Saturday, March 10, 2018

වසර 16කදී ඔරං උටං 100,000ක් මරා දමලා

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 21.02.2018 පි. 07 (Vidusara - Not available online)



අගේ‍්‍රෂයන් හෙවත් ප‍්‍රයිමේටාවන් යනු මිනිසාද අයත් වන, එසේම මිනිසාට වඩාත් සමීප සත්ත්ව විශේෂ වන වානරයන් හා වඳුරන් ආදි සතුන් ඇතුළත් වන සත්ත්ව ගෝත‍්‍රයයි. මේ අතරින් මහා වානරයන් ලෙස සැලකෙන ඔරං උටන්, ගොරිල්ලන් හා චිම්පන්සින් පරිණාමික වශයෙන් මිනිසාට වඩාත් සමීප වෙයි. ගෝත‍්‍රයේ සෙසු සාමාජිකයින්ට වඩා මේ මහා වානරයෝ බුද්ධියෙන්ද ඉහළ මට්ටමක පසුවෙති.

කෙසේ වෙතත්, බුද්ධියෙන් ඉහළම මට්ටමක පසුවන මිනිසාගේ ක‍්‍රියාකාරිත්වය නිසා ඔහුගේ සමීප ඥාතියකු වන ඔරං උටං පත්ව ඇති අවාසනාවන්ත ඉරණම පිළිබඳව පසුගියදා අසන්නට ලැබිණි. එ් අනුව වසර දහසයක කාලයක් ඇතුළත ඉන්දුනීසියාවේ බෝර්නියෝ දූපතේ වෙසෙන ඔරං උටං සතුන් 100,000කට අධික පිරිසක් විවිධ හේතු නිසා මරුමුවට පත්ව ඇත.

මේ බව හෙළිව ඇත්තේ විද්‍යාඥයින් පිරිසක් විසින් වසර 16ක කාලයක් තිස්සේ එම දූපතේ ඔරං උටං සතුන් පිළිබඳව සිදුකරන ලද සමීක්ෂණයක් මගිනි. මෙම අධ්‍යයනයේදී අවධානය යොමුකර ඇත්තේ ඔරං උටං සතුන් තනන කූඩු ප‍්‍රමාණය කාලය හා සමඟ වෙනස් වී ඇති ආකාරය සම්බන්ධවයි. ඔරං උටං සතුන් තනනු ලබන කූඩු ප‍්‍රමාණය එම සතුන්ගේ ගහනයේ විශාලත්වය පැවසීම සඳහා යොදාගන්නා උපක‍්‍රමයකි. උක්ත අධ්‍යයනයේදී කූඩු ප‍්‍රමාණය ගණනය කිරීම සඳහා භූමියෙන් සිදුකරන ලද නිරීක්ෂණ මෙන්ම හෙලිකොප්ටර් යොදාගනිමින් සිදුකරන ලද නිරීක්ෂණද සමීක්ෂණ උපක‍්‍රම ලෙස යොදාගෙන තිබෙයි.

පර්යේෂණයේ ප‍්‍රතිඵල


මේ අධ්‍යයනයේදී ගණන් බලා ඇති ආකාරයට 1999 වර්ෂයත් 2015 වර්ෂයත් අතර කාලයේදී බෝර්නියෝ දූපතේදී මරුමුවට පත්ව ඇති ඔරං උටං සතුන්ගේ ප‍්‍රමාණය 100,000 ඉක්මවයි. එ් අනුව 1999-2015 අතර කාලයේදී ඔරං උටං සතුන්ගේ ගහනය අඩකින් පමණ ප‍්‍රමාණයකින් අඩු වී ඇති බව පෙනී ගොස් තිබේ.

එසේම මේ දූපතේ එකිනෙකට වෙනස් ඔරං උටං කණ්ඩායම් 64ක් හඳුනාගෙන ඇති අතර, ඉන් සියයකට අධික සතුන් පිරිසක් දැකිය හැක්කේ කණ්ඩායම් 38ක පමණකි. මෙම සත්ත්ව කණ්ඩායමක් ශක්‍ය එකක් වීම සඳහා එම කණ්ඩායමේ සියයකට අධික සාමාජිකයින් පිරිසක් සිටිය යුතු බව සැලකෙයි.

මේ ආකාරයෙන් ඔරං උටං සතුන් අකාලයේ මිය යෑම සඳහා හේතු වී ඇති ප‍්‍රධානම හේතුව වී ඇත්තේ වනාන්තර විනාශයයි. මේ දූපතේ වනාන්තර විනාශය සඳහා බලපා ඇති මූලික සාධකය වී ඇත්තේ දැව සඳහා ගස් කැපීම, කටු පොල් වගාව, කැනීම් හා කඩදාසි කර්මාන්තය වැනි මානව මූලික ක‍්‍රියාවලිය. ඉන්දුනීසියාවේ ඇතැම් ප‍්‍රදේශවල ප‍්‍රධාන ආදායම් මාර්ග වී ඇත්තේ මෙම කර්මාන්තය. මේ නිසා ඇතැම් විට පවත්නා නීති රීතිවලට ගරු නොකරමින් වනාන්තර හෙළි පෙහෙළි කරමින් මේ ක‍්‍රියාවලිවල යෙදෙන ආකාරය දැකිය හැකිය.

මේ හේතු නිසා බෝර්නියෝ දූපතේ වනාන්තර බෙහෙවින් කැබලිකරණය වී ඇති අතර, ඒ නව වැවිලි වගා සහ ගොඩනැගිලි ව්‍යාපෘති ආදිය නිසාය. එසේම, මෙවැනි ප‍්‍රදේශවල ඔරං උටං ගහනය 75%ක් පමණ ප‍්‍රමාණයකින් අඩු වී ඇති බව හෙළි වී තිබේ.

එහෙත් දූපතේ ඝන වනාන්තරගත ප‍්‍රදේශවල ඔරං උටං ගහනයද 50%කින් පමණ අඩු වි ඇති බව උක්ත අධ්‍යයනයෙන් හෙළිව ඇත. මෙහි ඇති වැදගත් කරුණ වන්නේ වනාන්තරගත ප‍්‍රදේශවල වැඩි සතුන් ප‍්‍රමාණයක් වෙසෙන බැවින් මේ අඩුවීම යනු වැඩි සතුන් ප‍්‍රමාණයක් මියගොස් ඇති බවක් වීමයි. එ් අනුව අධ්‍යයන කාලය තුළ මියගොස් ඇති ඔරං උටං සතුන් අතරින් 70%ක් පමණ ප‍්‍රමාණයකගේ මරණ වනාන්තරවල සිදුව ඇති බව පැහැදිලිය. වනාන්තර ලෙසින් පවත්නා පරිසරයේද මේ සතුන් විශාල වශයෙන් මියයෑනේ පෙනී යන්නේ සැලකිය යුතු ඔරං උටං සතුන් ප‍්‍රමාණයක් හුදෙක් දඩයම මගින් ඝාතනය කරනු ලබන බවක් විය හැකි යැයි පර්යේෂකයන්ගේ අදහස වෙයි. මෙය මීට පෙර එතරම් අවධානයට ලක් නොවූ තර්ජනයක් ලෙස සඳහන්ය.

මෙසේ ඔරං උටං සතුන් මරා දැමීම දඩයක්කරුවන් විසින් සිදුකරනු ලබන්නේ කරුණු කීපයක් නිසාය. ආහාර සොයා පැමිණෙන ඔරං උටං සතුන් මිනිසුන්ගේ භෝග වගා බිම්වලට හානි කරනු ලැබීම නිසා එරෙහිව දඩයම් කිරීම සිදුකරනු ලැබිය හැකි බව ඉන් එකකි. වගාබිමක් ආසන්නයේ ඇති පරිසරයකදී මිනිසුන් සමඟ ගැටුමක් ඇතිකරගත් විට හැම අවස්ථාවකදීම මේ සතුන් පරාජයට පත් වන බව පැහැදිලිය. එසේම වනාන්තරවලට සතුන් දඩයම් කිරීම සඳහා පිවිසෙන දඩයක්කරුවන් ඔරං උටං වැනි සතුන් ආහාරය පිණිස දඩයම් කිරීමද දැකගත හැකි කරුණකි. එසේම සුරතල් සතුන් ලෙස ඇතිකිරීම සඳහා යොදාගැනීම පිණිස පැටවුන් ලබාගැනීම සඳහා ඔරං උටං ගැහැණු සතුන් මරාදැමීමද සිදු වෙයි. එක් පැටවකු ලබාගැනීම සඳහා වැඩිහිටි ගැහැණු සතෙකු මරාදැමීම සිදු කෙරෙයි. වනාන්තර ලෙස පවත්නා පරිසරයක මෙවැනි තත්ත්වයක් පවත්නා බවක් මීට පෙර නොසිතූ බව පර්යේෂකයන්ගේ අදහස වෙයි. මේ අනුව දඩයම බරපතළ ගැටලූවක් බව පැහැදිලි වන බව ඔවුන්ගේ අදහසයි.

සංරක්ෂණයේ අනාගතය


අද වන විට බෝර්නියෝ දූපතේ වාසය කරන ඔරං උටං සතුන්ගේ ගණන 70,000-100,000 අතර ගණනක් බව ගණන් බැලා තිබෙයි. මේ අධ්‍යයනයේදී තවදුරටත් ගණන් බලා ඇති පරිදි වන විනාශය නිසා ඇතිවන වාසස්ථාන අහිමිවීම නිසා ඇති වන බලපෑම් අනුව ඉදිරි වසර 35ක කාලය ඇතුළත තවත් ඔරං උටං සතුන් 45,300ක් පමණ ප‍්‍රමාණයක් පමණ මරණයට පත් විය හැකිය. මෙහිදී ඔරං උටං සතුන්ට රුක් ආවරණයක් නොමැති ප‍්‍රදේශවල ජීවත් වීමට නොහැකිය යන්න උපකල්පනය කර තිබෙයි. එසේම මෙම ගණන් බැලීමේදී අදාළ සතුන් ආරක්ෂා කිරීම සඳහා කිසිදු උත්සාහයක් නොගතහොත් යන තත්ත්වයද සැලකිල්ලට ගෙන ඇත. කෙසේ වෙතත් මෙම පුරෝකථනයට ආහාරය සඳහා හෝ මිනිසුන් සමඟ ඇති කරගන්නා ගැටුම් නිසා හෝ දඩයම් කිරීමෙන් මරා දමනු ලබන සතුන්ගේ ගණන අයත් නොවෙයි. මෙම කරුණුද ඇතුළත් වූ පසුව මෙම අගය තවත් ඉහළ යා හැකිය.

මෙම පර්යේෂකයන් පෙන්වා දෙන ආකාරයට ඔරං උටං මරණ ගණන මෙතරම් ඉහළ වෙතැයි ඔවුන් මුලින් අපේක්ෂා නොකළ තරම්ය. එහෙත් එය එසේ වී තිබේ. මේ තත්ත්වය වළක්වා ගෙන ඔරං උටං ගහනය ස්ථාවර තත්ත්වයකට ගෙන එ්මට නම් කළ යුතු කාර්යය රාශියක් ඇති බව පැහැදිලිය. මෙහිදී වනාන්තර විනාශය වළක්වාලිම පිණිස කාර්යක්ෂම ලෙස මැදිහත් වීම මෙන්ම වගා පාලූ කිරීම හැර අන් හානියක් නොමැති මෙම සතුන් නිකරුනේ ඝාතනය කිරීම වළක්වාලීම සඳහා ඍජු මැදිහත්මක් සිදුකිරීම වැදගත් වෙයි. මේ සඳහා ගත යුතු විවිධ පියවර ඇති බව මේ පර්යේෂකයන්ගේද අදහස් වෙයි. විශේෂයෙන් අභිජනන වේගය අඩු මට්ටමක පැවතීම ඔරං උටං ගහනය යහපත් මට්ටමක පවත්වා ගැනීමේදී සැලකිල්ලට ලක්විය යුතු කරුණක් වේ.

මේ අනුව මිනිසුන් විසින් තිරසර නොවන ආකාරයට ස්වාභාවික සම්පත් භාවිත කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙසින් සිදුව ඇති හානියේ තරම බෝර්නියෝ දූපතේ ඔරං උටං සතුන් මුහුණදී ඇති තත්ත්වයෙන්ද පෙනේ. මානවයින් ස්වකීය ළගම ඥාතීන් පිළිබඳව මීට වඩා සැලකිලිමත්ව සිතිය යුතු බව පැහැදිලිය. මේ අධ්‍යයනය පැහැදිලි අනතුරු හැඟවීමක් සිදුකරන්නක් වන අතර, කඩිනමින් පියවර ගැනීමේ ඇති වැදගත්කමද අවධාරණය කරයි.

මූලාශ්‍රය - Current Biology, DOI: 10.1016/j.cub.2018.01.053

සටහන - ඔරං උටං

ඔරං උටං යනුවෙන් හඳුන්වනු ලබන ප‍්‍රයිමාටා ගෝත‍්‍රයට අයත් වානර විශේෂ තුනක් මිහිමත ජීවත් වෙති. Pongo ගණයට අයත් ඔරං උටං සතුන් අතරින් Pongo pygmaeus විශේෂය බෝර්නියෝ දූපතේද, Pongo abelii හා Pongo tapanuliensis නම් අනෙක් විශේෂ දෙක සුමාත‍්‍රා දූපතේ ප‍්‍රදේශ දෙකකදීද දැකිය හැකිය. බෝර්නියෝ දූපතේ ජීවත්වන විශේෂයේ උප විශේෂ තුනක් ජීවත් වන බව හඳුනාගෙන තිබේ.

බුද්ධිමත් මහා වානරයන් අතර සිටින ඔරං උටං විවිධ දේ සරල උපකරණ ලෙස භාවිතයට ගැනීම සිදුකරන අතර රාත‍්‍රී කාලය ගත කිරීම සඳහා ගස් මත කූඩුවක් වැනි ව්‍යුහයක් තැනීම සිදුකරයි. එසේම මේ සත්ත්වයා ප‍්‍රයිමේටා සතුන් අතර වෙසෙන වඩාත්ම රුක්වාසි ජීවිතය ගත කරන ප‍්‍රයිමේටාවා සේ සැලකෙයි. එයද වැදගත් කරුණකි.

ඔරං උටං මුහුණ දී ඇති තර්ජනය මහත්ය. වාසස්ථාන විනාශ වීම, දඩයම් කිරීම, සුරතල් සතුන් ලෙස ඇතිකිරීම වැනි කටයුතු මේ සතුන් මුහුණ දී ඇති ප‍්‍රධාන තර්ජන අතර වෙයි. මේ තත්ත්වය හේතුවෙන් ලෝක සංරක්ෂණ සංගමය මගින් 2016 වර්ෂයේදී මෙම සත්ත්ව විශේෂ තුනම දැඩි අන්තරායක (Critically Endangered) තර්ජනයට ලක්ව ඇති සත්ත්ව විශේෂයක් ලෙස නම් කරන ලදි.

No comments:

Post a Comment