ධනේෂ් විසුම්පෙරුම
(අවසන් යාවත්කාලීන කිරීම - 2025 ඔක්තෝබර් 20)
සටහන: 2024 සිට ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහන බස් රථවල සාමාන්‍ය සේවාවල ආරම්භක ගාස්තු අවස්ථා දහය වූයේ රු. 27, 35, 45, 56, 66, 77, 86, 90, 97 හා 104 ලෙස ය. මේ නිරීක්ෂණ ඒ අනුව ය.
1. රු 27 හෙවත් 30 ටිකට්ටුව
1.1 වන නිරීක්ෂණය - රු. 27ට ඉතිරි ලැබීම වාසනාවකි!
රුපියල් 27 ටිකට් එකට අපි මාරු 27ක් දුන් විටක ඇර, හරියටම 27ක් අරන් අපට ඉතුරු දුන් දවසක් නම් මතකයේ නැත.
පහළ සඳහන්, ගෙවල් ළඟ පාරේ පවා එසේය. ඉදහිට රු. 2ක් ඉතුරු අවස්ථා ඇතත් ඒ දින ගණන 2% ක් පමණ විය යුතුය.
නොදන්නා කෙනෙක් ඒ සෙක්ෂන් එකේ ගාන ඇහුවොත් කොන්දොස්තර කියන්නේ රුපියල් 30යි කියා ය. කෙනෙක් හරියටම 27ක් දුන්නොත් එයාලගේ මූණු අමුතු වෙන හැටි බලන්න වටිනවා.
රුපියල් තුනක් අතේ නැති එක හරි කියමු. ඒත් 27 ටිකට් දෙකක් ගත්තාම වෙන දේ ඊටත් අපූරු ය. එවිට අපෙන් ගත යුත්තේ 54කි. අඩු ගානේ පහක් තියනවාද කියා අපෙන් අහන ව්‍යවස්ථා ගණන 5% විතර විය යුතුය. කෙලින්ම 60ක් ගන්නවාය. ලංකාවේ ගණිත අධ්‍යාපනය ගැන ලාම්පු කණගාටුවක් දැනෙන්නේ ඒ වෙලාවටය. එහෙම අමුත්තක් දැනෙන්නේ ගණන් පාස් කරන එකේ අමාරුව දන්නා නිසා ය.
2. රුපියල් පහේ නිරීක්ෂණ
2.1 වන නිරීක්ෂණය - ඉතුරු 5 දෙන විදිය වෙනස්
උදේට රාජගිරියෙන් 177 බස් එකට නගින සෞන්දර්යයේ (UVPA) නංගිලා (=දූලා) රුපියල් 35 ටිකට් එකට 40ක් දෙනවා මිසක් ඉතුරු පහ ඉල්ලන්නේ නැත. ලැබෙයි කියා හිතන්නේ ද නැත. කොන්දොස්තර අයියලා ඉතුරු දෙන්න යන්නේ ද නැත. ඒත් එතිනන්ම බසයට නැග නෙලුම්පොකුණ ළඟට 35 ටිකට් ගන්න මට නම් ඉතුරි රුපියල් 5 ලැබේ. මහත්තුරුන්ට සලකනවා වෙන්ට ඕනෑ ය.
හයිලෙවල් පාරේ දුවන 138 බස්වල උදේට සමහර විට ඉතුරු 5 ලැබුනත්, හවසට නම් ඒ රුපියල් 5 නොලැබෙන බව 95%ක් ෂුවර් ය. ඒ වෙලාවට බස්වල කොන්දොස්තර ටිකට් කඩන්නේ ටිකට් කඩපු ගමන් ගෙදර යන්න තරම් හදිසියෙන් වගේය.
අනෙක් අතට ගෙවල් ළඟින් යන බස් එකේ රුපියල් 35, 45 ටිකට් එකට ඉතුරු 5 ලැබෙන එක 95%ක් තරම් විශ්වාසය. ඒක අනෙක් මාර්ගවල මම දැක නැති තරම් ඉහළ ය.
සටහන - මේ පොටෝවේ තියෙන්නේ 177ක් උදේට රාජගිරියට එන හැටිය. මේවායේ වැඩ කරන සමහරු පොල් ලොරි හා ලී ලොරිවල වැඩ කරපු අය වෙන්නට ඕනෑය.
මෙය Facebook පෝස්ටුවක් ලෙස - 2025 සැප්තැම්බර් 17
3. ඉතුරු නොදෙන/ නොමැති බව ඇඟවීම
3.1 වන නිරීක්ෂණය - ටිකට් එකේ ගණන දකිනවට කරන දේ!
ටිකට් එක මේ විදියට අනිත් අතට හරවල ඔබේ අතට දෙනව නම්, ඒ කියන්නෙ "ඉතුරු දෙන්න මාරු සල්ලි නෑ" කියන එක හෝ "ඉතුරු දෙන්න අදහසක් නෑ" කියන එකයි. ගාස්තුව හරියටම දන්නෙ නැති අයට ඒකෙ ගාන පේනවට වෙන්න ඕන මෙහෙම කරන්නෙ.
ඒ වෙලාවට ටිකට් එක අනිත් පැත්ත හරවලා ගාන බලන්න. ඉතුරු ඕන නං කොන්දොස්තරගේ මූණ බලන්න. ඉතුරු සල්ලි එයා අතේ තියනව නං ලැබෙයි.
මේක නං ලංගම බස්වලත් දකිනව.
No comments:
Post a Comment