Thursday, February 2, 2017

ආක්‌ටික්‌ පරිසරය හමුවේ ඇති අභියෝග

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 11.01.2017, පි.05 (Vidusara)

http://www.vidusara.com/2017/01/11/feature2.html



උත්තර ධ්‍රැවය වටා පිහිටා ඇති ආක්‌ටික්‌ කලාපය පිළිබඳව සිහි වන විට අපට මැවෙන චිත්ත රූපය වන්නේ ධවල වර්ණයෙන් යුක්‌ත, හිමෙන් වැසුණු ගිය සාගර හා ගොඩබිම් ප්‍රදේශයකි. ආක්‌ටික්‌ කලාපය සමන්විත වන්නේ ආක්‌ටික්‌ සාගරය, ඊට සම්බන්ධ ව ඇති මුහුදුවලින් හා රටවල් ගණනාවකට අයත් ගොඩබිම් ප්‍රදේශවලිනි. සාමාන්‍යයෙන් ආක්‌ටික්‌ කලාපය සේ සැලකෙන්නේ උතුරු අක්‌ෂාංශ 6604'හි පිහිටා ඇති ආක්‌ටික්‌ වෘත්තයට උතුරින් උත්තර ධැවය දක්‌වා පිහිටා ඇති ප්‍රදේශයයි. මේ සාගර හා මුහුදු ප්‍රදේශ ද වසරේ වැඩි කාලයක්‌ අයිස්‌වලින් වැසී පවතී. අධික සිසිල් ආන්තික දේශගුණයකින් සමන්විත මේ ප්‍රදේශයේ සාමාන්‍ය උෂ්ණත්වය මිනිස්‌ වාසය සීමා කර ඇත. මිලියන හතරක්‌ පමණ වන කලාපයේ ජනතාව අතර, නූතන ජනාවාසගත වූවන් මෙන්ම වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ මේ ප්‍රදේශයේ වෙසෙන විවිධ ස්‌වදේශික ජනකොටස්‌ ද ඇතුළත් ය. එහෙත් මානව ජනාවාස සීමාසහිත වන බැවින් ආක්‌ටික්‌ ප්‍රදේශවල වැඩි වශයෙන් නොඉඳුල් පරිසර පද්ධතියක්‌ පවත්නා බව සිතිය හැකි ය.

එහෙත් ආක්‌ටික්‌ පරිසර පද්ධතියේ පවත්නා තත්ත්වය මේ වන විට එසේ ම වේ ද යන ගැටලුව අපට ඇති වන්නේ ආක්‌ටික්‌ ප්‍රදේශය ආශ්‍රිත පරිසරයේ මේ වන විට ඇති වෙමින් පවත්නා වෙනස්‌ වීම් සහ ඒ ප්‍රදේශයේ මිනිසුන් විසින් සිදු කෙරෙන විපර්යාස නිසා ය. විශේෂයෙන් පසුගිය මාස කිහිපයක කාලය ඇතුළත වාර්තා වූ පුවත්වලින් පැහැදිලි වන ආකාරයට ආක්‌ටික්‌ පරිසර පද්ධතියේ සැලකිය යුතු වෙනස්‌ වීම් ඇති වී තිබේ.

සාගරයේ අයිස්‌ මට්‌ටම අඩු වීම


ආක්‌ටික්‌ සාගරයේ පවත්නා අයිස්‌ මට්‌ටම ක්‍රමයෙන් අඩු වීම දේශගුණ වෙනස්‌ වීම නිසා ඇති වී තිබෙන බරපතළ තත්ත්වයකි. සාමාන්‍යයෙන් ආක්‌ටික්‌ සාගර ප්‍රදේශයේ අයිස්‌ දියෑවීම සිදු වන්නේ උතුරු අර්ධගෝලයේ උෂ්ණත්වය ඉහළ යන වසන්ත Rතුවේ සිට ග්‍රීෂ්ම Rතුව දක්‌වා වූ කාලයේ දී ය. ඉන් පසුව උෂ්ණත්වය පහළ යැමත් සමග සරත් Rතුවේ මැදභාගයේ දී පමණ අයිස්‌ මිදීම ආරම්භ වේ.




එහෙත් වසරින් වසර සාගරයේ දැකිය හැකි අයිස්‌ ආවරණයේ අවම ප්‍රමාණය අඩු වීම දැකිය හැකි ය. 2016 සැප්තැම්බර් මාසයේ දී ආක්‌ටික්‌ සාගරයේ පැවැති අයිස්‌ ආවරණයේ ප්‍රමාණය 1979 වර්ෂයේ දී වන්ද්‍රිකා දත්ත වාර්තා ලබාගැනීම ආරම්භ වූ පසු මෙතෙක්‌ කලක්‌ වාර්තා වූ දෙවැනි අඩු ම මට්‌ටම වන වර්ග කිලෝමීටර් මිලියන 4.14ක මට්‌ටමක්‌ දක්‌වා අඩු විය. මෙතෙක්‌ වාර්තා වී අඩු ම මට්‌ටම 2012 වර්ෂයේ දී වාර්තා වී තිබේ. එය වර්ග කිලෝමීටර් මිලියන 3.39කි.

මෙසේ අයිස්‌ මට්‌ටම ක්‍රමයෙන් අඩු වීම සඳහා බලපා ඇති හේතුව වන්නේ දේශගුණ වෙනස්‌ වීමෙහි ප්‍රතිඵලයක්‌ ලෙස මේ කලාපයේ ද උෂ්ණත්වය ඉහළ යැම ය. ප්‍රස්‌තාරයෙන් පෙනෙන ආකාරයට 1981-2010 අතර ලෝකයේ පැවැති සාමාන්‍ය උෂ්ණත්වය හා සාපේක්‌ෂව ලෝකයේ උෂ්ණත්වය ඉහළ ගොස්‌ ඇති ප්‍රමාණයට වඩා ආක්‌ටික්‌ කලාපයේ උෂ්ණත්වය ඉහළ යැම දෙගුණයක්‌ පමණ අධික ය.

අසාමාන්‍ය අධික උෂ්ණත්වයක්‌ වාර්තා වීම


සාමාන්‍යයෙන් ආක්‌ටික්‌ සාගරයේ අයිස්‌ මට්‌ටම නොවැම්බර් මාසය වන විට වර්ධනය විය යුතු වුව ද පසුගිය වර්ෂයේ දී එය එසේ නො වී ය. 2016 වර්ෂයේ නොවැම්බර් මාසයේ දී ආක්‌ටික්‌ සාගරයේ අයිස්‌ මට්‌ටම නොවැම්බර් මාසයක දී වාර්තා වූ අඩු ම අයිස්‌ මට්‌ටම පෙන්නුම් කළේ ය. එසේ ම ආක්‌ටික්‌ කලාපයේ සාමාන්‍ය උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයක්‌ නොවැම්බර් හා දෙසැම්බර් මාස දෙකක කාලයේ පැවතිණි. එය අදාළ මාස දෙකේ පැවතිය යුතු සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස්‌ අංශක 2.5ක්‌ පමණ ඉහළ වූ බව වාර්තා වේ. මේ තත්ත්වය ආක්‌ටික්‌ ප්‍රදේශයේ 'තාප ප්‍රවාහයක්‌' ලෙස ද හඳුන්වා දී තිබේ. එවැනි තත්ත්වයක්‌ ඇති වීම ආක්‌ටික්‌ කලාපයේ දී ඉතා දුර්ලභ වූවක්‌ වන අතර, කලාපයේ ඇතැම් ප්‍රදේශවල හෝ උෂ්ණත්වය අයිස්‌ මිදෙන උෂ්ණත්වයට වඩා ඉහළ මට්‌ටමකින් පැවතීම සාමාන්‍යයෙන් සිදු නො වන දෙයකි. එවැන්නක්‌ වසර දහසකට පමණ වරක්‌ ඇති විය හැකි සිදුවීමක්‌ බව ඇතැම් විද්‍යාඥයන් ගේ අදහසයි.

ආක්‌ටික්‌ ප්‍රදේශයේ ශීත Rතුවක්‌ ආරම්භ වන කාලයක දී මෙය සිදු වීම වැදගත් ය. මෙය සුපිරි උණුසුම් (Super Warm) ආක්‌ටික්‌ ශීත Rතුවක්‌ ලෙස ඇතැම් විට හඳුන්වා දී ඇත. මෙවැනි තත්ත්වයක්‌ ඇති වූයේ ග්‍රීන්ලත්නයට නුදුරු ප්‍රදේශයක ඇති වී තිබෙන අඩු පීඩන පද්ධතියක්‌ නිසා උණුසුම් වාතය ආක්‌ටික්‌ ප්‍රදේශයට පැමිණීමෙන් බව විශ්වාස කරනු ලැබේ. ඒ ආකාරයෙන් උතුරු අත්ලාන්තික්‌ ප්‍රදේශවල සිට උණුසුම් වායු ධාරා ගමන් කිරීම සිදු වේ. මෙවැනි තත්ත්වයක්‌ 2015 වර්ෂයේ දී ද ඇති විය.

මේ සඳහා බලපා ඇති හේතුව විය හැක්‌කේ දේශගුණ වෙනස්‌ වීම විය හැකි බවත්, මෙවැනි තත්ත්ව මේ සියවස මැද භාගය වන විය සුලබ විය හැකි බවත් පෙන්වා දී තිබේ. එසේ ම මේ වන විට ඇති පුරෝකථන ආකෘති මගින් දක්‌වා ඇති ආකාරයට එවැනි අවස්‌ථා සැම වර්ෂයක දී ම ඇති වීමට 2%ක පමණ අවස්‌ථාවක්‌ ඇති බව තවත් පුරෝකථනයක සඳහන් වේ.

අඛණ්‌ඩව වසර දෙකක්‌ තිස්‌සේ අසාමාන්‍ය උණුසුම් තත්ත්වයක්‌ ආක්‌ටික්‌ කලාපයේ ඇති වීම එහි පැවැත්මට කෙසේ බලපානු ඇති ද යන්න සැලකිය යුතු කරුණකි. විශේෂයෙන් එහි ස්‌වාභාවික පරිසරයට හා ජෛව විවිධත්වයට එහි බලපෑම කෙබඳු විය හැකි ද යන්න මේ වන විට විද්‍යඥයන් ගේ අවධානයට ලක්‌ වී තිබේ.

විල් දියෑවීම කලින් සිදු වේ


ආක්‌ටික්‌ ප්‍රදේශයේ ගොඩබිම් ප්‍රදේශ ආශ්‍රිතව පවත්නා විල් සාමාන්‍යයෙන් ශීත Rතුවේ දී මිදෙන අතර වසන්ත Rතුවේ දී ඒවායේ ජලය දිය වේ. කලාපයේ උෂ්ණත්වය ඉහළ යැමත් සමග මෙසේ ජලය දිය වන දින වකවානු ඉදිරියට පැමිණ ඇති බව පසුගිය දා ප්‍රකාශයට පත් වූ අධ්‍යයනයකින් පෙන්වා දී ඇත. 2000-2013 අතර කාලයේ සිදු කළ නිරීක්‌ෂණවලට අනුව වසන්ත Rතුවේ දී මේ විල්වල ඇතුළත් ජලය දිය වෙන කාල වකවානුව සැම වර්ෂයක දී ම එක්‌ දවසක පමණ කාලයකින් ඉදිරියට පැමිණ තිබේ.

Scientific Reports සගරාවේ පළ වී ඇති උක්‌ත අධ්‍යයනයේ දී ආක්‌ටික්‌ කලාපයේ දැකිය හැකි විල් 13,300ක්‌ පමණ ප්‍රමාණයක දිය මිදෙන රටාව චන්ද්‍රිකා තාක්‌ෂණය යොදාගනිමින් නිරීක්‌ෂණයට ලක්‌ කර ඇත. එය ආක්‌ටික්‌ ප්‍රදේශයේ සියලු ප්‍රදේශ ආවරණය කරමින් වැඩි විල් ප්‍රමාණයක්‌ පිළිබඳව අවධානය යොමු කරන ලද අධ්‍යයනයකි. මෙහි දී පෙනී ගොස්‌ ඇති ආකාරයට විල්වල මිදී ඇති ජලය දිය වන දිනය වැඩි ම කාලයකින් ඉදිරියට පැමිණ ඇත්තේ සයිබීරියාවේ ය. අඩු ම කාලයකින් ඉදිරියට පැමිණ ඇත්තේ උතුරු යුරෝපයේ ය. මෙහි සාමාන්‍යය දිනක්‌ පමණ වේ. (මූලාශ්‍රය: DOI: 10.1038/srep38449)

තෙල් කැණීම්වලින් ආරක්‌ෂා කිරීම


ආක්‌ටික්‌ කලාපය මේ අකාරයෙන් පාරිසරික වශයෙන් තර්ජනයට ලක්‌ වන අතර ම Rජු ව ද මිනිස්‌ ක්‍රියාකාරීත්වයෙන් තර්ජනයට ලක්‌ ව තිබේ. ඒ අතරින් මුල් තැනකට එන්නේ ඛනිජ තෙල් හා ගෑස්‌ සඳහා කෙරෙන ගවේෂණ හා කැණීම් කටයුතු සඳහා ඇති උනන්දුව ය. මේ ප්‍රදේශයේ ඇති ඛනිජ ලබා ගැනීම පිළිබඳව ලෝකයේ විවිධ තෙල් සමාගම්වල අවධානය කාලයක පටන් යොමු ව තිබේ. දැනටමත් ආක්‌ටික්‌ ගොඩබිම් ප්‍රදේශවල තෙල් හා ගෑස්‌ නිධිවලින් ඉන්ධන ලබාගැනීම මුල් පෙළේ කර්මාන්තයකි. දැන් දැන් මේ සමාගම්වල අවධානය යොමු ව ඇත්තේ ආක්‌ටික්‌ සාගර ප්‍රදේශයේ තෙල් හා ගෑස්‌ නිධි ගවේෂණය කිරීම කෙරෙහි ය. අක්‌ වෙරළ (offshore) ප්‍රදේශවල සිදු කරන තෙල් හා ගෑස්‌ කැණීම් පිළිබඳව ආක්‌ටික්‌ පරිසරය ආරක්‌ෂා කිරීම සඳහා ක්‍රියා කරන කණ්‌ඩායම්වල විරෝධය ද එල්ල වී තිබේ.

මේ පිළිබඳව වැදගත් වර්ධනයක්‌ දෙසැම්බර් මස මැද භාගයේ දී වාර්තා විය. ඒ ආක්‌ටික්‌ සාගරයේ අලුතින් තෙල් හා ගෑස්‌ කැණීම් අයිතිය අලෙවි කිරීම තහනම් සඳහා ඇමෙරිකානු ජනාධිපති බැරැක්‌ ඔබාමා පියවර ගැනීම ය. එරට ජනාධිපතිවරයාට ඇති බලතල යොදාගෙන ගත් මේ ක්‍රියාමාර්ගය අනාගතයේ දී ආපසු හැරවීමට අපහසු විය හැකි බව ද සඳහන් වේ. එහෙත් එය අධිකරණයේ දී අභියෝගයට ලක්‌ විය හැකි ය. මේ තීරණය පරිසර සංරක්‌ෂණය සඳහා ගත් ඉදිරි පියවරක්‌ සේ සැලකෙන අතර ඇමෙරිකාවේ ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්ට තනතුර භාර දීමට පෙර පරිසරය පිළිබඳව ගත් වැදගත් තීරණයක්‌ සේ ද සැලකේ. මේ හා සමාන පියවරක්‌ කැනඩා රජය ද ගෙන ඇති අතර, ඒ අනුව ආක්‌ටික්‌ සාගරයේ මෙන්ම අත්ලාන්තික්‌ සාගරයේ ද මේ දෙරටට අයත් සාගර ප්‍රදේශවල නව තෙල් හා ගෑස්‌ කැණීම් සිදු කිරීම තහනම් වනු ඇත.

මේ ආකාරයෙන් ම ආක්‌ටික්‌ සාගරයේ ඇති වෙනත් සම්පත් හා පහසුකම් කෙරේ ඒ ආශ්‍රිත ව පිහිටා ඇති රටවල්වල අවධානය යොමු ව ඇත. නිදසුනක්‌ ලෙස ගත හොත්, ආක්‌ටික්‌ සාගරයේ අයිස්‌ නොමැති වීමත් සමග ඒ හරහා නාවික ගමනාගමනය සිදු කිරීම පිළිබඳව මේ රටවල හා නාවික සමාගම් අතර ඇති වී තිබෙන උනන්දුව දැක්‌විය හැකි ය.

http://www.vidusara.com/2017/01/11/feature2.html

No comments:

Post a Comment