Wednesday, January 13, 2021

"ලස්සන රස විඳින්න පුරුදුවෙයව් යකුනේ!" (ඉස්කෝලෙ කතා 7)

අපට 10-11 වසරවල සිංහල ඉගැන්වූ ටීචර් සුදුයි, හැඩයි, ලස්සනයි. ඒ කාලෙ වයස අවුරුදු තිස් ගණන්වල වගෙ ඉන්න ඇති. 

එතුමිය උගන්වනකොට අපේ පංතියෙ සමහර උන් එක එක එව්ව කියනව (මං ඒ කාලෙ නං එහෙම නෑ හොඳේ). මිස්ටත් මේක අවුල්. දවසක් එතුමියට ඒක ටිකක් වැඩියෙන් දැනුනා.

අපෙ පංති භාර ගුරුතුමිය පහුවදා උදෙන් ඇවිත් ‘‘තොපිලට තෙරෙන්නෙ නැද්ද යකුනෙ යමක් රස විදින්න’’ කියල කිව්ව. අපි තුෂ්නිම්භූත උනා. 

"හැම එකම දිහා වල්කමින් බලන්න එපා යකුනෙ... ලස්සන රසවිදින්න පුරුදු වෙයව්" කියල, සාහිත්‍ය පොතේ තිබූ සැළලිහිණියේ එන "නිසි පුළුලුකුළ රිය සකයුරු තිසර තන" කියන කවි පදය ලියල, සරල කාන්තා රුපයකුත් ඇඳලා ගියා.

අපේ උන් එදා ඉඳන් සිංහල ටීචර්ට මුකුත් කිව්වෙ නැහැ. ලස්සන රස විඳින්න ඇති. අපි එදා ඉගෙන ගත්ත පාඩම තමයි "ලස්සන රස විදින්න" කියන එක. ඒක තමයි අපි තාමත් කරන්නෙ.

වසර විසිගණනකට පස්සෙ දැනට දශකයකට පමණ පෙර එතුමිය යළි මට හමු වුනා. එක්තරා සමිතියක රැස්වීමකදි. ඒ වන විට විශ්‍රාම ගොස් සිටි එතුමිය සතුව තරුණ කාලෙ තිබූ සුන්දරත්වයේ සේයාව එහෙමම තිබ්බා. ඉතින් එදා මට මේ කතාවත් මතක් උනා. 


ධනේෂ් විසුම්පෙරුම

2021.01.13

No comments:

Post a Comment