Wednesday, October 10, 2018

මැඩගස්‌කරයේ අලි කුරුල්ලන් වඳ වීමට මිනිසුන් හේතුවක්‌

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 03.10.2018, පි. 11(Vidusara)

http://www.vidusara.com/2018/10/03/feature1.html



අලි කුරුල්ලන් ලෙස හඳුන්වනු ලබන්නේ මිහිතලයේ ජීවත් වූ විශාලතම පක්ෂී විශේෂ ලෙස දැනට හඳුනාගෙන ඇති පක්ෂී විශේෂ කිහිපයකි. මේ පක්ෂීන් අතීතයේ දී මැඩගස්‌කරයේ සුලබ ව දැකිය හැකි වූ පක්ෂී විශේෂ වූ අතර පසු කලක වඳ වී ගොස්‌ ඇත. පෙනුමෙන් පැස්‌බරකු වැනි වූ පක්ෂීන් වන මේ අලි කුරුල්ලන් යනුවෙන් පොදුවේ හැඳින්වෙන්නේ Aepyornis, Mullerornis හා Vorombe යන විශේෂ තුනට අයත් පක්ෂී විශේෂ 9 දෙනෙකි. උසින් මීටර් 3ක්‌ පමණ වන මේ පක්ෂීන් බරින් ටොන් භාගයක්‌ පමණ වූ බව ගණන් බලා ඇත. ඔවුන්ගේ බිත්තර ඇතැම් ඩයිනසෝර සත්ත්වයන්ගේ බිත්තරවලට ද වඩා විශාල වූ බවක්‌ පැවසෙයි.

අදින් වර්ෂ මිලියන 88කට ඉහත දී මැඩගස්‌කර දූපත ඉන්දියානු උප මහාද්වීපයෙන් වෙන් වූ පසුව අලි කුරුල්ලන් හා වෙනත් මහා සත්ත්ව විශේෂ ගණනාවක්‌ එහි වාසය කර තිබෙයි. මේ පක්ෂී විශේෂ මැඩගස්‌කරයෙන් වඳ වී ගොස්‌ ඇත්තේ අදින් වර්ෂ 1,000කට පමණ පෙර කාලයක බව සැලකේ. එහෙත් එසේ සිදු වූයේ කුමන හේතුවක්‌ නිසා ද යන්න නිශ්චිත ව නො දන්නා කරුණකි. ඒ සඳහා මිනිසුන්ගේ ක්‍රියාකාරකම් මූලික වශයෙන් බලපෑ බවට මත පළ වී තිබෙයි.

මෑත දී මේ පිළිබඳ ව සිදු කරන ලද අධ්‍යයනයකින් මැඩගස්‌කරයේ ප්‍රාග් ඓතිහාසික යුගයේ විසූ මානවයන් හා මේ පක්ෂීන් අතර පැවැති සම්බන්ධය පිළිබඳ ව කරුණු අනාවරණය වී ඇත. කරුණු දෙකක්‌ නිසා මෙය වැදගත් සොයාගැනීමක්‌ බවට පත් වෙයි. මිනිසුන් එම කාලයේ දී මේ කුරුල්ලන් දඩයම් කර ආහාරයට ගැනීම හා එය පක්ෂීන්ගේ වඳ වී යැම සඳහා යම් බලපෑමක්‌ විය හැකි වීම ගැන අනාවරණය වන කරුණ මින් පළමුවැන්න ය. දෙවැන්න වන්නේ මැඩගස්‌කරයේ මිනිස්‌ වාසස්‌ථාන ඇති වූ කාලවකවානුව පිළිබඳ ව ඉන් ලැබෙන සාධක ය.

අලි කුරුල්ලන්, දඩයම් කරන ලද බවට සාධක


මැඩගස්‌කරයේ දකුණු - මධ්‍යම ප්‍රදේශයේ 2008 වර්ෂයේ දී සිදු කරන ලද මැණික්‌ ගැරීමක දී හමු වූ අස්‌ථි ශේෂ පිළිබඳ ව පුවතකින් මේ අධ්‍යයනය පිළිබඳ කතාව ආරම්භ වෙයි. ඒ පිළිබඳ ව සිදු කරන ලද අධ්‍යයන මඟින් එම ස්‌ථානයෙන් සත්ත්ව විශේෂ ගණනාවකට අයත් අස්‌ථි අවශේෂ හඳුනාගැනීමට හැකි වී ඇත්තේ 2016 වර්ෂයේ දී ය. එම අස්‌ථි එකතුවේ මහා ලීමර වීශේෂවල, හිපපෝටේමස්‌ විශේෂයක, යෝධ ඉබ්බන් හා කිඹුලන්ගේ අස්‌ථි ශේෂ මෙන් ම අලි කුරුල්ලන්ට අයත් වන අස්‌ථි ශේෂ ද තිබී ඇත.

එම ස්‌ථානයෙන් හඳුනාගත් Aepyornis maximus විශේෂයට අයත් අලි කුරුල්ලකුගේ අස්‌ථි ශේෂ පරීක්‌ෂා කළ පර්යේෂකයන්ට ඒවායේ තිබී මිනිසුන් විසින් සිදු කරන ලද කැපුම් සලකුණු හඳුනාගැනීමට හැකි විය. මේවා මිනිසුන් එම සතා දඩයම් කිරීමෙන් පසු ව මස්‌ කිරීමේ දී ඇති වූ ගැඹුරු කැපුම් සලකුණු සේ විස්‌තර කර ඇත. මේ අස්‌ථිවල කොලැජන් නිදර්ශක විකිරණශීලී කාබන් කාල නිර්ණයට ලක්‌ කිරීමෙන් ඒවා අදින් වර්ෂ 10,500කට පමණ (වඩා නිවැරැදි ව පවසන්නේ නම් අදින් වර්ෂ 10,721 සිට 10,511 ක්‌ පමණ කාල පරාසයකට අයත්) පෙර විසූ සතකුගේ බවට කාල නිර්ණය කර තිබෙයි.


මෙය වැදගත් සොයාගැනීමක්‌ බවට පත් වන්නේ කරුණු දෙකක්‌ නිසා ය. ඉන් එකක්‌ වන්නේ මේ පක්ෂීන් හා මිනිසුන් අතර තිබූ සම්බන්ධතාව මින් අනාවරණය වීම ය. දෙවැන්න වන්නේ මැඩගස්‌කරයේ මිනිස්‌ වාසස්‌ථාන ඇති වීම පිළිබඳ ව ඉන් ලැබෙන සාධකවල වැදගත්කම ය.

මේ පක්ෂීන් දඩයම් කිරීම නිසා ඔවුන්ගේ වඳ වී යැමට මිනිසුන් හේතු වී ඇති බව මේ දත්ත අනුව පෙනෙයි. බරින් ටොන් භාගයක්‌ පමණ වූ මේ පක්ෂීන් ප්‍රාග් ඓතිහාසික මානවයාගේ ආහාරයේ වැදගත් තැනක්‌ ගන්නට ඇත. එසේ ම මේ පක්ෂීන්ගේ බිත්තර ද මිනිසුන් විසින් ආහාරයට ගනු ලබන්නට ඇතැයි සැලකෙයි. එවැනි එක්‌ බිත්තරයක්‌ කිකිළි බිත්තර 150ක්‌ පමණ තරම් විශාල ය.

එක්‌තරා කාලයක දී මැඩගස්‌කරයේ සුලබ පක්ෂීයකු වූ මේ පක්ෂීන් අවසන් වශයෙන් වඳ වී යන්නට ඇත්තේ අදින් වසර 1,000කට පමණ පෙර පමණ බව සැලකේ. එසේ ම මේ ආකාරයෙන් මිනිසුන්ගේ ක්‍රියාකාරිත්වය නිසා මහා ලීමරයන් වැනි තවත් මහා සත්ත්ව විශේෂ ද වඳ වී යන්නට ඇති බවක්‌ සැලකෙයි. කෙසේ වෙතත් මෙසේ මිනිසුන් අදින් වසර 10,000කට පමණ ඉහත කාලයක දී මේ පක්ෂීන් දඩයම් කර තිබීම හා අදින් වසර 1,000ක්‌ පමණ කාලයකට ඉහත කාලයක්‌ දක්‌වා මේ පක්ෂීන් වඳ වී නො ගොස්‌ පැවතීම වැදගත් කරුණකි. ඉන් පැහැදිලි වන්නේ මිනිසුන්ගේ දඩයම නිසා කෙටි කාලයක්‌ ඇතුළත පක්ෂීන් වඳ වී යැමට වඩා සිදු ව ඇත්තේ මිනිසුන් හා පක්ෂීන් වසර දහස්‌ ගණනක්‌ පමණ එක ම පරිසරයක පැවතීම හෙවත් සහජීවනයක්‌ තිබීම විය හැකි ය.

මෙසේ මිනිසුන් මැඩගස්‌කරය ජනාවාස කරගෙන පසුව කෙටි කාලයක්‌ තුළ මේ පක්ෂීන් වඳ වී නො යැමෙන් පුළුල් ව පිළිගන්නා එක්‌තරා සිද්ධාන්තයක්‌ මැඩගස්‌කරයට වලංගු නැති බව ද හෙළි වෙයි. ඒ මීට දශක හතරකට පමණ පෙර පෝල් මාටින් නම් පුරාවිද්‍යාඥයා විසින් ඉදිරිපත් කරන ලද කල්පිතයකි. ඉන් පැවසුණේ ලෝකයේ විවිධ ප්‍රදේශවල විසූ මහා ක්ෂීරපායින් වැනි සතුන් මිය යැමට හා වඳ වී යැමට බලපෑ ප්‍රධාන හේතුවක්‌ වූයේ එම පරිසරයට අලුතින් හදිසියේ පැමිණි මිනිසුන්ගේ ප්‍රහාරාත්මක දඩයම් ක්‍රමවේදය බවයි. මිනිසුන් විසින් අධික ලෙස දඩයම් කරනු ලැබීම, දේශගුණ වෙනස්‌ වීම වැනි ස්‌වාභාවික සාධකවලට වඩා වැඩි හේතුවක්‌ බව දක්‌වා තිබිණි. මෙය ඇතැම් සත්ත්ව විශේෂ හා භූගෝලීය ප්‍රදේශ සම්බන්ධ ව සත්‍ය බව මේ වන විට තහවුරු වී ඇත. නවසීලන්තයේ අතීතයේ වාසය කළ විශාල පක්ෂී විශේෂයක්‌ වූ මොආ වඳ වී ගියේ පොලිනීසියානුවන් එරටට පැමිණ සියවස්‌ දෙකක්‌ පමණ කාලයක්‌ ඇතුළත දී බව පැහැදිලි ය.

කෙසේ වෙතත් දැන් මැඩගස්‌කරයෙන් ලැබී ඇති සාධක අනුව පෙනෙන්නේ එරට තුළ පැවැති තත්ත්වය සඳහා එම කල්පිතය එතරම් සාර්ථක පැහැදිලි කිරීමක්‌ නො වන බවයි. එයට හේතුව වන්නේ මේ මහා පක්ෂීන් සමඟ අඩු වශයෙන් මිනිසුන් වසර 9,000ක්‌ පමණ කාලයක්‌ සහජීවනයක්‌ හෙවත් එක ම පරිසරයක වාසය කර ඇති බවක්‌ පෙනී යැම ය. එමෙන් ම අවසානයේ දී අලි කුරුල්ලා වැනි පක්ෂීන් වඳ වී ගියේ ගොවිතැන් කළ ප්‍රජාව මැඩගස්‌කරයට පැමිණි පසුව බව මේ පර්යේෂකයන්ගේ මතය වෙයි. එම පිරිස්‌ රට පුරා ව්‍යාප්ත වූ පසුව හා පරිසරය වෙනස්‌ කළ පසුව ඇති වූ දඩයම් පීඩනය හමුවේ මේ පක්ෂීන් වඳ වී ගොස්‌ ඇත.

කෙසේ වෙතත් මේ ආකාරයෙන් මිනිසුන් විසින් සිදු කරන ලද බලපෑම හේතුවෙන් මහා සත්ත්වයන් වඳ වී යැම සිදු වීම පිළිබඳ අදහස මැඩගස්‌කරය සඳහා සත්‍ය නො වේ යන මතය සඳහා අභියෝග නැතිවා නො වෙයි. නිදසුනක්‌ ලෙස ගත හොත් මැඩගස්‌කරයේ මේ තත්ත්වය ඇති වූයේ එහි විසූ මානව ජනගහනය කුඩා වීම නිසා හෝ කෙටි කාලයක්‌ තුළ පමණක්‌ එම බලපෑම තිබූ නිසා හෝ විය හැකි ය. මේ නිසා මේ මානව ජනාවාස ව්‍යාප්තකරණය පිළිබඳ ව තවදුරටත් අධ්‍යයන සිදු කළ යුතු ව ඇත.

මැඩගස්‌කරයට මිනිසුන් පැමිණි දින වකවානු


මේ අධ්‍යයනයේ දී මිනිස්‌ ජනාවාස පිළිබඳ ව ලැබෙන දින වකවානු මැඩගස්‌කරයට මිනිසුන් පැමිණි කාලය පිළිබඳ ව යළි සිතා බැලීමට පොලඹවයි. උක්‌ත අධ්‍යයනයෙන් හෙළි වන කාලවකවානුව වන අදින් වර්ෂ 10,500කට පෙර කාලය යනු එම දූපතේ මිනිස්‌ වාසය පිළිබඳ ව ලැබෙන පැරැණි ම දින වකවානුවයි.

මැඩගස්‌කරයේ මානව ජනාවාස ඇති වූයේ අදින් වසර 2,500 - 4,000 අතර කාලයේ දී බව මේ දක්‌වා වූ පිළිගැනීම ය. අදින් වර්ෂ 2,400කට පෙර කාලයකට දින නියම කර ඇති වඳ වී ගිය ලීමර් විශේෂයක (Palaeopropithecus ingens) කැපුම් සලකුණු සහිත අස්‌ථිවලින් මේ සඳහා සාධක ලැබෙයි. එසේ ම අදින් වර්ෂ 4,000කට පෙර පමණ සිට මිනිසුන් විසූ බවට සාධක ලෙස ගත හැකි කැපුම් සලකුණු සහිත හිපපොටේමස්‌ අස්‌ථි ද එරටින් හමු වී ඇත. එසේ ම තවත් ප්‍රදේශවලින් අදින් වසර 4,000ක්‌ පමණ පැරැණි ක්‌ෂqද්‍ර ශිලා මෙවලම් ලැබී තිබෙයි.

නව අධ්‍යයනය අනුව මැඩගස්‌කරය ජනාවාස කරගත් දිනය අඩු ම වශයෙන් වර්ෂ 6,000කින් පමණ ප්‍රමාණයකින් අතීතයට හෙවත් අදින් වර්ෂ 10,500ක්‌ දක්‌වා අතීතයට යයි. මේ පැරැණි ම ජනාවාස ඇති කරගත් මිනිසුන් පිළිබඳ තවත් බොහෝ කරුණු අනාවරණය කරගත යුතු ව තිබෙයි. එසේ ම මේ දක්‌වා ඉහත කී ආකාරයේ කැපීම් ඇති කිරීම සඳහා යොදාගත් ශිලා මෙවලම් හමු වී නොමැත. ඒවා හමු වුව හොත් එම මානව කොට්‌ඨාසය ජීවත් වූ ආකාරය සම්බන්ධ ව කරුණු හෙළි කරගත හැකි ය. එසේ ම ඔවුන් කෙතරම් කාලයක්‌ දූපතේ වාසය කළේ ද යන්න අනාවරණය කරගත හැකි වනු ඇත. මේ සඳහා අනාගතයේ දී වැඩිදුර පර්යේෂණ සිදු කළ යුතු බව මේ පර්යේෂකයන්ගේ අදහස වෙයි.

කෙසේ වෙතත් වගා කටයුතුවල නියෑළෙන ජනතාවක්‌ මේ දූපතේ සිටියේ පොදු වර්ෂ 500 පමණ කාලයෙන් පසුව බව සාමාන්‍යයෙන් සැලකෙයි. මේ දක්‌වා මැඩගස්‌කරය පිළිගැනෙන්නේ මිනිසුන් විසින් අවසන් වශයෙන් හෙවත් වඩාත් මෑත කාලයේ දී වාසස්‌ථාන කරගන්නා ලද තැනක්‌ ලෙසිනි. ඒ ඇන්ටාක්‌ටිකාව හැරුණු විට ය.

මූලාශ්‍රය : Science Advances, DOI: 10.1126/sciadv.aat6925

No comments:

Post a Comment