Monday, September 19, 2016

දේශගුණ වෙනස්‌ වීම, ආහාර නිෂ්පාදනය හා සෞඛ්‍යය

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 03.08.2016

(Vidusara, 03.08.2016, Climate Change, Food production and Health)

http://www.vidusara.com/2016/08/03/feature1.html

ආහාර නිෂ්පාදනය හා දේශගුණය එකිනෙක හා බොහෝ සේ සම්බන්ධ වී ඇති අංශ දෙකකි. එයට හේතුව වන්නේ කෘෂිකාර්මික භෝග වගාවට බලපාන සාධක අතරින් දේශගුණය යනු වැදගත් සාධකයක්‌ වන නිසා ය. අද ලෝකය හමුවේ ඇති බරපතළ පාරිසරික ගැටලුවක්‌ වන දේශගුණ වෙනස්‌ වීම මෙතෙක්‌ පැවැති පාරිසරික තත්ත්වයන් වෙනස්‌ කරමින් ඇති බව පැහැදිලි ය. ඒ අනුව ලෝකයේ කෘෂිකර්මයට හා ඒ නිසා ම ආහාර නිෂ්පාදනයට මෙය කිසියම් බලපෑමක්‌ ඇති කරයි.

මෙය වැදගත් වන්නේ ලෝකය මේ වන විට ද ආහාර නිෂ්පාදනය පිළිබඳ අභියෝගයකට මුහුණ දී ඇති නිසා ය. ලෝකයේ ජනගහනය තවදුරටත් වර්ධනය වෙමින් පවතියි. ලෝකයේ ජනගහන වර්ධන වේගය අතීතයට සාපේක්‌ෂව අඩු වී ඇති බව සත්‍යයකි. නිදසුනක්‌ ලෙස ගත හොත් 1995 වර්ෂයේ දී 1.55%ක්‌ පමණ වූ ලෝකයේ ජනගහන වර්ධන වේගය 2015 වන විට 1.18% දක්‌වා මේ වන විට අඩු වී තිබේ. එහෙත් ලෝක ජනගහනය තවමත් ඉහළ යමින් ඇති අතර, එය 2050 වන විට බිලියන 9.7 දක්‌වා ද, 2100 පමණ වන විට බිලියන 11.2ක්‌ පමණ දක්‌වා ද ඉහළ යනු ඇති බව මේ පිළිබඳව ඇති පුරෝකථන අනුව පෙනේ.

මේ ඉහළ යන ජනගහනය සඳහා අවශ්‍ය තරම් වන ආහාර සැපයුමක්‌ ලබා දීම ලෝකය හමුවේ ඇති අභියෝගයයි. විශේෂයෙන් භූමිය හා ජලය වැනි සම්පත් සීමාසහිත වූ තත්ත්වයක්‌ හමුවේ අස්‌වැන්න ඉහළ නැංවීම සැලකිය යුතු අභියෝගයකි. එවැනි පසුබිමක දේශගුණ වෙනස්‌ වීමේ ප්‍රතිඵලයක්‌ ලෙසින් ඇති වන බලපෑම හේතුවෙන් තත්ත්වය තවදුරටත් බරපතළ විය හැකි ය. මේ ලිපිය ඒ පිළිබඳ විමසුමකි.

කෘෂිකර්මයට හොඳ ද? නරක ද?


පොදුවේ ගත් විට දේශගුණ වෙනස්‌ වීම කෘෂිකර්මයට හා ආහාර නිෂ්පාදනයට ඇති කරන බලපෑම තරමක්‌ සංකීර්ණ කරුණකි. ඉහළ කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණයක්‌ පැවතීම නිසා භෝග ශාකවල අස්‌වැන්න ඉහළ යා හැකි ය. ඒ ප්‍රභාසංශ්ලේෂණ වේගය ඉහළ යැම නිසා ය. එහෙත් අධික උෂ්ණත්වය නිසා ඇතැම් ශාකවල අස්‌වැන්නට හානිකර බලපෑමක්‌ ද ඇති විය හැකි බව මෑත කාලයේ දී සිදු කරන ලද අධ්‍යයනවලින් පෙන්වා දී ඇත.

අනෙක්‌ අතට දේශගුණ වෙනස්‌ වීම නිසා ඇති විය හැකි ආන්තික කාලගුණ තත්ත්ව නිසා භෝග වගාබිම්වලට විශාල ලෙසින් හානි සිදු විය හැකි ය. ඒ නිසා භෝග අස්‌වනු පාලු වීමෙන් ආහාර නිෂ්පාදනය අඩාළ වීම අතීතයට වඩා සුලබ විය හැකි ය. නිදසුනක්‌ ලෙස ගත හොත් ගංවතුර හා නියග වැනි තත්ත්ව අතීතයට වඩා සුලබ වීමත් සමග අස්‌වනු පාලු වීම සඳහා ඇති අවස්‌ථා වැඩි වේ. (මෑත කාලයේ දී ලෝකයේ රටවල් ගණනාවක එවැනි තත්ත්ව ඇති වූ බව වාර්තා විය) එවැනි අවස්‌ථා නිවර්තන කලාපීය රටවල වඩාත් සුලබව දැකිය හැකි ය. අනෙක්‌ අතට ඇතැම් පළිබෝධයන්, වල් පැළෑටි ආදිය වඩා උණුසුම් තත්ත්ව යටතේ වඩාත් හොඳින් ව්‍යාප්ත වීම නිසා ද භෝග අස්‌වනු හානියට පත් වීම නිසා ද ආහාර නිෂ්පාදනයේ යම් අඩාළ වීමක්‌ ඇති විය හැකි ය.

මේ අතර මෑතක දී වාර්තා වූ පර්යේෂණයකට අනුව ඉහළ යන කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණයෙන් ලැබෙන තවත් අතුරු ඵලයක්‌ ගැන වාර්තා වේ. ප්‍රභාසංශ්ලේෂණය සඳහා කාබන් ඩයොක්‌සයිඩ් වායුව අවශ්‍ය වන අතර ශාක පත්‍රවල පූටිකා විවර හොඳින් විවෘත වී කාබන් ඩයොක්‌සයිඩ් ශාක පත්‍රය තුළට ලබාගැනේa. එහෙත් වායුගෝලයේ අධික කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණයක්‌ ඇති විට මේ පූටිකා එතරම් විවෘත වීම අවශ්‍ය නො වේ. මේ නිසා පූටිකා හරහා සිදු වන උත්ස්‌වේදනය මගින් ශාක පත්‍ර මගින් ජලය හානි වීම ද අඩු වේ. මේ අනුව අධික කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණයක්‌ ඇති පරිසරයක දී ශාකවල ජල භාවිතය කාර්යක්‌ෂම වන බව මේ පර්යේෂණය මගින් අනාවරණය වී ඇත. මේ අනුව දේශගුණ වෙනස්‌ වීමත් සමග ඇති වන ජල ආතතියට මුහුණ දීමට හැකියාවක්‌ ශාකවලට මින් ලැබේ. (Nature Climate Change, DOI: 10.1038/nclimate2995)

කෘෂිකර්මය හා ආහාර නිෂ්පාදනය


කෙසේ වෙතත් විද්‍යාත්මක පර්යේෂණ මත පදනම් ව, 2014 වර්ෂයේ දී නිකුත් වූ දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්‌ඩලයේ (IPCC) පස්‌ වැනි දේශගුණ ඇගැයීම් වාර්තාවට අනුව දේශගුණ වෙනස්‌ වීම කෘෂිකර්මය සඳහා බලපාන ආකාරය අනුව එය ආහාර නිෂ්පාදනය සඳහා බලපාන්නේ කෙසේ ද යන්න මෙසේ සැකෙවින් දැක්‌විය හැකි ය.

පොදුවේ ගත් විට දේශගුණ වෙනස්‌ වීම නිසා ඇති විය හැකි නිෂේධනීය බලපෑම් සාධනීය බලපෑම්වලට වඩා අධික ය. ලෝකයේ ප්‍රධාන භෝග තුනක්‌ වන තිරිඟූ, වී හා ඉරිඟු යන භෝග අස්‌වනු සම්බන්ධව ගත හොත්, නිවර්තන හා සෞම්‍ය කලාපයේ දී ඇති වන බව දක්‌වා ඇති නිශේධනීය බලපෑම් සුබවාදී බලපෑම්වලට වඩා සුලබ වනු ඇත. මේ භෝග හා සම්බන්ධ අස්‌වැන්න පිළිබඳ ගැටලු 2030 වර්ෂය පමණ පටන් ඇති විය හැකි බව පෙන්වා දී ඇත. ඒ අනුව භෝග අස්‌වැන්න දශකයකට 2%ක පමණ ප්‍රමාණයකින් අඩු වීමට ඉඩක්‌ තිබේ. සාධනීය බලපෑම් යෑයි සඳහන් වන බලපෑම් දැකිය හැක්‌කේ ඇතැම් ඉහළ අක්‌ෂාංෂ කලාපවල හෙවත්, සෞම්‍ය කලාපීය ප්‍රදේශවලට වන්නට ය. එහෙත් මේ ප්‍රදේශවල පවා අහිතකර බලපෑම් ඇති නො වන්නේ නො වේ.

භෝග නිෂ්පාදනයේ දී පමණක්‌ නො ව ආහාර නිෂ්පාදනයට අදාළ වෙනත් අංශවලට ද දේශගුණය වෙනස්‌ වීමෙන් බලපෑම් ඇති විය හැකි ය. මත්ස්‍ය නිෂ්පාදනය එවැනි එක්‌ අංශයකි. ලෝකයේ ධීවර කර්මාන්තය සඳහා වැදගත් වන මත්ස්‍ය විශේෂ ගණනාවක්‌ මේ වන විට ද ධ්‍රැව ප්‍රදේශවලට සංක්‍රමණය වෙමින් ඇති අතර, නිවර්තන කලාපීය ප්‍රදේශවල මත්ස්‍ය අස්‌වැන්න අඩු වෙමින් පවතී. මේ සිදුවීම් දෙකට ම සාගරයේ ඇති වී තිබෙන වෙනස්‌වීම්වල යම් බලපෑමක්‌ ඇති බව පිළිගැනේ. එසේ ම පශු පාලනය සඳහා ද දේශගුණ වෙනස්‌ වීම නිසා සැලකිය යුතු බලපෑමක්‌ ඇති වන බව පැහැදිලි ය. නියගය, තාප ප්‍රවාහ මෙන්ම ගංවතුර වැනි ආන්තික දේශගුණික තත්ත්ව සත්ත්ව පාලනය සඳහා සීමාකාරී ලෙස බලපෑ හැකි කරුණු අතර වේ. මේ සියල්ල ලෝකයේ එක්‌ එක්‌ ප්‍රදේශවලට වෙනස්‌ ආකාරයෙන් බලපෑම් කරන ආකාරයක්‌ දැකගත හැකි ය.

සෞඛ්‍යය කෙරෙහි බලපෑම


කෙසේ වෙතත් භෝග නිෂ්පාදනයට ඇති වන බලපෑම හේතුවෙන් ආහාර නිෂ්පාදනයටත් ඒ නිසා මිනිසුන් ගේ පෝෂණයට හා සෞඛ්‍යයටත් ඇති විය හැකි බලපෑම සම්බන්ධව ඇති වී ඇත්තේ අඩු අවධානයකි. (වෙනත් ආකාරවලින් සෞඛ්‍යයට එය බලපාන ආකාරය පිළිබඳව වැඩි සාකච්ඡාවක්‌ සිදු වී තිබේ.) මේ සම්බන්ධව අවධානය යොමු කරමින් නිකුත් වී ඇති අධ්‍යයනයක්‌ මේ වසර මුල් භාගයේ දී The Lancet සගරාවේ පළ විය. දේශගුණ වෙනස්‌ වීමේ බලපෑම හේතුවෙන් ඇති වන භෝග ඵලදායකත්වය අඩු වීමෙන් මිනිසුන් ගේ ආහාර වේලේ ඇති වන වෙනස්‌කම් ගැන අදහසක්‌ ඉන් ලබාගත හැකි ය.

ආකෘතික අධ්‍යයනයක්‌ වන මේ පර්යේෂණයට අනුව ප්‍රක්‌ෂේපණය කර ඇති අනාගත ආහාර සුලබතාවෙන් තුනෙන් එකක්‌ පමණ ප්‍රමාණයක්‌ අඩු කිරීමට දේශගුණ වෙනස්‌ වීම හේතු විය හැකි ය. මේ අනුව ඒක පුද්ගල ආහාර සුලබතාව 3.2%කින් ද, පලතුරු හා එළවළු පරිභෝජනය 4%කින් ද, මස්‌ පරිභෝජනය 0.7%කින් ද අඩු වීමේ අවදානමක්‌ පවතී. ඒවැනි තත්ත්වයක්‌ නිසා ඇති වන පෝෂණ ඌනතා හා ශරීරයේ බර පිළිබඳ ගැටලු වැනි කරුණු නිසා ලෝකය පුරා වැඩිහිටියන් අවම වශයෙන් 314,000ක්‌ හා උපරිම වශයෙන් 736,000ක්‌ අතර පිරිසක්‌ 2050 වර්ෂය වන විට මිය යා හැකි බව එම අධ්‍යයනය මගින් ගණන් බලා තිබේ. එහි සාමාන්‍යය දැක්‌වෙන්නේ 529,000ක්‌ පමණ පිරිසක්‌ ලෙස ය. මේ පිරිස ගේ මරණ දේශගුණ වෙනස්‌ වීම හා සම්බන්ධයක්‌ ඇති මරණ සේ දැක්‌වේ. මේ සංඛ්‍යාව වැදගත් වන්නේ මෑතක දී නිකුත් වූ ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවකට අනුව 2050 වර්ෂය වන විට අඩු පෝෂණය නිසා සිදු විය හැකි මරණ ගණන ගණන් බලා තිබුණේ 85,000ක්‌ පමණ ලෙස නිසා ය.

මෙසේ ඇති විය හැකි මරණ අතරින් වැඩි ප්‍රමාණයක්‌ ඇති විය හැක්‌කේ බටහිර පැසිµssක්‌ හා ගිනිකොන ආසියාතික කලාපයේ රටවල බව ද පෙන්වා දී ඇත. මේ අතරින් වැඩි ප්‍රමාණයක්‌ අඩු හා මධ්‍ය ආදායම් රටවල ඇති වන අතර, සමස්‌ත මරණ ගණනින් හතරෙන් තුනක්‌ පමණ ම ඇති විය හැක්‌කේ චීනයේ හා ඉන්දියාවේ විය හැකි වීම ද විශේෂ සිදුවීමකි. දේශගුණ අවදානම වැඩි වශයෙන් ඇත්තේ දියුණු වන රටවලට බව යළිත් තහවුරු වීමක්‌ ලෙස මෙය සැලකිය හැකි ය. අනෙක්‌ අතට මෙමගින් පැවසෙන අවදානම නිවැරැදි නම්, එය කල් තබා වටහාගෙන අවශ්‍ය පියවර ගැනීම අදාළ රටවල වගකීම වේ. දේශගුණ වෙනස්‌ වීම නිසා ලෝක ආහාර නිෂ්පාදනයට ඇති විය හැකි බලපෑමේ බරපතළකම මේ අධ්‍යයනය මගින් පෙන්වා දෙයි. (මූලාශ්‍රය( The Lancet, DOI: 10.1016/S0140-6736(15)01156-3)

http://www.vidusara.com/2016/08/03/feature1.html

No comments:

Post a Comment