Monday, February 6, 2017

ජීවී පරිණාමයේ නාගරිකකරණ ලක්‌ෂණ හා එහි බලපෑම්

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 18.01.2017, පි.5 (Vidusara)

http://www.vidusara.com/2017/01/18/feature2.html


ජෛව පරිණාමය මිනිසුන් ගේ අවධානයට ලක්‌ ව ඇති කදිම ස්‌වාභාවික සංසිද්ධියක්‌ සේ හැඳින්විය හැකි ය. සාමාන්‍යයෙන් පරිණාමය සඳහා වසර සිය ගණනක්‌ හෝ දහස්‌ ගණනක්‌ වැනි දීර්ඝ කාල වකවානුවක්‌ ගත වේ. ඒ, පරිණාමික ක්‍රියාවලිය ඇති වන්නේ ජීවී ගහනයක පරම්පරාවෙන් පරම්පරාවට අඛණ්‌ඩව උරුම වන ලක්‌ෂණ මගින් වන බැවිනි. ජීවීන් අතර දැකිය හැකි පරිණාමීය වෙනස්‌ වීම් හා පරිණාමික ක්‍රියාවලිය සම්බන්ධව හඳුනාගෙන විස්‌තර කර ඇත්තේ බොහෝ විට ෆොසිල සාධක ආදිය යොදාගනිමිනි.

එහෙත් කෙටි කාලයක්‌ ඇතුළත සිදු වන්නා වූ පරිණාමීය වෙනස්‌ වීම් සම්බන්ධව හෙවත් ඇතැම් විට සමකාලීන පරිණාමීය (contemporary evolution) වෙනස්‌ වීම් ලෙස හඳුන්වනු ලබන ආකාරයේ පරිණාමික වෙනස්‌ වීම් හඳුනාගෙන ඇත්තේ වඩා අඩු වශයෙනි. මේ වන විට හෙළි වී ඇති පරිදි මිනිසුන් විසින් පරිසරයේ සිදු කරනු ලබන වෙනස්‌කම් හේතුවෙන් ජීවීන් ගේ මෙවැනි පරිණාමීය වෙනස්‌ වීම් ඇති විය හැකි ය. මේ නිසා මිනිසුන් ක්‌ෂුද්‍ර පරිණාමයේ ධාවකයන් ලෙස ක්‍රියා කරන අවස්‌ථා සම්බන්ධව සාධක ලැබී ඇත. නාගරිකකරණය යනු මිනිසුන් විසින් මෙසේ ජීවී පරිණාමය සඳහා බලපෑමක්‌ ඇති කළ හැකි ලෙස හඳුනාගෙන ඇති එක්‌ ක්‍රියාවලියකි.

නාගරිකකරණයේ පරිණාමික බලපෑම


වර්තමාන ලෝකයේ මානව ජනගහනයෙන් අඩකට වැඩි පිරිසක්‌ ජීවත් වන්නේ නාගරික ප්‍රදේශවල ය. 1950 දශකයේ දී ලෝකයේ ජනගහනයෙන් නාගරික ප්‍රදේශවල වාසය කළේ 30%ක්‌ පමණ පිරිසක්‌ පමණි. එහෙත් 2014 වර්ෂය වන විට ඒ ප්‍රමාණය 54%ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ ඇත. මේ ප්‍රමාණය තවදුරටත් වර්ධනය වෙමින් තිබේ. 2050 වර්ෂය පමණ වන විට ලෝක ජනගහනයෙන් 66%ක්‌ පමණ නාගරික වැසියන් වනු ඇතැයි ගණන් බලා ඇත. මේ අනුව නාගරික භූමි ප්‍රදේශය ද වර්ධනය වන බව පැහැදිලි ය. 2030 වර්ෂය වන විට ලෝකයේ නාගරික ප්‍රදේශවලින් වැසී ඇති භූමි ප්‍රමාණය 2000 වර්ෂයේ පැවැති නාගරික භූමි ප්‍රමාණය මෙන් තුන් ගුණයක්‌ පමණ වනු ඇතැයි ද අපේක්‌ෂා කරනු ලැබේ.

මෙවැනි තත්ත්වයක්‌ ඇතුළත නාගරික ප්‍රදේශවල ව්‍යාප්තිය හේතුවෙන් එය ලෝකයේ ජෛව විවිධත්වයට බලපායි. එබැවින්, නාගරිකකරණය පෙර සඳහන් කළ ආකාරයට සමකාලීන පරිණාමය සඳහා බලපාන වැදගත් සාධකයක්‌ බව සැලකිය හැකි බව මෑතක දී සිදුකරන ලද අධ්‍යයනවලින් පෙන්වා දී ඇත. එවැනි අවස්‌ථාවක්‌ සඳහා නිදසුනක්‌ මෙසේ ය.

2008 වර්ෂයේ දී පළ වූ ප්‍රංශයේ සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළි වූ ආකාරයට නාගරික ප්‍රදේශවල දැකිය හැකි වල්පැළෑටියක්‌ වන Crepis sancta නම් ශාකවල බීජ, ග්‍රාමීය පරිසරයේ දැකිය හැකි එම ශාක විශේෂයේ ම බීජවලට වඩා ප්‍රමාණයෙන් විශාල විය. මෙසේ බීජවල ප්‍රමාණයේ විශාලත්වය කෙටි කාලයක්‌ ඇතුළත වැඩි වීම විශාල වීම නාගරික ප්‍රදේශයකට වැදගත් වූ පරිණාමීය වශයෙන් සිදු වූ හැඩගැසීමක්‌ විය. මේ ශාකයේ බීජ සුළග මගින් ව්‍යාප්ත වන බීජ වූ අතර, ප්‍රමාණයෙන් විශාල වීම නිසා මේ බීජ වැඩි දුරක්‌ සුළෙග් ගසාගෙන නො ගොස්‌ මවු ශාකය ආසන්නයේ ම බිම පතිත වීම සිදු විය. එමගින් ප්‍රරෝහනයට අවස්‌ථාවක්‌ සැලසිණි. සාමාන්‍යයෙන් මේ ශාකයේ දැකිය හැකි ප්‍රමාණයෙන් කුඩා හා බරින් අඩු බීජ වඩා ඈතට ගසාගෙන යන බැවින් ප්‍රරෝහනය විය නොහැකි කොන්ක්‍රීට්‌ හෝ තාර සහිත බිමක පතිත වීමට ඇති අවස්‌ථාව ඉහළ විය. එබැවින් මේ නව තත්ත්වය නාගරික ප්‍රදේශවල දී ශාකයේ පැවැත්ම තහවුරු කිරීම සඳහා වැදගත් විය.

කෙටි කාලයක්‌ ඇතුළත සිදු වූ මේ පරිණාමික වෙනස්‌ වීම පර්යේෂකයන්ට පුදුමයට කරුණක්‌ විය. සැබැවිමන් ම ස්‌වාභාවික වරණයේ බලපෑම එක්‌තරා ආකාරයකින් විස්‌මයජනක ය. එය එක්‌තරා ආකාරයකින් ජීවයේ ඇති සුවිශේෂත්වයක්‌ පෙන්වන්නකි. අනෙක්‌ අතින් සංකීර්ණත්වය පෙන්වන්නකි.

පරිණාමික බලපෑම විමසීම


මෑතක දී නාගරිකකරණය පරිණාමයට බලපාන ආකාරය සම්බන්ධව සමාලෝචනයක යෙදෙන පර්යේෂකයන් පිරිසක්‌ පෙන්වා දෙන පරිදි මේ වේගවත් ව සිදු වන පරිණාම තත්ත්වය තිරසරභාවයට බලපෑමක්‌ ඇතිකරයි.

මේ අධ්‍යයනයේ විශේෂත්වය වන්නේ එය ජගත් මට්‌ටමින් නාගරිකකරණයේ බලපෑම සම්බන්ධව කර ඇති පුළුල් සමාලෝචයක්‌ වීම ය. එහි දී ලෝකයේ දැකිය හැකි එවැනි පරිණාමීය වෙනස්‌වීම් හා සම්බන්ධ සිදුවීම් 1,600ක්‌ පමණ සම්බන්ධව කරුණු අධ්‍යයනය කර තිබේ. එහි දී අදාළ පරිණාමික වෙනස්‌කම් තුළ පැහැදිලි නාගරිකකරණ සංඥාවක්‌ හඳුනාගැනීමට හැකියාව ඇත.

පර්යේෂකයන් පෙන්වා දෙන ආකාරයට මේ ජීවී විශේෂවල දැකිය හැකි රූපානුදර්ශීය වෙනස්‌වීම්වල (phenotypic change) පැහැදිලි නාගරික සංඥාවක්‌ දැකගත හැකි ය. එසේ ම නාගරිකකරණය වන පද්ධතිවල දැකිය හැකි රූපානුදර්ශීය වෙනස්‌ වීම් ස්‌වාභාවික හා නාගරික නො වන මානව බලපෑම් සහිත පද්ධතිවලට වඩා අධික ය. මේ අනුව නාගරිකකරණය පරිණාමය සඳහා යම් බලපෑමක්‌ සිදු කරමින් ඇති බව පැහැදිලි ය.

මෙසේ පරිණාමය සඳහා බලපෑමක්‌ ඇති කරමින් තිබෙන නාගරිකකරණයේ බලපෑම් ප්‍රධාන ආකාර පහක්‌ මෙහි දී හඳුනාගෙන තිබේ. ඉන් එකක්‌ වන්නේ වාසස්‌ථාන වෙනස්‌ කිරීම ය. (habitat modification). එහි දී භූමියේ ස්‌වභාවය වෙනස්‌ වීම හා ස්‌වාභාවික වාසස්‌ථාන අහිමි වීම මගින් පරිණාමික බලපෑමක්‌ ලෙස ක්‍රියා කරයි. දෙවැන්න වන්නේ ජෛවීය සම්බන්ධතා ය. (biotic interactions). මෙහි දී විවිධ මට්‌ටම්වල ජීවීන් හඳුන්වා දීම මගින් පරිසරයක ජීවීන් අතර ජෛවීය සම්බන්ධතාවල වෙනස්‌වීම් ඇති විය හැකි බව දක්‌වා තිබේ. තුන්වැන්න විෂමජාතිත්වයයි. (heterogeneity). ඉන් අදහස්‌ වන්නේ නාගරිකකරණය මගින් පරිසරයේ දැකිය හැකි විෂමජාතිත්වයට ඇති කරනු ලබන බලපෑමයි. නව්‍ය බාධා කිරීම් (novel disturbances) ලෙස හඳුන්වනු ලබන, මිනිසුන් විසින් සිදු කරනු ලබන Rජු බලපෑම් කිසා ඇති වන වෙනස්‌වීම් හතරවැනි ආකාරය වේ. සමාජ සම්බන්ධතා (social interactions) යනුවෙන් හඳුන්වා දී ඇති අවසන් ආකාරය වන්නේ මිනිසුන් විසින් මිනිසුන් අතර හා මිනිසුන් හා සෙසු ජීවී විශේෂ අතර ඇති සම්බන්ධතා නිසා ඇති වී තිබෙන බලපෑම් ය.

මේවායේ ප්‍රතිඵලයක්‌ ලෙස ජීවීන් ගේ දැකිය හැකි පරිණාමීය රූපානුදර්ශීය වෙනස්‌කම් අතර, රූපවිද්‍යාත්මක (morphology), කායික විද්‍යාත්මක (physiology), Rතුඵල විද්‍යාත්මක (phenology) හා චර්යාව (behaviour) වැනි වෙනස්‌ වීම් ඇතුළත් වේ. මෙවැනි වෙනස්‌කම් අතර, දේහ ප්‍රමාණ වෙනස්‌වීම්, හැසිsරීම් රටාවේ සිදු කරනු ලබන වෙනස්‌වීම් හා ප්‍රජනනයේ සිදු වන වෙනස්‌වීම් ආදිය ඇතුළත් ය.

ඒ අනුව මේ වෙනස්‌ වීම් මිනිසුන්ට බලපාන්නා වූ පරිසර පද්ධති සේවාවලට යම් බලපෑමක්‌ කළ හැකි ආකාරයේ ඒවා විය හැකි බවත් එය මානව යහ පැවැත්මට ද බලපෑ හැකි බවත් ඔවුන් පෙන්වා දී තිබේ.

පරිණාමයේ බලපෑම්


මේ ආකාරයෙන් නාගරිකකරණය නිසා සිදු වන සමකාලීන පරිණාමයේ බලපෑම සැලකිය යුතු එකක්‌ බව මේ පර්යේෂකයන් ගේ මතයයි. මේ තත්ත්වය ලෝකයේ තිරසරභාවය සඳහා බලපෑමක්‌ සිදු කළ හැකි වූවකි. මේ වෙනස්‌කම්වල වැදගත්කම වන්නේ මේවා පරිසර පද්ධතිවල ක්‍රියාකාරීත්වය සඳහා කිසියම් බලපෑමක්‌ කළ හැකි ඒවා නිසා ය.

මේ බලපෑම් කෙබඳු ඒවා වේ ද යන්න මෙසේ දැක්‌විය හැකි ය. ජෛව විවිධත්වයට ඉන් බලපෑම් ඇති විය හැකි ය. එසේ ම පෝෂක චක්‍රියකරණයට හා බීජ ප්‍රචාරණය වැනි ක්‍රියාවලිවලට ද ඉන් බලපෑම් ඇති විය හැකි ය. එසේ ම ජල පවිත්‍රකරණය වැනි කරුණු සම්බන්ධව බලපෑමක්‌ ඇති වේ. තව ද ආහාර නිෂ්පාදනය හා රෝග පැතිරීම වැනි අංශවලට ද මෙමගින් යම් බලපෑමක්‌ ඇති විය හැකි බව අනුමාන කෙරේ. එවැනි නිදසුන් කිහිපයක්‌ මෙසේ ය.

· ජලාශ ආදියේ මසුන්ට ගමන් කිරීමට තබා ඇති මත්ස්‍ය මංපෙත් (fish ladders) මගින් දුඹුරු ට්‍රවුට්‌ (Salmo trutta) මසුන් ගේ ශරීර ප්‍රමාණයට යම් බලපෑමක්‌ ඇති වී ඇති අතර එමගින් ඔවුන් ගේ විලෝපිකයන්ට මෙන්ම ගොදුරුවලට ද බලපෑමක්‌ වී ඇත. එසේම පෝෂක චක්‍රිකරණයට ද ඉන් බලපෑමක්‌ සිදු වේ.

· එසේ ම, තුත්තනාගම් ආවරණයක්‌ සහිත විදුලි කුලුනු සහිත පරිසරයක දී තුත්තනාගම් අධික පරිසරයක වැඩීමට හැකියාව ඇති තුත්තනාගම් සඳහා ඔරොත්තු දෙන ශාක අධික නව වාසස්‌ථාන ඇති වෙමින් තිබීම මෙවැනි තවත් නිදසුනකි. මේ තත්ත්වය එම ප්‍රදේශවල දැකිය හැකි සෙසු ප්‍රජාවනට වඩා වෙනස්‌ බැවින් ජෛව විවිධත්වයට බලපෑමක්‌ ඇති කරයි.

· විදුලි බලාගාරවලින් නිකුත් වන අධික උෂ්ණත්වයක්‌ සහිත ජලයට නිරාවරණය වීම නිසා ඇමෙරිකාවේ විලක්‌ ආශ්‍රිත ව වාසය කරන මොලස්‌කා විශේෂයක්‌ වන Physa virgata නම් විශේෂයේ ඇතැම් ගහන අධික උණුසුමට ඔරොත්තු දිය හැකි ලක්‌ෂණ සහිත ය. මෙවැනි ගහන වැඩි උණුසුමක්‌ සහිත පරිසරවල ව්‍යාප්ත වීමේ අවදානමක්‌ පවතී.

· ඇමෙරිකානු ර්න්සෙන් (Panax quinquefolius) නමින් හඳුන්වනු ලබනු ශාකයේ ප්‍රමාණයෙන් කුඩා වීම සඳහා හේතුව සේ හඳුනාගෙන ඇත්තේ එය අඛණ්‌ඩව මිනිසුන් විසින් වරණීය ලෙසින් එකතු කරනු ලැබීම විය හැකි බවයි. මෙය ජෛව විවිධත්වයට මෙන්ම එම ශාකයේ ප්‍රාථමික නිෂ්පාදනයට ද බලපෑමක්‌ විය හැකි කරුණකි.

· ඇමෙරිකාවේ එක්‌තරා ප්‍රදේශයකට හඳුන්වා දෙන ලද Carcinus maenas නම් කකුළු විශේෂයකට ගොදුරු වීමට ලක්‌ වූ Littorina obtusata නම් බෙල්ලන් විශේෂයේ අදාළ ප්‍රදේශයේ වෙසෙන ගහනයේ කවචවල ඝනකම වර්ධනය වීම ද මෙවැනි පරිණාමීය වෙනස්‌කමක්‌ සේ සැලකේ. එම විශේෂයේ අන් ප්‍රදේශවල වෙසෙන තර්ජනයක්‌ රහිත ගහනවල බෙලිකටු වඩා තුනී ය.

වෙනත් වැදගත් කරුණු


උක්‌ත අධ්‍යයනය මගින් පෙන්නුම් කරන්නේ මිනිසුන් පරිණාමීය ක්‍රියාවලිය කෙසේ බලපෑම් කරන්නේ ද යන්න වටහාගැනීම හරහා සංරක්‌ෂණය සඳහා භාවිත කළ හැකි උපායමාර්ග හඳුනාගැනීමේ දී යොදාගත හැකි වඩා සාර්ථක ක්‍රියාමාර්ග තෝරාගැනීමට හැකි වීම නිසා ය. එමගින් සංරක්‌ෂණ අරමුණු ඉටු කරගැනීමේ දී වඩාත් සාර්ථක ආකාරයේ ප්‍රතිඵලයක්‌ අත්පත් කරගැනීමට හැකියාවක්‌ ලැබීම ද විශේෂත්වයකි.

මේ සමස්‌ත අධ්‍යයනය මගින් තවත් වැදගත් කරුණක්‌ පිළිබඳව ලෝකයේ විද්‍යාඥයන් ගේ අවධානය යොමු කරයි. එනම්, 'මානව යුගය' (Anthropocene) ලෙස හඳුන්වන මානව බලපෑම සහිත යුගයක්‌ ලෝකයේ වර්තමානයේ පවත්නා බවට ඇති අදහසට මෙය සාධකයක්‌ සේ සැලකිය හැකි වීම ය. භූගෝලීය හා පරිසර විද්‍යාත්මක වශයෙන් ඒ සඳහා මිනිසුන් ගේ බලපෑමක්‌ සටහන් කිරීම අවශ්‍ය වන අතර මේ සමකාලීන පරිණාමීය වෙනස්‌ වීම් මගින් එවැනි සාධක සැපයේ. ඒ අනුව ලෝකයේ පරිසරයට සිදු කරන පැහැදිලිව හඳුනාගත හැකි වෙනස්‌ වීම් සහිත කාලවකවානුවක්‌ බවට ඇති සාධකයක්‌ ලෙස මෙය ද සැලකිය හැකි ය. (මූලාශ්‍රය: Proceedings of the National Academy of Sciences, DOI: 10.1073/pnas.1606034114)

http://www.vidusara.com/2017/01/18/feature2.html

No comments:

Post a Comment