Saturday, March 10, 2018

වරක්‌ පමණක්‌ භාවිත කරන ප්ලාස්‌ටික්‌ පිළිබඳ ජගත් මට්‌ටමේ විරෝධය

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 07.03.2018, පි. 11 (Vidusara)

http://www.vidusara.com/2018/03/07/feature4.html




ප්ලාස්‌ටික්‌ යනු අද ලෝකයේ නැති ව ම බැරි දෙයකි. ගණනය කර ඇති ආකාරයට 1950 ගණන්වල සිට 2015 දක්‌වා ප්ලාස්‌ටික්‌ ටොන් බිලියන 8.3ක්‌ නිෂ්පාදනය කර තිබෙයි. මේ අතරින් ටොන් 6.3ක්‌ පමණ ප්‍රමාණයක්‌ ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය බවට පත් ව ඇත. මේ අතරින් ප්‍රතිචක්‍රිකරණය කර ඇත්තේ 9%ක්‌ වන අතර, 12%ක්‌ පුළුස්‌සා දමා ඇත. ඉතිරි 79%ක්‌ පමණ ප්‍රමාණය අපද්‍රව්‍ය ලෙස පරිසරයට එක්‌ වී ඇත. ඒ අතර බිම් පිරවුම්වල ඇති ප්ලාස්‌ටික්‌ මෙන් ම ස්‌වාභාවික පරිසරයට එක්‌ කරනු ලබන ප්ලාස්‌ටික්‌ ද මීට ඇතුළත් ය. මේ අනුව ප්ලාස්‌ටික්‌ පරිසර දූෂණ ගැටලුවේ තරම පැහැදිලි ව පෙනේ. කෙසේ වෙතත් මෑත කාලයේ දී ප්ලාස්‌ටික්‌ නිෂ්පාදන සම්බන්ධ ව ලෝකය පුරා බොහෝ රටවල නීති රීති පනවා පාලනයට පියවර ගෙන තිබෙයි. එක්‌ වරක්‌ පමණක්‌ භාවිත කර බැහැර කරනු ලබන ප්ලාස්‌ටික්‌ මෙහි දී වැඩි අවධානයක්‌ යොමු ව ඇත.

මෙසේ ප්ලාස්‌ටික්‌ මඟින් සිදු වන පරිසර දූෂණය හා සම්බන්ධ ව අවධානය මෑත දී ඉහළ ගියේ ප්ලාස්‌ටික්‌ නිසා ඇති වී තිබෙන පරිසර දූෂණය සම්බන්ධ ව වාර්තා වීමත් සමඟ ය. ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය එකතු වීමෙන් ගොඩබිම අපද්‍රව්‍ය ගැටලුව ඉහළ ගොස්‌ ඇති අතර ම, සාගර පරිසරයේ දැකිය හැකි ප්ලාස්‌ටික්‌ ප්‍රමාණය හා ඒ නිසා ඇති වී තිබෙන ගැටලු ද මීට දායක විය. සාගර ජීවීන් ගේ ආහාර දාමයට ප්ලාස්‌ටික්‌ ඇතුළු වීම නිසා ඇති වී තිබෙන තත්ත්වය එවැනි එක්‌ කරුණකි. එසේ ම මෙතෙක්‌ නො ඉඳුල් ලෙස පැවැති ඇතැම් දූපත් හා එවැනි හුදෙකලා පරිසර පද්ධති ප්ලාස්‌ටික්‌ නිසා දූෂණයට පත් ව තිබීම මෑත කාලයේ දී වාර්තා විය. මිනිස්‌ වාසයකින් බොහෝ ඈතින් පිහිටා ඇති දූපත්වල මෙන් ම, ආක්‌ටික්‌ ප්‍රදේශය ද මෙසේ ප්ලාස්‌ටික්‌ නිසා දූෂණයට ලක්‌ ව තිබීම මෑත කාලයේ දී වාර්තා වී ඇත.

ඇතැම් අවස්‌ථාවල දී මේ වරක්‌ භාවිත කර ඉවත දමන ප්ලාස්‌ටික්‌ හඳුන්වනු ලැබන්නේ 'තත්පර පහකින් නිපදවා, මිනිත්තු පහක්‌ භාවිත කර ඉවත දමන නමුත් දිරාපත් වීමට වසර 500ක්‌ කල් යන නිෂ්පාදනයක්‌' ලෙස ය. එම කාල සීමාව සැම නිෂ්පාදනයකට ම සමාන නො වුව ද එමඟින් ලබා දෙන අදහස වන්නේ කෙටි කාලයකින් නිෂ්පාදනය කර එක්‌ වරක්‌ පමණක්‌ භාවිත කළ ද මේවා දිරාපත් වීමට ඉතා දිගු කාලයක්‌ ගත වන බවයි. මෙහි ඇති වඩාත් කණගාටුදායක කරුණ එයයි. මේ නිෂ්පාදන අවසානයේ දී එකතු වන්නේ පරිසරයට යත ගොඩබිමට හෝ සාගරයට ය. එමඟින් අදාළ පරිසරයට හානි සිදු විය හැකි ය.

ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය සීමා කිරීම


මෙවැනි හේතු නිසා ප්ලාස්‌ටික්‌ පාලනය කිරීම සඳහා, එක්‌ වරක්‌ පමණක්‌ භාවිත කර ඉවත දමනු ලබන ප්ලාස්‌ටික්‌ නිෂ්පාදන පාලනය සඳහා, ලෝකයේ වැඩි අවධානයක්‌ යොමු ව තිබේ. ඒ පිළිබඳ ව වැඩි අවධානයක්‌ යොමු ව ඇති කලාපයක්‌ ලෙස යුරෝපා සංගමයේ රටවල් දැක්‌විය හැකි ය. මේ වන විට යුරෝපා සංගමය වරක්‌ භාවිතයෙන් පසු ඉවත දමන ප්ලාස්‌ටික්‌ පිළිබඳ ව සීමා පැනවීමට කටයුතු කරමින් ඇත. දැනට සකස්‌ කෙරෙමින් පවත්නා මේ නියෝග වර්ෂයේ මැද භාගයේ දී පමණ අනුමත වනු ඇතැයි අපේක්‌ෂිත ය. පසුගිය ජනවාරි මාසයේ දී ප්‍රකාශයට පත් වූ ආකාරයට මෙහි ඉලක්‌ක වන නිෂ්පාදන අතර, ප්ලාස්‌ටික්‌ බීම බට (ස්‌ට්‍රොa), කෝප්ප, වර්ණවත් බෝතල්, පියන්, හැඳි ගෑරුප්පු හා ආහාර ගෙන යන බඳුන් ආදිය වෙයි. එහි දී ගන්නා පියවර අතර නිෂ්පාදනවලට බදු පැනවීම, තහනම ආදිය ඇතුළත් වන බව පැවසේ. සමස්‌තයක්‌ ලෙස ගත් විට යුරෝපයේ ජනනය වන ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය අතරින් ප්‍රතිචක්‍රිකරණය කරනු ලබන්නේ 30%ක්‌ තරම් අඩු ප්‍රමාණයකි. යුරෝපා සංගමයේ ඉලක්‌කය වන්නේ 2030 වන විට එය 100%ක අගයක්‌ කරා ගෙන ඒම ය. නැත හොත් නැවත භාවිත කළ හැකි තත්ත්වයකට ගෙන ඒම ය. මේ අනුව එක්‌ වරක්‌ පමණක්‌ භාවිත කරනු ලබන ප්ලාස්‌ටික්‌ නිෂ්පාදන බොහොමයක්‌ යුරෝපා රටවල් තුළ තහනම් වීමට අවස්‌ථාව තිබේ. එසේ ම සංගමයට අයත් රටවල් මේ වන විටත් යම් යම් පියවර ගෙන ඇති අතර, ලෝකයේ වෙනත් රටවල් ද සමාන පියවර ගෙන ඇත.

මේ ආකාරයෙන් ප්ලාස්‌ටික්‌ බැහැර ලීම පාලනයට හා ප්‍රතිචක්‍රිකරණය සඳහා උනන්දුවක්‌ ඇති වීමට බලපෑ තවත් වැදගත් කරුණක්‌ වන්නේ චීනය විසින් මෑතක දී ගනුනා ලද තීරණයකි. එනම් භාවිත කරන ලද අපද්‍රව්‍ය වර්ග ගණනාවක්‌ ප්‍රතිචක්‍රිකරණය සඳහා ආනයනය කිරීම තහනම් කිරීමට ගත් තීරණයයි. මීට ඇතැම් ප්ලාස්‌ටික්‌ වර්ග ද අයත් වෙයි. පසුගිය ජනවාරි 1 දින සිට මෙය ක්‍රියාත්මක ය. බොහෝ යුරෝපා රටවල සිය පසු භාවිත ප්ලාස්‌ටික්‌ අපනයනය කරන ලද්දේ චීනයට ය.

මේ වන විට මෙසේ ප්ලාස්‌ටික්‌ නිෂ්පාදන සම්බන්ධ ව ඇති වී තිබෙන සීමා කිරීම් තෙල් ඉල්ලුම සම්බන්ධ ව යම් බලපෑමක්‌ සිදු කරන බව ලෝක ප්‍රකට සමාගමක්‌ වන BP සමාගම පවසයි. එහි ප්‍රකාශකයකුට අනුව ලෝකය පුරා එවැනි පියවර ගත හොත් තෙල් නිෂ්පාදනයේ වර්ධනය 2030 වන විට දිනකට බැරල් මිලියන දෙකකින් පමණ අඩු විය හැකි ය. අද වන විට ලෝකයේ දෛනික තෙල් ඉල්ලුම තෙල් බැරල් මිලියන 97ක්‌ පමණ වෙයි.

ප්ලාස්‌ටික්‌ මලු


බොහෝ රටවලට ගැටලුවක්‌ වී ඇති වරක්‌ භාවිත කර ඉවත දමන ප්ලාස්‌ටික්‌ මලු සම්බන්ධ ව ගෙන ඇති විවිධ පියවර අතර, සම්පූර්ණ තහනමක්‌ ක්‍රියාත්මක කිරීම, බෑග් සඳහා පාරිභෝගිකයන් ගෙන් මුදල් අය කිරීම හා ඒවා අලෙවි කරනු ලබන ආයතනවලින් බදු මුදලක්‌ අය කිරීම වැනි පියවර වේ.

මේ වන විට ගෙන ඇති සාර්ථක ම පියවර වන්නේ ඒවා තහනම් කිරීම හා පාරිභෝගිකයන් ගෙන් යම් මුදලක්‌ අය කිරීමයි. එය බද්දක්‌ ලෙස ද හැඳින්වේ. අයර්ලන්තය, පෘතුගාලය හා බ්‍රිතාන්‍යය වැනි රටවල් ගණනාවක්‌ මෙසේ ප්ලාස්‌ටික්‌ මලු සඳහා මුදලක්‌ ගෙවිය යුතු බවට නීති පනවා ඇති අතර, ඒ රටවල ඉන් පසුව ගත වූ කාලයේ දී එවැනි මලු පරිභෝජනයේ කැපී පෙනෙන අඩු වීමක්‌ සිදු වී තිබේ. ඇතැම් රටක පාරිභෝගිකයන් අතරින් 90%ක්‌ පමණ දෙනා දිගු කල් පවත්නා බෑග් සඳහා යොමු වූ ආකාරය වාර්තා වී තිබේ.

ප්ලාස්‌ටික්‌ කෝප්ප හා බෝතල්


වරක්‌ භාවිතයෙන් පසුව ඉවත දමන ප්ලාස්‌ටික්‌ කෝප්ප හා බෝතල් මෙවැනි තවත් ගැටලු ඇති කර තිබෙන නිෂ්පාදනයකි. මෙමඟින් පරිසරයට එකතු වන අපද්‍රව්‍ය ප්‍රමාණය මහත් ය. නිදසුනක්‌ ලෙස ගත හොත් බ්‍රිතාන්‍යය තුළ වර්ෂයක දී කෝප්ප බිලියන 2.5ක්‌ පමණ ඉවත දමනු ලැබේ. එසේ ම කාඩ්බෝඩ්වලින් තනන ලද එහෙත් දැඩි පොලිතින් තට්‌ටුවකින් ආවරණය කරන ලද කෝප්ප ද ප්‍රතිචක්‍රිකරණය කිරීම පහසු නො වේ. මේ නිසා එවැනි බඳුන් වුව ද ප්‍රතිචක්‍රිකරණය කරනු ලබන්නේ 0.25%ක්‌ තරම් ඉතා අඩු ප්‍රමාණයක්‌ බව දක්‌වා තිබෙයි. එවැනි පහසුකම් සහිත කර්මාන්ත ඇත්තේ අඩු ප්‍රමාණයකි. මේ නිසා මේවා භාවිතයෙන් ඉවත් කිරීම සඳහා තවත් වසර කිහිපයක්‌ ගත විය හැකි බැවින්, එතෙක්‌ කිසියම් බදු මුදලක්‌ එකතු කිරීමට බ්‍රිතාන්‍යය යෝජනා කර ඇත.

මේ සඳහා විකල්ප ලෙස ඉදිරිපත් ව ඇත්තේ දැනටමත් භාවිතයේ ඇති වීදුරු කෝප්ප හා ප්‍රතිචක්‍රිකරණයට ලක්‌ කළ හැකි කෝප්ප ය. එසේ ම ඇතැම් ආයතන විවිධ පියවර හඳුන්වා දී ඇත. තමන් ගේ ම බඳුන් රැගෙන එන පුද්ගලයන්ට කෝපි සඳහා වට්‌ටමක්‌ ලබා දීම නිදසුනකි. මේ සඳහා යම් බද්දක්‌ එකතු කිරීමෙන් වැඩි ප්‍රතිඵලයක්‌ අත් කරගත හැකි බව බ්‍රිතාන්‍යය මේ ගැන සිදු කළ වාර්තාවක්‌ අනුව පෙනෙයි. එම බදු මුදල අදාළ කෝප්ප ප්‍රතිචක්‍රිකරණය කරනු ලබන පහසුකම් සංවර්ධනය කිරීම සඳහා යෙදවීමට අපේක්‌ෂිත ය. එසේ ම යුරෝපා සංගමයේ යෝජිත නියෝග අනුව ද වරක්‌ භාවිතයෙන් පසුව ඉවත දමන ප්ලාස්‌ටික්‌ කෝප්ප ඉදිරියේ දී තහනම් වනු ඇතැයි අපේක්‌ෂා කරනු ලැබේ.

එසේ ම ප්ලාස්‌ටික්‌ බෝතල් සම්බන්ධ ව ද මෙවැනි විරෝධයක්‌ එල්ල වී ඇත. නිදසුනක්‌ ලෙස ගත හොත් බ්‍රිතාන්‍යයේ පමණක්‌ මෙසේ භාවිතයෙන් පසුව ඉවත දමන ප්ලාස්‌ටික්‌ වතුර බෝතල් බිලියන 7.7ක්‌ වර්ෂයක දී ඉවත දමනු ලැබෙයි. තවත් බෝතල් බිලියන 7.5ක්‌ පමණ ප්‍රතිචක්‍රිකරණය කරනු ලැබේ. ඒ වෙනුවට තමන් ගේ ම ජල බෝතලයක්‌ රැගෙන යැම ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කිරීම සුදුසු බව පෙන්වා දී තිබෙයි. එසේ ම ප්ලාස්‌ටික්‌ ජල බෝතල භාවිතය අඩු කිරීම සඳහා ප්‍රායෝගික පියවර ඇතැම් රටවල් ගෙන ඇත. 'සැම ආහාර පාන සපයන සැම ආයතනයක්‌ ම පානීය ජලය නොමිලේ සැපයිය යුතු ය' යනුවෙන් නීති සැකසීම මීට නිදසුනකි.

ප්ලාස්‌ටික්‌ බීම බට


බීම ආදිය පානය කිරීම සඳහා යොදාගන්නා ප්ලාස්‌ටික්‌ බීම බට හෙවත් ස්‌ට්‍රොa සම්බන්ධ ව ද මෑත කාලයේ සිට අවධානය යොමු ව ඇති බව පෙනෙයි. බ්‍රිතාන්‍යයේ පමණක්‌ එක්‌ වර්ෂයක්‌ ඇතුළත භාවිතයෙන් පසුව බැහැර කරනු ලබන බීම බට ප්‍රමාණය බිලියන 8.5ක්‌ පමණ වන අතර, එය එරට වෙරළ පිරිසිදු කිරීම්වල දී හමු වන ප්‍රධාන අපද්‍රව්‍ය දහයෙන් එකක්‌ ද වෙයි. පසුගිය දා බ්‍රිතාන්‍යයේ පරිසර ලේකම් පවසා තිබුණේ ප්ලාස්‌ටික්‌ ස්‌ට්‍රොa බ්‍රිතාන්‍යය තුළ ද තහනම් කිරීමට වුව ද හැකියාව ඇති බවයි.

මේ වන විටත් ඇතැම් ව්‍යාපාරවල බීම බට ලබා දෙනුයේ පාරිභෝගිකයා ඉල්ලා සිටිය හොත් පමණකි. ඒවා භාවිතයෙන් ඉවත් කරමින් තිබෙයි. ඒ වෙනුවට කඩදාසි හා ලෝහමය බීම බට භාවිතයට ගැනීම ප්‍රවර්ධනය කරනු ලැබේ. මෙය ද යුරෝපා සංගමයේ යෝජිත නීතිවලට ඇතුළත් වනු ඇතැයි අපේක්‌ෂිත නිෂ්පාදනයකි

http://www.vidusara.com/2018/03/07/feature4.html

No comments:

Post a Comment