Saturday, January 2, 2021

"ගුණේන්ද්‍රයා ආයෙත් ඇවිත්" - ටෙලි නාට්‍ය සහ ජීවිතය (දුව කී කතා 2)



දැනට මාස කීපයකට පෙර දවසක් කුස්සියේ ජනේලෙන් එළිය බලාගෙන ඉන්න දුව එකපාරට මෙහෙම කිව්වා - 


"අන්න අර ගුණේන්ද්‍රයා ආයෙත් ඇවිත්. එක පාරක් ඇවිත් මංගලීව අනාථ කරලා ගිහින් දැන් ආයෙත් ඇවිත්"...

ඒක ඇහිලා අග මුල මාරු වූ මං මේ මොකක්ද කියන්නේ කියලා ජනේලෙන් එබිලා බැලුවා - බැලින්නම් අපේ ගෙදර ඉස්සර හිටපු ලොකු පූසා (සරණ) ආපහු මේ පැත්තෙ ඇවිල්ලා... දැන් එයා ඉන්නෙ ටිකක් ඈත (කැලෑව පැත්තෙ - දුව කියන විදියට) තියන ගෙවල් ආශ්‍රිතවයි. එයා ඉඳහිට අර උවමනාව හැදුනම එනවා අපේ ගෙවල් පැත්තට... ඇවිත් අපේ ගෙදර (හා ළඟ ගෙවල් ආශ්‍රිතව) ඉන්න සුදු පූසි‌ගෙ පැටවුන්ගෙ තාත්තා වෙලා යනවා...

එහෙම ගියාට පස්සෙ ඉදහිට විසිට් එකක් දැම්මට ආයෙමත් එන්නේ ඒ උවමනාව හැදුනාම තමයි. මේ සිද්ධිය මං දන්නව උනාට දුව දන්නවා කියලා මං හිතුවෙ නෑ. අනෙක එයා පාවිච්චි කළ නම් හා වචන...

මම දුවගෙන් ඇහුවා ඇයි එහෙම කිව්වේ කියලා

"ඇයි ඉතිං අර වෙදහාමිනේ එකේ ගුණේන්ද්‍ර මංගලීව අනාථ කළා වගේ වැඩක්නෙ සරණ මේ කරන්න යන්නෙ. අර කැලෑව පැත්තෙ ඉදන් සැරින් සැරේ ඇවිත් සුදු පූසිට පැටවු හදලා යනවනේ. ආයෙ එනවද මේ පැත්තකට වත්?"

එයා ටෙලි නාට්‍යවලින්ම සමාජය ගැන ඉගෙන ගෙන තියන දේවල් කියලයි ඉන් පස්සෙ මං කල්පනා කළේ...


කොරෝනා නිවාඩුවේ ආ ටෙලිනාට්‍ය හා චිත්‍රපට වැස්ස!


අපේ ජීවිතේ වසර විස්සක් වගෙ කාලයක් තුළ බලන්න ලැබුණු ක්ලැසික් කියලා කටපුරාම කියන්න පුළුවන් ටෙලි නාට්‍ය වගේම චිත්‍රපටත් ගණනාවක්ම මේ කොරෝනා නිවාඩු කාලේ එයාට දකින්න ලැබුණා. ඒකත් පොත් කියවන්න ලැබීමත් මේ නිවාඩුවේ ලැබුණු එක වාසියක්.

කළුවර ගෙදර, ස්වයංජාත, වෙදහාමිනේ, දඩුබස්නාමානය, අකාල සන්ධ්‍යා, පිටගම්කාරයෝ ඒ අතර තියෙන කීපයක්. මේවා බැලුවට පස්සෙ එයාට අද තියන ටෙලිනාට්‍යවල ඇත්ත තත්ත්වය තේරිලා තියනවා. මේ තියෙන්නෙ එවැනි අවස්ථාවක කී කතාවක්.

ටෙලි නාට්‍ය විතරක් නෙමෙයි, ගම්පෙරළිය, කලියුගය වගෙම විරාගය, සාගරයක් මැද වගෙ හරයක් ඇති කතා තියන ගණනාවක් චිත්‍රපටි බලන්නත් එයාට අවස්ථාව ලැබුණා. ඒ වගෙම ගොළු හදවත, ගැහැණු ළමයි වගේ කරුණාසේන ජයලත්ගෙ ඒවත් කීපයක් බැලුවා තමයි.

මේ ගොඩක් ඒවා මම වරක් හෝ කීපවතාවක් බලලා තිබ්බට මේ වතාවෙත් බැලුවා. කොහොමත් ඒ වගේ එකක් යනකොට ඒවා අදාළ කාලයේ ඉතිහාසය, තියන සිදුවීම් ආදිය ගැන අටුවා ටීකා සපයන්නත් සමහර වෙලාවට මෙ ගැටපද විවරණය කරන්නත් මට සිද්ද වෙනවනේ.

ඉතින් අර ගුණේන්ද්‍රයා නිසා අපේ ගෙදරම වගේ ඉන්න පූසාට (එයාට දැන් කියන්නෙ පිපූ කියලා) මෙතන රඟපාන්න වෙලා තියෙන්නෙ අන්තෝනිගෙ චරිතය. මතකනෙ? ගුණේන්ද්‍ර ඉන්නකොට ඉතින් අන්තෝනිට නෝ චාන්ස්! එයා එනවිට තග දාලා එලවා ගන්නවා.

මේ ඡායාරූපවල තනිවම ඉන්නෙ "ගුණේන්ද්‍ර" (සරණ - නපුරු පාට පේනවනෙ! අනෙක් පින්තූරෙ ඉන්නෙ "අන්තෝනි" (පිපූ - අහිංසක පෙනුමට ඉන්නෙ) හා "මංගලී" (සුදු පූසි)... 

ධනේෂ් විසුම්පෙරුම
2021.01.02

3 comments: