත්සාහය සාර්ථක කරගැනීම සඳහා වැදගත් බව අමුතුවෙන් කිවයුතු නැත. කෙසේ වෙතත් සුමාත්‍රානු රයිනෝසිරස්‌ සංරක්‌ෂණය පෙරටත් වඩා අභියෝගයක්‌ බව නම් පැහැදිලි ය.

මූලාශ්‍රය: Current Biology, DOI: 10.1016/j.cub.2017.11.021

Friday, January 5, 2018

දුව කී කතා 01 - බුලත් කොළෙන් වතුර බීම

(අලියා හා කූඹියාගේ කතා මාලාවට අයත් විය යුතු යැයි සිතෙන මේ බොහොම කෙටි කතාව මම ඇහුවේ දුවගෙනි. මේක අපි එ් දවස්වල අැසූ අලි-කූඹි කතා වගේම එයාලත් ඉස්කෝලෙදි ළමුන් අතර අසන ලද ප්‍රශ්නයකි.)

ඔන්න එක්තරා යාළු අලියෙකුයි හා කූඹියෙකුයි හිටියා. දවසක් මේ දෙන්නට ලොකුම ලොකු වතුර තිබහක් ඇති වුනා. බොන්න වතුර ටිකක් සොයාගෙන සොයාගෙන හැම තැනම අැවිද ගිය එයාල දෙන්නට කොහෙවත්ම වතුර හමු උනේ නැහැ. කොහොමහරි අන්තිමටම එයාලට වතුර චුට්ටක් හමුවුනා. එ් බුලත් කොළේක තිබිලයි.

ඉතින් බොහොම අමාරුවෙන් බුලත් කොළෙන් හොයාගත්ත එ් වතුරවලින් ටිකක් කූඹියා නම් බිව්වා. ඒත් අලියා බිව්වෙ නෑ.

ඇයි ඒ?
.
.
.
.
.
.
.
.
.
.

අලියා (පට්ට) යූඇන්පි කාරයෙකි. එයාට බුලත් කොළ පේන්න බෑනෙ.

(මේක ගැලපෙන්නෙ අතීතයට හොඳේ)

05.01.2018

Wednesday, January 3, 2018

දොඩම් වගාව නිසා වර්ධනය වූ සිසිලියේ මාෆියා කල්ලි

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 27.12.2017, පි. 11 (Vidusara)

http://www.vidusara.com/2017/12/27/feature4.html




මධ්‍යධරණී මුහුදේ ඉතාලියට යාබද ව පිහිටා ඇති සිසිලි දූපතේ මාෆියා කල්ලි බිහි වන්නේ 19 වැනි සියවසේ දී පමණ ය. මේ කල්ලි කෙටි කාලයක්‌ ඇතුළත ඉතාලියේ ආර්ථික හා දේශපාලන අංශවලට සැලකිය යුතු තරම් බලපෑමක්‌ කළ හැකි තත්ත්වයට දියුණු විය. එසේ ම එය පසුකලක ඇමෙරිකාවට හා තවත් රටවලට ද යම් බලපෑමක්‌ ඇති කර තිබේ. විශේෂයෙන් මෑත යුගයේ දී යුරෝපයේ ආර්ථික කටයුතුවලට සැලකිය යුතු තරම් අහිතකර ආකාරයේ බලපෑමක්‌ ඇති කළ ආයතනයක්‌ ලෙස මාෆියා කල්ලි සැලකෙයි. එදා සිට මේ දක්‌වා මේ කල්ලිවල අපරාධ පිළිබඳව බොහෝ දේ සාකච්ඡා වී තිබේ.

මේ මාෆියා කල්ලි බිහි වීමට හා වර්ධනය වීමට බලපෑ සාධක මොනවා ද යන්න මේ සම්බන්ධව පර්යේෂණවල යෙදෙන පර්යේෂකයන්ට කලක පටන් ම පැවැති ගැටලුවක්‌ වෙයි. එම හේතු පිළිබඳව මේ දක්‌වා යම් යම් අදහස්‌ ඉදිරිපත් ව ඇතත්, ඒ පිළිබඳව මෙතෙක්‌ හරිහැටි පැහැදිලි වී නො තිබිණි.

මේ විෂය සම්බන්ධව පසුගිය දා ප්‍රකාශයට පත් වූ අධ්‍යයන වාර්තාවකින් හදුනාගෙන ඇති ආකාරයට, සිසිලි දූපතේ වගා කරන ලද දොඩම් සහ ලෙමන් සඳහා පැවැති ඉල්ලුම 19 වැනි සියවසේ දී වේගයෙන් ඉහළ යැම මාෆියා කල්ලිවල වර්ධනය සඳහා බලපෑ හේතුව ලෙස හදුනාගෙන තිබේ.

ඓතිහාසික වාර්තා පිළිබඳ අධ්‍යයනයක්‌


මේ අධ්‍යයනය සමකාලීන ලිත වාර්තා ප්‍රභව දෙකක්‌ පාදක කර ගනිමින් සිදු කරන ලද්දකි. 19 වැනි සියවසේ දෙවැනි භාගයේ දී ගොනු කරන ලද දත්ත යොදාගනිමින් මේ අධ්‍යයනය සිදු කර තිබේ.

සිසිලි දූපතේ දොඩම් කුලයේ ශාක වගාවට සැලකිය යුතු අතීතයක්‌ තිබේ. 10 වැනි සියවසේ අරාබි ජාතිකයන් මුලින් ම තිත්ත දොඩම් (bitter orange - Citrus higaradia) සිසිලි දූපතට හදුන්වා දුන් බව මේ වන විට අනාවරණය වී ඇති ඓතිහාසික වාර්තා අනුව පැහැදිලි ය. සිසිලි දූපතේ පැවැති දේශගුණ තත්ත්වය, සරු පස මේ ශාකයේ ව්‍යාප්තිය සඳහා යෝග්‍ය විය. මේ ශාකය ලෙමන් හා දොඩම් බද්ධ කිරීම සඳහා සුලබ ව යොදාගන්නා ශාකයකි. කෙසේ වෙතත් මේ වගාව දූපතේ පැතිර ගිය ද, 19 වැනි සියවසට පෙර මේ පලතුරු සඳහා දේශීයව හෝ අන්තර්ජාතික වශයෙන් හෝ එතරම් ඉල්ලුමක්‌ තිබී නොමැත.

මේ තත්ත්වය වෙනස්‌ වූයේ ශීතාද රෝගය (scurvy) රෝගය සඳහා ප්‍රතිකාරයක්‌ ලෙස ඉහත සඳහන් Citrus කුලයේ පලතුරු භාවිත කිරීම සුදුසු යෑයි සොයාගැනීමත් සමග ය. එය සිදු වූයේ 18 වැනි සියවසේ මැද භාගයේ දී ඡේම්ස්‌ ලින්ඩ් විසින් සිදු කරන ලද පරීක්‌ෂණයක්‌ සමග ය. එම සොයාගැනීම හේතුවෙන් දොඩම් හා ලෙමන් වැනි පලතුරුවල ප්‍රායෝගික භාවිතය බෙහෙවින් පුළුල් විය. ඒ සමග පලතුරු හා යුෂ ලෙස භාවිතය සඳහා ඒවාට ඇති ඉල්ලුම වේගයෙන් ඉහළ ගියේ ය.

මෙසේ විදේශීය වශයෙන් ඇති වූ අධික ඉල්ලුම නිසා ඒ වන විටත් දොඩම් වැනි පලතුරු සඳහා ප්‍රසිද්ධ වූ සිසිලියේ පලතුරු නිෂ්පාදනය කරන ප්‍රදේශවල ආදායම් 1800 ගණන්වල දී බෙහෙවින් වර්ධනය විය. 19 වැනි සියවස මැද භාගයේ දී පමණ (1850 පමණ වන විට) සිසිලියෙන් අපනයනය කරන ලද ලෙමන්, දොඩම් හා එහි නිෂ්පාදනවල කැපී පෙනෙන වර්ධනයක්‌ දැකිය හැකි වේ. නිදසුනක්‌ ලෙස ගත හොත් සිසිලියේ මෙසීනා වරායෙන් 1837 දී අපනයනය කළ ලෙමන් යුෂ බැරල් ප්‍රමාණය 740ක්‌ වූ අතර එය 1850 වන විට බැරල් 20,707ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ ඇත.

දොඩම් නිෂ්පාදනවලින් අධික ලාභයක්‌ ලැබිය හැකි බැවින් දොඩම් වගාව මේ කාලයේ දී ඉතා වේගයෙන් ව්‍යාප්ත වී ඇත. ඒ සමග දොඩම් අපනයනය හා ඉන් ලැබෙන ආදායම ද වේගයෙන් වර්ධනය වී තිබේ. එක්‌ වාර්තාවකින් පෙන්වා දෙන ආකාරයට දූපතේ සෙසු ප්‍රදේශවල හෙක්‌ටයාරයක භූමියකින් ලබාගත හැකි ලාභය මෙන් 60 ගුණයක ලාභයක්‌ දොඩම් හා ලෙමන් වගාවලින් ලබාගත හැකි විය.

මාෆියා කල්ලිවල වර්ධනය


මාෆියා (Mafia) කණ්‌ඩායම්වල ආරම්භය සිදු වූයේ ඉතාලියේ එක්‌සත් කිරීමේ ව්‍යාපාරය ආරම්භ වීමට පෙර බව විශ්වාස කරනු ලැබේ. ආරම්භක සමයේ දී ඔවුන් පෙනී සිටින්නේ අසාධාරණයට එරෙහි ව සිටි එඩිතර හා දිරිමත් පිරිසක්‌ ලෙසිනි. සමාජයේ ද ඔවුන් පිළිබඳව නිශේධනීය අදහසක්‌ දැකිය හැකි නො වූ අතර, ඔවුන් විසින් සිදු කරන ලද අපරාධ ලෙස හැඳින්විය හැකි ක්‍රියා සම්බන්ධව පවා ප්‍රාදේශීය ප්‍රජාව ගේ ගෞරවය එම කණ්‌ඩායම්වලට ලැබී තිබේ.

දොඩම් හා ලෙමන් වැනි පලතුරු සඳහා ඇති වූ අධික ඉල්ලුමත් සමග එම පලතුරු අපනයනයෙන් සිසිලි දූපතේ නිෂ්පාදකයන්ට අධික ආදායමක්‌ ලැබිය හැකි වූ ප්‍රදේශවල මාෆියා කල්ලි වර්ධනය වූ ආකාරය උක්‌ත අධ්‍යයනයෙන් අනාවරණය වේ. ඉහත සඳහන් පරිදි ඒ වන විට මාෆියා කල්ලි ඇති වී තිබිණි. එහෙත් ඒවායේ කැපී පෙනෙන ආකාරයේ වර්ධනයක්‌ සිදු වන්නේ දොඩම් හා ලෙමන් වගාවේ ව්‍යාප්තියත් සමග බව ඉහත කී දත්ත ආශ්‍රයෙන් පෙන්වා දී ඇත.

මෙය සිදුවී ඇති ආකාරය මෙසේ සරල ව පැහැදිලි කළ හැකි ය. සිසිලියේ ඉතිහාසය තුළ පෞද්ගලික දේපළ පාලනය පිළිබඳ නීති නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට 1861 දී ඉතාලිය එක්‌සත් වීමෙන් පසුව හෝ ඊට පෙර පැවැති පාලනයට හෝ නොහැකි විය. මේ තත්ත්වයේ ප්‍රයෝජනය ගත්තේ මාෆියා කල්ලිකරුවන් ය. නීතියේ පාලනය දුර්වල වූ පරිසරයක, දොඩම් වගාබිම් විවිධ කොල්ලකරුවන් ගෙන් ආරක්‌ෂා කිරීම, නිෂ්පාදකයා හා අපනයනකරු අතර අතරමැදියන් ලෙස ක්‍රියා කිරීම වැනි කටයුතු මාෆියා කල්ලි මගින් සිදු කර තිබේ. මාෆියා කල්ලි සාමාජිකයන් කුලියට ගැනීමට දොඩම් නිෂ්පාදකයන්ට සිදු වූ බව ද පෙන්වා දී ඇත. ඒ ආරක්‍ෂාව අවශ්‍ය වූ අවස්‌ථාවල දී ය. ඇතැම් අවස්‌ථාවල දී දොඩම් වගාවේ බොහෝ පියවරවලට මාෆියා කල්ලි සාමාජිකයන් දායක වී ඇති අවස්‌ථා පිළිබඳව ද හෙළි වී ඇත.

මේ කරුණු අනුව පෙනී ගොස්‌ ඇත්තේ සිසිලි දූපතේ මාෆියා කල්ලිවල වර්ධනය වීම සඳහා අන්තර්ජාතික ඉල්ලුමේ ප්‍රතිඵලයක්‌ ලෙස ඉහළ ගිය දොඩම් හා ලෙමන් නිෂ්පාදනය හේතු වී ඇති බවයි.

ආර්ථික සාධකවල වැදගත්කම


මේ අධ්‍යයනය විසින් හෙළි කරනු ලබන්නේ ආර්ථික වශයෙන් වැදගත් වූ පාරිසරික හා කෘෂිකාර්මික සාධක නූතන සමාජ දේශපාලන තත්ත්ව හැඩගැසීමේ ලා වැදගත් හා තීරණාත්මක කාර්යයක්‌ සිදු කර ඇති එක්‌ අවස්‌ථාවකි. දොඩම් වැනි නිෂ්පාදනයක්‌ සඳහා ඇති වූ ඉල්ලුම නිසා මාෆියා කල්ලි වැනි ව්‍යqහයක්‌ වර්ධනය වීමට බලපා තිබීම මෙතෙක්‌ නො දැන සිටි, එහෙත් වැදගත් සිදු වීමකි. පසුකාලීනව සිදු වූ මාෆියා කල්ලිවල පරිණාමය හා සමග ඒවා මගින් සිදු ව ඇති අහිතකර බලපෑම ලෝකයේ රටවල් ගණනාවකට ම දැනී ඇති කරුණකි.

මෙය සමාජ හා දේශපාලන ඉතිහාසය සම්බන්ධව මෙන් ම පාරිසරික හා කෘෂිකාර්මික ඉතිහාසය සම්බන්ධයෙන් ද වැදගත් අධ්‍යයනයක්‌ සේ සැලකිය හැකි ය.

ස්‌කර්වි රෝගය

ස්‌කර්වි (Scurvy) හෙවත් ශීතාද රෝගය යනු ප්‍රමාණවත් තරම් විටමින් සී ප්‍රමාණයක්‌ ආහාර මගින් නො ලැබී යැම නිසා ඇති වන තත්ත්වයකි. මේ රෝගය පිළිබඳව ඈත අතීතයේ සිට වාර්තා වී ඇති එය කලක්‌ බොහෝ බරපතළ රෝගයක්‌ සේ සැලකිණි.

කෙසේ වෙතත් මේ රෝගය වැඩි අවධානයකට ලක්‌ වූයේ දීර්ඝ නාවික ගමන්වල දී නාවිකයන් අතර අධික මරණ ඇති වීමට මේ රෝගය හේතු වූ නිසා ය. මේ නිසා දිර්ඝ මුහුදු ගමන් සීමා කිරීම සඳහා ද මේ රෝගය බලපා ඇත. බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ සේවය කළ වෛද්‍යවරයකු වූ ඡේම්ස්‌ ලින්ඩ් ගේ පරීක්‌ෂණවලින් හෙළි වූයේ අතිරේක ආහාරයක්‌ ලෙස දොඩම් වැනි සිට්‌රස්‌ කුලයේ පලතුරු ලබා දීම මගින් මේ රෝගය සුව කළ හැකි බව ය. 1740 දශකයේ අග භාගයේ දී පමණ ඔහු සිදු කළ මේ පර්යේෂණය ලෝකයේ මුල් ම පාලිත සායනික පරීක්‌ෂණය (controlled clinical experiments) ලෙස සැලකෙන අතර ඒ පිළිබඳව 1753 දී පමණ ප්‍රකාශයට පත් විය. එහෙත් ස්‌කර්වි රෝගය සඳහා ප්‍රතිකාරයක්‌ ලෙස නාවික ගමන්වල දී සිට්‌රස්‌ යුෂ නිත්‍ය ලෙසින් ලබා දීම නාවික හමුදාවල සිරිතක්‌ බවට පත් වීම සඳහා තවත් කලක්‌ ගත වී ඇත.

අද වන විට මේ රෝගය ලෝකයේ දුර්ලභ රෝගයක්‌ සේ සැලකේ. එය මේ වන විට දැකිය හැක්‌කේ ඇතැම් දියුණු වන රටවල මන්දපෝෂණයෙන් පෙළෙන පිරිස්‌ අතර හා ඇතැම් සුවිශේෂ ජන කණ්‌ඩායම් අතර පමණකි. එනම් මානසික රෝගීන්, අසාමාන්‍ය ආහාර රටා ඇති අය, මත්පැනට ඇබ්බැහි වූවන්, වියපත් වූවන් වැනි සමබර තත්ත්වයේ ආහාර වේලක්‌ නො ලබන පිරිස්‌ අතර ය.

මූලාශ්‍රය: The Journal of Economic History, DOI: 10.1017/S002205071700078X

http://www.vidusara.com/2017/12/27/feature4.html

Monday, December 25, 2017

දළ පූට්‌ටුවා ගේ ඝාතනය මාකට්‌ කිරීම හා අලි සංරක්‌ෂණය

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, පි. 05, 13.12.2017 (Vidusara)

http://www.vidusara.com/2017/12/13/feature1.html




පසුගිය දා දළ ලබාගැනීම සඳහා වෙඩි තබා මරා දමන ලද ගල්ගමුවේ දළ පූට්‌ටුවා ඇතා ගැන සටහනක්‌ තැබීම සඳහා සූදානම් වන විට අපූරු කෙටි පණිවිඩයක්‌ ජංගම දුරකථනයට ලැබුණේ ය. එම කෙටි පණිවිඩයෙන් කියෑවුණේ 'මෑතක දී රට ම කතා වුණු දළ පූට්‌ටුවා ගැන ඔබ මෙතෙක්‌ නො දන්නා කතා මෙතනින් බලන්න' කියා යූ ටියුබ් සබැඳියක ලිපිනයක්‌ එවූ පණිවිඩයකි. මේ කෙටි පණිවිඩය දළ පූට්‌ටුවා මේ දිනවල 'මාකට්‌' වී ඇති බවට මනා සාධකයක්‌ සපයයි. (අදාළ අංකය වැනි අප ඉල්ලා ලියාපදිංචි වී නොමැති සේවා අංකවලින් මෙවැනි කෙටි පණිවිඩ ලැබීම පාරිභෝගික අයිතියක්‌ උල්ලංඝනය වීමක්‌ සේ සැලකිය හැකි වීම වෙන ම කරුණකි.)

දළ පූට්‌ටුවා හෝ හරියට ම කිව හොත් ඒ සතා මරා දැමීම පිළිබඳව සමාජයේ සාකච්ඡාවක්‌ ඇති වීම වැදගත් කරුණකි. ඒ වසරකට දෙ සිය පනහක්‌ පමණ අලි ඇතුන් අපේ රටේ මිය යන නිසා ය. එහෙත් මේ සාකච්ඡාව කෙතෙක්‌ සාධාරණීය ද යන්න වැදගත් වේ. නිදසුනක්‌ ලෙස ගත හොත් දළ පූට්‌ටුවා ගේ ඝාතනය බෙහෙවින් අලෙවි වූයේ සමාජ ජාලවල සහ ඕපාදූප වෙබ් අඩවිවල ය. මේ ඇතැම් සටහන් හුදෙක්‌ ඝාතකයන්ට සාප කිරීමට හා බලධාරීන්ට දෙස්‌ තැබීමට වෙන් වූ ඒවා ය. තවත් ඒවා හුදෙක්‌ ම ආවේගකාරී විය. තවත් ඒවායේ විවිධ යෝජනා දක්‌වා තිබිණි. නිදසුනක්‌ ලෙස දළ ඇතුනට ආරක්‌ෂාව ලබා දීම සඳහා මේ සමාජ ජාල සංරක්‌ෂකයන් ඉදිරිපත් කළ යෝජනා අතර රේඩියෝ කොලර් සවි කිරීම හා ඇතුන්ට ආරක්‌ෂක අංශවලින් ආරක්‌ෂාව ලබා දීම වැනි යෝජනා තිබිණි. දළ ලබාගැනීම සඳහා දඩයම් කිරීම වළක්‌වාලීමට මේ පළමු උපක්‍රමයෙන් සහායක්‌ නො ලැබෙන බව ඒ තාක්‌ෂණය දන්නා අයට පැහැදිලි කරුණකි. එසේ ම විශාල මෙන්ම වනගත ප්‍රදේශයක සරන අපේ රටේ ඇතකුට ආරක්‌ෂාව ලබා දීම කිසිසේත් ප්‍රායෝගික නො වන්නකි.

අනෙකක්‌ තබා මේ කතාව දිගින් දිගට ඇදී ගොස්‌ සමාජ ජාලවල බෙහෙවින් සිටින සංරක්‌ෂකයන් ගේ චෝදනාවට හා 'කටගැස්‌මට' බෙහෙවින් ලක්‌ ව ඇති සංස්‌කෘතික අවශ්‍යතා සඳහා හීලෑ අලින් ලබා දීම විවේචනය කිරීම දක්‌වා ම මේ කතාව දික්‌ගැසී ගොස්‌ තිබිණි. (පෙරහැර වැනි සංස්‌කෘතික අවශ්‍යතා සඳහා රාජ්‍ය අංශයේ මැදිහත් වීමෙන් අවශ්‍ය අලින් ලබා දීම සඳහා වැඩපිළිවෙළක්‌ තිබිය යුතු බව අපේ මතය වන අතර, අලින් අනිසි භාවිතය අධික බැවින් පෞද්ගලික අයිතිය ප්‍රවර්ධනය අයෝග්‍ය බව අපේ මතයයි.)

අලි - මිනිස්‌ ගැටුම අවම කරගැනීම සඳහා මෙන්ම, වන අලින් ආරක්‌ෂා කිරීම සඳහා වනජීවී බලධාරීන් විසින් මෙතෙක්‌ ගත් සියලු පියවර අවතක්‌සේරු කරන බවක්‌ මේ ඇතැම් අදහස්‌ තුළ දැකිය හැකි විය. එය සාධාරණ නො වන බව අලි - මිනිස්‌ ගැටුම ගැන ප්‍රාමාණික අවබෝධයක්‌ ඇති අය දන්නා කරුණකි. එසේ ම සමාජ ජාලවල දැකිය හැකි වූ පමණ ඉක්‌මවා ගිය ආකාරයේ ප්‍රතිචාර හා පුවත්වලින් මතු වන්නේ මේ කරුණ දක්‌වාලමින් සමාජයේ කිසියම් හඬක්‌ මතු කිරීමේ අවශ්‍යතාවක්‌ යම් පිරිසකට තිබූ බව ද යන ගැටලුව ද අපට ඇති විය. ඒවායේ පළ වූ සටහන් මෙන්ම ඒවාට දැක්‌වූ ප්‍රතිචාරවල ද කිසියම් කෘත්‍රිම ආකාරයක්‌ ගත් බවක්‌ ද පෙනිණි. කාට හෝ ඩෑෂ් පහරක්‌ එල්ල කිරීම සඳහා බෝලය ඔසවා දීමක්‌ මේ තුළ දැකිය නොහැක්‌කේ නො වේ.

දළ පූට්‌ටුවා ගේ මරණය


දළ පූට්‌ටුවන් පරිසර ප්‍රේමීන් මෙන්ම ජනතාව අතර වැඩි අවධානයකට ලක්‌ වන්නේ ඔවුන් ගේ ඇත් දළවල පිහිටීමේ දැකිය හැකි සුවිශේෂ ලක්‌ෂණය නිසා ය. දළ යුග්මය ඉදිරියට පැමිණ හොඬවැල ඉදිරිපසින් එකට පූට්‌ටු වී පිහිටීම මෙහි දී දැකිය හැකි ය. එම තත්ත්වය නිසා මෙවැනි සතුන්ට හොඬවැල පහසුවෙන් පිටතට ගැනීමට නොහැකි වෙයි. එම අහසුතාව සමඟ දිවි ගෙවීමට මේ සතුන්ට සිදු වේ. මෙවැනි ප්‍රකට දළ පූට්‌ටුවකු යාල හා කුමන ප්‍රදේශවල වාසය කළ අතර, වෙඩි වැදුණු තුවාල හේතුවෙන් එම ඇතා මිය ගියේ 2007 වර්ෂයේ දී පමණ ය. අපේ මතකයේ හැටියට ඒ තුවාල සඳහා ප්‍රතිකාර කරමින් තිබිය දී ය. එහෙත් එදා මෙවැනි හා හෝවක්‌ ඇති කිරීමට තරම් සමාජ ජාල හෝ අන්තර්ජාලය ප්‍රබලව තිබුණේ නැත.

ගල්ගමුව දළ පූට්‌ටුවා ගේ මරණය අවාසනාවන්ත සිදුවීමක්‌ බවට සැකයක්‌ නැත. විශාල ප්‍රදේශයක සැරිසරමින් මිනිස්‌ වාසස්‌ථාන අතර සැරිසරමින් දිවි ගෙවූ මේ සත්ත්වයා මිනිසුන් ගෙන් බොහෝ සෙයින් බැට කා ඇති සත්ත්වයෙකි. එක්‌ ඇසක්‌ අන්ධ වූ අතර අනෙක්‌ ඇසේ ද පෙනීම බෙහෙවින් දුර්වල වීමට හේතුව වී ඇත්තේ මිනිසුන් ගෙන් සිදු වූ ගැහැට ය. කලින් කල මේ ඇතා සමාජයේ අවධානයට ලක්‌ වූ අතර බලධාරීන් ගේ අවධානයට ද ලක්‌ ව තිබූ බව වාර්තා අනුව පැහැදිලි ය. දැනට අනාවරණය වී ඇති ආකාරයට මේ හස්‌තියා මරා දමා ඇත්තේ ඇත් දළ හා ගජමුතු ලබා ගැනීම සඳහා ය. ඇත් දළ යුගලයක්‌ අලෙවි කිරීමට යැමේ දී අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු අනාවරණය වී ඇති තොරතුරු මත කළ සොයාබැලීම්වල දී කහල්ල පල්ලෙකැලේ රක්‌ෂsතය තුළ ස්‌ථානයක තිබී ඇතා ගේ මළසිරුර හමු වී ඇත. ඒ වන විට දිරා යමින් තිබූ දේහය පිළිබඳව කළ පරීක්‌ෂණවලින් ඇතා මරා දැමීම ගැන කරුණු රැසක්‌ අනාවරණය වී ඇත. හිසට හා උදරයට වෙඩි තබා මේ සතා ඝාතනය කර ඇති අතර ඉන් පසුව දළ කපා ඉවත් කර ඇති බව හෙළි වී තිබේ.

මෙරට වෙසෙන දළ ඇති ඇතුන් ප්‍රමාණය මෙරට අලි ගහනයෙන් ඉතා අඩු ප්‍රමාණයකි. 2011 වර්ෂයේ දී මෙරට සිදු කරන ලද අලි සංගණනයේ දී වාර්තා වූ දළ සහිත පිරිමි සතුන් ගේ ගණන 122කි. එනම්, සමස්‌ත පිරිමි සතුන් අතරින් 6.5%ක්‌ තරම් ප්‍රමාණයකි. මේ ප්‍රමාණය ආසියානු අලින් අතර සාපේක්‌ෂව අඩු අගයක්‌ ගන්නා බව සෙසු රටවල සංඛ්‍යා සමඟ සංසන්දනය කරන විට පෙනේ. ඒ අනුව දළ ඇතුන් යනු දිනෙන් දින දැකීමට අපහසු සතුන් වෙමින් ඇති බව පැහැදිලි කරුණකි.

දළ ලබා ගැනීම සඳහා ඇතුන් මරා දැමීම දිගුකාලීන වශයෙන් ගැටලුකාරී තත්ත්වයක්‌ ඇති කරන බව පැහැදිලි ය. දළ සඳහා මේ වන විට ඉල්ලුමක්‌ පවතින්නේ ඒවා ළඟ තබාගැනීමට කැමැති ධනවත් ප්‍රභූ පැළැන්තිය අතර බව පැහැදිලි ය. දළ යොදාගනිමින් විසිතුරු භාණ්‌ඩ නිපදවීමේ කර්මාන්තයක්‌ මේ වන විට අපේ රටේ නොමැත. එහෙයින් ඇත් දළ සඳහා ධනවතුන් හා නැඟී එන ධනවතුන් අතර ඇති කැමැත්ත වැනි ආකල්ප වෙනස්‌ කිරීමට සමාජ ජාල යොදාගැනීමට හැකි නම් එය කාට වත් සාප කරමින් සිටිනවාට වඩා ඵලදායී එකක්‌ විය හැකි ය. විහාරස්‌ථානවල බොහෝ විට ඇත්තේ මිය ගිය හීලෑ ඇතුන් ගේ දළ වන අතර, ප්‍රභූ නිවෙස්‌වල හීලෑ ඇතුන් ගේ දළ මෙන්ම අතීතයේ (හෝ මෑත දී) දඩයම් කළ ඇතුන් ගේ දළ ද තිබිය හැකි ය.

අලි ඇතුන් කෙරෙහි ඇති ආකල්ප


මේ අවස්‌ථාවේ දී අලි - මිනිස්‌ ගැටුම හා අලි ඇතුන් කෙරෙහි සාමාන්‍ය ජනතාව දක්‌වන ආකල්ප ගැන යමක්‌ පැවසීම සුදුසු යැයි හැඟෙයි. මේ ආකල්පවල මිශ්‍ර ස්‌වභාවයක්‌ දැකිය හැකි ය. එය හුදෙක්‌ කළු හෝ සුදු නො වන අතර මිශ්‍ර හැඟීමක්‌ වේ. ගොඩබිම දැකිය හැකි විශාල ම සතා මෙන්ම සංස්‌කෘතික හා ආගමික වටිනාකමක්‌ ද ඇති හෙයින් අලින් කෙරෙහි සාමාන්‍ය ජනතාව අතර කරුණාවක්‌ දැකිය හැකි වෙයි. එයට බුදුදහමින් ලැබුණු අහිංසාව පිළිබඳ ශික්‌ෂණය ද එක්‌ හේතුවක්‌ බව පිළිගත හැකි කරුණකි.

එහෙත් අලින් ගෙන් සිදු වන ගැහැටවල දී අලින් පිළිබඳ ආකල්පය වෛරයක්‌ හෝ ද්වේෂයක්‌ හෝ බවට පත් වීම දැකිය හැකි ය. විශේෂයෙන් සමාජයේ පීඩාවට පත් ව ඇති  හා නූගත් පිරිස්‌ තුළ ඒ තත්ත්වය දැකිය හැකි ය. එය අද ඊයේ සිට නො ව අතීතයේ සිට ම දැකිය හැකි ය. එය අවබෝධ කරගැනීම එතරම් සංකීර්ණ කරුණක්‌ නො වන්නේ මිනිසුන් සෙසු මිනිසුන් පිළිබඳව ද දක්‌වන්නේ මෙවැනි ආකල්පයක්‌ වන නිසා ය. මිනිසුන් අනෙක්‌ මිනිසුන්ට එරෙහි ව, තමන් ගේ ම මිතුරන්ව සිටි අයට එරෙහි ව පවා, කෙතරම් අපරාධ කරන්නේ ද?

අලින් ගෙන් සිදු වන හානිවල දී අලින්ට එරෙහි ව ක්‍රෑර ලෙස ක්‍රියා කරන ආකාරය පිළිබඳ වාර්තා අපට අවම වශයෙන් පෘතුගීසින් මෙරට වෙරළබඩ ප්‍රදේශ පාලනය කළ කාලයේ සිට හමු වේ. ඒ අනුව අලින්ට වෙඩි තැබීම් පමණක්‌ නො ව, හොඬවැලට උණු තෙල් දැමීම, අලින් මතට ගිනි අඟුරු දැමීම වැනි සිදුවීම් පිළිබඳ වාර්තා මේ කාලයේ දී අපට හමු වේ. ඊට පෙර එවැනි උපක්‍රම යොදාගත්තේ ද යන්න අප නො දන්නා බව පමණක්‌ පැවසිය හැකි ය.

අලි ගහනයේ කැපී පෙනෙන වර්ධනයක්‌ සිදු වූ අවස්‌ථාවල දී ඉන් පීඩාවට පත් වූ ජනතාව ඒ සම්බන්ධව ප්‍රතිචාර දක්‌වා ඇති බව වාර්තා අනුව පෙනේ. පෘතුගීසි සමයේ අලි ඇල්ලීම ආදායම් මාර්ගයක්‌ වූ අතර, අලි ගහනය වැඩි වූ ප්‍රදේශ පිළිබඳව පෘතුගීසි නිලධාරීන්ට ගම්වැසියන් දැනුම් දුන් අවස්‌ථා පිළිබඳව සඳහන් වෙයි. මෙය සමාන කළ හැක්‌කේ අලි ඇතුන් ගෙන් සිදු වන ගැහැටවලට විසඳුම් ඉල්ලා මිනිසුන් වීදි බැස පාරවල් වසාගෙන අද සිදු කරන උද්ඝෝෂණය කිරීම් සමඟ ය.

එමෙන් ම අවශ්‍ය තරම් වාර්තා සහිත 19 - 20 සියවස්‌ පිළිබඳව සැලකූ විට පෙනෙන කරුණක්‌ වන්නේ අලින් ගෙන් සිදු වන වගා හානි හා වෙනත් ගැහැට පිළිබඳව බලධාරීන්ට පැමිණිලි කරන්නේ ද ප්‍රදේශවාසී ජනතාව බවයි. ඉන් පසුව අදාළ ප්‍රදේශයේ අලින් ඇල්ලීමට හෝ වෙඩි තැබීමට නියෝග කිරීම දැකිය හැකි විය. ඇතැම් විට ඒ සඳහා වූ බලපත්‍රය ලබා දෙන්නේ නොමිලේ ම ය. එහි දී ඉදිරිපත් වන්නේ දඩයමට රුචිකමක්‌ දක්‌වන "ක්‍රීඩා ලෝලී" සුදු ජාතිකයන් හෝ දේශීය ප්‍රභූන් ය. මොවුන්ට මඟ පෙන්වන්නේ අදාළ ප්‍රදේශයේ ගමේ ප්‍රධානීන් හා ගම්වැසියන් ය. ප්‍රශ්නකාරී අලි ඇතුන් ගෙන් මිදීම එදා ජනතාව ගේ වගා බිම්වල හා ජීවිතවල ආරක්‌ෂාව සඳහා අවශ්‍ය වූ දෙයකි. අප මෙය තේරුම්ගත යුත්තේ එදා පැවැති සන්දර්භය සමඟ ය (මෙය වතු වගාබිම් ආශ්‍රිත ව හුදු ක්‍රීඩාවක්‌ ලෙස ම සිදු වූ අලි දඩයම සමඟ පටලවා නො ගත යුතු ය).

කෙසේ වෙතත් මෙසේ තමන්ට හානි කරන අලින් සමඟ බද්ධ වෛරයක්‌ මේ ජනතාව තුළ දැකිය නොහැක්‌කේ ඔවුන්ට අලියා සංස්‌කෘතික හා ආගමික වශයෙන් වැදගත් සත්ත්වයකු වන නිසා ය. ජාතක පොතේ එන අලින්, නුවර පෙරහැරේ යන ඇතුන් ආදි වශයෙන් අලි ඇතුන් සංස්‌කෘතික වශයෙන් මිනිසුන්ට සමීප සත්ත්වයෙක්‌ වෙයි. මේ හේතුවෙන් අලි ඇතුන් පිළිබඳ ව ස්‌වාභාවිකව ජනනය වන අනුකම්පාවක්‌ ද මිනිසුන් තුළ දැකිය හැකි වේ. වගා ළිඳකට වැටුණු, ඇලකට වැටුණු, තුවාල වූ කරදරයට පත් වුණු අලියකු හෝ ඇතෙකු හෝ බේරා හරින්නට ගමේ ම මිනිසුන් ඉදිරිපත් වන්නේ මේ නිසා ය. ඇතැම් විට ඒ තමන් ගේ වගා පාලු කරන්නා වූ වන අලියා ම බව ඔවුහු දනිති. එහෙත් ඔවුහු එම අලියා වෙනුවෙන් අනුකම්පා කරති.

http://www.vidusara.com/2017/12/13/feature1.html

Thursday, December 7, 2017

ලොතරැයියක් අරන් අදිමු (බස් කතා 6)

(ධනේෂ් විසුම්පෙරුම)

මේ සිදුවීම සිදු වූයේ 1980 ගණන්වල අගදීය. එ් මම නාවල පදිංචිව සිටි කාලයයි. මම එ් දිනවල පාසල් ගියේ 173 තොටළඟ බසයෙනි. මට්ටක්කුලිය ඩිපා්ෙවෙන් ධාවනය වුණු පිටකෝට්ටේ- තොටළඟ බස් හැර එ් පාරේ පුද්ගලික බස් රථ ධාවනය වූයේ නුගේගොඩ-තොටළඟ (?) හෝ කොටුව ලෙසිනි. පුද්ගලික බස් කිව්වාට එ්වා සියල්ලම පාහේ කුඩා එල්ෆ් වර්ගයේ වෑන් රථ විය. (පසුකලක මේ මාර්ගයේද විශාල බස් රථ ධාවනය විය*).

සීසන් තිබුනත් අැතැම් දවස්වල ලංගම බස් නැතිව ප්‍රයිවට් බස්වල යන්න සිදු වූ අවස්ථා අැත. මේ එවැනි දවසක සිදු වූ සිදුවීමකි.

එදත් එල්ෆ් වෑන් රථයක දොරේ එල්ලී විජයබා මාවතේ සිට නාරාහේන්පිට දක්වා යෑමට මට සිදු විය. වෑන් එක අැතුළට රිංගා ගන්නට මට හැකි වුනේ නාරාහේන්පිටදීය. එ් දවස්වල අද මෙන් නාරාහේන්පිටට මහා සෙනගක් නොසිටියත් තරමක සෙනගක් සිටි බව මතකය.

බසය තුළට පිවිසි මට මේ දෙබස අැසුනේ බසයේ අසුනක හිඳ සිටි, පාසැලට යමින් සිටි කුඩා දැරියක හා පියෙකුගෙනි. ඔවුන්ටද අසුනක් ලැබුනේ එ් වෙලාවේ විය යුතුය. බසයේ අධික තදබදය නිසා එ් දැරිය පීඩාවට පත්ව සිටි බව පෙනිනි.

දියණිය - "තාත්තෙ මට නං බස් එකේ ඉස්කෝලෙ යන්න බැහැ." අැය කීවේ මුහුණ පුළුටු කරගෙන විය යුතුය.

පියා - "එ් වුනාට දුවේ අපි ඉස්කෝලේ යන්න ඔ්නැනෙ"

දියණිය - "අපි කාර් එකක් ගනිමුකො" දුව කීවාය.

පියා - "එ්කට ලොතරැයියක්වත් අැදෙන්න ඔ්න දුවේ"

දියණිය - "එහෙනම් අපි ලොතරැයියක් අරන් අදිමුකො තාත්තෙ" එ් දියණියගේ අපූරු යෝජනාවයි.

දෙබස අැසුණු අයට සිනා නැගුණත් කිසිවකු හඩ නගා සිනා සුනේ නැති බව මට මතකය. එ් අැය මේ කිසිවක් හරි හැටි නොදත් කුඩා දියණියක් නිසා විය යුතුය.

එ් දියණිය අද වැඩි මහලු තැනැත්තියක් විය යුතුය. අද එ් වයසේ දියණියන් සිටින තැනැත්තියක් විය හැකිය.

* 173 ශ්‍රීලංගම බස් සේවය අඩු වී ගොස් නතර වූයේ 1990 දශකයේදී පමණය. පසුකලක උඩහමුල්ල ඩිපෝවෙන් එක් බසයක් පමණක් ධාවනය වුවද එයද දැන් නැත. මෑතක් තෙක් නුගේගොඩ-කොටුව අතර ධාවනය වූ පුද්ගලික බස් රථ ධාවනය නතර වූයේ 2015 මුලදී අලුත් අාණ්ඩුව පැමිණි දවස්වලය. දැන් එහෙම මාර්ග අංකයක් නුගේගොඩ පැත්තෙන් නම් නැත.

Friday, December 1, 2017

ගීත ඔස්සේ අතීතයට පිය නැගුවෙමි...

ධනේෂ් විසුම්පෙරුම


මිල්ටන් මල්ලවාරච්චිගෙ සින්දු කීපයක් බස්එකකදි එකදිගට ඇහුනා. ඔහුගෙම භඬින්, මුල් සංගීතයෙන්.

"මා නිසා ඔබ නොපිරූ පෙරුම් - මා නිසා ඔබ නොපැතූ පැතුම්"

"මා හා එදා ප්‍රිය සාදයේ - සුරතේ වෙලී රැඟුවේ ඇයයි"


"වීනා බිඟු වීනා - පවසන්නේ ආදරේ"

මේ ගීතත් එක්ක මගේ හිත නොදැනිම අතීතයට ගියා. මම මුලින්ම මිල දී ගත් කැසට් පටයේ (මතක හැටියට, 'වීණා'?) තිබූ ගීත අතර මේ ගීත තුනම හෝ දෙකක් තිබුනා.

මිල්ටන් කියන්නේ ඒ කාලේ (1988) ඕලෙවල් වයසෙ භිටපු අපේ ප්‍රියතම ගායකයෙක්. ඔහුගේ ප්‍රේම ගීත වගේම විරහ ගීතත් අපි ආසම ගීත වුනා. (එක් එක්කෙනාට ඒවට හේතුත් තිබුනා වෙන්න ඇති). ඔහු පමණක් නොව තවත් බොහෝ අය අපේ ප්‍රියකරන ගායක ගායිකාවන් අතර හිටියා. (එ්ත් අැත්තටම පාසැල් සමයේ වැඩි වශයෙන්ම ගීතවලට අැලුම් කළේ උසස් පෙළ පන්තියෙදි කිව්වොත් වඩාත් නිවැරදියි. එ්ක සංගීත පංතියක් වගෙයි!)

හැබැයි, මුලින්ම මිලට ගත් කැසට් පට කීපයෙන් පසුව කැසට් පට මිලට ගන්නවට වඩා මං කළේ මම කැමති සින්දු තෝරල ඒව විතරක් වෙනම කලෙක්ෂන් හැටියට රෙකෝඩ් කරගන්න එක. එහෙම එකතු ගණනාවක් මා ළඟ තිබුනා. නුගේගොඩ සවන රෙකෝඩ් බාර් එකෙන් තමයි මං ඒවා කර ගත්තෙ. එතකොට ඒ පීස් එකේ තියන්නෙ මං ආස සින්දුම විතරයි. කඩෙන් ගන්න කැසට්වල ආස නැති සින්දුත් තියනවනෙ.

මං ආස සින්දුවල පද, ලස්සන අකුරින් ලියා ගත් හාෆ් ෂීට් පොතක් මම හදාගෙන තිබුනා. එහි ගීත 800 කට වැඩි ගණනක් තිබුණා.

පසුකලක අධ්‍යාපනය හා කාර්යබහුල බවත් එක්ක ගීත ඇසීමෙන් ඈත් වුනා. ආපසු ගීත අහන්න එනවිට ඒ පොතට වුණු දේ මම දන්නෙත් නෑ

දැන් නම් කැසට් වත්, සීඩී, ඩීවීඩීවත් නෙවෙයි තනිකරම සින්දු අහන්නෙ පරිගණකයෙන්. දිනෙන් දින ඉහළ යන එකතුවක් තමයි දැන් තියෙන්නෙ. බහුතරය අපේ කාලෙ ගීත - ඒ කියන්නෙ 1990ට කලින් එව්ව.

ගල් අගුරු භාවිතය අවසන් කිරීමේ උත්සාහයක්‌ - ගල් අගුරුවල කාලය අවසන්?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 29.11.2017, පි. 06, (Vidusara)

http://www.vidusara.com/2017/11/29/feature2.html




පසුගිය දා ජර්මනියේ බොන් නගරයේ දී අවසන් වූ ජගත් දේශගුණ සමුළුවට සමගාමී ව සිදු වූ වැදගත් සිදුවීමක්‌ ලෙස ගල් අගුරු භාවිතයට එරෙහි ව ලෝකයේ රටවල් ගණනාවක්‌ එක්‌ ව කිසියම් කණ්‌ඩායමක්‌ ලෙස සංවිධානය වීම දැක්‌විය හැකි ය. බ්‍රිතාන්‍යය හා කැනඩාව මුල් වී ආරම්භ කරන ලද මෙහි අරමුණ වූයේ ගල් අගුරු භාවිතය ක්‍රමයෙන් ඉවත් කිරීමයි. 'ගල් අගුරු ඉක්‌මවූ බලශක්‌ති සන්ධානය' (Powering Past Coal Alliance) ලෙස නම් කර ඇති මේ එකමුතුව හෝ සන්ධානයට රටවල් 19ක පමණ සහයෝගය ලැබුණු අතර, ඒ අතර මෙක්‌සිකෝව, නවසීලන්තය, ප්‍රංශය, ඉතාලිය, ඔස්‌ටි්‍රයාව, නෙදර්ලන්තය වැනි රටවල් ද සිටියි. එසේ ම ඊට ගල් අගුරු භාවිත නො කරන ෆීජි වැනි රටවල් ද ඇතුළත් වන අතර ගල් අගුරු විශාල ලෙස භාවිත කරන ආසියානු රටවල් කිසිවක්‌ මීට ඇතුළත් නො වීම විශේෂ සිදුවීමකි. ලෝකයේ විශාලතම ගල් අගුරු නිෂ්පාදකයකු වන ඔස්‌ටේ්‍රලියාව ඊට එක්‌ වීම ප්‍රතික්‌ෂේප කර ඇත. කෙසේ වෙතත් මේ සන්ධානයේ අපේක්‌ෂාව වන්නේ ලබන වර්ෂය අවසන් භාගය වන විට මේ කණ්‌ඩායමට රටවල් 50ක පමණ සහයෝගය ලැබෙනු ඇතැයි යන්න ය.

මේ කණ්‌ඩායමේ අරමුණ වන්නේ ගල් අගුරු භාවිතය හැකි තාක්‌ ඉක්‌මනින් අවසන් කිරීම සඳහා කැප වීමෙන් කටයුතු කිරීමයි. එහි දී විදුලිය නිපවීම සඳහා ගල් අගුරු භාවිතය අවසන් කිරීමේ ඉලක්‌ක ඇති කරගැනීම හා ගල් අගුරු මගින් විදුලිය නිපදවීම වැනි ව්‍යාපෘති සඳහා ආයෝජනය නො කිරීම වැනි දේ මේ කණ්‌ඩායමේ අපේක්‌ෂාව වේ. ඒ සඳහා වූ ප්‍රකාශයක්‌ ද නිකුත් කර තිබේ.

මෙය දේශපාලන වශයෙන් කෙතරම් දුරට යථාර්ථයක්‌ විය හැකි ද යන්න තවමත් පැහැදිලි නැත. මේ ප්‍රයත්නය සාර්ථක වේ ද, අසාර්ථක වේ ද යන්න කීමට තවමත් කල් වැඩි ය. මේ නව සන්ධානය කිසිදු නෛතික බැඳීමක්‌ ඇති කණ්‌ඩායමක්‌ නො ව ස්‌වෙච්ඡාවෙන් කිසියම් වූ එකගතාවට පැමිණි රටවල්, ප්‍රාන්ත හා වෙනත් කණ්‌ඩායම් ඇතුළත් කණ්‌ඩායමක්‌ පමණි.

එහෙත් ගල් අගුරු භාවිතය අවසන් වන බව, අවසන් විය හැකි බව හා එය කඩිනමින් සිදු විය හැකි බව මේ නව පියවර මගින් ලෝකයට කිසියම් සංඥාවක්‌ ලබා දී තිබේ. විචාරකයන් මෙය දේශපාලන වශයෙන් ගල් අගුරු පිළිබඳ ව කැමැත්ත දක්‌වන පාර්ශ්වයේ ජරාජයක්‌ ලෙස (political watershed) ලෙස හඳුන්වා දී ඇත්තේ මේ කරුණ නිසාවෙනි.

මෙවර සමුළුවේ දී සිදු වූ වැදගත් සිදුවීමක්‌ සේ ඇතැම් පාර්ශ්ව මේ සන්ධානය හඳුන්වා දෙන ආකාරය දැකිය හැකි ය. එහෙත් මේ පිළිබඳ ව ගල් අගුරු මත බෙහෙවින් රඳා පවත්නා ඇතැම් රටවල් එතරම් අවධානයක්‌ දැක්‌වූ බවක්‌ දැකිය නො හැකි ය. කෙසේ වෙතත් දේශගුණ වෙනස්‌ වීමේ බලපෑමට මුහුණ දී ඇති රටවල් මේ නව සන්ධානය නිසා උද්දාමයට පත් ව ඇති බවක්‌ පෙනෙයි. එය වැදගත් ය. එසේ ම පරිසර හා සමාජ ක්‍රියාකාරී කණ්‌ඩායම් ද මේ පිළිබඳ ව සිය සතුට පළ කර තිබේ.

ගල් අගුරු හා දේශගුණ වෙනස්‌ වීම


ගල් අගුරු යනු කාර්මික විප්ලවයේ පටන් අද දක්‌වා වැදගත් ම බලශක්‌ති ප්‍රභවයක්‌ වූ ෆොසිල ඉන්ධනයකි. එය අද වන විට ද ලෝකයේ විදුලි බල සැපයුමෙන් 40%ක්‌ පමණ ප්‍රමාණයක්‌ සපයන ප්‍රධානතම ඉන්ධනයක්‌ වෙයි. මේ වන විට ද ඇතැම් දියුණු රටවල මෙන් ම දියුණු වන රටවල් රැසක ද ප්‍රධානතම ඉන්ධනයක්‌ ලෙස ගල් අගුරු භාවිත වෙයි. සෙසු ෆොසිල ඉන්ධන ඉදිරි දශක 5 - 6කට අඩු කාලයක දී අවසන් වනු ඇතැයි අපේක්‌ෂා කරනු ලැබුව ද තවත් වසර 100 - 150ක්‌ හෝ ඊටත් මදක්‌ වැඩි කාලයක්‌ සඳහා භාවිතයට ප්‍රමාණවත් ගල් අගුරු සංචිත තිබීම ඒ පිළිබඳ අවධානය යොමු වීමට හේතුවකි.

කෙසේ වෙතත්, කාබන් විමෝචන සම්බන්ධ ව ගත් විට ගල් අගුරු වැදගත් තැනක්‌ ගනියි. ගල් අගුරු භාවිතයෙන් වායුගෝලයට නිකුත් වන හරිතාගාර වායු ප්‍රමාණය විශාල ය. නිදසුනක්‌ ලෙස ගත හොත් ගල් අගුරු දහනය වීම නිසා සිදු වන විමෝචන ලෝකයේ මුළු හරිතාගාර වායු විමෝචන අතරින් 40%ක්‌ පමණ විය හැකි බව වාර්තා වෙයි. මේ අනුව දේශගුණ වෙනස්‌ වීම සඳහා ගල් අගුරු දක්‌වන දායකත්වය සැලකිය යුතු එකක්‌ බව පැහැදිලි ය. එය නො සලකා හළ නොහැක්‌කකි.

එක්‌ විශ්ලේෂණයකින් දක්‌වා ඇති ආකාරයට බලශක්‌ති උත්පාදනය සඳහා ගල් අගුරු භාවිත කිරීම අවසන් කිරීම පැරිස්‌ ගිවිසුමේ ඉලක්‌ක අත්පත් කරගැනීම සඳහා වැදගත් වෙයි. පසුගිය වර්ෂයේ දී පළ වූ එවැනි එක්‌ විශ්ලේෂණයකට අනුව, මේ සියවස මැද භාගය වන විට ගල් අගුරු භාවිතය අවසන් කිරීම අවශ්‍ය වනු ඇත. එහෙත් එය කලාපයෙන් කලාපයට, රටින් රටට වෙනස්‌ වන්නකි. නිදසුනක්‌ ලෙස ගත හොත් යුරෝපා සංගමයේ ගල් අගුරු භාවිතය 2030 වර්ෂය වන විට අවසන් කළ යුතු අතර, චීනය 2040 වර්ෂයේ දී අවසන් කළ යුතු වේ. ලෝකයේ සෙසු රටවල්, 2050 වර්ෂය වන විට ගල් අගුරු භාවිතය අවසන් කිරීම වැදගත් වන බව Implications of the Paris Agreement for Coal Use in the Power Sector නම් පසුගිය වර්ෂයේ දී නිකුත් වූ මේ වාර්තාව පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මේ වන විටත් ගල් අගුරු භාවිතයෙන් ඉවත් වීම සඳහා ඇතැම් රටවල් ප්‍රතිඥා දී තිබේ. නිදසුනක්‌ ලෙස ගත හොත්, එවැනි රටක්‌ වන බ්‍රිතාන්‍යය, 2025 වන විට එරට තුළ ගල් අගුරු භාවිතය අවසන් කිරීමට තීරණය කර ඇත. මේ වන විට ද එරට ගල් අගුරු භාවිතය සැලකිය යුතු තරම් අඩු කිරීමට ක්‍රියා කර තිබේ. එසේ ම ජර්මනිය වැනි ගල් අගුරු මත තදින් යෑපෙන රටවල් තුළ ද ගල් අගුරුවලින් ඈත් වීම සඳහා එල්ල වන පීඩනයක්‌ දැකිය හැකි වේ.

ගල් අගුරුවල ඇති වෙනත් ගැටලු


ගල් අගුරු භාවිතයේ ඇති සෙසු ගැටලු මේ පිළිබඳ ව ඇති බරපතළ ස්‌වභාවය පෙන්වා දෙන්නකි. ගල් අගුරු නිසා විමෝචනය වන පරිසර දූෂකවලින් ඇති වන සෞඛ්‍ය ගැටලු පිළිබඳ ව පැහැදිලි අවබෝධයක්‌ මේ වන විට ලෝකයට ඇත. වාර්ෂික ව ලෝකය පුරා සිදු වන මරණ අතරින් 800,000ක්‌ පමණ ගල් අගුරු නිසා සිදු වන බව මේ වන විට පෙන්වා දී තිබේ. විශේෂයෙන් මේ ඉන්ධනය දහනය වීමත් සමග නිකුත් වන විවිධ වායු දූෂක නිසා ඇති වන විවිධ සෞඛ්‍ය ගැටලු මේ තත්ත්වයට හේතු වී තිබේ. මේ ගැටලු ප්‍රකට කරුණු වන බැවින් විස්‌තර කිරීම අවශ්‍ය නො වේ.

අනෙක්‌ අතට මේ පරිසර දූෂක නිසා තවත් විවිධ පාරිසරික ගැටලු ඇති විය හැකි බව ද ප්‍රකට කරුණකි. විශේෂයෙන් භාවිතයට ගන්නා ගල් අගුරුවල තත්ත්වය බාල වන්නට වන්නට නිකුත් වන පරිසර දූෂක ප්‍රමාණය ඉහළ යා හැකි ය. සල්ෆර් ඩයොක්‌සයිඩ්, නයිට්‍රජන් ඔක්‌සයිඩ, අංශුමය ද්‍රව්‍ය, රසදිය වැනි විෂ සහිත ද්‍රව්‍ය ගල් අගුරු දහනයේ දී විමෝචනය විය හැකි පරිසර දූෂක අතර වෙයි. මේවා මගින් ඇති විය හැකි පරිසර ගැටලු පිළිබඳ ව බොහෝ දේ සාකච්ඡාවට ලක්‌ ව ඇත.

ගල් අගුරු හා දියුණු වන රටවල්


කෙසේ වෙතත් ගල් අගුරු යනු මේ වන විට ලෝකයේ ඇති ලාබදායක ම ඉන්ධන ප්‍රභව අතරින් එකකි. විශේෂයෙන් පුනර්ජනනය කළ හැකි ඉන්ධන අතරින් ලාබදායක ඉන්ධනයක්‌ වන ජල විදුලිය වැනි ඉන්ධන හැරුණු විට අනෙක්‌ ලාබදායක ඉන්ධන ප්‍රභවය වන්නේ ගල් අගුරු ය. එසේ ම ජල විදුලිය යනු වසර පුරා එක ම ආකාරයෙන් ලබා ගත හැකි බලශක්‌ති ප්‍රභවයක්‌ නො වන නිසා ෆොසිල ඉන්ධනයක්‌ ලෙස ගල් අගුරුවලට සැලකිය යුතු තැනක්‌ හිමි වේ. මේ නිසා දියුණු වන රටවල බලශක්‌ති උත්පාදනයේ විශේෂ වැදගත්කමක්‌ ගල් අගුරුවලට ලැබී ඇත.

අපේ රට වැනි රටක වුව ද ගල් අගුරු වැනි ලාබදායක ඉන්ධනයක ඇති වැදගත්කම විදුලිබල අංශ විසින් පෙන්වා දෙනු ලැබ ඇත. ගල් අගුරු නො තිබෙන්නට අපේ රටේ විදුලිබල නිෂ්පාදන පිරිවැය මේ වන විට අදට වඩා සැලකිය යුතු තරමකින් ඉහළ යා හැකි බව සත්‍යයකි. ඛනිජ තෙල් වැනි වෙනත් තාප ඉන්ධන ප්‍රභව මගින් විදුලිය උත්පාදනය කිරීම සඳහා අධික වියදමක්‌ දැරීමට අපේ රටට සිදු වූයේ මෑත අතීතයේ දී ය. එහෙත් ජල විදුලිය හා සමාන්තර ව තාප විදුලිය තුලනය කර පවත්වාගනිමින් මේ වන විට රටේ විදුලි සැපයුම ලබා දීමේ දී නොරොච්චෝලේ පිහිටා ඇති මෙගාවොට්‌ 900ක ගල් අගුරු බලාගාරයෙන් සුවිශේෂ කාර්යභාරයක්‌ ඉටු වේ.

මෙහි දී මතු වන ගැටලුව වන්නේ දියුණු වන රටවල කාබන් විමෝචන සඳහා ගල් අගුරුවල දායකත්වය කෙතරම් වේ ද යන්න ය. චීනය වැනි රටක කාබන් විමෝචන ඉහළ අගයක්‌ ගත්ත ද සෙසු දියුණු වන රටවල් රැසක කාබන් විමෝචන ප්‍රමාණය සාපේක්‌ෂ ව අඩු අගයක්‌ ගන්නා බැවින් එම රටවලට ගල් අගුරු භාවිත කිරීමේ දී විමෝචන පිළිබඳ ගැටලුවක්‌ නොමැත. මේ වන විට පවත්නා ප්‍රවණතාවය අනුව, සමස්‌තයක්‌ ලෙස ගත හොත් ආසියානු රටවල 2040 වර්ෂය පමණ වන විට විදුලි බල උත්පාදනයෙන් තුනෙන් එකක්‌ පමණ ගල් අගුරු මගින් සැපයෙනු ඇතැයි අපේක්‌ෂා කරනු ලැබේ. මේ අනුව ආසියානු කලාපයේ බලශක්‌ති සැපයුම සම්බන්ධ ව තවදුරටත් සැලකිය යුතු වැදගත්කමක්‌ ගල් අගුරුවලට හිමි වීම අපේක්‌ෂා කළ හැකි ය.

එහෙත් ගල් අගුරු භාවිතය ඉහළ යැමේ දී ඒ සමග එන හානි ද ඇති බව අප සිහි තබාගත යුතු වෙයි. බාල තත්ත්වයේ ගල් අගුරු, ඒවායේ ඇති අපද්‍රව්‍ය ප්‍රමාණය වැනි කරුණු මත නිකුත් වන පරිසර දූෂක රඳා පවතී. එසේ ම හැකි තාක්‌ පිරිසිදු තාක්‌ෂණය හැකි උපරිම ආකාරයෙන් යොදාගැනීමෙන් සිදු විය හැකි හානිය අවම කරගැනීම මේ රටවල ප්‍රමුඛතාවක්‌ වී නො තිබීම කණගාටුව ට කරුණකි. හුදෙක්‌ ලාබදායක බලශක්‌තිය අවශ්‍ය වූ පමණින් ම ගල් අගුරු භාවිතය ප්‍රවර්ධනය කිරීම වෙනුවට අවශ්‍යතාව අනුව යෝග්‍ය පිරිසිදු තාක්‌ෂණික ක්‍රම සහිත ව වඩාත් පිරිසිදු ගල් අගුරු භාවිත කිරීම මෙහි දී වැදගත් වෙයි.

http://www.vidusara.com/2017/11/29/feature2.html