Thursday, February 28, 2019

කාබනික ආහාර ගැනීම මුත්‍රවල පළිබෝධනාශක මට්‌ටම අඩු කරයි

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 27.02.2019, පි. 5 (Vidusara)






කාබනික කෘෂිකර්මය හා කාබනික ආහාර නිෂ්පාදන නිසා ඇති විය හැකි සෞඛ්‍යමය බලපෑම පිළිබඳ කිසියම් ආකාරයක සාකච්ඡාවක්‌ කලක සිට ලෝකයේ දැකිය හැකි ය. කාබනික ආහාර නිසා ඇති විය හැකි ධනාත්මක සෞඛ්‍යමය බලපෑම් පිළිබඳව කලක සිට ම අවධානයට ලක්‌ වී ඇත. විද්‍යාඥයන් විසින් වරින් වර සිදු කරනු ලබන අධ්‍යයනවලින් හෙළි වන කරුණු අනුව කාබනික කෘෂිකර්මයේ වැදගත්කම තහවුරු වෙමින් ඇති බව සැලකිය හැකි ය. පසුගිය දා ප්‍රකාශයට පත් ව ඇති එක්‌ අධ්‍යයනයකින් පෙන්වා දී ඇත්තේ සාමාන්‍ය ආහාර වේලක සිට කාබනික ආහාර වේලකට මාරු වී දින කිහිපයක්‌ ඇතුළත මුත්‍රවල පළිබෝධනාශක මට්‌ටම අඩු වන බවයි.

පළිබෝධනාශකවලට නිරාවරණය වීම නිසා ඇති විය හැකි සෞඛ්‍ය බලපෑම් පිළිබඳ ව මෑත කාලයේ දී සිදු කළ අධ්‍යයන විශාල ප්‍රමාණයකින් කරුණු අනාවරණය වී ඇත. මේ පිළිබඳ ව ඇති දත්ත අනුව ප්‍රජානන හැකියාවේ අඩු වීම, ළමයින්ගේ හැසිරීම හා අවධානය පිළිබඳ ගැටලු, ඇදුම රෝගය, පිළිකා ඇති වීම, ප්‍රජනන සෞඛ්‍යය ආශ්‍රිත ගැටලු, අන්තරාසර්ග පද්ධතිය සම්බන්ධ ගැටලු වැනි කරුණු පිළිබඳ ව පැහැදිලි සාධක මේ වන විට අනාවරණය වී තිබෙයි. කෙසේ වෙතත් පොදු වශයෙන් ගත් විට ආහාර ආශ්‍රිත ව ඇති වන පළිබෝධනාශකවලට නිරාවරණය වීම නිසා ඇති වන නිශ්චිත සෞඛ්‍ය බලපෑම් ගැන සිදු කර ඇති අධ්‍යයන ගණන අඩු ය. නිදසුනක්‌ ලෙස පසුගිය වසරේ සිදු කර ඇති එක්‌ අධ්‍යයනයකින් පෙන්වා දී තිබුණේ කාබනික ආහාර වැඩි වශයෙන් පරිභෝජනය කිරීම නිසා හෙවත් පළිබෝධනාශකවලට අඩු වශයෙන් නිරාවරණය වීම නිසා, පිළිකා වර්ග ගණනාවකින් ආරක්‌ෂා වීමට හැකි බවයි.

පසුගිය කාලය තුළ දී විවිධ ආහාරවල හමු වන පළිබෝධනාශක ශේෂ ප්‍රමාණය පිළිබඳ ව ඇමෙරිකාවේ සිදු කර ඇති අධ්‍යයනවලින් කාබනික ආහාරවල දැකිය හැකි පළිබෝධනාශක ශේෂ ප්‍රමාණය අඩු බව හෙළි වී ඇත. ඒ එසේ නො වන සාමාන්‍ය ආහාරවලට සාපේක්‌ෂ ව ය. එසේ ම ඇමෙරිකාවේ සිදු කරන ලද අධ්‍යයනවලින් මින් පෙර අනාවරණය වී ඇත්තේ සාමාන්‍ය ආහාර පරිභෝජනය කරන්නවුන්ට වඩා කාබනික ආහාර පරිභෝජනය කරන්නවුන්ගේ මුත්‍රවල දැකිය හැකි පළිබෝධනාශක ප්‍රමාණය ද අඩු වන බවයි. කෙසේ වෙතත් එම අධ්‍යයන මූලික වශයෙන් අවධානය යොමු කර ඇත්තේ ඕගනෝපොස්‌පේට කාණ්‌ඩයේ පළිබෝධනාශකවලට නිරාවරණය වීම සම්බන්ධ ව ය. එසේ ම පයිරත්‍රොයිඩවලට නිරාවරණය වීම සම්බන්ධව ද අඩුවෙන් වුව ද අධ්‍යයන සිදු කර ඇත.

අලුත් අධ්‍යයනයේ පසුබිම


උක්‌ත තත්ත්වය සැලකිල්ලට ගෙන සිදු කර ඇති අප මාතෘකා කරගන්නා පර්යේෂණයේ දී සිදු කර ඇත්තේ තෝරාගත් පවුල් හතරක සාමාජිකයන් ලබාගන්නා ආහාරය අනුව ඔවුන්ගේ මුත්‍රවල පළිබෝධනාශක ශේෂ හමු වන ප්‍රමාණය පිළිබඳ ව විමසා බැලීමයි. ඒ සඳහා යොදාගත් පවුල් 4 ජනවාර්ගික වශයෙන් පමණක්‌ නො ව භූගෝල විද්‍යාත්මක වශයෙන් එකිනෙකට වෙනස්‌ වූ ප්‍රදේශවල ජීවත් වන පවුල් විය. එක්‌ පවුලක සාමාජික සංඛ්‍යාව 3 - 5 අතර ප්‍රමාණයක්‌ විය. ඔවුන් තෝරාගැනීමේ දී සලකා බලා ඇති කරුණු අතර ඔවුන් සාමාන්‍යයෙන් කාබනික ආහාර පරිභෝජනය නො කරන්නවුන් වීම හා ඔවුන්ගේ ආහාරය දින හයක කාලයක්‌ සඳහා වෙනස්‌ කිරීමට ඇති කැමැත්ත ද වෙයි. ඒ අනුව වයස අවුරුදු 36 - 52 අතර වැඩිහිටියන් හත් දෙනකු හා වයස අවුරුදු 4 - 15 අතර ළමයින් නව දෙනකු මේ අධ්‍යයනයට සම්බන්ධ වී ඇත.

අධ්‍යයන දත්ත ලබාගැනීම දින 12ක කාලයක්‌ තිස්‌සේ සිදු කර ඇත. එම පළමු දින පහක කාලයේ එම පවුල්වල සාමාජිකයන් ආහාරයට ගත්තේ ඔවුන් සාමාන්‍යයෙන් එදිනෙදා ආහාරයට ගන්නා කාබනික නො වන නිෂ්පාදන ඇතුළත් ආහාර ය. ඊළඟ දින හයක කාලයේ දී ඔවුන් ආහාරයට ගත්තේ කාබනික ආහාර පමණකි. නිවස, සේවා ස්‌ථානය, පාසල ආදි සියලු ස්‌ථානවල දී ඔවුන්ට සහතික කළ කාබනික ආහාර ලබා දෙන ලදි. එයට සියලු ම වර්ගවල ආහාර ඇතුළත් විය. එය ලබා දෙන ලද්දේ ඔවුන්ට අවශ්‍ය ආහාර පාන පිළිබඳ ලේඛනයක්‌ ලබාගෙන එම ආහාර ද්‍රව්‍ය Rජු ව ම අදාළ පවුල්වලට ලබා දීමෙන් හා කාබනික ආහාරවලින් සමන්විත රාත්‍රී ආහාර වේලක්‌ එවැනි ආහාර සකසන ස්‌ථානවලින් නිවාසවලට සැපයීමෙනි. කාබනික ආහාර වර්ග සපයන ලද දින හයක කාලයේ දී ඒවා අදාළ පවුල්වලට ලබා දී ඇත්තේ නොමිලේ ය.

අධ්‍යයනය පුරා ම දිනපතා ඔවුන්ගේ මුත්‍ර සාම්පල ලබාගන්නා ලද අතර එසේ ලබාගත් සාම්පල 158ක්‌ පර්යේෂණාගාරවලට ගෙනැවිත් පළිබෝධනාශකවලට සහ පළිබෝධනාශක ශරීරයේ දී බිඳ වැටීමේ දී ඇති වන පරිවෘත්තිජ (metabolite) රසායන ද්‍රව්‍ය සඳහා පරීක්‌ෂා කරන ලදි.

පළිබෝධනාශක සඳහා පරීක්‌ෂාව


ඒ අදාළ පළිබෝධනාශක හෝ ඒවා ශරීරගත වීමෙන් පසු නිපදවෙන පරිවෘත්තිජ රසායනික ද්‍රව්‍ය දහ සයක්‌ පරීක්‌ෂා කිරීමෙනි. එහි දී අවධානයට ලක්‌ කර ඇති පළිබෝධනාශක අතර ඕගනෝපොස්‌පේට (ක්‌ලෝර්පයිරිපොස්‌, මැලතියන් හා වෙනත් පළිබෝධනාශක ගණනාවකි) අදාළ ව රසායනික ද්‍රව්‍ය කාණ්‌ඩ පහක්‌ සඳහා පරීක්‌ෂා කර ඇත), පයිරත්‍රොයිඩ (රසායන ද්‍රව්‍ය හතරක්‌ පරීක්‌ෂා කර ඇත), නියෝනිකොටිනොයිඩ (පළිබෝධනාශක දෙකක්‌ සඳහා පරීක්‌ෂා කර ඇත), දිලීරනාශක (තුනක්‌ සඳහා පරීක්‌ෂා කර ඇත) හා එක්‌ වල් පැළෑටිනාශකයක්‌ පිළිබඳ ව අවධානය යොමු කර ඇත. එමඟින් විවිධ රසායන ද්‍රව්‍ය 40කට නිරාවරණය වීම නිරූපණය කරයි. එසේ පරීක්‌ෂා කළ යුතු පළිබෝධනාශක රසායනික ද්‍රව්‍ය මොනවා ද යන්න තීරණය කර ඇත්තේ ඒවා ඇමෙරිකාවේ භාවිත කරන ප්‍රමාණය හා ආහාරවලින් ඒවා හමු ව ඇති සුලබතාව අනුව ය. ඒවා හඳුනාගැනීම සඳහා නවීන තාක්‌ෂණික ක්‍රම යොදාගෙන තිබෙයි. මෙතෙක්‌ වැඩි අධ්‍යයන ගණනක්‌ සිදු ව ඇති ඕගනෝපොස්‌පේටවලට අමතර ව ඉහත සඳහන් සෙසු රසායනික පළිබෝධනාශක ඇමෙරිකාවේ ද වෙනත් රටවල ද භාවිතය ඉහළ යමින් පවතී.

එහි දී ලැබුණු ප්‍රතිඵලය සුවිශේෂී වූවකි. අධ්‍යයනයට සම්බන්ධ වූ පවුල්වල සියලු ම සාමාජිකයන් ඔවුන්ට හුරුපුරුදු සාමාන්‍ය ආහාර ගත් කාලයේ දී ඔවුන්ගේ මුත්‍රවල මේ රසායන ද්‍රව්‍ය මැනිය හැකි ප්‍රමාණවලින් හමු විය. කාබනික ආහාර වේලකට ඔවුන් පිවිසි පසුව ඔවුන්ගේ මුත්‍රවල හමු වන එම රසායන ද්‍රව්‍ය ප්‍රමාණයේ කැපී පෙනෙන අඩු වීමක්‌ දැකිය හැකි විය. පරීක්‌ෂා කළ එක්‌ රසායන ද්‍රව්‍යයක්‌ හැර අනෙක්‌ සියලු රසායන ද්‍රව්‍යවල කැපී පෙනෙන අඩු වීමක්‌ කාබනික ආහාරවලට මාරු වීමෙන් පසුව ඇති වී තිබෙයි.

ඇතැම් රසායන ද්‍රව්‍ය හමු වූ ප්‍රමාණය ඉතා ම කැපී පෙනෙන ආකාරයකින් අඩු වී තිබීම ද මෙහි ඇති විශේෂ සිදුවීමකි. නිදසුනක්‌ ලෙස ගත හොත් එම පුද්ගලයන්ගේ මුත්‍රාවල ඕගනෝපොස්‌පේටයක්‌ වන මැලතියන් මඟින් ඇති වන මැලතියන් ඩයිකාබොක්‌සිලික්‌ අම්ලය හමු වන ප්‍රමාණය කාබනික ආහාර ගන්නා විට 95%කින් පමණ අඩු විය. මෑතක සිට ජනප්‍රිය වී ඇති නියෝනිකොටිනොයිඩ කාණ්‌ඩයට අයත් ක්‌ලොතිඇනිඩින් ප්‍රමාණය 82%ක්‌ තරම් ප්‍රමාණයකින් අඩු වී ඇත. තවත් ඕගනෝපොස්‌පේටයක්‌ වන ක්‌ලෝර්පයිරිපොස්‌වලින් ජනනය වන රසායන ද්‍රව්‍යයක්‌ වන 3, 5, 6 - ට්‍රයික්‌ලෝරො - 2 -පිරිඩිනොල් හමු වීම ද කාබනික ආහාරවලට මාරු වීමෙන් පසුව 60%කින් පමණ අඩු වී ඇත.


වෙනත් කරුණු


මේ අධ්‍යයනයේ දී යොදාගත් නියෑදිය කුඩා වීම ඇතැම් විට විවේචනයට ලක්‌ විය හැකි කරුණකි. එහෙත් එහි දී මුත්‍ර නියෑදි සැලකිය යුතු ප්‍රමාණයක්‌ පරීක්‌ෂා කර ඇත. එසේ ම අන්තර්ජාතික වශයෙන් පිළිගැනෙන සමාලෝචනයකට ලක්‌ කළ පර්යේෂණ පත්‍රිකාවක්‌ බැවින් එහි විද්‍යාත්මක බව පිළිබඳ ගැටලුවක්‌ ඇතිs බවක්‌ නො පෙනේ. අනෙක්‌ අතට එම අධ්‍යයනයට ලක්‌ කළ පිරිස නිවසින් පිටත දී පළිබෝධනාශකවලට නිරාවරණය වන්නේ ද යන්න ගැන ලැබුණු තොරතුරු ප්‍රමාණවත් නො වන බව පර්යේෂකයන්ගේ අදහස වෙයි.

මේ සියලු කරුණු ගැන අවධානය යොමු කරන පර්යේෂකයන් පවසන්නේ කාබනික ආහාර ගැනීමට යොමු වීමෙන් මිනිසුන්ගේ මුත්‍රවල හමු වන පළිබෝධනාශක ප්‍රමාණය කැපී පෙනෙන අයුරින් අඩු වන බවයි. එනම්, කාබනික ආහාර හඳුන්වා දීමෙන් පසු ආහාර මඟින් පළිබෝධනාශකවලට නිරාවරණය වීම අඩු වූ බවයි. කෙසේ වෙතත්, අද වන විට ලෝකයේ ඉතා පුළුල් ලෙස භාවිත වන විනාශකාරී කාණ්‌ඩයක්‌ වන නියෝනිකොටිනොයිඩ කාණ්‌ඩයේ රසායන ද්‍රව්‍යවලට ආහාර හරහා නිරාවරණය වීම පිළිබඳ ව තක්‌සේරු කිරීමට තවදුරටත් අධ්‍යයන අවශ්‍ය වන බව ද මෙහි දී පර්යේෂකයෝ පෙන්වා දෙති.

මූලාශ්‍රය : Environmental Research, DOI: 10.1016/j.envres.2019.01.024

No comments:

Post a Comment