Monday, June 20, 2016

යුරෝපයේ අතීත සමාජ අර්බුද සඳහා හේතු වූ ගිනිකඳු විදාරණ හඳුනාගැනීම

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 18.05.2015, පිටුව 5 (Not available online)

Vidusara, 18.05.2015 - Identification of volcanic eruptions that caused social unrest in Europe


කෙටි කාලයක් ඇතුළත ලෝකයේ ඇති වූ ගිනිකඳු පිපිරීම් දෙකකින් නිකුත් වූ සල්ෆර් විමෝචවලින් ඇති වූ වලාවක් නිසා පොළොවට පතිත වන සූර්යාලෝකය අඩුවීම යුරෝපයේ 6වන සියවසේදී ඇති වූ සමාජ අර්බුද මාලාවක් සඳහා හේතු වූ බව පසුගියදා පළ වූ පර්යේෂණයකින් යෝජනා කර තිබේ. එය දේශගුණ විද්‍යාව, පුරාවිද්‍යාව හා ඉතිහාසය යන විෂය දැනුම යොදාගනිමින් සිදුකරන ලද අපූරු බහුවිෂයික අධ්‍යයනයකිනි.

රෝමයේ ජීවත් වූ බයිසැන්ටින් (Byzantine) ඉතිහාසඥයකු වූ ප්‍රොකෝපියස් වසර 536දී අහස වසාගත් ගුප්ත වූ වලාකුළක් පිළිබඳව සඳහන් කර තිබේ. ඒ වාර්තාව අනුව මේ නිසා සූර්යයාගේ ආලෝකය අඩු වී අඳුරුගතියක් (dim) ඇති වී තිබේ. සූර්යයාගේ දීප්තිය අඩුවී එය වසර පුරාම සඳ මෙන් වූ බව සඳහන් කර තිබේ. එය ඔහු සඳහන් කර ඇත්තේ අවසන් නොවන සූර්යග‍්‍රහණයක් හා සමානවය. එසේම, මේ වර්ෂයේ පමණ සිට දශකයක පමණ කාලයක් තිස්සේ උතුරු දිග යුරෝපයේ, උතුරු ඇමරිකාවේ බටහිර ප‍්‍රදේශයේ හා මොංගෝලියාවේ පැවැති ශීත සමයක් ගැනද රුක්වලලූ අධ්‍යයන මගින් අනාවරණය වී ඇත.

මේ කාලයට අයත් ඓතිහාසික වාර්තාවලට අනුව, ඉන්පසුව එළැඹුණු වර්ෂවලදී ඇති වී තිබෙන්නේ බෙහෙවින් විපත්තිදායක කාලයකි. වැවිලි භෝග පාලූ වූ අතර ඒ නිසා දරුණු සාගත ඇති විය. මේ පිළිබඳ ඓතිහාසික වාර්තා රැුසක් මධ්‍යධරණී ප‍්‍රදේශයෙන්, අයර්ලන්තයෙන් හා චීනයෙන් ලැබී ඇත. එසේම, මේ කාලයේදී උතුරුදිග යුරෝපයේ බොහෝ ප‍්‍රදේශවල සමාජ අර්බුද ඇති වී කිසියම් සමාජමය ව්‍යුහ බිඳවැටීම් සිදුව ඇත. නිදසුනක් ලෙස ස්කැන්ඩිනේවියානු සමාජයේ බිඳවැටීම දැක්විය හැකිය. ජස්ටීනියන් මහාමාරිය නමින් හඳුන්වන යුරෝපයේ පැතිර ගිය මහාමාරිය වසංගතය ඇති ඇති වූයේද වර්ෂ 541දීය. මේ සියලූ ව්‍යසන සඳහා පෙර කී ගුප්ත වලාව හේතු වූ බව අතීතයේ සිටි ශාස්ත‍්‍රඥයින් සාමාන්‍යයෙන් අනුමාන කළ අදහසකි.

මේ අකාරයෙන් සූර්යාලෝකයේ දීප්තිය අඩු වී අඳුරු සහිත බවක් ඇති වීමට හේතු වූ සිදුවීම් (global solar dimming) පිළිබඳව මෑතක් වනතුරු සාධක සපයා නොතිබිණි. දැන් මේ ගුප්ත වළාව ඇති වූයේ කෙසේද යන්න මේ වන විට පැහැදිලි කර තිබේ.

වලාව ඇති වීමේ රහස


ගිනිකඳු විදාරණවලින් නිකුත්වන සල්ෆේට් විමෝචන, වායුගෝලයේ ඉහළ පිහිටි ස්තරගෝලයේ (stratosphere) සාන්ද්‍රණය වී ඇති විට සූර්යාලෝකයේ දීප්තිය අඩු කිරීමට හේතු වන වලාවක් ලෙස ක‍්‍රියාකරන බව මෑත කාලයේදී සිදුකරන ලද පර්යේෂණවලින් පෙන්වාදී තිබේ. වර්ෂ 536න් පසුව ඇති වූ ගිනිකඳු විදාරණයක් නිසා මේ වලාව ඇති වූ බව අයිස් විඳුම්වලින් ලැබුණු සාධක මගින් මේ වන විට සනාථ වී ඇත.

ග‍්‍රීන්ලන්තයෙන් හා ඇන්ටාක්ටිකාවෙන් ලබා ගෙන ඇති අයිස් විඳුම්වලින් වර්ෂ හතරක පමණ කාල පරතරයක් සහිතව සල්ෆේට් අධික ලෙෂ තැන්පත්වී ඇති අවස්ථා දෙකක් පිළිබඳ සාධකලැබේ. එ් පළමු ගිනිකඳු විදාරණය ඇති වී තිබෙන්නේ වර්ෂ 536දී පමණ වන අතර, දෙවැන්න ඇති වී තිබෙන්නේ ඉන් වසර 4-5කට පමණ පසුව බව හඳුනාගත හැකිය. මේ යමහල් විදාරණ දැනට නොදන්නා ස්ථානවල සිදුව ඇත්තේ වර්ෂ 536 හා 540දී පමණ බව පැහැදිලිය.

රුක්වලලූ පිළිබඳ අධ්‍යයන මගින් හෙළි වී ඇති ආකාරයට වර්ෂ 536දී පැවතී ඇත්තේ ලෝකයේ පසුගිය වසර දෙදහසක කාලයේදී ඇති වූ වැඩිම ශීත දේශගුණවක් ඇති වර්ෂය බවයි. එසේම ඉන් පසුව ගත වූ දශකය (වර්ෂ 536-545) ශීත ස්වභාවය අධිකම දශකයද වේ. එහෙත් පෙර කී අයිස් විඳුම්වලින් හෙළිව ඇත්තේ මේ පිපිරීම් වඩා අඩු බරපතළතාවයක් ඇති ඒවා බවයි. නිදසුනක් ලෙස දක්වන්නේ නම්, මේ පිපිරීම් දෙකේ ගිනිකඳු නිසා ඇති වූ විකිරණ බලපෑම (radiative forcing) ගතහොත්, මේ ගිනිකඳු පිපිරීම්වල ප‍්‍රබලතාවය පිළිවෙලින් ලෝකයේ ඇති වූ 18 වැනි හා 5 වැනි ප‍්‍රබලතම පිපිරීම් වේ. මේ නොගැලපීම නිසා ඇති වන මතභේදකාරී තත්ත්වය විසඳීම සඳහා අප මාතෘකා කරගත් අධ්‍යයනයේදී කිසියම් උත්සාහයක් දරා ඇත.

නව ආකෘතියක් භාවිතය

මේ සඳහා ඔවුන් දියුණු කරන ලද විකිරණ බලපෑම් පිළිබඳ ආකෘතියක් උපයෝගී කරගෙන ඇත. එහි අවධානය යොමු කර ඇත්තේ ඓතිහාසික වාර්තාවල දැක්වෙන ආකාරයේ බලපෑමක් ඇතිකිරීමට නම් සල්ෆර් සාන්ද්‍රණය තිබිය යුත්තේ කුමන මට්ටම්වලදීද යන්නය. කොපමණ අළු ප‍්‍රමාණයක් වායුගෝලයට එක්වූයේද යන්න හා කොපමණ උසකට ඒවා ගමන් කළේද යන්නද මෙහිදී සොයා බලා ඇත. ඒ සඳහා ඓතිහාසිකව වාර්තා වී ඇති ගිනිකඳු විදාරණ හා සංසන්දනාත්මකව කරුණු සොයා බලා ඇත. අයිස් විඳුම්වලින් නොලැබෙන මේ තොරතුරු රැසක් ලබාගැනීමට ඔවුන්ට හැකියාව ලැබී ඇත්තේ මේ ආකෘතියෙනි.

මේ ගිනිකඳු පිපිරීම් සාමාන්‍ය ගිනි කඳු පිපිරීම් නොවේ. ඒවා පසුගිය වසර 1500ක පමණ කාලය ඇතුළත ලෝකයේ සිදු වූ ප‍්‍රබලතම ගිනිකඳු පිපිරීම් වේ. එ් නිසා ඇති වූ උෂ්ණත්වයේ අසාමාන්‍යතාව යුරෝපයේ බොහෝ ප‍්‍රදේශවලට සමාන ලෙස බලපා ඇත. එහෙත් මේ නිසා දකුණු දිග ප‍්‍රදේශවල කෘෂිකර්මයට එතරම් දැඩි බලපෑමත් ඇති නොවූ අතර, එය ඓතිහාසික වාර්තා හා සමානය. මේ අනුව උතුරුදිග යුරෝපයේ පැවැති සාමාන්‍යයෙන් සීමාස්ථ වූ කෘෂිකාර්මික සමාජයට මෙය දැඩි ලෙස බලපෑ බවක් පෙනේ. එක් දශකයක් ඇතුළත ඇති වූ භෝග වගා පාලූවීම් කිහිපයක් නිසා ඇති වූ තත්ත්වයේ බරපතළකම සිතැගැනීම අසීරු නොවේ. එය සංකීර්ණ සිදුවීමක් වූ කෘෂිකාර්මික හා සමාජයීය අර්බුදවලට ඍජු බලපෑමක් ඇති කළ බවට ඇති මතයට සහයෝගයක් මේ ආකෘතිය තුළින් ලැබේ.

මේ ආකෘතිය මගින් උක්ත ගිනිකඳු විදාරණ ඇතිව ඇත්තේ ලෝකයේ කවර පෙදෙසකදීද යන්න පවා කිව හැකි වීමයි. නිවර්තන කලාපයේ ඇතිවන ගිනිකඳු විදාරණයකදී නිකුත්වන සල්ෆර් විමෝචන සාමාන්‍යයෙන් ග‍්‍රීන්ලන්තයේ මෙන්ම ඇන්ටාක්ටිකාව වෙතද ගමන් කරයි. එහෙත්, උතුරු අර්ධගෝලයේ ඇති වන ගිනිකඳු විදාරණයකදී නිකුත්වන සල්ෆර් විමෝචන සාමාන්‍යයෙන් දැකිය හැක්කේ ග‍්‍රීන්ලන්තයේ පමණි. ඒ අනුව වර්ෂ 536 ගිනිකඳු විදාරණය උතුරු අර්ධගෝලයේද, දෙවැනි යමහල් පිපිරුම නිවර්තන කලාපයේ ඇති වූ බව යෝජනා කර ඇත.

එසේම මේ ආකෘතිය භාවිතයෙන් උක්ත ගිනිකඳු පිපිරීම්වල කාලය වඩා නිශ්චිතව පැවසීමටද හැකියාව ලැබී තිබේ. නිදසුනක් ලෙස ගතහොත්, වර්ෂ 536දී අදාළ වළාව ඇති වී ඇත්තේ මාර්තු මාසයේ අග බැවින් ගිනිකඳු පිපිරීම මාර්තු මාසයේ මුල පමණ ඇති වන්නට ඇතැයි පෙන්වාදී ඇත. අනෙක් අතට 540 වර්ෂයේ පමණ ඇති වූ නිවර්තන කලාපයේ සිදු වූ ගිනිකඳු විදාරණය ඇතැම් විට 539 වර්ෂයේ අග භාගයේදී වුවද ඇති වන්නට ඇතැයි පෙන්වාදී තිබේ.

උක්ත ගිනිකඳු විදාරණ දෙක ඇති වූ කාලය එකල යුරෝපයේ පැවැති පැවැති සමෘද්ධිමත් යුගයේ පරිහානිය ඇති වූ සමයත් අඳුරු යුගය (Dark Age) සේ හඳුන්වන සමාජයේ ඇති වූ පරිහානිය හා අරගල සමය අතර කාලය පෙන්නුම් කරන බවද මෙහිදී පැහැදිලි වී ඇත.

ගිනිකඳු විදාරණ නිසා මෙවැනි සිදුවීම්

ලෝකයට මෙවැනි විශාල බලපෑමක් ඇති කළ ගිනිකඳු විදාරණ පිළිබඳව වරින්වර වාර්තා වේ. අදින් වසර 74,000කට පමණ පෙර ඇති වූ ටෝබා විදාරණය මීට නිදසුන් වේ. මෑත වසර මිලියන දෙකක පමණ කාලය ඇතුළත සිදුවූ විශාලතම හා දරුණුතම පිපිරීම සේ සැලකෙන මේ ගිනිකඳු විදාරණය ‘මහා-යෝධ’ (mega-colossal) වර්ගයට අයත් පිපිරීමක් බව අනුමාන කෙරේ. ටෝබා ගිනිකන්ද පිහිටා තිබූ ප‍්‍රදේශයේ මේ පිපිරීමෙන් පසු විශාල විලක් ඇති වී තිබේ. ටෝබා විල ලෙස හැඳින්වෙන මේ විල කිලෝමීටර් 100ක දිගකින්ද, කිලෝමීටර් 30ක පළලකින්ද යුක්ත වේ. එය ලෝකයේ විශාලතම යමහල් විලද වේ. එය පිහිටා ඇත්තේ ඉන්දුනීසියාවේ සුමාත‍්‍රා දූපතේය.

මේ පිපිරීමේදී නිකුත්වූ යමහල් ද්‍රව්‍ය ප‍්‍රමාණය ඝන කිලෝමීටර් 2800ක් තරම්ය. මෑත ඉතිහාසයේ අප දන්නා ක‍්‍රැකටෝවා (1883) හා පිනාතුබෝ (1991) ගිනිකඳු පිපිරීම්වලදී පිටවූ යමහල් ද්‍රව්‍ය ප‍්‍රමාණය පිළිවෙලින් ඝන කිලෝමීටර් 21ක් හා 25ක් පමණ වන බැවින් ටෝබා විදාරණයේ ප‍්‍රබලතාවය පැහැදිලිය. පිපිරීමෙන් නිකුත් වූ අළු තට්ටුව දකුණු ආසියාවේදී සෙන්ටිමීටර් 25ක් පමණ ඝනකම විය. ගිනිකන්දට ආසන්නව පිහිටා තිබූ ප‍්‍රදේශවල මීට වඩා වැඩි ඝනකම අළු තට්ටුවක් තැන්පත් වී ඇත.

ටෝබා යමහල් විදාරණයේ ප‍්‍රතිඵල ලෙස වසර 6ත් 10ත් අතර කාලයක් පැතිර තිබූ යමහල් ශීත ඍතුවක් අතර, ඒ නිසා උෂ්ණත්වය සෙල්සියස් අංශක 3-5 අතර ප‍්‍රමාණයකින් අඩු වූ බව ගණන් බලා ඇත. මේ සිසිල් සමය වසර දහසක් පමණ කාලයක් පැවති බව පැවසේ. එහි බලපෑමට ලක් වූ ප‍්‍රදේශයේ විසූ මිනිසුන්ට හෝ මිනිසුන්ගේ පූර්වජයින්ට ඉන් සැලකිය යුතු බලපෑමක් ඇති වූ බව නිසැකය. ඉන් මිනිසුන් වඳවී නොගියද එ් වන විට සිටි මිනිසුන් අතරින් සැලකිය යුතු පිරිසක් මේ නිසා මිය යන්නට ඇති බවටද මතයක් ඇත. (මූලාශ‍්‍රය: Climate Change, DOI: 10.1007/s1058401616487)

No comments:

Post a Comment