Monday, May 13, 2019

මෑත පෙරදිගින් මතු වන කුරුස යුද්ධකරුවන්ගේ ප්‍රවේණික සලකුණු

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 08.05.2019, පි. 13 (Vidusara)
http://www.vidusara.com/2019/05/08/feature4.html





(ඡායාරූපය - සිඩොන්හි හමු වූ මිනී වළක්‌)


මෑත පෙරදිග ප්‍රදේශවල ඇති වූ කුරුස යුද්ධ (Crusades) යනු ඉතිහාසයේ සිදු වූ වැදගත් සංග්‍රාම මාලාවකි. එහි දී ක්‍රිස්‌තියානි බටහිර යුරෝපා රටවල වැසියන් මුස්‌ලිම්රුන්ට එරෙහි ව සටන් වැදුණේ මෑත පෙරදිග පිහිටි පැරැණි ක්‍රිස්‌තියානි ප්‍රදේශ යළිත් අත්පත් කරගැනීම සඳහා සහ ජෙරුසෙලම ඇතුළුව ඔවුන්ගේ ආගමික ශුද්ධ භූමි අත්පත් කරගැනීම සඳහා ය. මේ පිළිබඳ ව ඓතිහාසික මෙන් ම පුරාවිද්‍යාත්මක සාධක බෙහෙවින් තිබෙයි. මේ අතර, පසුගිය දා ප්‍රකාශයට පත් වූ නව අධ්‍යයනයකින් කුරුස යුද්ධකරුවන් කවුරුන් ද යන්න ගැන අලුත් විස්‌තර මෙන් ම ඔවුන් හා එම ප්‍රදේශවල වැසියන් අතර පැවැති සම්බන්ධතා පිළිබඳ ව ද අවධානය යොමු වී ඇත. ඒ කුරුස යුද්ධකරුවන් පිරිසකගේ DNA පිළිබඳ ව සිදුකරන ලද අධ්‍යයනයකි.

මේ අධ්‍යයනය තුළින් පෙනී ගොස්‌ ඇති කරුණක්‌ වන්නේ කුරුස යුද්ධකරුවන්ගේ ප්‍රවේණික විවිධත්වය ඉහළ බව ය. එසේ ම ඔවුන් මෑත පෙරදිග ප්‍රදේශවල විසූ වැසියන් හා මිශ්‍ර වී ඇති බව ද මෙහි දී පෙනී ගොස්‌ ඇත. එහෙත් යුරෝපීය කුරුස යුද්ධකරුවන් වර්තමාන ලෙබනන ජනතාවගේ ජානමය සංයුතියට සැලකිය යුතු බලපෑමක්‌ සිදු කර නැති බව ද පෙනී ගොස්‌ ඇත.

අනෙක්‌ අතට කුරුස යුද්ධ පිළිබඳ ව සැලකිය යුතු විස්‌තරයක්‌ ඉතිහාසයෙහි සඳහන් වෙයි. එහෙත් ඒ වැඩි වශයෙන් ඒවාට සම්බන්ධ වූ වික්‍රමාන්විත නායකයන් පිළිබඳ ව ය. ඒවාට සම්බන්ධ වූ පොදු සොල්දාදුවන් හා ඔවුන්ගේ ජීවිත පිළිබඳ ව වාර්තා එතරම් දැකගත නො හැකි ය. එබැවින් පැරැණි DNA පිළිබඳ ව සිදු කර ඇති මේ අධ්‍යයනය වැදගත් කරුණු රැසක්‌ හෙළි කරන්නකි.


පැරැණි DNA ලබාගැනීම


උක්‌ත අධ්‍යයනය සිදු කර ඇති මෑත පෙරදිග කලාපයේ ලෙබනනය හා ආශ්‍රිත ප්‍රදේශය ඉතිහාසය පුරා විවිධ සිදුවීම් රැසක්‌ සිදු ව ඇති ප්‍රදේශයක්‌ වීම නිසා එහි ප්‍රවේණික ද්‍රව්‍ය අධ්‍යයනය කිරීමට උනන්දුවන් තිබී ඇත. එහෙත් මින් පෙර සිදු කර ඇති ප්‍රවේණික අධ්‍යයනවල දී මූලික වශයෙන් ම උත්සාහ දරා ඇත්තේ නූතන ජනතාවගේ DNA සංයුතිය පිළිබඳ ව හැදැරීමට ය. එම ප්‍රදේශයෙන් ලැබෙන පැරැණි DNA පිළිබඳ ව අධ්‍යයනය කිරීමට වැඩි අවධානයක්‌ යොමු වී නැත්තේ සාමාන්‍යයෙන් උණුසුම් දේශගුණයක්‌ සහිත ප්‍රදේශවල DNA ඉක්‌මනින් විනාශ වී යන බැවිනි. එහෙත් මේ නව අධ්‍යයනයේ දී DNA ලබාගැනීමේ දී හා අනුක්‍රමගත කිරීමේ තාක්‌ෂණයේ ඇති වී තිබෙන දියුණුව නිසා මෙවැනි නිදර්ශකවලින් ද ප්‍රවේණික ද්‍රව්‍ය ලබාගත හැකි බව දැන් පැහැදිලි ය.

අප මාතෘකා කරගන්නා අධ්‍යයනය සඳහා යොදාගෙන ඇත්තේ වර්තමාන ලෙබනනයේ සිඩොන් (Sidon) ප්‍රදේශයේ පිහිටා ඇති කුරුස යුද්ධකරුවන්ගේ බළකොටුවක්‌ ආසන්නයෙන් හමු වී ඇති මිනී වළකින් මතු වූ ඇටසැකිලිවලින් ලබාගන්නා ලද DNA ය. එම ස්‌ථානයෙන් පිරිමි පුද්ගලයන් 25 දෙනකුට පමණ අයත් වූ අස්‌ථි ශේෂ ලැබී ඇත. ඒ සමඟ ලැබී ඇති පුරාවිද්‍යාත්මක සාධක අනුව පෙනී ගොස්‌ තිබුණේ ඒවා 1200 ගණන්වල කුරුස යුද්ධවල දී මිය ගිය අයගේ දේහ බවයි. ඒවා කිසියම් ආදාහනයක්‌ ද සිදු කර රළු ආකාරයෙන් වළ දමා තිබිණි.

මේ දේහ කොටස්‌වලින් ප්‍රවේණික ද්‍රව්‍ය ලබාගෙන ඒවා විශ්ලේෂණයක්‌ සිදු කිරීමට මේ පර්යේෂකයෝ පියවර ගත් හ. ඒ අතරින් කුරුස යුද්ධකරුවන් 9 දෙනකුගේ දේහවල DNA දත්ත ලබාගැනීමට ඔවුන්ට හැකියාව ලැබී ඇත. මේ දත්ත අනුව පෙනී ගොස්‌ තිබුණේ මේ නව දෙනා අතරින් තිදෙනකු යුරෝපීයයන් වන බවත්, සිව් දෙනකු මෑත පෙරදිග වැසියන් වන බවත් (ඔවුන් ප්‍රවේණික වශයෙන් නූතන ලෙබනන් වැසියන් ගෙන් වෙන් කරගත නො හැකි තරම් ය) ඉතිරි දෙදෙනා යුරෝපීය හා මෑත පෙරදිග වැසියන් අතර මිශ්‍ර ප්‍රවේණික සම්භවයක්‌ ඇති අය වූ බවත් ය. මේ අනුව යුරෝපීයයන්, මෑත පෙරදිග පදිංචිකරුවන් සම`ග මිශ්‍ර වූ බවට සෘජු සාධක මේ මගින් ලැබෙයි.


ප්‍රවේණික සම්බන්ධතා


ලෝක ඉතිහාසයෙහි ඇතැම් අවස්‌ථාවල කල් පවත්නා හා ප්‍රමුඛතා දක්‌වන ප්‍රවේණික වෙනසක්‌ සිදු කිරීමට මිනිස්‌ සංක්‍රමණවලට හා ආක්‍රමණිකයන්ට හැකියාව ලැබී තිබෙයි. ලෝක ඉතිහාසයෙහි දැකිය හැකි එවැනි සිදුවීම් කිහිපයක්‌ වෙයි. එන් එකක්‌ වන්නේ ජෙංගිස්‌ ඛාන් විසින් ආසියාව පුරා සිය මොංගොල් අධිරාජ්‍යය ව්‍යාප්ත කිරීමේ දී සිදු කරන ලද, වෙනස්‌කම්වල ප්‍රවේණික සලකුණු අදටත් දැකිය හැකි වීම ය. දෙවැනි එවැනි වැදගත් සිදුවීමක්‌ වන්නේ යුරෝපයෙන් ඇමෙරිකාවට සංක්‍රමණය වූ ස්‌පාඤ්ඤ හා පෘතුගීසි අධිරාජ්‍යවාදීන් විසින් දකුණු ඇමෙරිකාවට සංක්‍රමණය වීමෙන් පසුව එම ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රවේණික සංයුතියේ සිදු කරන ලද වෙනස්‌කම් ය. මේ අවස්‌ථා දෙකෙහි දී ම අදාළ ප්‍රදේශවල ප්‍රවේණික සංයුතියේ ස්‌ථිර හා මූලික වෙනස්‌කම් කිරීමට එම සංක්‍රමණිකයන්ට හැකියාව ලැබිණි. එහෙත් මෑත පෙරදිග වැසියන් හා මිශ්‍ර වුව ද කුරුස යුද්ධකරුවන්ට එවැනි හැකියාවක්‌ හෝ අවස්‌ථාවක්‌ හෝ ලැබී නැත. ඔවුන්ගේ ප්‍රවේණික ලක්‌ෂණ දිගු කලක්‌ නො පැවැතී මැකී ගොස්‌ ඇති බව මේ අධ්‍යයනයේ දී හෙළි වූ වැදගත් කරුණකි.

මීට වසර දෙ දහසකට පමණ පෙර, එනම් රෝමවරුන් මේ ප්‍රදේශය පාලනය කළ සමයේ එහි විසූ වැසියන් පිරිසකගේ DNA පිළිබඳ ව විශ්ලේෂණයක්‌ ද උක්‌ත අධ්‍යයනයේ දී සිදු කර ඇත. එම විශ්ලේෂණයෙන් පෙනී ගොස්‌ ඇත්තේ අපූරු දෙයකි. ඒ අනුව නූතන ලෙබනන වැසි ක්‍රිස්‌තියානි භක්‌තිකයන් ප්‍රවේණික වශයෙන් වඩාත් සමාන වන්නේ මීට වසර දෙ දහසකට පමණ පෙර මේ ප්‍රදේශයේ විසූ වැසියන්ට ය. එම කාලයේ විසූවන් හා අද වසන්නන් අතර සම්බන්ධය කෙතරම් ද යත් ඒ පිරිස අඛණ්‌ඩව හා එදා හා අද අතර කිසිදු විශේෂ සිදුවීමක්‌ සිදු නො වී පැවත එන ස්‌වභාවයක්‌ දැකිය හැකි බව මේ පර්යේෂකයන්ගේ අදහසයි. එහෙත් ඒ අතර කාලයේ දී යුරෝපීයයන් හා මිශ්‍ර සම්භවයක්‌ සහිත පිරිස්‌ ලෙබනන වැසියන් අතර වූ බව නව අධ්‍යයනය තුළින් පැහැදිලි වී තිබෙයි. එහෙත් වර්තමාන ලෙබනන වැසියන්ගේ ප්‍රවේණික සංයුතිය තුළ කුරුස යුද්ධකරුවන්ගේ ජානමය සම්බන්ධය පිළිබඳ සාධක නොමැති තරම් හෙවත් සැලකිල්ලට ගත යුතු තරම් වැදගත් නො වන්නකි.


DNA විශ්ලේෂණයේ වැදගත්කම


මේ අධ්‍යයනයෙන් පැහැදිලි වන කරුණක්‌ වන්නේ ඓතිහාසික වශයෙන් වැදගත්, එහෙත් ප්‍රමාණවත් ලෙස ලේඛනගත වී නොමැති සිදුවීම් පිළිබඳ ව කරුණු පැහැදිලි කරගැනීම සඳහා පැරැණි DNA යොදාගැනීමට ඇති හැකියාවයි. එහි දී මේ පැරැණි DNA භාවිතයෙන් වැදගත් තොරතුරු අනාවරණය කරගත හැකි බව මේ අධ්‍යයනයෙන් ඔප්පු වී තිබෙයි.

එහෙත් අද වාසය කරන මිනිසුන්ගේ DNA සංයුතිය පිළිබඳව විශ්ලේෂණය කිරීම තුළින් පමණක්‌ තොරතුරු අනාවරණය කරගත නොහැකි සිදුවීම් ද මානව ඉතිහාසයේ සිදු විය හැකි ය. කුරුස යුද්ධ වැනි මනාව ලේඛනගත වී ඇති සිදුවීම් පිළිබඳ ව ප්‍රමාණවත් සාධක පැවතිය ද එසේ ඓතිහාසික වාර්තා හමු නො වන සිදුවීම් ලෝකයේ කිනම් ප්‍රදේශයක වුව ද සිදුවීමට ඉඩ ඇත. එසේ ඓතිහාසික වාර්තා ද දැකිය නොහැකි හා DNA තුළින් ද හඳුනාගත නො හැකි සිදුවීම් ගැන අපට දැනගැනීමට අවස්‌ථාවක්‌ ඇත්තේ අතීතයේ විවිධ කාලවකවානුවල විසූ මිනිසුන්ගේ පැරැණි DNA පිළිබඳව අධ්‍යයනය කිරීමෙනි. කුරුස යුද්ධකරුවන්ගේ සිදුවීම වැනි අතීතයේ කිසියම් කාලයක දී දැකිය හැකි වූ ප්‍රවේණික වෙනස්‌කම් ඇති කිරීමට හේතු වන සිදුවීම් මානව ඉතිහාසයේ ඕනෑ ම ප්‍රදේශයක දැකිය හැකි වීමට අවස්‌ථාව තිබෙයි. ඒවා හඳුනාගැනීමට යම් අවස්‌ථාවක්‌ පැරැණි DNA පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් ලැබෙයි.

කුරුස යුද්ධ

කුරුස යුද්ධ යනුවෙන් අදහස්‌ කරනු ලබන්නේ 11 වැනි සියවසේ දී ආරම්භ වූ ආගමික යුද්ධ මාලාවකි. එහි දී බටහිර ක්‍රිස්‌තියානි රටවල් සටන් වැදුණේ දිගු කාලයක්‌ තිස්‌සේ පැවැති මුස්‌ලිම්වරුන්ගේ ව්‍යාප්තියට හේතු වූ ආක්‍රමණවලට එරෙහි ව ය. නැෙ`ගනහිර මධ්‍යධරණී ප්‍රදේශයේ පිහිටා තිබූ ක්‍රිස්‌තියානිවරුන්ගේ ශුද්ධ භූමි යළිත් අත්පත් කරගැනීම, ඉස්‌ලාම් ආගමේ ව්‍යාප්තිය වැළැක්‌වීම හා මෑත පෙරදිග ප්‍රදේශවල පිහිටා තිබූ පැරැණි ක්‍රිස්‌තියානි බලප්‍රදේශ යළි අත්පත් කරගැනීම මෙහි සෙසු අරමුණු අතර වෙයි.

ප්‍රධාන සටන් සිදු වූයේ පළමු කුරුස යුද්ධය ආරම්භ වූ 1095 වර්ෂය පමණ සිට 1291 වර්ෂය පමණ දක්‌වා සිදු වූ සංග්‍රාම දක්‌වා ය. ඒවා පළමු කුරුස යුද්ධය, දෙවැනි කුරුස යුද්ධය, තෙවැනි කුරුස යුද්ධය ආදි ලෙස නම් කර ඇත්තේ අදාළ සංග්‍රාම ව්‍යාපාර අනුව ය. වර්ෂ 1291 වර්ෂයේ දී සිදු වූ ක්‍රිස්‌තියානුවන්ට සිරියාව අහිමි වීමත් සමඟ ප්‍රධාන කුරුස යුද්ධ අවසන් වූ බව සැලකෙන නමුත්, ඉන් පසු ව ද තවත් කුරුස යුද්ධ කිහිපයක්‌ දැකිය හැකි විය. එහෙත් 16 වැනි සියවසේ දී කුරුස යුද්ධ හා ඒ සඳහා වූ උනන්දුව ශීඝ්‍රයෙන් අඩු වූ අතර, 1453 දී කොන්ස්‌තන්තිනෝපල් නගරය තුර්කිවරුන්ට යටත් වීම ද තීරණාත්මක විය. මෙසේ කුරුස යුද්ධ පිරිහී යැම සඳහා යුරෝපයේ ප්‍රොතෙස්‌තන්ත ක්‍රිස්‌තියානි ව්‍යාපාරය ආරම්භ වීම හා කතෝලික පල්ලියේ ආධිපත්‍යය අඩු වීම හේතු වූ බව විශ්වාස කරනු ලැබේ.

මූලාශ්‍රය - The American Journal of Human Genetics, DOI: 10.1016/j.ajhg.2019.03.015

Monday, April 29, 2019

Homo luzonensis - පිලිපීනයෙන් හමු වූ ආදි මානව විශේෂය

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 24.04.2019, පි. 08 (Vidusara)

http://www.vidusara.com/2019/04/24/feature1.html



අතීතයේ ජීවත් වූ ආදි මානව විශේෂයක්‌ පිළිබඳ තොරතුරු පිලිපීනයෙන් අනාවරණය කරගැනීමට පර්යේෂකයන් පිරිසක්‌ සමත් වී ඇත. මේ සාධක හමු වී ඇත්තේ පිලිපීනයේ ලුසොන් (Luzon) දූපතේ උතුරු ප්‍රදේශයේ පිහිටා ඇති කලාඕ ලෙන (Callao Cave) නම් ගුහාවක සිදුකරන ලද කැණීම්වලිනි. අදින් වසර 50,000 - 67,000 අතර කාලයක්‌ පමණ පැරැණි මේ ෆොසිල අයත් මානව විශේෂය නම්කර ඇත්තේ Homo luzonensis යනුවෙනි.

මේ කතාව ආරම්භ වන්නේ 2007 වර්ෂයේ දී මේ ලෙනෙහි සිදුකළ කැණීම්වලින් හමු වූ තුන්වැනි පාදකූර්චෝපරිය අස්‌ථියක්‌ අදින් වර්ෂ 67,000ක්‌ පමණ පෙර කාලයකට අයත් වූ බවට කාල නිර්ණය කිරීමත් සමඟ ය. එය පිලිපීනයේ මානව පැවැත්ම පිළිබඳ පැරැණි ම සාධකය විය. මේ අස්‌ථියේ පැවැති වක්‍රතාව හා ප්‍රමාණයෙන් වඩා කුඩා වීම සෙසු මානවයන්ට වඩා වෙනස්‌ ලෙස හඳුනාගන්නා ලදි. එහෙත් ඊට වඩා විශ්ලේෂණයක්‌ කිරීමට ප්‍රමාණවත් තරම් සාධක නො ලැබුණු බැවින් පර්යේෂකයන්ගේ නිගමනය වූයේ එය Homo ගණයට අයත් වූ මානවයකුට අයත් වූවක්‌ ලෙස ය. එම සොයාගැනීම පිළිබඳ ව 2010 දී ලිපියක්‌ ප්‍රකාශයට පත් කරන ලදි (මූලාශ්‍රය - Journal of Human Evolution, DOI: 10.1016/ j.jhevol.2010.04.008).

ඉන් පසුව වර්ෂ කිහිපය තුළ එම ලෙන තුළ වැඩිදුරටත් කැණීම් දියත් කළේ මේ මානවයා පිළිබඳ ව වැඩිදුරටත් තොරතුරු අනාවරණය කරගැනීමේ අපේක්ෂාවෙනි. අන්තර්ජාතික පර්යේෂකයන් පිරිසක්‌ විසින් සිදුකරන ලද මේ පර්යේෂණවල ප්‍රතිඵල අනුව එම ෆොසිල අයත් වන්නේ නව ආදි මානව විශේෂයකට යනුවෙන් නිගමනය කිරීමට හැකි වී ඇත.


ප්‍රාථමික හා භින්න ලක්ෂණ



කලාඕ ලෙනෙහි, කලින් ෆොසිල හමු වූ ස්‌තරයෙහි ම සිදුකරන ලද කැණීම්වලින් වැඩිහිටියන් දෙදෙනකුට හා ළමයකුට අයත් ෆොසිල 12ක පමණ ශේෂ හමු වී තිබෙයි. මෙහි දී වැඩිහිටියන්ට අයත් ඇඟිලි අස්‌ථි, පා ඇඟිලි අස්‌ථි හා දත් ද ළමයකුට අයත් ඌර්වස්‌ථියක්‌ හෙවත් කලවා ඇටයක්‌ හමු වී ඇත. මේ අස්‌ථි සියල්ල පිළිබඳ ව සිදුකරන ලද පුළුල් විශ්ලේෂණයක්‌ මඟින් මේ ෆොසිල අයත් වන්නේ Homo luzonensis නම් අලුත් ආදි මානව විශේෂයකට බව මේ මස මුල දී නේචර් සඟරාවේ පළ වූ පර්යේෂණ ලිපියක පළ විය.

මේ ෆොසිලවල ප්‍රාථමික (primitive) හා අත්පත් කරගත් හෙවත් භින්න (derived) ලක්ෂණ සමූහයක්‌ දැකිය හැකි වීම විශේෂයකි. මෙහි දී දැකිය හැකි වූ ඇතැම් ප්‍රාථමික ලක්ෂණ අතීතයේ විසූ ඔස්‌ට්‍රලෝපිතකස්‌ (Australopithecus afarensis) මානවයාට වඩාත් සමාන වී ඇත. Australopithecus මානවයන් මෙලොව ජීවත් වී වඳ වී ගියේ අදින් වසර මිලියන දෙකකට පමණ ඉහත දී වන අතර, ඔවුන් Homo ගණයේ මානවයන්ගේ පූර්වජයන් ලෙස සැලකෙයි (වසර මිලියන 3.1ක්‌ පමණ පැරැණි සුප්‍රකට ලුසී නම් මානව ඇටසැකිල්ල අයත් වන්නේ මේ ආදි මානව විශේෂයට ය).

Homo luzonensis සතු වූ ප්‍රාථමික ලක්ෂණ අතරින් එක්‌ ලක්ෂණයක්‌ වන්නේ පුරශ්චාර්වක දත් ප්‍රමාණයෙන් විශාල වීම හා ඉන් එකක අතිරේක දන්ත මූලයක්‌ තිබීම ය. මේ මානවයාගේ අත් හා පාදවල අස්‌ථිවල ද දැකිය හැකි වූ වක්‍රතාව ද ප්‍රාථමික ලක්ෂණයකි. එවැන්නක්‌ දැකිය හැක්‌කේ ගස්‌ නැඟීම සිදු කරන රුක්‌වාසී විශේෂවල ය. රුක්‌වාසී ජීවිතයකින් පොළාව මත ජීවත්වීමට හුරු වූ දා සිට නූතන මානවයාගේ මේ රුක්‌වාසී අනුවර්තන සියල්ල නැති විය. මේ නිසා අදින් වස ර 67,000කට පමණ පෙර විසූ මානව පූර්වජයකු ගෙන් රුක්‌වාසී අනුවර්තන බලාපොරොත්තු වීම අපේක්ෂා කළ නො හැකි කරුණකි.

එමෙන් ම පිලිපීනයෙන් සොයාගත් මානවයාගේ දැකිය හැකි භින්න ලක්ෂණ අතර කුඩා චාර්වක දත් තිබීම දක්‌වා ඇත. එය වඩාත් සමාන වන්නේ Homo sapiens හෙවත් නූතන මානවයාට ය.

Homo luzonensis මානවයාගේ අස්‌ථි ප්‍රමාණයෙන් කුඩා වීම තවත් සුවිශේෂ කරුණකි. දත් ප්‍රමාණයෙන් කුඩා වීම මෙහි දී පැහැදිලි ව හඳුනාගැනීමට හැකි ව ඇත. සාමාන්‍යයෙන් දත්වල ප්‍රමාණයෙන් ක්ෂරපායී සතුන්ගේ සමස්‌ත ශරීර ප්‍රමාණය නිරූපණය වෙයි. ඒ අනුව මේ මානවයා සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩා මානවයකු වූ බව පර්යේෂකයන්ගේ මතය වෙයි.

කෙසේ වෙතත් මේ මානවයාගේ උස පිළිබඳ ව නිශ්චිත ව පැවසීමට තරම් මේ දත්ත ප්‍රමාණවත් නැත. ඔවුන්ගේ උස නිශ්චිත ව ගණනය කිරීමට නම් තවත් අස්‌ථි අවශ්‍ය ය. මේ මානවයන් ප්‍රමාණයෙන් කුඩා නම්, මානව පූර්වජයන් අතරින් ශරීර ප්‍රමාණයෙන් කුඩා වන දෙවන විශේෂය ඔවුන් ය. මෙවැනි පළමු විශේෂය වන්නේ ඉන්දුනීසියාවෙන් හමු වූ Homo floresiensis නම් විශේෂයයි.

මෙවැනි එකිනෙකට වෙනස්‌ වූ ලක්ෂණ එක්‌ වූ අවස්‌ථාවක්‌ වෙනත් මානව අස්‌ථි සැකිල්ලක දැකිය නො හැකි වීම පර්යේෂකයන්ගේ අවදානයට ලක්‌ වූවකි. ඒ අනුව මොවුන් නව විශේෂයක්‌ ලෙස නම් කිරීමට මෙය මූලික සාධකයක්‌ ලෙස ගෙන ඇත.


පරිණාමීය ඉතිහාසය



Homo luzonensis මානවයාගේ පූර්වජයන් හඳුනාගැනීම තවමත් පහසු නො වන්නේ ප්‍රමාණවත් සාධක නැති බැවිනි. ඉහත ෆොසිල හමු වූ ලෙනට ආසන්න ප්‍රදේශවල සිදුකරන ලද කැණීම්වලින් අදින් වසර 700,000ක්‌ පමණ කාලයකට පෙර දඩයම් කරන ලද රයිනෝසිරස්‌ සතුන්ගේ අස්‌ථි හා ගල් ආයුධ හමු ව ඇත. කෙසේ වෙතත් ඒ සතුන් දඩයම් කරන ලද්දේ මේ Homo luzonensis මානවයන් ම ද, නැත හොත් ඔවුන්ගේ පූර්වජයෙක්‌ ද යන්න නිශ්චිත ව කීමට නො හැකි ව ඇත්තේ සත්ත්ව ඇටකටු සමඟ මානව ශේෂ හමු වී නැති නිසා ය. මේ දක්‌වා පිලිපීනයෙන් ලැබී ඇති එක ම මානව ෆොසිල වන්නේ අදින් වසර 30,000කට පමණ කාලයකට පෙර විසූ බවට දින නියම කර ඇති නූතන මානව (Homo sapiens) ෆොසිලයකි. එම ෆොසිල සමහරක්‌ සාපේක්ෂ ව කුඩා ශරීර ඇති පුද්ගලයන්ගේ වුව ද ඒවායේ ප්‍රාථමික ශරීර ලක්ෂණ දැකිය නො හැක. එමෙන් ම ආසියාවේ විසූ සෙසු මානව විශේෂ හා මේ Homo luzonensis මානවයා අතර සම්බන්ධයක්‌ වී ද යන්න විමසීමට ද දැනට ඇති ෆොසිල සාධක ප්‍රමාණවත් නො වෙයි. එමෙන් ම මේ මානවයා ගෙන් පැරැණි DNA ලබාගැනීමට ගත් උත්සාහය ද අසාර්ථක වී ඇත.

එහෙත් මේ මානවයාගේ සම්භවය සෙවීමේ දී වැදගත් වන තවත් මානවයෙක්‌ පිළිබඳ සාධක තිබෙයි. ඒ ඉන්දුනීසියාවේ ตලෝරේස්‌ දූපතෙන් 2004 වර්ෂයේ දී අනාවරණය කරගත් හොබිට්‌ හෙවත් Homo floresiensis මානවයා ය. පිලිපීනයෙන් හමු වූ මානවයා මෙන් ම හොබිට්‌ මානවයා ද කුඩා ශරීරයක්‌, කුඩා මොළයක්‌ සහිත හා තවත් ප්‍රාථමික ලක්ෂණ දරන, එහෙත් වඩාත් මෑත යුගයක්‌ දක්‌වා ජීවත් වූ මානවයෙකි. හොබිට්‌ මානවයාගේ සම්භවය පිළිබඳ ව මත දෙකක්‌ පවතී. පළමු මතය අනුව ඔවුන් විශාල ශරීරයක්‌ හා විශාල මොළයක්‌ සහිත වූ Homo erectus නම් ආදි මානවයා ගෙන් පැවත එන අතර පසුව විසූ පරිසරයේ සීමිත සම්පත්වලට හැඩගැසී කුඩා වූ මානව විශේෂයකි. දෙවැනි මතයෙන් පැවසෙන්නේ වඩා ප්‍රාථමික මානව පූර්වජයකු ගෙන් පැවත එන ඔවුන් කිසියම් ක්‍රමයකින් අප්‍රිකාවේ සිට ආසියාවට සංක්‍රමණය වී ඇති බව ය. මෙවැනි පරිණාමීය මාවතක්‌ පිලිපීනයේ විසූ මානවයා සම්බන්ධ පැහැදිලි කිරීම් සඳහා ද යොදාගත හැකි බව පර්යේෂකයන්ගේ අදහස වෙයි. එහෙත් ඒ සඳහා තවත් සාධක අවශ්‍ය ය.

අනෙක්‌ අතට Homo luzonensis මානවයා සම්භවය මෙන් ම දිගු කාලයක්‌ තිස්‌සේ පැවැත්ම කෙබඳු දැයි යන්න සැලකිය යුතු කරුණකි. නිදසුනක්‌ ලෙස ගත හොත් ඔවුන් නූතන මානවයා (Homo sapiens), නියෑන්ඩර්තාල්, ඩෙනිසෝවන් හා Homo floresiensis වැනි වෙනත් ආදි මානව විශේෂ සමඟ සමකාලීන ව ජීවත් වී ඇත. ඒ අනුව ආසියානු කලාපය ද මානව පරිණාමික ඉතිහාසයේ වැදගත් කාර්යභාරයක්‌ සිදුකර ඇති බව පැහැදිලි ය. විශේෂයෙන් පිලිපීනය යනු සැලකිය යුතු කාලයක්‌ තිස්‌සේ මුහුදින් වට වී ආසියානු මහාද්වීපයෙන් වෙන් වී තිබූ විශාල ප්‍රමාණයේ දූපත්වලින් යුක්‌ත වූ භූමියකි. එවැනි භූමියක දී විශේෂීකරණය වීමට හැකියාව තිබෙයි. එබැවින් පිලිපීනයෙන් ආදි මානව විශේෂ හමුවීම සඳහා අවස්‌ථාව පවතී. මෙමඟින් පෙනෙන කරුණක්‌ වන්නේ ප්‍රාග් ඉතිහාසයේ අප තවමත් නො දන්නා දේ ඇති බවයි.

මූලාශ්‍රය : Nature, DOI: 10.1038/s41586-019-1067-9

Friday, April 26, 2019

ඉන්දියානුවන්ගේ ප්‍රවේණික සම්බන්ධතා

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 17.04.2019, (Vidusara)

http://www.vidusara.com/2019/04/17/feature2.html




වර්තමාන ඉන්දියාව වූ කලී අතිශය මානව ජනවර්ග හා භාෂා විශාල සංඛ්‍යාවකින් යුක්‌ත රටක්‌ ලෙස හැඳින්විය හැකි ය. එය සංස්‌කෘතික වශයෙන් ද විචිත්‍ර වූ මිශ්‍රණයකි. කෙසේ වෙතත් අතීතයේ දී මිනිසුන් ඉන්දියාවට පැමිණීම හෙවත් ඉන්දියානු ජනතාවගේ සම්භවය පිළිබඳ ව ඇත්තේ එතරම් පැහැදිලි චිත්‍රයක්‌ නො වේ. විශේෂයෙන් මේ පිළිබඳ ඇති සාධක සම්පූර්ණ නැත.

අප්‍රිකාවෙන් පිටතට පැමිණි නූතන මානවයා ඉන්දියාවට ළඟා වීම පිළිබඳව ද වෙනස්‌ මත ඇති බව පෙනෙයි. මේ පිළිබඳ ව වැඩි දෙනා පිළිගත් මතය වන්නේ අදින් වසර 65,000කට පමණ පෙර අප්‍රිකාවෙන් පිටතට පැමිණි මිනිසුන් ඉන්දියාවට ළඟා වූ බව ය. ප්‍රවේණික පර්යේෂණ අනුව ලෝකයේ වෙසෙන මානවයන් සියලු දෙනා ම පාහේ මේ සංක්‍රමණයෙන් පසු ලෝකය පුරා ව්‍යාප්ත වූවන් ය. එහෙත් වෙනත් සාධක අනුව අදින් වසර 100,000කට පමණ පෙර අප්‍රිකාවෙන් පැමිණි ජන කණ්‌ඩායම් ඉන්දියාවට පැමිණ තිබූ බව සාධක මෑත කාලයේ දී දක්‌වා ඇත. අප්‍රිකාවෙන් පිටතට මිනිසුන් කිහිප වරක්‌ සංක්‍රමණය වී ඇති බැවින් එය එවැනි මානව සංක්‍රමණයක්‌ ලෙස සැලකීම වඩාත් තාර්කික ය. එහෙත් එවැනි පැරැණි සංක්‍රමණිකයන් ගෙන් පැවතෙන්නන් පසු කලක ඇති වූ ප්‍රධාන සංක්‍රමණයෙන් පැමිණි මානවයන් ගෙන් යටපත් වී ඇත.

ආර්යයන් ලෙස හඳුන්වනු ලබන ජනතාවක්‌ පසු කලක ඉන්දියාවට සංක්‍රමණය වූ බව පිළිගත් මතයයි. මේ ආර්යයන් විසින් භාවිත කරන ලද භාෂාත්මක හා වාග් විද්‍යාත්මක වශයෙන් සුවිශේෂී වන ඉන්දු-යුරෝපීය භාෂා පවුලේ භාෂා ඉන්දියාවේ දැකිය හැකි වීමෙන් මේ බව පැහැදිලි ය. මෙහි දී ආර්යයන් ලෙස හඳුන්වන්නේ මේ භාෂා පවුලේ භාෂා කතා කරන ජන කණ්‌ඩායමක්‌ මිස ඇතැම් විට අදහස්‌ කරන පරිදි සෙසු මානව කොටස්‌වලට වඩා සුවිශේෂී වූ ජන කණ්‌ඩායමක්‌ නො වන බව අප අමතක නො කළ යුතු ය. මේ ආර්ය සංක්‍රමණය සිදු ව ඇත්තේ හරප්පා ශිෂ්ටාචාරය බිඳ වැටීමෙන් පසුව බව පිළිගත් මතය වෙයි.

කෙසේ වෙතත් ආර්යයන් පිළිබඳ ව ඇති ඇතැම් මත සඳහා කිසිදු තාර්කික පදනමක්‌ නැති තරම් ය. නිදසුනක්‌ ලෙස වර්තමාන ඉන්දියාවේ වෙසෙන ඇතැම් පිරිස්‌ ආර්යයන් ඉන්දියාවේ ජනිත වූ බවට දරන මතය දැක්‌විය හැකි ය. එමෙන් ම හරප්පා ශිෂ්ටාචාරය ද ආර්යයන් විසින් ඇති කරන ලද්දක්‌ බවට අන්තවාදී මතයක්‌ ද ඉදිරිපත් වන ආකාරය දැකිය හැකි ය. හරප්පා ශිෂ්ටාචාරය යන නම වෙනුවට සරස්‌වතී ශිෂ්ටාචාරය යන නම යොදාගත යුතු යෑයි ද යෝජනා වී ඇත. සරස්‌වතී යනු හින්දු වේද ග්‍රන්ථවල සඳහන් වන ගංගාවකි. ප්‍රමාණවත් සාධක නැති මේ නූතන අදහස්‌ නූතන දේශපාලන මතවාද සමඟ ද බැඳී පවත්නා බවක්‌ ද පෙනෙයි.

එමෙන් ම මීට වඩා වෙනස්‌ ජන කොටස්‌වල සංක්‍රමණ පිළිබඳව ද සාධක ඉන්දියාවෙන් හමු වෙයි. නිදසුනක්‌ ලෙස ගත හොත් චීනය හා අග්නිදිග ආසියානු කලාපයේ සිට ඉන්දියාවට සිදු වූ සංක්‍රමණ පිළිබඳව ද සාධක ද ඉන්දියාවෙන් හමු වෙයි. ඒ එම කලාපයේ භාෂා පවුලට අයත් භාෂා ඉන්දියාව තුළ හමු වන නිසා ය.

ප්‍රවේණික කරුණු පිළිබඳ පර්යේෂණයක්‌


මේ කරුණු පිළිබඳ ව අවධානය යොමු කර ඇති, පසුගිය වර්ෂයේ දී නිකුත් වූ අධ්‍යයනයකින් මේ ජන සංක්‍රමණ පිළිබඳ වැදගත් කරුණු ගණනාවක්‌ අනාවරණය කර ඇත. මේ අධ්‍යයන සඳහා ප්‍රවේණික ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥයන්, ඉතිහාසඥයන්, පුරාවිද්‍යාඥයන් හා මානව විද්‍යාඥයන් වැනි බහුවිෂයික පර්යේෂකයන් 92ක පමණ පිරිසක්‌ සම්බන්ධ වී ඇත.

මේ අධ්‍යයනය සඳහා යොදාගෙන ඇත්තේ අතීතයේ විසූ මිනිසුන් 362 දෙනෙකුගේ පැරැණි ප්‍රවේණික ද්‍රව්‍ය ය. නැෙ`ගනහිර ඉරානය, ටුරාන් ලෙසින් හඳුන්වනු ලබන මධ්‍යම ආසියාවේ දකුණුදිග ප්‍රදේශය (උස්‌බෙකිස්‌තානය, ටර්ක්‌මේනිස්‌තානය හා තජිකිස්‌තානය ඇතුළත් ප්‍රදේශය), ලෝකඩ යුගයට අයත් කසකස්‌ථානය හා දකුණු ආසියාවෙහි විසූ මිනිසුන්ගේ ප්‍රවේණික ද්‍රව්‍ය මේ අධ්‍යයනය සඳහා භාවිත කර ඇත.

එක ම ප්‍රදේශයක විවිධ කාලවල දී විසූ මිනිසුන්ගේ හා විවිධ ප්‍රදේශවල එක ම කාලයක විසූ මිනිසුන්ගේ ප්‍රවේණික ද්‍රව්‍ය යොදාගනිමින් මිනිසුන් කුමන ප්‍රදේශවලින් කුමන ප්‍රදේශවලට සංක්‍රමණය වූයේ ද යන්න පිළිබඳ ව කරුණු අනාවරණය කරගැනීමට හැකි ය. පැරැණි DNA පිළිබඳ පර්යේෂණ මඟින් ලෝකය පුරා විවිධ ප්‍රදේශවල ජනතාවගේ අතීතය පිළිබඳ ව සාධක සපයා ඇත.

මේ අධ්‍යයනයේ දී යොදාගත් ප්‍රවේණික දත්ත මූලික වශයෙන් ගත් විට සංකීර්ණ චිත්‍රයක්‌ පෙන්වන්නකි. එමෙන් ම එය වර්තමාන දකුණු ආසියානුවන්ගේ පරිණාමික සම්බන්ධතා පෙන්වන්නක්‌ ලෙස සැලකිය හැකි ය.  (මූලාශ්‍රය - bioRxiv, DOI: 10.1101/292581)

ප්‍රවේණික විවිධත්වය පිළිබඳ නිගමන


මේ අනුව ඉන්දියාවට පැමිණි සංක්‍රමණික ජන ප්‍රවාහ කිහිපයක්‌ පිළිබඳ ව සාධක ලැබී ඇත. මුලින් ම අදින් වසර 65,000ක්‌ තරම් අතීතයේ දී අප්‍රිකාවෙන් පිටතට පැමිණි (Out of Africa) මානව කණ්‌ඩායම් ඉන්දියානු ප්‍රදේශ ජනාවාස කර ඇත. ඉන්දියානුවන්ගේ ප්‍රවේණික ද්‍රව්‍යවලින් 50%-65% අතර ප්‍රමාණයක්‌ ලැබෙන්නේ මේ ජන කණ්‌ඩායමෙනි. (මේ මානව සංක්‍රමණය ලෝකයේ ම මානව ව්‍යාප්තියට බලපෑ ප්‍රධාන ජන සංක්‍රමණය බව මේ වන විට ඇති සාධක අනුව පිළිගැනෙන්නකි. ඒ අතර ප්‍රවේණික සාධක මූලික වේ.)

මේ ජන කොටස්‌වලට පසුව ඉන්දියාවට පැමිණි දෙවැනි මානව සංක්‍රමණය වන්නේ වර්තමාන ඉරානයේ නිරිතදිග ප්‍රදේශයේ පිහිටා ඇති සාග්‍රෝස්‌ (Zagros) නම් ප්‍රදේශයේ සිට පැමිණි ජන කණ්‌ඩායමකි. මේ ප්‍රදේශය එළුවන් ගෘහාශ්‍රිතකරණය කිරීම පිළිබඳ ලෝකයේ පැරැණි ම සාධක සහිත ප්‍රදේශයයි. කෘෂිකර්මයේ (ඇතැම් විට එඬේරුන් ලෙස) යෙදුණු මේ පිරිස්‌ අදින් වසර 9000-5000 (පොදු වර්ෂ පූර්ව 7000-3000) අතර පමණ කාලයේ දී මෙසේ ඉන්දියාවට පැමිණ ඇත. ඉන්දියාවේ වයඹදිග ප්‍රදේශයෙන් ඉන්දියාවට පිවිසි ඔවුහු ඉන්දියාවේ ඒ වන විට විසූ ඉහත සඳහන් කළ මුල් ජන කොටස්‌ සමඟ මිශ්‍ර වී තිබෙයි. ඒ වන විටත් ඉන්දියාවේ ඇති වෙමින් තිබූ කෘෂිකර්මයේ වර්ධනය වේගවත් කිරීමට මේ කණ්‌ඩායම ද දායක වී ඇත. හරප්පා හෙවත් ඉන්දු නිම්න ශිෂ්ටාචාරය වර්ධනය වීම මේ කෘෂිකාර්මික වර්ධනයේ ප්‍රතිඵලයක්‌ ලෙස හඳුනාගත හැකි ය. එය මේ සාග්‍රෝස්‌ හා පැරැණි ඉන්දියානුවන් අතර මිශ්‍රණයක්‌ ලෙසට ඇතැම් විට සැලකෙන හරප්පා ශිෂ්ටාචාරයේ වඩාත් දියුණු අවධිය ඇති වන්නේ අදින් වර්ෂ 2600 හා 1900 අතර කාලයේ දී ය.

ඉන්පසුව ඉන්දියානු උප මහාද්වීපය වෙත සිදු වන ප්‍රධාන මානව සංක්‍රමණය වන්නේ ඉන්දු-යුරෝපීය භාෂා කතා කරන ආර්යයන් ලෙස හඳුන්වනු ලබන ජන කොටසේ පැමිණීම ය. ඔවුන් පැමිණියේ යුරේසියානු ස්‌ටෙප් බිම් හෙවත් මධ්‍යම ආසියානු ප්‍රදේශවලිනි. බොහෝ විට ඒ නූතන කසකස්‌තානය පිහිටි ප්‍රදේශයෙන් විය හැකි ය. එය සිදු ව ඇත්තේ අදින් වර්ෂ 4000 (පොදු වර්ෂ පූර්ව 2000) පමණ කාලයේ බව ද දක්‌වා ඇත. මේ පිරිස්‌ සමඟ ඉන්දියාවට ඉන්දු-යුරෝපීය භාෂා පවුලට අයත් භාෂා ද පැමිණ ඇත. ඇතැම් පර්යේෂකයන්ට අනුව ඒ අතර සංස්‌කෘත භාෂාවට මුල් වූ භාෂාවක්‌ හෝ සංස්‌කෘතවල මුල් භාෂාවක්‌ හෝ තිබීමට ඉඩ ඇත. අශ්වයන් ඇති කිරීම පිළිබඳ දැනුම මෙන් ම විවිධ සංස්‌කෘතික චාරිත්‍රාදිය ද මේ පිරිස්‌ විසින් ගෙන එනු ලබන්නට ඇතැයි අනුමාන කරනු ලැබෙයි. යුරේසියානු ස්‌ටෙප් බිම්වල විසූ එඬේරුන් දකුණු දිග ප්‍රදේශවල ව්‍යාප්ත වීම හා මේ දින වකවානු සමමිතික වෙයි. එමෙන් ම ස්‌ටෙප් බිම්වල සිටි මේ පිරිස්‌ යුරෝපයට පිවිසියේ ඊට සහස්‍රකයකට පමණ පෙර දී ය.

මේ හැරුණු විට මේ ප්‍රදේශයට තවත් ජන සංක්‍රමණ සිදු වී ඇත. නිදසුනක්‌ ලෙස ගත හොත් අග්නිදිග ආසියාවෙන් සිදු වූ ජන සංක්‍රමණ ද වැදගත් ය. එයට දායක වන්නේ චීනයේ සිට ව්‍යාප්ත වූ කෘෂිකාර්මික දිවිපෙවෙතක්‌ ගත කරන්නන් ය. ඔවුන් පළමුව අග්නිදිග ආසියාවට ද, පසුව එතැනින් ඉන්දියාවට ද පැතිර ඇත. ඔවුන් ගෙන ආ භාෂා පවුල ඔස්‌ට්‍රොආසියාතික (Austroasiatic) භාෂා පවුලට අයත් භාෂා ලෙස දැක්‌විය හැකි ය. මේ භාෂා ඉන්දියාවේ නැෙ`ගනහිර හා මධ්‍යම ප්‍රදේශවල දැකිය හැකි වේ.

විචිත්‍ර වූ සංක්‍රමණ චිත්‍රය


මේ අධ්‍යයනය තුළින් පැහැදිලි වන එක්‌ කරුණක්‌ වන්නේ අතීතයේ සිදු වූ මානව සංක්‍රමණ තරමක්‌ සංකීර්ණ ක්‍රියාවලි බවයි. මේ පර්යේෂණය මඟින් මේ වන විට ඇති ඉන්දීය ජන සංක්‍රමණ පිළිබඳ ව ඇතැම් මතවලට අභියෝගයක්‌ ඇති වන බව ඒ පිළිබඳ වාර්තා අනුව පෙනෙයි. සාධාරණ සාධක නොමැති එවැනි මත අභියෝගයකට ලක්‌ වීම නො වැළැක්‌විය හැකි දෙයකි.

කෙසේ වෙතත් මෙමඟින් පෙනී ගොස්‌ ඇති වැදගත් දෙයක්‌ වන්නේ ඉන්දියානු ප්‍රවේණික දත්තවල ඇති විවිධත්වයයි. විවිධ ජන කොටස්‌ එක්‌ වීමෙන් ඉන්දියානු ශිෂ්ටාචාරය නිර්මාණය වී ඇත. එම විවිධත්වය ඉන්දියාව තුළ අද ද දැකිය හැකි වූවකි.

Thursday, April 25, 2019

තිරසර සංවර්ධනයට තර්ජනයක්‌ විය හැකි භෝග විවිධත්වයේ අඩු වීම

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 03.04.2019, පි. 12 (Vidusara)

http://www.vidusara.com/2019/04/03/feature4.html




භෝග විවිධත්වය හෙවත් මිනිසුන් විසින් වගා කරනු ලබන ශාකවල විවිධත්වය මානව ආහාර සුරක්ෂිතතාව සඳහා ඉතා වැදගත් ය. මේ පිළිබඳ ව මෑතක දී සිදු කරන ලද අධ්‍යයනයකින් වාර්තා වී ඇත්තේ ජගත් මට්‌ටමින් ගත් විට මිනිසුන් විසින් වගා කරනු ලබන භෝග විවිධත්වයේ කිසියම් අඩු වීමක්‌ දැකිය හැකි බව හෙවත් අප විසින් වගා කරනු ලබන්නේ එක සමාන භෝග වර්ග බවත් ය. එය අනාගතයේ දී තිරසර කෘෂිකර්මයට අභියෝගයක්‌ විය හැකි බව ද එම අධ්‍යයනයෙන් පෙන්වා දී ඇත.

මේ අධ්‍යයනය සඳහා භාවිත කර ඇත්තේ එක්‌සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙන් (FAO) ලබාගත් ලෝකයේ මහා පරිමාණ ගොවිපොළවල (Industrial farms) වගා කරනු ලබන භෝග පිළිබඳ දත්ත ය. එනම් කාලය සමඟ මේ භෝග වගා වෙනස්‌ වීම පිළිබඳ දත්ත ය. අධ්‍යයන කාලය වන්නේ 1961 හා 2014 දක්‌වා වන කාලයයි. එහි දී එම සංවිධානය විසින් පිළිගනු ලැබෙන උපමහාද්වීපික කලාප (subcontinental regions) 22ක්‌ ආවරණය වී ඇති අතර, භෝග ශාක වර්ග 160කට ආසන්න ප්‍රමාණයක්‌ පිළිබඳ ව අවධානය යොමු කර ඇත. ඒ දත්ත මත පර්යේෂකයන්ගේ අවධානය යොමු වූ කරුණු අතර විවිධ කෘෂිකාර්මික කලාපවල වගා කරනු ලැබූ භෝගවල විවිධත්වයෙහි යම් වෙනසක්‌ කාලය සමඟ සිදු වී තිබේ ද යන්න වැදගත් කරුණකි. එසේ ම භෝග විවිධත්වයේ වෙනස්‌කම් හුදෙක්‌ කෘෂිකාර්මික ව්‍යාප්තියෙන් පමණක්‌ පුරෝකථනය කළ හැකි ද යන්න තවත් වැදගත් කරුණකි.

භෝග විවිධත්වයෙහි ඇති වූ වෙනස්‌කම්


ලෝක කෘෂිකාර්මික ඉතිහාසය සම්බන්ධ ව ගත් විට කෘෂිකර්මය සඳහා යොදාගන්නා භෝග වර්ගවල විශාල ව්‍යාප්තියක්‌ ඇති වූ සිදුවීමක්‌ ලෙස කොලම්බියානු හුවමාරුව (Columbian Exchange) ලෙසින් හඳුන්වනු ලබන ක්‍රියාවලිය දක්‌වනු ලැබෙයි. එය සිදු වූයේ 15 හා 16 වැනි ශතවර්ෂවල දී ය. කෙටියෙන් පවසන්නේ නම් ඒ, ඇමෙරිකානු මහාද්වීපවලට යුරෝපීයයන් පැමිණි පසු එම zනව ලෝකයZ හා zපැරැණි ලෝකයZ අතර සිදු වූ භෝග හුවමාරුවයි. නව ලෝකය හෙවත් ඇමෙරිකානු මහාද්වීපයෙහි විසූ ජනතාව විසින් වගා කරන ලද භෝග වර්ග

පැරැණි ලෝකය හෙවත් වෙනත් මහාද්වීපවලටත්, ලෝකයේ සෙසු මහාද්වීපවල වගා කරන ලද භෝග වර්ග ඇමෙරිකානු මහාද්වීපවලටත් හුවමාරු කරන ලදි. මේ සිදුවීම කෘෂිකර්ම ඉතිහාසය සම්බන්ධයෙන් වැදගත් සිදුවීමක්‌ ලෙස සැලකෙයි. අප අද දන්නා භෝග විශාල ප්‍රමාණයක්‌ එම සිදුවීමත් සමඟ ලෝකය පුරා ව්‍යාප්ත වූ භෝග වර්ග අතර වෙයි. මෙසේ භෝග වර්ග ඒවා සම්භවය වූ ප්‍රදේශවලින් පිටත ප්‍රදේශවලට මිනිසුන් විසින් ව්‍යාප්ත කරනු ලැබීම මානව යුගය (Anthropocene) අර්ථකථනය කිරීම සඳහා යොදාගන්නා එක්‌ සාධකයක්‌ ලෙස සැලකෙයි. ඒ, එම සිදුවීමෙන් සිදු වූ වෙනස ලෝකය තුළ පැහැදිලි ව හඳුනාගත හැකි වන නිසා ය.

අප මාතෘකා කරගත් අධ්‍යයනයෙන් දක්‌වා ඇති ආකාරයට අධ්‍යයන කාලයේ මුල හෙවත් 1961 සිට 1970 ගණන්වල අගභාගය දක්‌වා වූ කාලයේ ලෝකයේ භෝග විවිධත්වයේ විශාල වෙනසක්‌ සිදු වී නැති තරම් ය. එහෙත් 1980 දශකයේ මුල පටන් ගත වූ වසර දහයක පමණ කාලයේ දී ලෝකයේ භෝග විවිධත්වයෙහි විශාල ප්‍රමාණයේ ඉහළ යැමක්‌ වාර්තා වී ඇත. එයට හේතුව ලෙස මේ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ විවිධ භෝග වර්ග නව වගා බිම්වල මහා පරිමාණයෙන් වගා කරනු ලැබීම ය. එහෙත් මේ විවිධත්වය 1990 ගණන්වල මුල පටන් ස්‌ථාවර තත්ත්වයකට පත් වූ අතර, එතැන් සිට භෝග විවිධත්වයේ ඉහළ යැමක්‌ දැකිය නොහැකි ය.

ජගත් මට්‌ටමේ භෝග විවිධත්වය අඩු වීම


මේ අධ්‍යයනයෙන් අනාවරණය වී ඇති ආකාරයට ජගත් මට්‌ටමෙන් දැකිය හැකි ප්‍රවණතාව වන්නේ එක ම ආකාරයක භෝග වඩාත් විශාල පරිමාණයෙන් වගා කරනු ලබන බවයි. එයින් පෙනෙන්නේ ලෝකයේ බොහෝ ප්‍රදේශවල දැකිය හැකි මහා පරිමාණ ගොවිපොළවල වගා කරනු ලබන්නේ වාණිජමය වශයෙන් වටිනාකමක්‌ ඇති භෝග වර්ග කිහිපයක්‌ බව ය. මෙසේ වගා කරනු ලබන භෝග ඒක භෝග වගා වන අතර ඒවා ප්‍රවේණික වශයෙන් එක ම ප්‍රවේණි දර්ශයට (genotype) අයත් වෙයි.

මේ සඳහා නිදසුන් ලෙස මේ පර්යේෂකයන් විසින් දක්‌වනු ලබන භෝග අතර සෝයා බෝංචි, තිරිඟු, සහල් හා ඉරිඟු දැක්‌විය හැකි ය. මේ භෝග වර්ග හතර වගා කරනු ලබන බිම් ප්‍රමාණය ලෝකයේ මුළු වගා බිම් ප්‍රමාණයෙන් 50%ක්‌ පමණ ප්‍රමාණයක්‌ තරම් වෙයි. ලෝකය පුරා වගා කරනු ලබන සෙසු භෝග වර්ග 152ක්‌ ම වගා කරනු ලබන්නේ ඉතිරි වගාබිම් ප්‍රමාණයෙහි ය.

මෙවැනි තත්ත්වයක්‌ තුළ මේ භෝගවල ප්‍රවේණික විවිධත්වය අඩු වීම අනිවාර්යයෙන් ම අපේක්ෂා කළ යුත්තකි. නිදසුනක්‌ ලෙස ගත හොත් ඇමෙරිකාවේ වගා කරනු ලබන ඉරිඟු අතරින් 50%ක්‌ පමණ ප්‍රමාණයක්‌ සමන්විත වන්නේ ප්‍රවේණි දර්ශ හයක්‌ පමණ ප්‍රමාණයකිනි.

මේ අධ්‍යයනයෙන් හෙළි වන කරුණු අනුව කෘෂිකාර්මික ව්‍යාප්තියෙන් පමණක්‌ මේ භෝග වර්ගවල විවිධත්වයේ වෙනස්‌ වීම පැහැදිලි කළ නොහැකි බව පැහැදිලි ය. ඒ වෙනස්‌කම් සඳහා බලපා ඇති කරුණු අතර ඇතැම් භෝගවලට ලබා දී ඇති සහන, අන්තර්ජාතික වෙළෙඳපොළ, ජනගහන වර්ධනය, ඒක පුද්ගල ආහාර ඉල්ලුම වැනි කරුණු ද භෝග ව්‍යාප්තියට බලපා ඇත. අන්තර්ජාතික වෙළෙඳ ගිවිසුම්, භෝග විවිධත්වයට බලපා ඇත්තේ කෘෂිකාර්මික ව්‍යාප්තියෙන් ස්‌වාධීන ව බව ද මේ අධ්‍යයනය මඟින් පෙන්වා දී ඇති කරුණකි.

කලාපීය වෙනස්‌කම්


කෙසේ වෙතත් මේ අධ්‍යයනයෙන් හෙළි වී ඇති තවත් කරුණක්‌ වන්නේ මෙහි කලාපීය වශයෙන් වෙනස්‌කම් දැකිය හැකි බවයි. ඇතැම් කලාපවල භෝග විවිධත්වය ඉහළ ගොස්‌ ඇත. නිදසුනක්‌ ලෙස ගත හොත් උතුරු ඇමෙරිකාවේ 1960 දශකයේ දී මහා පරිමාණයෙන් වගා කරන ලද භෝග වර්ග ගණන 80ක්‌ පමණ විය. එහෙත් මේ වන විට උතුරු ඇමෙරිකාවේ භෝග විශේෂ 93ක්‌ පමණ මහා පරිමාණයෙන් වගා කරනු ලැබෙයි.

එහෙත් සෙසු බොහෝ කලාපවල මහා පරිමාණ ගොවිපොළවල දැකිය හැක්‌කේ භෝග විවිධත්වයෙහි අඩු වීමකි. එය සමස්‌තයක්‌ ලෙස ලෝකයේ භෝග විවිධත්වය අඩු වීම සඳහා බලපායි.

විවිධත්වය අඩු වීමේ බලපෑම


මීට පෙර සිදු කර ඇති ඇතැම් අධ්‍යයනවලින් පෙන්වා දී ඇති එක්‌ කරුණක්‌ වන්නේ මෑත කාලයේ දී ලෝකයේ භෝග විවිධත්වය ඉහළ ගිය බවකි. එය රේ‚ය ප්‍රවණතාවක්‌ පෙන්වන බවට ද අදහසක්‌ විය. එහෙත් මේ නව අධ්‍යයනය අනුව සිදු වී ඇති වෙනස්‌කම් වඩාත් පැහැදිලි ය. විශේෂයෙන් වැඩි භූමි ප්‍රමාණයක මහා පරිමාණයනේ වගා කරනු ලබන භෝගවල සිදු ව ඇති වෙනස්‌කම් ද මේ අනුව පැහැදිලි ය.

මේ ආකාරයෙන් භෝගවල විවිධත්වය අඩු වීම නිසා සිදු විය හැකි බලපෑම මෙහි දී සැලකිය යුතු කරුණකි. එය කලාපීය වශයෙන් ආහාර සුරක්ෂිතතාවට බලපෑමක්‌ කළ හැකි ය. කලාපීය වශයෙන් ඇති වන භෝග විවිධත්වය පිරිහීමක්‌ එම කලාපයේ වෙසෙන ජනතාවට තමන්ට සංස්‌කෘතික වශයෙන් අනන්‍ය වූ ආහාර අනුභව කිරීමට හෝ ලබාගැනීමට හෝ ඇති හැකියාව අඩු කරවයි. ඒ වෙනුවට මහා පරිමාණයෙන් වගා කරනු ලබන භෝග මත යෑපීමට සිදු වෙයි. එමෙන් ම මෙසේ එක්‌ භෝගයක්‌ හෝ ප්‍රභේදයක්‌ ලෝකයේ විශාල ප්‍රදේශයක වගා කරනු ලැබීම නිසා ඒවා පළිබෝධ හා රෝගවල තර්ජනයට වඩාත් ලක්‌ වීමට ඉඩ සැලසෙයි. මේ වන විට කෙසෙල් වගාවට බරපතළ ලෙසින් හානි කරන දිලීරයක්‌ මේ සඳහා නිදසුන ලෙස දක්‌වා ඇත. ලෝක කෘෂිකර්මය හමුවේ එවැනි අභියෝගයක්‌ දැකිය හැකි ය.

මේ ආකාරයෙන් භෝග විවිධත්වය අඩු වීම වළක්‌වාගැනීම සඳහා ලෝකයේ රටවල ආණ්‌ඩුවලට යමක්‌ කළ හැකි බව ද මේ පර්යේෂකයන්ගේ අදහසක්‌ වෙයි. විශේෂයෙන් ඒ ඒ රටවල් විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරනු ලබන්නේ එක්‌ භෝගයක්‌ හෝ සීමිත භෝග ගණනක්‌ හෝ වැඩි භෝග ගණනක්‌ වගා කිරීමට ද යන්න ඒ අනුව වැදගත් ය.

භෝගවල ප්‍රවේණික විවිධත්වය සංරéණය කිරීම තිරසර සංවර්ධන අභිමතාර්ථවල (Sustainable Development Goals) එන එක්‌ ඉලක්‌කයක්‌ වන අතර එය තහවුරු කිරීමේ දී මේ අධ්‍යයනයෙන් හෙළි වන කරුණු ගැන අවධානය යොමු කළ යුතු බවක්‌ පෙනෙයි.

මූලාශ්‍රය :- PLOS ONE, DOI: 10.1371/journal.pone.0209788

Sunday, March 31, 2019

ඒජන්ට්‌ ඔරේන්ජ්වල දිගුකාලීන බලපෑම

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 13.03.2019, පි. 13 (Vidusara)

http://www.vidusara.com/2019/03/13/feature4.html



ඒජන්ට්‌ ඔරේන්ජ් (Agent Orange) යනු වියට්‌නාම් යුද්ධය නිසා වඩාත් ප්‍රකට වූ රසායනික සංයෝගයකි. 1965 සිට 1972 දක්‌වා වූ කාලයේ දී පැවැති දෙවැනි ඉන්දු-චීන යුද්ධය හෙවත් වියට්‌නාම් යුද්ධයේ දී මේ රසායන ද්‍රව්‍යයෙන් ලීටර් මිලියන අසූවක්‌ පමණ දකුණු වියට්‌නාමයේ දී භාවිත කර ඇත. එම ප්‍රදේශයේ මීකොං ගංගාවේ ඩෙල්ටාව ආශ්‍රිත ව පිහිටා තිබූ වර්ෂා වනාන්තර, තෙත්බිම් හා වගා බිම්වලට මේ රසායන ද්‍රව්‍යය ඉසීමට ඇමෙරිකානු හමුදාව පියවර ගත්තේ එහි පිහිටා තිබූ වනවැස්‌ම විනාශ කිරීම සඳහා ය. එහි අරමුණ වූයේ එම වනාන්තරවල සතුරන් සැඟවී සිටි ස්‌ථාන හෙළි කරගැනීම, හමුදා කඳවුරු ආශ්‍රිත වනාන්තර හෙළිපෙහෙළි කර තබාගැනීම හා එසේ ම සතුරාගේ ආහාර සැපයුම අඩාළ කිරීම වැනි කරුණු ය.

එහෙත් ඩයොක්‌සින කාණ්‌ඩයේ නම් රසායන ද්‍රව්‍යයක්‌ මඟින් දූෂිත වූ ඒජන්ට්‌ ඔරේන්ජ් රසායන ද්‍රව්‍යය නිසා වියට්‌නාම ජාතිකයන්ට මෙන් ම ඇමෙරිකානු ජාතිකයන්ට ද හානි පැමිණි බව මේ වන විට ප්‍රකට කරුණකි. එය ලෝකයේ බරපතළ රසායනික විපතක්‌ ලෙස ද සැලකිය හැකි ය.

ඒජන්ට්‌ ඔරේන්ජ්වල බලපෑම පිළිබඳ ව පසුගිය කාලයේ දී විවිධ අධ්‍යයන සිදු කර තිබෙයි. එවැනි අධ්‍යයන අතරින් වැඩි ප්‍රමාණයක්‌ ඒවායේ සෞඛ්‍යමය බලපෑම් පිළිබඳ ව සිදු කරන ලද ඒවා ය. විශේෂයෙන් සම හරහා ඒජන්ට්‌ ඔරේන්ඡ් ශරීරගත වීම තුළ ඇති වන දිගුකාලීන බලපෑම් පිළිබඳ ව ඇමෙරිකානු සොල්දාදුවන් සම්බන්ධ ව මූලික වශයෙන් ඇමෙරිකානු සොල්දාදුවන් සම්බන්ධයෙන් සිදු කරන ලද අධ්‍යයන විශාල ප්‍රමාණයක්‌ දැකිය හැකි ය. එමඟින් හෙළි වන කරුණු අනුව ඒජන්ට්‌ ඔරේන්ජ් යනු බරපතළ බලපෑමක්‌ සිදු කළ හැකි රසායන ද්‍රව්‍යයක්‌ බව මේ අනුව පැහැදිලි ය.

මේ අතර ඒජන්ට්‌ ඔරේන්ජ් නිසා ඇති වන පාරිසරික බලපෑම් සම්බන්ධ ව කලක්‌ තිස්‌සේ යම් යම් අධ්‍යයන සිදු කරන ලදි. එරට තුළ වර්ග කිලෝ මීටර 31,000ක පමණ වනාන්තර ප්‍රමාණයක්‌ මේ රසායන ද්‍රව්‍යය නිසා කොළ හැළී බෙහෙවින් හායනයට ලක්‌ ව ඇත. ඒවා නැවත වන වගා කිරීම ද ගැටලුසහගත වී තිබෙයි.

පාරිසරික බලපෑම් ගැන අධ්‍යයනයක්‌


ඒජන්ට්‌ ඔරේන්ජ් රසායන ද්‍රව්‍යයේ දිගුකාලීන බලපෑම් පිළිබඳ ව සිදු කරන ලද අධ්‍යයනයක්‌ පසුගිය දා ප්‍රකාශයට පත් ව ඇත. එහි දී වියට්‌නාමයේ ආහාර සැපයීමට අද දක්‌වා ම ඩයොක්‌සින ඇතුළු වන ස්‌ථාන හෙවත් උණුසුම් ස්‌ථාන පිළිබඳ ව අවධානයක්‌ යොමු කර ඇත.

ඒ අනුව අවධානය යොමු කර ඇත්තේ ඒජන්ට්‌ ඔරේන්ජ් ඇතුළත් රසායනික සංයෝගවල කෙටිකාලීන හා දිගුකාලීන බලපෑම් වියට්‌නාමයේ ස්‌වාභාවික සම්පත් සඳහා බලපාන අන්දමයි. එහි දී පස, ජලය, අවසාදිත තැන්පතු, මසුන්, ජලජ ජීවීන් ආහාර සැපයුම හා වියට්‌නාම් ජාතිකයන්ගේ සෞඛ්‍යය වැනි කරුණු පිළිබඳ ව අවධානය යොමු කර තිබේ.

ඒජන්ට්‌ ඔරේන්ජ් යනු මූලික වශයෙන් වල්පැළෑටිනාශක දෙකක සංයුක්‌තයකි. ඒ 2, 4, D හා 2, 4, 5, ඔ යනුවෙන් හඳුන්වන ඒවා ය. මේ රසායනික සංයෝග සූර්යාලෝකයට නිරාවරණය වූ විට දින කිහිපයක්‌ හෝ සති කිහිපයක්‌ පමණ කාලයකින් විනාශ වී යන ඒවා ය. එහෙත් ඒජන්ට්‌ ඔරේන්ඡ් නිසා ඇති වන පාරිසරික ගැටලුව ඇති වන්නේ මේවා නිසා නො වේ. එම බලපෑම ඇති වන්නේ ඒජන්ට්‌ ඔරේන්ඡ් නිෂ්පාදනයේ දී ඇති වන අතුරුඵලයක්‌ නිසා ය. ඒ ඩයොක්‌සින TCDD යනුවෙන් හඳුන්වනු ලබන රසායනික සංයෝගයයි. මෙය ඩයොක්‌සින රසායනික සංයෝග පවුලේ වඩාත් ම විෂ සහිත රසායනික සංයෝගය ලෙස හැඳින්වෙයි. මේ රසායන ද්‍රව්‍යය පරිසරයට එක්‌ වූ විට ඒවා දශක ගණනක්‌ හෝ ශතවර්ෂ ගණනාවක්‌ හෝ පරිසරයේ පැවතීමට හැකියාව ඇත. මේ වියට්‌නාමයේ සිදු ව ඇති දෙයයි. මේ රසායන ද්‍රව්‍යයේ දිගුකාලීන පැවැත්ම පිළිබඳ ව පැහැදිලි කිරීම සඳහා විවිධ වාර්තා උපයෝගී කරගෙන ඇත (මේ රසායන ද්‍රව්‍ය පිළිබඳ විස්‌තරයක්‌ සටහන යටතේ එයි).

ඩයොක්‌සින සාන්ද්‍රණය වන ආකාරය


වියට්‌නාමයේ ඒජන්ට්‌ ඔරේන්ජ් පිළිබඳ කතාව ආරම්භ වන්නේ 1960 දශකයේ දී මුලින් ම ඉසීම ආරම්භ වීමෙන් පසු ව ය. එම රසායනිකය ශාකවලට හා පත්‍රවලට පතිත වී ඒවා පසට එකතු වෙයි. එමෙන් ම එම රසායන ද්‍රව්‍ය කෙළිsන් ම පසට එකතු වීම ද සිදු වෙයි. ඩයොක්‌සින TCDD ඉන් පසු ව පසේ කාබනික ද්‍රව්‍ය හා එකතු වීම හා පසේ ඇති මැටි අංශු හා බැඳීම ද සිදු විය හැකි ය. එතැන් සිට මේ රසායනික සංයෝගය තැනින් තැනට ගමන් කළ හැකි ය. ජලයේ අපද්‍රව්‍ය සමඟ තෙත්බිම්, වගුරු බිම්, ගංගා, විල් හා පොකුණු ආදියේ මේ රසායනික ද්‍රව්‍ය තැන්පත් වෙයි. ඩයොක්‌සින TCDD මඟින් දූෂිත වී ඇති අවසාදිත තැන්පතු පත්ලේ බුදින්නන් වන මසුන් හා ඉස්‌සන් වැනි ජීවීන් විසින් ආහාරයට ගනු ලැබෙයි. එම රසායනික ද්‍රව්‍ය එමඟින් ආහාර දාමය ඔස්‌සේ ජෛව සාන්ද්‍රණය වෙමින් වියට්‌නාම ජාතිකයන්ගේ ආහාර දාමයට ද එක්‌ වෙයි. මේ ආකාරයෙන් දූෂිත බවට ලක්‌ ව ඇති ජලාශවල මසුන් ඇල්ලීම තහනම් කර ඇති නමුත්, එවැනි තහනම් නීති ක්‍රියාත්මක කිරීම එරට තුළ අකුරට ම සිදු වන්නක්‌ නො වෙයි. එහි ප්‍රතිඵලය වන්නේ වසර 50කට පමණ පසුව පවා ඩයොක්‌සින මිනිසුන්ගේ ආහාර සැපයුමට එකතුවීම ය.

මේ අධ්‍යයනයේ දී ඉහළ ඩයොක්‌සින TCDD මට්‌ටමක්‌ ඇති පැරැණි ඇමෙරිකානු ගුවන් කඳවුරු බිම් දහයක්‌ පමණ හඳුනාගැනීමට ද හැකියාව ලැබී ඇත. ඒවා පිහිටා ඇත්තේ අද වන විට මිලියන ගණනාවක්‌ වියට්‌නාම ජාතිකයන් පිරිසක්‌ වාසය කරන නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවලට ආසන්න ව ය. මේ නිසා ඇති විය හැකි අවදානම ගැන ද යම් අදහසක්‌ ලබාගත හැකි ය. මේ අතරින් වඩාත් අනතුරුදායක ස්‌ථානය ලෙස හඳුනාගෙන ඇත්තේ බියෙන් හොආ (Bien Hoa) නම් ගුවන් කඳවුර ය. එම කඳවුර වනාහි 1970 වර්ෂයේ දී ඒජන්ට්‌ ඔරේන්ජ් ඉසීම නවත්වා දැමීමට ඇමෙරිකාව තීරණය කළ පසු වියට්‌නාමයේ ඒ වන විට ඉතිරි ව තිබූ ඒජන්ට්‌ ඔරේන්ජ් බැරල් එකතු කර රඳවාගැනීමට පියවර ගත් ස්‌ථානයයි. ඒවා පෙර සැකසුමකින් පසුව පැසිෆික්‌ සාගරයේ පිහිටා තිබූ ජොන්ස්‌ටන් දූපතට ප්‍රවාහනය කරන ලද අතර, ඒවා 1977 දී මුහුදේ දී පුළුස්‌සා විනාශ කරන ලදි.

මේ පර්යේෂකයන් ස්‌වකීය අධ්‍යයනය මත පදනම් ව පෙන්වා දෙන පරිදි මේ ඩයොක්‌සින මඟින් දූෂිත වී ඇති පස්‌ සහ අවසාදිත තැන්පතු විනාශ කිරීම සඳහා සුදුසු ම ක්‍රියාමාර්ගය වන්නේ ඒවා පුළුස්‌සා දැමීම ය. ඒ වියට්‌නාමයේ දූෂිත වී ඇති ගුවන් තොටුපොළ කඳවුරු ආශ්‍රිත ප්‍රදේශවල ය. එය මේ සඳහා ගත හැකි වඩාත් වියදම් අධික ම පියවර විය හැකි වුවත්, එය බිම් පිරවුමක හෝ තාවකාලික තැන්පත් කිරීමට වඩා ස්‌ථිර විසඳුමක්‌ වෙයි.


ඒජන්ට්‌ ඔරේන්ජ්


මේ රසායනික ද්‍රව්‍යය සමන්විත වන්නේ මූලික වශයෙන් වල්පැළෑටිනාශක දෙකකිනි. ඒ 2, 4 -D ලෙස ප්‍රකට 2, 4 - ඩය්ක්‌ලෝරො පීනොක්‌සිඇසිටික්‌ අම්ලය (2, 4 - dichloro phenoxyacetic acid) 2, 4, 5 -T ලෙසින් දන්නා 2, 4, 5 - ට්‍රයික්‌ලෝරො පීනොක්‌සිඇසිටික්‌ අම්ලය (2, 4, 5 - trichloro phenoxyacetic acid) යන වල්පැළෑටිනාශක දෙකයි. මේ රසායනික දියුණු කරන ලද්දේ 1940 දශකයේ මැද භාගයේ දී පමණ ය.

එසේ ම 2, 4, 5 -T නිෂ්පාදන ක්‍රියාවලියේ දී යොදාගන්නා අධිවේගී දහන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක්‌ ලෙස ජනනය වන අතුරුඵලයක්‌ වන්නේ 2, 3, 7, 8 -ටෙට්‍රාක්‌ලෝරොඩයිබෙන්සොඩයොක්‌සින් (2, 3, 7, 8 - tetrachlorodibenzodioxin) හෙවත් TCDD ලෙස හඳුන්වනු ලබන අතිශය විෂ සහිත ද්‍රව්‍යයයි. මෙය මේදයෙහි දිය වන බැවින් ශරීරගත වූ පසුව ආහාර දාමය ඔස්‌සේ සාන්ද්‍රණය වීම සිදු වෙයි.

මේ තත්ත්වය නිසා 2, 4, 5 -T නිෂ්පාදනය කිරීම 1980 දශකයේ පටන් ලෝකයේ බොහෝ රටවල නවතා දමා ඇත. එහෙත් 2, 4 -D නිෂ්පාදනය හා භාවිතය තවමත් සිදු කරනු ලැබෙයි.

මූලාශ්‍රය ( Open Journal of Soil Science, DOI: 10.4236/ojss.2019.91001)

Thursday, March 14, 2019

විෂය බාහිර ක්‍රියාකාරකම්!!! (​බස් කතා 10)


සති කිහිපයකට පෙර දිනයක මෙම සිදුවීම වූයේ නුගේගොඩින් ගමන් ඇරඹුණු බසයකය. මට පසුපස අසුනේ තරුණයන් දෙදෙනකුගේ කතාව මට ඇසුණි.

ඔවුන්ගේ මාතෘකාව උසස්පෙළ විභාගය බව පැහැදිලි වූයේ "තියරි ක්ලාස්" හා "රිවිෂන් ක්ලාස්" ගැන කතා කළ නිසාය. බයෝ විෂයධාරාව නොවන බව වැටහුනේ "බයෝ අයට පාඩම් කරන්න" ඇති බව එකෙක් කී නිසාය. ධාරා විද්‍යුතය ගැන කී බැවින් ඔවුන් ගණිත අංශයෙන් උසස් පෙළ හදාරන බව සිතාගත හැකිය.

මෙසේ කතාව ඇදී යන විට ඔවුන් පාඩම් කරන හැටි ගැන කතාව යොමුවිය. එක් අයෙක් කීවේ ජනවාරි මාසෙ එයා සෑහෙන වැඩ කළ බවයි. සියයට 20 පමණ පාඩම් කර අවසන් කළ බවයි.

අනෙකා කීවේ ජනවාරි මාසෙ එයාට එතරම් වැඩක් කරගන්නට නොහැකි වූ බවයි. ඔහු ඊට කී හේතුව මට එක්වරම විශ්වාස කළ නොහැකි විය.

"ජනවාරි මාසෙ සෙට් උනා වැඩි උනා. ගැහුවත් වැඩියි. වැඩක් කෙරුනෙම නෑ"

මේ අද දවසේ පාසල්වල තත්ත්වයද? තවමත් යන්තම් අවුරුදු 18 පැන්න අයගේ ජීවිතද...?

අපේ කාලෙත් පිරිමි පාසල් ළමුන් සෙට් උනා. මත්පැනින් සප්පායම් වුනා. එහෙත් බිග්මැච් සමයෙ වගෙ කලාතුරකින් දවසක විතරයි. සිගරැට් බීපු අය හිටියත් එයත් දිනපතා කළ අය නැති තරම්. කළෙත් හොරෙන්. මේ කියනව වගෙ මාසෙට දවස් ගණනක් සෙට් වූ අය එකල හිටියෙ නැති තරම්. 

මේ අද යුගයේ විෂය බාහිර ක්‍රියාකාරකම්ද?

Thursday, February 28, 2019

කාබනික ආහාර ගැනීම මුත්‍රවල පළිබෝධනාශක මට්‌ටම අඩු කරයි

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 27.02.2019, පි. 5 (Vidusara)






කාබනික කෘෂිකර්මය හා කාබනික ආහාර නිෂ්පාදන නිසා ඇති විය හැකි සෞඛ්‍යමය බලපෑම පිළිබඳ කිසියම් ආකාරයක සාකච්ඡාවක්‌ කලක සිට ලෝකයේ දැකිය හැකි ය. කාබනික ආහාර නිසා ඇති විය හැකි ධනාත්මක සෞඛ්‍යමය බලපෑම් පිළිබඳව කලක සිට ම අවධානයට ලක්‌ වී ඇත. විද්‍යාඥයන් විසින් වරින් වර සිදු කරනු ලබන අධ්‍යයනවලින් හෙළි වන කරුණු අනුව කාබනික කෘෂිකර්මයේ වැදගත්කම තහවුරු වෙමින් ඇති බව සැලකිය හැකි ය. පසුගිය දා ප්‍රකාශයට පත් ව ඇති එක්‌ අධ්‍යයනයකින් පෙන්වා දී ඇත්තේ සාමාන්‍ය ආහාර වේලක සිට කාබනික ආහාර වේලකට මාරු වී දින කිහිපයක්‌ ඇතුළත මුත්‍රවල පළිබෝධනාශක මට්‌ටම අඩු වන බවයි.

පළිබෝධනාශකවලට නිරාවරණය වීම නිසා ඇති විය හැකි සෞඛ්‍ය බලපෑම් පිළිබඳ ව මෑත කාලයේ දී සිදු කළ අධ්‍යයන විශාල ප්‍රමාණයකින් කරුණු අනාවරණය වී ඇත. මේ පිළිබඳ ව ඇති දත්ත අනුව ප්‍රජානන හැකියාවේ අඩු වීම, ළමයින්ගේ හැසිරීම හා අවධානය පිළිබඳ ගැටලු, ඇදුම රෝගය, පිළිකා ඇති වීම, ප්‍රජනන සෞඛ්‍යය ආශ්‍රිත ගැටලු, අන්තරාසර්ග පද්ධතිය සම්බන්ධ ගැටලු වැනි කරුණු පිළිබඳ ව පැහැදිලි සාධක මේ වන විට අනාවරණය වී තිබෙයි. කෙසේ වෙතත් පොදු වශයෙන් ගත් විට ආහාර ආශ්‍රිත ව ඇති වන පළිබෝධනාශකවලට නිරාවරණය වීම නිසා ඇති වන නිශ්චිත සෞඛ්‍ය බලපෑම් ගැන සිදු කර ඇති අධ්‍යයන ගණන අඩු ය. නිදසුනක්‌ ලෙස පසුගිය වසරේ සිදු කර ඇති එක්‌ අධ්‍යයනයකින් පෙන්වා දී තිබුණේ කාබනික ආහාර වැඩි වශයෙන් පරිභෝජනය කිරීම නිසා හෙවත් පළිබෝධනාශකවලට අඩු වශයෙන් නිරාවරණය වීම නිසා, පිළිකා වර්ග ගණනාවකින් ආරක්‌ෂා වීමට හැකි බවයි.

පසුගිය කාලය තුළ දී විවිධ ආහාරවල හමු වන පළිබෝධනාශක ශේෂ ප්‍රමාණය පිළිබඳ ව ඇමෙරිකාවේ සිදු කර ඇති අධ්‍යයනවලින් කාබනික ආහාරවල දැකිය හැකි පළිබෝධනාශක ශේෂ ප්‍රමාණය අඩු බව හෙළි වී ඇත. ඒ එසේ නො වන සාමාන්‍ය ආහාරවලට සාපේක්‌ෂ ව ය. එසේ ම ඇමෙරිකාවේ සිදු කරන ලද අධ්‍යයනවලින් මින් පෙර අනාවරණය වී ඇත්තේ සාමාන්‍ය ආහාර පරිභෝජනය කරන්නවුන්ට වඩා කාබනික ආහාර පරිභෝජනය කරන්නවුන්ගේ මුත්‍රවල දැකිය හැකි පළිබෝධනාශක ප්‍රමාණය ද අඩු වන බවයි. කෙසේ වෙතත් එම අධ්‍යයන මූලික වශයෙන් අවධානය යොමු කර ඇත්තේ ඕගනෝපොස්‌පේට කාණ්‌ඩයේ පළිබෝධනාශකවලට නිරාවරණය වීම සම්බන්ධ ව ය. එසේ ම පයිරත්‍රොයිඩවලට නිරාවරණය වීම සම්බන්ධව ද අඩුවෙන් වුව ද අධ්‍යයන සිදු කර ඇත.

අලුත් අධ්‍යයනයේ පසුබිම


උක්‌ත තත්ත්වය සැලකිල්ලට ගෙන සිදු කර ඇති අප මාතෘකා කරගන්නා පර්යේෂණයේ දී සිදු කර ඇත්තේ තෝරාගත් පවුල් හතරක සාමාජිකයන් ලබාගන්නා ආහාරය අනුව ඔවුන්ගේ මුත්‍රවල පළිබෝධනාශක ශේෂ හමු වන ප්‍රමාණය පිළිබඳ ව විමසා බැලීමයි. ඒ සඳහා යොදාගත් පවුල් 4 ජනවාර්ගික වශයෙන් පමණක්‌ නො ව භූගෝල විද්‍යාත්මක වශයෙන් එකිනෙකට වෙනස්‌ වූ ප්‍රදේශවල ජීවත් වන පවුල් විය. එක්‌ පවුලක සාමාජික සංඛ්‍යාව 3 - 5 අතර ප්‍රමාණයක්‌ විය. ඔවුන් තෝරාගැනීමේ දී සලකා බලා ඇති කරුණු අතර ඔවුන් සාමාන්‍යයෙන් කාබනික ආහාර පරිභෝජනය නො කරන්නවුන් වීම හා ඔවුන්ගේ ආහාරය දින හයක කාලයක්‌ සඳහා වෙනස්‌ කිරීමට ඇති කැමැත්ත ද වෙයි. ඒ අනුව වයස අවුරුදු 36 - 52 අතර වැඩිහිටියන් හත් දෙනකු හා වයස අවුරුදු 4 - 15 අතර ළමයින් නව දෙනකු මේ අධ්‍යයනයට සම්බන්ධ වී ඇත.

අධ්‍යයන දත්ත ලබාගැනීම දින 12ක කාලයක්‌ තිස්‌සේ සිදු කර ඇත. එම පළමු දින පහක කාලයේ එම පවුල්වල සාමාජිකයන් ආහාරයට ගත්තේ ඔවුන් සාමාන්‍යයෙන් එදිනෙදා ආහාරයට ගන්නා කාබනික නො වන නිෂ්පාදන ඇතුළත් ආහාර ය. ඊළඟ දින හයක කාලයේ දී ඔවුන් ආහාරයට ගත්තේ කාබනික ආහාර පමණකි. නිවස, සේවා ස්‌ථානය, පාසල ආදි සියලු ස්‌ථානවල දී ඔවුන්ට සහතික කළ කාබනික ආහාර ලබා දෙන ලදි. එයට සියලු ම වර්ගවල ආහාර ඇතුළත් විය. එය ලබා දෙන ලද්දේ ඔවුන්ට අවශ්‍ය ආහාර පාන පිළිබඳ ලේඛනයක්‌ ලබාගෙන එම ආහාර ද්‍රව්‍ය Rජු ව ම අදාළ පවුල්වලට ලබා දීමෙන් හා කාබනික ආහාරවලින් සමන්විත රාත්‍රී ආහාර වේලක්‌ එවැනි ආහාර සකසන ස්‌ථානවලින් නිවාසවලට සැපයීමෙනි. කාබනික ආහාර වර්ග සපයන ලද දින හයක කාලයේ දී ඒවා අදාළ පවුල්වලට ලබා දී ඇත්තේ නොමිලේ ය.

අධ්‍යයනය පුරා ම දිනපතා ඔවුන්ගේ මුත්‍ර සාම්පල ලබාගන්නා ලද අතර එසේ ලබාගත් සාම්පල 158ක්‌ පර්යේෂණාගාරවලට ගෙනැවිත් පළිබෝධනාශකවලට සහ පළිබෝධනාශක ශරීරයේ දී බිඳ වැටීමේ දී ඇති වන පරිවෘත්තිජ (metabolite) රසායන ද්‍රව්‍ය සඳහා පරීක්‌ෂා කරන ලදි.

පළිබෝධනාශක සඳහා පරීක්‌ෂාව


ඒ අදාළ පළිබෝධනාශක හෝ ඒවා ශරීරගත වීමෙන් පසු නිපදවෙන පරිවෘත්තිජ රසායනික ද්‍රව්‍ය දහ සයක්‌ පරීක්‌ෂා කිරීමෙනි. එහි දී අවධානයට ලක්‌ කර ඇති පළිබෝධනාශක අතර ඕගනෝපොස්‌පේට (ක්‌ලෝර්පයිරිපොස්‌, මැලතියන් හා වෙනත් පළිබෝධනාශක ගණනාවකි) අදාළ ව රසායනික ද්‍රව්‍ය කාණ්‌ඩ පහක්‌ සඳහා පරීක්‌ෂා කර ඇත), පයිරත්‍රොයිඩ (රසායන ද්‍රව්‍ය හතරක්‌ පරීක්‌ෂා කර ඇත), නියෝනිකොටිනොයිඩ (පළිබෝධනාශක දෙකක්‌ සඳහා පරීක්‌ෂා කර ඇත), දිලීරනාශක (තුනක්‌ සඳහා පරීක්‌ෂා කර ඇත) හා එක්‌ වල් පැළෑටිනාශකයක්‌ පිළිබඳ ව අවධානය යොමු කර ඇත. එමඟින් විවිධ රසායන ද්‍රව්‍ය 40කට නිරාවරණය වීම නිරූපණය කරයි. එසේ පරීක්‌ෂා කළ යුතු පළිබෝධනාශක රසායනික ද්‍රව්‍ය මොනවා ද යන්න තීරණය කර ඇත්තේ ඒවා ඇමෙරිකාවේ භාවිත කරන ප්‍රමාණය හා ආහාරවලින් ඒවා හමු ව ඇති සුලබතාව අනුව ය. ඒවා හඳුනාගැනීම සඳහා නවීන තාක්‌ෂණික ක්‍රම යොදාගෙන තිබෙයි. මෙතෙක්‌ වැඩි අධ්‍යයන ගණනක්‌ සිදු ව ඇති ඕගනෝපොස්‌පේටවලට අමතර ව ඉහත සඳහන් සෙසු රසායනික පළිබෝධනාශක ඇමෙරිකාවේ ද වෙනත් රටවල ද භාවිතය ඉහළ යමින් පවතී.

එහි දී ලැබුණු ප්‍රතිඵලය සුවිශේෂී වූවකි. අධ්‍යයනයට සම්බන්ධ වූ පවුල්වල සියලු ම සාමාජිකයන් ඔවුන්ට හුරුපුරුදු සාමාන්‍ය ආහාර ගත් කාලයේ දී ඔවුන්ගේ මුත්‍රවල මේ රසායන ද්‍රව්‍ය මැනිය හැකි ප්‍රමාණවලින් හමු විය. කාබනික ආහාර වේලකට ඔවුන් පිවිසි පසුව ඔවුන්ගේ මුත්‍රවල හමු වන එම රසායන ද්‍රව්‍ය ප්‍රමාණයේ කැපී පෙනෙන අඩු වීමක්‌ දැකිය හැකි විය. පරීක්‌ෂා කළ එක්‌ රසායන ද්‍රව්‍යයක්‌ හැර අනෙක්‌ සියලු රසායන ද්‍රව්‍යවල කැපී පෙනෙන අඩු වීමක්‌ කාබනික ආහාරවලට මාරු වීමෙන් පසුව ඇති වී තිබෙයි.

ඇතැම් රසායන ද්‍රව්‍ය හමු වූ ප්‍රමාණය ඉතා ම කැපී පෙනෙන ආකාරයකින් අඩු වී තිබීම ද මෙහි ඇති විශේෂ සිදුවීමකි. නිදසුනක්‌ ලෙස ගත හොත් එම පුද්ගලයන්ගේ මුත්‍රාවල ඕගනෝපොස්‌පේටයක්‌ වන මැලතියන් මඟින් ඇති වන මැලතියන් ඩයිකාබොක්‌සිලික්‌ අම්ලය හමු වන ප්‍රමාණය කාබනික ආහාර ගන්නා විට 95%කින් පමණ අඩු විය. මෑතක සිට ජනප්‍රිය වී ඇති නියෝනිකොටිනොයිඩ කාණ්‌ඩයට අයත් ක්‌ලොතිඇනිඩින් ප්‍රමාණය 82%ක්‌ තරම් ප්‍රමාණයකින් අඩු වී ඇත. තවත් ඕගනෝපොස්‌පේටයක්‌ වන ක්‌ලෝර්පයිරිපොස්‌වලින් ජනනය වන රසායන ද්‍රව්‍යයක්‌ වන 3, 5, 6 - ට්‍රයික්‌ලෝරො - 2 -පිරිඩිනොල් හමු වීම ද කාබනික ආහාරවලට මාරු වීමෙන් පසුව 60%කින් පමණ අඩු වී ඇත.


වෙනත් කරුණු


මේ අධ්‍යයනයේ දී යොදාගත් නියෑදිය කුඩා වීම ඇතැම් විට විවේචනයට ලක්‌ විය හැකි කරුණකි. එහෙත් එහි දී මුත්‍ර නියෑදි සැලකිය යුතු ප්‍රමාණයක්‌ පරීක්‌ෂා කර ඇත. එසේ ම අන්තර්ජාතික වශයෙන් පිළිගැනෙන සමාලෝචනයකට ලක්‌ කළ පර්යේෂණ පත්‍රිකාවක්‌ බැවින් එහි විද්‍යාත්මක බව පිළිබඳ ගැටලුවක්‌ ඇතිs බවක්‌ නො පෙනේ. අනෙක්‌ අතට එම අධ්‍යයනයට ලක්‌ කළ පිරිස නිවසින් පිටත දී පළිබෝධනාශකවලට නිරාවරණය වන්නේ ද යන්න ගැන ලැබුණු තොරතුරු ප්‍රමාණවත් නො වන බව පර්යේෂකයන්ගේ අදහස වෙයි.

මේ සියලු කරුණු ගැන අවධානය යොමු කරන පර්යේෂකයන් පවසන්නේ කාබනික ආහාර ගැනීමට යොමු වීමෙන් මිනිසුන්ගේ මුත්‍රවල හමු වන පළිබෝධනාශක ප්‍රමාණය කැපී පෙනෙන අයුරින් අඩු වන බවයි. එනම්, කාබනික ආහාර හඳුන්වා දීමෙන් පසු ආහාර මඟින් පළිබෝධනාශකවලට නිරාවරණය වීම අඩු වූ බවයි. කෙසේ වෙතත්, අද වන විට ලෝකයේ ඉතා පුළුල් ලෙස භාවිත වන විනාශකාරී කාණ්‌ඩයක්‌ වන නියෝනිකොටිනොයිඩ කාණ්‌ඩයේ රසායන ද්‍රව්‍යවලට ආහාර හරහා නිරාවරණය වීම පිළිබඳ ව තක්‌සේරු කිරීමට තවදුරටත් අධ්‍යයන අවශ්‍ය වන බව ද මෙහි දී පර්යේෂකයෝ පෙන්වා දෙති.

මූලාශ්‍රය : Environmental Research, DOI: 10.1016/j.envres.2019.01.024

ඇමරිකාවේ ස්වදේශික ජනතාව මියයෑම කුඩා අයිස් යුගයට හේතු වූ හැටි

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 06.02.2019, පි. 13 (Vidusara)

Not available on Online version



මිනිසුන්ගේ කටයුතුවල බලපෑමෙන් ලෝක දේශගුණයේ වෙනස් වීම ආරම්භ වන්නේ කාර්මික විප්ලවයෙන් පසුව බව සාමාන්‍ය පිළිගැනීමයි. අද අප දකින දේශගුණ වෙනස් වීම කාර්මික විප්ලවයෙන් පසුව ඉහළ ගිය හරිතාගාර වායු විමෝචන නිසා ඇති වීම මෙයට හේතුවයි. එහෙත් පසුගියදා ප‍්‍රකාශයට පත් අධ්‍යයනයකට අනුව, මිනිසුන්ගේ කටයුතු නිසා දේශගුණයේ වෙනස් වීම් සිදුකිරීම ආරම්භ වී ඇත්තේ යුරෝපීයයන් විසින් ඇමරිකානු මහාද්වීප යටත් කරගනිමින් ජනපදකරණය සිදුකිරීමත් සම`ගය.

එයින් අනාවරණය වන පරිදි යුරෝපීයයන්ගේ පැමිණි පසුව උතුරු හා දකුණු ඇමරිකා මහාද්වීපවල වාසය කළ ස්වදේශික ජනගහනය විශාල ලෙස අඩු වී ඇත. එහි ප‍්‍රතිඵලයක් ලෙස එම මහාද්වීපවල අත්හැර දමන ලද ගොවිබිම් වනගත විය. එම වනාන්තර වර්ධනය සඳහා වායුගෝලයේ තිබූ කාබන් ඩයොක්සයිඞ් වායුව අවශෝෂණය කරගන්නා ලදි. ඒ තත්ත්වය 16 වන සියවස අවසානයේ හා 17වන සියවස මුලදී ලෝකයේ උෂ්ණත්වයේ වාර්තා වී ඇති අඩුවීමට බලපෑ එක් හේතුවක් බව මෙම පර්යේෂණයෙන් යෝජනා කර තිබෙයි.


කුඩා අයිස් යුගය


‘කුඩා අයිස් යුගය’ (Little Ice Age) ලෙස හඳුන්වන්නේ 1500 ගණන්වල අග හා 1600 ගණන්වල මුලදී ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය මදක් අඩු වීම නිසා ඇති වූ ශීත දේශගුණික ස්වභාවයයි. ඓතිහාසික වාර්තා අනුව එය යුරෝපයේ ප‍්‍රදේශ ගණනාවකින් වාර්තා වෙයි. ලන්ඩනයේ තේම්ස් නදියේ අයිස් මිදීම සෑම වර්ෂයකදීම පාහේ සිදුවීම එක් කැපීපෙනෙන සිදුවීමකි. එසේම පෘතුගාලයේ හිම කුණාටු වඩාත්ම සුලභ වූයේද එකලය. කෘෂිකර්මයට බාධා ඇතිවීම නිසා ඇතිවූ සාගත තත්ත්ව බොහෝ යුරෝපීය රටවල දැකිය හැකි විය.

එකල වායුගෝලයේ කාබන් ඩයොක්සයිඞ් සාන්ද‍්‍රණය මිලියනයකට කොටස් 7-10 අතර ප‍්‍රමාණයකින් අඩු වූ බව විද්‍යාත්මක දත්ත අනුව පෙනෙයි. ඇන්ටාක්ටිකා මහාද්වීපයෙන් ලබාගන්නා ලද අයිස් මදවලින් මේ සඳහා සාධක ලැබෙයි. එම අයිස් මදවල සිරවී ඇති වායු බුබුළුවල ඇතුළත් වායු සංයුතිය අනුව, එකල කාබන් ඩයොක්සයිඞ් සාන්ද්‍රණයේ යම් පැහැදිලි අඩුවීමක් දැකිය හැකිය. මෙම විමෝචන අඩුවීමේ ප‍්‍රතිඵලයක් ලෙස ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.15කින් පමණ පහළ ගොස් ඇත. එම විමෝචන අඩුවීම සැලකිය යුතු අගයක් වන නමුත් වර්තමාන විමෝචන වර්ධනය හා සංසන්දනය කරන විට කුඩා අගයකි. අද වන විට එක් වර්ෂයකදී ඉහළ යන කාබන්ඩයොක්සයිඞ් සාන්ද්‍රණය මිලියනයකට කොටස් 3ක් පමණ වෙයි.

මෙවැනි තත්ත්වයක් ඇති වීමට හේතු ගණනාවක ප‍්‍රතිඵලයක් ලෙස දක්වා ඇත. ඒ අතර විශාල ගිනි කඳු පිපිරීම් සමූහයක් ඇති වීම, සූර්යයාගේ ක‍්‍රියාකාරීත්වයේ තාවකාලිකව මන්දගාමී බවක් ඇති වීම යන කරුණු ඒ අතර වෙයි. මෙම ස්වාභාවික ක‍්‍රියාවලි නිසා උෂ්ණත්වය අඩු වී යම් සිසිල් වීමක් අඩුවී ඇති විය හැකි නමුත්, එවැනි ස්වාභාවික සංසිද්ධි නිසා සිදු විය හැකි බව පැහැදිලි කරන උෂ්ණත්වය අඩු වීම මෙන් දෙගුණයක පමණ සිසිල් වීමක් මේ කාලයේදී සිදුවී ඇත. ඒ අනුව ඊට බලපෑ සාධක මොනවාද යන්න පිළිබඳව අලූත් පැහැදිලි කිරීමක් මෙම නව පර්යේෂණයෙන් ලැබෙයි.


ඇමරිකා මහාද්වීපවල සිදු වූ ‘මහා මියයෑම’


පසුකලෙක ඇමරිකානු මහාද්වීප ලෙස නම් කරනු ලැබූ ප‍්‍රදේශයට 1492 වර්ෂයේදී යුරෝපීයයන් පැමිණීමත් සමග එහි විශාල වෙනස්කම් සිදු විය. ඒ ‘නව ලෝකය’ ලෙසද හඳුන්වන ලද එම ප‍්‍රදේශ යුරෝපීයයන් විසින් ජනපදකරණය කිරීමත් සම`ගය.

යුරෝපීයයන්ගේ පැමිණීමෙන් පසු එළැඹි දශක කිහිපයක කාලයේදී ඇමරිකානු මහාද්වීපවල ජීවත් වූ ස්වදේශිකයන් අතිවිශාල පිරිසක් මරුමුවට පත් ව තිබේ. ‘මහා මියයාම’ (Great Dying) ලෙස හඳුන්වා ඇති මේ සඳහා විවිධ හේතු බලපා ඇත. යුරෝපයෙන් පැමිණි ආගන්තුක රෝග ව්‍යාප්ත වීම (වසූරිය, සරම්ප ආදි), සටන් සංග‍්‍රාම, වහලූන් ලෙස අල්ලා ගැනීම හා සමාජයේ සිදුවූ බිඳ වැටීම වැනි හේතු මේ අතර වෙයි. මෙය මහා ඝාතනයක් ලෙසද සැලකේ.

යුරෝපීයයන් ඇමරිකානු මහාද්වීපවලට පැමිණීමට පෙර, ඒවායේ විසූ ස්වදේශික ජනගහනය කෙතරම්ද යන්න මෙම අධ්‍යයනය සඳහා පර්යේෂකයන් විසින්ගණනය කර ඇත. එම මහාද්වීපවල විවිධ ප‍්‍රදේශවල අතීත ජනගහනය පිළිබඳව සිදුකර ඇති අධ්‍යයන 119ක් යොදාගනිමින් උතුරු හා දකුණු මහාද්වීපවල ජනගහනය අනුමාන කර තිබෙයි. ඒ අනුව මිලියන 60.5ක සාමාන්‍ය ජනගහනයක් 15වන සියවස අවසන්වන විට ඇමරිකානු මහාද්වීපවල විසූ බව දක්වා ඇත. (එහි අවම අගය මිලියන 44.8ක්ද උපරිම අගය මිලියන 78.2ක්ද වෙයි*. එම අගය එවකට ලෝකයේ විසූ ජනගහනයෙන් සියයට දහයක් පමණ වේ.

ඉහත කී විවිධ සාධකවල බලපෑම නිසා 1600 පමණ වන විට එම මහද්වීපවල විසූ ස්වදේශික ජනගහනය මිලියන 5-6 තරම් දක්වා අඩු විය. වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, ස්වදේශික ජනගහනය මිලියන 56කින් පමණ හෙවත් 90%කින් පමණ අඩු වී තිබෙයි. මෙය අතිවිශාල ජනගහන අඩුවීමකි.


වගා බිම් වනගත වීම හා විමෝචන අඩු වීම


මේ අයුරින් ජනගහනය අඩු වීමේ ප‍්‍රතිඵලයක් ලෙස ස්වදේශිකයන් විසින් වගා කරන ලද අතිවිශාල කෘෂි බිම් ප‍්‍රමාණයක් අත්හැර දමන ලදි. ඒවායේ වේගයෙන් වැවෙන ශාක සහ වෙනත් වෘක්ෂලතා වර්ධනය විය. ඒ අනුව වගා බිම් වනාන්තර සහ සැවනා බිම් වැනි වෙනත් වෘක්ෂලතා බිම් බවට ක‍්‍රමයෙන් පරිවර්තනය වී ඇත. යුරෝපීයයන්ගේ පැමිණීමට පෙර පැවති ස්වදේශික ශිෂ්ටාචාර යටතේ වගා කරන ලද භූමි ප‍්‍රමාණය පර්යේෂකයන් විසින් ගණන් බලා ඇත. එහි ඒක පුද්ගල සාමාන්‍යය හෙක්ටාර 1.04ක් පමණ වෙයි. මේ අනුව ජනගහනය අඩු වීම හා සම`ග භාවිත කිරීම අත්හරින ලද භූමි ප‍්‍රමාණය හෙක්ටයාර මිලියන 55.8ක් පමණ වෙයි. සංසන්දනාත්මකව ගතහොත් එය නූතන ප‍්‍රංශයේ භූමි ප‍්‍රමාණයට ආසන්න වශයෙන් සමානය.

කාබන් ඩයොක්සයිඞ් වායු විමෝචනය පිළිබඳව මෙම වෙනස්කම් අ`ගුරු පිළිබඳ සහ වාර්තා සහ ඇමරිකාවෙන් සොයාගත් පරාග තැන්පතුවලින් ද පැහැදිලි වෙයි. මධ්‍යම ඇමරිකානු කෘෂිකර්මයේදී මෙවලමක් ලෙස ගිනිතැබීම යොදාගත් බව අ`ගුරු හමුවීමෙන් පැහැදිලිය. එහෙත් අ`ගුරු හමුවීම අඩුවීම සම`ග ගොවිබිම් සැකසීමේදී ගිනිතැබීම් යොදා ගැනීම අඩු වී ඇති බවත් එ් සඳහා ජනගහනය අඩුවීමද හේතු ඇති බව සමහර ස්ථාන ආශ‍්‍රිත අධ්‍යයනවලින් පෙනී ගොස් ඇත. එසේම තැන්පතුවලින් හමුවන පරාග වර්ග අනුව අදාළ කාලයේදී වගා කරන ලද්දේද නැතහොත් වගාබිම් වනගත වීද යන්න හෙළි වෙයි. එවැනි අධ්‍යයන සිදු කළ ස්ථාන අතරින් අඩක පමණ පෙනී ගොස් ඇත්තේ ගොවිබිම්වල වනාන්තර බවට පරිවර්තනය වූ බවකි.

මෙසේ වනාන්තර වර්ධනය වීමත් සම`ග වායුගෝලීය කාබන් ඩයොක්සයිඞ් වායුවෙන් විශාල ප‍්‍රමාණයක් එම ශාක මගින් අවශෝෂණය කරගෙන තිබෙයි. මෙම අධ්‍යයනයේදී ගණනය කර දක්වා ඇති ආකාරයට, කාබන් පීකො ග‍්‍රෑම් 7.4ක් පමණ ප‍්‍රමාණයක් මෙම වනාන්තර මගින් අවශෝෂණය කර ඇත. මෙසේ වායුගෝලයේ කාබන් ඩයොක්සයිඞ් මට්ටම මිලියනයකට කොටස් 3.5කින් පමණ අඩු වීම 1500-1600 පමණ කාලයේ ලෝකයේ උෂ්ණත්වය අඩු වීමට එක් සාධකයක්වූ බව මෙම පර්යේෂකයන්ගේ අදහසයි.


මිනිසුන් දේශගුණය වෙනස් කළ දිනය පැරණියි


මිනිසුන් විසින් දේශගුණයට සිදුකරන බලපෑම කාර්මික විප්ලවයෙන් පසු යුගයේ ඇති වූ බව මෙතෙක් වැඩි පිළිගැනීමකට ලක්ව තිබූ මතය විය. එහෙත් උක්ත අධ්‍යයනයෙන් පැහැදිලි වන කරුණක් වන්නේ මානව ක‍්‍රියාකාරකම් දේශගුණ වෙනස් වීමට බලපෑමක් කර ඇත්තේ ඉන් පෙර කාලයේ දී සිට බවයි.

එමෙන්ම Anthropocene හෙවත් මානව යුගය යනුවෙන් මේ වන විට යෝජනා වී ඇති නව භූගෝලීය යුගයේ ආරම්භය ලෙස සැලකිය හැක්කේ කුමන කාලයක සිටද යන්න ගැන ඇති අවශ්‍ය භෞතික සාධක ගැන ඇත්තේ මදභේදයකි. මෙම අධ්‍යයනයෙන් එ් සඳහාද නව අදහසක් එක් කර ඇත. ඇතැම් කණ්ඩායම් පවසන්නේ 1950 දශකයෙන් පසු එළැඹුණු කාර්මික නිෂ්පාදන කටයුතු වඩාත් වේගවත් වූ යුගයේ සිට සිදුව ඇති තැන්පතුවල මේ පිළිබඳ පැහැදිලි සාධක ඇති බවයි. එහෙත් කාර්මික විප්ලවයට සියවස් දෙකකට පමණ ඉහතදී පවා මිනිසුන්ගේ කටයුතුවල ප‍්‍රතිඵලයක් ලෙස ගෝලීය වූ වෙනසක් ලෝකයේ ඇති වී තිබෙන බවට භෞතික සාධක අප මාතෘකා කරගත් අධ්‍යයනයෙන් ලැබෙයි.

එමෙන්ම මෙම අධ්‍යයනයෙන් තවත් වැදගත් කරුණක් පිළිබඳවද ආලෝකයක් සපයයි. ඒ වර්තමාන දේශගුණ වෙනස් වීම වැළැක්වීම සඳහා විසඳුමක් ලෙස ඉදිරිපත් වී ඇති වනාන්තර වගාව සම්බන්ධවයි. මේ අධ්‍යයනයට අනුව ප‍්‍රංශය තරම් විශාල භූමි ප‍්‍රදේශයක වනාන්තර වර්ධනය වීමෙන් වායුගෝලීය කාබන් ඩයොක්සයිඞ් සාන්ද්‍රණය අඩු වී ඇත්තේ සුළු ප‍්‍රමාණයකිනි. ඒ අනුව වනවගාවෙන් කාබන් ඩයොක්සයිඞ් විමෝචන ඉවත් කළ හැකි වුවත් ඒ සඳහා ඉතා විශාල ප‍්‍රමාණයකින් වනවගා කිරීම සිදු කළ යුතු බවක් පෙනෙයි. සමස්තයක් ලෙස කුඩා අයිස් යුගයේදී වායුගෝලීය කාබන් ඩයොක්සයිඞ් සාන්ද්‍රණය මිලිනයකට කොටස් 7-10 පමණ ප‍්‍රමාණයකින් අඩු විය. ඉන් කොටස් 3ක් අඩු වූයේ ඉහත සඳහන් කළ ඇමරිකාවේ සිදු වූ ගොවිබිම් වනගත වීමෙනි. එහෙත් වර්තමාන ලෝකයේ කාබන් ඩයොක්සයිඞ් වායු සාන්ද්‍රණය එක් වසරකදී මිලියනයකට කොටස් 3කින් පමණ ඉහළ යයි.

මූලාශ‍්‍රය: Quaternary Science Reviews, DOI: 10.1016/j.quascirev.2018.12.004

Sunday, February 24, 2019

රැකගත යුතු ඓතිහාසික වීදි ලාම්පු කණු

ධනේෂ් විසුම්පෙරුම


දිවයින, 24.02.2019, විශේෂාංග පිටුව. IX (Divaina)

http://divaina.com/sunday/index.php/visheshanga2/8490-03-78?fbclid=IwAR3Ld0id1sfsjBEVxJour_-uHqgqdkGCjx8wUXoNwuhiaz523Xy1q0XKerc



සති කීපයකට පෙර සිදු වූ මාර්ග අනතුරු දෙකකින් මෙරට නගර දෙකක පිහිටා තිබූ ඓතිහාසික වටිනාකමක් ඇති විසිතුරු වීදි ලාම්පු කණු දෙකකට බරපතළ හානි සිදුවිය. ඉන් එකක් පිහිටියේ මාතලේ නගරයේ වන අතර අනෙක පිහිටා ඇත්තේ පාදුක්ක නගරයේය.

එම ලාම්පු කණු ශ‍්‍රී ලංකාව බි‍්‍රතාන්‍යයට යටත්ව තිබූ කාලයේ සිදු වූ වැදගත් සිදුවීම් දෙකක් සිහිපත් කිරීමේ අරමුණ ඇතිව පිහිටුවන ලද සමරු ලාම්පු කණු දෙකකි. එබැවින් ඒවාට ඓතිහාසික වැදගත්කමක් ඇත.

මාතලේ වික්ටෝරියා ජුබිලි ලාම්පුව


මාතලේ නගර ශාලාව අසල පිහිටි අනතුරට ලක්වූ ලාම්පු කණුව ඉදිකරන ලද්දේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ කිරුළ දැරූ වික්ටෝරියා රැජින රාජප‍්‍රාප්තියට පැමිණ වසර 60ක් සම්පූර්ණ වීම නිමිත්තෙනි. ඒ 1897 වර්ෂයේදීය. 1837 දී සිදුවූ ඇයගේ රාජ්‍යත්වයට පැමිණීමේ 50 වැනි සංවත්සරය 1887දී ද 60 වැනි සංවත්සරය 1897 වර්ෂයේදී ද උත්සවාකාරයෙන් සමරා ඇත. ඒ සඳහා වූ ජුබිලි උත්සව එවකට බි‍්‍රතාන්‍යයේ යටත්විජිත වූ ලංකාව ද ඇතුළු රටවල් ගණනාවක පැවතියේය.

ඒ වෙනුවෙන් වූ උත්සව ගණනාවක් මෙරට විවිධ නගරවල පවත්වා ඇත. මාතලේ නගරයේ පැවැති ජුබිලි උත්සවය සඳහා අවශ්‍ය වියදම සපයා ගන්නා ලද්දේ පරිත්‍යාගශීලීන්ගෙන් මුදල් එකතු කිරීමෙනි. උත්සවයට එකතු කළ මුදල් වැය කර ඉතිරි වූ මුදල ද යෙදවීමෙන් මෙම ලාම්පුව ඉදිකරන ලද්දේ 1897 වර්ෂයේ දී බව වාර්තාවල සඳහන් වේ. එම ලාම්පුව සවිකර ඇති පාදස්ථයේ Victoria 1837-1897 යන වදන් පෙළ දැක ගත හැකිය.


පාදුක්කේ පිහිටි සාම සමරු ලාම්පුව


පාදුක්ක නගරයේ පිහිටි ලාම්පු කණුව 1919 වර්ෂයේ දී පිහිටවූවකි. එමගින් සමරනු ලබන්නේ පළමු ලෝක මහා සංග‍්‍රාමය අවසානයේ දී 1919 වර්ෂයේ ජුලි මස සාම ගිවිසුමකට එළැඹීමය. පාදස්ථ පුවරුවේ සඳහන්වන අන්දමට එය ඉදිකර ඇත්තේ සාම අනුස්මරණ කමිටුව (The Peace Memorial Committee) විසිනි.

1914 දී ආරම්භ වී 1918 වර්ෂයේ දී අවසන් වූ පළමු ලෝක මහා සංග‍්‍රාමයේ දී ජර්මනිය ප‍්‍රමුඛ මධ්‍යම බලවතුන්ට එරෙහිව මිත‍්‍ර බලවතුන් සටන් කරන ලදි. එවකට මෙරට පාලනය කළ බි‍්‍රතාන්‍යය මිත‍්‍ර බලවතුන් අතර ප‍්‍රමුඛ රටක් විය. මෙරට සේවය කළ බි‍්‍රතාන්‍ය ජාතිකයන් විශාල පිරිසක්ද ස්වදේශිකයන් පිරිසක්ද බි‍්‍රතාන්‍ය හමුදාවට බැඳී සටන්බිමට ගියහ. ඉන් හාරසිය හතළිහකට අධික පිරිසක් එහිදී මිය ගියහ. එසේම යුද්ධය මෙරට ආර්ථිකයට ද යම් බලපෑමක් සිදුකළේය.

එබැවින් 1918 නොවැම්බර් මාසයේ ඇති වූ සටන් විරාමය හා 1919 ජුලි මාසයේ දී අත්සන් කළ සාම ගිවිසුම සැමරිය යුතු සිදුවීමක් විය. ඒ සඳහා වූ සමරු උත්සව ලංකාවේද පවත්වා ඇත. ඉන්පසු ඉදි වූ යුද ස්මාරක මෙන්ම සාම සමරු ස්මාරක ද මෙරට දැකිය හැකිය. වැවිලි ආර්ථිකය තුළ එවකට වැදගත් මධ්‍යස්ථානයක් වූ පාදුක්ක නගරයේ ද සෙසු නගරවල මෙන්ම සමාජයීය වශයෙන් වැදගත් උත්සව අවස්ථා සමරා ඇත. යුද්ධයේ අවසානය සමරා උක්ත ලාම්පු කණුව එවැනි සාම සමරු ස්මාරකයකි. 

     


මේ ස්මාරකවල ආරක්ෂාව


චීනච්චට්ටි ලෝහයෙන් කළ මෙම කණු, ශිලාමය පාදස්ථයක් මත ඉදිකර ඇත. ඒවායේ ඉහළින් පිහිටි ලාම්පු සහිත කණු කොටස් අනතුරුවලින් බිඳී ගොසිනි. මේ ලාම්පු කණු කොටස් නැවත ප‍්‍රතිසංස්කරණය කළ හැකි යැයි අපි සිතමු. කෙසේ වෙතත් නැවත ප‍්‍රතිසංස්කරණය කිරීමෙන් පසු වුවද මෙවැනි අනතුරකට යළිත් ලක් වීමේ අවදානමක් නැතිවා නොවේ.

එයට හේතුව එම ලාම්පු කණු දෙකම පිහිටා ඇත්තේ ප‍්‍රධාන මාර්ගවල මංසන්ධිවල වීමය. මේ වනවිට එම කණු පිහිටා ඇත්තේ පාර මධ්‍යයේය. ඒවා වටා වටරවුමක් හෝ වෙනත් එවැනි ආරක්ෂිත ප‍්‍රදේශයක් නැත. ඒනිසා මෙම සිහිවටන කණු දෙකම යළිත් අනතුරුවලට ලක්වීමේ අවදානමක පවති. (මාතලේ නගරයේ ්-9 මාර්ගය අසල වටරවුමක පිහිටි වෙනත් ලාම්පු කණුවක් වටරවුමක් මැද පිහිටි ආරක්ෂිත ලාම්පු කණුවකට නිදසුනකි. එය 1920 දශකයේ ඉදිකරන ලද්දකි.*

ඒනිසා මහාමාර්ග මැද හෝ ආසන්නයේ ඇති සිහිවටනවල අනාගතය යළිත් සලකා බැලිය යුතු බව පෙනේ. අතීතයේදී ඒවා මුලින්ම පිහිටුවන ලද දැනටත් ඇති ස්ථානවලම මෙම සිහිවටන ආරක්ෂිතව පවත්වා ගැනීමට හැකි නම් එයට ප‍්‍රමුඛතාවය හිමිවිය යුතු බවට සැකයක් නැත. එහෙත් මාර්ග පුළුල් කිරීම හා රථවාහන ධාවනයෙන් ඇතිවිය හැකි අනතුරුවලට ලක්වීමේ අවදානමක්වේ නම් ඒ ගැන නැවත සිතා බැලිය යුතු වේ.

එවැනි අවස්ථාවකදී ස්මාරක එම ස්ථානයෙන් ඉවත් කොට වඩාත් ආරක්ෂිත සහ වඩාත් සුදුසු ස්ථානයක එම සිහිවටන නැවත ස්ථාපිත කිරීම යෝග්‍යය. නිදසුනක් ලෙස ගතහොත් උක්ත ලාම්පු කණු සඳහා ප‍්‍රමාණවත් අවකාශයක් ඇති ස්ථාන මෙම නගරවල සොයාගත හැකි බවට සැකයක් නැත. එවැනි තැනක අදාළ ස්මාරකයේ අතීතය පිළිබඳ සටහනක් සහිතව නැවත ස්ථාපිත කිරීම කළ හැකිය.

යටත්විජිත සමය සිහිපත් කරන සිහිවටන බව සත්‍යයක් වුවද මෙම ලාම්පු කණු දැන් මෙරට ඉතිහාසයට අයත් සිහිවටන වේ. එබැවින් මෙම ලාම්පු කණු ප‍්‍රතිසංස්කරණය කර ආරක්ෂා කරගැනීම සඳහා අදාළ බලධාරීන්ගේ අවධානය යොමුවනු ඇතැයි සිතමු.

ඡායාරූප - භූෂණ කල්හාර හා බන්දුල සිසිර කුමාර

Wednesday, February 20, 2019

ඒ කියන්නෙ තුන පහු වෙලාද? (බස් කථා 9)

​ගෙවල් ළඟින් බසයකට නැග දොර අසලම අසුනේ හිඳගතිමි

"වෙලාව කීයද?" එහා පැත්තේ හිඳ සිටි තරුණිය විමසුවාය.

"හතරයි" ඒ මගේ උත්තරය.

"ඒ කියන්නෙ තුන පහු වෙලාද?" ඇගෙන් තවත් පැනයක්. ඒ ප්‍රශ්නය නිසා මම ඇගේ මුහුණ බැලුවේ 3 හා 4 තේරුම්ගත නොහැකි කෙනා බලන්නටය.

ඒ සිතිවිල්ල ගැන මට සැණෙකින් කණගාටුවක් ඇතිවිය. ඈ බුද්ධි වර්ධනයේ ගැටලු සහිත තරුණියකි. මේ මාර්ගයේ එවැනි ළමුන් හා තරුණ තරුණියන් යනු නිතර මම දැක ඇත්තෙමි. එවැනි අය සඳහා වූ පාසලක් අවට තැනක ඇති බව නිලඇඳුම් ලාගත් ළමුන්ගෙන් පෙනිණි.

මේ අය ඇතැම් කරුණු වටහාගත නොහැකි අයයි. ඔවුන් බොහෝවිට ගමන් යන්නේ ඥාතියෙකු සමගය. මේ තරුණියද කිසිවෙකු හා පැමිණ ඇතිවා ද විය හැකිය.

මේ අප සමාජයේ වෙසෙන අපේ අවධානය හා සහාය අවශ්‍ය පිරිසකි.