Thursday, February 28, 2019

ඇමරිකාවේ ස්වදේශික ජනතාව මියයෑම කුඩා අයිස් යුගයට හේතු වූ හැටි

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 06.02.2019, පි. 13 (Vidusara)

Not available on Online version



මිනිසුන්ගේ කටයුතුවල බලපෑමෙන් ලෝක දේශගුණයේ වෙනස් වීම ආරම්භ වන්නේ කාර්මික විප්ලවයෙන් පසුව බව සාමාන්‍ය පිළිගැනීමයි. අද අප දකින දේශගුණ වෙනස් වීම කාර්මික විප්ලවයෙන් පසුව ඉහළ ගිය හරිතාගාර වායු විමෝචන නිසා ඇති වීම මෙයට හේතුවයි. එහෙත් පසුගියදා ප‍්‍රකාශයට පත් අධ්‍යයනයකට අනුව, මිනිසුන්ගේ කටයුතු නිසා දේශගුණයේ වෙනස් වීම් සිදුකිරීම ආරම්භ වී ඇත්තේ යුරෝපීයයන් විසින් ඇමරිකානු මහාද්වීප යටත් කරගනිමින් ජනපදකරණය සිදුකිරීමත් සම`ගය.

එයින් අනාවරණය වන පරිදි යුරෝපීයයන්ගේ පැමිණි පසුව උතුරු හා දකුණු ඇමරිකා මහාද්වීපවල වාසය කළ ස්වදේශික ජනගහනය විශාල ලෙස අඩු වී ඇත. එහි ප‍්‍රතිඵලයක් ලෙස එම මහාද්වීපවල අත්හැර දමන ලද ගොවිබිම් වනගත විය. එම වනාන්තර වර්ධනය සඳහා වායුගෝලයේ තිබූ කාබන් ඩයොක්සයිඞ් වායුව අවශෝෂණය කරගන්නා ලදි. ඒ තත්ත්වය 16 වන සියවස අවසානයේ හා 17වන සියවස මුලදී ලෝකයේ උෂ්ණත්වයේ වාර්තා වී ඇති අඩුවීමට බලපෑ එක් හේතුවක් බව මෙම පර්යේෂණයෙන් යෝජනා කර තිබෙයි.


කුඩා අයිස් යුගය


‘කුඩා අයිස් යුගය’ (Little Ice Age) ලෙස හඳුන්වන්නේ 1500 ගණන්වල අග හා 1600 ගණන්වල මුලදී ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය මදක් අඩු වීම නිසා ඇති වූ ශීත දේශගුණික ස්වභාවයයි. ඓතිහාසික වාර්තා අනුව එය යුරෝපයේ ප‍්‍රදේශ ගණනාවකින් වාර්තා වෙයි. ලන්ඩනයේ තේම්ස් නදියේ අයිස් මිදීම සෑම වර්ෂයකදීම පාහේ සිදුවීම එක් කැපීපෙනෙන සිදුවීමකි. එසේම පෘතුගාලයේ හිම කුණාටු වඩාත්ම සුලභ වූයේද එකලය. කෘෂිකර්මයට බාධා ඇතිවීම නිසා ඇතිවූ සාගත තත්ත්ව බොහෝ යුරෝපීය රටවල දැකිය හැකි විය.

එකල වායුගෝලයේ කාබන් ඩයොක්සයිඞ් සාන්ද‍්‍රණය මිලියනයකට කොටස් 7-10 අතර ප‍්‍රමාණයකින් අඩු වූ බව විද්‍යාත්මක දත්ත අනුව පෙනෙයි. ඇන්ටාක්ටිකා මහාද්වීපයෙන් ලබාගන්නා ලද අයිස් මදවලින් මේ සඳහා සාධක ලැබෙයි. එම අයිස් මදවල සිරවී ඇති වායු බුබුළුවල ඇතුළත් වායු සංයුතිය අනුව, එකල කාබන් ඩයොක්සයිඞ් සාන්ද්‍රණයේ යම් පැහැදිලි අඩුවීමක් දැකිය හැකිය. මෙම විමෝචන අඩුවීමේ ප‍්‍රතිඵලයක් ලෙස ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.15කින් පමණ පහළ ගොස් ඇත. එම විමෝචන අඩුවීම සැලකිය යුතු අගයක් වන නමුත් වර්තමාන විමෝචන වර්ධනය හා සංසන්දනය කරන විට කුඩා අගයකි. අද වන විට එක් වර්ෂයකදී ඉහළ යන කාබන්ඩයොක්සයිඞ් සාන්ද්‍රණය මිලියනයකට කොටස් 3ක් පමණ වෙයි.

මෙවැනි තත්ත්වයක් ඇති වීමට හේතු ගණනාවක ප‍්‍රතිඵලයක් ලෙස දක්වා ඇත. ඒ අතර විශාල ගිනි කඳු පිපිරීම් සමූහයක් ඇති වීම, සූර්යයාගේ ක‍්‍රියාකාරීත්වයේ තාවකාලිකව මන්දගාමී බවක් ඇති වීම යන කරුණු ඒ අතර වෙයි. මෙම ස්වාභාවික ක‍්‍රියාවලි නිසා උෂ්ණත්වය අඩු වී යම් සිසිල් වීමක් අඩුවී ඇති විය හැකි නමුත්, එවැනි ස්වාභාවික සංසිද්ධි නිසා සිදු විය හැකි බව පැහැදිලි කරන උෂ්ණත්වය අඩු වීම මෙන් දෙගුණයක පමණ සිසිල් වීමක් මේ කාලයේදී සිදුවී ඇත. ඒ අනුව ඊට බලපෑ සාධක මොනවාද යන්න පිළිබඳව අලූත් පැහැදිලි කිරීමක් මෙම නව පර්යේෂණයෙන් ලැබෙයි.


ඇමරිකා මහාද්වීපවල සිදු වූ ‘මහා මියයෑම’


පසුකලෙක ඇමරිකානු මහාද්වීප ලෙස නම් කරනු ලැබූ ප‍්‍රදේශයට 1492 වර්ෂයේදී යුරෝපීයයන් පැමිණීමත් සමග එහි විශාල වෙනස්කම් සිදු විය. ඒ ‘නව ලෝකය’ ලෙසද හඳුන්වන ලද එම ප‍්‍රදේශ යුරෝපීයයන් විසින් ජනපදකරණය කිරීමත් සම`ගය.

යුරෝපීයයන්ගේ පැමිණීමෙන් පසු එළැඹි දශක කිහිපයක කාලයේදී ඇමරිකානු මහාද්වීපවල ජීවත් වූ ස්වදේශිකයන් අතිවිශාල පිරිසක් මරුමුවට පත් ව තිබේ. ‘මහා මියයාම’ (Great Dying) ලෙස හඳුන්වා ඇති මේ සඳහා විවිධ හේතු බලපා ඇත. යුරෝපයෙන් පැමිණි ආගන්තුක රෝග ව්‍යාප්ත වීම (වසූරිය, සරම්ප ආදි), සටන් සංග‍්‍රාම, වහලූන් ලෙස අල්ලා ගැනීම හා සමාජයේ සිදුවූ බිඳ වැටීම වැනි හේතු මේ අතර වෙයි. මෙය මහා ඝාතනයක් ලෙසද සැලකේ.

යුරෝපීයයන් ඇමරිකානු මහාද්වීපවලට පැමිණීමට පෙර, ඒවායේ විසූ ස්වදේශික ජනගහනය කෙතරම්ද යන්න මෙම අධ්‍යයනය සඳහා පර්යේෂකයන් විසින්ගණනය කර ඇත. එම මහාද්වීපවල විවිධ ප‍්‍රදේශවල අතීත ජනගහනය පිළිබඳව සිදුකර ඇති අධ්‍යයන 119ක් යොදාගනිමින් උතුරු හා දකුණු මහාද්වීපවල ජනගහනය අනුමාන කර තිබෙයි. ඒ අනුව මිලියන 60.5ක සාමාන්‍ය ජනගහනයක් 15වන සියවස අවසන්වන විට ඇමරිකානු මහාද්වීපවල විසූ බව දක්වා ඇත. (එහි අවම අගය මිලියන 44.8ක්ද උපරිම අගය මිලියන 78.2ක්ද වෙයි*. එම අගය එවකට ලෝකයේ විසූ ජනගහනයෙන් සියයට දහයක් පමණ වේ.

ඉහත කී විවිධ සාධකවල බලපෑම නිසා 1600 පමණ වන විට එම මහද්වීපවල විසූ ස්වදේශික ජනගහනය මිලියන 5-6 තරම් දක්වා අඩු විය. වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, ස්වදේශික ජනගහනය මිලියන 56කින් පමණ හෙවත් 90%කින් පමණ අඩු වී තිබෙයි. මෙය අතිවිශාල ජනගහන අඩුවීමකි.


වගා බිම් වනගත වීම හා විමෝචන අඩු වීම


මේ අයුරින් ජනගහනය අඩු වීමේ ප‍්‍රතිඵලයක් ලෙස ස්වදේශිකයන් විසින් වගා කරන ලද අතිවිශාල කෘෂි බිම් ප‍්‍රමාණයක් අත්හැර දමන ලදි. ඒවායේ වේගයෙන් වැවෙන ශාක සහ වෙනත් වෘක්ෂලතා වර්ධනය විය. ඒ අනුව වගා බිම් වනාන්තර සහ සැවනා බිම් වැනි වෙනත් වෘක්ෂලතා බිම් බවට ක‍්‍රමයෙන් පරිවර්තනය වී ඇත. යුරෝපීයයන්ගේ පැමිණීමට පෙර පැවති ස්වදේශික ශිෂ්ටාචාර යටතේ වගා කරන ලද භූමි ප‍්‍රමාණය පර්යේෂකයන් විසින් ගණන් බලා ඇත. එහි ඒක පුද්ගල සාමාන්‍යය හෙක්ටාර 1.04ක් පමණ වෙයි. මේ අනුව ජනගහනය අඩු වීම හා සම`ග භාවිත කිරීම අත්හරින ලද භූමි ප‍්‍රමාණය හෙක්ටයාර මිලියන 55.8ක් පමණ වෙයි. සංසන්දනාත්මකව ගතහොත් එය නූතන ප‍්‍රංශයේ භූමි ප‍්‍රමාණයට ආසන්න වශයෙන් සමානය.

කාබන් ඩයොක්සයිඞ් වායු විමෝචනය පිළිබඳව මෙම වෙනස්කම් අ`ගුරු පිළිබඳ සහ වාර්තා සහ ඇමරිකාවෙන් සොයාගත් පරාග තැන්පතුවලින් ද පැහැදිලි වෙයි. මධ්‍යම ඇමරිකානු කෘෂිකර්මයේදී මෙවලමක් ලෙස ගිනිතැබීම යොදාගත් බව අ`ගුරු හමුවීමෙන් පැහැදිලිය. එහෙත් අ`ගුරු හමුවීම අඩුවීම සම`ග ගොවිබිම් සැකසීමේදී ගිනිතැබීම් යොදා ගැනීම අඩු වී ඇති බවත් එ් සඳහා ජනගහනය අඩුවීමද හේතු ඇති බව සමහර ස්ථාන ආශ‍්‍රිත අධ්‍යයනවලින් පෙනී ගොස් ඇත. එසේම තැන්පතුවලින් හමුවන පරාග වර්ග අනුව අදාළ කාලයේදී වගා කරන ලද්දේද නැතහොත් වගාබිම් වනගත වීද යන්න හෙළි වෙයි. එවැනි අධ්‍යයන සිදු කළ ස්ථාන අතරින් අඩක පමණ පෙනී ගොස් ඇත්තේ ගොවිබිම්වල වනාන්තර බවට පරිවර්තනය වූ බවකි.

මෙසේ වනාන්තර වර්ධනය වීමත් සම`ග වායුගෝලීය කාබන් ඩයොක්සයිඞ් වායුවෙන් විශාල ප‍්‍රමාණයක් එම ශාක මගින් අවශෝෂණය කරගෙන තිබෙයි. මෙම අධ්‍යයනයේදී ගණනය කර දක්වා ඇති ආකාරයට, කාබන් පීකො ග‍්‍රෑම් 7.4ක් පමණ ප‍්‍රමාණයක් මෙම වනාන්තර මගින් අවශෝෂණය කර ඇත. මෙසේ වායුගෝලයේ කාබන් ඩයොක්සයිඞ් මට්ටම මිලියනයකට කොටස් 3.5කින් පමණ අඩු වීම 1500-1600 පමණ කාලයේ ලෝකයේ උෂ්ණත්වය අඩු වීමට එක් සාධකයක්වූ බව මෙම පර්යේෂකයන්ගේ අදහසයි.


මිනිසුන් දේශගුණය වෙනස් කළ දිනය පැරණියි


මිනිසුන් විසින් දේශගුණයට සිදුකරන බලපෑම කාර්මික විප්ලවයෙන් පසු යුගයේ ඇති වූ බව මෙතෙක් වැඩි පිළිගැනීමකට ලක්ව තිබූ මතය විය. එහෙත් උක්ත අධ්‍යයනයෙන් පැහැදිලි වන කරුණක් වන්නේ මානව ක‍්‍රියාකාරකම් දේශගුණ වෙනස් වීමට බලපෑමක් කර ඇත්තේ ඉන් පෙර කාලයේ දී සිට බවයි.

එමෙන්ම Anthropocene හෙවත් මානව යුගය යනුවෙන් මේ වන විට යෝජනා වී ඇති නව භූගෝලීය යුගයේ ආරම්භය ලෙස සැලකිය හැක්කේ කුමන කාලයක සිටද යන්න ගැන ඇති අවශ්‍ය භෞතික සාධක ගැන ඇත්තේ මදභේදයකි. මෙම අධ්‍යයනයෙන් එ් සඳහාද නව අදහසක් එක් කර ඇත. ඇතැම් කණ්ඩායම් පවසන්නේ 1950 දශකයෙන් පසු එළැඹුණු කාර්මික නිෂ්පාදන කටයුතු වඩාත් වේගවත් වූ යුගයේ සිට සිදුව ඇති තැන්පතුවල මේ පිළිබඳ පැහැදිලි සාධක ඇති බවයි. එහෙත් කාර්මික විප්ලවයට සියවස් දෙකකට පමණ ඉහතදී පවා මිනිසුන්ගේ කටයුතුවල ප‍්‍රතිඵලයක් ලෙස ගෝලීය වූ වෙනසක් ලෝකයේ ඇති වී තිබෙන බවට භෞතික සාධක අප මාතෘකා කරගත් අධ්‍යයනයෙන් ලැබෙයි.

එමෙන්ම මෙම අධ්‍යයනයෙන් තවත් වැදගත් කරුණක් පිළිබඳවද ආලෝකයක් සපයයි. ඒ වර්තමාන දේශගුණ වෙනස් වීම වැළැක්වීම සඳහා විසඳුමක් ලෙස ඉදිරිපත් වී ඇති වනාන්තර වගාව සම්බන්ධවයි. මේ අධ්‍යයනයට අනුව ප‍්‍රංශය තරම් විශාල භූමි ප‍්‍රදේශයක වනාන්තර වර්ධනය වීමෙන් වායුගෝලීය කාබන් ඩයොක්සයිඞ් සාන්ද්‍රණය අඩු වී ඇත්තේ සුළු ප‍්‍රමාණයකිනි. ඒ අනුව වනවගාවෙන් කාබන් ඩයොක්සයිඞ් විමෝචන ඉවත් කළ හැකි වුවත් ඒ සඳහා ඉතා විශාල ප‍්‍රමාණයකින් වනවගා කිරීම සිදු කළ යුතු බවක් පෙනෙයි. සමස්තයක් ලෙස කුඩා අයිස් යුගයේදී වායුගෝලීය කාබන් ඩයොක්සයිඞ් සාන්ද්‍රණය මිලිනයකට කොටස් 7-10 පමණ ප‍්‍රමාණයකින් අඩු විය. ඉන් කොටස් 3ක් අඩු වූයේ ඉහත සඳහන් කළ ඇමරිකාවේ සිදු වූ ගොවිබිම් වනගත වීමෙනි. එහෙත් වර්තමාන ලෝකයේ කාබන් ඩයොක්සයිඞ් වායු සාන්ද්‍රණය එක් වසරකදී මිලියනයකට කොටස් 3කින් පමණ ඉහළ යයි.

මූලාශ‍්‍රය: Quaternary Science Reviews, DOI: 10.1016/j.quascirev.2018.12.004

No comments:

Post a Comment