Tuesday, September 27, 2016

Paper: The Date of the Martello Tower in Hambantota

[My Research Papers published]

Citation: Dhanesh Wisumperuma, The Date of the Martello Tower in Hambantota, Journal of the Royal Asiatic Society of Sri Lanka, Vol 60, Part 1, 2015, pp. 62-76.

Abstract

The Martello Tower in Hambantota in southern Sri  Lanka is the sole example of this fortification type in the country. It is a two storied, round gun-tower on a small hill, designed to be used as a defence structure. Although many agree that this is a British construction, the precise date of this tower was not known mainly due to the lack of records and the fact that several dates between 1796 and 1803 were proposed by various authors. The first mention of its existence was a record from 1806. This  paper attempts to present documentary evidence for the date of the construction of the tower. According to records, the construction of the Martello Tower in  Hambantota commenced after September 1804 and it was still under construction by May 1805. The construction of the tower was an idea of Major General  D.D. Wemyss, Commander of the Forces in Ceylon, who ordered Lt. William Gosset of the Royal Engineers to construct a round tower to accommodate fifty people. It is evident that this tower was not used by the British for defence from the attacks of the Kandyans in Hambantota in 1803, and in fact, the need for such a defensive structure was prompted by those attacks. It appears that this tower has not been tested for enemy attacks.

Downloads

Monday, September 19, 2016

ලෝක මානව පියසටහන ඉහළට

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 14.09.2016

(Vidusara, 14.09.2016, Global human footprint increases)

http://www.vidusara.com/2016/09/14/feature2.html


ජනගහනයේ වර්ධනයත් සමග පරිසරයට මිනිසුන් ගෙන් සිදු වන බලපෑම ඉහළ යන බව අමුතුවෙන් පැවසිය යුතු නැත. මානව අවශ්‍යතා සමග පරිසරයට සැලකිය යුතු බලපෑමක්‌ ඇති වේ. මිනිස්‌සු පරිසරයෙන් විවිධ ස්‌වාභාවික සම්පත් උකහාගනිති. එසේ ම පරිසරයට විවිධ දේ බැහැර කරති. මේ බලපෑම නිසා ස්‌වාභාවික පරිසර පද්ධතිවලට ඇති වන බලපෑම අහිතකර එකක්‌ විය හැකි ය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස ජෛව විවිධත්වයට ද යම් අහිතකර බලපෑමක්‌ ඇති වීමේ අවදානමක්‌ ද පවතී.

ගෝලීය මානව පියසටහන (Global Human Footprint&) යනු මිනිසුන් විසින් පරිසරයට ඇති කරනු ලබන බලපෑම පෙන්වා දෙන එක්‌ සංකල්පයක්‌ හෙවත් සිතියමක්‌ ලෙස දැක්‌විය හැකි ය. එම සිතියමේ එක්‌ එක්‌ වර්ණවලින් අදාළ බලපෑමේ තරම දැක්‌වේ. 2002 වර්ෂයේ දී පළමුව හඳුන්වා දෙන ලද මේ සංකල්පයට අනුව, පරිසරය පිළිබඳව මිනිසුන් ගේ පීඩනය පෙන්වා දෙන භෞමික දත්ත අතර වැදගත් එකතුවක්‌ සේ සැලකිය හැකි එකකි. (මේ සංකල්පය හා මිනිසුන් විසින් පොළොවේ පරිසර පද්ධති මත ඇති කරනු ලබන බලපෑම පිළිබඳ මිනුමක්‌ වන පාරිසරික පියසටහන (ecological footprint) යනු වෙනස්‌ සංකල්ප දෙකකි.)

ගෝලීය මානව පියසටහනේ මෑතකාලීන වර්ධනය පිළිබඳව විමර්ශනය කරමින් සිදු කරන ලද අධ්‍යයනයකට අනුව ලෝකයේ බොහෝ ප්‍රදේශවලට මෙහි නිෂේධනීය බලපෑමක්‌ ඇති වී තිබෙන බව සත්‍ය වුව ද, මේ සම්බන්ධයෙන් දැකිය හැකි යම් යම් වර්ධනයක්‌ ද නැතිවා ම නො වේ.

මේ අධ්‍යයනයේ දී මානව පියසටහන විදහා දැක්‌වෙන සිතියමක්‌ සකස්‌ කර තිබේ. ඒ කරුණු අටක්‌ සම්බන්ධව දත්ත එක්‌ කිරීමෙනි. මෙහි දී මානව පරිසරය, වගා බිම්, තෘණ භූමි, මානව ජන ඝනත්වය, රාත්‍රී ආලෝකය. දුම්රිය මාර්ග, මහා මාර්ග හා යාත්‍රා කළ හැකි ජලමාර්ග යන විචල්‍යයන් පිළිබඳ දත්ත පිළිබඳව දුරස්‌ථ සංවේදනය මගින් ලබාගන්නා ලද දත්ත හා භූමියේ සිදු කරන ලද සමීක්‌ෂණ මගින් ලබාගත් දත්ත යොදාගෙන ඇත. එම දත්ත 1993 වර්ෂයේ දී සිදු කරන ලද සමීක්‌ෂණයකින් හා 2009 වර්ෂයේ දී සිදු කරන ලද සමීක්‌ෂණයකින් ලබාගත් දත්ත වේ.

වෙනස්‌කම් බරපතළයි, එහෙත්...


මේ සමග පළ වී ඇති 1 වැනි සිතියමේ දැක්‌වෙන්නේ මානව පියසටහනේ 2009 දී පැවැති තත්ත්වයයි. එහි දී 0 සිට 50 දක්‌වා වන වර්ණ පරිමාණයක්‌ යොදාගෙන තිබේ. 0ට ආසන්න අගයකින් දැක්‌වෙන්නේ පියසටහන අඩු අගයක්‌ ගන්නා බව වන අතර, එහි අදහස මානව බලපෑම අඩු ය යන්න ය. ක්‍රමයෙන් 50 දක්‌වා ඉහළ යැමෙන් පැවසෙන්නේ පියසටහනේ අගය ඉහළ යන බව හෙවත් මානව බලපෑම ඉහළ යන බවයි. ඒ අනුව ලෝකයේ විවිධ ප්‍රදේශවල මානව පියසටහන හඳුනාගත හැකි ය. එසේ ම 2 වැනි සිතියමේ දැක්‌වෙන්නේ 1993-2009 අතර කාලයේ දී මානව පියසටහන වෙනස්‌ වී ඇති ආකාරයයි.

මෙහි දී හෙළි ව ඇති පරිදි, 1993 හා 2009 අතර කාලයේ දී ගෝලීය මානව පියසටහන 9%ක්‌ පමණ ප්‍රමාණයකින් ඉහළ ගොස්‌ ඇත. එහි අර්ථය වන්නේ මිනිසුන් පරිසරයට සිදු කරන බලපෑම ඉහළ ගොස්‌ ඇත යන්න ය. වාසනාවකට මෙන් මානව පියසටහන වර්ධනය වී ඇති වේගය ජනගහනය වර්ධනය වූ වේගය තරම් ම වේගවත් නැත. 1993-2009 අතර කාලයේ දී මානව ජනගහනය 23%ක්‌ පමණ ප්‍රමාණයකින් වර්ධනය වී ඇති අතර, ආර්ථිකය 153%කින් පමණ වර්ධනය වී තිබේ.

කෙසේ වෙතත්, ලෝකයේ සියලු පරිසර කලාප අතරින් 71%ක්‌ පමණ ප්‍රමාණයක මානව පියසටහන කැපී පෙනෙන ලෙස, එනම් 20%කට අධික ප්‍රමාණයකින්, ඉහළ ගොස්‌ තිබේ. එනම්, ඒ ප්‍රදේශවල පරිසරයට ඇති වන මානව පීඩනය ඉහළ ගොස්‌ ඇත. මේ මානව පියසටහන වර්ධනය වී ඇති ආකාරයේ ලෝකයේ තැනින් තැනට ස්‌ථානීය වශයෙන් විශාල වෙනස්‌කම් දැකිය හැකි ය. වැඩි ම බලපෑමක්‌ ඇති බියෝම වන්නේ බටහිර යුරෝපයේ, නැෙගනහිර ඇමෙරිකාවේ හා චීනයේ දැකිය හැකි පළල් පත්‍ර සෞම්‍ය කලාපීය වනාන්තර, ඉන්දියාවේ හා බ්‍රසීලයේ ඇතැම් ප්‍රදේශවල දැකිය හැකි නිවර්තන වියළි වනාන්තර හා අග්නිදිග ආසියාවේ දැකිය හැකි තෙත් නිවර්තන වාන්නතර ය.

එසේ ම අඩු ම මානව බලපෑමක්‌ ඇති කලාප ප්‍රමාණය මෑත කාලයේ දී විශාල වශයෙන් අඩු වී ඇති අතර, මානව බලපෑමේ අඩු වීමක්‌ හෙවත් පියසටහනේ 20%ට වඩා අඩු වීමක්‌ දැකිය හැකි වී ඇත්තේ 3%ක්‌ පමණ ප්‍රමාණයක පමණි. මේ වන විට දැකිය හැක්‌කේ මධ්‍යාක්‌ෂාංශ හා තුන්ද්‍රd බියෝමවල, සහරා, ගෝබි හා ඔස්‌ටේ්‍රලියානු කාන්තාරවල හා ඇමසන් හා කොංගෝ නිම්නයේ වඩාත් දුෂ්කර ව පිහිටා ඇති නිවර්තන තෙත් වනාන්තර ප්‍රදේශවල ය. (මෙහි සඳහන් පරිදි ශ්‍රී ලංකාවේ කඳුකර වැසි වනාන්තරවල මානව පියසටහන 32%ක්‌ දක්‌වා අඩු වී තිබේ).

එසේ ම, උක්‌ත අධ්‍යයනයේ දී හෙළි ව ඇති ආකාරයට ජෛව විවිධත්වයෙන් ඉහළ ස්‌ථානවල මේ මානව පියසටහන ඉහළ ගොස්‌ ඇති බව ද පෙනේ. විශේෂයෙන් ජෛව විවිධත්වය අතින් උණුසුම් ස්‌ථානවලට (biodiversity hotspots) ඇති මානව පීඩනය ඉහළ ගොස්‌ ඇති බව මෙහි දී අනාවරණය වී ඇති එක්‌ කරුණකි. එසේ ම තර්ජනයට ලක්‌ වූ පෘෂ්ඨවංශී විශේෂ වාසය කරන ප්‍රදේශ ද මේ ආකාරයෙන් ම දැඩි ලෙස තර්ජනයට ලක්‌ වූ ප්‍රදේශ අතර වේ. මානව බලපෑමක්‌ නැති ප්‍රදේශවලින් ආවරණය වන ප්‍රදේශ ඇත්තේ ලෝකයේ උණුසුම් ස්‌ථාන අතරින් 3%කටත් අඩු ප්‍රදේශයකි. එම බලපෑමට ලක්‌ ව නැති ප්‍රදේශ දැකිය හැක්‌කේ ඉතා දුෂ්කර ප්‍රදේශවල වීම විශේෂ සිදුවීමකි.

දේශපාලනයේ බලපෑම


මේ අධ්‍යයනයේ දී ජනිත සිතියම්වලින් හෙළි වන තවත් අපූරු කරුණු වන්නේ මේ තත්ත්වය සඳහා බලපා ඇති කිසියම් ආකාරයක දේශපාලනයක්‌ ද ඇති බවයි. නිදසුනක්‌ ලෙස ගත හොත්, දියුණු කාර්මික රටවල මානව පියසටහන අඩු මට්‌ටමක ඇති අතර, ස්‌වාභාවික පරිසර පද්ධතිවලට හා ජෛව විවිධත්වයට ඇති වී තිබෙන බලපෑම අඩු ය. එසේ ම, දූෂිත නො වන පාලන තන්ත්‍රයත් ඇති රටවල හෙවත්, දූෂණය පාලනය කර ඇති රටවල තත්ත්වය ද යහපත් බව හෙළි වී ඇත. ඒ අනුව මේ රටවල මානව පියසටහනේ ඉහළ යැමක්‌ සිදු ව තිබේ නම් එය සිදු ව ඇත්තේ වඩාත් සෙමින් බව පෙනේ. ඒ අනුව පෙනෙන්නේ නීතිය මනාව ක්‍රියාත්මක වීම මගින් මානව පියසටහනේ යම් සාධනීය තත්ත්වයක්‌ ඇති වන බවයි.

කෙසේ වෙතත්, මේ දියුණු රටවල වැසියන් ගේ ඒකපුද්ගල සම්පත් පරිභෝජනය ඉතා ඉහළ මට්‌ටමක පවතී. ඒ සඳහා ඔවුන් ගේ මානව පියසටහන වෙනත් රටවල නිෂ්පාදනය කරන භාණ්‌ඩ මත යෑපෙන බවත් ඒ අනුව ඔවුන් ගේ පියසටහන ලෝකයේ වෙනත් රටවල් කරා ද ව්‍යාප්ත වී ඇති බව අමතක කළ නොහැකි කරුණකි. මෙය උක්‌ත අධ්‍යයනයේ දී එතරම් අවධානයකට ලක්‌ කර නොමැත. අප ඉහත සඳහන් කළ පාරිසරික පියසටහන සංකල්පය සත්‍ය තත්ත්වය වඩාත් හොඳින් පෙන්වා දෙන වඩාත් සාධාරණ සංකල්පයක්‌ වන්නේ ඒ නිසා ය.

අනෙක්‌ අතට දුප්පත් රටවල් හා දුර්වල පාලන තන්ත්‍ර ඇති රටවල මානව පිටසටහන ඉහළ වේගයක්‌ ගන්නා බව ද පැවසේ. කෙසේ වෙතත්, මේ රටවල ඒක පුද්ගල සම්පත් පරිභෝජනය පිළිබඳ දත්ත ගත් විට පෙන්වන තත්ත්වයට වඩා යහපත් තත්ත්වයක මේ රටවල් තිබිය හැකි බව පැහැදිලි ය.

මේ සියල්ලෙන් මතු වන පණිවිඩය වන්නේ ලෝකයේ යහපත උදෙසා මානව ජනගහන වේගය පාලනය කළ යුතු බව හා පරිභෝජන රටාව වෙනස්‌ කළ යුතු බවයි. ජනගහන වර්ධන වේගය අඩු කළ යුත්තේ විශේෂයෙන් වේගවත් ජනගහන වර්ධනයක්‌ සහිත අප්‍රිකාවේ හා ආසියාවේ ඇතැම් කලාපවල ය. එසේ ම ඒක පුද්ගල පරිභෝජනයෙන් ඉහළ මට්‌ටමක පසු වන දියුණු රටවල පරිභෝජන රටාව වෙනස්‌ කර පරිභෝජනය අඩු කළ යුතු වේ. (මූලාශ්‍රය: Nature Communications, DOI: 10.1038/ncomms12558, Link)


1වන රූපය - 2009 මානව පියසටහන - (සිතියමේ වර්ණවලින් පියසටහනේ අගය අගය 0 (නිල්) සිට 50 (රතු) දක්‌වා ඉහළ යන අයුරු දැක්‌වේ. පියසටහන අඩු යනු 0ට ආසන්න වීමයි)




2වන රූපය - මානව පියසටහනේ වෙනස්‌ වීම (1993-2009) (මෙහි දී දියුණු වීම යනු යහපත් අතට සිදු වන වර්ධනයක්‌ හෙවත් පියසටහනේ අඩු වර්ධනයකි)

Improve - දියුණු වී ඇත
Slightly mprove- මදක්‌ දියුණු වී ඇත
Slightly degrade - මදක්‌ පිරිහී ඇත
Degraded - පිරිහී ඇත
Highly Degrade - තදින් පිරිහී ඇත


http://www.vidusara.com/2016/09/14/feature2.html

වසර 700කට පෙර කජු කන්න ශිලා මෙවලම් භාවිත කළ කපුචින් වඳුරෝ

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 24.08.2016, පි. 5

(Vidusara, 24.08.2016, Capuchin monkeys used stone tools 700 years ago to eat cashew)

http://www.vidusara.com/2016/08/24/feature2.html




මිනිසුන් හැර වෙනත් සතුන් විවිධ කාර්ය සඳහා විවිධ ආකාරයේ මෙවලම් භාවිත කිරීම පිළිබඳව ලෝකය පුරා සත්ත්ව විද්‍යාඥයන් ගේ අවධානය යොමු වී ඇත්තේ බොහෝ කාලයක පටන් ය. මේ අතරින් පරිණාමිකව මිනිසුන්ට වඩාත් සමීප වඳුරන් ගේ හා වානරයන් ගේ මෙවලම් භාවිතය වඩාත් වැදගත් වේ. මේ පිළිබඳ වැදගත් පර්යේෂණයක තොරතුරු පසුගිය මාසයේ දී වාර්තා විය. එනම්, අප්‍රිකාවෙන් පිටත දී මෙවලම් භාවිත කරන ලද වඳුරන් පිළිබඳව මෙතෙක්‌ වාර්තා වී ඇති පැරැණි ම සාධක සම්බන්ධ ව ය.

ඊසානදිග බ්‍රසීලයේ වෙසෙන කපුචින් වඳුරන් ලෙසින් පොදුවේ හඳුන්වන වඳුරු විශේෂය (Brazilian bearded capuchin monkeys - Sapajus libidinosus) විවිධ අවශ්‍යතා සඳහා ගල් හා කෝටු ආදිය මෙවලම් ලෙසින් භාවිත කරන ආකාරය මෑත කාලයේ දී සත්ත්ව හැසිරීම පිළිබඳව අවධානය යොමු කළ විද්‍යාඥයන් ගේ අවධානයට ලක්‌ වූ කරුණකි. නිදසුනක්‌ ලෙස ගත හොත්, සෙරා ඩි කැපිවාරා ජාතික උද්‍යානයේ මේ වඳුරන් වාසය කරන ප්‍රදේශයේ දැකිය හැකි කජු ගෙඩි තලා විවෘත කිරීම සඳහා තරමක්‌ විශාල ගල්, මෙවලමක්‌ ලෙස යොදාගැනීම මේ වඳුරන් ගේ සිරිතක්‌ විය. මේ සතුන් කජු ගෙඩි තලාගැනීම සඳහා ශිලා මෙවලම් හෙවත් ගල් ආයුධ යොදාගත් බව පැහැදිලිව පෙනිණි.

කපුචින් වඳුරන් ගේ මේ හැසිරීම තවදුරටත් නිරීක්‌ෂණය කළ විද්‍යාඥයන්ට තවත් අපූරු කරුණු හෙළිදරව් විය. ඒ අනුව, වඳුරන් මේ ආකාරයෙන් කජු ආහාරයට ගැනීම සඳහා අවශ්‍ය මෙවලම් ලෙස භාවිත කරන ගල් වෙනත් තැන්වල සිට ගෙන එන ඒවා ය. ඒ සඳහා ගල් ලබාගෙන ඇති Rතුමය ගංගාවක්‌ ද අධ්‍යයනයට ලක්‌ කළ ස්‌ථානය ආසන්නයෙන් හඳුනාගැනීමට හැකි වී තිබේ. මෙහි දී ආකාර දෙකක මෙවලම් භාවිත කර ඇති අතර ඒ මිටි (hammer) හා කිණිහිර (anvil) ආකාරයේ මෙවලම් ය. සාමාන්‍යයෙන් මිටියක්‌ ලෙස භාවිත කරන ලද ගලක්‌ එම පරිසරයේ ස්‌වාභාවිකව හමු වූ ගලකට වඩා සිව් ගුණයක්‌ පමණ බර ය. එසේ ම කිණිහිර ලෙස භාවිත කළ ගලක්‌, මිටියකට වඩා සිව් ගුණයක්‌ පමණ බරින් අධික වී තිබේ. එසේ ම දැඩි ගල් වර්ග මිටි සඳහා භාවිත කර ඇති අතර, එතරම් දැඩි නො වූ ගල් වර්ගයක්‌ කිණිහිර ගල සේ යොදාගෙන තිබේ.

මේ ශිලා මෙවලම් වඳුරන් කජු ගස්‌ වෙත ගෙන එන අතර, භාවිතයෙන් පසුව ඒවා කජු ගස්‌ පාමුල අත්හැර දමා හෝ ගස්‌ අතු අතර තබා යන ආකාරය ද නිරීක්‌ෂණය කළ හැකි වී තිබේ. ඒවා යළි යළිත් භාවිත කළ බවක්‌ සිතිය හැකි ය. මෙවැනි කජු ගස්‌ ගොමු සහිත ස්‌ථාන කපුචින් වඳුරන් ගේ කජු සැකසුම් ස්‌ථාන (cashew processing sites) ලෙස මේ පර්යේෂකයන් හඳුනාගෙන තිබේ.

වඳුරන් ගේ ශිලා මෙවලම් භාවිතයේ අතීතය


මෙහි දී පර්යේෂකයන් පිරිසකට පැනනැගුණු අපූරු පර්යේෂණ ගැටලුවක්‌ වූයේ මේ කපුචින් වඳුරන් කෙතරම් ඈත කාලයක සිට මෙසේ කජු තලා ආහාරයට ගැනීමට ශිලා මෙවලම් භාවිත කරන්නට ඇති ද යන්න ය. ඒ සඳහා වර්තමානයේ කජු තැලීමට වඳුරන් එන ගස්‌ සහිත ස්‌ථාන හතරක කැණීම් සිදු කිරීමට එම පර්යේෂකයන් කටයුතු කර තිබේ. වර්ගමීටර 35ක ප්‍රදේශයක්‌ මීටර් 0.72ක්‌ පමණ ගැඹුරට කැණීමෙන් පස්‌වලට යට වී තිබුණු එවැනි ශිලා මෙවලම් 69ක්‌ හඳුනාගැනීමට මේ පර්යේෂකයන්ට අවස්‌ථාව ලැබී ඇත.

මේ මෙවලම් ද කජු තැලීම සඳහා යොදාගත් බව හඳුනාගැනීමට බහුවිධ සාධක යොදාගෙන තිබේ. එම ශිලා මෙවලම්වල මතුපිට දැකිය හැකි වූ අඳුරු පැහැගත් ශේෂ කජු ශේෂ නිසා ඇති වූ ඒවා බව ස්‌කන්ධ වර්ණාවලීක්‌ෂ ක්‍රමය මගින් තහවුරු කරගෙන තිබේ. එසේ ම භාවිතය නිසා මෙවලම්වල ඇති වූ හානි හා ගෙවුණු ස්‌වභාවය ද වර්තමානයේ වඳුරන් භාවිත කරන්නා වූ මෙවලම් හා සමාන ය. එසේ ම එම ස්‌ථානවල දැකිය හැකි ස්‌වාභාවික තැන්පතු හා සංසන්දනය කළ විට ඒවායේ දැකිය හැකි නො ගැලපෙන බව ද වර්තමාන මෙන්ම පැරැණි මෙවලම්වලට පොදු කරුණකි. එසේ ම මේ මෙවලම් දෙවර්ගය ම පරිසරයේ තැන්පත් වී තිබූ ආකාරයේ ඇති විසිරුණු ස්‌වභාවය නූතන මෙවලම් මෙන්ම පැරැණි මෙවලම් තැන්පතුවල ඇති තවත් සමානකමකි.

මේ මෙවලම් ලැබුණු ස්‌ථානවලින් ලැබුණු කාල නිර්ණ අතරින් පර්යේෂකයන්ට තවත් තොරතුරු ගෙනැවිත් තිබේ. කැණීම් සිදු කළ එක්‌ ස්‌ථානයකින් ලැබුණු විකිරණශීලී කාබන් කාලනිර්ණය අනුව පෙනී ගොස්‌ ඇත්තේ වඩාත් පහළ මට්‌ටමකින් ලැබුණු ශිලා මෙවලම් හමු වී ඇත්තේ වර්ෂ 1266ත් 1423ත් අතර කාලයකට අයත් පස්‌ ස්‌තරයකින් බවයි. ඒ අනුව මේවා අදින් වසර 600-700ක්‌ අතර කාලයකට පමණ ඉහත දී පමණ භාවිත කළ මෙවලම් බවට සැක කළ හැකි ය.

මේ සොයාගැනීමේ වැදගත්කම


මේ සොයාගැනීමේ ඇති වැදගත්කම වන්නේ දකුණු ඇමෙරිකාවේ වෙසෙන වඳුරන් අතරින් මෙවලම් භාවිත කරන එක ම වඳුරු විශේෂය කපුචින් වඳුරන් වීම නිසා ය. එසේ ම අප්‍රිකාවෙන් පිටත ප්‍රදේශයක මිනිසුන් නො වන වෙනත් සතකු මෙවලම් භාවිත කිරීම පිළිබඳව ඇති පැරැණි ම සාධකය මෙය බව මේ පර්යේෂකයන් ගේ මතයයි. මීට පෙර ඇති

පැරැණි ම සාධකය වන්නේ වානරයන් ගේ මෙවලම් භාවිතය සම්බන්ධව වන, වසර 1,300ත් 4,300ත් අතර කාලයක්‌ පමණ පැරැණි අප්‍රිකාවේ බටහිර චිම්පන්සින් ගේ මෙවලම් භාවිතය පිළිබඳ සාධකයකි. මේ අනුව මානව-චිම්පන්සි පවුලේ නො වන සත්ත්වයකු විසින් මෙවලමක්‌ භාවිත කරන ලද පළමු අවස්‌ථාව වේ.

මේ අනුව, කපුචින් වඳුරන් දීර්ඝ කාලයක්‌ තිස්‌සේ - ඇතැම් විට වසර සිය ගණනක්‌ තිස්‌සේ - කජු ආහාරයට ගැනීම සඳහා මෙවලම් භාවිත කිරීමේ යෙදී ඇති බව හෙළි වී තිබේ. ඒ පිළිබඳ ඇති පැරැණි ම කාල වකවානු සැලකූ විට ඒවා යුරෝපීයයන් ඇමෙරිකාව යටත්විජිතයක්‌ කිරීමට පවා පෙර කාල වකවානුවයි. මේ වඳුරු විශේෂය අදත් මේ ආකාරයෙන් කජු ගෙඩි තලා මද ආහාරයට ගැනීම දැකිය හැකි ය.



මේ අනුව එදා සිට මේ දක්‌වා කපුචින් වඳුරු පරම්පරා 100ක්‌ වත් මේ ආකාරයෙන් මෙවලම් භාවිත කර තිබේ. එහෙත් මේ දක්‌වා ශිලා මෙවලම් භාවිතයේ ඇති වී ඇති වෙනස්‌කම් ප්‍රමාණය අල්ප ය. අතීතයේ ඔවුන් තෝරාගත් ද්‍රව්‍ය හා බර ප්‍රමාණ පිළිබඳව සැලකූ විට එදාත් අදත් මෙවලම්වල වෙනස්‌කම් සිදු ව නොමැති තරම් ය. මේ අනුව වඳුරන් ඔවුන් ගේ තාක්‌ෂණය වෙනස්‌ කර නොමැති බවක්‌ පෙනෙන බව පර්යේෂකයන් ගේ අදහස වේ. එහෙත් වඳුරන් ගේ පරම්පරා 100ක කාලය හා සමාන වූ මානව පරම්පරා ගණනක දී ශිලා මෙවලම් හෝ වෙනත් තාක්‌ෂණයක ඇති වන වෙනස්‌කම් හා සංසන්දනය කිරීමේ දී කපුචින් වඳුරන් ගේ කිසිදු තාක්‌ෂණික වර්ධනයක්‌ ඇති වී නොමැති බව පෙනේ.

මේ පර්යේෂකයන් ප්‍රශ්න කරන තවත් අපූරු කරුණක්‌ තිබේ. එනම්, කජු ආහාරයට ගැනීමේ මිනිසුන් ගේ පුරුද්ද කපුචින් වඳුරන් කජු කෑම නිරීක්‌ෂණයෙන් ආරම්භ වූයේ ද යන්න ය. මිනිසුන් කජු ආහාරයට ගැනීම පිළිබඳ සාධක ලැබෙන්නේ වසර 7000ක්‌ පමණ කාලයකට පමණ පෙර සිට පමණ ය. එහෙත් ඒ සාමාන්‍යයෙන් ගින්නේ පලහා ලීමෙන් කජුවල ඇති විෂ සහිත රසායනික අක්‍රිය කිරීමෙනි. මෙවලම් භාවිතයෙන් කජු ආහාරයට ගැනීමට සකසා ගැනීමක්‌ මිනිසුන් අතර අතීතයේ දැකිය නොහැකි වූ බව පැවසේ. මෙවැනි ආවරණයක්‌ සහිත මෙන්ම විෂ සහිත ආහාර ද්‍රව්‍ය සකස්‌ කිරීමේ අවශ්‍යතාව මිනිසුන් අතර ශිලා මෙවලම් තාක්‌ෂණයේ වර්ධනය සඳහා ද හේතු වී ද යන්න විමසිය යුතු බව පර්යේෂකයන් ගේ අදහස ය.

අවසානයේ දී පැවසිය යුතු තවත් අපූරු කරුණක්‌ තිබේ. කපුචින් වඳුරන් අදින් වසර 700කට පමණ පෙර ශිලා මෙවලම් භාවිත කරමින් කජු මද කෑවේ, අද ලෝකයේ විශාල ප්‍රදේශයක වැසියන් ගේ මුතුන්මිත්තන් කජු පිළිබඳව දැනගැනීමට පවා පෙර කාලයක දී බවයි. මක්‌ නිසා ද යත්, ඇමෙරිකාව නිජබිම් කරගත් කජු ශාකය ලෝකයේ සෙසු ප්‍රදේශවලට හඳුන්වා දෙනු ලැබූයේ යුරෝපීයයන් ඇමෙරිකාවට පැමිණීමෙන් පසුව හෙවත් 15 වැනි සියවසෙන් පසුව නිසා ය. කජු යුරෝපයට හා ආසියාවට හඳුන්වා දෙන ලද්දේ ඊටත් පසු කාලයක දී ය. අද වන විට ලෝකයේ කජු වගාවේ ප්‍රමුඛයකු වන ඉන්දියාවට කජු හඳුන්වා දෙනු ලැබෙන්නේ 16 වැනි සියවසේ දී පමණ ය. එහෙත්, අඩු වශයෙන් ඊටත් සියවස්‌ දෙක තුනකට පමණ පෙර කපුචින් වඳුරන් කජු තලා කෑ බවට දැන් සාධක තිබේ. (මූලාශ්‍රය: Current Biology, DOI: 10.1016/j.cub.2016.05.046, Link)

http://www.vidusara.com/2016/08/24/feature2.html

දේශගුණ වෙනස්‌ වීම, ආහාර නිෂ්පාදනය හා සෞඛ්‍යය

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 03.08.2016

(Vidusara, 03.08.2016, Climate Change, Food production and Health)

http://www.vidusara.com/2016/08/03/feature1.html

ආහාර නිෂ්පාදනය හා දේශගුණය එකිනෙක හා බොහෝ සේ සම්බන්ධ වී ඇති අංශ දෙකකි. එයට හේතුව වන්නේ කෘෂිකාර්මික භෝග වගාවට බලපාන සාධක අතරින් දේශගුණය යනු වැදගත් සාධකයක්‌ වන නිසා ය. අද ලෝකය හමුවේ ඇති බරපතළ පාරිසරික ගැටලුවක්‌ වන දේශගුණ වෙනස්‌ වීම මෙතෙක්‌ පැවැති පාරිසරික තත්ත්වයන් වෙනස්‌ කරමින් ඇති බව පැහැදිලි ය. ඒ අනුව ලෝකයේ කෘෂිකර්මයට හා ඒ නිසා ම ආහාර නිෂ්පාදනයට මෙය කිසියම් බලපෑමක්‌ ඇති කරයි.

මෙය වැදගත් වන්නේ ලෝකය මේ වන විට ද ආහාර නිෂ්පාදනය පිළිබඳ අභියෝගයකට මුහුණ දී ඇති නිසා ය. ලෝකයේ ජනගහනය තවදුරටත් වර්ධනය වෙමින් පවතියි. ලෝකයේ ජනගහන වර්ධන වේගය අතීතයට සාපේක්‌ෂව අඩු වී ඇති බව සත්‍යයකි. නිදසුනක්‌ ලෙස ගත හොත් 1995 වර්ෂයේ දී 1.55%ක්‌ පමණ වූ ලෝකයේ ජනගහන වර්ධන වේගය 2015 වන විට 1.18% දක්‌වා මේ වන විට අඩු වී තිබේ. එහෙත් ලෝක ජනගහනය තවමත් ඉහළ යමින් ඇති අතර, එය 2050 වන විට බිලියන 9.7 දක්‌වා ද, 2100 පමණ වන විට බිලියන 11.2ක්‌ පමණ දක්‌වා ද ඉහළ යනු ඇති බව මේ පිළිබඳව ඇති පුරෝකථන අනුව පෙනේ.

මේ ඉහළ යන ජනගහනය සඳහා අවශ්‍ය තරම් වන ආහාර සැපයුමක්‌ ලබා දීම ලෝකය හමුවේ ඇති අභියෝගයයි. විශේෂයෙන් භූමිය හා ජලය වැනි සම්පත් සීමාසහිත වූ තත්ත්වයක්‌ හමුවේ අස්‌වැන්න ඉහළ නැංවීම සැලකිය යුතු අභියෝගයකි. එවැනි පසුබිමක දේශගුණ වෙනස්‌ වීමේ ප්‍රතිඵලයක්‌ ලෙසින් ඇති වන බලපෑම හේතුවෙන් තත්ත්වය තවදුරටත් බරපතළ විය හැකි ය. මේ ලිපිය ඒ පිළිබඳ විමසුමකි.

කෘෂිකර්මයට හොඳ ද? නරක ද?


පොදුවේ ගත් විට දේශගුණ වෙනස්‌ වීම කෘෂිකර්මයට හා ආහාර නිෂ්පාදනයට ඇති කරන බලපෑම තරමක්‌ සංකීර්ණ කරුණකි. ඉහළ කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණයක්‌ පැවතීම නිසා භෝග ශාකවල අස්‌වැන්න ඉහළ යා හැකි ය. ඒ ප්‍රභාසංශ්ලේෂණ වේගය ඉහළ යැම නිසා ය. එහෙත් අධික උෂ්ණත්වය නිසා ඇතැම් ශාකවල අස්‌වැන්නට හානිකර බලපෑමක්‌ ද ඇති විය හැකි බව මෑත කාලයේ දී සිදු කරන ලද අධ්‍යයනවලින් පෙන්වා දී ඇත.

අනෙක්‌ අතට දේශගුණ වෙනස්‌ වීම නිසා ඇති විය හැකි ආන්තික කාලගුණ තත්ත්ව නිසා භෝග වගාබිම්වලට විශාල ලෙසින් හානි සිදු විය හැකි ය. ඒ නිසා භෝග අස්‌වනු පාලු වීමෙන් ආහාර නිෂ්පාදනය අඩාළ වීම අතීතයට වඩා සුලබ විය හැකි ය. නිදසුනක්‌ ලෙස ගත හොත් ගංවතුර හා නියග වැනි තත්ත්ව අතීතයට වඩා සුලබ වීමත් සමග අස්‌වනු පාලු වීම සඳහා ඇති අවස්‌ථා වැඩි වේ. (මෑත කාලයේ දී ලෝකයේ රටවල් ගණනාවක එවැනි තත්ත්ව ඇති වූ බව වාර්තා විය) එවැනි අවස්‌ථා නිවර්තන කලාපීය රටවල වඩාත් සුලබව දැකිය හැකි ය. අනෙක්‌ අතට ඇතැම් පළිබෝධයන්, වල් පැළෑටි ආදිය වඩා උණුසුම් තත්ත්ව යටතේ වඩාත් හොඳින් ව්‍යාප්ත වීම නිසා ද භෝග අස්‌වනු හානියට පත් වීම නිසා ද ආහාර නිෂ්පාදනයේ යම් අඩාළ වීමක්‌ ඇති විය හැකි ය.

මේ අතර මෑතක දී වාර්තා වූ පර්යේෂණයකට අනුව ඉහළ යන කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණයෙන් ලැබෙන තවත් අතුරු ඵලයක්‌ ගැන වාර්තා වේ. ප්‍රභාසංශ්ලේෂණය සඳහා කාබන් ඩයොක්‌සයිඩ් වායුව අවශ්‍ය වන අතර ශාක පත්‍රවල පූටිකා විවර හොඳින් විවෘත වී කාබන් ඩයොක්‌සයිඩ් ශාක පත්‍රය තුළට ලබාගැනේa. එහෙත් වායුගෝලයේ අධික කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණයක්‌ ඇති විට මේ පූටිකා එතරම් විවෘත වීම අවශ්‍ය නො වේ. මේ නිසා පූටිකා හරහා සිදු වන උත්ස්‌වේදනය මගින් ශාක පත්‍ර මගින් ජලය හානි වීම ද අඩු වේ. මේ අනුව අධික කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණයක්‌ ඇති පරිසරයක දී ශාකවල ජල භාවිතය කාර්යක්‌ෂම වන බව මේ පර්යේෂණය මගින් අනාවරණය වී ඇත. මේ අනුව දේශගුණ වෙනස්‌ වීමත් සමග ඇති වන ජල ආතතියට මුහුණ දීමට හැකියාවක්‌ ශාකවලට මින් ලැබේ. (Nature Climate Change, DOI: 10.1038/nclimate2995)

කෘෂිකර්මය හා ආහාර නිෂ්පාදනය


කෙසේ වෙතත් විද්‍යාත්මක පර්යේෂණ මත පදනම් ව, 2014 වර්ෂයේ දී නිකුත් වූ දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්‌ඩලයේ (IPCC) පස්‌ වැනි දේශගුණ ඇගැයීම් වාර්තාවට අනුව දේශගුණ වෙනස්‌ වීම කෘෂිකර්මය සඳහා බලපාන ආකාරය අනුව එය ආහාර නිෂ්පාදනය සඳහා බලපාන්නේ කෙසේ ද යන්න මෙසේ සැකෙවින් දැක්‌විය හැකි ය.

පොදුවේ ගත් විට දේශගුණ වෙනස්‌ වීම නිසා ඇති විය හැකි නිෂේධනීය බලපෑම් සාධනීය බලපෑම්වලට වඩා අධික ය. ලෝකයේ ප්‍රධාන භෝග තුනක්‌ වන තිරිඟූ, වී හා ඉරිඟු යන භෝග අස්‌වනු සම්බන්ධව ගත හොත්, නිවර්තන හා සෞම්‍ය කලාපයේ දී ඇති වන බව දක්‌වා ඇති නිශේධනීය බලපෑම් සුබවාදී බලපෑම්වලට වඩා සුලබ වනු ඇත. මේ භෝග හා සම්බන්ධ අස්‌වැන්න පිළිබඳ ගැටලු 2030 වර්ෂය පමණ පටන් ඇති විය හැකි බව පෙන්වා දී ඇත. ඒ අනුව භෝග අස්‌වැන්න දශකයකට 2%ක පමණ ප්‍රමාණයකින් අඩු වීමට ඉඩක්‌ තිබේ. සාධනීය බලපෑම් යෑයි සඳහන් වන බලපෑම් දැකිය හැක්‌කේ ඇතැම් ඉහළ අක්‌ෂාංෂ කලාපවල හෙවත්, සෞම්‍ය කලාපීය ප්‍රදේශවලට වන්නට ය. එහෙත් මේ ප්‍රදේශවල පවා අහිතකර බලපෑම් ඇති නො වන්නේ නො වේ.

භෝග නිෂ්පාදනයේ දී පමණක්‌ නො ව ආහාර නිෂ්පාදනයට අදාළ වෙනත් අංශවලට ද දේශගුණය වෙනස්‌ වීමෙන් බලපෑම් ඇති විය හැකි ය. මත්ස්‍ය නිෂ්පාදනය එවැනි එක්‌ අංශයකි. ලෝකයේ ධීවර කර්මාන්තය සඳහා වැදගත් වන මත්ස්‍ය විශේෂ ගණනාවක්‌ මේ වන විට ද ධ්‍රැව ප්‍රදේශවලට සංක්‍රමණය වෙමින් ඇති අතර, නිවර්තන කලාපීය ප්‍රදේශවල මත්ස්‍ය අස්‌වැන්න අඩු වෙමින් පවතී. මේ සිදුවීම් දෙකට ම සාගරයේ ඇති වී තිබෙන වෙනස්‌වීම්වල යම් බලපෑමක්‌ ඇති බව පිළිගැනේ. එසේ ම පශු පාලනය සඳහා ද දේශගුණ වෙනස්‌ වීම නිසා සැලකිය යුතු බලපෑමක්‌ ඇති වන බව පැහැදිලි ය. නියගය, තාප ප්‍රවාහ මෙන්ම ගංවතුර වැනි ආන්තික දේශගුණික තත්ත්ව සත්ත්ව පාලනය සඳහා සීමාකාරී ලෙස බලපෑ හැකි කරුණු අතර වේ. මේ සියල්ල ලෝකයේ එක්‌ එක්‌ ප්‍රදේශවලට වෙනස්‌ ආකාරයෙන් බලපෑම් කරන ආකාරයක්‌ දැකගත හැකි ය.

සෞඛ්‍යය කෙරෙහි බලපෑම


කෙසේ වෙතත් භෝග නිෂ්පාදනයට ඇති වන බලපෑම හේතුවෙන් ආහාර නිෂ්පාදනයටත් ඒ නිසා මිනිසුන් ගේ පෝෂණයට හා සෞඛ්‍යයටත් ඇති විය හැකි බලපෑම සම්බන්ධව ඇති වී ඇත්තේ අඩු අවධානයකි. (වෙනත් ආකාරවලින් සෞඛ්‍යයට එය බලපාන ආකාරය පිළිබඳව වැඩි සාකච්ඡාවක්‌ සිදු වී තිබේ.) මේ සම්බන්ධව අවධානය යොමු කරමින් නිකුත් වී ඇති අධ්‍යයනයක්‌ මේ වසර මුල් භාගයේ දී The Lancet සගරාවේ පළ විය. දේශගුණ වෙනස්‌ වීමේ බලපෑම හේතුවෙන් ඇති වන භෝග ඵලදායකත්වය අඩු වීමෙන් මිනිසුන් ගේ ආහාර වේලේ ඇති වන වෙනස්‌කම් ගැන අදහසක්‌ ඉන් ලබාගත හැකි ය.

ආකෘතික අධ්‍යයනයක්‌ වන මේ පර්යේෂණයට අනුව ප්‍රක්‌ෂේපණය කර ඇති අනාගත ආහාර සුලබතාවෙන් තුනෙන් එකක්‌ පමණ ප්‍රමාණයක්‌ අඩු කිරීමට දේශගුණ වෙනස්‌ වීම හේතු විය හැකි ය. මේ අනුව ඒක පුද්ගල ආහාර සුලබතාව 3.2%කින් ද, පලතුරු හා එළවළු පරිභෝජනය 4%කින් ද, මස්‌ පරිභෝජනය 0.7%කින් ද අඩු වීමේ අවදානමක්‌ පවතී. ඒවැනි තත්ත්වයක්‌ නිසා ඇති වන පෝෂණ ඌනතා හා ශරීරයේ බර පිළිබඳ ගැටලු වැනි කරුණු නිසා ලෝකය පුරා වැඩිහිටියන් අවම වශයෙන් 314,000ක්‌ හා උපරිම වශයෙන් 736,000ක්‌ අතර පිරිසක්‌ 2050 වර්ෂය වන විට මිය යා හැකි බව එම අධ්‍යයනය මගින් ගණන් බලා තිබේ. එහි සාමාන්‍යය දැක්‌වෙන්නේ 529,000ක්‌ පමණ පිරිසක්‌ ලෙස ය. මේ පිරිස ගේ මරණ දේශගුණ වෙනස්‌ වීම හා සම්බන්ධයක්‌ ඇති මරණ සේ දැක්‌වේ. මේ සංඛ්‍යාව වැදගත් වන්නේ මෑතක දී නිකුත් වූ ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවකට අනුව 2050 වර්ෂය වන විට අඩු පෝෂණය නිසා සිදු විය හැකි මරණ ගණන ගණන් බලා තිබුණේ 85,000ක්‌ පමණ ලෙස නිසා ය.

මෙසේ ඇති විය හැකි මරණ අතරින් වැඩි ප්‍රමාණයක්‌ ඇති විය හැක්‌කේ බටහිර පැසිµssක්‌ හා ගිනිකොන ආසියාතික කලාපයේ රටවල බව ද පෙන්වා දී ඇත. මේ අතරින් වැඩි ප්‍රමාණයක්‌ අඩු හා මධ්‍ය ආදායම් රටවල ඇති වන අතර, සමස්‌ත මරණ ගණනින් හතරෙන් තුනක්‌ පමණ ම ඇති විය හැක්‌කේ චීනයේ හා ඉන්දියාවේ විය හැකි වීම ද විශේෂ සිදුවීමකි. දේශගුණ අවදානම වැඩි වශයෙන් ඇත්තේ දියුණු වන රටවලට බව යළිත් තහවුරු වීමක්‌ ලෙස මෙය සැලකිය හැකි ය. අනෙක්‌ අතට මෙමගින් පැවසෙන අවදානම නිවැරැදි නම්, එය කල් තබා වටහාගෙන අවශ්‍ය පියවර ගැනීම අදාළ රටවල වගකීම වේ. දේශගුණ වෙනස්‌ වීම නිසා ලෝක ආහාර නිෂ්පාදනයට ඇති විය හැකි බලපෑමේ බරපතළකම මේ අධ්‍යයනය මගින් පෙන්වා දෙයි. (මූලාශ්‍රය( The Lancet, DOI: 10.1016/S0140-6736(15)01156-3)

http://www.vidusara.com/2016/08/03/feature1.html

Friday, July 22, 2016

සංරක්‌ෂණ පණිවිඩයේ ඉලක්‌කය

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 20.07.2016, පි. 5

(Vidusara, 20.07.2016, Target of the Conservation message)

http://www.vidusara.com/2016/07/20/feature1.html




නූතන සමාජයේ බොහෝ විට දැකිය හැක්‌කේ පරිභෝජනවාදී ආකල්ප කුලුගැන්වෙන තත්ත්වයකි. පොදුවේ ගත් විට සමාජයේ දැකිය හැකි විවිධ ප්‍රවණතා මෙන්ම ජනමාධ්‍ය ඔස්‌සේ අප දකින දේ අපව පොලඹවන්නේ සම්පත් තිරසර ආකාරයෙන් පරිහරණය කිරීමට නම් නො වේ. ජනමාධ්‍ය ඔස්‌සේ අද දකින, අසන හා කියවන බොහෝ වැඩසටහන්, ලිපි හා වෙළෙඳ දැන්වීම් ආදිය බොහොමයක මේ තත්ත්වය දැකිය හැකි ය. ඇතැම් විට සම්පත් හැකිතාක්‌ වැඩි වැඩියෙන් පරිහරණය කිරීම සඳහා ය. කිසිදු ඵලක්‌ නොමැති දෙයක්‌ භුක්‌ති විඳීම සඳහා ය. අත්‍යවශ්‍ය නො වන දේ පවා භුක්‌ති විඳීමට හා රැස්‌ කිරීමට පෙලඹවීම පිණිස ය. මේ සියල්ල අද අප අනුගමනය කරන බටහිර ආකෘතියේ ජීවන රටාවේ ලක්‌ෂණ වේ. මේ සියලු දේ මගින් අප පොලඹවන්නේ වැඩි වැඩියෙන් සම්පත් පරිභෝජනය සඳහා ය. නිෂ්පාදනය සඳහා ය.

මෙසේ විවිධ ද්‍රව්‍ය පරිහරණයේ දී හුදෙක්‌ සිදු වන්නේ සම්පත් අධි පරිභෝජනය හා සම්පත් ක්‌ෂය වීම පමණක්‌ ම නො වේ. සම්පත් අධි පරිහරණය හා ඒ නිසා ම සිදු වන ක්‌ෂය වීම බරපතළ ගැටලූවක්‌ බව සැබෑවකි. ඒ නිසා ඇතැම් සම්පත්වල තිරසර පරිහරණයට ද අභියෝගයක්‌ ඇති විය හැකි ය. විශේෂයෙන් අනාගත පරපුරේ පරිහරණය සඳහා අවශ්‍ය සම්පත් ප්‍රමාණය ගත් විට මේ ගැන යළි සිතා බැලීමට සිදු වේ. එහෙත්, අද දවසේ දැකිය හැකි පරිභෝජනයේ ප්‍රතිඵලය වන අපද්‍රව්‍ය ජනනය පිළිබඳ ගැටලුව මෙහි දී අප ගේ සැලකිල්ලට ලක්‌ විය යුතු කරුණක්‌ වේ.

නිදසුනක්‌ ලෙස ගත හොත්, නැවත නැවත භාවිතයට ගත හැකි වීදුරු බෝතල වෙනුවට දැන් දැන් අපට සිදු ව ඇත්තේ වරක්‌ භාවිතයෙන් පසු ඉවත ලිය හැකි ප්ලාස්‌ටික්‌ බෝතලයක්‌ හෝ ටෙට්‌රා ඇසිරුමක එන ද්‍රව්‍ය මිල දී ගැනීමට ය. මේවා දිරා යැමට බොහෝ කාලයක්‌ ගත වන ඒ නිසා ම බොහෝ පාරිසරික ගැටලූ ඇති කළ හැකි ද්‍රව්‍ය අතර වේ. ඒ ඒවා පරිසරයට බැහැර කළ විට දිරා යැමට කලක්‌ ගත වන බැවිනි. එහෙත් පහසුව හා සෞඛ්‍යාරක්‌ෂාව මුල් කරගත් අපි එය දෙවැනි ගැටලුවක්‌ සේ අමතක කර දමමු. එහෙත් අපට කලක්‌ තිස්‌සේ පුරුදු වීදුරු බෝතල හා බඳුන් එසේ නො වේ. ඒවා නැවත නැවත භාවිත කළ හැකි අතර, බිඳී ගිය ද සැලකිය යුතු ප්‍රමාණයක්‌ ප්‍රතිචක්‍රිකරණය කළ හැකි ය. එහෙත් ඒවා මුලින් නිෂ්පාදනය කිරීම සඳහා නිෂ්පාදකයාට අධික පිරිවැයක්‌ දැරීමට සිදු වන අතර, නැවත භාවිතය සඳහා එකතු කිරීමේ දී ද යම් ශ්‍රමයක්‌ හා මුදලක්‌ වැය වීම සිදු වේ. ඊට සාපේක්‌ෂව, ප්ලාස්‌ටික්‌ ඇසුරුම් හා ටෙට්‌රා ඇසුරුම් යොදාගැනීම නිෂ්පාදකයාට ලාබදායක ය.

අනෙක්‌ අතට මෙවැනි ද්‍රව්‍ය පරිහරණය කරන අපට ක්‌ෂණිකව අමතක වන කරුණ වන්නේ එහි දී බැහැර කරනු ලබන ප්ලාස්‌ටික්‌ හා ප්ලාස්‌ටික්‌ මිශ්‍ර ද්‍රව්‍යවලට සිදු වන්නේ කුමක්‌ ද යන්න ය. ඒවා එකතු වන්නේ අපේ අපද්‍රව්‍ය ප්‍රවාහයට ය. අප එයට විසඳුමක්‌ සොයන්නේ වෙන ම ය. එහෙත් එය ද අප පෙර කී ජීවන ක්‍රමයේ ම ප්‍රතිඵලයකි. අපද්‍රව්‍ය ජනනයේ දී ම අවම කළ හැකි නම්, එම ගැටලුව විසඳාගත හැකි බව අපට අමතක වී ගොසිනි. මේ නිසා අපද්‍රව්‍ය ජනනය කිරීම අවම කිරීම පිළිබඳ පණිවිඩය දැන් බොහෝ දුරට අමතක ව ගොස්‌ කීව ද නිවැරැදි ය. මේ ආකාරයෙන් ම පරිසරය හා සම්බන්ධ වෙනත් බොහෝ කරුණුවල දී ද වැදගත් කරුණ අමතක ව ගොස්‌ ඇති බව කීවොත් එය නිවැරැදි ය.

සංරක්‌ෂණය පණිවිඩයේ ඉලක්‌කය


මෙවැනි තත්ත්වයක්‌ තුළ සංරක්‌ෂණ පණිවිඩය නිසි ලෙස ජනතාව අතරට ගෙන යැමේ දී එහි ඉලක්‌කගත පිරිස නිවැරැදි ලෙස තෝරාගැනීම වැදගත් වේ. නොඑසේ නම්, සිදු වන්නේ සංරක්‌ෂණ පණිවිඩය සඳහා යොදාගන්නා සම්පත් හා කාලය ද අපතේ යැමක්‌ විය හැකි ය. මේ අනුව පොදුවේ පරිසර සංරක්‌ෂණ පණිවිඩය ජනතාව අතරට ගෙන යැමේ දී මුහුණ දෙන අභියෝග පිළිබඳව ජගත් මට්‌ටමේ දී බොහෝ දේ වරින් වර සාකච්ඡාවට ලක්‌ ව තිබේ. පරිසර අධ්‍යාපනයේ අසාර්ථකත්වය පිළිබඳව සාකච්ඡා වන්නේ ද මෙවැනි පසුබිමක්‌ යටතේ දී ය. නිදසුනක්‌ ලෙස ගත හොත්, සංරක්‌ෂණය සඳහා ජනතාව පෙළගැස්‌වීම එක්‌තරා ආකාරයක අභියෝගයකි. ඊට එක්‌ නිදසුනක්‌ ලෙස මෑතක දී අප දුටු එක්‌ අධ්‍යයන වාර්තාවකින් හෙළි වන කරුණක්‌ දැක්‌විය හැකි ය.

එම අධ්‍යයනය ජල සංරක්‌ණය කිරීම පිළිබඳ පණිවිඩය ගෙන යා යුත්තේ කවුරුන් වෙත ද යන්න සම්බන්ධ ව කළ අධ්‍යයනයකි. ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වැසියන් පිරිසක්‌ යොදාගනිමින්, බොහෝ දුරට අන්තර්ජාලය පාදක කරගනිමින් සිදු කළ එම අධ්‍යයනයේ දී හෙළි වූ පරිදි ඔවුන් ජල පරිභෝජනය මත පිරිස්‌ කාණ්‌ඩගත කරගෙන තිබේ. ඉන් එක්‌ පිරිසක්‌ වන්නේ ජල සංරක්‌ෂණයක්‌ කිසිසේත් සිදු නො කරන පිරිස්‌ වන අතර, තවත් පිරිසක්‌ වන්නේ ජලය ගැන මදක්‌ හෝ සිතන පිරිසයි. එහි දී හෙළි ව ඇති අපූරු කරුණක්‌ වූයේ, තවදුරටත් ජල සංරක්‌ෂණය කළ යුතු නම් ඒ සඳහා ඉලක්‌ක කරගත යුත්තේ දැනටමත් ජලය මදක්‌ හෝ ඉතිරි කරන්නට පෙලඹී ඇත්තේ මේ දෙවැනි කාණ්‌ඩයේ පිරිස්‌ බව ය. ඔවුනට පැහැදිලි වී ඇති ආකාරයට දැනටමත් කිසියම් ජල සංරක්‌ෂණයක යෙදී සිටින මේ පිරිස්‌ අතර වුව ද යම් යම් අංශවල තවදුරටත් සංරක්‌ෂණ අදහස්‌ සඳහා අවස්‌ථා තිබේ. ඒ ඔස්‌සේ කටයුතු කිරීමෙන් වැඩි ප්‍රයෝජනයක්‌ අත්පත් කරගත හැකි ය. තම එදිනෙදා ජල භාවිතයේ දී කිසිදු ආකාරයක සංරක්‌ෂණයක්‌ සිදු නො කරන පිරිස්‌වලට වඩා වැඩි සංරක්‌ෂණ අවස්‌ථාවක්‌ ඇත්තේ මේ පිරිස ගැන අවධානය යොමු කිරීමෙනි. (මූලාශ්‍රය: Environmental Management, DOI: 10.1007/s00267-016-0706-2)

උක්‌ත අධ්‍යයනය මගින් කියෑවෙන එක්‌ වැදගත් කරුණක්‌ වන්නේ සංරක්‌ෂණ පණිවිඩය මගින් මේ වන විට පවා ඉලක්‌ක කරගෙන ඇති පිරිස්‌ අතර වුව ද තවදුරටත් ගුණාත්මක වශයෙන් යම් වර්ධනයක්‌ සිදු කළ හැකි බවයි. එය සංරක්‌ෂණ පණිවිඩයේ මෙන්ම පරිසර අධ්‍යාපනයේ සාර්ථකත්වයට ද වැදගත් වන බව පැහැදිලි ය. විශේෂයෙන් මේ වන විට ද යම් ප්‍රමාණයකින් හෝ පරිසර සංවේදී තත්ත්වයක පසු වන පිරිස අතර පවා තවදුරටත් වර්ධනයක්‌ කළ හැකි වීම එක්‌තරා ආකාරයක ජයග්‍රහණයකි. සංරක්‌ෂණය පණිවිඩය තේරුම්ගන්නා පිරිස්‌ ඊට අලුතින් එක්‌ වන්නේ නම් එය එය වැදගත් බව සත්‍යයකි. එහෙත්, ඉහත දැක්‌වූ ආකාරයට දැනටමත් පරිසර සංවේදී පිරිස්‌ මගින් සංරක්‌ෂණය සඳහා වැඩි ප්‍රයෝජනයක්‌ ලබාගැනීමට හැකි වීම ඊටත් වඩා ඵලදායී ය. ලෝකයේ බොහෝ රටවල දී පරිසරය පිළිබඳව සිදු කරන සියලු කටයුතුවල පාහේ නියෑළෙන්නේ බොහෝ විට ආකල්පමය වශයෙන් එක ම පිරිසක්‌ වීම තුළින් පැහැදිලි වන්නේ ද මේ කරුණ ම බව අපට සිතේ. එය ඇතැම් විට ඔවුන් ගේ සමාජ පසුබිම හා බැඳී පවතින්නක්‌ විය හැකි ය. නිදසුනක්‌ ලෙස ගත හොත්, මහා පරිමාණ පස්‌ හා බොරලු කැපීමකට විරුද්ධ ව පාරට බසින ජනතාව හා විල්පත්තුව වැනසීමට එරෙහි ව විරෝධතා දක්‌වන පිරිස සමාජමය හෝ පංතිමය වශයෙන් දෙපිරිසක්‌ විය හැකි ය. එහෙත් ඔවුන් තුළ පොදු සාධකයක්‌ තිබිය හැකි ය. ඒ මේ අය සෙසු ජනතාවට වඩා පරිසරය පිළිබඳව වඩා සංවේදී වීම ය. (අප මෙහි දී සඳහන් කරන්නේ මෙවැනි කටයුතුවලට වෙනත් පෞද්ගලික අරමුණුවලින් තොර ව අවංක ව පැමිණෙන පිරිස්‌ පිළිබඳ ව ය).

මේ පණිවිඩය ගෙන යා හැකි අය


මේ කරුණු පිළිබඳව ගැඹුරින් හැදෑරීමේ දී අපට පැහැදිලි වන කරුණක්‌ වන්නේ පරිසර සංවේදීතාව පිළිබඳව බලපාන වැදගත් දෙයක්‌ වන්නේ ඒ ඒ පුද්ගලයා ගේ ආකල්ප බවයි. පොදුවේ ගත් විට මේ ආකල්ප පිළිබඳ කරුණ හුදෙක්‌ සංරක්‌ෂණ පණිවිඩයේ සාර්ථකත්වට පමණක්‌ නො ව වෙනත් බොහෝ දේ සඳහා ද වැදගත් වේ.

පරිසරය සම්බන්ධව ගත් විට මේ ආකල්පමය වෙනස දැකගත හැකි හා බලපාන්නා වූ තවත් වැදගත් අංශයක්‌ වන්නේ පරම්පරා වෙනසයි. එය සංරක්‌ෂණය සඳහා වන දායකත්වය සඳහා බලපාන්නකි. සම්පත් සංරක්‌ෂණය මෙන්ම බලශක්‌ති සංරක්‌ෂණය වැනි ඇතැම් කරුණු අද වැඩිහිටි පරපුරේ ඇතැම් පිරිස්‌ වෙත ඒත්තු ගැන්වීම හා ඒවා අනුගමනය කිරීමට පෙලඹවීම තරමක්‌ අසීරු ය. පොදුවේ ගත් විට ඔවුන් වෙත සංරක්‌ෂණ පණිවිඩය ම ඒත්තු ගැන්වීම අසීරු ය. නිදසුනක්‌ ලෙස ගත හොත් විදුලි හා ජල පරිහරණයේදී අප ගත යුතු සංරක්‌ෂණවාදී පියවර ඒත්තු ගැන්වීම වඩාත් අසීරු වී ඇත්තේ වැඩිහිටි පරපුර වෙත ය. අපේ පෞද්ගලික අත්දැකීම් අනුව මෙය උගත්කම අනුව වෙනස්‌ නො වන තරම් ය. වැඩිහිටි පරපුරේ බොහෝ උගත් අය අතර මෙන්ම සාමාන්‍ය දැන උගත්කමක්‌ ඇති අය අතරට ද මේ සංරක්‌ෂණ පණිවිඩය ගෙන යැමේ අසීරුතාව අප අත්දැක තිබේ. ඔවුන් බොහෝ දෙනා තවමත් ජීවත් වන්නේ 'මයි කාර් - මයි පැට්‍රොaල්' න්‍යාය අනුගමනය කරන පසුබිමක හා තමන් දරන අදහස්‌ වෙනස්‌ කිරීමට අකැමැති වන තත්ත්වයක ය. ඔවුන් සඳහා වෙනස්‌ උපක්‍රම අනුගමනය කිරීමට සිදු වනු ඇත.

මේ සියලු කරුණු අනුව අපට එක්‌ දෙයක්‌ පැහැදිලි ය. එනම්, සංරක්‌ෂණයේ දී මිනිසුන් දරන ආකල්ප අමතක කළ නොහැකි දෙයක්‌ බව ය. එබැවින් අනාගත පරපුර කුඩා කාලයේ පටන් නිසි ආකාරයෙන් පරිසර අධ්‍යාපනයක්‌ ලැබීම වැදගත් වන්නේ මේ නිසා ය. එය පාසල් අවධියේ පටන් ම විධිමත් හා අවිධිමත් ආකාරයෙන් සිදු විය යුත්තකි.

http://www.vidusara.com/2016/07/20/feature1.html

Tuesday, July 19, 2016

ලොව සිව්දිගින් සම්භවය වී අපේ කෑම මේසයට ආ ආහාර භෝග

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 13.07.2016, පි. 14-15

(Vidusara, 13.07.2016, pp. 14-15, Food crops we consume were originated in all parts of the world)

http://vidusara.com/2016/07/13/feature5.html

මිරිස්‌ නොමැති ව පිළියෙල කළ ආහාර වේලක්‌ ගැන ශ්‍රී ලංකාවේ අපට සිතිය නොහැකි ය. අපේ ආහාර වේලේ ඇතුළත් බතල, අර්තාපල්, වට්‌ටක්‌කා වැනි ආහාර සාමාන්‍යයෙන් අපේ ආහාර වේලේ සුලබ ආහාර අතර වේ. කජු, අන්නාසි හා ගස්‌ලබු වැනි පලතුරු අපට නැති ව ම බැරි ආහාර අතර වේ. එහෙත් මේ සඳහන් කළ ශාක අපේ රටට හඳුන්වා දී ගත වී ඇත්තේ වසර පන් සියයකට අඩු කාලයක්‌ බව කිව හොත් ඒ බව ඇතැම් විට විශ්වාස කිරීම අසීරු ද විය හැකි ය. ඉහත සඳහන් සඳහන් කළ සියලු භෝග වර්ග දකුණු හා මධ්‍යම ඇමෙරිකාව නිජබිම කරගත් ශාක වේ. මෑත කාලයේ දී අපේ රටට හඳුන්වා දී ඇති ස්‌ට්‍රෝබෙරි වැනි පලතුරු ද ඇමෙරිකාව නිජබිම් කරගත් ශාක අතර වේ.

මේ ආකාරයෙන් ලෝකයේ එක්‌ ප්‍රදේශයක සම්භවය වන හා වගා කරනු ලබන භෝග ශාක විශේෂ වෙනත් ප්‍රදේශවලට හඳුන්වා දීම මිනිසුන් විසින් මානව ඉතිහාසය පුරා ම සිදු කරන ලද්දකි. ඒ මිනිසුන් ගේ පැවැත්මට ආහාරය වැදගත් වූ නිසා ය. මෙවැනි බොහෝ ආහාර භෝග වර්ග

රැසක්‌ අපේ එදිනෙදා පරිභෝජනයේ පවතී. එළවළු හා පලතුරු වර්ග රැසක්‌ මේ අතර වේ. එපමණක්‌ නො ව ඖෂධ, දැව, විසිතුරු ශාක ආදි වෙනත් භාවිත සඳහා යොදාගන්නා ශාක වර්ග ගණනාවක්‌ ද අපේ රටට විදේශීය රටවලින් හඳුන්වා දුන් ශාක අතර වේ. සමස්‌තයක්‌ ලෙස ගත හොත් ශ්‍රී ලංකාවේ දැකිය හැකි හාර දහසකට අධික ශාක වර්ග අතරින් 25%ක්‌ පමණ ප්‍රමාණයක්‌ විදේශීය රටවලින් හඳුන්වා දුන් ශාක වේ. මේ හඳුන්වා දුන් ශාක අතරින් ඇතැම් ශාක මේ වන විට ස්‌වාභාවිකකරණයට ලක්‌ ව ඇති බව ද සැලකිය යුතු කරුණකි.

අපේ රටෙන් මේ සඳහා නිදසුන් ඕනෑ තරම් දැක්‌විය හැකි ය. අපේ රටේ වැදගත් ආර්ථික භෝග දෙකක්‌ වන තේ හා රබර් යනු විදේශීය රටවලින් මෙරටට හඳුන්වා දුන් භෝග දෙකකි. අපේ රටට මේ ශාක දෙක ම හඳුන්වා දෙන ලද්දේ 19 වැනි සියවසේ දෙවැනි භාගයේ දී පමණ ය. බොහෝ ඖෂධමය ශාක පවා අපේ රටට විදේශීය රටවලින් පැමිණි ඒවා වේ. ශාක ඖෂධමය ප්‍රයෝජන සඳහා යොදාගෙන තිබේ. මේ බොහෝ ශාක අපේ ජන ජීවිතවවලට බද්ධ ව ඇත්තේ වෙන් කළ නොහැකි ආකාරයෙනි.

මේ තත්ත්වය අපේ රටට පමණක්‌ නො ව ලෝකයේ බොහෝ රටවලට පොදු කරුණකි. වර්තමාන තායිලන්තයේ හා ඉන්දියාවේ ආහාර වේල සඳහා ද මිරිස්‌ නැති ව ම බැරි දෙයකි. එසේ ම යුරෝපයේ රටවල් ගණනාවක ප්‍රධාන ආහාරයක්‌ වන අර්තාපල් යුරෝපයට පැමිණයේ ඇමෙරිකාවෙනි. ආසියානු සම්භවයක්‌ ඇති කුරුඳු ශාකය දැන් දකුණු ඇමෙරිකානු රටවල ද වවනු ලබන අතර, ඇමෙරිකානු සම්භවයක්‌ ඇති කජු ශාකය ඉන්දියාවේ වැවිලි වගාවකි. අනෙකක්‌ තබා ආගන්තුක ආක්‍රමණික ශාක ලෙස අප විසින් හඳුන්වනු ලබන ශාක අතරින් වැඩි ප්‍රමාණයක්‌ ද මිනිසුන් විසින් වුවමනාවෙන් ම අතීතයේ දී වෙනත් ප්‍රදේශවලට ගෙන යන ලද ශාක වේ.

ඓතිහාසික භෝග හුවමාරු

මෙවැනි එක්‌ හුවමාරුවක්‌ ලෝකයේ සෙසු එවැනි අවස්‌ථාවලට වඩා අධ්‍යයනයට ලක්‌ ව තිබේ. ඒ නව ලෝකය යනුවෙන් හඳුන්වනු ලබන ඇමෙරිකානු මහාද්වීපවලින් ලෝකයේ සෙසු මහාද්වීපවලට ද, ලෝකයේ සෙසු මහාද්වීපවලින් ඇමෙරිකාවට ද විවිධ ශාක හා සතුන් ශාක හා වෙනත් ද්‍රව්‍ය හඳුන්වා දුන් සිදුවීමයි. 15 වැනි සියවස අවසාන භාගයේ දී යුරෝපීයයන් ඇමෙරිකාවට පැමිණීමෙන් පසුව (මෙය ක්‍රිස්‌ටෝපර් කොලම්බස්‌ විසින් ඇමෙරිකාව 'සොයාගනු ලැබීම' ලෙස ද හැඳින්වේ) ඇමෙරිකාව ජනාවාස කරගැනීම ආරම්භ විය. ඉන්පසුව ඇති වූ වෙළෙඳාම හා සමග ඇමෙරිකාවට විවිධ ශාක හා සතුන් හඳුන්වා දුන් අතර ඇමෙරිකාවෙන් විවිධ ශාක හා සතුන් යුරෝපයට, අප්‍රිකාවට හා ආසියාවට හඳුන්වා දෙනු ලැබිණි. මේ හුවමාරුව ශාක හා සත්ත්වයන්ට සීමා නො වූ අතර ලෙඩ රෝග, සංස්‌කෘතිය හා අදහස්‌, මිනිසුන්, තාක්‌ෂණය ආදි වශයෙන් මේ හුවමාරුව ඉතා පුළුල් වූවක්‌ විය. මේ සිදුවීම හැඳින්වෙන්නේ 'කොලම්බියානු හුවමාරුව' (Columbian exchange) යනුවෙනි. මේ අදහස මුලින් ම ඉදිරිපත් කරන ලද්දේ ඇල්ෆ්‍රඩ් ක්‍රොස්‌බි විසින් 1972 වර්ෂයේ දී පමණ ය.

ශාක හුවමාරුවක්‌ සේ ගත් විට, කොලම්බියානු හුවමාරුව සැලකිය යුතු තරම් වාර්තා සහිත හුවමාරුවක්‌ සේ සැලකිය හැකි ය. එහෙත් වාර්තා වී නොමැති නමුත්, අතීතයේ සිට මිනිසුන් ශාක හා සතුන් රටින් රටට ගෙන ගොස්‌ තිබේ. දුම්කොළ වැනි ශාක පවා අපේ කලාපයට පැමිණෙන්නේ ඒ ආකාරයෙනි. එපමණක්‌ නො ව, ඉන්දියාවෙන්, අග්නිදිග ආසියාවෙන්, මෑත පෙරදිග ප්‍රදේශවලින් ආදි වශයෙන් ලෝකයේ විවිධ ප්‍රදේශවලින් අපේ රටට ඉතිහාසයේ විවිධ කාලවකවානුවල දී විවිධ ශාක ගෙනැවිත් තිබේ. ශ්‍රී ලංකාවේ පිහිටීම අනුව, දේශාටකයන්, වෙළෙන්දන් පමණක්‌ නො ව පදිංචිය සඳහා පැමිණි සංක්‍රමණිකයන් ඇතුළුව විවිධ පිරිස්‌ පැමිණි රටකි. ඔවුන් ශාක ආදිය රැගෙන පැමිණි බව සිතිය හැකි ය.

කෙසේ වෙතත් ඇතැම් ශාක කුමන කාලයක දී මෙහි ගෙන ආවේ දැයි සොයාගැනීම අසීරු ය. මේ තත්ත්වය කෙතරම් ද යත්, ඇතැම් අවස්‌ථාවල දී නොදැනුවත්කම නිසා 'දේශීය' යන විශේෂණය යොදා හඳුන්වන විදේශීය ශාක ද දැකිය හැකි ය. කලකට පෙර විදේශීය රටවලින් හඳුන්වා දුන් බතල හා දෙල් ශාක මීට නිදසුන් වේ. එසේ ම මෑත කාලයේ දී හඳුන්වා දුන් වැඩිදියුණු කළ භෝග ප්‍රභේද නිසා, එම විදේශීය භෝගයේ ම අතීතයේ දී හඳුන්වා දුන් භෝග ප්‍රභේද, දේශීය ප්‍රභේද යෑයි සිතන බව ද සිතිය හැකි ය. එම ප්‍රභේදවලට දේශීය විශේෂණ යොදා ඇති අවස්‌ථා ද හමු වේ.

හඳුන්වා දුන් ශාක සම්බන්ධව වාග් විද්‍යාත්මකව විශේෂ අවස්‌ථා ද හඳුනාගත හැකි ය. ඒ අදාළ ශාකවලට පොදු නම් ව්‍යවහාර වන අවස්‌ථාවල දී ය. වෙනත් රටකින් හඳුන්වා දුන් බැවින් මෑතක්‌ වන තුරු ම වැඩි වශයෙන් රට දෙල් යනුවෙන් හැඳින්වූ Artocarpus altilis ශාකය දැන් වැඩි වශයෙන් හැඳින්වෙන්නේ දෙල් යනුවෙනි. එහෙත් මෙරට පමණක්‌ දැකිය හැකි අතීතයේ දෙල් යනුවෙන් හැඳින්වූ Artocarpus nobilis ශාකයේ ප්‍රයෝජනයට ගැනීම අඩු වී ඇති අතර, එය වල් දෙල් හෝ බැදි දෙල් යනුවෙන් හඳුන්වනු දැකගත හැකි ය. අනෙක්‌ අතට වසර පන් සියයකට පමණ පෙර මෙරටට හඳුන්වා දුන් කජු ශාකය (එම නම ද විදේශීය ය) තවමත් එම නමින් හඳුන්වන අතර, ඉන් පසු කලක හඳුන්වා දුන් ඊට සමාන රසක්‌ හා බීජයක්‌ ඇති ඇති ශාකයක්‌ අප හඳුන්වන්නේ රට කජු යනුවෙනි.

අනෙක්‌ අතට අපේ රට ද අයත් දකුණු ආසියාවේ ගෘහාශ්‍රිතකරණය කර මෙහි ම සම්භවය වූ ආහාර භෝග වර්ග රැසක්‌ ද ඇති බව අප අමතක නො කළ යුතු කරුණකි. පොල්, කුරුඳු, අඹ, ඉගුරු, කෙසෙල් ආදි භෝග වර්ග මීට අයත් ය. ඒ අතරින් අපේ රටේ යම් යම් ශාක ගෘහාශ්‍රිතකරණය වූයේ ද යන්න තහවුරු කළ හැක්‌කේ ඒ පිළිබඳ නිසි පර්යේෂණවලින් අනතුරු ව ය.

භෝග සම්භවය පිළිබඳ පර්යේෂණ හා සංකල්ප


ආහාර භෝගවල සම්භවය පිළිබඳ අධ්‍යයන ආරම්භ වන්නේ 19 වැනි සියවස අවසානය් දී පමණ ය. ඒ උද්භිදවිද්‍යාව, වාග් විද්‍යාව, ශාක භූගෝල විද්‍යාව හා ප්‍රවේණි විද්‍යාව වැනි විෂයවල දියුණුව හා සමගිනි. මේ සමග මිනිසුන් විසින් පරිභෝජනය කෙරෙන ආහාර භෝග ශාකවල සම්භවය පිළිබඳව පළමුව අදහස්‌ පළ කරන ලද්දේ අල්පොන්සේ ඩි කැන්ඩොල් නම් විද්‍යාඥයා විසින් 1880 දශකයේ දී පමණ ය.

කෙසේ වෙතත් වගා කරන භෝග වර්ගවල සම්භවය පිළිබඳව එකිනෙකට ස්‌වාධීන වූ ප්‍රදේශ ඇති බවට වූ පිළිගත් අදහස ඉදිරිපත් කරන ලද්දේ නිකොලායි වැවිලොව් විසින් 1920 දශකයේ දී පමණ ය. සම්භව කේන්ද්‍ර (centres of origin) ලෙස හඳුන්වන ලද මේ සංකල්පය අනුව, අදාළ භෝගවල ගෘහාශ්‍රිතකරණය කළ කලාපය හඳුනාගැනීමට භෝගයේ ඉහළ ම විවිධත්වය මගින් හැකියාව ඇති බව ඔහු ගේ අදහස විය. විවිධත්වය හා එම භෝගයේ වල් දර්ශ මගින් අදාළ භෝගවල සම්භව කේන්ද්‍රය සලකුණු විය. වැවිලොව් මුලින් ම ඉදිරිපත් කළේ එවැනි ප්‍රදේශ 8ක්‌ වන අතර එහි උප කාණ්‌ඩ සමග 12ක්‌ වේ. ඒවා නම්, චීන කේන්ද්‍රය, ඉන්දියානු කේන්ද්‍රය, ඉන්දු-මලයානු කේන්ද්‍රය, මධ්‍යම ආසියානු කේන්ද්‍රය, මෑත පෙරදිග කේන්ද්‍රය, මධ්‍යධරණී කේන්ද්‍රය, ඇබිසීනියානු කේන්ද්‍රය, දකුණු මෙක්‌සිකෝව හා මධ්‍යම ඇමෙරිකා කේන්ද්‍රය, පේරු-ඉක්‌වදෝර-බොලීවියානු කේන්ද්‍රය, චිලී කේන්ද්‍රය හා බ්‍රසීල-පැරගුවේ කේන්ද්‍රය යනුවෙනි. (අවසන් කේන්ද්‍ර තුන දකුණු ඇමෙරිකානු කේන්ද්‍රයේ උප කේන්ද්‍ර සේ සලකා තිබේ.)

වැවිලොව් ගේ මේ සම්භව කේන්ද්‍ර මතවාදය ප්‍රයෝගික එකක්‌ වූ අතර සැලකිය යුතු පිළිගැනීමකට ද ලක්‌ විය. ඒ මත පදනම් ව එතැන් පටන් විද්‍යාඥයන් අදහස්‌ දක්‌වා ඇති අතර, පසු කාලයක දී ඒ මතය තවදුරටත් දියුණු වී ඇත. මේ අනුව සම්භව කේන්ද්‍ර සංකල්පය වෙනුවට විවිධත්ව කේන්ද්‍ර (centres of diversity) යන කල්පිතය ද ඉදිරිපත් ව තිබේ. කිසියම් භෝගයක සම්භවය වූ ස්‌ථාන හඳුනාගැනීමට අසීරු විම හා පැරැණි ප්‍රභේද ඉහළ විවිධත්වය හා වල් දර්ශ අධික ලෙස හමු වන ප්‍රදේශ හඳුනාගැනීම වඩා පහසු වීම නිසා මේ විවිධත්ව කේන්ද්‍රය වඩා එකග විය හැකි යෙදුමක්‌ විය. අද වන විට මේ සංකල්ප දෙක ම ඒ අංශවල කටයුතු කරන විද්‍යාඥයන් අතර භාවිත වේ.

මේ අතර පසුගිය දා Proceedings of the Royal Society B සගරාවේ ප්‍රකාශයට පත් වූ අධ්‍යයනයකින් මේ පිළිබඳ වෙනත් අංශයක්‌ ගැන ද අවධානය යොමු කර ඇත. එයට හේතු වී ඇත්තේ ද ඇතැම් අවස්‌ථාවල දී භෝග සම්භවය වූ නිශ්චිත ස්‌ථානයක්‌ හඳුනාගැනීම ඉතා අසීරු වීම ය. විශේෂයෙන් නිවර්තන කලාපයේ පුරාවිද්‍යාත්මක ශේෂ ආරක්‌ෂා නො වීම ද මීට එක්‌ හේතුවකි. එසේ ම එක්‌ ප්‍රදේශයක සම්භවය වූ භෝග ශාක පවා වෙනත් කලාපයක ඇති ඒවායේ වල් දර්ශවල ප්‍රවේණි ද්‍රව්‍යවලින් හා වෙනත් කලාපවල ගෘහාශ්‍රිතකරණය කළ ප්‍රභේදවලින් ද දියුණු විය හැකි ය. මේ අනුව 'විවිධත්වයේ ප්‍රාථමික කලාප' (primary regions of diversity) නමින් නව කල්පිතයක්‌ පර්යේෂකයන් පිරිසක්‌ ඉදිරිපත් කර තිබේ. එම කලාපයට අදාළ භෝගය මුලින් ම සම්භවය වූ ප්‍රදේශය (පළමු ගෘහාශ්‍රිතකරණය) ඇතුළත් වන අතර, එමෙන් ම භෝගයේ පැරැණි වගා කළ ප්‍රභේදවල අධික විවිධත්වයක්‌ ඇති භූගෝලීය ප්‍රදේශය (භෝග විවිධත්වය ඇති වූ ප්‍රදේශය), ඒ භෝගයේ වල් දර්ශවල සුලබතාව අධික ප්‍රදේශය ද මීට ඇතුළත් වේ.

(ඇතැම් භෝගවල ද්විතීයික විවිධත්ව කේන්ද්‍ර (secondary centres of diversity) හඳුනාගත හැකි ය. එයින් අදහස්‌ වන්නේ නව ප්‍රදේශයකට හඳුන්වා දුන් පසු ඒ ප්‍රදේශවල හටගන්නා විවිධත්වයයි. නිදසුනක්‌ ලෙස ගත හොත්, ඇමෙරිකාවට හඳුන්වා දුන් බාර්ලි හා ඕට්‌ස්‌ වැනි ශාකවල අධික විවිධත්වයක්‌ ඇති වී තිබේ).

මේ අනුව ඔවුන් නම් කර ඇති 'විවිධත්වයේ ප්‍රාථමික කලාප' 23 පහත සඳහන් වේ. මේ සමග ඇති සිතියමේ ඉන් ප්‍රධාන කලාප හා ඒවායේ සම්භවය හා ගෘහාශ්‍රිතකරණයට ලක්‌ වූ ප්‍රධාන භෝග දැක්‌වේ. මෙයින් පැහැදිලි වන පරිදි ඇතැම් භෝග වර්ග කලාප කිහිපයක ම සම්භවය හා ගෘහාශ්‍රිතකරණයට ලක්‌ වී ඇත.
  1. මධ්‍යම අප‍්‍රිකාව (Central Africa - CAF)
  2. නැගෙනහිර අප‍්‍රිකාව (East Africa - EAF)
  3. ඉන්දියානු සාගර දූපත් (Indian Ocean Islands - IOI)
  4. දකුනුදිග අප‍්‍රිකාව (Southern Africa - SAF)
  5. බටහිර අප‍්‍රිකාව (West Africa - WAF)
  6. කැරිබියානු ප‍්‍රදේශ (Caribbean - CAR)
  7. මධ්‍යම ඇමරිකාව හා මෙක්සිකෝව (Central America and Mexico - CAM)
  8. උතුරු ඇමරිකාව (North America - NAM)
  9. ඇන්ඩියානු දකුණු ඇමරිකාව (Andean South America - SAM-A)
  10. සෞම්‍ය දකුණු ඇමරිකාව (Temperate South America - SAM-Tem)
  11. නිවර්තන දකුණු ඇමරිකාව (Tropical South America - SAM-Tro)
  12. මධ්‍යම ආසියාව (Central Asia - CAS)
  13. නැගෙනහිර ආසියාව (East Asia – EAS)
  14. දකුණු ආසියා (South Asia - SAS)
  15. අග්නිදිග  (Southeast Asia - SEA)
  16. බටහිර ආසියාව (West Asia - WAS)
  17. දකුණු හා නැගෙනහිර මධ්‍යධරණී ප‍්‍රදේශ (South and East Mediterranean - SEM)
  18. ඊසානදිග යුරෝපය (North Eastern Europe - EEU-N)
  19. අග්නිදිග යුරෝපය (South Eastern Europe - EEU-S)
  20. වයඹදිග යුරෝපය (North Western Europe - WEU-N)
  21. නිරිතදිග යුරෝපය (South Western Europe - WEU-S)
  22. පැසිෆික් කලාපය - ඔස්ටේ‍්‍රලියාව හා නවසීලන්තය (Pacific Region- Australia and New Zealand - PAC-ANZ)
  23. නිවර්තන පැසිෆික් කලාපය (Tropical Pacific Region - PAC-T)


සිතියම - (ලිපියේ ප්‍රධාන කතුවරයාගේ වසර ඇතිව උපුටාගෙන තිබේ. Reproduced here with the permission of the lead author)

මූලාශ්‍රය: Proceedings of the Royal Society B, DOI: 10.1098/rspb.2016.0792 - මෙතැනින් බාගන්න

http://vidusara.com/2016/07/13/feature5.html

Thursday, July 7, 2016

සියදිවි නසාගැනීම් අතින් ලංකාවට හිමි වන්නේ 4 වැනි තැන ද? නැත්නම්, 22 වැනි තැන ද?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 06.07.2016, පිටුව 05

Vidusara,06.07.2016 (Suicide rate o Sri Lanka - Is it 4th or 22nd in the World?)

Web - http://www.vidusara.com/2016/07/06/feature2.html





මීට සති කිහිපයකට පෙර අප රටේ පුවත්පත්වල සිරස්‌තල සැරසූ එක්‌ පුවතක්‌ වූයේ සියදිවි නසාගැනීමේ අනුපාතිකය අතින් ලෝකයේ සිව්වැනි තැන ශ්‍රී ලංකාවට හිමි වන බව ය. ඒ අනුව ලංකාවේ එම අගය ජනගහනයෙන් 100,000කට 28.8 දෙනකු බව ද, සඳහන් වුණු අතර, ලෝකයේ මේ අගයේ සාමාන්‍යය 100,000කට 11ක්‌ පමණ වන බව ද වැඩිදුරටත් කියෑවිණි. ඊට මුල් ව තිබුණේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසර දෙකකට පෙර නිකුත් කරන ලද වාර්තාවකි. රජයේ වගකිවයුතු බලධාරියක මේ බව ප්‍රකාශ කර තිබීම නිසා යළිත් එය අවධානයට ලක්‌ ව තිබිණි. සාමාන්‍යයෙන් අපේ රටේ බොහෝ දෙනා අතර නිෂේධනීය හා Rණාත්මක පුවත්වලට ඉල්ලුම ඉහළ බැවින්, කරුණු සොයා නො බලා ජනමාධ්‍යවල හා සමාජ මාධ්‍යවල මේ පුවතට සැලකිය යුතු ප්‍රචාරයක්‌ ලැබී තිබිණි.

කෙසේ වෙතත්, සියදිවි නසාගැනීම් පිළිබඳ සංඛ්‍යාලේඛනවල හා උක්‌ත අගයේ සත්‍යතාව පිළිබඳ සත්‍ය කරුණු සොයා බැලීමේ දී පෙනී යන්නේ ඊට වඩා බෙහෙවින් වෙනස්‌ කතාවකි. එය සංක්‌ෂිප්ත ව මෙසේ දැක්‌විය හැකි ය.

අදින් දශක දෙකකට පමණ පෙර පැවැති තත්ත්වය හා සාපේක්‌ෂව ශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීම් අනුපාතිකය මේ වන විට අඩු වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2014 වර්ෂයේ දී සකස්‌ කරන ලද ඉහත සඳහන් වාර්තාව සඳහා යොදාගෙන ඇත්තේ ලංකාව පිළිබඳ අලුත් ම දත්ත නො වේ. ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවේ සඳහන් වන ලංකාව සියදිවි නසාගැනීම් අනුව ලෝකයේ සිව්වැනි ස්‌ථානය අත්පත් කරගන්නා බව දැක්‌වෙන සඳහන නිවැරැදි නො වේ.

මේ පිළිබඳව වැඩිදුර විස්‌තර මදක්‌ විමසා බලමු.

ලංකාවේ සියදිවි නසාගැනීම් මෑත දී අඩු වී ඇති අයුරු


සියදිවි නසාගැනීම් සංසන්දනය කිරීම සඳහා යොදාගන්නා පොදු නිර්නායකයක්‌ වන්නේ සියදිවි නසාගැනීමේ අනුපාතිකයයි. (Suicide rate). එය යම් ප්‍රජාවක (රටක වැනි) ජනගහනයෙන් 100,000කට සිදු වන සියදිවි නසාගැනීම් ප්‍රමාණය ලෙස දැක්‌වේ. එය විවිධ රටවල් අතර සංසන්දනයක්‌ සඳහා ද යොදාගත හැකි ය. මේ ප්‍රමාණය අඩු වන තරමට එය යහපත් තත්ත්වයක්‌ බව අමුතුවෙන් කිව යුතු නො වේ.

ශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීමේ වේගයේ වැදගත් වර්ෂ කීපයක්‌ මේ සමග ඇති ප්‍රස්‌තාරයේ දැක්‌වේ. 1950 දී ජනගහනයෙන් 100,000කට 6.9 දෙනකු හා 1960 දී 9.9 දෙනකු වූ ශ්‍රී ලංකාවේ වාර්ෂික සියදිවි නසාගැනීමේ අනුපාතිකය, 1960 දශකයේ දී සැලකිය යුතු වේගයකින් වැඩි වේ. ඒ අනුව 1970 දී එය 100,000කට 19.2 දෙනකු දක්‌වා ඉහළ යයි. එහෙත් එහි කැපී පෙනෙන ශීඝ්‍ර වර්ධනයක්‌ දැකිය හැක්‌කේ 1977න් පසු ව ය. විවෘත ආර්ථිකය හඳුන්වා දීමත් සමග සිදු වන පළිබෝධනාශක සුලබ වීම සියදිවිහානි කරගැනීම්වල වර්ධනයට හේතු වූ බව සැලකේ. ඉන් පෙර ඒ සඳහා යොදාගත් ක්‍රම අතර වූයේ ගෙල වැලලා ගැනීම හා විවිධ ඇසිඩ් වර්ග පානය කිරීමයි.

අසූව වේගයෙන් ඉහළ ගිය සියදිවි නසාගැනීමේ අනුපාතිකය එහි උපරිම අගයට ළගා වන්නේ 1990 දශකයේ මැද භාගයේ දී පමණ ය. 1995 වර්ෂයේ දී වාර්තා වූ මේ උපරිම අගය ජනගහනයෙන් 100,000කට 47 දෙනකු පමණ තරම් අධික විය. (International Journal of Epidemiology, 2007 හා Sri Lanka Journal of Psychiatry, 2012). මේ ප්‍රමාණය 1950 වන විට ලංකාවේ පැවැති සියදිවි නසාගැනීමේ අනුපාතිකය මෙන් හත් ගුණයක්‌ පමණ තරම් අධික විය. ඒ වන විට ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළ ම සියදිවි නසාගැනීමේ අනුපාතිකයක්‌ තිබූ රටක්‌ සේ හඳුන්වා ඇත. මේ පිළිබඳව ඒ කාලයේ දී ජනමාධ්‍ය ඔස්‌සේ බෙහෙවින් සාකච්ඡාවට ලක්‌ වූ ආකාරය බොහෝ දෙනාට මතක ඇතිවාට සැකයක්‌ නැත.

එහෙත් 1996 වර්ෂයෙන් පමණ පසු මේ සියදිවි නසාගැනීමේ අනුපාතිකය වේගයෙන් පහළ වැටෙන්නට පටන්ගත්තේ ය. ලංකාවේ මෙන්ම මෙරට පිළිබඳව පර්යේෂණ සිදු කළ පර්යේෂකයන් මේ අඩු වීම ඉතා පැහැදිලිව හඳුනාගෙන තිබිණි. 2005 වන විට මේ අගය 1996 අගයෙන් අඩක්‌ පමණ දක්‌වා අඩු වූ බව එක්‌ පර්යේෂණ කණ්‌ඩායමක්‌ අනාවරණය කර ඇත. (International Journal of Epidemiology, 2007). 2009 දී මේ අනුපාතිකය ජනගහනයෙන් 100,000කට 19.6 දෙනකු දක්‌වා අඩු ව තිබූ බව තවත් කණ්‌ඩායම් කිහිපයක්‌ ම ප්‍රකාශයට පත් කර තිබේ. (Sri Lanka Journal of Psychiatry, 2012). මේ 2009 වර්ෂයේ අගය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ම Bulletin of the World Health Organization නම් ප්‍රකාශනයේ 2012 වර්ෂයේ දී පළ වූ ලිපියක ද ප්‍රකාශයට පත් ව තිබීම ද විශේෂත්වයකි. 2012 වර්ෂය වන විට ලංකාවේ සියදිවි නසාගැනීමේ අනුපාතිකය ජනගහනයෙන් 100,000කට 17.1 දෙනකු පමණ වන බව තවත් පර්යේෂකයන් පිරිසක්‌ විසින් පෙන්වා දී ඇත (BMC Public Health, 2014). පොලිස්‌ වාර්තා අනුව 2014 වර්ෂය වන විට මේ අගය 100,000කට 15 දෙනකු පමණ වන බව ඉහත BMC Public Healthහි පළ වූ පර්යේෂණයට සම්බන්ධ පර්යේෂිකාවක වන දුලීකා ඩබ්ලිව්. නයිප් මහත්මිය විද්යුත් තැපැල් සන්නිවේදනයක්‌ හරහා අප හා පැවසුවා ය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට වැරදිණි ද?


ලෝක සෞඛ්‍ය සංවිධානය "සියදිවි නසාගැනීම් වැළැක්‌වීම - ජගත් විධානයක්‌" (Preventing Suicide - A Global Imperative) නම් වූ වාර්තාව නිකුත් කරන්නේ 2014 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දී පමණ ය. එම වාර්තාව සංවිධානය විසින් සියදිවි නසාගැනීම වැළැක්‌වීම පිළිබඳව නිකුත් කර ඇති පළමු ගෝලීය මට්‌ටමේ වාර්තාව සේ හඳුන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ 2012 වර්ෂයේ දී පැවැති සියදිවි නසාගැනීමේ අනුපාතිකය 100,000කට 28.8ක්‌ සේ දැක්‌වෙන්නේ මේ වාර්තාවේ ය. එහෙත් ඊට පෙර නිකුත් ව ඇති පෙර සඳහන් පර්යේෂණ වාර්තාවල, 2012ට පෙර වර්ෂ සඳහා ලංකාවේ සියදිවි නසාගැනීම් සඳහා ඊට වඩා වෙනස්‌ අගයක්‌ යෝජනා කර ඇත.

මෙවැන්නක්‌ සිදු ව ඇත්තේ කෙසේ ද?

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උක්‌ත වාර්තාව සඳහා ලංකාවේ දත්ත සඳහා යොදාගෙන තිබුණේ ලංකාවෙන් ලබාගත් නවතම දත්ත නො වේ. ලංකාවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට අවසාන වශයෙන් නිල දත්ත සපයා ඇත්තේ 2006 දී ය. ඒ අනුව 2006 වර්ෂයේ මරණ දත්ත පාදක කරගනිමින් ආකෘතික වශයෙන් ගණනය කළ අනුපාතිකයක්‌ යොදාගනිමින් 2012 සියදිවි නසාගැනීම් ප්‍රමාණය ගණනය කර ඇති බවක්‌ පෙනේ. (ලෝක සෞඛ්‍ය සංවිධානය උක්‌ත වාර්තාවේ ම පවසන ආකාරයට ශ්‍රී ලංකාව අයත් වන්නේ මෑත කාලීන දත්ත අඩු රටවල් අතරට ය.) එහෙත් එතැන් පටන් ගත වූ කාලය ඇතුළත ලංකාවේ සිය දිවිනසාගැනීම් වාර්ෂිකව අඩු වෙමින් ඇති අතර, සැබෑ දත්ත අනුව ඒ බව හෙළි වී තිබේ.

ඉහත කී ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවේ ලංකාව හා සම්බන්ධ දත්ත පිළිබඳව Ceylon Medical Journal සගරාවේ 60 වැනි වෙළුමේ අංක 1 කලාපයට 2015 වර්ෂයේ දී ලිපියක්‌ යොමු කරන මෙරට සියදිවි නසාගැනීම් පිළිබඳ පර්යේෂණවල යෙදුණු පර්යේෂකයන් පිරිසක්‌ මේ ගැටලුව හෙළිදරව් කර ඇත. මේ අනුව 2012 වර්ෂයට අදාළ නිවැරැදි සියදිවි නසාගැනීම් පිළිබඳ යාවත්කාලීන කළ දත්ත භාවිත කළේ නම්, ශ්‍රී ලංකාවට හිමි විය යුත්තේ 22 වැනි ස්‌ථානය බව ඔවුන් එහි පෙන්වා දී ඇත. (මේ පිළිබඳව එම පර්යේෂකයන් ඒ කාලයේ දී ම මෙරට මාධ්‍ය කීපයකට ම පවසා තිබුණ ද දැන් යළිත් පැරැණි කතාව ම මතු ව ඇති බව පෙනේ). එසේ ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ සියදිවි නසාගැනීමේ අනුපාතිකය භාවිත කරන පුද්ගලයන් එම දත්තවල මූලාශ්‍රවල සීමා ගැන දැනුවත්ව ඒවා භාවිත කිරීමේ දී පරෙස්‌සම් විය යුතු බව ද ඔවුහු එහි දී පවසති. දැන් මෙරට බලධාරීන් හා සොයා නො බලා පුවත් පළ කරන මාධ්‍ය ආයතන කර ඇත්තේ මේ වරද ය.

සියදිවි නසාගැනීම් අඩු වූයේ ඇයි?


ඉහත සඳහන් වන විවිධ පර්යේෂණ කණ්‌ඩායම් විසින් සිදු කරන ලද අධ්‍යයනවල දැක්‌වෙන ආකාරයට, සියදිවි නසාගැනීම් මේ අයුරින් කැපී පෙනෙන ආකාරයෙන් පහත වැටීමට බලපෑ කරුණු අතරින් වැදගත් ම කරුණ වන්නේ අධික විෂ සහිත පළිබෝධනාශක පාලනය කිරීමයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පළමු කාණ්‌ඩයේ (Class I) ලෙස දක්‌වා ඇති පළිබෝධනාශක තහනම් කිරීමට ගත් ක්‍රියාමාර්ගය මීට හේතු වී ඇති බව පර්යේෂණ කණ්‌ඩායම් ගණනාවක්‌ ම පෙන්වා දී තිබේ. ඕගනොපොස්‌පේට වැනි සුලබව යොදාගත් අධික විෂ සහිත පළිබෝධනාශක අයත් මේ කාණ්‌ඩයේ පළිබෝධනාශක කීපයක්‌ මුලින් ම ලංකාවේ තහනම් කිරීම ආරම්භ කරන්නේ 1984 දී වන අතර, 1995 වන විට ඒ කාණ්‌ඩයේ රසායන ද්‍රව්‍ය සියල්ල ම තහනම් කරන ලදි. ඊට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වර්ගීකරණය අනුව දෙවැනි කාණ්‌ඩයට අයත් (Class II) ඕගනෝක්‌ලෝරින පළිබෝධනාශකයක්‌ වන එන්ඩොසල්ෆාන් ද 1998 දී මෙරට තුළ තහනම් කරන ලදි. මේවා සියදිවි නසාගැනීම් අඩු වීම සඳහා තීරණාත්මකව බලපා තිබේ. (International Journal of Epidemiology, 2007 හා BMC Public Health, 2014).

එසේ ම කනේරු ඇට ආහාරයට ගැනීම වැනි සියදිවි නසාගැනීමට බලපෑ වෙනත් උපක්‍රම සඳහා ප්‍රතිකාර ක්‍රම දියුණු කිරීම ද ජීවිත බේරාගැනීමට දායක වූ බව ඇතැම් අධ්‍යයනවලින් හෙළි ව ඇත. එසේ ම, සියදිවි නසාගැනීම් වළක්‌වා ලීම සඳහා ක්‍රියාත්මක වූ මනෝ උපදේශක සේවා වැනි සමාජ හිතකාමී ක්‍රියාකාරකම් ද, දශක තුනක්‌ පැවැති ත්‍රස්‌ත අර්බුදය නිමා වීම වැනි කරුණු ද බලපාන්නට ඇති බව සැලකිය හැකි ය. අනෙක්‌ අතට මේ කාලය ඇතුළත දී මෙරට සමාජයේ සිදු වූ සමාජ හා ආර්ථික වෙනස්‌කම්වල බලපෑම ද අපට නො සැලකිය හැකි නො වේ.

සමස්‌තයක්‌ ලෙස ගත හොත්, 1990 දශකයේ පැවැති තත්ත්වය හා සසඳන කල, ඉන් පසුව ඇති වූ යහපත් තත්ත්වය කෙතරම් විස්‌මයජනක වර්ධනයක්‌ ද යන්න 2014 දී එක්‌ පර්යේෂකයෙක්‌ පවසන්නේ මෙසේ ය - විසි වැනි සියවසේ අවසාන දශකයේ දී ලෝකයේ ඉහළ ම සියදිවි නසාගැනීමේ අනුපාතිකය තිබුනේ ශ්‍රී ලංකාවේ ය. එම අගය, 1996 වර්ෂයේ දී වේගයෙන් පහත වැටෙන්නට පටන්ගත් අතර, ඉක්‌මනින් ම එය දශක තුනක කාලයේ පැවැති අඩු ම අගය විය. එමගින් සියදිවි නසාගැනීම් හා සම්බන්ධ සමාජවිද්‍යාත්මක සිද්ධාන්තවල ගැටලු ඇති කරන්නට ද සමත් ව ඇත. (Modern Asian Studies, 2014).

මූලාශ්‍රය: BMC Public Health, 2014, DOI: 10.1186/1471-2458-14-839; International Journal of Epidemiology, 2007, DOI:10.1093/ije/dym164; Modern Asian Studies, 2014, DOI:10.1017/S0026749X1200073X;Sri Lanka Journal of Psychiatry, 2012, Vol 3 No 2; Bulletin of the World Health Organization, 2012, DOI: 10.2471/BLT.11.091785;Preventing suicide - A global imperative, 2014, http://www.who.int/mental_health/suicide-prevention/world_report_2014/en/)

Monday, July 4, 2016

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් වීම පරිසරයට බලපාන ආකාරය

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 29.06.2016, පි. 5

(Vidusara, 29.06.2016, p. 5 - Potential impact of Brexit on the the environment)

http://www.vidusara.com/2016/06/29/feature2.html



පසුගිය සතියේ ලෝක දේශපාලනයේ සිදු වූ වැදගත් ම සිදු වීම වූයේ යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය ඉවත් විය යුතු ද යන්න විමසීම සඳහා පැවැති ජනමත විචාරණයේ දී එරට ජනතාව ගෙන් 51.9%ක්‌ පමණ පිරිසක්‌ එරට යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු යෑයි ඡන්දය ප්‍රකාශ කිරීම ය. ඊට විරුද්ධ වී ඇත්තේ ඡන්දය ප්‍රකාශ කළවුන් ගෙන් 48.1%ක පමණ පිරිසකි. මේ ජනමත විචාරණයේ දී සමස්‌ත ඡන්දදායකයන් අතරින් 72.2%ක්‌ පමණ ඡන්දය ප්‍රකාශ කර ඇත. මේ අනුව ජනතාව ගේ තීරණය වන්නේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුය යන්න බව පැහැදිලිය. මෙය 'Brexit' යනුවෙන් හැඳින්වේ.

මේ පිළිබඳව සිදු කර ඇති විශ්ලේෂණ අනුව ජනතාව අතර කැපී පෙනෙන බෙදීම් දැකිය හැකි බව පැහැදිලි ය. නිදසුනක්‌ ලෙස තරුණ පිරිස්‌ අතරින් බහුතරය යුරෝපා සංගමය සමග සිටීමට කැමැත්ත දක්‌වන අතර, වැඩිහිටි පිරිස්‌ අතරින් බහුතරය කැමැත්ත පළ කර ඇත්තේ ඉන් ඉවත් වීමට ය. ස්‌කොට්‌ලන්ත හා උතුරු අයර්ලන්ත වැසියන් කැපී පෙනෙන බහුතරයකින් යුක්‌ත ව කැමැත්ත දක්‌වා ඇත්තේ යුරෝපා සංගමය හා එක්‌ ව සිටීමට වන අතර, එංගලන්ත හා වේල්ස වැසියන් වැඩි පිරිසක්‌ කැමැත්ත දක්‌වා ඇත්තේ වෙන් වීමට ය.

මෙය බ්‍රිතාන්‍ය වැසියන් විසින් ගන්නා ලද දේශපාලන තීරණයකි. ඊට විවිධ හේතු බලපාන්නට ඇති බව පැහැදිලි ය. යුරෝපා සංගමය හා එක්‌ ව සිටීම නිසා බ්‍රිතාන්‍ය වැසියන්ට වාසි මෙන්ම පාඩු ද ඇති වූ බව එරට ජනතාව ගේ කැමැත්ත බෙදී ගොස්‌ ඇති ආකාරය අනුව පෙනේ. විශේෂයෙන් මෑත දී සාකච්ඡාවට ලක්‌ වූ, එරට ජනතාවට බලපා ඇති ආර්ථික, සෞඛ්‍ය අංශවල ගැටලු මෙන්ම සංක්‍රමණික ජනතාව නිසා ඇති වී තිබෙන ගැටලු වැනි කරුණු මෙන්ම දේශපාලනික හේතු ද මීට හේතු වී ඇති බව පැහැදිලි ය. බ්‍රිතාන්‍යය තුළ මතු ව ඇති ජාතිකවාදී අදහස්‌ එරට තුළ වර්ධනය වීම මේ වෙනස ඇති වීමට දායක වූ එක්‌ හේතුවකි.

කෙසේ වෙතත් මේ ඉවත් වීමට ගත් තීරණය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වීමට වසර ගණනාවක්‌ ගත විය හැකි ය. ඒ හා සම්බන්ධ ව අනුගමනය කළ යුතු මදක්‌ සංකීර්ණ වූ නිශ්චිත ක්‍රියාවලියක්‌ ද තිබේ. ඒ අනුව බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් පිටමං වීමට අඩු වශයෙන් වසර දෙකක්‌ පමණ කාලයක්‌ වත් ගත වනු ඇත. ඒ පිළිබඳව හදිසියක්‌ වෙන් වීමේ ව්‍යාපාරයේ යෙදුණු අයට ද නැත. එහෙත් යුරෝපා සංගමයේ විදේශ අමාත්‍යවරුන් බ්‍රිතාන්‍යයෙන් ඉල්ලා තිබුණේ කඩිනමින් ඉවත් වීමට කටයුතු කරන මෙනි.

යුරෝපා සංගමයට ඇති බලපෑම


බ්‍රිතාන්‍යය, සංගමයෙන් වෙන් වීමට ගත් තීරණය නිසා යුරෝපා සංගමය තුළ අවිනිශ්චිත තත්ත්වයක්‌ ඇති වී තිබෙන බවක්‌ පෙනේ. මේ හේතුව නිසා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් වීමට තීරණය වූ ජනමත විචාරණය ඇතැම් අය සමාන කර තිබුණේ 1989 දී බර්ලින් තාප්පයේ බිඳවැටීමට ය. හතළිස්‌ වසරකට අධික කාලයක්‌ පැවැති යුරෝපා සංගමයේ බිඳවැටීමක්‌ ගැන යම් අනතුරු හැගවීමක්‌ ගැන ද මින් කියෑවේ.

විශේෂයෙන් සංගමයේ වෙනත් සාමාජික රටවල් බ්‍රිතාන්‍යය ගත් පියවර හා සමාන පියවර ගැනීමට පෙලැඹුණ හොත් ඇති විය හැක්‌කේ අවිනිශ්චිත තත්ත්වයකි. යුරෝපා සංගමයේ ඇතැම් නීති රීති ආදිය නිසා නොසතුටින් සිටින රටවල් එවැනි තීරණවලට එළැඹීමේ ඉඩක්‌ නැත්තේ නො වේ. කෙසේ වෙතත් එවැනි අනතුරක්‌ නුදුරු අනාගතයේ ඇති වන බවක්‌ පෙනෙන්නට නැතත්, ආරක්‌ෂක පියවරක්‌ ගැනීමට පෙලැඹෙනු ඇත.

එහෙත් යුරෝපා සංගමය, එවැනි සමූහයක්‌ ලෙස එක්‌ ව සිටීම නිසා ඇති වූ අයහපත් දේ කෙතෙක්‌ තිබුණ ද යහපත් දේ ද තිබූ බව අප අමතක නො කළ යුතු ය. ඒ, විශේෂයෙන් පරිසරය සම්බන්ධව ය. දැන් ඇති ගැටලුව වන්නේ යුරෝපා සංගමයේ මේ දුර්වල වීම හමුවේ ලෝකය පරිසරය පිළිබඳ අත්පත් කරගත් ජයග්‍රහණ දුර්වල වීමේ අවස්‌ථාවක්‌ උදා වී තිබීම ය. මෙය බ්‍රිතාන්‍යයට පමණක්‌ නො ව සමස්‌තයක්‌ ලෙස ලෝකයට ම බලපෑමක්‌ සිදු කළ හැකි කරුණක්‌ වීම මෙහි ඇති බරපතළ තත්ත්වයයි.

පරිසරය සම්බන්ධ ව යුරෝපා සංගමය


සංගමය එහි පරිසරය හා සම්බන්ධ විවිධ අංශවලට පැනවූ විවිධ නීති රීති නිසා දැඩි අවධානයකට ලක්‌ විය. සංගමය හා තිබූ බැදීම නිසා ඒ නීති බොහොමයක්‌ ක්‍රියාත්මක කිරීමට එහි සාමාජික රටවලට සිදු විය. ඒ නිසා අදාළ රටවට යහපතක්‌ වූ අතර ඇතැම්වා ජගත් මට්‌ටමෙන් ඉතා වැදගත් පූර්වාදර්ශ ද වූ බව පහත නිදසුන්වලින් ද පැහැදිලි වේ. මෙහි දී වඩාත් ම වැදගත් වන්නේ දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධ ව ගත් පියවරයි.

දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධව යුරෝපා සංගමය කලක පටන් පුරෝගාමී මෙහෙවරක්‌ ඉටු කොට තිබේ. නිදසුනක්‌ ලෙස ගත හොත්, මේ ගැටලුව නො සලකා හැර තිබිය දී ඊට විසඳුමක්‌ සෙවීමට යම් හෝ පියවරක්‌ ගත්තේ යුරෝපා සංගමයයි. දේශගුණ වෙනස්‌ වීම හා සම්බන්ධ සැම වැදගත් ගිවිසුමක්‌ හා සන්ධානයක්‌ සඳහා ම යුරෝපා සංගමය කිසියම් හෝ වැදගත් කාර්යයක්‌ ඉටු කර ඇත. එහි දී බ්‍රිතාන්‍යය ද ශක්‌තිමත් හඩක්‌ නැගූ රටක්‌ විය. යුරෝපා සංගමය ගත් පියවර අතර පිරිසිදු බලශක්‌තිය පිළිබඳ ඉලක්‌ක මෙන්ම හරිතාගාර වායු විමෝචන සීමා කිරීම පිළිබඳ ඉලක්‌ක ද වැදගත් සේ සැලකිය හැකි ය. 2020 වන විට පුනර්ජනනය කළ හැකි බලශක්‌තියෙන් සංගමයේ රටවල බලශක්‌ති අවශ්‍යතාවෙන් 20%ක්‌ ලබාගැනීමට එකගතාවක්‌ ඇති කරගත්තේ 2008 වර්ෂයේ දී ය. 2030 වර්ෂය වන විට එම සංගමයේ රටවල හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය 40%ක්‌a පමණ දක්‌වා අඩු කිරීමට 2014 වර්ෂයේ දී පමණ යුරෝපා සංගමය තීරණයක්‌ ගත්තේ ය. මේ අනුව යුරෝපා සංගමයේ දුර්වල වීමක්‌ ඇති වුව හොත් එහි ප්‍රතිඵලය බරපතළ එකක්‌ විය හැකි ය.

වායු දූෂණය වැළැක්‌වීමට ගත් පියවර ද මෙවැනි වැදගත් පියවරකි. ඒ සඳහා නව නීති රීති 2013 වර්ෂයේ දී ගෙන ආ සංගමය ප්‍රධාන වායු දූෂක 6ක්‌ සඳහා එවකට පැවැති විමෝචන සීමා තවදුරටත් අඩු කළේ ය. මෙහි අපේක්‌ෂාව වූයේ 2030 වර්ෂය වන විට යුරෝපයේ වායු දූෂණය වර්තමාන මට්‌ටමෙන් 20%ක්‌ පමණ තෙක්‌ අඩු කිරීමය. මෙහි වාසිය බොහෝ රටවලට ලැබිණි. එසේ ම බ්‍රිතාන්‍යයේ ද නගර ගණනාවක වායු දූෂණය පාලනය කිරීම සඳහා යොදාගෙන ඇත්තේ යුරෝපා සංගමය විසින් 2010 වර්ෂයේදී පමණ පනවන ලද වායු දූෂණය පිළිබඳ නීති මත ගන්නා ලද අධිකරණ ක්‍රියාමාර්ග ය. මේ ආකාරයට ම අපද්‍රව්‍යවලින් පිරුණු වෙරළ තීර, පිරිසිදු වෙරළ තීර බවට පත් කිරීමට හේතු වූයේ ද යුරෝපා සංගමයේ නීති මත පදනම් ව ගන්නා ලද නීතිමය ක්‍රියාමාර්ග ය.

පරිසරය හා සම්බන්ධව යුරෝපා සංගමය ගත් තවත් පුරෝගාමී පියවරක්‌ වූයේ මෑත කාලයේ දී වාර්තා වූ මීමැස්‌සන් හා වෙනත් කෘමීන් ගේ වඳ වී යැමට හේතු වූ බවට සැක කරන ලද නියෝනිකොටිනොයිඩ කාණ්‌ඩයේ පළිබෝධනාශක කිහිපයක්‌ තහනම් කිරීම ය. මේ තීරණය ගන්නා ලද්දේද 2013 වර්ෂයේ දී ය. මේ කාණ්‌ඩයේ රසායනික ද්‍රව්‍ය ගැන ලෝකයේ අවධානය යොමු වූයේ මේ සමග ය. කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයේ කෘෂිකාර්මික සංවිධාන අතර මේ පිළිබඳව යම් විරෝධයක්‌ දැකිය හැකි වූ අතර ඒක පර්ශ්වික ව එම තහනම බ්‍රිතාන්‍යය තුළ ඉවත් කිරීමට ද යම් උත්හාසයක්‌ දැකිය හැකි විය.

පරිසරයට හිමි තැන තේරුම්ගැනීම


මේ කරුණු අනුව අවධානය යොමු කළ යුතු දෙයක්‌ වන්නේ ජාත්‍යන්තර දේශපාලනයේ දී මෙන්ම ඒ ඒ රටවල ජාතික තලයේ දේශපාලනයේ දී පරිසරයට හිමි තැන කුමක්‌ ද යන්න යථාර්ථවාදීව තේරුම්ගැනීම ය. ජාතික දේශපාලනික කරුණුවල දී පාරිසරික කරුණු සඳහා ලැබෙන ප්‍රමුඛතාව වෙනස්‌ වෙමින් හෝ අඩු වෙමින් හෝ පවත්නා බව බවට සාධකයක්‌ ලෙස බ්‍රිතාන්‍යයේ සිදු වූ උක්‌ත සිදුවීම ද සැලකිය හැකි ය. මේ ජනමත විමසුමට පෙර හා ආසන්න කාලයේ දී එරට මෙන්ම යුරෝපයේ විවිධ පරිසර සංවිධාන හා පරිසර ක්‍රියාකාරීන් වැඩි දෙනා අදහස්‌ පළ කර සිටියේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමය හා සිටීමේ වැදගත්කම ගැන ය. එක්‌ ව සිටීමෙන් බ්‍රිතාන්‍යයේ හා යුරෝපයේ පරිසරය ආරක්‌ෂා කිරීමට ලැබෙන අවස්‌ථාව ගැන ය. එහෙත් ජනමත විමසුමේ ඡන්දය පළ කිරීමේ දී ජනතාව මේ කරුණ සැලකිල්ලට ගෙන ඇති බවක්‌ පෙනෙන්නට නැත.

පාරිසරික සාධකවලට දේශපාලනයේ දී ලැබෙන තැන වෙනස්‌ වෙමින් ඇති බව අප මින් ඉහත දී ද පෙන්වා දී ඇති කරුණකි. ඒ අපේ රටේ දේශපාලනය සම්බන්ධයෙනි. ඊනියා දියුණු යෑයි සම්මත රටවලින් සැදුම් ලද්දේ වුව ද මේ තත්ත්වය යුරෝපා සංගමයට ද පොදු ය. යුරෝපා සංගමය, සංගමයක්‌ ලෙස පරිසරය හා වෙනත් විෂය සම්බන්ධව ඉදිරියෙන් සිටිය ද, එහි සාමාජික රටවල් සියල්ල සමාන අදහස්‌ ඇති රටවල් නො වේ. ඒ රටවල ජාතික දේශපාලනයේ දී ආර්ථික හා සමාජයීය වැනි වෙනත් කරුණු පරිසරයට වඩා වැදගත් වේ. විශේෂයෙන් අර්බුද පවත්නා අවස්‌ථාවල ඒ සාධක වඩාත් තීරණාත්මක වේ. ලෝකයේ බොහෝ රටවල හරිත දේශපාලනය අසාර්ථක වී ඇත්තේ තනි මතවාදයක්‌ ලෙස පරිසරවාදයට හා හැකි දුර සීමාසහිත වන නිසා ය.

මේ අනුව දේශපාලන මතවාදයක්‌ ලෙස ඉදිරිපත් වීමේ දී, වඩා වෙනස්‌ ප්‍රවේශයක්‌ වෙත යොමු වීමට පරිසරවාදයට දැන් කාලය පැමිණ ඇති බව පෙනේ. එය දක්‌ෂිනාංශික ධනවාදී මතවාද සමග මෙන්ම වාමාංශික මතවාද සමග ද මනාව නො පෑහෙන බවක්‌ දැකිය හැකි ය. එසේ ම මේ පාරිසරික ගැටලු බොහෝ දුරට ජාත්‍යන්තර බලපෑමක්‌ ඇති ඒවා වුව ද, ලෝකයේ රටවල් සඳහා තීරණාත්මකව බලපාන්නේ ජාතික මට්‌ටමේ අභිලාෂ බව බ්‍රිතාන්‍යයේ සිදු වූ මේ සිදු වීම අනුව යළිත් පැහැදිලි වේ. ඇමෙරිකාවේ හා ඔස්‌ටේ්‍රලියාවේ අතීත දේශගුණ ක්‍රියාකාරකම් ද මේ සඳහා නිදසුන් වේ.

ඒ අනුව ජාතිකවාදය යළි යළිත් ශක්‌තිමත් වීම අනාගතයේ දී ද දැකිය හැකි වනු ඇත. එසේ නම්, ජාතිකවාදී දේශපාලන මතවාද හා සමගාමී ව යා හැකි මගකට පිවිසීම පරිසරවාදයට ද වැදගත් වේ. බොහෝ බටහිර නිදසුන්වලින් මේ සඳහා සාර්ථක මෙන්ම අසාර්ථක නිදසුන් ද දැකගත හැකි ය. එහෙත් බටහිර ආකෘතියට පිටින් ගිය කිසියම් ආකෘතියක්‌ හඳුනාගැනීමට නොහැකි ද?

Monday, June 27, 2016

දේශගුණ වෙනස්‌ වීම, තෙල් සමාගම් හා දේශපාලනය

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 22.06.2016, පි. 5

(Vidusara, 27.06.2016, p. 6 - Climate Change, Oil Companies and Politics)

http://www.vidusara.com/2016/06/22/feature1.html



2015 අග දී ඇති කරගන්නා ලද පැරිස්‌ දේශගුණ ගිවිසුම යනු දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීම සඳහා ජගත් මට්‌ටමෙන් ක්‍රියාත්මක වීමට නියමිත එක ම වැඩපිළිවෙළ වේ. 2020 වර්ෂයේ පටන් ක්‍රියාත්මක වීමට නියමිත වැඩපිළිවෙළක්‌ වන එය මේ වන විට අපට ඇති එක ම බලාපොරොත්තුව ද වේ. මේ ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව පළමුව බලාත්මක තත්ත්වයට පත් වීම සඳහා (enter into force) ලෝකයේ සමස්‌ත හරිතාගාර වායු විමෝචනවලින් 55%ක්‌ නිකුත් කිරීමට දායක වන රටවල් 55ක්‌ එය අපරානුමත කිරීම (ratification) අවශ්‍ය වේ.

පසුගිය අප්‍රේල් මාසයේ දී අත්සන් කිරීමට විවෘත කරන ලද පැරිස්‌ ගිවිසුමට මැයි මස අවසන් වන විට පාර්ශ්ව 177ක්‌ අත්සන් කර ඇත. මීට ලෝකයේ වෙනත් රටවල් මෙන්ම යුරෝපා සංගමය ද අයත් ය. ඉන් රටවල් 17ක්‌ පමණ පසුගිය මැයි මස 20 වන විට එය අපරානුමත කර තිබිණි. එහෙත් එසේ අපරානුමත කර ඇති රටවල් සියල්ල ම පාහේ කුඩා රටවල් හා හරිතාගාර වායු විමෝචන අවම ප්‍රමාණයක්‌ නිකුත් කරන රටවල් වූ බැවින් ඔවුන් ගේ සමස්‌ත හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය ලෝකයේ සමස්‌ත විමෝචනවලින් 0.04%ක්‌ පමණ ප්‍රමාණයක්‌ විය. මේ අතර, ප්‍රංශය පසුගිය සතියේ දී මේ ගිවිසුම අපරානුමත කළේ ය. ගිවිසුම අපරානුමත කළ දෙවැනි යුරෝපා රට බවට ප්‍රංශය පත් වන අතර, එය එසේ කළ G7 කණ්‌ඩාමේ පළමු රට බවට ද පත් වේ. (ඉහත සඳහන් කළ විමෝචන ගණනය කිරීම්වලට ප්‍රංශයේ හා හංගේරියාවේ විමෝචන අයත් නො වේ).

මේ අනුව පැරිස්‌ ගිවිසුම ඉක්‌මනින් බලාත්මක තත්ත්වයට පත් වීම සඳහා වැඩි විමෝචන ප්‍රමාණයක්‌ නිකුත් කරන රටවල් එය අපරානුමත කිරීම වැදගත් වන බව පැහැදිලි ය. හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය අනුව ලෝකයේ පළමු තැන සිටින චීනය මේ වර්ෂයේ සැප්තැම්බර් මාසයට පෙර පැරිස්‌ ගිවිසුම අපරානුමත කිරීමට අපේක්‌ෂා කරන බව පවසා ඇත. එසේ ම එම ලයිස්‌තුවේ තෙවැනි තැන පසු වන ඉන්දියාව ද මේ වර්ෂය ඇතුළත පැරිස්‌ ගිවිසුම අපරානුමත කිරීමට කටයුතු කිරීමට යන බවක්‌ එරට අගමැතිවරයා පසුගිය දා ඇමෙරිකාවේ සිදු කළ සිය සංචාරය අතරතුර දී පැවසා තිබිණි. ඇමෙරිකාව ද මේ වර්ෂය ඇතුළත ගිවිසුම අපරානුමත කරනු ඇති බව ප්‍රකාශ වී තිබේ. (ඇමෙරිකානු විපක්‌ෂයේ ජනාධිපති අපේක්‌ෂකයා කර ඇති ප්‍රකාශවලට අනුව ඔහු ජයග්‍රහණය කළ හොත් පැරිස්‌ ගිවිසුමට යම් අභියෝගයක්‌ එල්ල විය හැකි වුව ද, ඇතැම් විචාරකයන් පෙන්වා දෙන පරිදි එපමණකින් පමණක්‌ ඇමෙරිකාවට මේ ප්‍රවණතාව ආපසු හැරවීමට නොහැකි ය).

සියල්ල යහපත් ව සිදු වුව හොත් මේ වසර අග දී හෝ බොහෝ විට ලබන 2017 දී පැරිස්‌ දේශගුණ ගිවිසුම බලාත්මක විය හැකි ය. එහෙත් "දේශගුණ සටනේ ඉදිරි මග මේ වන විට සක්‌සුදක්‌ සේ පැහැදිලි ය" යනුවෙන් පැවසීම උගහට ය. ලෝකයේ සියලු රටවල සහයෝගය පැරිස්‌ ගිවිසුම සාක්‌ෂාත් කරගැනීම සඳහා ලබාගත හැකි වේ නම් එය ලෝකයට යහපතක්‌ වනු ඇත. එහෙත් එහි මූලික හරි අරමුණු නිසි ආකාරයෙන් ඉටු කරගැනීමට තෙල් සමාගම් හා ඒවා මගින් හසුරුවනු ලබන දේශපාලන බලවේග ඉඩ ලබා දේ ද යන්න තවමත් ගැටලුවකි. අපට එසේ සිතෙන්නේ ලෝකයේ සිදු වන විවිධ වර්ධනයන් දෙස බලන විට ය.

ෆොසිල ඉන්ධන සමාගම්වල බලපෑම් හා අනාගතය

දියුණු රටවල දේශපාලනය සඳහා තෙල් සමාගම්වලට කළ හැකි බලපෑම් යනු අප බොහෝ කාලයක සිට සාකච්ඡාවට ලක්‌ කර ඇති කරුණකි. බ්‍රිතාන්‍යයේ පළ වන 'ද ගාඩියන්' පුවත්පත පසුගිය අප්‍රේල් මාසයේ දී පමණ වාර්තා කළ පුවතකින් දැක්‌වුණේ 2013 දී පමණ ලෝකයේ එක්‌ ප්‍රකට තෙල් සමාගමක්‌ විසින් එවන ලද එක්‌තරා ලිපියක්‌ හේතුවෙන් යුරෝපා සංගමය ඔවුන් පැනවීමට ගිය පරිසරය පිළිබඳ නීති අත්හැර දැමීමට හෝ දුබල කිරීමට හෝ ක්‍රියා කර ඇති බවයි. ඒ ලිපිය එක්‌තරා ආකාරයක තර්ජනයක්‌ එල්ල කර තිබේ. එහි සංක්‌ෂිප්ත අදහස වන්නේ යුරෝපා සංගමය ෆොසිල ඉන්ධන සඳහා බලපාන නීති දැඩි කිරීමට කටයුතු කළ හොත් හා පිරිසිදු බලශක්‌තිය අධික ලෙස ප්‍රවර්ධනය සඳහා කටයුතු කළ හොත් මහා පරිමාණ තෙල් සමාගමක්‌ වන එහි කටයුතු යුරෝපයෙන් ඉවතට ගෙන යැමට අදාළ සමාගම අදහස්‌ කරන බවයි. මෙසේ විරෝධයට ලක්‌ වූ කරුණු අතර, විදුලි බලාගාරවල දූෂණය අඩු කිරීම හා පුනර්ජනනය කළ හැකි බලශක්‌ති භාවිතය ඉහළ නැංවීමට නීති සැකසීම වැනි කරුණු වේ. මේ ලිපියේ බලපෑම කෙසේ වුව ද, යුරෝපා සංගමය ෆොසිල ඉන්ධන හා බලශක්‌ති අංශයේ විමෝචන සම්බන්ධ කටයුතුවල කිසියම් ආකාරයකට සෙමින් ක්‍රියාත්මක වන ස්‌වභාවයක්‌ මෑත කාලයේ දී දැකිය හැකි වූ බව පැහැදිලි ය. ඊට නීති දුර්වල කිරීම හෝ අත්හැර දැමීම වැනි කටයුතු ඇති බව එම පුවත්පත පවසයි.

පුවත්පත්වල හා ග්‍රීන්පීස්‌ වැනි සංවිධානවල හෙළිදරව් කිරීම් හා මැදිහත් වීම් නිසා පසුගිය වර්ෂයේ දී යුරෝපා සංගමය ගල්අගුරු පිළිබඳ ප්‍රමිති තීරණය හා සම්බන්ධව ඉන්ධන සමාගම් හා ඒවායේ නියෝජිතයන් ගේ මැදිහත්වීම් වළක්‌වාලීමට හැකියාව ලැබී තිබේ. මීට පෙර විවිධ රටවල නියෝජිත කණ්‌ඩායම්වලට එක්‌ ව සිටි එවැනි නියෝජිතයෝ දුර්වල දූෂක සීමා ඇති කිරීම සඳහා සැලකිය යුතු බලපෑමක්‌ ඇති කළ බව හෙළිදරව් වූයේ මෑතක දී ය.

මේ අතර පසුගිය සතියේ වාර්තා වූ පුවතකට අනුව ඇමෙරිකාවේ විශාලතම ගල්අගුරු සමාගමක්‌ වන පීබොඩි එනර්ජි (Peabody Energy) සමාගම විසින් දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව සැක මතු කරන හා පරිසර නීති නීතිවලට විරෝධය පළ කරන කණ්‌ඩායම් විස්‌සකට අධික ගණනකට අනුග්‍රහය දක්‌වා තිබේ. වෙළෙඳ ආයතනවල සිට බුද්ධි මණ්‌ඩල වැනි විවිධ ආකාරයේ කණ්‌ඩායම් ඇතුළත් වූ මේ අය පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත්තේ පසුගිය මාසයේ දී ගන්නා ලද අධිකරණ ක්‍රියාමාර්ගයක්‌ නිසා ය. මේ අතර බැරැක්‌ ඔබාමා ගේ හරිතාගාර වායු විමෝචන කපාහැරීමේ සැලසුම්වලට එරෙහි ව කටයුතු කළ සංවිධාන පවා වේ. සාමාන්‍යයෙන් සිදු වන ආකාරයට එරට දේශපාලන පක්‌ෂ දෙකට ම ආධාර කර ඇති මේ සමාගම ඉන්ධන සමාගම් වඩාත් ප්‍රිය කරන රිපබ්ලිකන් පක්‌ෂයට වැඩි ආධාර ප්‍රමාණයක්‌ ලබා දී ඇත. මෙවැනි කටයුතුවල යෙදෙන්නේ යෑයි මෙතෙක්‌ දැන නො සිටි සමාගමක්‌ වීම නිසා මේ පුවත එරට තුළ යම් සාකච්ඡාවකට ලක්‌ ව තිබුණේ එරට පරිසර ක්‍රියාකාරීන් පවා ඔවුන් ගෙන් එතරම් පුළුල් ආකාරයේ අරමුදල් සැපයීමක්‌ අපේක්‌ෂා කර නො තිබූ නිසා ය. මේ දක්‌වා එළි වී ඇති ලිපිලේඛනවලට අනුව මේ අරමුදල් සැපයීම් නිසා ඇමෙරිකාවේ පමණක්‌ නො ව ජගත් මට්‌ටමේ දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධ කටයුතුවලට බලපෑම් ඇති වී තිබෙන බව අනුමාන කෙරේ.

කෙසේ වෙතත්, මහා පරිමාණ ෆොසිල ඉන්ධන තෙල් සමාගම්වල අනාගතය පිළිබඳව කර්මාන්තයේ විශේෂඳයන් පිරිසක්‌ විසින් සිදු කරන ලද අධ්‍යයන වාර්තාවකට අනුව, සිය ව්‍යාපාර ආකෘතිය සම්පූර්ණයෙන් වෙනස්‌ නො කළ හොත් වසර 10ක්‌ ඇතුළත මේ සමාගම් කඩා වැටීමට ඉඩ තිබේ. විශේaෂයෙන් අද පවත්නා අඩු ඉන්ධන මිල, වර්ධනය වන දේශගුණ නීති රීති හා මේ සමාගම්වල

වැරැදි උපාය මාර්ග යන අභියෝග මේ තත්ත්වයට හේතු වී ඇත. ඒ අනුව අනාගත පැවැත්ම උදෙසා තෙල් සමාගම් සිය උපාය මාර්ග වෙනස්‌ කිරීම සඳහා කටයුතු කළ යුතු ය. ඒ සඳහා යෝජනා වී ඇති පියවර අතර, හරිත බලශක්‌තිය වෙත විවිධාංගීකරණය වීම, ඔවුන් ගේ මෙහෙයුම් අඩු කිරීම හා වෙනත් සමාගම් හා ඒකාබද්ධ වීම දක්‌වා තිබේ.

දියුණු රටවල ප්‍රතිපත්ති වර්ධනය වේ

මෑත කාලයේ බලාපොරොත්තු තැබිය හැකි වර්ධනයක්‌ දැකිය හැකි වූ එක්‌ අවස්‌ථාවක්‌ ලෙස G7 සමුළුව දැක්‌විය හැකි ය. එහි දී ඇති වූ එකගතාවකට අනුව, ෆොසිල ඉන්ධන සඳහා ආණ්‌ඩු ලබා දෙන අකාර්යක්‌ෂම සහනාධාර 2025 වර්ෂය වන විට අහෝසි කිරීමට කැප වන බවට එකග වී තිබේ. එසේ ම ඔවුන් ලෝකයේ සෙසු රටවලින් ඉල්ලා ඇත්තේ ද එවැනි ෆොසිල ඉන්ධන සහනාධාර අහෝසි කිරීම සඳහා ඔවුන් හා එක්‌ වන ලෙස ය.

පසුගිය දා ජපානයේ දී පවැති G7 සමුළුවේ නායකයන් ගේ ප්‍රකාශනයෙන් හරිතාගාර වායු විමෝචනවලින් තුනෙන් දෙකකට පමණ හේතු වන බලශක්‌ති නිෂ්පාදනයේ හා භාවිතයේ ඇති දායකත්වය දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීමට කරන බලපෑම තේරුම්ගත් බව සඳහන් වේ. මෙවැනි ප්‍රතිඥාවක්‌ එම රටවල සමුළුවක මුලින් ම ඇතුළත් වූයේ 2009 දී පමණ වන අතර, එහෙත් එදා එහි කිසිදු කාල රාමුවක්‌ අන්තර්ගත නො වී ය.

කෙසේ වෙතත් මේ කණ්‌ඩායමේ රටවල් අතර මේ සහනාධාර අඩු වීමක්‌ දැකිය හැකි වුව ද එය හැම රටකට ම පොදු කරුණක්‌ නො වේ. නිදසුනක්‌ ලෙස ගත හොත් මෑත කාලයේ දී බ්‍රිතාන්‍යය හා ජපානය තෙල් හා ගල් අගුරු සඳහා යම් යම් සහන ඉහළ නංවා තිබේ. කැනඩාව ද ස්‌වාභාවික වායු සම්බන්ධ ව එවැනි පියවරක්‌ මෑතක දී ගෙන තිබිණි. කෙසේ වෙතත් මේ නව එකගතාව අනුව 2025 වන විට රජයෙන් සහනාධාර ලබා දීම නවතා දැමීමට බදු සහන ද අයත් විය යුතු ය.

http://www.vidusara.com/2016/06/22/feature1.html

Monday, June 20, 2016

යුරෝපයේ අතීත සමාජ අර්බුද සඳහා හේතු වූ ගිනිකඳු විදාරණ හඳුනාගැනීම

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 18.05.2015, පිටුව 5 (Not available online)

Vidusara, 18.05.2015 - Identification of volcanic eruptions that caused social unrest in Europe


කෙටි කාලයක් ඇතුළත ලෝකයේ ඇති වූ ගිනිකඳු පිපිරීම් දෙකකින් නිකුත් වූ සල්ෆර් විමෝචවලින් ඇති වූ වලාවක් නිසා පොළොවට පතිත වන සූර්යාලෝකය අඩුවීම යුරෝපයේ 6වන සියවසේදී ඇති වූ සමාජ අර්බුද මාලාවක් සඳහා හේතු වූ බව පසුගියදා පළ වූ පර්යේෂණයකින් යෝජනා කර තිබේ. එය දේශගුණ විද්‍යාව, පුරාවිද්‍යාව හා ඉතිහාසය යන විෂය දැනුම යොදාගනිමින් සිදුකරන ලද අපූරු බහුවිෂයික අධ්‍යයනයකිනි.

රෝමයේ ජීවත් වූ බයිසැන්ටින් (Byzantine) ඉතිහාසඥයකු වූ ප්‍රොකෝපියස් වසර 536දී අහස වසාගත් ගුප්ත වූ වලාකුළක් පිළිබඳව සඳහන් කර තිබේ. ඒ වාර්තාව අනුව මේ නිසා සූර්යයාගේ ආලෝකය අඩු වී අඳුරුගතියක් (dim) ඇති වී තිබේ. සූර්යයාගේ දීප්තිය අඩුවී එය වසර පුරාම සඳ මෙන් වූ බව සඳහන් කර තිබේ. එය ඔහු සඳහන් කර ඇත්තේ අවසන් නොවන සූර්යග‍්‍රහණයක් හා සමානවය. එසේම, මේ වර්ෂයේ පමණ සිට දශකයක පමණ කාලයක් තිස්සේ උතුරු දිග යුරෝපයේ, උතුරු ඇමරිකාවේ බටහිර ප‍්‍රදේශයේ හා මොංගෝලියාවේ පැවැති ශීත සමයක් ගැනද රුක්වලලූ අධ්‍යයන මගින් අනාවරණය වී ඇත.

මේ කාලයට අයත් ඓතිහාසික වාර්තාවලට අනුව, ඉන්පසුව එළැඹුණු වර්ෂවලදී ඇති වී තිබෙන්නේ බෙහෙවින් විපත්තිදායක කාලයකි. වැවිලි භෝග පාලූ වූ අතර ඒ නිසා දරුණු සාගත ඇති විය. මේ පිළිබඳ ඓතිහාසික වාර්තා රැුසක් මධ්‍යධරණී ප‍්‍රදේශයෙන්, අයර්ලන්තයෙන් හා චීනයෙන් ලැබී ඇත. එසේම, මේ කාලයේදී උතුරුදිග යුරෝපයේ බොහෝ ප‍්‍රදේශවල සමාජ අර්බුද ඇති වී කිසියම් සමාජමය ව්‍යුහ බිඳවැටීම් සිදුව ඇත. නිදසුනක් ලෙස ස්කැන්ඩිනේවියානු සමාජයේ බිඳවැටීම දැක්විය හැකිය. ජස්ටීනියන් මහාමාරිය නමින් හඳුන්වන යුරෝපයේ පැතිර ගිය මහාමාරිය වසංගතය ඇති ඇති වූයේද වර්ෂ 541දීය. මේ සියලූ ව්‍යසන සඳහා පෙර කී ගුප්ත වලාව හේතු වූ බව අතීතයේ සිටි ශාස්ත‍්‍රඥයින් සාමාන්‍යයෙන් අනුමාන කළ අදහසකි.

මේ අකාරයෙන් සූර්යාලෝකයේ දීප්තිය අඩු වී අඳුරු සහිත බවක් ඇති වීමට හේතු වූ සිදුවීම් (global solar dimming) පිළිබඳව මෑතක් වනතුරු සාධක සපයා නොතිබිණි. දැන් මේ ගුප්ත වළාව ඇති වූයේ කෙසේද යන්න මේ වන විට පැහැදිලි කර තිබේ.

වලාව ඇති වීමේ රහස


ගිනිකඳු විදාරණවලින් නිකුත්වන සල්ෆේට් විමෝචන, වායුගෝලයේ ඉහළ පිහිටි ස්තරගෝලයේ (stratosphere) සාන්ද්‍රණය වී ඇති විට සූර්යාලෝකයේ දීප්තිය අඩු කිරීමට හේතු වන වලාවක් ලෙස ක‍්‍රියාකරන බව මෑත කාලයේදී සිදුකරන ලද පර්යේෂණවලින් පෙන්වාදී තිබේ. වර්ෂ 536න් පසුව ඇති වූ ගිනිකඳු විදාරණයක් නිසා මේ වලාව ඇති වූ බව අයිස් විඳුම්වලින් ලැබුණු සාධක මගින් මේ වන විට සනාථ වී ඇත.

ග‍්‍රීන්ලන්තයෙන් හා ඇන්ටාක්ටිකාවෙන් ලබා ගෙන ඇති අයිස් විඳුම්වලින් වර්ෂ හතරක පමණ කාල පරතරයක් සහිතව සල්ෆේට් අධික ලෙෂ තැන්පත්වී ඇති අවස්ථා දෙකක් පිළිබඳ සාධකලැබේ. එ් පළමු ගිනිකඳු විදාරණය ඇති වී තිබෙන්නේ වර්ෂ 536දී පමණ වන අතර, දෙවැන්න ඇති වී තිබෙන්නේ ඉන් වසර 4-5කට පමණ පසුව බව හඳුනාගත හැකිය. මේ යමහල් විදාරණ දැනට නොදන්නා ස්ථානවල සිදුව ඇත්තේ වර්ෂ 536 හා 540දී පමණ බව පැහැදිලිය.

රුක්වලලූ පිළිබඳ අධ්‍යයන මගින් හෙළි වී ඇති ආකාරයට වර්ෂ 536දී පැවතී ඇත්තේ ලෝකයේ පසුගිය වසර දෙදහසක කාලයේදී ඇති වූ වැඩිම ශීත දේශගුණවක් ඇති වර්ෂය බවයි. එසේම ඉන් පසුව ගත වූ දශකය (වර්ෂ 536-545) ශීත ස්වභාවය අධිකම දශකයද වේ. එහෙත් පෙර කී අයිස් විඳුම්වලින් හෙළිව ඇත්තේ මේ පිපිරීම් වඩා අඩු බරපතළතාවයක් ඇති ඒවා බවයි. නිදසුනක් ලෙස දක්වන්නේ නම්, මේ පිපිරීම් දෙකේ ගිනිකඳු නිසා ඇති වූ විකිරණ බලපෑම (radiative forcing) ගතහොත්, මේ ගිනිකඳු පිපිරීම්වල ප‍්‍රබලතාවය පිළිවෙලින් ලෝකයේ ඇති වූ 18 වැනි හා 5 වැනි ප‍්‍රබලතම පිපිරීම් වේ. මේ නොගැලපීම නිසා ඇති වන මතභේදකාරී තත්ත්වය විසඳීම සඳහා අප මාතෘකා කරගත් අධ්‍යයනයේදී කිසියම් උත්සාහයක් දරා ඇත.

නව ආකෘතියක් භාවිතය

මේ සඳහා ඔවුන් දියුණු කරන ලද විකිරණ බලපෑම් පිළිබඳ ආකෘතියක් උපයෝගී කරගෙන ඇත. එහි අවධානය යොමු කර ඇත්තේ ඓතිහාසික වාර්තාවල දැක්වෙන ආකාරයේ බලපෑමක් ඇතිකිරීමට නම් සල්ෆර් සාන්ද්‍රණය තිබිය යුත්තේ කුමන මට්ටම්වලදීද යන්නය. කොපමණ අළු ප‍්‍රමාණයක් වායුගෝලයට එක්වූයේද යන්න හා කොපමණ උසකට ඒවා ගමන් කළේද යන්නද මෙහිදී සොයා බලා ඇත. ඒ සඳහා ඓතිහාසිකව වාර්තා වී ඇති ගිනිකඳු විදාරණ හා සංසන්දනාත්මකව කරුණු සොයා බලා ඇත. අයිස් විඳුම්වලින් නොලැබෙන මේ තොරතුරු රැසක් ලබාගැනීමට ඔවුන්ට හැකියාව ලැබී ඇත්තේ මේ ආකෘතියෙනි.

මේ ගිනිකඳු පිපිරීම් සාමාන්‍ය ගිනි කඳු පිපිරීම් නොවේ. ඒවා පසුගිය වසර 1500ක පමණ කාලය ඇතුළත ලෝකයේ සිදු වූ ප‍්‍රබලතම ගිනිකඳු පිපිරීම් වේ. එ් නිසා ඇති වූ උෂ්ණත්වයේ අසාමාන්‍යතාව යුරෝපයේ බොහෝ ප‍්‍රදේශවලට සමාන ලෙස බලපා ඇත. එහෙත් මේ නිසා දකුණු දිග ප‍්‍රදේශවල කෘෂිකර්මයට එතරම් දැඩි බලපෑමත් ඇති නොවූ අතර, එය ඓතිහාසික වාර්තා හා සමානය. මේ අනුව උතුරුදිග යුරෝපයේ පැවැති සාමාන්‍යයෙන් සීමාස්ථ වූ කෘෂිකාර්මික සමාජයට මෙය දැඩි ලෙස බලපෑ බවක් පෙනේ. එක් දශකයක් ඇතුළත ඇති වූ භෝග වගා පාලූවීම් කිහිපයක් නිසා ඇති වූ තත්ත්වයේ බරපතළකම සිතැගැනීම අසීරු නොවේ. එය සංකීර්ණ සිදුවීමක් වූ කෘෂිකාර්මික හා සමාජයීය අර්බුදවලට ඍජු බලපෑමක් ඇති කළ බවට ඇති මතයට සහයෝගයක් මේ ආකෘතිය තුළින් ලැබේ.

මේ ආකෘතිය මගින් උක්ත ගිනිකඳු විදාරණ ඇතිව ඇත්තේ ලෝකයේ කවර පෙදෙසකදීද යන්න පවා කිව හැකි වීමයි. නිවර්තන කලාපයේ ඇතිවන ගිනිකඳු විදාරණයකදී නිකුත්වන සල්ෆර් විමෝචන සාමාන්‍යයෙන් ග‍්‍රීන්ලන්තයේ මෙන්ම ඇන්ටාක්ටිකාව වෙතද ගමන් කරයි. එහෙත්, උතුරු අර්ධගෝලයේ ඇති වන ගිනිකඳු විදාරණයකදී නිකුත්වන සල්ෆර් විමෝචන සාමාන්‍යයෙන් දැකිය හැක්කේ ග‍්‍රීන්ලන්තයේ පමණි. ඒ අනුව වර්ෂ 536 ගිනිකඳු විදාරණය උතුරු අර්ධගෝලයේද, දෙවැනි යමහල් පිපිරුම නිවර්තන කලාපයේ ඇති වූ බව යෝජනා කර ඇත.

එසේම මේ ආකෘතිය භාවිතයෙන් උක්ත ගිනිකඳු පිපිරීම්වල කාලය වඩා නිශ්චිතව පැවසීමටද හැකියාව ලැබී තිබේ. නිදසුනක් ලෙස ගතහොත්, වර්ෂ 536දී අදාළ වළාව ඇති වී ඇත්තේ මාර්තු මාසයේ අග බැවින් ගිනිකඳු පිපිරීම මාර්තු මාසයේ මුල පමණ ඇති වන්නට ඇතැයි පෙන්වාදී ඇත. අනෙක් අතට 540 වර්ෂයේ පමණ ඇති වූ නිවර්තන කලාපයේ සිදු වූ ගිනිකඳු විදාරණය ඇතැම් විට 539 වර්ෂයේ අග භාගයේදී වුවද ඇති වන්නට ඇතැයි පෙන්වාදී තිබේ.

උක්ත ගිනිකඳු විදාරණ දෙක ඇති වූ කාලය එකල යුරෝපයේ පැවැති පැවැති සමෘද්ධිමත් යුගයේ පරිහානිය ඇති වූ සමයත් අඳුරු යුගය (Dark Age) සේ හඳුන්වන සමාජයේ ඇති වූ පරිහානිය හා අරගල සමය අතර කාලය පෙන්නුම් කරන බවද මෙහිදී පැහැදිලි වී ඇත.

ගිනිකඳු විදාරණ නිසා මෙවැනි සිදුවීම්

ලෝකයට මෙවැනි විශාල බලපෑමක් ඇති කළ ගිනිකඳු විදාරණ පිළිබඳව වරින්වර වාර්තා වේ. අදින් වසර 74,000කට පමණ පෙර ඇති වූ ටෝබා විදාරණය මීට නිදසුන් වේ. මෑත වසර මිලියන දෙකක පමණ කාලය ඇතුළත සිදුවූ විශාලතම හා දරුණුතම පිපිරීම සේ සැලකෙන මේ ගිනිකඳු විදාරණය ‘මහා-යෝධ’ (mega-colossal) වර්ගයට අයත් පිපිරීමක් බව අනුමාන කෙරේ. ටෝබා ගිනිකන්ද පිහිටා තිබූ ප‍්‍රදේශයේ මේ පිපිරීමෙන් පසු විශාල විලක් ඇති වී තිබේ. ටෝබා විල ලෙස හැඳින්වෙන මේ විල කිලෝමීටර් 100ක දිගකින්ද, කිලෝමීටර් 30ක පළලකින්ද යුක්ත වේ. එය ලෝකයේ විශාලතම යමහල් විලද වේ. එය පිහිටා ඇත්තේ ඉන්දුනීසියාවේ සුමාත‍්‍රා දූපතේය.

මේ පිපිරීමේදී නිකුත්වූ යමහල් ද්‍රව්‍ය ප‍්‍රමාණය ඝන කිලෝමීටර් 2800ක් තරම්ය. මෑත ඉතිහාසයේ අප දන්නා ක‍්‍රැකටෝවා (1883) හා පිනාතුබෝ (1991) ගිනිකඳු පිපිරීම්වලදී පිටවූ යමහල් ද්‍රව්‍ය ප‍්‍රමාණය පිළිවෙලින් ඝන කිලෝමීටර් 21ක් හා 25ක් පමණ වන බැවින් ටෝබා විදාරණයේ ප‍්‍රබලතාවය පැහැදිලිය. පිපිරීමෙන් නිකුත් වූ අළු තට්ටුව දකුණු ආසියාවේදී සෙන්ටිමීටර් 25ක් පමණ ඝනකම විය. ගිනිකන්දට ආසන්නව පිහිටා තිබූ ප‍්‍රදේශවල මීට වඩා වැඩි ඝනකම අළු තට්ටුවක් තැන්පත් වී ඇත.

ටෝබා යමහල් විදාරණයේ ප‍්‍රතිඵල ලෙස වසර 6ත් 10ත් අතර කාලයක් පැතිර තිබූ යමහල් ශීත ඍතුවක් අතර, ඒ නිසා උෂ්ණත්වය සෙල්සියස් අංශක 3-5 අතර ප‍්‍රමාණයකින් අඩු වූ බව ගණන් බලා ඇත. මේ සිසිල් සමය වසර දහසක් පමණ කාලයක් පැවති බව පැවසේ. එහි බලපෑමට ලක් වූ ප‍්‍රදේශයේ විසූ මිනිසුන්ට හෝ මිනිසුන්ගේ පූර්වජයින්ට ඉන් සැලකිය යුතු බලපෑමක් ඇති වූ බව නිසැකය. ඉන් මිනිසුන් වඳවී නොගියද එ් වන විට සිටි මිනිසුන් අතරින් සැලකිය යුතු පිරිසක් මේ නිසා මිය යන්නට ඇති බවටද මතයක් ඇත. (මූලාශ‍්‍රය: Climate Change, DOI: 10.1007/s1058401616487)