Friday, November 11, 2016

විදුලි අර්බුදය හා ඒ සඳහා වන විකල්ප

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 02.11.2016, පි. 2 

(Vidusara, 02.11.2016, Power crisis and alternatives for that)

http://www.vidusara.com/2016/11/02/news1.html

පසුගිය දා නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය අක්‍රිය වීම නිසා රට පුරා විදුලිය අත්හිටුවීමට සිදු වන බවට අනතුරු හැගවීම් නිකුත් කරන ලදි. එම බලාගාරය බිඳ වැටීමත් සමග මෙරට ජාතික විදුලිබල පද්ධතියට සැපයුණු මෙගවොට්‌ 900ක ධාරිතාවක්‌ අහිමි වීම ඊට හේතු විය. කෙසේ වෙතත්, අදාළ විදුලි කප්පාදුව ඇති වන කාලය පසුව අඩු කරන ලද අතර, එය ක්‍රියාත්මක වූයේ දින කීපයක්‌ පමණි. එසේ ම ඇතැම් ප්‍රදේශවල විදුලි කප්පාදුවක්‌ සිදු කරන ලද්දේ ද නැත.

විදුලි සැපයුමට සම්බන්ධ එක්‌ බලාගාරයක්‌ හෝ කිහිපයක්‌ හෝ අක්‍රිය වීමත් සමග රටේ විදුලි ඉල්ලුමට අවශ්‍ය විදුලිය සැපයීමට වෙනත් විදුලි බලාගාර තිබීම අඛණ්‌ඩ විදුලි සැපයුමක්‌ සඳහා අවශ්‍ය බව මෙවැනි තත්ත්වයක්‌ උද්ගත වන සැම විටක ම පැහැදිලි වේ. එවැනි සැපයුමක්‌ නොමැති අවස්‌ථාවක දී විදුලි කප්පාදුවක්‌ සිදු විය හැකි ය.

පාරිභෝගික විදුලි ඉල්ලුම ඉහළ යැමත් සමග රටේ විදුලි සැපයුම ද ඊට සාපේක්‌ෂව ඉහළ යා යුතු වේ. එය ප්‍රමාණවත් විදුලි ධාරිතාවක්‌ සහිත නව බලාගාර හා නව විදුලි බල ප්‍රභව යොදාගනිමින් මනාව සැලසුම් කළ යුතු දෙයකි. මෙරට විදුලි බලධාරීන් විසින් කලක පටන් එවැනි සැලසුම් සකස්‌ කරන ලද නමුත්, ඒවායේ ඇතුළත් යෝජිත බලාගාර ඉදි කිරීම විවිධ හේතු මත ප්‍රමාද වීම නිසා රටේ විදුලිය ඉල්ලුමට සරිලන විදුලි සැපයුමක්‌ ලබා දිය නොහැකි තත්ත්ව කලින් කල ඇති වී තිබේ. ජල විදුලි බලය නිපදවීම සීමා සහිත වන වියළි කාලවල දී මේ තත්ත්වය වඩාත් උග්‍ර වේ.

1980 දශකයේ දී මහා පරිමාණ ජලවිදුලි බලාගාර ඉදි කරන ලද කාලයේ ලංකාවේ විදුලි ධාරිතාව වේගයෙන් ඉහළ ගියේ ය. අපට ඉන්දියාවට ද විදුලිය දිය හැකි යෑයි පැවසෙන ප්‍රකට කියමන පවසන ලද්දේ මේ කාලයේ දී බව කියෑවේ. ඒ ජල විදුලිය මගින් ඒ වන විට මෙරට පැවැති විදුලි ඉල්ලූම සැපයීමෙන් පසුව අතිරික්‌ත විදුලියක්‌ ජනනය කළ හැකි වෙතැයි යන විශ්වාසය නිසා ය. එහෙත් කාලයත් සමග මෙරට විදුලි ඉල්ලුම ඉහළ ගිය අතර, සැපයුම ඊට සාපේක්‌ෂව සැලසුම් කළ ආකාරයෙන් ඉහළ නො ගියේ ය. පෙර සඳහන් කළ පරිදි බලාගාර ඉදි කිරීම පමා විය. මේ තත්ත්වය හමුවේ විදුලි ඉල්ලුම සැපයීම සඳහා තාප විදුලිය පෞද්ගලික අංශයෙන් මිල දී ගැනීමට රජයට සිදු වූ අතර, එමගින් විදුලි ඒකකයක මිල ඉහළ ගියේ ය. එසේ ම, ඒ වියදම විදුලිබල මණ්‌ඩලයට දරාගැනීමට සිදු වූ බැවින්, මණ්‌ඩලය ණය වූ අතර පාඩු ද ලැබුවේ ය. මේ තත්ත්වය යම්තාක්‌ හෝ විසඳුණේ ගල්අගුරු බලාගාරය ඉදි කළ පසු ව ය. නොරොච්චෝලේ බලාගාරය ක්‍රියාත්මක වන විට මෙරට විදුලි සැපයුමෙන් ආසන්න වශයෙන් හරි අඩක්‌ පමණ සැපයෙන්නේ එම ගල්අගුරු බලාගාරයෙන් බව පෙනේ.

මේ අතර ශ්‍රී ලංකාවේ විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා විදුලිය ලබා දීමට සූදානම් ය යන ප්‍රකාශය පසුගිය දා ඉන්දියාවෙන් අසන්නට ලැබිණි.

ඉන්දියාවෙන් විදුලිය ලබාගැනීමේ යෝජනාව


ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට විදුලිය සැපයීම පිළිබඳව ඉන්දියාවේ මධ්‍යම රජයේ බලශක්‌ති අමාත්‍යංශය විසින් සලකා බැලෙමින් ඇති බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුවේ ඉකුත් ඔක්‌තෝබර් මස මුල දී ය. ඒ අනුව, ශ්‍රී ලංකාවට අවශ්‍ය ව ඇති මෙගවොට්‌ 500ක විදුලි සැපයුම ලබා දීම සඳහා ඉන්දියාවට හැකියාව තිබේ. ඒ සඳහා මුහුද යටින් දිවෙන කේබල් මාර්ගයක්‌ ස්‌ථාපිත කළ යුතු බව ද ඔහු සඳහන් කර තිබිණි. එම නිලධාරියාට අනුව, මීට පෙර මේ යෝජනාව පිළිබඳව සලකා බලන ලද නමුත් කේබල් යෙදීම පිළිබඳ තාක්‌ෂණය ශක්‍ය නො වූ නිසා එම යෝජනාව ක්‍රියාත්මක කර නොමැත. මේ වන විට ඒ සඳහා නව තාක්‌ෂණයක්‌ සොයාගෙන ඇති බැවින් එය ඉදි කළ හැකි එකක්‌ බව ද මේ හින්දු පුවත්පතේ වාර්තාවේ සඳහන් වේ.

එහෙත් මේ පිළිබඳව ශ්‍රී ලංකාව පැත්තෙන් කිසිදු නිල ප්‍රතිචාරයක්‌ වාර්තා නො වූ තරම් ය.

බොහෝ දෙනාට මේ කතාව අලුත් දෙයක්‌ වූ බව මේ සම්බන්ධව සමාජ ජාල ඔස්‌සේ ඇති වූ සංවාද අනුව පෙනේ. මෑත භාගයේ දී සාකච්ඡා නො වූ බැවින් බොහෝ දෙනාට මෙය අලුත් දෙයක්‌ වුව ද, ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර විදුලිය හුවමාරු කිරීම පිළිබඳ යෝජනාවට සැලකිය යුතු අතීතයක්‌ තිබේ. මේ යෝජනාව මුලින් ම ඉදිරිපත් වන්නේ 1970 දශකයේ දී පමණ බව වාර්තා වෙතත් ඊට මූලාශ්‍රයක්‌ නොමැති බව ද 2002 USAID වාර්තාවේ සඳහන් වේ. (මේ පිළිබඳව 2002 වර්ෂයේ දී ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්‌සත් ජනපද නියෝජිතායතනය (USAID) ආයතනය මගින් Viability of developing a transmission
system interconnection between India and Sri Lanka: Technical options and investment requirements නමින් පූර්ව-ශක්‍යතා වාර්තාවක්‌ සකස්‌ කර තිබේ). 2006 වර්ෂයේ දී ඉන්දියානු සමාගමක්‌ වන Power Grid Corporation India Limited මගින් එම අධ්‍යයනය සමාලෝචනය කර යාවත්කාලීන කර තිබේ.

මේ අතර දෙරට අතර විදුලිබල පද්ධති සම්බන්ධතාවක්‌ ඇති කරගැනීම පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක්‌ සිදු කිරීම සඳහා 2010 වර්ෂයේ දී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුමක්‌ ද අත්සන් කර ඇත. ඒ මෙගවොට්‌ 1000ක විදුලිබල පද්ධති සම්බන්ධතාවක්‌ ඇති කරගැනීම අරමුණු කරගත්තකි. එම අධ්‍යයනය සිදු කරන ලද්දේ ලංකා විදුලිබල මණ්‌ඩලය හා ඉන්දියාවේ Power Grid Corporation India Limited ආයතනය විසිනි. පසුගිය පෙබරවාරි මාසය වන විට මේ වාර්තාව සකස්‌ කර අවසන් බව මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්‌ෂ ජනරාල්වරයා පුවත්පත්වලට පවසා තිබිණි.

ඒ අනුව ඉන්දියාවේ මදුරයි සිට ශ්‍රී ලංකාවේ අනුරාධපුරය දක්‌වා වූ සම්ප්‍රේෂණ මාර්ගයක්‌ ඉදි කිරීමට යෝජනා විය. එය ගොඩබිම් සම්ප්‍රේෂණ මාර්ගයකින් හා මුහුද යටින් දිවෙන කිලෝමීටර් 50ක්‌ දිග කේබල් මාර්ගකින් ද යුක්‌ත ය. එය මෙගවොට්‌ 500ක්‌ සඳහා සැලසුම් කර තිබුණ ද, මෙගවොට්‌ 1000ක්‌ දක්‌වා දියුණු කළ හැකි ලෙස සැලසුම් කර තිබේ. කිලෝ වොට්‌ 400ක විදුලියක්‌ සම්ප්‍රේෂණය කරන මේ සම්ප්‍රේෂණ මාර්ග අධි වෝල්ටීයතා සරල ධාරා (highvoltage, direct current - HVDC) ක්‍රමයට අයත් ය. මෙය දිගු දුරක්‌ විදුලිය සම්ප්‍රේෂණය සඳහා යොදාගන්නා ක්‍රමවේදයකි.

2015 වර්ෂයේ දී ලංකා විදුලිබල මණ්‌ඩලය මගින් ප්‍රකාශයට පත් කර ඇති දිගුකාලීන උත්පාදන ව්‍යාප්ති සැලසුම 2015-2034 (Long Term Generation Expansion Plan 2015-2034) නම් වාර්තාවේ ද සම්මත උත්පාදන විකල්ප (Conventional Generation Options) අතර ඉන්දියා-ශ්‍රී ලංකා විදුලිබල පද්ධති සම්බන්ධතාවක්‌ ඇති කරගැනීමේ විකල්පය පිළිබඳව සඳහන් කර ඇත.

රටවල් දෙක අතර මෙවැනි සම්බන්ධතාවක්‌ ඇති විට ශ්‍රී ලංකාවට අඩු මිලට විදුලිය ලබාගැනීමට මෙන්ම අතිරික්‌ත විදුලියක්‌ ඉන්දියාවට විදුලිය අපනයනය කිරීමට ද හැකි ය. මේ ගැන මහජන උපයෝගිතා කොමිසන් සභාවේ නිලධාරියකු මාධ්‍යවලට පවසා තිබුණේ එමගින් අපේ රට විශාල බලශක්‌ති වෙළෙඳපොළකට විවෘත කරන බව හා තරගකාරී මිලකට විදුලිය මිල දී ගැනීමට හැකි වන බවයි.

ජාත්‍යන්තර විදුලි වෙළෙඳාම හා ඉන්දියාව


මේ ආකාරයෙන් ජාත්‍යන්තර වශයෙන් විදුලිය වෙළෙඳාම් කිරීම ලෝකයේ රටවල් අතර දැකිය හැකි ය. එහි දී විදුලි අවශ්‍යතාව ඇති රටට වෙනත් රටකින් විදුලිය අලෙවි කිරීම සිදු වේ. යුරෝපා රටවල මෙන්ම ආසියානු රටවල ද මෙය දැකිය හැකි ය. ඉන්දියාව මේ වන විට නේපාලයට, බංග්ලාදේශයට හා මියන්මාරයට විදුලිය අපනයනය කරන අතර භූතානයෙන් විදුලිය ලබාගනියි. සාක්‌ රටවල් සියල්ල ම පාහේ එක්‌ව පිහිටුවනු ලබන සාක්‌ විදුලිබල පද්ධතියක්‌ සම්බන්ධව ද මේ පිළිබඳ විශේෂඥයන් ගේ අදහස්‌ ප්‍රකාශ වී ඇත. එහි අරමුණ මේ රටවල් අතර අවශ්‍යතාව අනුව විදුලිය වෙළෙඳාම් කිරීම ය. එය දූපත් රාජ්‍ය අතර පවා සිදු වන්නේ මුහුද යටින් දිවෙන කේබල් මාර්ගයෙනි.

කෙසේ නමුත් තම රටේ තවමත් විදුලිය නොමැති විශාල ජනතාවක්‌ සිටිය දී වෙනත් රටවලට විදුලිය අපනයනය කරන්නට යන ඉන්දියාව සමග විදුලිය ගනුදෙනු කිරීමේ දී සැලකිල්ලෙන් කටයුතු කිරීම අවශ්‍ය වේ. ඉන් පළමු කරුණ වන්නේ මිල දී ගන්නා විදුලිය ලාබදායක විය යුතු ය යන්න ය. එහෙත් ඒ හැර තවත් වැදගත් කරුණක්‌ තිබේ. ඒ ඉන්දියාව සමග ගනුදෙනු කිරීමේ දී එරට හුදෙක්‌ වාණිජමය පරමාර්ථයෙන් පමණක්‌ කටයුතු කරන්නේ ද යන්න විමසා බැලීම ය. ඉන්දියාවේ වෙළෙඳ කටයුතුවලට එරට විදේශ ප්‍රතිපත්තිය ගාවාගැනීම සම්බන්ධව චෝදනා එල්ල වී ඇති බව අප අමතක නො කළ යුතු ය. නේපාලයත් සමග ඉන්දියාව ගැටලු ඇති කරගත් 2015 වර්ෂයේ අගභාගයේ දී ඉන්දියාවෙන් නේපාලයට තෙල් හා වෙනත් භාණ්‌ඩ සැපයීම පමා වීමක්‌ සිදු වූ අවස්‌ථාව මීට නිදසුනකි. ඊට තම රජයේ සම්බන්ධයක්‌ නැතැයි ඉන්දියාව නිල වශයෙන් කියා සිටිය ද, බොහෝ විචාරකයන් ගේ මතය අනුව නේපාලයේ නව ව්‍යවස්‌ථාව සම්මත කිරීමේ දී ඉන්දියාව දැක්‌වූ අසතුට හා නේපාලයට ඉන්දියාවේ සිට භාණ්‌ඩ සැපයීමේ ඇති වූ අවහිරතාව ඇති වූ කාලවකවානුව අතර මනා ගැලපීමක්‌ තිබේ.

ඉන්දියාව සමග අපේ අත්දැකීම් ද එතරම් යහපත් ඒවා නො වේ. එය නිදහසින් පසු හැම දා ම පාහේ දැකිය හැකි විය. 1980 දශකයේ ශ්‍රී ලංකාවේ බටහිර ගැති විදේශ ප්‍රතිපත්තිය කෙරේ ඉන්දියාව දැක්‌වූ අකැමැත්ත මත මෙරට පැවැති ඊනියා ජනවාර්ගික ගැටලුව කෙරේ ඉන්දියාවේ මැදිහත් වීම තීරණය වූ ආකාරය බොහෝ දුරට සාකච්ඡා වී ඇත. එසේ ම ඉන්දීය ධීවරයන් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ මසුන් මැරීම සම්බන්ධව ඉන්දියාව දරන්නේ අධිපතිවාදී ආකල්පයකි. ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරය වූ අබ්දූල් කලාම් ඒ සඳහා විසඳුමක්‌ ලෙස වරක්‌ යෝජනා කළේ ඉන්දීය ධීවරයන්ට සතියකට දින තුනක්‌ ශ්‍රී ලංකා මුහුදේ මසුන් මැරීමට අවසර දිය යුතු බවකි. ඉන්දියානු මානසිකත්වය තේරුම්ගැනීමට එය මනා නිදසුනකි. මේ වන විට ඉන්දියාව ශ්‍රී ලංකාව සමග ඇති කරගැනීමට උත්සාහ කරන ආර්ථික හා වෙළෙඳ ගිවිසුම (එට්‌කා) සම්බන්ධව ඔවුන් දරන ආකල්ප ද අපේ අවධානයට යොමු විය යුතු කරුණු වේ.

විශේෂයෙන් විදුලිබලය වැනි අත්‍යවශ්‍ය අංශයක්‌ සම්බන්ධව අප කෙතෙක්‌ දුරට මෙවැනි අසල්වැසි රාජ්‍යයක්‌ මත යෑපිය යුතු ද යන්න සිහිනුවණින් විමසා බැලිය යුතු කරුණකි. ඒ, තීරණාත්මක අවස්‌ථාවක රටේ විදුලිය බිඳවැටීමක්‌ සිදු වුව හොත් එය අංශ ගණනාවක ම කඩා වැටීම විය හැකි නිසා ය. මේ නිසා අපේ රටේ විදුලිබල ඉල්ලුම සපුරාලීමට මෙරට තුළ ම බලශක්‌තිය නිපදවීම සඳහා ප්‍රමුඛතාව දීම අවශ්‍ය ය. ඒ සඳහා වන සැලසුම් පිළිබඳව බලධාරීන් ගේ අවධානය යොමු විය යුත්තේ බලශක්‌ති සුරක්‌ෂිතභාවය හා ස්‌වෛරීභාවය ද රටකට වැදගත් වන බැවිනි.

http://www.vidusara.com/2016/11/02/news1.html

No comments:

Post a Comment