Friday, June 10, 2016

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ආරම්භය තවත් ඈතට යයි

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 08.06.2016, පි. 5 (Vidusara - Origin of the Indus Valley Civilization is older than thought)

Vidusara link - http://www.vidusara.com/2016/06/08/feature1.html





ඉන්දු නිම්න ශිෂ්ටාචාරය හෙවත් හරප්පා ශිෂ්ටාචාරය දකුණු ආසියාවේ පැවැති පැරැණි ම නාගරික ශිෂ්ටාචාරයකි. ඉන්දු ගංගා නිම්නයේ මෙන්ම, මේ වන විට සිඳී ගොස්‌ ඇති සරස්‌වතී ගංගාව යෑයි සැක කෙරෙන ගග්ගර්-හක්‌රා ගංගා නිම්නයේ ද ස්‌ථාන රාශියකින් මේ ශිෂ්ටාචාරය පිළිබඳ සාධක ලැබී ඇත. වර්තමාන පාකිස්‌තානයේ පිහිටා ඇති හරප්පා, මොහෙන්ජොදාරෝ වැනි ස්‌ථාන ද, වයඹදිග ඉන්දියාවේ පිහිටා ඇති ලෝතාල්, දොලාවීරා හා කලිබන්ගන් වැනි ස්‌ථාන ද මේ අතරින් වඩා ප්‍රකට ස්‌ථාන වේ.

මේ දක්‌වා හෙළි වී ඇති කරුණු අනුව, ඉන්දු නිම්න ශිෂ්ටාචාරය අදින් වසර 5700ක්‌ පමණ කාලයකට පෙර ආරම්භ වූ අතර, අදින් වසර 3300කට පමණ පෙර පිරිහී ගිය බව සැලකේ. මේ කාලවකවානු පිළිවෙළින් ක්‍රිස්‌තු පූර්ව 3700 හා 1300 පමණ කාලවකවානු හා සමාන වේ. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ දියුණු අවධියේ දී නාගරික ලක්‌ෂණ දැකිය හැකි විය. එහි සංවිධානගත නගර, දියුණු ද්‍රව්‍යමය සංස්‌කෘතියක්‌ තිබීම හා උසස්‌ කලා නිර්මාණ බිහි වීම මීට නිදසුන් ය. සමකාලීන වෙනත් ශිෂ්ටාචාර පැවැති අරාබිය හා මෙසපොත්මියාව සමග ඉන්දු නිම්න වැසියන් වෙළෙඳ සම්බන්ධතා පවත්වාගෙන ගොස්‌ ඇත.

හරප්පා ශිෂ්ටාචාරයේ අවධි හතරක්‌ එහි සංස්‌කෘතික මට්‌ටම් අනුව නම් කර තිබේ. ඉන් පළමුවැන්න වන මූල රවි අවධිය (Early Ravi phase) යනු අදින් වසර 5700කට පමණ පෙර ආරම්භ වී වසර 4800 තෙක්‌ පැවැති අවධියකි. දෙවැන්න හඳුන්වනු ලබන්නේ අතරමැදි කොට්‌ ඩිජි (Transitional Kot Diji phase) අවධිය යනුවෙනි. එය අදින් වසර 4800ක්‌ පෙර පටන් වසර 4600ක්‌ පමණ තෙක්‌ පැවැති අවධියකි. තුන්වැනි අවධිය වන්නේ දියුණු අවධිය (Mature phase) නම් වූ අතර, එය අදින් වසර 4600කට ඉහත දී ආරම්භ වී වසර 3900 තෙක්‌ පැවැතිණි. අවසන් අවධිය වන්නේ පශ්චාත් පිරිහීම් අවධිය (Late declining phase) ලෙස හඳුන්වන අදින් වසර 3900කට පෙර සිට වසර 3300 දක්‌වා පමණ පැවැති කාලවකවානුවයි. මේ කාලවකවානු සියල්ල තීරණය කර ඇත්තේ මේ දක්‌වා සිදු කර ඇති අධ්‍යයනවලින් අනාවරණය කරගත් විකිරණශීලී කාබන් කාලනිර්ණය අනුව ය.

කෙසේ වෙතත් පසුගිය දා Scientific Reports සගරාවේ ප්‍රකාශයට පත් වූ අධ්‍යයනයකට අනුව, ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ආරම්භය පිළිබඳ කාලවකවානු මීට වඩා අතීතයකට අයත් බව හෙළිදරව් වී ඇත. ඒ අනුව අදින් වසර 8,000කට වඩා ඉහත කාලවකවානුවක දී මේ ශිෂ්ටාචාරයේ ආරම්භය සිදු ව ඇත.

අධ්‍යයන ක්‍රමවේදය

ඉන්දියාවේ ආයතන ගණනාවක විද්‍යාඥයන් පිරිසක්‌ එක්‌ ව සිදු කළ මේ අධ්‍යයනයේ එක්‌ අරමුණක්‌ වූයේ ඉන්දු නිම්න අදාළ ශිෂ්ටාචාරය ව්‍යාප්ත ව පැවැති ප්‍රදේශය ගැන යම් අවබෝධයක්‌ ලබාගැනීම ය. ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ පිහිටා ඇති භිරානා (Bhirrana) නම් ස්‌ථානයේ සිදු කරන ලද නවතම කැණීමකින් ලද සාධක මගින් මේ පර්යේෂකයන් සිය නිගමනවලට එළැඹ තිබේ. එය පැරැණි සරස්‌වතී නදිය ආශ්‍රිත ව පිහිටා තිබූ ජනාවාසවලින් යුක්‌ත ප්‍රදේශයක්‌ ලෙස හඳුනාගෙන තිබේ.

මේ කැණීම්වලින් ලද සාධක අනුව පර්යේෂණය ඉදිරියට ගොස්‌ ඇත. එම ස්‌ථානයේ විවිධ සංස්‌කෘතික මට්‌ටම්වලට අයත් වන ස්‌තරවලින් විවිධ සත්ත්වයන් ගේ ශේෂ ලැබී ඇත. ඒ අතර ගෘහාශ්‍රිත ගවයන්, එළුවන්, මීහරක්‌ හා බැටළුවන් වැනි සතුන් ගේ මෙන්ම මිනිසුන් විසින් ආහාරයට ගන්නා ලද විවිධ වනසතුන් ගේ අස්‌ථි හා දත්වල ශේෂ ද වේ. මේ සතුන් ගේ අස්‌ථි හා දත්වල ඇති පොස්‌පේටවල ඇතුළත් ඔක්‌සිජන් 18 සමස්‌ථානික (18C) ප්‍රමාණය අනුව එදා පැවැති වර්ෂාපතනය පිළිබඳ දත්ත අනාවරණය කරගැනීමට පර්යේෂකයන් හැකි වී ඇති අතර, එමගින් අදාළ ප්‍රදේශයේ පුරාදේශගුණ තත්ත්ව කාලය අනුව වෙනස්‌ වූ ආකාරය නැවත ගොඩනගා තිබේ.

එසේ ම මේ ස්‌ථානයේ සිදු කරන ලද කැණීම්වලින් ලැබුණු මැටි වළං කැබැලි පිළිබඳව ද මේ පර්යේෂකයන් අවධානය යොමු කර ඇත. මේ වළං කැබැලි දින නියම කර ඇත්තේ ප්‍රකාශ උත්තේජිත සන්දීප්තතා (optically stimulated luminescence) කාලනිර්ණ ක්‍රමය යොදාගනිමිනි. මේ පර්යේෂකයන් ගේ අදහස අනුව මෙතෙක්‌ ඉන්දු නිම්නයෙන් හමු ව ඇති පැරැණි ම වළං කැබැලි ඔවුන්ට හමු වී ඇත. මෙමගින් අදාළ ජනාවාසයේ පැවැති සංස්‌කෘතික රටාව හා දේශගුණය අතර සම්බන්ධය ද ගොඩනගාගැනීමට හැකියාව ලැබී තිබේ.

වසර 8000කට පෙර ආරම්භ වී ඇති ශිෂ්ටාචාරයක්‌

මේ ස්‌ථානයෙන් ලැබී ඇති දත්තවල කාලනිර්ණය භිරානා යනු හරප්පානු ජනාවාසකරණයේ මුල් අවධියක්‌ බවට සාධක සපයන බව මේ පර්යේෂකයන් ගේ අදහස වේ. මේ පිළිබඳව ලැබුණු නිශ්චිත කාලවකවානුවලට අනුව අදින් වසර 8350කට පමණ පෙර අවධියකට අයත් සාධක මේ ස්‌ථානයෙන් ලැබෙන පැරැණි ම සාධක අතර වේ. (එහි කාලවකවානුව නිශ්චිතව දක්‌වන්නේ නම් අදට වසර 8597ත් 8171ත් අතර කාලයකට අයත් ය.) මේ මූලික අවධිවලින් හමු වන සාධක මගින් එෙඩ්ර හා ගම් මට්‌ටමේ කාෂිකාර්මික සමාජයක්‌ පැවැති බවට සාධක හමු වේ. එය පූර්ව-හරප්පානු හක්‌රා අවධිය (pre-Harappan Hakra phase) ලෙස හඳුන්වනු ලබන අතර, එය මෙතෙක්‌ පිළිගෙන තිබූ පැරැණි ම අවධිය වන මුල් හරප්පා අවධියට ද පෙර පැවැති අවධියකි. එය අදින් වර්ෂ 9500ත් 8000ත් අතර කාලයකට අයත් වේ. ඒ අනුව පූර්ව-හරප්පානු ජනතාව අදින් වසර 9000ත් 7000ත් අතර කාලයක දී මේ ප්‍රදේශයේ පළමු ජනාවාස ඇති කරගත් බව යෝජනා වී ඇත. මේ කාලයට අයත් සතුන් ගේ අස්‌ථි හා දත්වල ඔක්‌සිජන් සමස්‌ථානික විශ්ලේෂණයෙන් අනාවරණය වී ඇති පරිදි මේ කාලය මෝසම් වැස්‌ස ඉතා ප්‍රබල ව පැවැති වකවානුවකි.

එසේ ම මේ කැණීමෙන් ලැබුණු කාලනිර්ණය කරන ලද වළං කැබැලිවල දින නිර්ණය කර ඇත්තේ අදින් වසර 5120-4520 අතර කාලයකට අයත් ලෙස හා 6185-5695 අතර කාලයකට අයත් ලෙස ය. මේ දෙවැනි සාධකය මූල දියුණු හරප්පා ශිෂ්ටාචාරයට අයත් වේ. එහි කාලනිර්ණය අනුව ද, ඊටත් වඩා යට මට්‌ටමකින් ලැබුණු කාලනිර්ණය වන අදට වඩා වසර 8350ක්‌ පැරැණි ජනාවාසයේ වයස සනාථ වේ. මේ අනුව භිර්රානා යනු ගග්ගර්-හක්‌රා නදී නිම්නයේ ඇති පැරැණි ම ජනාවාස සාධක ලැබෙන ස්‌ථානයක්‌ බව පැහැදිලි ය.

එසේ ම මේ කැණීමෙන් හා ඒ ආසන්න ප්‍රදේශවල සිදු කරන ලද කැණීම්වලින් මූල-හරප්පා (අදින් වසර 8,000-6,500 අතර), මූල-දියුණු හරප්පා (අදින් වසර 6,500-5,000 අතර) හා දියුණු හරප්පා (අදින් වසර 5,000-2,800 අතර) අවධිවලට අයත් කාලනිර්ණ ලැබී ඇත.

ඉන්දු නිම්නය අවසන් වූයේ කෙසේ ද?

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය අදින් වසර 3000කට පෙර කාලයක දී අවසන් වූ බව සාමන්‍ය පිළිගැනීමයි. මේ සඳහා යෝජනා කර ඇත්තේ දේශගුණයේ ඇති වූ වෙනස්‌ වීම් හෙවත් දීර්ඝ කාලීන දැඩි නියග තත්ත්වයකි. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට සමකාලීනව ශිෂ්ටාචාර වන මෙසපොතේමියානු හා යෑංට්‌සි නදිය ආශ්‍රිත ශිෂ්ටාචාරය විනාශ වී ගියේ ද මෝසම් වැසි දුර්වල වීම හෝ අදින් වසර 4,200කට පමණ පෙර ආසියානු කලාපය පුරා ව්‍යාප්ත වූ නියග පෙළක්‌ නිසා ඇති වූ ශුෂ්කකරණයක්‌ ලෙස දක්‌වා ඇත. එහෙත් මේ පර්යේෂණයෙන් ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට මේ තත්ත්වය බලපෑ ආකාරය ගැන තවත් තොරතුරු අනාවරණය වේ.

අප මාතෘකා කරගත් පර්යේෂණයට අනුව, ඉන්දු නිම්නයේ දේශගුණ රටාව වෙනස්‌ වූ ආකාරය පැහැදිලි ය. ශිෂ්ටාචාරයේ මුල් අවධියේ දී, එනම් පැරැණි සරස්‌වතී නදී නිම්නයේ මානව ජනාවාස පැතිරීමට හා කෘෂිකාර්මික කටයුතුවලට සුදුසු පරිසරයක්‌ පැවැතියේ ය. වසර 9,000-7,000ක්‌ අතර කාලයේ දී පැවැති මෝසම් වැස්‌ස වඩාත් ප්‍රබල වූ අතර එමගින් ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපයිණි.

කෙසේ වෙතත් අදින් වසර 7,000ක්‌ පමණ කාලයක සිට මෝසම් වැස්‌ස දුර්වල වීම ආරම්භ වී ඇත. විශේෂයෙන් ඉන්දුනිම්න ශිෂ්ටාචාරය දියුණු ව පැවැති අවධියේ දී ද එම ප්‍රදේශයේ මෝසම්වැසි ක්‍රමයෙන් දුර්වල වෙමින් පැවැති අවධියකි. නිම්නයේ වැසියන් දුර්වල මෝසම් වැස්‌සට හුරු වීමට පුරුදු වී ඇත. තිරිගු හා බාර්ලි වැනි භෝගවල සිට ඇතැම් වී වර්ග හා කුඩා මිලට්‌ වර්ගවල වැනි වඩා නියගයට ඔරොත්තු දෙන භෝග වගා කිරීමට මාරු වී ඇති බව භිර්රානා ආසන්නයේ පිහිටි තවත් ස්‌ථානයකින් ලැබී ඇති සාධක අනුව පෙනේ. එහෙත් මේ නියගයට ඔරොත්තු දෙන භෝගවල අස්‌වනු අඩු විය. මෙසේ සිදු වූ ජනතාව ගේ යෑපුම් ක්‍රමවේදයේ ඇති වූ වෙනස්‌ වීම් ද ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ බිඳවැටීමට දායක වී ඇත. එමගින් ප්‍රධාන නගරවල පිහිටි විශාල ධාන්‍ය ගබඩා නඩත්තු කළ නොහැකි වූ අතර, එහි වැසියන් පෞද්ගලික මට්‌ටමේ ධාන්‍ය ගබඩා කිරීමේ ක්‍රමවලට හුරු වීමට පටන්ගෙන තිබේ. මේ තත්ත්වයත් සමග නාගêකකරණය අඩු වීම, ජනගහනය අඩු වීම, ස්‌ථාපිත ජනාවාස අත්හැර දැමීම වැනි සිදුවීම් ඇති වූ අතර, ඒ පිළිබඳ සාධක මේ ස්‌ථානවලින් ලැබී තිබේ. හරප්පා අක්‌ෂර භාවිතය පිරිහී යැම ද මෙවැනි සිදුවීමකි. මේවා පශ්චාත් හරප්පා ශිෂ්ටාචාරය හඳුනාගත හැකි වැදගත් ලක්‌ෂණ වේ. එහෙත් ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ක්‌ෂණිකව බිඳ නො වැටුණු අතර තවත් කාලයක්‌ පිරිහෙමින් පැවැති බව පැහැදිලි ය.

මේ පර්යේෂකයන් පෙන්වා දෙන ආකාරයට, දේශගුණය, කෘෂිකර්මය හා යෑපුම් ක්‍රමවේදය අතර Rජු සම්බන්ධයක්‌ හරප්පා ශිෂ්ටාචාරය සමයේ දී පැවැති බව යෝජනා කරනු ලැබේ.

(මූලාශ්‍රය: Scientific Reports, DOI: 10.1038/srep26555)

http://www.vidusara.com/2016/06/08/feature1.html

No comments:

Post a Comment