Thursday, November 17, 2016

ට්‍රම්ප් ගේ ආගමනය හා දේශගුණ සටනේ අනාගතය

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 16.11.2016, පි. 5

(Vidusara, 16.11.2016, Trump and the future of the effort to combat climate change)

http://www.vidusara.com/2016/11/16/feature2.html

පසුගිය දා පැවැති ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජයගත්තේ රිපබ්ලිකන් පාක්‌ෂික අපේක්‌ෂක ඩොනල්ඩ් ඡේ. ට්‍රම්ප් ය. එය බොහෝ දෙනා අපේක්‌ෂා නො කළ ප්‍රතිඵලයකි. ඇමෙරිකානු හා වෙනත් ජාත්‍යන්තර මාධ්‍ය මගින් මෙන්ම ජනමත විමසුම් මගින් ද පෙන්වා දී තිබුණේ ප්‍රතිවාදී ඩිමොක්‍රටික්‌ පක්‌ෂයේ අපේක්‌ෂිකාව වූ හිලරි ක්‌ලින්ටන් ජයග්‍රහණය කරනු ඇති බව ය. එහෙත් ඒ සියල්ල අසත්‍ය කරමින් ට්‍රම්ප් ජයග්‍රහණය කර තිබේ. මේ අනුව ඔහු ලබන ජනවාරියේ දී එරට 45 වැනි ජනාධිපතිවරයා ලෙස වැඩ භාරගැනීමට නියමිත ය.

ට්‍රම්ප් ගේ ජයග්‍රහණය සම්බන්ධව විවිධ විචාර දේශීය විදේශීය ජනමාධ්‍යවල පසුගිය දින කිහිපය පුරා දැකිය හැකි විය. ඇමෙරිකාවේ සුදු ජාතිකයන් අතරින් බහුතරයක්‌ ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ ට්‍රම්ප්ට වන අතර, එරට වෙසෙන සුළු ජාතිකයන් වැඩි දෙනා ඡන්දය ප්‍රකාශ කර තිබුණේ හිලරි ක්‌ලින්ටන්ට ය. එසේ ම ට්‍රම්ප් ගේ ජයග්‍රහණය ඇමෙරිකානු ජාතිකවාදයේ ජයග්‍රහණයක්‌ ලෙස සැලකේ. එය ලෝකයේ මේ වන විට වර්ධනය වෙමින් පවත්වා ජාතිකවාදී ප්‍රවාහයේ වැදගත් සන්ධිස්‌ථානයක්‌ වීමට ද හැකි ය.

කෙසේ හෝ වේවා ට්‍රම්ප් මේ වන විට ලෝකයේ බලවත් ම රාජ්‍යයක මිළග ජනාධිපතිවරයා බවට පත් වී ඇත. ඒ අනුව අනාගත ලෝකයේ පරිසරය හා සම්බන්ධ කරුණුවල දී ලෝකයට කටයුතු කිරීමට සිදු වන්නේ ඔහු ගේ ප්‍රතිපත්ති සමග ය. ඇමෙරිකාව මෑත කාලයේ දී පරිසරය පිළිබඳව, විශේෂයෙන් දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව යම් යම් සාධනීය පියවර ගෙන තිබේ. එහෙත් ඔබාමාට වඩා වෙනස්‌ ප්‍රතිපත්ති සහිත ට්‍රම්ප් ගේ පාලනය යටතේ පරිසරය පිළිබඳ ප්‍රතිපත්ති කෙබඳු වනු ඇති ද යන්න විමසා බැලීමට වටියි. මේ සටහන ඒ වෙනුවෙනි.

ට්‍රම්ප් ගේ දේශගුණ ප්‍රතිපත්තිය


ට්‍රම්ප් ගේ ප්‍රතිපත්ති තුළ දේශගුණ වෙනස්‌ වීමට හිමි වන තැන සලකා බැලුව හොත්, දේශගුණ වෙනස්‌ වීම හා සම්බන්ධ විද්‍යාව චීනය විසින් කරන ලද රැවටීමක්‌ (hoax) බව ඔහු 2012 වර්ෂයේ දී පමණ සිය ට්‌විටර් ගිණුමේ සටහන් කර ඇත. දේශගුණ වෙනස්‌ වීම ඉදිරියට ගෙන ඇත්තේ ඇමෙරිකාවේ නිෂ්පාදන ක්‍රියාවලිය සෙසු රටවල් හා තරගකාරී නො වන මට්‌ටමකට ගෙන ඒමට බව ද හෙතෙම පවසා ඇත. තමා බලයට පත් වූ පසු දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ පැරිස්‌ සම්මුතියෙන් ඉවත් වීමට හෝ ඒ ගැන යළි සාකච්ඡා කිරීමට හෝ කටයුතු කරන බව ඔහු පැවසුවේ සිය මැතිවරණ ව්‍යාපාරය අතරතුර පසුගිය මැයි මාසයේ දී ය. එසේ ම ගල් අගුරු කර්මාන්තය, තෙල් හා ගෑස්‌ කර්මාන්තය ව්‍යාප්ත කිරීමට ට්‍රම්ප් පොරොන්දු වී තිබේ. මේ වන විට ලෝකය අපේක්‌ෂා කරන්නේ ෆොසිල ඉන්ධන භාවිතය සීමා කිරීමට ය. මීට සාපේක්‌ෂව ගත් විට ප්‍රතිවාදී අපේක්‌ෂකයා වූ හිලරි ක්‌ලින්ටන් දේශගුණ වෙනස්‌ වීම හා ඒ පිළිබඳ විද්‍යාත්මක දැනුම පිළිගත් අයෙක්‌ විය.

සමස්‌තයක්‌ ලෙස ගත හොත් ට්‍රම්ප් ගේ මැතිවරණ ව්‍යDපාරය තුළ ඇතැම් අවස්‌ථාවල පරිසරය හා සම්බන්ධ මෙන්ම පොදු විද්‍යාත්මක දැනුම අවතක්‌සේරු කළ අවස්‌ථා හෝ අනවබෝධය පෙන්වූ අවස්‌ථා රැසක්‌ ද දැකිය හැකි විය. එසේ ම ට්‍රම්ප් එරට පරිසර ආරක්‌ෂක ඒජන්සිය සඳහා තෝරාගෙන ඇත්තේ දේශගුණ වෙනස්‌ වීම ප්‍රතික්‌ෂේප කරන්නකු වන මයිරන් එබෙල් නැමැත්තා බව පසුගිය සැප්තැම්බර් මාසයේ දී ප්‍රකාශයට පත් විය.

කෙසේ වෙතත්, දැන් දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ කිසියම් පමණක සංශයවාදියෙක්‌ ඇමරිකාවේ ජනාධිපති බවට පත් වී ඇත. ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වීමත් සමග මේ පිළිබඳව Scientific American සගරාවට අදහස්‌ දැක්‌වූ විද්‍යාඥයන් පිරිසක්‌ පෙන්වා දී තිබුණේ දේශගුණ වෙනස්‌ වීම, පරිසරය වෙනත් විද්‍යාව හා සම්බන්ධ විෂයයන්වලට පහරක්‌ වැදී ඇති බවයි. ට්‍රම්ප් පමණක්‌ නො ව ඔහු ගේ සමීපතමයන් අතරින් සැලකිය යුතු පිරිසක්‌ ද දේශගුණ වෙනස්‌ වීම ප්‍රතික්‌ෂේප කරන හෝ බරපතළ ලෙස විවේචනය කරන හෝ පිරිසක්‌ වීම විශේෂත්වයකි.

ට්‍රම්ප් ගේ මේ ප්‍රතිපත්ති ජනාධිපතිවරණ ප්‍රතිඵලයට ද බලපාන්නට ඇති බව අපට සිතේ. බ්‍රෙක්‌සිට්‌ හෙවත් යුරෝපා සංගමයෙන් ඉවත් වීම සඳහා බ්‍රිතාන්‍යයේ මෑත දී පැවැති ජනමත විචාරණයේ දී ද මීට තරමක්‌ සමාන සිදුවීමක්‌ සිදු විය. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් වුව හොත් දේශගුණ වෙනස්‌ වීම, පරිසරය වැනි (හා තවත්) අංශවලට ඇති විය හැකි නිෂේධනීය බලපෑම ගැන බොහෝ පුද්ගලයන් හා සංවිධාන විසින් පෙන්වා දෙන ලද නමුත්, අදාළ ජනමත විචාරණයේ දී ජනතාවට පරිසරය පිළිබඳ කරුණුවලට වඩා වෙනත් කරුණු වැදගත් විය. මේ නිසා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් විය යුතු යෑයි ජනමත විචාරණයේ දී තීරණය විය. (මේ වන විට අධිකරණ ක්‍රියාමාර්ග මගින් ඒ තීරණය ගැන මතභේදාත්මක තත්ත්වයක්‌ ඇති වී තිබේ.) බ්‍රිතාන්‍යයේ එසේ වී නම්, දේශගුණ වෙනස්‌ වීම සැක කරන පිරිස්‌ වඩා අධික වන ඇමෙරිකාවේ සිදුවිය හැකි දේ ගැන අප පුදුමයට පත් විය යුතු නැත.

ඇමෙරිකාව පැරිස්‌ ගිවිසුමෙන් ඉවත් වේ ද?


දැන් ට්‍රම්ප් ජනාධිපති වීමට නියමිත ය. ඒ පිළිබඳව කණගාටුවට හා බියට පත් විය යුතු කරුණු අතරින් එකක්‌ ලෙස දේශගුණ වෙනස්‌ වීම දක්‌වා ඇත. දේශගුණ වෙනස්‌ වීම පසුපස ඇති විද්‍යාව රැවටීමක්‌ හෝ මිථ්‍යාවක්‌ ලෙස සිතන අයකු ජනාධිපති වීම ඊට හේතුවයි.

ඔහු ප්‍රකාශ කළ පරිදි පැරිස්‌ සම්මුතියෙන් ඉවත් වීම කළ හැකි වුව ද එය කඩිනමින් කළ හැකි දෙයක්‌ නො වේ. සම්මුතිය බලාත්මක තත්ත්වයට පත් වී වසර තුනකට පසුව පාර්ශ්වකරුවන්ට ඉන් ඉවත් වීමේ නිවේදනය ලබා දී තවත් වසරකින් ඉන් ඉවත් වීමට හැකි ය. ඒ අනුව ඊට අවම වශයෙන් වසර හතරක පමණ කාලයක්‌ ගත වේ. ඔවුන් අදාළ ගිවිසුමේ පාර්ශ්වකරුවකු වන නිසා ඊට අදාළ වගකීම්වලින් එතෙක්‌ බැඳී සිටිනු ඇත. මේ අනුව ගිවසුමෙන් ඉවත් වීම ක්‌ෂණිකව කිරීම අපහසු බව පැහැදිලි ය. (ඇමෙරිකාවේ වර්තමාන ජනාධිපති ඔබාමා ගිවිසුම අත්සන් කිරීමට මෙන්ම අපරානුමත කිරීමට කඩිනමින් කටයුතු කළේ මේ නිසා බව සිතිය හැකි ය.)

එහෙත් ඇමෙරිකාව දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ එක්‌සත් ජාතීන් ගේ රාමුගත සම්මුතියෙන් (UNFCCC) ඉවත් වන්නේ නම් එය වසරක කාලයකට පෙර දැනුම් දීම ප්‍රමාණවත් ය. ඒ සමග ම පැරිස්‌ සම්මුතියෙන් ද එරට ඉවත් වේ. අනෙක්‌ අතට පැරිස්‌ සම්මුතියෙන් ඉවත් නො වී, එරට හරිතාගාර වායු විමෝචන අඩු කිරීමෙන් වැළකී, පැනවූ නීති ක්‍රියාත්මක නො කර හෝ ආපසු හැරවීමට ද ඔහු පියවර ගත හැකි ය.

පැරිස්‌ ගිවිසුමෙන් ඉවත් වීමට අවශ්‍ය නම්, ට්‍රම්ප් මේ කුමන ක්‍රමයක්‌ තෝරාගනු ඇති දැයි දැන් ම පැවසිය නොහැකි ය. එහෙත් ට්‍රම්ප් ගන්නා පියවරට එරෙහි විය හැකි ව්‍යවස්‌ථාපිත ආයතනයක්‌ එරට නො තිබීම නිසා තත්ත්වය වඩාත් බරපතළ වේ. ඇමෙරිකාවේ සෙනෙට්‌ මණ්‌ඩලය, සාමාන්‍යයෙන් දේශගුණ වෙනස්‌ වීම පිළිගැනීමට අදිමදි කරන රිපබ්ලිකන් පාක්‌ෂික බහුතරයකින් යුක්‌ත ය. ජනාධිපතිවරයා ගේ ඇතැම් කටයුතු නැවැත්වීමට හෝ පමා කිරීමට හෝ සෙනෙට්‌ මණ්‌ඩලයට හැකි වුව ද, දැන් එය ද එක ම පක්‌ෂයේ වීම නිසා ට්‍රම්ප් ගන්නා දේශගුණ හා පරිසර විරෝධී පියවරවලට ඔවුන් ගේ සහාය ලැබීමට ඉඩ තිබේ. මේ වන විට ඇමෙරිකානු කොංග්‍රස්‌ මණ්‌ඩලයේ බලය ඇත්තේ ද එම පක්‌ෂයට ය. වර්තමාන ජනාධිපති බැරැක්‌ ඔබාමා ගත් දේශගුණ වෙනස්‌ වීම, පරිසරය හා වෙනත් එවැනි විෂයයන් සම්බන්ධ ඵලදායී යහපත් පියවර නැවැත්වීමට හෝ ඊට බාධා කිරීමට හෝ රිපබ්ලිකන් පාක්‌ෂික බහුතරයකින් යුක්‌ත සෙනෙට්‌ සභාව කටයුතු කළ අවස්‌ථා ගණනාවක්‌ ම මෑත අතීතයේ වාර්තා විය.

ට්‍රම්ප් ගන්නා කවර නිෂේධනීය ක්‍රියාවක වුව ප්‍රතිඵලය වර්තමාන දේශගුණ සටනට බරපතළ විය හැකි ය. ඇමෙරිකාව මේ වන විට පොරොන්දු වී ඇති දේශගුණ ඉලක්‌කය අත්පත් කරගැනීම සඳහා දැනට සිදු කරන කටයුතු ප්‍රමාණවත් නො වන බව විද්‍යාඥයන් මේ වන විට ද පෙන්වා දී ඇත. එසේ තිබිය දී ඇමෙරිකානු රජය පැරිස්‌ සම්මුතිය නො සලකා හැරීම හෝ ඉන් ඉවත් වීම හෝ සිදුවීම සම්මුතියේ සාර්ථකත්වයට බලපෑ හැකි ය. එවැනි පියවරක්‌ දේශගුණ වෙනස්‌ වීම පාලනය කිරීමේ සටනට යම් බලපෑමක්‌ කළ හැකි ය. විශේෂයෙන් පැරිස්‌ සම්මුතිය යටතේ ගන්නා පියවර බොහෝ දුරට ස්‌වෙච්ඡා දායකත්වයක්‌ වන බැවින් ඇමෙරිකාවේ නිෂේධනීය තීරණයකින් කිසියම් බලපෑමක්‌ සිදු විය හැකි ය. අද ලෝකයේ දෙවැනි වැඩි ම හරිතාගාර වායු ප්‍රමාණය විමෝචනය කරන්නේ ඇමෙරිකාව ය.

මීට වසර කිහිපයකට පෙර, විශේෂයෙන් රිපබ්ලිකන් පාක්‌ෂික ජනාධිපති ජෝර්ඡ් බුෂ් ගේ පාලනය යටතේ, ඇමෙරිකාව දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීමට ගත් ජගත් උත්සාහයට බාධා කරමින් සිටියේ ය. 1997 දී සම්මත වූ කියෝටෝ සන්ධානය බලාත්මක වීම ප්‍රමාද වීමට හා බලාත්මක වුව ද එය අසාර්ථක වීමට ඇමෙරිකාවේ සහයෝගය නොමැති වීම ද හේතු විය. දේශගුණ සටනට එරට දායක වන්නේ ඔබාමා ගේ පාලන සමයේ ය. ඔබාමා යටතේ ඇමෙරිකානු දේශගුණ ප්‍රතිපත්තිවල සැලකිය යුතු වෙනසක්‌ ඇති වූ අතර ඔවුන් පැරිස්‌ සම්මුතියට අත්සන් තබා එය අපරානුමත කිරීමට ද පියවර ගෙන ඇත. එවැනි තත්ත්වයක දී මේ ගමන්මෙගන් ඇමෙරිකාව ඉවත් වුව හොත් එය ඛෙදජනක කරුණකි.

තත්ත්වයේ බරපතළකම

එවැනි තත්ත්වයක්‌ ඇති වුව හොත් ඇති වන ප්‍රතිඵලයේ තරම සම්බන්ධව ද මේ වන විට අවධානය යොමු ව තිබේ. එක්‌ ගණනය කිරීමකට අනුව, ඉදිරියේ දී ඇමෙරිකාව පැරිස්‌ සම්මුතිය අනුව කටයුතු නො කළ හොත්, ට්‍රම්ප් ගේ දෙවැනි පාලන සමය (ඔහු දෙවරක්‌ පත් වුව හොත්) අවසන් වන විට ඇමෙරිකාවේ හරිතාගාර විමෝචන අදට වඩා 16%ක්‌ පමණ ඉහළ යැමේ අවදානමක්‌ පවතී. ට්‍රම්ප් ගේ ජයග්‍රහණයත් සමග එරට ගල්අගුරු සමාගම්වල කොටස්‌ මිල ඉහළ ගිය බව ද මාධ්‍ය ඔස්‌සේ වාර්තා විය. එසේ ම හිලරි ක්‌ලින්ටන් ජනාධිපති වූයේ නම්, ඇය ගැනීමට සිටි පියවර මගින් එරට විමෝචන ප්‍රමාණය අඩු වීමට නියමිත වූ බව අප අමතක නො කළ යුතු කරුණකි.

මේ අතර දේශගුණ වෙනස්‌ වීම යථාර්ථයක්‌ බව ට්‍රම්ප්ට ඒත්තු ගැන්වීම සඳහා ලෝකයේ ප්‍රකට විද්‍යාඥයන් හා පරිසරවේදීන් පිරිසක්‌ නව ව්‍යාපාරයක්‌ ආරම්භ කර තිබේ. මේ සඳහා ආයතන කිහිපයක්‌ ම මැදිහත් වී ඇති බව පෙනේ. ඇමෙරිකාවේ සියෙරා සමිතිය, ඇමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමය මේ අතර වේ. ට්‍රම්ප් ගේ ප්‍රතිපත්තිවල කිසියම් වෙනසක්‌ ඇති කිරීමට අපේක්‌ෂා කරන ඔවුන් ගේ අදහස වන්නේ ලෝකය මේ විනාශයෙන් ගලවාගැනීමයි. එය එසේ සිදු වනු ඇති ද යන්න වැඩි දවසක්‌ යැමට පෙර අපට දැනගත හැකි වනු ඇත.

අවසන් වශයෙන් එක්‌ ලේඛකයකු පැවසූ කරුණක්‌ සඳහන් කළ හැකි ය. ඩොනල්ඩ් ට්‍රම්ප්ට අවශ්‍ය නම් ජනාධිපති වූ පසුව ඇමෙරිකානු නීති වෙනස්‌ කළ හැකි ය. එහෙත්, දේශගුණ වෙනස්‌ වීමට ඇමෙරිකානු නීති අදාළ නො වේ. ඊට අදාළ වන්නේ භෞතික විද්‍යාවේ නීති ය.

http://www.vidusara.com/2016/11/16/feature2.html

No comments:

Post a Comment