Thursday, October 25, 2018

දේශගුණ වෙනස්‌ වීම හමුවේ ජෛව විවිධත්වය ආරක්‌ෂා කිරීම අභියෝගයක

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 17.10.2018, පි. 7 (Vidusara)
http://www.vidusara.com/2018/10/17/feature3.html




වර්තමාන ලෝකයේ බරපතළ ම පාරිසරික අර්බුදය ලෙස අවිවාදයෙන් හැඳින්වෙන දේශගුණ වෙනස්‌ වීම නිසා බොහෝ අංශවලට බලපෑම් ඇති වෙයි. එවැනි බලපෑම් අතර, ලෝකයේ ජෛව විවිධත්වයට ඇති විය හැකි බලපෑම අහිතකර හා නිෂේධනීය විය හැකි බව පුළුල් ලෙස පිළිගැනෙන කරුණකි. එවැනි බලපෑම් පිළිබඳ සාධක ලෝකයේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වෙයි. එමෙන් ම මේ බලපෑම් පිළිබඳ ව විවිධ පුරෝකථන ඇති අතර, එහෙත් ඒ සම්බන්ධ ව අප ඉදිරියේ ඇත්තේ පැහැදිලි හා සම්පූර්ණ අදහස්‌ නො වීම කණගාටුදායක ය.

කෙසේ වෙතත් ජෛව විවිධත්වයට ඇති වන බලපෑම් පිළිබඳ ව පරිසර විද්‍යාඥයන් වැඩි අවධානයක්‌ යොමු කිරීම නිසා ඒ පිළිබඳ ව සිදු කරනු ලබන අධ්‍යයන නිතර ම වාර්තා වෙයි. පසුගිය දා ප්‍රකාශයට පත් වූ මෙවැනි අධ්‍යයන දෙකකින් ජෛව විවිධත්වය මුහුණ දී ඇති අනාගත ගැටලුවේ තරම පිළිබඳ ව වාර්තා විය. ඒවායේ යොදාගෙන ඇති ක්‍රමවේදය වැදගත් වෙයි. ඒ අතීතයේ පැවැති ජෛව විවිධත්වය මුහුණ දුන් දේශගුණ වෙනස්‌ වීමේ සිදුවීම් පිළිබඳ සාධක යොදාගනිමින් අනාගතය පිළිබඳ ව පුරෝකථනය කිරීමට උත්සාහ දරන නිසා ය.

නව තත්ත්වවලට අනුහුරු වීමේ වැදගත්කම


අතීතයේ ඇති විවිධ වූ පාරිසරික වෙනස්‌වීම්වල දී ශාක හා සතුන් ඒ සඳහා ප්‍රතිචාර දක්‌වා ඇති ආකාරය පිළිබඳ ව සිදු කරන ලද අපේ අවධානයට ලක්‌ වූ පළමු අධ්‍යයනයට අනුව එවැනි වෙනස්‌ වීම් සඳහා විවිධ ජීවීන් දක්‌වන ප්‍රතිචාර වන්නේ එම තත්ත්වයට අනුහුරු වීම, සංක්‍රමණය වීම හෝ වඳ වී යැම ය. (Trends in Ecology and Evolution, DOI: 10.1016/j.tree.2018.07.005).

සතුන් හා ශාක, දේශගුණ වෙනස්‌ වීමට දක්‌වන මූලික ප්‍රතිචාරය වන්නේ යෝග්‍ය පරිසරයක්‌ ඇති ප්‍රදේශවලට සංක්‍රමණය වීම බව මෙතෙක්‌ කලක්‌ වැඩි වශයෙන් පිළිගන්නා ලදි. එහෙත් අදාළ ප්‍රදේශයේ පාරිසරික තත්ත්වවලට අනුහුරු වීම ද ප්‍රායෝගික ව සිදු කළ හැකි දෙයකි. මෙහි දී එම ජීවීන්ගේ හැසිරීමේ හා දේහ ස්‌වභාවයේ වෙනස්‌කම් ද සිදු විය හැකි ය. මේ අනුහුරු වීම් ජීවීන්ගේ පැවැත්ම සඳහා ඉතා වැදගත් බව මේ අධ්‍යයනයෙන් පෙන්වා දී ඇත. එහෙත් මෙය සෙමින් සිදු වන ක්‍රියාවලියකි. එසේ වෙනස්‌ වූ පරිසර තත්ත්වවලට හැඩගැසීමට හෝ වෙනත් ප්‍රදේශයකට සංක්‍රමණය වීමට නොහැකි වුව හොත් සිදු වන්නේ එම ජීවී විශේෂ වඳ වී යැමේ අවදානමක්‌ ඇති වීම ය. මේ ආකාරයෙන් දේශගුණ වෙනස්‌ වීම නිසා වඳ වී ගිය ජීවී විශේෂ දැකිය හැකි ය.

එසේ ම මේ අධ්‍යයනයෙන් හඳුනාගෙන ඇති ආකාරයට වර්තමාන ලෝක පරිසරයේ තත්ත්වය අනුව ඇති වෙමින් පවත්නා වෙනස්‌කම්වල විශාලත්වය හා වෙනස්‌ වීම් ඇති වන වේගය ඉතා විශාල බව දේශගුණ ආකෘති අනුව පෙනෙයි. එසේ ම පසුගිය වසර මිලියනයක්‌ පමණ කාලයේ මෙවැනි තරම් හෝ මෙවැනි වේගයකින් යුක්‌ත වෙනස්‌කම් ඇති වී නොමැති තරම් බව එම කාලයට අයත් ෆොසිල පිළිබඳ ව උක්‌ත අධ්‍යයනයේ දී සිදු කළ සොයාබැලීම් අනුව පැහැදිලි ය. මේ අධ්‍යයනය එම කාලය පිළිබඳ ව අද වන විට ඇති දැනුම සම්බන්ධ ව යළි විමසා බලන්නකි. ඒ අනුව වර්තමානයේ ඇති වන තත්ත්වය හමුවේ අනාගතයේ දී ජෛව විවිධත්වයට ඇති විය හැකි බලපෑම් පිළිබඳ දැනුම හා ආකෘති වැඩිදියුණු කළ යුතු ය. එවැනි පියවරක්‌ හරහා ලබාගන්නා වැඩි අවබෝධයක්‌ මේ ජීවීන් සංරක්‌ෂණය සඳහා අවශ්‍ය වෙයි.

මේ අධ්‍යයනයෙන් පැහැදිලි ව පෙනෙන්නේ අනාගත දේශගුණ වෙනස්‌ වීම හමුවේ ජෛව විවිධත්වය මුහුණ දී ඇති අනතුරේ තරම බරපතළ විය හැකි බවයි. අද දැකිය හැකි පාරිසරික වෙනස්‌කම්වලින් අවදානමකට ලක්‌ වන ජීවී විශේෂවලට ඊට අනුහුරු වීමට හෝ සංක්‍රමණය වීමට හෝ නොහැකි වුව හොත් සිදු විය හැක්‌කේ ඒවා වඳ වී යැම ය. එය ලෝකයේ ජෛව විවිධත්වයට ඇති බරපතළ තර්ජනයක්‌ බව අමුතුවෙන් කිව යුතු නො වෙයි.

භෞමික පරිසර පද්ධති අවදානමක


දේශගුණ වෙනස්‌ වීම හේතුවෙන් ලෝකයේ බොහෝ භෞමික පරිසර පද්ධති අවදානමකට මුහුණ පා ඇති බව අප මාතෘකා කරගත් දෙවැනි අධ්‍යයනයෙන් පෙන්වා දී ඇත. හරිතාගාර වායු විමෝචන පිළිබඳ ව වර්තමානයේ කටයුතු කරන ආකාරයට ම දිගින් දිගට ම කටයුතු කරනු ලැබුව හොත් හෙවත් හරිතාගාර වායු විමෝචන විශාල ප්‍රමාණයකින් අඩු කිරීම සඳහා අවශ්‍ය පියවර ගනු නො ලැබුව හොත් මේ තත්ත්වය ඇති විය හැකි ය. (මූලාශ්‍රය Science, DOI: 10.1126/science.aan5360).

මේ අධ්‍යයනයේ දී යොදගෙන ඇත්තේ පශ්චාත් ග්ලැසියර අවධිය හෙවත් උෂ්ණත්වය ඉහළ ගිය කාලවකවානුවට අයත් ෆොසිල පිළිබඳ සිදු කර ඇති ප්‍රකාශිත අධ්‍යයනයි. මේ ෆොසිල අයත් කාලවකවානුව ආරම්භ වන්නේ අදට වර්ෂ 21,000ක්‌ පමණ පෙර කාලයක දී ආරම්භ වූ කාලයේ දී ය. මෙහි දී ලෝකයේ විවිධ ප්‍රදේශවලින් ලබාගෙන ඇති ශාක පරාග ශා ශාක ෆොසිල නිදර්ශක පිළිබඳ අධ්‍යයන 594ක දත්ත යොදාගෙන ඇත. ඒවායේ කාලනිර්ණය වන්නේ අදින් වර්ෂ 21,000ත් 14,000ත් අතර කාලයක්‌ බව සඳහන් වෙයි. එම කාලයේ දී ඇති වූ උෂ්ණත්වය ඉහළ යැම ආසන්න වශයෙන් ඉදිරි වර්ෂ 100 - 150 පමණ කාලයේ දී ඇති විය හැකි යෑයි පුරෝකථනය කර ඇති උෂ්ණත්ව වර්ධනයට සමාන ය. එනම් එය සෙල්සියස්‌ අංශක 4ත් 7ත් (4 - 70C) අතර ප්‍රමාණයක උෂ්ණත්ව වර්ධනයකි.

මේ වෙනස්‌කම් ඇති වූ කාලයේ දී ලෝකයේ විවිධ ප්‍රදේශවල වෘක්‌ෂලතාවලට සිදු වූ දේ වටහාගැනීම මේ අධ්‍යයනයෙහි අරමුණ විය. ෆොසිල අධ්‍යයන මඟින් හෙළි වන දත්තවලින් හෙළි වන වෘක්‌ෂලතාදියේ වෙනස්‌ වීම් හා අදාළ කාලයේ පැවැති දේශගුණ තත්ත්වය පිළිබඳ දත්ත මඟින් හෙළි වන දේශගුණයේ වෙනස්‌ වීම් මෙහි දී සංසන්දනය කර ඇත. එහි දී පෙනී ගොස්‌ ඇති පරිදි භෞමික පරිසර පද්ධති පරිසරයේ උෂ්ණත්වයේ ඉහළ යැමට ඉතා සංවේදී වෙයි.

එවැනි තත්ත්වයක්‌ අනාගතයේ දී ද ඇති වීමට අවස්‌ථාවක්‌ පවතී. ඒ වර්තමාන දේශගුණ වෙනස්‌ වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස ය. මේ අනුව විවිධ හරිතාගාර වායු විමෝචන තත්ත්ව යටතේ අනාගතයේ දී ඇති වනු ඇති බවට පුරෝකථනය කර ඇති උෂ්ණත්වය ඉහළ යැම හමුවේ විවිධ පරිසර පද්ධතිවල වෙනස්‌ වීම් ගැන අවබෝධයක්‌ ලබාගැනීම මේ අධ්‍යයනයේ අනෙක්‌ අරමුණ වී ඇත.

මේ අනුව දේශගුණ වෙනස්‌ වීම පාලනය සඳහා කිසිදු පියවරක්‌ නො ගෙන කටයුතු අද මෙන් ම ඉදිරියට ද සිදු වුව හොත් ලෝකයේ වෘක්‌ෂලතා දර්ශවල මහා පරිමාණ වෙනස්‌වීම් ඇති වීමේ සම්භාවිතාව 60%ක්‌ තරම් අධික විය හැකි ය. එහෙත් 2015 වර්ෂයේ දී ඇති කරගත් පැරිස්‌ ගිවිසුමේ දී එකඟ වූ ඉලක්‌ක අත්පත් කරගැනීමට කටයුතු කළ හැකි නම් වෘක්‌ෂලතා දර්ශවල මහා පරිමාණ වෙනස්‌වීම් ඇති වීමට ඇති හැකියාව 45%කට වඩා අඩු කරගත හැකි ය.

මෙසේ පරිසර පද්ධතිවල වෘක්‌ෂලතාදියේ ඇති විය හැකි වෙනස්‌කම් නිසා එම පරිසර පද්ධතිය මුළුමනින් ම පාහේ වෙනස්‌ ආකාරයක්‌ ගත හැකි ය. එය පරිසරයේ විශේෂ විවිධත්වයට ද තීරණාත්මක ආකාරයෙන් බලපාන කරුණකි. මෙය හුදෙක්‌ පුරෝකථනයක්‌ පමණක්‌ නො වෙයි. මෙවැනි බරපතළ තත්ත්වයේ වෙනස්‌ වීම් මේ වන විට ද සිදු වෙමින් තිබෙයි. නිදසුනක්‌ ලෙස ගත හොත් ලැව් ගිනි හා වනාන්තර මිය යැම වැනි තත්ත්ව නිසා ඇමරිකාවේ වෘක්‌ෂලතා කලාපවල ඇති වන වෙනස්‌කම් මේ වන විට ද පැහැදිලි ය.

මෙසේ පරිසර පද්ධතිවල මහා පරිමාණ වෙනස්‌වීම් ඇති වීම හුදෙක්‌ ජෛව විවිධත්වයට පමණක්‌ නො ව වෙනත් කරුණු සඳහා ද බලපෑ හැකි දෙයකි. නිදසුනක්‌ ලෙස ගත හොත්, ජලය සංචිත කිරීම, කාබන් සංචය කිරීම, හා සෞන්දර්යාත්මක හා විනෝද ක්‍රීඩා වැනි කටයුතු සඳහා වැදගත් පරිසර පද්ධති මේ ආකාරයෙන් වෙනස්‌ වීමට හැකියාව ඇත. මෙසේ පරිසර පද්ධති සේවාවලට බලපෑමක්‌ ඇති වීම වැදගත් කරුණකි.

ජෛව විවිධත්වය කෙරේ ඇති අවධානය


දේශගුණ වෙනස්‌ වීම හමුවේ ජෛව විවිධත්වය කෙතරම් අවදානමකට මුහුණ පා තිබුණ ද ඒ පිළිබඳ ව ලෝකයේ ඇති වී ඇති අවධානය තරමක්‌ අඩු බවක්‌ මේ සම්බන්ධ ව ඇති ප්‍රවණතා ගැන අවධානයෙන් බලන විට පෙනෙයි. දේශගුණ වෙනස්‌ වීමෙන් ඇතිවන බලපෑම් අතර වැඩි අවධානයක්‌ යොමු වන්නේ මිනිසුන්ට ඝෘජු ව බලපාන ගැටලු කෙරෙහි ය. එය ප්‍රායෝගික ව සිදු විය හැකි නමුත්, මිනිසුන්ට එය බලපාන හේතුවෙන් පවා මෙතෙක්‌ මේ ගැටලුව විසඳීමට ගෙන ඇති පියවර ප්‍රමාණවත් නො වෙයි.

විද්‍යාඥයන් අතර ජෛව විවිධත්වය පිළිබඳ ව වැඩි අවධානයක්‌ යොමු ව තිබුණ ද එය තීරණ ගැනීමේ මට්‌ටමට එන විට එතරම් වැදගත් සාධකයක්‌ ද යන ගැටලුව තවමත් දැකිය හැකි ය. කෙසේ වෙතත් මේ තත්ත්වය වෙනස්‌ කළ හැක්‌කේ විද්‍යාත්මක දත්ත මත පදනම් ව සිදු කරනු ලබන ක්‍රියාකාරකම් හරහා බව පැහැදිලි ය. දේශගුණ වෙනස්‌ වීම පාලනය කිරීම සඳහා සාධනීය වූ පියවර ගැනීම හැකි ඉක්‌මනින් කළ යුතු බව පැහැදිලි ය. නොඑසේ නම් දේශගුණ වෙනස්‌ වීමේ අභියෝගය හමුවේ ජෛව විවිධත්වය ආරක්‌ෂා කිරීම ප්‍රායෝගික නො වන්නක්‌ විය හැකි ය.

http://www.vidusara.com/2018/10/17/feature3.html

No comments:

Post a Comment