Wednesday, May 30, 2018

දේශගුණ සාකච්ඡාවල අනාගතය කෙබඳු වේ ද?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 16.05.2018, පි. 11 (Vidusara)

http://www.vidusara.com/2018/05/16/feature4.html




පසුගිය සතියේ (2018 මැයි මස මුලදී), ජර්මනියේ බොන් නගරයේ දී අවසන් වූ දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ සාකච්ඡා වාරය එතරම් සාර්ථක වූවක්‌ නො වන බව වාර්තා වෙයි. පසුගිය වර්ෂයේ දී පැවැති දේශගුණ සමුළුවේ දී එකඟ වූ ආකාරයට පැරිස්‌ දේශගුණ ගිවිසුම පිළිබඳ ව රීති පොත (rule book) ලෙස පොදුවේ හඳුන්වනු ලබන ලේඛනය සකස්‌ කිරීම මේ වර්ෂයේ අවසානය වන විට සිදු කළ යුතු ව තිබේ. මෙය 2020 වර්ෂයේ සිට ක්‍රියාත්මක වීමට නියමිත ව ඇති පැරිස්‌ ගිවිසුම හා සම්බන්ධ පැරිස්‌ ගිවිසුමේ ඉලක්‌ක අත්පත් කරගැනීමට අවශ්‍ය රීති හා ක්‍රියාවලි පැහැදිලි කරන ලේඛනයක්‌ වනු ඇත.

එහෙත් මේ හා සම්බන්ධ ඇතැම් කරුණු පිළිබඳ ව එකඟතා ඇති නො වීම මේ සාකච්ඡා වාරයේ දී ද දැකිය හැකි වූ කරුණ විය. පැරිස්‌ දේශගුණ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සම්බන්ධ ව ඇති වෙනස්‌කම් විසඳාගැනීමට රටවල් අපොහොසත් වීම නිසා මෙවැනි තත්ත්වයක්‌ ඇති වී තිබෙයි. ඒ අනුව බොන් සාකච්ඡා වටය අවසන් වූයේ එළැඹෙන සැප්තැම්බර් මාසයේ තායිලන්තයේ බැංකොක්‌ නගරයේ දී තවත් අතිරේක සාකච්ඡා වටයක්‌ පවත්වා මේ පිළිබඳ යම් ප්‍රගතියක්‌ අත්පත් කරගැනීමේ අපේක්‌ෂාවෙනි. එමඟින් වර්ෂය අවසානයේ දී පෝලන්තයේ දී පැවැත්වෙන දේශගුණ සමුළුවේ දී අමාත්‍ය මට්‌ටමින් සාකච්ඡා කිරීමට හැකි කිසියම් වූ ලේඛනයක්‌ සකස්‌ කරගැනීමට හැකි වනු ඇතැයි අපේක්‌ෂා කරන බවක්‌ පෙනෙයි.

මේ සාකච්ඡා වටය ද ඉදිරියට යැම සඳහා බලපා ඇති ප්‍රධාන හේතුව වී ඇත්තේ සාමාන්‍යයෙන් ඇති වන ප්‍රධාන ගැටලු දෙක ම බව පෙනෙයි. එනම් හරිතාගාර වායු විමෝචන සීමා කිරීම පිළිබඳ ගැටලුව හා දේශගුණ අරමුදල් සම්පාදනය පිළිබඳ ගැටලුවයි. මේ පිළිබඳව දියුණු හා දියුණු වන රටවලට එකඟ වීමට නොහැකි වීම මෙසේ සාකච්ඡා තීරණ ගැනීමෙන් තොර ව අවසන් වීමට බලපා ඇති මූලික හේතුව වී ඇත. සමස්‌තයක්‌ ලෙස ගත හොත් මේ සාකච්ඡා වාරයේ ප්‍රගතිය ඉතා අඩු බව විචාරකයන්ගේ අදහසයි.

දේශගුණ අරමුදල් සම්පාදනය


දේශගුණ වෙනස්‌ වීමෙන් ආපදාවට පත් වන දියුණු වන රටවලට සහාය වීම සඳහා අරමුදලක්‌ සැපයීම, එකඟතා ඇති කරගැනීමට නොහැකි වූ එක්‌ අංශයකි. එයට මූලික හේතුව වූයේ 2020 වර්ෂය වන විට අපේක්‌ෂා කරන ඩොලර් බිලියන 100ක අරමුදල ලබා දෙන බවට තවමත් තහවුරු නො වීම ය. එක්‌ නිල අධ්‍යයනයකට අනුව 2014 වන විට ඩොලර් බිලියන 62ක මුදලක්‌ ලැබෙන බවට පොරොන්දු වී තිබෙයි. එහෙත් දියුණු වන රටවලට මෙයින් කොපමණ මුදලක්‌ කවර කලක දී ලැබෙන්නේ ද යන්න තහවුරු කරගැනීමට අවශ්‍ය වූ බව පෙනෙයි.

බොන් සාකච්ඡා වාරය ආරම්භයේ දී පමණ ඔක්‌ස්‌ෆෑම් ආයතනය මඟින් නිකුත් කරන ලද දේශගුණ මූල්‍ය ඡායා වාර්තාව (Climate Finance Shadow Report 2018 : Assessing Progress Towards the 100bn Commitment) නම් වාර්තාවකට අනුව 2015-16 කාලය වන විට ද ලැබී ඇති පොරොන්දු අනුව ලැබෙන්නට අවස්‌ථාව ඇත්තේ ඩොලර් බිලියන 48ක්‌ පමණ මුදලක්‌ පමණකි. එය පොරොන්දු වී ඇති මුදලින් අඩක්‌ පමණ ප්‍රමාණයකි. 2020 වර්ෂයට තවත් ඇත්තේ වසර දෙකක්‌ පමණක්‌ වන තත්ත්වයක්‌ ඇතුළත මෙය ප්‍රමාණවත් නො වන බව පැහැදිලි ය. මේ අතරින් ද දේශගුණ අරමුදල් ලෙස සැලකිය හැක්‌කේ ඩොලර් බිලියන 16-21 අතර ප්‍රමාණයක්‌ පමණක්‌ බව ද සඳහන් වෙයි. සෙසු මුදල් ආධාර යටතේ එයි.

එසේ ම මෙහි දී දියුණු වන රටවල් මේ ඩොලර් බිලියන 100ක මුදල පිළිබඳ ව වැඩි පැහැදිලිතාවක්‌ අපේක්‌ෂා කළ බව පෙනෙයි. මේ ආකාරයෙන් මුදල් ලැබීම පමා වීම වැදගත් වන්නේ එය දේශගුණ වෙනස්‌ වීම හා සමඟ බලපෑමට ලක්‌ වන ආර්ථික අතින් ශක්‌තිමත් නො වන රටවලට බලපාන නිසා ය. මෙය වැදගත් ය. විශේෂයෙන් දේශගුණ වෙනස්‌ වීමෙන් බරපතළ බලපෑමකට ලක්‌ වන දූපත් රාජ්‍ය මේ තත්ත්වයෙන් වඩාත් පීඩා විඳින රටවල් අතර වෙයි.

හරිතාගාර වායු සීමා කිරීම


හරිතාගාර වායු විමෝචන සීමා කිරීම පිළිබඳ කරුණ මේ සාකච්ඡා වාරයේ දී අවධානයට ලක්‌ වූ අනෙක්‌ කරුණ වෙයි. විශේෂයෙන් දියුණු හා දියුණු වන රටවල් සියල්ල ම මේ සම්බන්ධ ව යම් කැප වීමක්‌ සිදු කළ යුතු ව ඇති බව දැනට ඇති පිළිගැනීම ය. ඒ සඳහා ස්‌වෙච්ඡාවෙන් ඇති කරගත් ඉලක්‌ක මේ වන විට ඒ ඒ රටවල් විසින් ලබා දෙනු ලැබ තිබේ. කෙසේ වෙතත් මේ ප්‍රමාණය ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම ආරක්‌ෂsත යෑයි පිළිගන්නා සෙල්සියස්‌ අංශක දෙකේ මට්‌ටමට සීමා කිරීමට ප්‍රමාණවත් නො විය හැකි බව මේ වන විට පෙන්වා දී ඇත.

දියුණු වන රටවල හරිතාගාර වායු විමෝචන සම්බන්ධ ව වැඩි විනිවිදභාවයක්‌ තිබීම දියුණු රටවල් අපේක්‌ෂා කරන බව ද පෙනෙයි. එමඟින් අදාළ විමෝචන තහවුරු කරගත හැකි ක්‍රමවේදයක අවශ්‍යතාව පැහැදිලි කරගෙන ඇත. පැරිස්‌ සම්මුතිය අනුව පොරොන්දු වී ඇති විමෝචන සීමා කිරීම් සැබැවින් ම සිදු වීමට නම්, එවැනි නීති තිබිය යුතු බව දියුණු රටවල අදහස බව පෙනෙයි.

චීනය ඇතුළු ව තවත් දියුණු වන රටවල් කිහිපයක්‌ මේ වේගයෙන් අඩු සාකච්ඡා මාලාව නිසා 2015ට පෙර තිබූ තත්ත්වයට ආපසු යැමට පවා යෝජනා කළ බවක්‌ සඳහන් වේ. ඒ දියුණු රටවල් පමණක්‌ කාබන් විමෝචන සීමා කළ යුතු තත්ත්වයක්‌ පිළිබඳ යෝජනාවකට ය. කෙසේ වෙතත් වාසනාවකට මෙන් බොහෝ දියුණු වන රටවල් මේ සඳහා එතරම් කැමැත්තක්‌ දැක්‌වූයේ නැත. ඔවුන්ගේ යෝජනාව වූයේ ඇතැම් අංශ පිළිබඳ ව නැවතත් සාකච්ඡාවට ගැනීම පමණකි.

සමස්‌තයක්‌ ලෙස ගත හොත් මේ වර්ෂය අවසානයේ පැවැත්වෙන වාර්ෂික දේශගුණ සමුළුවට පෙර කිසියම් දැනෙන මට්‌ටමේ ප්‍රගතියක්‌ අත්පත් කරගැනීමට නම් තවත් බොහෝ දුර යා යුතු බව දේශගුණ සාකච්ඡාවලට සම්බන්ධ වූ අයගේ අදහස වෙයි. ඒ සඳහා වේගවත් ව කටයුතු කිරීම වැදගත් බව ද අවධාරණය කර ඇත.

මේ අනුව ලබන දෙසැම්බර් මාසයේ දී පෝලන්තයේ කතෝවිස්‌ නගරයේ දී පැවැත්වෙන දේශගුණ සමුළුව 2015 වර්ෂයේ දී පැරිස්‌ ගිවිසුම සම්මත කිරීමෙන් පසු ව පවත්වනු ලබන වඩාත් තීරණාත්මක වූ දේශගුණ සමුළුව විය හැකි බව ඇතැමුන් පෙන්වා දී තිබෙයි.

දේශගුණ සාකච්ඡා ඒ ආකාරයෙන් ඇදී යද්දී මෑත කාලයේ ලෝකයේ දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධ ව ඇති වූ වෙනස්‌කම් ද සලකා බැලීම වැදගත් ය.

ඇමෙරිකාවේ දේශගුණ විරෝධී කටයුතු තවදුරටත්


ඇමෙරිකාවේ ගගන විද්‍යා හා අභ්‍යවකාශ පරිපාලනය හෙවත් NASA ආයතනයේ හරිතාගාර වායු නිරීක්‌ෂණය පිළිබඳ ව ක්‍රියාත්මක වූ පද්ධතියක්‌ සඳහා අරමුදල් ලබා දීම නවතා දැමීමට ජනාධිපති ට්‍රම්ප් ගේ පාලනය තීරණය කර ඇති බව වාර්තා වූයේ ද පසුගිය සතියේ දී ය. ඒ අනුව කාබන් නිරීක්‌ෂණ පද්ධතිය (Carbon Monitoring System) නමින් හඳුන්වනු ලබන, වාර්ෂික ව ඩොලර් මිලියනයක්‌ පමණ මුදලක්‌ වැය කරමින් ලෝකයේ කාබන් ඩයොක්‌සයිඩ් වායු ප්‍රවාහය නිරීක්‌ෂණය කරනු ලබන ව්‍යාපෘතියේ කටයුතු නවතා දැමීමට නියමිත ය. මේ වන විට පැරිස්‌ ගිවිසුමෙන් ඉවත් වන බවට ප්‍රකාශයට පත් කර ඇති ඇමෙරිකාවේ මේ තීරණය එතරම් පුදුමයක්‌ ද නො වේ.

මෙමඟින් ඇති විය හැකි බලපෑම පිළිබඳ ව Science සඟරාව අදහස්‌ පළ කර ඇත. ඒ අනුව ඒ ඒ රටවල ජාතික මට්‌ටමේ වායු විමෝචන සීමා කිරීම් මැනීම සඳහා ඇති හැකියාව අඩාළ විය හැකි ය. කාබන් ඩයොක්‌සයිඩ් විමෝචන ප්‍රමාණය මැනීම වැදගත් ය. එය අතීතයේ සිට ම අභියෝගයක්‌ වූ කරුණකි. මේ සඳහා විවිධ රටවල් තම රටවල විමෝචන ලෙස ඉදිරිපත් කරන්නේ භාවිත කරන ඉන්ධන ප්‍රමාණය මත පදනම් වූ ගණනය කිරීමකි. මෙය එතරම් සාර්ථක නො වන අතර, එමඟින් අදාළ රටවලට වංචා කිරීමට ද හැකියාවක්‌ ඇති බව සැලකෙයි.

මේ නිසා චන්ද්‍රිකා හා ගුවන්යානා හෝ භාවිත කරමින් හරිතාගාර වායු විමෝචන මැනීම සඳහා වඩා නිවැරැදි ක්‍රම සකස්‌ කිරීම සඳහා ප්‍රයත්න ගෙන තිබේ. ඒ අතරින් NASA ආයතනයේ පෙර කී ක්‍රමවේදය වඩාත් දියුණු හා නිවැරැදි ක්‍රමයක්‌ සේ පිළිගනු ලැබෙන්නකි. මේ දත්ත යොදාගනිමින් දියුණු රටවල් විසින් දියුණු වන රටවල් අතරින් ඇතැම් රටවල, එනම් වේගයෙන් දියුණු වන ආර්ථිකයක්‌ සහිත රටවල විමෝචන වේගයෙන් ඉහළ ගොස්‌ ඇති බව පෙන්වා දෙනු ලැබ තිබෙයි.

මේ අරමුදල් සැපයීම අහෝසි වීම නිසා කාර්යක්‌ෂම මෙන් ම විනිවිදභාවයෙන් යුක්‌ත හරිතාගාර වායු විමෝචන නිරීක්‌ෂණ පද්ධතියක්‌ ලෝකයට අහිමි විය හැකි ය. මෙය පැරිස්‌ ගිවිසුමේ ප්‍රතිඵලවලට බලපෑමක්‌ ඇති කළ හැක්‌කක්‌ විය හැකි බව පෙන්වා දී ඇත. ඒ, හරිතාගාර වායු ප්‍රමාණය නිරීක්‌ෂණය කිරීම හා නිවැරැදි ව ගණනය කිරීම පැරිස්‌ ගිවිසුමේ සාර්ථකත්වයට වැදගත් වන නිසා ය. මෙහි දිගුකාලීන බලපෑම විද්‍යාඥයන්ගේ අවධානයට ලක්‌ ව ඇති කරුණකි. විශේෂයෙන් සැලකිලිමත් විද්‍යාඥයන්ගේ සංගමය (Union of Concerned Scientists) නම් සක්‍රිය ව කටයුතු කරන පිළිගත් කණ්‌ඩායම මේ සම්බන්ධ ව සිය අප්‍රසාදය පළ කර තිබිණි.

මේ අනුව ඉදිරියේ දී කාබන් විමෝචන ප්‍රමාණය නිරීක්‌ෂණය කිරීම පිළිබඳ වගකීම ද යුරෝපය වෙත පැවරෙනු ඇති බව සිතිය හැකි ය. මේ වන විට ද යුරෝපය සතු ව ඔවුන් ගේ ම වූ කාබන් නිරීක්‌ෂණය කරන චන්ද්‍රිකාවක්‌ ඇති අතර ඉදිරියේ දී තවත් චන්ද්‍රිකා දියත් වනු ඇත. විද්‍යාත්මක දැනුමේ මෙන් ම දේශගුණ සටනේ නායකත්වය ද යුරෝපය වෙත යොමු වෙමින් තිබෙයි.

Monday, May 21, 2018

බතල ශාකයේ ව්‍යාප්තිය පිළිබඳව අලුත් මතයක්‌

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 02.05.2018, පි. 11 (Vidusara)

http://www.vidusara.com/2018/05/02/feature3.html


බතල හෙවත් Ipomoea batatas යනු ලෝකයේ බෙහෙවින් ආහාරයට ගන්නා අල භෝග අතරින් එකක්‌ සේ සැලකේ. ඇමෙරිකා මහාද්වීපය නිජබිම් කරගත් බතල අද වන විට ආහාර භෝගයක්‌ ලෙස ලෝකයේ නිවර්තන හා උපනිවර්තන කලාපීය රටවල් රැසක ව්‍යාප්ත ව ඇත්තේ එහි ඇති මේ ආහාරමය වැදගත්කම නිසා ය.

බතල ඇමෙරිකාවෙන් පිටතට ව්‍යාප්ත වූ ආකාරය පිළිබඳ ව වඩා ප්‍රකට කතාවක්‌ මෙන් ම එතරම් ප්‍රකට නො වන කතාවක්‌ ද තිබෙයි. කොලොම්බස්‌ ඇමෙරිකාවට පැමිණෙන විට මධ්‍යම හා දකුණු ඇමෙරිකානු වැසියන් ආහාරය සඳහා බතල වගා කිරීම සිදු කර ඇත. එහි දී යුරෝපීයයන් විසින් මුලින් ම හඳුනාගන්නා ලද බතල ශාකය පසුව යුරෝපයට හා ආසියාවට හඳුන්වා දෙන ලද අතර ලෝකය පුරා ව්‍යාප්ත විය.

ඊට සියවස්‌ දෙකකට පමණ පසුව පොලිනීසියානු දූපත්, හවායි හා නවගිනියාව අතර පැසිෆික්‌ දූපත්වලින් බතල සොයාගැනීමෙන් මේ ශාකයේ ව්‍යාප්තිය පිළිබඳ ව තිබූ මතවාද ගැටලුකාරී තත්ත්වයකට පත් විය. එක්‌ මුල් ශාකයකින් ඇති වී මෙතරම් ප්‍රදේශයක එය ව්‍යාප්ත වූයේ කෙසේ ද යන්න ඇති වූ එක්‌ ගැටලුවකි. එසේ ම මෙසේ පැසිෆික්‌ දූපත්වලට බතල ශාක හඳුන්වා දීම මෙතෙක්‌ නො හඳුනන ජන කණ්‌ඩායමක්‌ විසින් සිදු කරන ලද්දේ ද යන්න තවත් ගැටලුවක්‌ විය. ඒ පිළිබඳ ව තිබූ තවත් අදහසක්‌ වූයේ පැසිෆික්‌ දූපත්වාසීන් සාගර තරණයේ දක්‌ෂයන් වූ බැවින් ඔවුන් දකුණු ඇමෙරිකාවට පැමිණි මුහුදු ගමනක දී බතල ලබාගත් බවයි. ඒ කොලොම්බස්‌ ඇමෙරිකාවට පැමිණීමට බොහෝ කාලයකට පෙර කාලයකට පෙර දී ය. මේ සඳහා ඉදිරිපත් කර ඇති එක්‌ සාධකයක්‌ වන්නේ පේරු රාජ්‍යයෙහි බතල සඳහා භාවිත වන එක්‌ නමක්‌ වන Cumara හා සමාන නාමයක්‌ වන Kumara යන්න නවසීලන්තයේ භාවිත වීමයි.

පුරාවිද්‍යාත්මක අධ්‍යයනවලින් හෙළි වී ඇති ආකාරයට අදින් වසර 700කට පමණ පෙර පවා පොලිනීසියානු දූපත්වල බතල තිබී ඇත. ඒ අනුව ඇතැම් පර්යේෂකයන් විශ්වාස කළ පරිදි බතල පොලිනීසියානු දූපත්වලට පැතිරෙන්නේ යුරෝපීය ආගමනයෙන් පසුව නො වේ. ඉන් පෙර කාලයක දී බතල එම ප්‍රදේශවලට පැමිණ තිබෙයි.

එමෙන් ම මේ දක්‌වා සිදු කර ඇති ප්‍රවේණික පර්යේෂණවලින් ද තත්ත්වය තවත් සංකීර්ණ කර තිබිණි. සමහර පර්යේෂණවලින් පෙන්වා දී තිබුණේ බතල එක්‌ වල් දර්ශකයකින් පමණක්‌ ආරම්භ වූ බව වන අතර, තවත් අධ්‍යයනවලින් එය ඉතිහාසයේ දෙවරක්‌ සිදු ව ඇති බවක්‌ පෙන්වා දී තිබිණි. එය මේ පිළිබඳව ඇති දැනුම තවදුරටත් ගැටලු සහගත කරන්නක්‌ විය. මේ දෙවැනි මතය අනුව, දකුණු ඇමෙරිකානුවන් විසින් ගෘහාශ්‍රිතකරණය කරන ලද බතල පොලිනීසියානුවන් විසින් ලබාගනු ලැබ තිබෙයි. යුරෝපීයයන් වෙත ලැබී ඇත්තේ මධ්‍යම ඇමෙරිකානුවන් විසින් ගෘහාශ්‍රිතකරණය කරන ලද දෙවැනි බතල ප්‍රභේදයකි.


පුළුල් ප්‍රවේණික අධ්‍යයනයක්‌


පැසිෆික්‌ දූපත්වල බතල ශාකයේ සම්භවය පිළිබඳව ඇති ගැටලුව නිරාකරණය කිරීම සඳහා පර්යේෂකයන් පිරිසක්‌ සිදු කර ඇති මෑතක දී ප්‍රකාශයට පත් කර ඇති අධ්‍යයනය බතල ශාකය පිළිබඳව DNA යොදාගනිමින් මෙතෙක්‌ සිදු කරන ලද වඩාත් ම පුළුල් අධ්‍යයනය වෙයි.

මේ අධ්‍යයනය සඳහා ලෝකයේ දැකිය හැකි ශාකාගාර හා කෞතුකාගාර ගණනාවක ඇතුළත් වන බතල ශාක මෙන් ම ඒවායේ වල් දර්ශවල නිදර්ශකවලින් ප්‍රවේණික ද්‍රව්‍ය ලබාගෙන ඒවායේ DNA විශ්ලේෂණය කිරීමට මේ පර්යේෂකයන් පිරිස සමත් ව ඇත. එහි දී මීට පෙර සිදු කරන ලද අධ්‍යයනවලට වඩා වැඩි ප්‍රවේණික ද්‍රව්‍ය ප්‍රමාණයක්‌ ලබාගැනීමට ද ඔවුන් සමත් වීම විශේෂත්වයකි. ඒ සඳහා අති නවීන DNA අනුක්‍රමය සැකසීමේ ක්‍රම යොදාගෙන තිබෙයි.

බතල ශාකයේ ප්‍රවේණික සම්භවය පිළිබඳව මේ අධ්‍යයනයෙන් පැහැදිලි වී ඇත්තේ ලෝකයේ දැකිය හැකි සියලු බතල ප්‍රභේදවල පූර්වජයා වන්නේ එක්‌ වල් ශාකයක්‌ බවයි. ළඟ ම ඥාතිත්වය දක්‌වන මේ ශාකය වන්නේ කැරිබියානු ප්‍රදේශවල වැවෙන Ipomoea trifida නම් ශාකයයි. මේ විද්‍යාඥයන්ට අනුව මේ ශාකයේ පුෂ්ප බතල ශාකයේ පුෂ්පවලට ද බොහෝ සේ සමාන වෙයි. එහෙත් Ipomoea trifida ශාකයේ දැකිය හැක්‌කේ කුඩා පැන්සලක්‌ වැනි අලයකි. එය ආහාරයට ගත හැකි අලයක්‌ නො වෙයි.

මේ පර්යේෂණයේ දී ගණන් බලා ඇති ආකාරයට බතල ශාකයේ පූර්වජයන් Ipomoea trifida ශාකයෙන් වෙන් වී ඇත්තේ අදින් වසර 800,000කට පමණ පෙර දී ය.

ඔවුන් මෙහි දී පැසිෆික්‌ දූපත්වලින් හමු වී ඇති බතල ශාකවල අතීතය පිළිබඳව ද සොයා බැලීමට උත්සාහ කර ඇත. නිදසුනක්‌ ලෙස සුප්‍රකට දේශ ගවේෂකයකු වූ කපිතාන් කුක්‌ට 18 වැනි සියවසේ දී පොලිනීසියාවෙන් හමු වූ බතල නිදර්ශක පිළිබඳව ප්‍රවේණික ද්‍රව්‍ය අධ්‍යයනයට ලක්‌ කර ඇත. ඒ ලන්ඩනයේ ස්‌වාභාවික විද්‍යා කෞතුකාගාරයේ තැන්පත් ව ඇති නිදර්ශකයක්‌ යොදාගනිමිනි.

මෙහි දී පෙනී ගොස්‌ ඇත්තේ පොලිනීසියානු බතල ප්‍රවේණික වශයෙන් වෙනස්‌ බවයි. සෙසු බතල ප්‍රභේදවලින් එම බතල වෙන් ව ගොස්‌ ඇත්තේ අදින් වසර 111,000කට පමණ පෙර දී ය. මෙහි ඇති වැදගත්කම වන්නේ එම කාල වකවානුව අනුව එවැනි කාලයක දී පොලිනීසියානු දූපත්වලට බතල රැගෙන ඒමට මිනිසුන්ට හැකියාවක්‌ නො වීම ය. මිනිසුන් නවගිනියාවට පැමිණියේ අදින් වසර 50,000කට පමණ පෙර වන අතර, පැසිෆික්‌ දූපත්වලට පැමිණියේ ඊටත් පසු කලක හෙවත් වඩාත් මෑත කාලයක දී ය.

මේ අනුව පැසිෆික්‌ දූපත්වලට බතල ගෙන ආවේ කිසිදු මිනිස්‌ කණ්‌ඩායමක්‌ වීමට ඇති අවස්‌ථාව බෙහෙවින් සීමිත බව පෙනෙයි. එම දූපත් වාසීන් හෝ ස්‌පාඤ්ඤ ජාතිකයන් හෝ ඇමෙරිකාවෙන් බතල ගෙන ආ බවට ඇති මතය නිවැරැදි නො වන බව මේ පර්යේෂකයන් ගේ අදහස වෙයි.

එහෙත් මෙහි දී පැන නැඟෙන ගැටලුව වන්නේ එතරම් කාලයකට ඉහත දී ඇමෙරිකාවේ සිට පොලිනීසියානු දූපත්වලට බතල රැගෙන ගියේ කවුරුන් ද යන්න ය. එය මිනිසුන් විසින් සිදු නො කළේ නම් එය සිදු වූයේ කෙසේ ද? මේ පිළිබඳව අපූරු පැහැදිලි කිරීමක්‌ මේ පර්යේෂකයන් ඉදිරිපත් කර ඇත. ඒ අනුව පක්‌ෂීන් හා සාගර රළ වැනි ස්‌වාභාවික සාධක මේ සඳහා හේතු වන්නට ඇති බව ඔවුන් යෝජනා කර තිබෙයි. මුහුදේ පාවීමෙන් මෙවැනි අල වර්ගවලට ඈත ප්‍රදේශවලට ළඟා විය හැකි ය. එසේ ම අල වර්ග වැනි ශාක කොටස්‌ පක්‌ෂීන් විසින් දුර ප්‍රදේශවලට ගෙන යනු ලැබීම දැකිය හැකි ය.

මෙවැනි තවත් ශාක වර්ග පිළිබඳව සාධක හෙළි වී තිබෙයි. හවායි දූපත්වල පිහිටා ඇති වියළි වනාන්තරවල පමණක්‌ දැකිය හැකි Hawaiian moonflower නම් ශාකයේ ළඟ ම ඥාතිත්වයක්‌ දැකිය හැකි ශාක දැකිය හැකි වන්නේ මෙක්‌සිකෝවේ ය. එම ශාකය එහි ඥාති ශාකවලින් වෙන් වූයේ අවම වශයෙන් අදින් වසර මිලියනයකට පමණ ඉහත දී බව විද්‍යාඥයන් ගේ මතය වෙයි.

කෙසේ වෙතත් මේ මතයට එකඟ නො වන පිරිස්‌ ද ඇති බව පෙනෙයි. නිදසුනක්‌ ලෙස ගත හොත්, ඇතැම් විද්‍යාඥයන් පවසන්නේ ස්‌පාඤ්ඤ ජාතිකයන් ඇමෙරිකාවට පැමිණි පසුව ඇති වූ වෙනස්‌ වීම් සමඟ බතල ශාකයේ විවිධත්වයෙන් විශාල ප්‍රමාණයක්‌ නැති ව යන්නට ඇති බව ය. පැසිෆික්‌ සාගරයේ දූපත්වල ගෙන ගිය බතලවලට සම්බන්ධ ප්‍රවේණික ද්‍රව්‍ය මේ නිසා ඒ කාලය වන විට අතුරුදන් ව තිබෙන්නට ඇත යන්න ඔවුන් ගේ අදහසයි.

කෙසේ වෙතත් උක්‌ත පර්යේෂණය අනුව බතල ශාකයේ මුල් ව්‍යාප්තිය සඳහා මිනිසුන් නො ව වෙනත් සාධක හේතු වී ඇති බව පැහැදිලි ය. ස්‌වාභාවික ක්‍රම මඟින් බතල ශාකය ඇමෙරිකාවේ සිට පැසිෆික්‌ දූපත්වලට ව්‍යාප්ත වී ඇත.

මූලාශ්‍රය : Current Biology, DOI: 10.1016/j.cub.2018.03.020


ශ්‍රී ලංකාවට බතල පැමිණියේ කවදා ද ?


බතල යනු ශ්‍රී ලංකාවේ ද බෙහෙවින් ම ජනප්‍රිය ආහාර භෝගයකි. එය අප රටේ කෙතරම් ජනප්‍රිය වී තිබේ ද යත් මෙය ඇමෙරිකා මහාද්වීපය නිජබිම කරගත් භෝගයක්‌ බව පිළිගැනීම පවා ඇතැමුන්ට අසීරු විය හැකි ය. අප දන්නා ආකාරයට බතල ශාකයට ඒ නම සැදුණු ආකාරය පිළිබඳව ද බොහෝ දෙනා දන්නා ජන කතාවක්‌ පවා තිබෙයි. බතල හා සම්බන්ධ බතලවත්ත වැනි ස්‌ථාන නාම ගණනාවකි. එහෙත් මේ බොහෝ ස්‌ථාන නාමවලට ඇත්තේ මෑතකාලීන ප්‍රභවයක්‌ බව පෙනේ.

1670 දශකයේ දී මෙරට විසූ පෝල් හර්මන් විසින් එකතු කළ ශාක එකතුවේ බතල ශාකය දැකිය නො හැකි වීම ද විශේෂත්වයකි. 1824 දී සිය A Catalogue of the Indigenous and Exotic Plants Growing in Ceylon කෘතියේ බතල ඇතුළත් කර ඇති ඇලෙක්‌සැන්ඩර් මුන්, එය වගා කරන භෝග බව සඳහන් කරයි. ඔහු සුදු, රතු, කොච්චි, පත්තෑ සහ කහ යනුවෙන් ප්‍රභේද පහක්‌ ගැන ද සඳහන් කර තිබෙයි. හෙන්රි ට්‍රයිමන් සිය Flora of Ceylon කෘතියේ තෙවැනි කාණ්‌ඩයේ (1890 දශකයේ මුද්‍රිත) සඳහන් කරන්නේ ද බතල ස්‌වාභාවික පරිසරයේ දැකිය නො හැකි බව හා අත්හැර දැමූ ගෙවතුවල දැකිය හැකි බව ය. මේ අනුව උදය රාජපක්‌ෂ සිය Traditional food plants in Sri Lanka කෘතියේ සඳහන් කරන පරිදි බතල යනු ඕලන්ද ජාතිකයන් විසින් මෙරටට ගෙන එන ලද ශාකයක්‌ යන්න නිවැරැදි බව පෙනෙයි.

එසේ ම මෙරට ශාක නාම පිළිබඳ ව සාහිත්‍ය කෘතිවල යෙදී ඇති නම් පිළිබඳ ව අධ්‍යයනයක්‌ සිදු කර ඇති තිස්‌මඩ නන්දාරාම හිමියන් ගේ උද්භිද නාම ප්‍රදීපිකා කෘතියේ සඳහන් පරිදි බතල යන නම ඇතුළත් කෘතිය එහිමියන්ට හමු ව ඇත්තේ 1920 දශකයට අයත් කාටර් ගේ ශබ්දකෝෂයේ පමණකි.

දොඩම් ශාකයේ සම්භවය හිමාලය පාමුල ප‍්‍රදේශයක සිදුව තිබේ

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 18.04.2018, පි. 11 (Vidusara)

Not available online


දොඩම් ගණයේ ශාක ලෝකයේ වඩාත් වවනු ලබන පලතුරු ශාක අතරට ඇතුළත් වේ. දෙහි, දොඩම් වර්ග, නාරන් වර්ග, ජම්බෝල ආදි වශයෙන් අපේ රටේද විවිධ Citrus ගණයට අයත් ශාක ගණනාවක් දැකිය හැකිය. මේවා අයත්වන්නේ Rutaceae කුලයටය. ලෝකය පුරා විවිධ රටවල Citrus ගණයේ ශාක වගා කරනු ලබන්නේ එ්වා රසවත් පලතුරු ශාක වන නිසාය. මෙම ශාකවලින් ලබාගන්නා පලතුරුවලට ඇති ඉල්ලූම නිසා ආර්ථික භෝග ලෙස මේවාට වැදගත්කමක් තිබේ.

Citrus ගණයේ ශාකවල සම්භවය පිළිබඳව විද්‍යාඥයින් අතර පැහැදිලි අවබෝධයක් නොතිබිණි. මේ පිළිබඳව ගත වු වසර සියයක පමණ කාලය ඇතුළත විවිධ මත පළ වී තිබිණි. එහෙත් සාමාන්‍යයෙන් විශ්වාස කරන ලද්දේ මේ ශාකවල සම්භවය අග්නිදිග ආසියාවේ සිදු වූ බවයි. මෑතකදී ප‍්‍රවේණික සාධක යොදාගනිමින් සිදුකර ඇති අධ්‍යයනයකින් මේ සම්බන්ධව වඩාත් පිළිගත හැකි ආකාරයේ මතයක් ඉදිරිපත් කර ඇත.

එමගින් හෙළි වන ආකාරයට මේ ශාකවල සම්භවය හිමාලය කඳුකරයේ ගිනිකොන දිග ප‍්‍රදේශයේ කඳුකරයට පහළ ප‍්‍රදේශ බව පෙන්වා දී ඇත. ක්‍සඑරමි Citrus ගණයේ ශාකවල DNA පිළිබඳව සිදුකරන ලද අධ්‍යයනයක් වන එයට අනුව මෙම ශාකවල සම්භවය සිදුව ඇත්තේ අදින් වර්ෂ මිලියන 8කට පමණ ඉහත කාලයකදීය. මේ අනුව Citrus ගණයේ ශාකවල පරිණාමීය ඉතිහාසය මෙම අධ්‍යයනයෙන් වඩා පැහැදිලි වී තිබෙයි.

ජෙනෝම පිළිබඳ අධ්‍යයනයක්

දොඩම් අයත් වන Citrus ගණයේ ශාකවල ස්වාභාවික ව්‍යාප්තිය දකුණු හා අග්නිදිග ආසියාවේ විශාල ප‍්‍රදේශයක් බව සාමාන්‍යයෙන් පිළිගත් කරුණක් බව පෙර සඳහන් කළෙමු. එහෙත් දොඩම්වල භූගෝලවිද්‍යාත්මක ආරම්භය, කාලය හා ව්‍යාප්ත වීම පිළිබඳ මෙතෙක් අපැහැදිලි වීම සඳහා බලපෑ එක් හේතුවක් වූයේ මේ ශාකවල ජෙනෝමය පිළිබඳව ඇති දැනුම අසම්පූර්ණ වීමයි. උක්ත අධ්‍යයනයේදී අවධානය යොමු කර ඇත්තේ එ් පිළිබඳවය.

මෙහිදී පර්යේෂකයන් සිදුකර ඇත්තේ Citrus ගණයේ ශාක 58ක් හා ඊට සමීපත්වයක් දක්වන Poncirus හා Severinia යන ශාක ගණවල ශාක 2ක ජෙනෝම විශ්ලේෂණය කිරීමයි. එ් සඳහා ඉන් පෙර කළ අධ්‍යයනවලින් හෙළි වී ඇති ජෙනෝම මෙන්ම මෙම පර්යේෂණය සඳහාම ජෙනෝම අධ්‍යයනය කිරිම සිදු කර ඇත. එ් අනුව එමගින් ස්වාභාවික Citrus ගණයේ විශේෂ 10ක් හඳුනාගැනීමට මෙම පර්යේෂකයන්ට හැකියාව ලැබී තිබෙයි.

මේ අනුව Citrus ගණයේ සම්භවය සිදු වූ ප‍්‍රදේශය පිළිබඳව හෙළි වී ඇති කරුණ වන්නේ එ්වා ඇසෑමයේ නැගෙනහිර ප‍්‍රදේශය, උතුරු මියන්මාරය හා යුනාන් ප‍්‍රාන්තයේ බටහිර ප‍්‍රදේශය ද ඇතුළත් භූගෝලීය කලාපයක සම්භවය වී ඇති බවයි. එහි ස්වාභාවිකව දැකිය හැකි වූ විශේෂවලින් නූතන Citrus ගණයේ ශාක ඇති වී තිබෙයි.

වසර මිලියන ගණනකට පෙර අපර මයෝසීන යුගයෙදී ඉහත සඳහන් ප‍්‍රදේශයේ දේශගුණය වෙනස් වී දුර්වල මෝසම් තත්ත්වයක් ඇති වීම හා වියළි කාලගුණයක් ඇති වීම සිදු වී ඇත. එම කාලයේදී මෙම ශාක නව විශේෂ හටගැනීමකට හෙවත් විශේෂ පරිණාමයකට (speciation) ලක්ව ඇත. එසේම මේ විශේෂ අදාළ සම්භවය සිදු වූ ප‍්‍රදේශයෙන් පිටත ප‍්‍රදේශවලටද ව්‍යාප්ත වී ඇත. එ් අනුව අග්නිදිග ආසියාව පුරා මෙම ශාක පැතිරගොස් තිබෙයි. එතැනින් මෙම ශාක ලෝකය පුරා ව්‍යාප්ත වී ඇත. අදින් වසර මිලියන 4කට පමණ පෙර මෙම ශාක ඔස්ටේ‍්‍රලියාව වෙත ව්‍යාප්ත වී ඇත. මෙසේ ස්වාභාවිකව ව්‍යාප්ත වූ ශාක මෙන්ම පසුකලක මිනිසුන් විසින් ගෘහාශ‍්‍රිතකරණය කිරීම නිසාද Citrus ගණයේ ශාකවල ප‍්‍රභේද ගණනාවක් අද වන විට දැකිය හැකි වෙයි.

මේ අනුව අප අද දකින Citrus ගණයේ ශාක වසර මිලියන ගණනාවක පරිණාමයකින් හා ඉන් පසුව එම ශාක අතරින් සමහරක් යොදාගනිමින් මිනිසුන් විසින් වසර දහස් ගණනාවක් තිස්සේ සිදුකරන ලද අභිජනන ක‍්‍රියාවලියේ ප‍්‍රතිඵලය බව පැහැදිලිය.

සාමාන්‍යයෙන් Citrus ගණයේ ශාක පිළිබඳව ලැබී ඇති පොසිල සාධක අල්පය. එහෙත් නිරිත දිග චීනයේ යූනෑන් හි ලින්කැන් (Lincang) ප‍්‍රදේශයෙන් ලැබී ඇති පොසිලගත වූ ක්‍සඑරමි Citrus linczangensis ශාකයේ පත‍්‍රයකට ලබාදී ඇති කාල වකවානුව වන්නේ එය වසර මිලියන 8ක් පමණ පැරණි බවයි. එම දින වකවානුව මෙම අධ්‍යයනයේදී හෙළි වන Citrus ගණයේ ශාකවල සම්භවය පිළිබඳ කාලවකවානුව හා සමාන වීම මෙහි ඇති විශේෂත්වයකි.

ප‍්‍රායෝගික භාවිත පිළිබඳ අපේක්ෂා

පරිණාමීය ඉතිහාසය පිළිබඳව සිදුකරන ලද මෙම හෙළිදරව් වීම හැරුණු විට මේ පර්යේෂණයෙන් ලැබෙන වඩාත් ප‍්‍රායෝගික ප‍්‍රතිලාභද ඇති බව උක්ත පර්යේෂකයන් විසින් පෙන්වා දී ඇත. එයට හේතුව වන්නේ Citrus ගණයේ ශාකවල ජෙනෝමය පිළිබඳව වැඩි විස්තර ලැබී ඇති නිසාය.

මේ අනුව මෙම ශාකවලට වැළඳෙන රෝගවලට හා පළිබෝධකයන්ට ඔරොත්තු දිය හැකි ප‍්‍රභේද සොයාගැනීම සඳහා මෙමගින් යම් අවස්ථාවක් ලැබෙයි. විශේෂයෙන් මේ වන විටද බරපතළ හානිකර තත්ත්ව ඇති කර තිබෙන ඇතැම් රෝගවලට පිළියම් ලෙස යොදාගත හැකි ප‍්‍රතිරෝධී ලක්ෂණ දරණ ජානමය තත්ත්ව සහිත ශාක මෙහිදී හඳුනාගත හැකිය. එ්වා යොදා ගනිමින් නව Citrus ශාක ප‍්‍රභේද හා විශේෂ වුවද බිහි කිරීමට අවස්ථාවක් ලැබිය හැකිය. මෙය Citrus ශාක පිළිබඳව හා එ් මත පදනම්ව ඇති පලතුරු කර්මාන්තයට ඉතා වැදගත් වනු ඇත. මේ වන විටද මෙවැනි ඇතැම් රෝග නිසා Citrus ශාක වගාවට සැලකිය යුතු තරම් තර්ජනයක් ඇති වී තිබෙන බැවින් මෙම ප‍්‍රායෝගික භාවිතය ඉතා ඵලදායී වනු ඇත.

මූලාශ‍්‍රය: Nature, DOI: 10.1038/nature25447


Citrus ගණයේ ශාකවල ආරම්භය සිදු වු ප‍්‍රදේශය හා අතීත ව්‍යාප්තිය සිදු වූ මාර්ග දැක්වෙන රූපයක්. තරු ලකුණින් දැක්වෙන්නේ Citrus linczangensis විශේෂයේ පොසිල ශාක පත‍්‍රයක් හමු වූ ස්ථානය පහත සඳහන් සිතියමෙහි දැක්වෙයි.

Wednesday, May 9, 2018

බලශක්‌තිය පිරිසිදු කිරීමට වසර 400ක්‌ යන හැඩ

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 04.04.2018, පි. 11 (Vidusara)

http://www.vidusara.com/2018/04/04/feature4.html



අනාගතයේ දී ඇති විය හැකි බරපතළ ආකාරයේ දේශගුණ වෙනස්‌ වීමක්‌ වළක්‌වාගැනීමට නම් ලෝකයේ ඉන්ධන භාවිතයේ කැපී පෙනෙන වෙනසක්‌ ඇති කළ යුතු බව පැහැදිලි කරුණකි. නිදසුනක්‌ ලෙස ගත හොත් හරිතාගාර වායු අධික ලෙස විමෝචනය කිරීමට හේතු වන ගල්අඟුරු, ඛනිජතෙල් ආදි ෙෆාසිල ඉන්ධන දහනය කිරීම වෙනුවට පිරිසිදු බලශක්‌තිය වෙත යොමු වීමට සිදු වෙයි. මෙය බලශක්‌ති ක්‌ෂේත්‍රයේ කිසියම් ආකාරයක විප්ලවයක්‌ බඳු තත්ත්වයකි.

පිරිසිදු බලශක්‌තිය වෙත යොමු වීමේ මේ අවශ්‍යතාව පිළිබඳ ව කලක පටන් පෙන්වා දී ඇති අතර, ලෝකයේ රටවල් ගණනාවක්‌ මේ ගැන අවධානය යොමු කර ඇත. මේ නිසා ඒ රටවල් හා රටවල් කණ්‌ඩායම් විවිධ කාල වකවානු සඳහා පුනර්ජනනය කළ හැකි බලශක්‌තිය භාවිතය පිළිබඳ ඉලක්‌ක සකස්‌ කර එය ප්‍රවර්ධනය කිරීම සඳහා ද කටයුතු කර තිබෙයි. එසේ ම දේශගුණ වෙනස්‌ වීම පාලනය පිළිබඳව ලෝකය සතු බලාපොරොත්තුව වන පැරිස්‌ දේශගුණ ගිවිසුම යටතේ ඒ ඒ රටවල් විසින් ප්‍රකාශිත ජාතිකමය නිර්ණය කළ දායකත්වවල ද පිරිසිදු බලශක්‌ති ඉලක්‌ක ඇතුළත් වෙයි.

කෙසේ වෙතත් පිරිසිදු බලශක්‌තිය වෙත මේ වන විට අප ගමන් කරන වේගය ප්‍රමාණවත් ද යන්න සැක සහිත ය. මේ බව පෙන්වා දෙන අධ්‍යයනයකින් හෙළි වන කරුණු පිළිබඳ පුවතක්‌ පසුගිය දා වාර්තා වී තිබිණි.

වර්තමාන තත්ත්වය ප්‍රමාණවත් නැහැ


දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ අන්තර්රාජ්‍ය මණ්‌ඩලයට අනුව ලෝකයේ සෙල්සියස්‌ අංශක දෙකක උෂ්ණත්වය ඉහළ යැමක්‌ ඇති වීම වැළැක්‌වීමට නම් 2050 වන විට ලෝකයේ විමෝචනය වන හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය 2010 පැවැති මට්‌ටමින් 40%ත් 70%ත් අතර පමණ ප්‍රමාණයකින් අඩු කළ යුතු ය. මෙහි උපරිම අගය පිළිබඳව සිතීම වඩා තාර්කික ය. එහෙත් කාබන් ඩයොක්‌සයිඩ් වායු විමෝචන ප්‍රමාණය වර්ෂයෙන් වර්ෂය ඉහළ යයි. නිදසුනක්‌ ලෙස ගත හොත්, 2017 වර්ෂයේ කාබන් ඩයොක්‌සයිඩ් වායු විමෝචන ප්‍රමාණය 2%කින් පමණ ඉහළ ගිය බව වාර්තා විය.

එසේ ම ඉදිරි දශක කිහිපයක කාලය ඇතුළත දී ලෝකයේ බලශක්‌ති පරිභෝජනය 30%ක්‌ පමණ ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි අපේක්‌ෂීත ය. එයට එක්‌ හේතුවක්‌ වන්නේ දියුණු වන රටවල සිදුවන ආර්ථික වර්ධනයයි. මේ අනුව බලශක්‌ති වර්ධනය සමඟ හරිතාගාර වායු විමෝචන කපා හැරීමට නම් 2050 වර්ෂය වන විට ටෙරාවොට්‌ 20ක පිරිසිදු බලශක්‌ති ධාරිතාවක්‌ දියුණු කළ යුතු වේ. මේ ප්‍රමාණය වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, න්‍යෂ්ටික බලාගාර 30,000ක්‌ ඉදි කිරීමට සමාන ය. එසේ නැත හොත් වොට්‌ 250 සූර්ය බලශක්‌ති පැනල බිලියන 120ක්‌ නිෂ්පාදනය කර ස්‌ථාපිත කිරීම හා සමාන ය.

ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 2කට වඩා ඉහළ යැම වළක්‌වාගැනීමට නම් ලෝකයට කාබන් විමෝචන නොමැති බලශක්‌තිය කෙතරම් අවශ්‍ය ද යන්න ගැන ගණනය කිරීමක්‌ සිදු කර තිබෙයි. ඒ අනුව එවැනි බලශක්‌තිය මෙගවොට්‌ 1,100ක්‌ බැගින් එක්‌ දිනකට එකතු විය යුතු බව ඇමෙරිකාවේ කානගි ආයතනයේ කෙන් කල්දේරා ප්‍රමුඛ විද්‍යාඥයන් පිරිසක්‌ විසින් 2003 වර්ෂයේ දී ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයන වාර්තාවකින් පෙන්වා දී තිබෙයි. එසේ සිදු කළ හොත් හරිතාගාර වායු විමෝචන වර්ධනය පාලනය කරගනිමින් දේශගුණ වෙනස්‌ වීමේ භයානක ප්‍රතිඵල වළක්‌වාගත හැකි මට්‌ටමක ලෝකයේ උෂ්ණත්වය පවත්වාගත හැකි ය.

අද වන විට මේ ආකාරයෙන් ලෝකයේ බලශක්‌ති පද්ධතියට එකතු වන පිරිසිදු බලශක්‌තිය පිළිබඳව යළි ගණනය කිරීමක්‌ පිළිබඳව පසුගිය දා වාර්තා විය. එය 2006-2015 අතර කාලයේ දී නිෂ්පාදනය කළ පිරිසිදු බලශක්‌තිය ප්‍රමාණය අනුව සිදු කරන ලද ගණනය කිරීමකි. ඒ අනුව ලෝකයේ බලශක්‌ති පද්ධතියට දිනකට අලුතින් එකතු වන්නේ මෙගවොට්‌ 151ක්‌ තරම් ප්‍රමාණයක්‌ පමණකි. එසේ නම් ලෝකය මේ වේගයෙන් ඉදිරියට කටයුතු කළ හොත්, ලෝක බලශක්‌ති පද්ධතිය හරිතාගාර විමෝචනවලින් තොර පිරිසිදු බලශක්‌තියට හැරවීම සඳහා ගත වන කාලය වසර 363ක්‌ තරම් කාලයක්‌ විය හැකි ය.

ඉහත දැක්‌වූ පරිදි හරිතාගාර වායු විමෝචන කපා හැරීම දශක තුනක්‌ ඇතුළත ඇති කරගත යුතු විය. එහෙත් දැන් පෙනෙන වසර 363ක්‌ හෙවත් ශතවර්ෂ හතරක්‌ යනු බරපතළ ප්‍රතිවිපාක ඇති විය හැකි තරම් කාලයකි. මේ කාලයේ දී උෂ්ණත්වය ඉහළ යැම, අයිස්‌ කඳු දිය වීම, මුහුදු මට්‌ටම ඉහළ යැම, තාප ප්‍රවාහ වැනි දේශගුණ වෙනස්‌ වීමේ බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට ලෝකයට සිදු විය හැකි ය.

පිරිසිදු බලශක්‌තියේ ප්‍රමාදය හා අනාගතය


වසර ගණනාවක්‌ තිස්‌සේ සිදු කරන ලද අනතුරු හැඟවීම්වලින්, ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳ විවාදවලින් හා පිරිසිදු බලශක්‌තිය ප්‍රවර්ධනය කිරීම සඳහා විවිධ සංවිධාන හා කණ්‌ඩායම් විසින් සිදු කරන ලද ව්‍යාපාරවලින් අනතුරු ව පවා ලෝකය ඒ පිළිබඳව ප්‍රමාණවත් තරමින් කටයුතු කර නොමැති වීම ය. එය දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව කටයුතු කිරීමේ දී අප දකින සාමාන්‍ය උදාසීන ප්‍රතිචාරයට සාධකයක්‌ ලෙස ද ගත හැකි ය.

මෙසේ වීමට බලපාන හේතු අතර පිරිසිදු බලශක්‌ති අංශයට ප්‍රමාණවත් තරම් මූල්‍ය සහායයක්‌ නො ලැබීම, රාජ්‍ය ප්‍රතිපත්තිවල ප්‍රබල වෙනසක්‌ සිදු නො වීම හා තාක්‌ෂණයේ විශාල පෙරළිකාර වර්ධනයක්‌ සිදු නො වීම වැනි කරුණු වෙයි.

නිදසුනක්‌ ලෙස ඇමෙරිකාව පිළිබඳව සලකා බැලිය හැකි ය. එරට වාර්ෂික ව ගිගාවොට්‌ 10ක්‌ පමණ නව බලශක්‌ති සැපයුමක්‌ පද්ධතියට එක්‌ කරයි. මෙයට ස්‌වාභාවික වායු, සූර්ය හා සුළං බලය ද අයත් වෙයි. එහෙත් එම වේගයෙන් ගිය ද, පවත්නා විදුලි පද්ධතිය පිරිසිදු බලශක්‌තිය මඟින් ප්‍රතිස්‌ථානය කිරීම සඳහා තවත් වර්ෂ සියයක පමණ කාලයක්‌ ගත විය හැකි බව පෙන්වා දී ඇත. එසේ නම් තවත් දශක කිහිපයක කාලයක්‌ ඇතුළත සිදු විය හැකි වෙනස්‌වීමක්‌ ගැන අපේක්‌ෂා කිරීම අපහසු බව පෙනෙයි.

හරිතාගාර වායු විමෝචන කපා හැරීම සම්බන්ධව ඇති අනෙක්‌ ගැටලුව වන්නේ එමඟින් ආර්ථිකයට හා ආර්ථික වර්ධනයට බලපෑමක්‌ ඇති විය හැකි සේ සැලකීමයි. එහෙත් මෙහි දී අමතක කරනු ලබන වැදගත් කරුණ වන්නේ දේශගුණ වෙනස්‌ වීම නො සලකා හැරීම මඟින් අනාගතයේ දී ආර්ථිකයට සිදු විය හැකි හානිය ඊට වඩා විශාල විය හැකි බවයි. එක්‌ ගණන් බැලීමකට අනුව ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම සම්බන්ධව කිසිවක්‌ සිදු නො කළ හොත්, ලෝකයේ දළ ජාතික නිෂ්පාදනය මේ ශතවර්ෂය අවසන් වන විට 20%කින් පමණ අඩු වීමේ අවදානමක්‌ පවතී.

ජනතාව අතර ද තවමත් දේශගුණ වෙනස්‌ වීමේ බරපතළ ප්‍රතිවිපාක පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයක්‌ නොමැති වීම ද මෙවැති තත්ත්ව ඇති වෙයි. අනාගතයේ දී දේශගුණ වෙනස්‌ වීමේ බරපතළ බලපෑම් දැනෙන විට ජනතාව අතර ඇති අදහස්‌ හා ආකල්ප ද වෙනස්‌ විය හැකි බව දක්‌වා තිබේ. එවිට බලශක්‌ති භාවිතය මෙන් ම උත්පාදනය හා සම්බන්ධව ද යම් යම් වෙනස්‌කම් සිදු කිරීමට හැකියාවක්‌ ලැබෙන බව හා එමඟින් දැනට වඩා වේගවත් වෙනසක්‌ සිදු කළ හැකි බව ඇතැම් විද්‍යාඥයන් ගේ අදහස වෙයි.

විසඳුම කොතැන ද?


එහෙත් එය ප්‍රමාද වැඩි විය හැකි ය. කාබන් ඩයොක්‌සයිඩ් වායුව එහි සම්පූර්ණ උණුසුම් වීමේ බලපෑම ඇති කිරීම ආරම්භ කරන්නේ විමෝචනය වී වසර 10ක දී පමණ ය. එසේ ම එම වායුව වසර දහස්‌ ගණනාවක්‌ වායුගෝලයේ පවතිනු ඇත. අප අනතුරුදායක තත්ත්වයකට පිවිසිය පසුව කාබන් ඩයොක්‌සයිඩ් වායු විමෝචන සීමා කළ පමණින් එහි බලපෑම් නැති නො වේ. අපට කළ හැක්‌කේ එම බලපෑම් තවදුරටත් නරක අතට හැරීම වළක්‌වාගැනීම පමණකි. මේ අනුව දේශගුණ වෙනස්‌ වීමේ අහිතකර බලපෑම් තවත් වසර ගණනාවක්‌ - ඇතැම් විට සහස්‍රක ගණනාවක්‌ - තිස්‌සේ පැවතිය හැකි ය. එසේ නො වීමට නම් හරිතාගාර වායු විශාල ප්‍රමාණවලින් වායුගෝලයෙන් ඉවත් කිරීමට හැකි තාක්‌ෂණයක්‌ සොයාගත යුතු වෙයි. නො එසේ නම් සාර්ථක තත්ත්වයේ භූ ඉංජිනේරු ක්‍රම සොයාගත යුතු ය.

මේ අනුව බලශක්‌ති ක්‌ෂේත්‍රයේ වෙනසක්‌ ඇති කිරීම සඳහා වඩා වැදගත් වන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස්‌ කිරීම බව මේ පිළිබඳව අදහස්‌ දක්‌වන බොහෝ විද්‍යාඥයන් හා ආර්ථික විද්‍යාඥයන් ගේ අදහස ය. මෙහි දී බොහෝ විට යෝජනා වන කරුණ වන්නේ කාබන් සඳහා මිලක්‌ නියම කිරීම ය. එය බද්දක්‌ හෝ කාබන් වෙළෙඳාම හෝ විය හැකි ය. එමඟින් ෙෆාසිල ඉන්ධනවල මිල ඉහළ යැමත් සමඟ පිරිසිදු බලශක්‌තිය ප්‍රවර්ධනය සඳහා වඩාත් යෝග්‍ය අවස්‌ථාවක්‌ ලැබේ. ඒ සඳහා කාබන් ටොන් එකකට ගෙවනු ලබන මිල අද පවත්නා ඩොලර් 15කට අඩු මට්‌ටමේ සිට ඩොලර් 40ක්‌ පමණ තෙක්‌ ඉහළ යා යුතු බව ආර්ථික විද්‍යාඥයන් ගේ අදහස වෙයි. එවිට ෆොසිල ඉන්ධනවලට වඩා පුනර්ජනනය කළ හැකි ඉන්ධනවලට අවස්‌ථාවක්‌ ලැබෙයි. එහෙත් එවැනි මිලක්‌ කාබන් සඳහා අනුමත වේ ද යන්න මෙහි ඇති සැක සහිත කරුණ ය.

අනෙක්‌ අතට කාබන් ඩයොක්‌සයිඩ් විමෝචනය කරන බලශක්‌තියට අදාළ අංශ අතර විදුලි බලය එක්‌ අංශයක්‌ පමණක්‌ බව ද සැලකිය යුතු ය. හරිතාගාර වායු විමෝචනය කරන තවත් අංශ තිබේ.

මේ කරුණු අනුව හෙළි වන තත්ත්වය කෙතරම් කණගාටුදායක වුව ද ලෝකය මේ ගැටලුව සඳහා විසඳුමක්‌ සෙවිය යුත්තේ ද මේ මාර්ගය තුළින් පමණකි. මේ ගැටලුවෙන් මිදීමට වෙනත් මඟක්‌ නොමැත. ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම සෙල්සියස්‌ අංශක දෙකේ සීමාවේ නවත්වාගැනීමට නො හැකි වුව හොත් අංශක 4 සීමාවේ හෝ නවත්වාගැනීමට හෝ උත්සාහයක්‌ තිබිය යුතු ය. අප කළ යුතු සියලු දේ කළ යුතු ය, එය කඩිනමින් කළ යුතු ය යන්න මේ විද්‍යාඥයන් පිරිස අවසන් වශයෙන් ලබා දෙන පණිවිඩයයි.

මූලාශ්‍රය: www.technologyreview.com

http://www.vidusara.com/2018/04/04/feature4.html

Wednesday, April 4, 2018

සමාජ ජාල හා අරගල

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 14.03.2018, පි. 14 (Vidusara)

http://www.vidusara.com/2018/03/14/feature4.html (article 1)





සරලව පවසන්නේ නම් සමාජ ජාල ආරම්භ වන්නේ පුද්ගලයන්ට සිය මිතුරන් හා සම්බන්ධතා පැවැත්වීම සඳහා වූ මෙවලමක්‌ ලෙස ය. එහෙත් එය මේ වන විට ඉන් එපිටට ගමන් කර තිබේ. එය අද වන විට තොරතුරු ලබා දෙන මෙවලමක්‌ බවට පත් ව ඇත. විශේෂයෙන් ෆේස්‌බුක්‌ සෙවුම් පිළිබඳ ව සැලකූ විට මෙය පැහැදිලි ය. අතීතයේ දී සෙවුම් යන්ත්‍රවලින් කළ කාර්යයෙන් කොටසක්‌ දැන් ෆේස්‌බුක්‌ වෙබ් අඩවිය වැනි සමාජ ජාල තුළ සිදු කෙරෙන බව පෙනේ. කලකට පෙර ෆේස්‌බුක්‌ වෙබ් අඩවිය භාවිත වූයේ පුද්ගලයන් පිළිබඳව සෙවුම් කිරීම සඳහා වුව ද මේ වන විට විවිධ තොරතුරු සෙවීම සඳහා ද එම වෙබ් අඩවිය භාවිත කෙරෙන බව පැහැදිලි ය. එක්‌ වාර්තාවකට අනුව දිනකට ෆේස්‌බුක්‌ වෙබ් අඩවියේ සිදු වන සෙවුම් ප්‍රමාණය බිලියන දෙකක්‌ ඉක්‌මවා ගියේ 2016 දී ය.

මේ අනුව අතීතයේ දී අප පුවත් සොයා යා යුතු ව තිබුණ ද දැන් සමාජ ජාල හරහා පුවත් අප සොයා එමින් තිබේ. ගැටලුව ඇත්තේ මේ පුවත් කෙතරම් විශ්වසනීය ද යන්න පිළිබඳව ය. සමාජ ජාල මඟින් විවිධ පාර්ශ්වවලට තමන් ගේ සැඟවුණු අවශ්‍යතාවලට අනුව තොරතුරු දැක්‌වීමට හැකියාව තිබෙයි. අසත්‍ය තොරතුරු, විකෘති කරන ලද තොරතුරු ආදිය යොදාගනිමින් සමාජය තුළ යම් කැළඹීමක්‌ නිර්මාණය කිරීමට සමාජ ජාල හරහා හැකියාව තිබේ. එවැන්නකින් සමාජයේ යම් කොටසක්‌ නොමඟ යැමට ඇති අවස්‌ථාව ඉහළ ය.

සමාජ ජාල හා සමාජයේ ඇති වන කැළඹීම් හා අරගල අතර ඇති සම්බන්ධය පිළිබඳව මේ මොහොතේ අපේ රටේ සාකච්ඡාවක්‌ ඇති වී තිබෙයි. ඒ පසුගිය දා ඇති වූ අවාසනාවන්ත සිදුවීම් සමඟ ය. ඒ සඳහා ෆේස්‌බුක්‌ වැනි සමාජ ජාල යම් ප්‍රමාණයකට දායක වූ බවක්‌ සාකච්ඡා වූ නිසා අතර ඒ නිසා ෆේස්‌බුක්‌, වයිබර්, වට්‌ස්‌ඇප් ඇතුළු සමාජ ජාල කිහිපයක්‌ තාවකාලික ව අවහිර කිරීමට රජය කටයුතු කළේ ය.

මේ සම්බන්ධ ව ලෝකයේ ඇති අත්දැකීම් මීට එතරම් වෙනස්‌ නො වේ. එහි අරමුණ වන්නේ සමාජ ජාල යොදාගනිමින් විරෝධතාකරුවන් සංවිධානය වීම වැළැක්‌වීම මෙන් ම අසත්‍ය හා නොමඟ යවනසුලු තොරතුරු ප්‍රචාරය වීම වැළැක්‌වීම ය. එමඟින් අදාළ අරගලවලින් විය හැකි හානිය වළක්‌වාගැනීම අරමුණ වෙයි.

ගැටුම් සහගත අවස්‌ථාවල දී සමාජ ජාලවල ක්‍රියාකාරිත්වය කෙසේ විය යුතු ද යන්න පිළිබඳ ව අවධානය යොමු වූ අවස්‌ථාවක්‌ ලෙස බ්‍රිතාන්‍යයේ 2011 වර්ෂයේ ඇති වූ ගැටුම්කාරී සිදුවීම් දැක්‌විය හැකි ය. විශේෂයෙන් ඒ අවස්‌ථාවේ සමාජ ජාල අවහිර කිරීමට උත්සාහයක්‌ ගැනීම නිසා ඒ පිළිබඳ ව සංවාදයක්‌ ඇති විය. සෙසු රටවලට එවැනි අවහිර කිරීම් ගැන දෝෂාරෝපණය කිරීමට කටයුතු කරන අතර එරට එසේ කිරීම එවැනි එක්‌ විවේචනයකි.

අරාබි වසන්තය මේ ආකාරයෙන් සමාජ ජාල ද යොදාගනිමින් ඇති කරන්නට යෙදුණු සමාජ අරගල අතර මුල් තැනක්‌ ගනියි. මෙහි දී රටවල් ගණනාවක පාලකයන්ට එරෙහි ව මෙන් ම පාලකයන්ට පක්‌ෂ ව පැවැති උද්ඝෝෂණ සංවිධානය කිරීම සඳහා සමාජ මාධ්‍ය යොදාගැනීම දැකිය හැකි විය. එසේ ම අදාළ සිදුවීම් පිsළිබඳ තොරතුරු සන්නිවේදනය කිරීමට මෙන් ම එම රටවල් තුළ මෙන් ම ජගත් මට්‌ටමෙන් සන්නිවේදනය කිරීම සඳහා ද සමාජ ජාල යොදාගන්නා ලදි. මෙහි දී සමාජ ජාල සන්නිවේදනය දැඩි දායකත්වයක්‌ ලබා දුන් බව නො රහසකි. එසේ ම ඇතැම් රටවල් තත්ත්වය පාලනය කිරීම සඳහා සමාජ ජාල අවහිර කිරීම හා අන්තර්ජාලයට ද බාධා කිරීම දැකිය හැකි විය.

සමාජ ජාල අවහිර කළ අවස්‌ථා


සමාජමය අරගල ඇති වූ අවස්‌ථාවල දී සමාජ ජාල අවහිර කිරීම් විටින් විට දැකිය හැකි විය. නිදසුනක්‌ ලෙස ගත හොත් ඉහත දැක්‌වූ අරාබි වසන්තය අවස්‌ථාව දැක්‌විය හැකි ය. එසේ ම ඉන්පසුව ඇති වූ විවිධ මට්‌ටම්වල අරගල හා විරෝධතාවල දී මෙසේ සමාජ ජාල අවහිර කිරීම සාමාන්‍ය සිදුවීමක්‌ බවට පත් ව තිබේ.

තායිලන්තයේ 2014 වර්ෂයේ දී ඇති වූ හමුදා කුමන්ත්‍රණය අවස්‌ථාවේ දී ඊට එරෙහි ව හටගත් විරෝධතා පාලනය කිරීම සඳහා ෆේස්‌බුක්‌ සමාජ ජාලය අවහිර කිරීමට හමුදා පාලනය විසින් පියවර ගන්නා ලදි.

බංගලාදේශයේ 2015 වර්ෂයේ දී ඇති වූ විරෝධතා හමුවේ කෙටි කාලයකට සමාජ ජාල අවහිර කිරීම සඳහා එරට රජය කටයුතු කර තිබිණි. එරට ඊට පෙර ද එවැනි පියවරක්‌ ගෙන තිබිණි.

ඉන්දියාවේ කාශ්මීරයේ ඇති වූ අර්බුදකාරී අවස්‌ථාවක දී සමාජ ජාල හා වෙනත් වෙබ් අඩවි 22ක්‌ පමණ මාසයක කාලයක්‌ තහනම් කිරීමට එහි බලධාරීන් කටයුතු කළේ 2017 වර්ෂයේ දී පමණ කාලයක ය. එයට හේතු වූයේ ඇති වූ ගැටුමක්‌ හා සම්බන්ධ වීඩියෝ දර්ශන සමාජ ජාල ඔස්‌සේ සංසරණය වීමෙන් කලබල ඇති වීම උග්‍ර වීමයි.

කෙසේ වෙතත් මෙවැනි අවස්‌ථාවල දී වෙනත් තාක්‌ෂණික ක්‍රම යොදාගනිමින් ජනතාව එම සීමාවලින් මිදීමට පියවර ගනු දැකිය හැකි ය. මේ අතර අදාළ පුද්ගලයන් ඒ සඳහා ඊට වඩා වෙනස්‌ මාධ්‍ය භාවිත කිරීමට අවස්‌ථාව ඇති බව බලධාරීන් අමතක නො කළ යුතු කරුණකි. නිදසුනක්‌ ලෙස කටකතා යනු එදා මෙන් ම අදත් ප්‍රබල මාධ්‍යයකි.

අරගල පුරෝකථනය කිරීම සඳහා සමාජ ජාල යොදාගැනීම


මෙහි ඇති තවත් වැදගත් කරුණක්‌ වන්නේ සමාජ ජාල භාවිත කරන්නන් ගේ හැසිරීම නිරීක්‌ෂණය කිරීම මඟින් ඇතැම් විට ඇති වීමට ඉඩ තිබෙන අරගල පුරෝකථනය කළ හැකි බවයි. සමාජ ජාල නිරීක්‌ෂණය කිරීම මඟින් එවැනි වර්ධනය වන ප්‍රවණතා හඳුනාගැනීමට හැකි බව සිදු කර ඇති පර්යේෂණ මඟින් ද පෙන්වා දී තිබේ.

2016 වර්ෂයේ දී පළ වූ එක්‌ අධ්‍යයනයකට අනුව කිසියම් අරගලයක්‌ හඳුනාගැනීමට සමාජ ජාල පණිවිඩ හරහා හැකියාව තිබේ. ඒ එවැන්නකට සහභාගිත්වයට පෙර සිදු වන බව සඳහන් වන සජීවීකරණ ක්‍රියාවලිය (mobilization) හඳුනාගැනීම හරහා ය. එම ක්‍රියාවලිය පියවර හතරකින් සමන්විත ය. එනම්, කිසියම් කරුණක්‌ පිළිබඳ ව සානුකම්පිත වීම, යම් සංවිධානාත්මක ව්‍යාපාරයක්‌ ගැන දැනුවත් වීම, එයට සහභාගි වීම සඳහා ඇති වන පෙලඹීම හා සහභාගි වීම සඳහා ඇති හැකියාවයි. මේ අනුව ඉදිරියේ දී ඇති විය හැකි විරෝධතාවක්‌ පිළිබඳ ව මේ පණිවිඩ හුවමාරුවල ඇති සජීවීකරණයේ ඇති තොරතුරු යොදාගැනීමෙන් හඳුනාගැනීමට හැකියාව ඇති බව එම පර්යේෂකයන් ගේ අදහස වෙයි. ඔවුන් ඒ සඳහා බැල්ටිමෝරයේ 2015 දී ඇති වූ සිදුවීම් වලට පෙර හා සිදුවීම් අතර ඇති වූ ට්‌විටර් පණිවිඩ හුවමාරු වීම් පිළිබඳ ව අවධානය යොමු කර තිබේ (10.1109/ASONAM.2016.7752218). බැල්ටිමෝරයේ සිදු වූ එම සිදුවීමේ දී ට්‌විටර් මාධ්‍යය මඟින් අරගල සංවිධානය කිරීම සඳහා දැක්‌වූ දායකත්වය පිළිබඳ ව සමාජ විද්‍යාඥයකු Science සඟරාවේ කෙටි සම්මුඛ සාකච්ඡාවක දී ද පෙන්වා දී තිබිණි. (DOI:10.1126/science.aac4532).

මෙවැනි තවත් අධ්‍යයනයකට අනුව සමාජ ජාල ක්‍රියාකාරිත්වය ඉහළ වීම උද්ඝෝෂණ ආදියට සහභාගි වීම පුරෝකථනය කිරීම සඳහා යොදාගත හැකි කරුණකි. කෙසේ වෙතත් මෙය සාර්ථක වන්නේ ස්‌ථානය අනුව වන අතර එය එකිනෙකට වෙනස්‌ වීමට ඉඩ ඇත. Journal of Communication සඟරාවේ පළ වී ඇති මේ අධ්‍යයනයට අනුව සමාජ ජාල යොදාගනිමින් මෙසේ පුරෝකථනය කිරීම හැම විට ම සාර්ථක නො වීමට ද ඉඩ තිබේ. ස්‌පාඤ්ඤයේ 2011 දී ද, ලෝකය පුරා 2011 දී ඇති වූ 'අත්පත් කරගැනීමේ' (Occupy) උද්ඝෝෂණ මාලාව ද, බ්‍රසීලයේ 2013 දී ඇති වූ උද්ඝෝෂණයක්‌ ද පදනම් කරගනිමින් ට්‌විටර් හා ෆේස්‌බුක්‌ යොදාගෙන මෙය සිදු කර තිබේ. එහි දී හෙළි වී ඇත්තේ සමාජ ජාල ක්‍රියාකාරිත්වය හා භූමියේ ක්‍රියාකාරිත්වය අතර සම්බන්ධයක්‌ එම අරගල තුනෙන් දෙකක දී ම හඳුනාගන්නට හැකි වූ බව ය. විශේෂයෙන් මීළඟ දිනයේ උද්ඝෝෂණයේ තත්ත්වය හඳුනාගැනීමට එහි දී හැකියාව ඇති බව ඔවුන් ගේ අදහස විය. (DOI:10.1111/jcom.12145).

මේ අනුව පෙනෙන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලධාරීන් සිදු කරන කිසියම් ආකාරයකට සමාජ ජාල නිරීක්‌ෂණය කිරීම සිදු කිරීම හරහා හිංසාකාරී හා ගැටුම්කාරී අරගලයකින් ඇති විය හැකි හානිය වැළැක්‌වීමට හැකියාවක්‌ ඇති බවයි. එහෙත් එහි යම් සීමා තිබිය හැකි ය. කෙසේ වෙතත් එය සාර්ථක ව කළ හැකි නම්, එය සමාජයේ යහ පැවැත්ම සඳහා වැදගත් බව අමුතුවෙන් කිව යුත්තක්‌ නො වේ.

කෙසේ වෙතත් ප්‍රජාත්‍රාන්ත්‍රවාදී සමාජයක ජනතාව ගේ විරෝධය ප්‍රජාතාන්ත්‍රික හා සාමකාමී ආකාරයෙන් දැක්‌වීම පාලනය කළ යුතු ද යන්න මෙවැනි මැදිහත් වීම් පිළිබඳ ව ඇතැම් විට අසනු ලබන පැනයකි. එය එසේ නො විය යුතු බව පැහැදිලි ය. කෙසේ වෙතත්, බරපතළ ආකාරයේ අරගල - ජීවිත හා දේපළ හානි කරන ආකාරයේ අරගල - පාලනය කිරීම සඳහා සමාජ ජාල නිරීක්‌ෂණය හා අදාළ පියවර ගැනීම කිසියම් ආකාරයක සුහුරු ක්‍රමවේදයක්‌ ලෙස සැලකිය හැකි ය.

නියැන්ඩර්තාල් මානවයින් සංකේත භාවිත කළ බවට නිසැක සාධක මතු වේ

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 21.03.2018, පි. 09 (Vidusara)

Not available online


පරිණාමීය වශයෙන් නූතන මිනිසාගේ සමීප ඥාතියකු වන නියැන්ඩර්තාල් ආදි මානවයින් පිළිබඳව කරුණු රැුසක් මෑත කාලයේදී සිදු කරන ලද පර්යේෂණවලින් අනාවරණය වී ඇත. Homo neanderthalensis ලෙස විද්‍යාත්මකව නම් කර ඇති මේ මානවයින්, යුරෝපයේ සැලකිය යුතු පෙදෙසක ව්‍යාප්ත වී සිටි අතර, නිරිතදිග, මධ්‍යම හා උතුරු දිග ආසියාවටද ව්‍යාප්ත වී ඇත. ඔවුන්ගේ වාසස්ථාන, භාවිත කළ මෙවලම් මෙන්ම පොසිල හමුවන්නේ මෙම ප‍්‍රදේශවලිනි. නූතන මානවයින්ගේ පැමිණීම හමුවේ ඔවුන් අදින් වර්ෂ 40,000කට පමණ පෙර මිහිතලයෙන් වඳ වී ගිය බව පර්යේෂණවලින් අනාවරණය වී ඇත. එසේම මෑතකාලීන ප‍්‍රවේණික පර්යේෂණවලින් හෙළි වී ඇති ආකාරයට ඔවුන් නූතන මිනිසා සම`ග අභිජනනය කර තිබෙයි.

මේ අතර නියැන්ඩර්තාල් මානවයින්ගේ ප‍්‍රජානනය (cognition) පිළිබඳව වැදගත් වන පර්යේෂණයක් පසුගියදා ප‍්‍රකාශයට පත් විය. ඒ අනුව මෙතෙක් සිතා සිටියාට වඩා එම මානවයින්ගේ ප‍්‍රජානනය ඉහළ මට්ටමක තිබූ පෙන්වා දී ඇත. ස්පාඤ්ඤයේ ප‍්‍රදේශ තුනක පිහිටා ඇති ලෙන්වලින් ලැබී ඇති චිත‍්‍රවල කාලනිර්ණය මගින් මේ සඳහා අවශ්‍ය සාධක ලැබී තිබෙයි. එම චිත‍්‍ර අදින් වසර 65,000කට පෙර අඳින ලද චිත‍්‍ර බවට දින නිර්ණය කර ඇත. මෙතෙක් කලක් මෙම චිත‍්‍ර නිර්මාණය කරන ලද්දේ නූතන මානවයින් බව විශ්වාස කරන ලද නමුත් මෙම අධ්‍යයනයේ ප‍්‍රතිඵල අනුව එම අදහස වෙනස් වෙයි.


නූතන මිනිසා සහ නියැන්ඩර්තාල් මානවයා අතර වෙනස


බොහෝ කාලයක් තිස්සේ නූතන මානවයින් (Homo sapiens sapiens) හා නියැන්ඩර්තාල් මානවයින් අතර ඇති ප‍්‍රධානතම වෙනස ලෙස සාකච්ඡුාවට ලක් වූයේ නියැන්ඩර්තාල් මානවයින් සංකේත තැනීම හෝ භාවිත නොකිරීමයි. එහෙත් නූතන මානවයින් ආභරණ, රූප මෙන්ම ගුහා චිත‍්‍රද නිර්මාණය කර තිබේ. මේ සියල්ල සැලකෙන්නේ සංකේතාත්මක හැසිරීමේ (symbolic behavior) නිෂ්පාදන ලෙසය. සංකේතාත්මක හැසිරීම ලෙස සඳහන් වන්නේ සංකේතවලට ප‍්‍රතිචාර දැක්වීමට හෝ එ්වා භාවිත කිරීමට පුද්ගලයින්ට ඇති හැකියාවයි. මෙය ප‍්‍රජානන ශක්තිය හා සම්බන්ධය.

කෙසේ වෙතත් මෑත කාලයේ දී නියැන්ඩර්තාල් මානවයින් විසින් කිසියම් ප‍්‍රමාණයක සංකේතාත්මක හැසිරීමක් දක්වා ඇති බවට සාධක යුරෝපයේ විවිධ ප‍්‍රදේශවලින් ලැබෙන්නට පටන් ගෙන ඇත. ජිබ්රෝල්ටරයෙන් ලැබී ඇති අදින ලද සංකේතයක්, ක්‍රොයේෂියාව හා ඉතාලියෙන් ලැබී ඇති සැරසුම් ලෙස භාවිත කර ඇති ද්‍රව්‍ය මෙන්ම ස්පාඤ්ඤයෙන් ලැබී ඇති ආභරණ සේ සිතිය හැකි බෙලිකටු නිෂ්පාදන මේ සාධක අතර වෙයි. එසේම ප‍්‍රංශයෙන් ලැබී ඇති අර්ධ කවාකාර හිරිටැඹවලින් නිර්මාණය කළ බැමි කිසියම් චාරිත‍්‍රයක් සඳහා සිදුකරන ලද ඉදිකිරීමක් සේ සැලකේ.

නියැන්ඩර්තාල් මානවයින් විසින් අඳින ලද බව සැලකෙන ගුහා චිත‍්‍ර කිසිවක් මේ දක්වා ලැබී නොතිබීම විශේෂයකි. යුරෝපා රටවලින් අයිස් යුගයේ සතුන් වැනි විවිධ ගුහා චිත‍්‍ර රාශියක් හමු වී තිබුනද, ඒවා සියල්ල නූතන මානවයින්ගේ නිර්මාණ සේ සලකන ලදි. එයට හේතුව එසේ නොවන බව සිතීම සඳහා නිසැක සාක්ෂි නොතිබීමයි. කෙසේ වෙතත් මීට පෙර 2012 වර්ෂයේදී, එවැනි චිත‍්‍ර කිහිපයක් අදින් වසර 40,800කට පමණ ඉහත ලෙස දින නියම කරන ලදි. එය කලින් සිතූ දිනයට වඩා පැරණි දිනයක් වුවද නූතන මානවයා බටහිර යුරෝපයට පැමිණයේ අදින් වසර 42,000කට පමණ පෙර වන බැවින් එම චිත‍්‍ර නියැන්ඩර්තාල් මානවයින්ගේ මෙන්ම නූතන මානවයින්ගේ වීම සඳහාද ඉඩ ඇති බව පෙන්වා දෙන ලදි. නූතන මානවයින් යුරෝපයට පැමිණි කාලවකවානුවට වඩා පැරණි දින නියම කළ හැකි නිර්මාණ වේ නම් එය එ් පිළිබඳව නිශ්චිත තීරණයකට පැමිණීම සඳහා වැදගත් සේ සැලකිනි.


මෑතදී සිදු කළ අධ්‍යයනය


මෑතදී එ් සඳහා අවස්ථාවක් ලැබී ඇත. එ් අනුව ස්පාඤ්ඤයේ පිහිටි ලෙන් තුනක චිත‍්‍ර සඳහා දින නියම කිරීමට පර්යේෂකයන් පිරිසකට හැකියාව ලැබී තිබෙයි. ස්පාඤ්ඤයේ ඊසානදිග ප‍්‍රදේශයේ පිහිටා ඇති ලා පැසීගා (La Pasiega) ලෙන, බටහිර ස්පාඤ්ඤයේ මල්ටවියේසෝ (Maltravieso) ලෙන හා නිරිත දිග ස්පාඤ්ඤයේ පිහිටි අර්ඩාලේස් (Ardales) යන ලෙන් එම ලෙන් අතර වේ. මෙම ගුහාවල රූපමය (figurative) මෙන්ම රූපමය නොවන (nonfigurative) චිත‍්‍රද දැක ගත හැකිය. මෙහිදී පර්යේෂකයන්ගේ අවධානය යොමු වී ඇත්තේ එ්වායේ තිබූ රූපමය නොවන චිත‍්‍ර පිළිබඳවය. මේ වර්ගයට අයත් වන්නේ තිත්, රේඛා, සංකේත හා අත් සලකුණු යනාදියයි. මෙවැනි චිත‍්‍රවල දින වකවානු වඩා පැරණි විය හැකි බවට මීට පෙර සිදුකර ඇති අධ්‍යයනවලදී හෙළි වී තිබීම ඊට හේතුව වෙයි.

මෙම ගුහාවලින් ලැබුණු චිත‍්‍රවල කාලනිර්ණය සිදු කිරීම මේ පර්යේෂණයේදී සිදු කර ඇත. එ් සඳහා යොදාගෙන ඇත්තේ යුරේනියම්-තෝරියම් කාලනිර්ණ ක‍්‍රමයයි. එහිදී කාලයත් සම`ග යුරේනියම් තෝරියම් බවට විකිරණශීලී ක්ෂයවීමට ලක් වීම මත කාලනිර්ණය කිරීම සිදු කෙරේ. එ් අනුව අදාළ චිත‍්‍ර මතුපිට සෑදී ඇති සියුම් කාබනේට තට්ටුවකින් කොටසක් ලබාගෙන එ්වායේ ඇතුළත් යුරේනියම් හා තෝරියම් ප‍්‍රමාණය පිළිබඳව පරීක්ෂා කිරීම සිදුකර ඇත. එවිට ලැබෙන දිනනිර්ණය ඊට යටින් ඇති චිත‍්‍රයට ලබා දිය හැකි අවම දිනය වෙයි. මේ ප‍්‍රයත්නය අනුව ලැබී ඇති දින ලෙන් තුනේ නිදර්ශකවලය විවිධ දින ලැබී තිබුනද එ් සියල්ලේම ඇති පැරණිම දින වකවානු අතර ඇති පැරණිම දිනය අවම වශයෙන් අදින් වර්ෂ 64,800ක් පමණ වේ.


නියැන්ඩර්තාල් මානවයින් පිළිබඳව තහවුරු වන කරුණු


මෙම චිත‍්‍ර සඳහා ලැබුණු උක්ත දිනය වැදගත් වන්නේ එම ලෙන් චිත‍්‍ර ඇඳ ඇත්තේ නූතන මානවයා යුරෝපයට පා තැබීමට අවම වශයෙන් වසර විසිදහසකට පමණ පෙර අඳින ලද එ්වා වීම නිසාය. මේ අනුව එම චිත‍්‍ර නියැන්ඩර්තාල් මානවයින්ගේ චිත‍්‍ර බවට පැහැදිලි සාධක ලැබී ඇත.

මෙහි ඇති වැදගත්කම වන්නේ මේ අනුව නියැන්ඩර්තාල් මානවයින්ගේ ප‍්‍රජානන හැකියාව පිළිබඳ මෙතෙක් පැවැති විවාදය අවසන් කළ හැකි නිසාය. මෙම චිත‍්‍ර නියැන්ඩර්තාල් මානවයින්ගේ නම්, එම චිත‍්‍ර ඇඳීම සඳහා ඔවුන්ට යම් ප‍්‍රජානන හැකියාවක් තිබිය යුතුය. එ් අනුව මෙතෙක් විශ්වාස කළාක් මෙන් නොව නියැන්ඩර්තාල් මානවයින් හටද සංකේත චිත‍්‍ර ඇඳීම පිළිබඳ හැකියාව තිබී ඇත. එ් අනුව නියැන්ඩර්තාල් මානවයින් පිළිබඳ පර්යේෂණවල නව අංශයක් විවෘතව තිබෙයි.

නියැන්ඩර්තාල් මානවයින් ඔවුන්ගේම වූ අදහස් මෙසේ සංකේතවලට නැගූ බව මේ අනුව පෙනේ. මෙය වැදගත් වන්නේ මෙවැනි සිතුවම් මුලින්ම අනාවරණය වන විට එය නියැන්ඩර්තාල් මානවයින්ගේ අවධියේ අවසන් සමයේ වූ බැවින් එ්වා නූතන මානවයාගේද විය හැකි බවට අදහසක් තිබීම නිසාය. නියැන්ඩර්තාල් මානවයින් නූතන මානවයින් සිදු කළ දේ අනුකරණය කළා මිස තමන් කරන්නේ කුමක්ද යන්න දැන නොසිටි බව ඇතැම් පර්යේෂකයන්ගේ අදහස වී ඇත. මෙම නව සොයාගැනීමට ලබාදි ඇති කාලනිර්ණය අනුව එම මතය බිඳවැටෙයි.

එහෙත් මේ චිත‍්‍රද නූතන මානවයාගේ විය හැකි බවට ප‍්‍රකාශ කරන තවත් මතයක්ද ඇති විය හැකිය. එයට හේතුව නූතන මානවයා අප‍්‍රිකාවෙන් පිටවීම මෙතෙක් සිතූ දිනයට පෙර සිදු වී ඇති බවට මේ වන විට ඇති සාධක නිසාය. එහෙත් යුරෝපයට නූතන මානවයා කලින් පැමිණි බවක් පොසිල හෝ වෙනත් සාධකවලින් මෙතෙක් අනාවරණය වී නොමැත. එහෙයින් පවත්නා සාධක සැලකිල්ලට ගැනීමේදී මෙම චිත‍්‍ර නූතන මානවයාගේ නොව නියැන්ඩර්තාල් මානවයාගේ විය හැකි බව පැහැදිලිය.

යුරෝපයේ දැකිය හැකි සෙසු පැරණි ගුහා චිත‍්‍ර මේ ක‍්‍රමය භාවිතයෙන් දින නියම කළ හැකි නම්, නියැන්ඩර්තාල් මානවයින්ගේ ව්‍යාප්තිය තරම්ම ඔවුන්ගේ ගුහාචිත‍්‍ර ද කෙතරම් ව්‍යාප්ත වී තිබුනිදැයි සොයාබැලිය හැකි බව මේ පිළිබඳ විශේෂඥයෝ යෝජනා කරති. පුරාශිලා යුගයට හෙවත් අයිස් යුගයට අයත් බව සැලකෙන යුරෝපයේ දැකිය හැකි විවිධ ගුහා චිත‍්‍ර අතරින් කෙතරම් ප‍්‍රමාණයක් නියැන්ඩර්තාල් මානවයින්ගේ විය හැකිද යන්න එවිට අනාවරණය වනු ඇත.


පරිණාමය සම්බන්ධ වැදගත්කම


විශේෂයෙන් මෙවැනි චිත‍්‍ර නිර්මාණය කිරීම සඳහා දියුණු හෝ නවීන ප‍්‍රජානනයක් පෙන්විය යුතුය. එනම් සුදුසු ස්ථානයක් තීරණය කිරීම, ආලෝකය ලැබෙන ආකාරය සැලසුම් කිරීම හා වර්ණ මිශ‍්‍ර කර චිත‍්‍ර ඇඳීමේදී චින්තනයෙහි කිසියම් දියුණුවක් තිබීම අවශ්‍ය වෙයි. මේ අනුව නියැන්ඩර්තාල් මානවයින් සතුව එවැනි ප‍්‍රජානනයක් තිබූ බව පැහැදිලිය.

මෙහිදී වැදගත් වන තවත් කරුණක් තිබේ. මේ ආකාරයෙන් මානව පරිණාමයේදී සංකේතාත්මක චින්තනයේ (symbolic thought) ආරම්භය පිළිබඳ උක්ත පර්යේෂණයෙන් කිසියම් නව පැහැදිලි කිරීමක් ලැබී ඇති බව පෙනේ. එය මේ දක්වා සලකන ලද්දේ මානව පවුලේ සෙසු සාමාජිකයන්ගෙන් නූතන මානවයා වෙන්කිරීම සඳහා යොදාගන්නා සාධකයක් ලෙසය. එහෙත් මේ පර්යේෂකයන්ගේ සොයාගැනීම අනුව නූතන මානවයින් හා සෙසු ආදි මානවයින් වෙන්කරගැනීම සඳහා එම සාධකය යොදාගැනීම ගැන ගැටලූ මතුවිය හැකිය.

මුලාශ‍්‍රය: Science, DOI: 10.1126/science.aap7778

Saturday, March 10, 2018

වසර 16කදී ඔරං උටං 100,000ක් මරා දමලා

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 21.02.2018 පි. 07 (Vidusara - Not available online)



අගේ‍්‍රෂයන් හෙවත් ප‍්‍රයිමේටාවන් යනු මිනිසාද අයත් වන, එසේම මිනිසාට වඩාත් සමීප සත්ත්ව විශේෂ වන වානරයන් හා වඳුරන් ආදි සතුන් ඇතුළත් වන සත්ත්ව ගෝත‍්‍රයයි. මේ අතරින් මහා වානරයන් ලෙස සැලකෙන ඔරං උටන්, ගොරිල්ලන් හා චිම්පන්සින් පරිණාමික වශයෙන් මිනිසාට වඩාත් සමීප වෙයි. ගෝත‍්‍රයේ සෙසු සාමාජිකයින්ට වඩා මේ මහා වානරයෝ බුද්ධියෙන්ද ඉහළ මට්ටමක පසුවෙති.

කෙසේ වෙතත්, බුද්ධියෙන් ඉහළම මට්ටමක පසුවන මිනිසාගේ ක‍්‍රියාකාරිත්වය නිසා ඔහුගේ සමීප ඥාතියකු වන ඔරං උටං පත්ව ඇති අවාසනාවන්ත ඉරණම පිළිබඳව පසුගියදා අසන්නට ලැබිණි. එ් අනුව වසර දහසයක කාලයක් ඇතුළත ඉන්දුනීසියාවේ බෝර්නියෝ දූපතේ වෙසෙන ඔරං උටං සතුන් 100,000කට අධික පිරිසක් විවිධ හේතු නිසා මරුමුවට පත්ව ඇත.

මේ බව හෙළිව ඇත්තේ විද්‍යාඥයින් පිරිසක් විසින් වසර 16ක කාලයක් තිස්සේ එම දූපතේ ඔරං උටං සතුන් පිළිබඳව සිදුකරන ලද සමීක්ෂණයක් මගිනි. මෙම අධ්‍යයනයේදී අවධානය යොමුකර ඇත්තේ ඔරං උටං සතුන් තනන කූඩු ප‍්‍රමාණය කාලය හා සමඟ වෙනස් වී ඇති ආකාරය සම්බන්ධවයි. ඔරං උටං සතුන් තනනු ලබන කූඩු ප‍්‍රමාණය එම සතුන්ගේ ගහනයේ විශාලත්වය පැවසීම සඳහා යොදාගන්නා උපක‍්‍රමයකි. උක්ත අධ්‍යයනයේදී කූඩු ප‍්‍රමාණය ගණනය කිරීම සඳහා භූමියෙන් සිදුකරන ලද නිරීක්ෂණ මෙන්ම හෙලිකොප්ටර් යොදාගනිමින් සිදුකරන ලද නිරීක්ෂණද සමීක්ෂණ උපක‍්‍රම ලෙස යොදාගෙන තිබෙයි.

පර්යේෂණයේ ප‍්‍රතිඵල


මේ අධ්‍යයනයේදී ගණන් බලා ඇති ආකාරයට 1999 වර්ෂයත් 2015 වර්ෂයත් අතර කාලයේදී බෝර්නියෝ දූපතේදී මරුමුවට පත්ව ඇති ඔරං උටං සතුන්ගේ ප‍්‍රමාණය 100,000 ඉක්මවයි. එ් අනුව 1999-2015 අතර කාලයේදී ඔරං උටං සතුන්ගේ ගහනය අඩකින් පමණ ප‍්‍රමාණයකින් අඩු වී ඇති බව පෙනී ගොස් තිබේ.

එසේම මේ දූපතේ එකිනෙකට වෙනස් ඔරං උටං කණ්ඩායම් 64ක් හඳුනාගෙන ඇති අතර, ඉන් සියයකට අධික සතුන් පිරිසක් දැකිය හැක්කේ කණ්ඩායම් 38ක පමණකි. මෙම සත්ත්ව කණ්ඩායමක් ශක්‍ය එකක් වීම සඳහා එම කණ්ඩායමේ සියයකට අධික සාමාජිකයින් පිරිසක් සිටිය යුතු බව සැලකෙයි.

මේ ආකාරයෙන් ඔරං උටං සතුන් අකාලයේ මිය යෑම සඳහා හේතු වී ඇති ප‍්‍රධානම හේතුව වී ඇත්තේ වනාන්තර විනාශයයි. මේ දූපතේ වනාන්තර විනාශය සඳහා බලපා ඇති මූලික සාධකය වී ඇත්තේ දැව සඳහා ගස් කැපීම, කටු පොල් වගාව, කැනීම් හා කඩදාසි කර්මාන්තය වැනි මානව මූලික ක‍්‍රියාවලිය. ඉන්දුනීසියාවේ ඇතැම් ප‍්‍රදේශවල ප‍්‍රධාන ආදායම් මාර්ග වී ඇත්තේ මෙම කර්මාන්තය. මේ නිසා ඇතැම් විට පවත්නා නීති රීතිවලට ගරු නොකරමින් වනාන්තර හෙළි පෙහෙළි කරමින් මේ ක‍්‍රියාවලිවල යෙදෙන ආකාරය දැකිය හැකිය.

මේ හේතු නිසා බෝර්නියෝ දූපතේ වනාන්තර බෙහෙවින් කැබලිකරණය වී ඇති අතර, ඒ නව වැවිලි වගා සහ ගොඩනැගිලි ව්‍යාපෘති ආදිය නිසාය. එසේම, මෙවැනි ප‍්‍රදේශවල ඔරං උටං ගහනය 75%ක් පමණ ප‍්‍රමාණයකින් අඩු වී ඇති බව හෙළි වී තිබේ.

එහෙත් දූපතේ ඝන වනාන්තරගත ප‍්‍රදේශවල ඔරං උටං ගහනයද 50%කින් පමණ අඩු වි ඇති බව උක්ත අධ්‍යයනයෙන් හෙළිව ඇත. මෙහි ඇති වැදගත් කරුණ වන්නේ වනාන්තරගත ප‍්‍රදේශවල වැඩි සතුන් ප‍්‍රමාණයක් වෙසෙන බැවින් මේ අඩුවීම යනු වැඩි සතුන් ප‍්‍රමාණයක් මියගොස් ඇති බවක් වීමයි. එ් අනුව අධ්‍යයන කාලය තුළ මියගොස් ඇති ඔරං උටං සතුන් අතරින් 70%ක් පමණ ප‍්‍රමාණයකගේ මරණ වනාන්තරවල සිදුව ඇති බව පැහැදිලිය. වනාන්තර ලෙසින් පවත්නා පරිසරයේද මේ සතුන් විශාල වශයෙන් මියයෑනේ පෙනී යන්නේ සැලකිය යුතු ඔරං උටං සතුන් ප‍්‍රමාණයක් හුදෙක් දඩයම මගින් ඝාතනය කරනු ලබන බවක් විය හැකි යැයි පර්යේෂකයන්ගේ අදහස වෙයි. මෙය මීට පෙර එතරම් අවධානයට ලක් නොවූ තර්ජනයක් ලෙස සඳහන්ය.

මෙසේ ඔරං උටං සතුන් මරා දැමීම දඩයක්කරුවන් විසින් සිදුකරනු ලබන්නේ කරුණු කීපයක් නිසාය. ආහාර සොයා පැමිණෙන ඔරං උටං සතුන් මිනිසුන්ගේ භෝග වගා බිම්වලට හානි කරනු ලැබීම නිසා එරෙහිව දඩයම් කිරීම සිදුකරනු ලැබිය හැකි බව ඉන් එකකි. වගාබිමක් ආසන්නයේ ඇති පරිසරයකදී මිනිසුන් සමඟ ගැටුමක් ඇතිකරගත් විට හැම අවස්ථාවකදීම මේ සතුන් පරාජයට පත් වන බව පැහැදිලිය. එසේම වනාන්තරවලට සතුන් දඩයම් කිරීම සඳහා පිවිසෙන දඩයක්කරුවන් ඔරං උටං වැනි සතුන් ආහාරය පිණිස දඩයම් කිරීමද දැකගත හැකි කරුණකි. එසේම සුරතල් සතුන් ලෙස ඇතිකිරීම සඳහා යොදාගැනීම පිණිස පැටවුන් ලබාගැනීම සඳහා ඔරං උටං ගැහැණු සතුන් මරාදැමීමද සිදු වෙයි. එක් පැටවකු ලබාගැනීම සඳහා වැඩිහිටි ගැහැණු සතෙකු මරාදැමීම සිදු කෙරෙයි. වනාන්තර ලෙස පවත්නා පරිසරයක මෙවැනි තත්ත්වයක් පවත්නා බවක් මීට පෙර නොසිතූ බව පර්යේෂකයන්ගේ අදහස වෙයි. මේ අනුව දඩයම බරපතළ ගැටලූවක් බව පැහැදිලි වන බව ඔවුන්ගේ අදහසයි.

සංරක්ෂණයේ අනාගතය


අද වන විට බෝර්නියෝ දූපතේ වාසය කරන ඔරං උටං සතුන්ගේ ගණන 70,000-100,000 අතර ගණනක් බව ගණන් බැලා තිබෙයි. මේ අධ්‍යයනයේදී තවදුරටත් ගණන් බලා ඇති පරිදි වන විනාශය නිසා ඇතිවන වාසස්ථාන අහිමිවීම නිසා ඇති වන බලපෑම් අනුව ඉදිරි වසර 35ක කාලය ඇතුළත තවත් ඔරං උටං සතුන් 45,300ක් පමණ ප‍්‍රමාණයක් පමණ මරණයට පත් විය හැකිය. මෙහිදී ඔරං උටං සතුන්ට රුක් ආවරණයක් නොමැති ප‍්‍රදේශවල ජීවත් වීමට නොහැකිය යන්න උපකල්පනය කර තිබෙයි. එසේම මෙම ගණන් බැලීමේදී අදාළ සතුන් ආරක්ෂා කිරීම සඳහා කිසිදු උත්සාහයක් නොගතහොත් යන තත්ත්වයද සැලකිල්ලට ගෙන ඇත. කෙසේ වෙතත් මෙම පුරෝකථනයට ආහාරය සඳහා හෝ මිනිසුන් සමඟ ඇති කරගන්නා ගැටුම් නිසා හෝ දඩයම් කිරීමෙන් මරා දමනු ලබන සතුන්ගේ ගණන අයත් නොවෙයි. මෙම කරුණුද ඇතුළත් වූ පසුව මෙම අගය තවත් ඉහළ යා හැකිය.

මෙම පර්යේෂකයන් පෙන්වා දෙන ආකාරයට ඔරං උටං මරණ ගණන මෙතරම් ඉහළ වෙතැයි ඔවුන් මුලින් අපේක්ෂා නොකළ තරම්ය. එහෙත් එය එසේ වී තිබේ. මේ තත්ත්වය වළක්වා ගෙන ඔරං උටං ගහනය ස්ථාවර තත්ත්වයකට ගෙන එ්මට නම් කළ යුතු කාර්යය රාශියක් ඇති බව පැහැදිලිය. මෙහිදී වනාන්තර විනාශය වළක්වාලිම පිණිස කාර්යක්ෂම ලෙස මැදිහත් වීම මෙන්ම වගා පාලූ කිරීම හැර අන් හානියක් නොමැති මෙම සතුන් නිකරුනේ ඝාතනය කිරීම වළක්වාලීම සඳහා ඍජු මැදිහත්මක් සිදුකිරීම වැදගත් වෙයි. මේ සඳහා ගත යුතු විවිධ පියවර ඇති බව මේ පර්යේෂකයන්ගේද අදහස් වෙයි. විශේෂයෙන් අභිජනන වේගය අඩු මට්ටමක පැවතීම ඔරං උටං ගහනය යහපත් මට්ටමක පවත්වා ගැනීමේදී සැලකිල්ලට ලක්විය යුතු කරුණක් වේ.

මේ අනුව මිනිසුන් විසින් තිරසර නොවන ආකාරයට ස්වාභාවික සම්පත් භාවිත කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙසින් සිදුව ඇති හානියේ තරම බෝර්නියෝ දූපතේ ඔරං උටං සතුන් මුහුණදී ඇති තත්ත්වයෙන්ද පෙනේ. මානවයින් ස්වකීය ළගම ඥාතීන් පිළිබඳව මීට වඩා සැලකිලිමත්ව සිතිය යුතු බව පැහැදිලිය. මේ අධ්‍යයනය පැහැදිලි අනතුරු හැඟවීමක් සිදුකරන්නක් වන අතර, කඩිනමින් පියවර ගැනීමේ ඇති වැදගත්කමද අවධාරණය කරයි.

මූලාශ්‍රය - Current Biology, DOI: 10.1016/j.cub.2018.01.053

සටහන - ඔරං උටං

ඔරං උටං යනුවෙන් හඳුන්වනු ලබන ප‍්‍රයිමාටා ගෝත‍්‍රයට අයත් වානර විශේෂ තුනක් මිහිමත ජීවත් වෙති. Pongo ගණයට අයත් ඔරං උටං සතුන් අතරින් Pongo pygmaeus විශේෂය බෝර්නියෝ දූපතේද, Pongo abelii හා Pongo tapanuliensis නම් අනෙක් විශේෂ දෙක සුමාත‍්‍රා දූපතේ ප‍්‍රදේශ දෙකකදීද දැකිය හැකිය. බෝර්නියෝ දූපතේ ජීවත්වන විශේෂයේ උප විශේෂ තුනක් ජීවත් වන බව හඳුනාගෙන තිබේ.

බුද්ධිමත් මහා වානරයන් අතර සිටින ඔරං උටං විවිධ දේ සරල උපකරණ ලෙස භාවිතයට ගැනීම සිදුකරන අතර රාත‍්‍රී කාලය ගත කිරීම සඳහා ගස් මත කූඩුවක් වැනි ව්‍යුහයක් තැනීම සිදුකරයි. එසේම මේ සත්ත්වයා ප‍්‍රයිමේටා සතුන් අතර වෙසෙන වඩාත්ම රුක්වාසි ජීවිතය ගත කරන ප‍්‍රයිමේටාවා සේ සැලකෙයි. එයද වැදගත් කරුණකි.

ඔරං උටං මුහුණ දී ඇති තර්ජනය මහත්ය. වාසස්ථාන විනාශ වීම, දඩයම් කිරීම, සුරතල් සතුන් ලෙස ඇතිකිරීම වැනි කටයුතු මේ සතුන් මුහුණ දී ඇති ප‍්‍රධාන තර්ජන අතර වෙයි. මේ තත්ත්වය හේතුවෙන් ලෝක සංරක්ෂණ සංගමය මගින් 2016 වර්ෂයේදී මෙම සත්ත්ව විශේෂ තුනම දැඩි අන්තරායක (Critically Endangered) තර්ජනයට ලක්ව ඇති සත්ත්ව විශේෂයක් ලෙස නම් කරන ලදි.

වරක්‌ පමණක්‌ භාවිත කරන ප්ලාස්‌ටික්‌ පිළිබඳ ජගත් මට්‌ටමේ විරෝධය

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 07.03.2018, පි. 11 (Vidusara)

http://www.vidusara.com/2018/03/07/feature4.html




ප්ලාස්‌ටික්‌ යනු අද ලෝකයේ නැති ව ම බැරි දෙයකි. ගණනය කර ඇති ආකාරයට 1950 ගණන්වල සිට 2015 දක්‌වා ප්ලාස්‌ටික්‌ ටොන් බිලියන 8.3ක්‌ නිෂ්පාදනය කර තිබෙයි. මේ අතරින් ටොන් 6.3ක්‌ පමණ ප්‍රමාණයක්‌ ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය බවට පත් ව ඇත. මේ අතරින් ප්‍රතිචක්‍රිකරණය කර ඇත්තේ 9%ක්‌ වන අතර, 12%ක්‌ පුළුස්‌සා දමා ඇත. ඉතිරි 79%ක්‌ පමණ ප්‍රමාණය අපද්‍රව්‍ය ලෙස පරිසරයට එක්‌ වී ඇත. ඒ අතර බිම් පිරවුම්වල ඇති ප්ලාස්‌ටික්‌ මෙන් ම ස්‌වාභාවික පරිසරයට එක්‌ කරනු ලබන ප්ලාස්‌ටික්‌ ද මීට ඇතුළත් ය. මේ අනුව ප්ලාස්‌ටික්‌ පරිසර දූෂණ ගැටලුවේ තරම පැහැදිලි ව පෙනේ. කෙසේ වෙතත් මෑත කාලයේ දී ප්ලාස්‌ටික්‌ නිෂ්පාදන සම්බන්ධ ව ලෝකය පුරා බොහෝ රටවල නීති රීති පනවා පාලනයට පියවර ගෙන තිබෙයි. එක්‌ වරක්‌ පමණක්‌ භාවිත කර බැහැර කරනු ලබන ප්ලාස්‌ටික්‌ මෙහි දී වැඩි අවධානයක්‌ යොමු ව ඇත.

මෙසේ ප්ලාස්‌ටික්‌ මඟින් සිදු වන පරිසර දූෂණය හා සම්බන්ධ ව අවධානය මෑත දී ඉහළ ගියේ ප්ලාස්‌ටික්‌ නිසා ඇති වී තිබෙන පරිසර දූෂණය සම්බන්ධ ව වාර්තා වීමත් සමඟ ය. ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය එකතු වීමෙන් ගොඩබිම අපද්‍රව්‍ය ගැටලුව ඉහළ ගොස්‌ ඇති අතර ම, සාගර පරිසරයේ දැකිය හැකි ප්ලාස්‌ටික්‌ ප්‍රමාණය හා ඒ නිසා ඇති වී තිබෙන ගැටලු ද මීට දායක විය. සාගර ජීවීන් ගේ ආහාර දාමයට ප්ලාස්‌ටික්‌ ඇතුළු වීම නිසා ඇති වී තිබෙන තත්ත්වය එවැනි එක්‌ කරුණකි. එසේ ම මෙතෙක්‌ නො ඉඳුල් ලෙස පැවැති ඇතැම් දූපත් හා එවැනි හුදෙකලා පරිසර පද්ධති ප්ලාස්‌ටික්‌ නිසා දූෂණයට පත් ව තිබීම මෑත කාලයේ දී වාර්තා විය. මිනිස්‌ වාසයකින් බොහෝ ඈතින් පිහිටා ඇති දූපත්වල මෙන් ම, ආක්‌ටික්‌ ප්‍රදේශය ද මෙසේ ප්ලාස්‌ටික්‌ නිසා දූෂණයට ලක්‌ ව තිබීම මෑත කාලයේ දී වාර්තා වී ඇත.

ඇතැම් අවස්‌ථාවල දී මේ වරක්‌ භාවිත කර ඉවත දමන ප්ලාස්‌ටික්‌ හඳුන්වනු ලැබන්නේ 'තත්පර පහකින් නිපදවා, මිනිත්තු පහක්‌ භාවිත කර ඉවත දමන නමුත් දිරාපත් වීමට වසර 500ක්‌ කල් යන නිෂ්පාදනයක්‌' ලෙස ය. එම කාල සීමාව සැම නිෂ්පාදනයකට ම සමාන නො වුව ද එමඟින් ලබා දෙන අදහස වන්නේ කෙටි කාලයකින් නිෂ්පාදනය කර එක්‌ වරක්‌ පමණක්‌ භාවිත කළ ද මේවා දිරාපත් වීමට ඉතා දිගු කාලයක්‌ ගත වන බවයි. මෙහි ඇති වඩාත් කණගාටුදායක කරුණ එයයි. මේ නිෂ්පාදන අවසානයේ දී එකතු වන්නේ පරිසරයට යත ගොඩබිමට හෝ සාගරයට ය. එමඟින් අදාළ පරිසරයට හානි සිදු විය හැකි ය.

ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය සීමා කිරීම


මෙවැනි හේතු නිසා ප්ලාස්‌ටික්‌ පාලනය කිරීම සඳහා, එක්‌ වරක්‌ පමණක්‌ භාවිත කර ඉවත දමනු ලබන ප්ලාස්‌ටික්‌ නිෂ්පාදන පාලනය සඳහා, ලෝකයේ වැඩි අවධානයක්‌ යොමු ව තිබේ. ඒ පිළිබඳ ව වැඩි අවධානයක්‌ යොමු ව ඇති කලාපයක්‌ ලෙස යුරෝපා සංගමයේ රටවල් දැක්‌විය හැකි ය. මේ වන විට යුරෝපා සංගමය වරක්‌ භාවිතයෙන් පසු ඉවත දමන ප්ලාස්‌ටික්‌ පිළිබඳ ව සීමා පැනවීමට කටයුතු කරමින් ඇත. දැනට සකස්‌ කෙරෙමින් පවත්නා මේ නියෝග වර්ෂයේ මැද භාගයේ දී පමණ අනුමත වනු ඇතැයි අපේක්‌ෂිත ය. පසුගිය ජනවාරි මාසයේ දී ප්‍රකාශයට පත් වූ ආකාරයට මෙහි ඉලක්‌ක වන නිෂ්පාදන අතර, ප්ලාස්‌ටික්‌ බීම බට (ස්‌ට්‍රොa), කෝප්ප, වර්ණවත් බෝතල්, පියන්, හැඳි ගෑරුප්පු හා ආහාර ගෙන යන බඳුන් ආදිය වෙයි. එහි දී ගන්නා පියවර අතර නිෂ්පාදනවලට බදු පැනවීම, තහනම ආදිය ඇතුළත් වන බව පැවසේ. සමස්‌තයක්‌ ලෙස ගත් විට යුරෝපයේ ජනනය වන ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය අතරින් ප්‍රතිචක්‍රිකරණය කරනු ලබන්නේ 30%ක්‌ තරම් අඩු ප්‍රමාණයකි. යුරෝපා සංගමයේ ඉලක්‌කය වන්නේ 2030 වන විට එය 100%ක අගයක්‌ කරා ගෙන ඒම ය. නැත හොත් නැවත භාවිත කළ හැකි තත්ත්වයකට ගෙන ඒම ය. මේ අනුව එක්‌ වරක්‌ පමණක්‌ භාවිත කරනු ලබන ප්ලාස්‌ටික්‌ නිෂ්පාදන බොහොමයක්‌ යුරෝපා රටවල් තුළ තහනම් වීමට අවස්‌ථාව තිබේ. එසේ ම සංගමයට අයත් රටවල් මේ වන විටත් යම් යම් පියවර ගෙන ඇති අතර, ලෝකයේ වෙනත් රටවල් ද සමාන පියවර ගෙන ඇත.

මේ ආකාරයෙන් ප්ලාස්‌ටික්‌ බැහැර ලීම පාලනයට හා ප්‍රතිචක්‍රිකරණය සඳහා උනන්දුවක්‌ ඇති වීමට බලපෑ තවත් වැදගත් කරුණක්‌ වන්නේ චීනය විසින් මෑතක දී ගනුනා ලද තීරණයකි. එනම් භාවිත කරන ලද අපද්‍රව්‍ය වර්ග ගණනාවක්‌ ප්‍රතිචක්‍රිකරණය සඳහා ආනයනය කිරීම තහනම් කිරීමට ගත් තීරණයයි. මීට ඇතැම් ප්ලාස්‌ටික්‌ වර්ග ද අයත් වෙයි. පසුගිය ජනවාරි 1 දින සිට මෙය ක්‍රියාත්මක ය. බොහෝ යුරෝපා රටවල සිය පසු භාවිත ප්ලාස්‌ටික්‌ අපනයනය කරන ලද්දේ චීනයට ය.

මේ වන විට මෙසේ ප්ලාස්‌ටික්‌ නිෂ්පාදන සම්බන්ධ ව ඇති වී තිබෙන සීමා කිරීම් තෙල් ඉල්ලුම සම්බන්ධ ව යම් බලපෑමක්‌ සිදු කරන බව ලෝක ප්‍රකට සමාගමක්‌ වන BP සමාගම පවසයි. එහි ප්‍රකාශකයකුට අනුව ලෝකය පුරා එවැනි පියවර ගත හොත් තෙල් නිෂ්පාදනයේ වර්ධනය 2030 වන විට දිනකට බැරල් මිලියන දෙකකින් පමණ අඩු විය හැකි ය. අද වන විට ලෝකයේ දෛනික තෙල් ඉල්ලුම තෙල් බැරල් මිලියන 97ක්‌ පමණ වෙයි.

ප්ලාස්‌ටික්‌ මලු


බොහෝ රටවලට ගැටලුවක්‌ වී ඇති වරක්‌ භාවිත කර ඉවත දමන ප්ලාස්‌ටික්‌ මලු සම්බන්ධ ව ගෙන ඇති විවිධ පියවර අතර, සම්පූර්ණ තහනමක්‌ ක්‍රියාත්මක කිරීම, බෑග් සඳහා පාරිභෝගිකයන් ගෙන් මුදල් අය කිරීම හා ඒවා අලෙවි කරනු ලබන ආයතනවලින් බදු මුදලක්‌ අය කිරීම වැනි පියවර වේ.

මේ වන විට ගෙන ඇති සාර්ථක ම පියවර වන්නේ ඒවා තහනම් කිරීම හා පාරිභෝගිකයන් ගෙන් යම් මුදලක්‌ අය කිරීමයි. එය බද්දක්‌ ලෙස ද හැඳින්වේ. අයර්ලන්තය, පෘතුගාලය හා බ්‍රිතාන්‍යය වැනි රටවල් ගණනාවක්‌ මෙසේ ප්ලාස්‌ටික්‌ මලු සඳහා මුදලක්‌ ගෙවිය යුතු බවට නීති පනවා ඇති අතර, ඒ රටවල ඉන් පසුව ගත වූ කාලයේ දී එවැනි මලු පරිභෝජනයේ කැපී පෙනෙන අඩු වීමක්‌ සිදු වී තිබේ. ඇතැම් රටක පාරිභෝගිකයන් අතරින් 90%ක්‌ පමණ දෙනා දිගු කල් පවත්නා බෑග් සඳහා යොමු වූ ආකාරය වාර්තා වී තිබේ.

ප්ලාස්‌ටික්‌ කෝප්ප හා බෝතල්


වරක්‌ භාවිතයෙන් පසුව ඉවත දමන ප්ලාස්‌ටික්‌ කෝප්ප හා බෝතල් මෙවැනි තවත් ගැටලු ඇති කර තිබෙන නිෂ්පාදනයකි. මෙමඟින් පරිසරයට එකතු වන අපද්‍රව්‍ය ප්‍රමාණය මහත් ය. නිදසුනක්‌ ලෙස ගත හොත් බ්‍රිතාන්‍යය තුළ වර්ෂයක දී කෝප්ප බිලියන 2.5ක්‌ පමණ ඉවත දමනු ලැබේ. එසේ ම කාඩ්බෝඩ්වලින් තනන ලද එහෙත් දැඩි පොලිතින් තට්‌ටුවකින් ආවරණය කරන ලද කෝප්ප ද ප්‍රතිචක්‍රිකරණය කිරීම පහසු නො වේ. මේ නිසා එවැනි බඳුන් වුව ද ප්‍රතිචක්‍රිකරණය කරනු ලබන්නේ 0.25%ක්‌ තරම් ඉතා අඩු ප්‍රමාණයක්‌ බව දක්‌වා තිබෙයි. එවැනි පහසුකම් සහිත කර්මාන්ත ඇත්තේ අඩු ප්‍රමාණයකි. මේ නිසා මේවා භාවිතයෙන් ඉවත් කිරීම සඳහා තවත් වසර කිහිපයක්‌ ගත විය හැකි බැවින්, එතෙක්‌ කිසියම් බදු මුදලක්‌ එකතු කිරීමට බ්‍රිතාන්‍යය යෝජනා කර ඇත.

මේ සඳහා විකල්ප ලෙස ඉදිරිපත් ව ඇත්තේ දැනටමත් භාවිතයේ ඇති වීදුරු කෝප්ප හා ප්‍රතිචක්‍රිකරණයට ලක්‌ කළ හැකි කෝප්ප ය. එසේ ම ඇතැම් ආයතන විවිධ පියවර හඳුන්වා දී ඇත. තමන් ගේ ම බඳුන් රැගෙන එන පුද්ගලයන්ට කෝපි සඳහා වට්‌ටමක්‌ ලබා දීම නිදසුනකි. මේ සඳහා යම් බද්දක්‌ එකතු කිරීමෙන් වැඩි ප්‍රතිඵලයක්‌ අත් කරගත හැකි බව බ්‍රිතාන්‍යය මේ ගැන සිදු කළ වාර්තාවක්‌ අනුව පෙනෙයි. එම බදු මුදල අදාළ කෝප්ප ප්‍රතිචක්‍රිකරණය කරනු ලබන පහසුකම් සංවර්ධනය කිරීම සඳහා යෙදවීමට අපේක්‌ෂිත ය. එසේ ම යුරෝපා සංගමයේ යෝජිත නියෝග අනුව ද වරක්‌ භාවිතයෙන් පසුව ඉවත දමන ප්ලාස්‌ටික්‌ කෝප්ප ඉදිරියේ දී තහනම් වනු ඇතැයි අපේක්‌ෂා කරනු ලැබේ.

එසේ ම ප්ලාස්‌ටික්‌ බෝතල් සම්බන්ධ ව ද මෙවැනි විරෝධයක්‌ එල්ල වී ඇත. නිදසුනක්‌ ලෙස ගත හොත් බ්‍රිතාන්‍යයේ පමණක්‌ මෙසේ භාවිතයෙන් පසුව ඉවත දමන ප්ලාස්‌ටික්‌ වතුර බෝතල් බිලියන 7.7ක්‌ වර්ෂයක දී ඉවත දමනු ලැබෙයි. තවත් බෝතල් බිලියන 7.5ක්‌ පමණ ප්‍රතිචක්‍රිකරණය කරනු ලැබේ. ඒ වෙනුවට තමන් ගේ ම ජල බෝතලයක්‌ රැගෙන යැම ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කිරීම සුදුසු බව පෙන්වා දී තිබෙයි. එසේ ම ප්ලාස්‌ටික්‌ ජල බෝතල භාවිතය අඩු කිරීම සඳහා ප්‍රායෝගික පියවර ඇතැම් රටවල් ගෙන ඇත. 'සැම ආහාර පාන සපයන සැම ආයතනයක්‌ ම පානීය ජලය නොමිලේ සැපයිය යුතු ය' යනුවෙන් නීති සැකසීම මීට නිදසුනකි.

ප්ලාස්‌ටික්‌ බීම බට


බීම ආදිය පානය කිරීම සඳහා යොදාගන්නා ප්ලාස්‌ටික්‌ බීම බට හෙවත් ස්‌ට්‍රොa සම්බන්ධ ව ද මෑත කාලයේ සිට අවධානය යොමු ව ඇති බව පෙනෙයි. බ්‍රිතාන්‍යයේ පමණක්‌ එක්‌ වර්ෂයක්‌ ඇතුළත භාවිතයෙන් පසුව බැහැර කරනු ලබන බීම බට ප්‍රමාණය බිලියන 8.5ක්‌ පමණ වන අතර, එය එරට වෙරළ පිරිසිදු කිරීම්වල දී හමු වන ප්‍රධාන අපද්‍රව්‍ය දහයෙන් එකක්‌ ද වෙයි. පසුගිය දා බ්‍රිතාන්‍යයේ පරිසර ලේකම් පවසා තිබුණේ ප්ලාස්‌ටික්‌ ස්‌ට්‍රොa බ්‍රිතාන්‍යය තුළ ද තහනම් කිරීමට වුව ද හැකියාව ඇති බවයි.

මේ වන විටත් ඇතැම් ව්‍යාපාරවල බීම බට ලබා දෙනුයේ පාරිභෝගිකයා ඉල්ලා සිටිය හොත් පමණකි. ඒවා භාවිතයෙන් ඉවත් කරමින් තිබෙයි. ඒ වෙනුවට කඩදාසි හා ලෝහමය බීම බට භාවිතයට ගැනීම ප්‍රවර්ධනය කරනු ලැබේ. මෙය ද යුරෝපා සංගමයේ යෝජිත නීතිවලට ඇතුළත් වනු ඇතැයි අපේක්‌ෂිත නිෂ්පාදනයකි

http://www.vidusara.com/2018/03/07/feature4.html

Friday, February 16, 2018

මිනිසුන් අප්‍රිකාවෙන් පිට වූ දිනය වඩාත් පැරැණි බවට තවත් සාධක

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 14.02.2018. පි. 4 (Vidusara)

http://www.vidusara.com/2018/02/14/feature1.html





නූතන මිනිසා හෙවත් Homo sapiens sapiens මානවයා අදින් වර්ෂ 200,000කට පමණ ඉහත දී අප්‍රිකාවේ බිහි වී ලෝකයේ සෙසු ප්‍රදේශවලට ව්‍යාප්ත වූ බවට ඇති මතය පුළුල් ලෙස පිළිගත් මතයකි. මේ වන විට ඇති එක්‌ මතයක්‌ වන නූතන මිනිසා අප්‍රිකාවෙන් පිට වී ඇත්තේ අදින් වර්ෂ 50,000ත් 75,000ත් අතර කාලයකට පමණ ඉහත දී ය. (එහි සාමාන්‍යය වසර 60,000 ලෙස ද සැලකේ). අද වාසය කරන මිනිසුන් ගේ ප්‍රවේණික ද්‍රව්‍ය ආශ්‍රිත ව සිදු කරන ලද අධ්‍යයන මඟින් ද මේ මතය සඳහා වැඩි නැඹුරුවක්‌ ලැබී ඇත. එහෙත් මිනිසා අප්‍රිකාවෙන් නික්‌මුණු දිනය මීට වඩා පැරැණි බවත් එය අදින් වසර 100,000ත් 125,000 අතර කාලයකට පමණ පෙර සිදු වූ බවත් පැවසෙන මතයක්‌ ද තිබෙයි. මේ අනුව නූතන මිනිසා එක්‌ වරක්‌ නො ව කිහිප වරක්‌ අප්‍රිකාවෙන් පිටතට ව්‍යාප්ත වූ බවක්‌ යෝජනා වී ඇත. ඒ අප්‍රිකාවෙන් කලින් පිට වූ ඇතැම් නූතන මිනිසුන් ගෙන් පැවත එන්නන් පසුව ආ ප්‍රවාහයක්‌ තුළ යටපත් වී යන්නට ඇත යන අදහසිනි.

මේ දෙවැනි මතය සඳහා සාධක ලැබී ඇත්තේ වඩා මෑත කාලයේ දී ය. පසුගිය වර්ෂයේ මොරොක්‌කෝවෙන් හමු වූ නූතන මානව ෆොසිල පෙන්වා දෙන ලද්දේ නූතන මානවයා අදින් වසර 300,000ක්‌ පමණ කාලයකට හෙවත් මෙතෙක්‌ විශ්වාස කළාට වඩා වසර 100,000කට කාලයකට පෙර එම ප්‍රදේශයේ වාසය කළ බවයි. ඒ උතුරු අප්‍රිකාවේ වීම සුවිශේෂ ය. අනෙක්‌ අතට තවත් සාධක අනුව පෙනී ගොස්‌ ඇත්තේ අදින් වසර 60,000කට වඩා කාලයකට පෙර නූතන මානවයා පිළිබඳ සාධක ආසියාවෙන් හා ඔස්‌ටේ්‍රලියාවෙන් ලැබී ඇති බවයි. චීනයෙන් වසර 120,000කට පෙර ද, ඉන්දුනීසියාවෙන් වසර 73,000කට පමණ පෙර ද, ඔස්‌ට්‍රේලියාවෙන් වසර 65,000කට පමණ පෙර ද මේ සාධක ලැබී ඇත. මේ අනුව අප්‍රිකාවෙන් නූතන මානවයා කලින් නික්‌මීම පිළිබඳ සාධක වඩා ශක්‌තිමත් බව පැහැදිලි ය. එමෙන් ම මෑත දී ලැබී ඇති ප්‍රවේණික සාධක මඟින් පෙනී ගොස්‌ ඇත්තේ අප්‍රිකාවෙන් පිටතට ව්‍යාප්ත වූ නූතන මානවයා ඒ වන විට එම ප්‍රදේශවල ජීවත් වූ වෙනත් ආදි මානව විශේෂ වන නියෑන්ඩර්තාල් හා ඩෙනිසෝවන් වැනි මානවයන් හා අභිජනනය කරන ලද බවයි.


Homo sapiens sapiens මානවයා වැදගත් වන්නේ සමස්‌ත ලෝකය ම ජයගැනීමට සමත් වූ එක ම මානවයා ඔහු වන බැවිනි. Australopithecus මානවයන් අප්‍රිකාවෙන් පිටතට ව්‍යාප්ත වූ බවක්‌ වාර්තා වී නොමැත. එසේ ම නියෑන්ඩර්තාල් මානවයන් අප්‍රිකාවට පැමිණි බවට සාධක හමු නො වෙයි. එමෙන් ම Homo erectus මානවයන් අප්‍රිකාවෙන් පිටතට ගොස්‌ ආසියාව, යුරෝපය ඇතුළත් පැරැණි ලෝකයේ (Old World) බොහෝ ප්‍රදේශවල ව්‍යාප්ත වූ නමුත්, ඔස්‌ට්‍රේලියාවට හා නව ලෝකය හෙවත් ඇමෙරිකානු මහාද්වීපයට ව්‍යාප්ත වූයේ නැත. එහෙත් Homo sapiens sapiens මානවයා සමස්‌ත ලෝකය පුරා ම ව්‍යාප්ත වී තිබේ.

කෙසේ වෙතත් පසුගිය ජනවාරි මාසයේ දී ප්‍රකාශයට පත් වූ පර්යේෂණ පත්‍රිකාවකින් නූතන මානවයා මෙතෙක්‌ පිළිගත් දිනවලට වඩා පෙර වකවානුවක දී අප්‍රිකාවෙන් නික්‌මුණු බවට තවත් සාධකයක්‌ ඉදිරිපත් කර ඇත. එම සාධක ලැබෙන්නේ ඊශ්‍රායලයෙනි.

ඊශ්‍රායලයෙන් ලැබුණු ෆොසිලය


මේ අධ්‍යයනය සඳහා යොදාගෙන ඇත්තේ ඊශ්‍රායලයේ ගල් ලෙනකින් 2002 වර්ෂයේ දී ලැබුණු ෆොසිලයකි. එය අප්‍රිකාවෙන් පිටත දී හමු වූ නූතන මානවයා ගේ මෙතෙක්‌ දන්නා පැරැණි ම ෆොසිලය බව මෙහි දී පෙන්වා දී ඇති අතර ඒ පිළිබඳව ඇති දින වකවානු වර්ෂ දස දහස්‌ ගණනකින් අතීතයට ගෙන යැමට යෝජනා කරයි. කෙසේ වෙතත් මෙහි දින වකවානු පිළිබඳ ව මතභේද ද පවතියි.

ඊශ්‍රායලයේ කාර්මල් (Mount Carmel) කන්දේ බටහිර බෑවුමේ පිහිටා ඇති මිස්‌ලියා (Misliya) ගුහාව නම් ගුහාවෙන් හමු වී ඇති මේ ෆොසිලය මානව උඩු හනුවක කොටසකි. එහි දත් අටක්‌ පමණ ශේෂ ව තිබේ. මේ ෆොසිලය එකිනෙකට වෙනස්‌ ක්‍රම තුනක්‌ යොදාගනිමින් කාල නිර්ණය කර ඇති අතර ඒ අනුව අදින් වසර 177,000ක්‌ හා 194,000ක්‌ අතර කාලයකට අයත් ලෙස කාල නිර්ණය කර තිබේ (එහි සාමාන්‍යය වසර 185,000ක්‌ පමණ වේ).

මේ ෆොසිලයේ ව්‍යුහ විද්‍යාත්මක ස්‌වභාවය හඳුනාගැනීමට මේ පර්යේෂකයන් උත්සාහ කර ඇත. එය නූතන මානවයා ගේ හා අප්‍රිකාවෙන්, යුරෝපයෙන් හා ආසියාවෙන් හමු වී ඇති ආදි මානවයන් හා සංසන්දනය කිරීම සිදු කර තිබෙයි. එහි දී පෙනී ගොස්‌ ඇති ආකාරයට එය වඩාත් සමීප වී ඇත්තේ නූතන මානවයා හෙවත් Homo sapiens sapiens සමඟ ය. මේ සඳහා පරිගණක ආශ්‍රිත නවීන තාක්‌ෂණික උපක්‍රම භාවිත කර තිබේ.

මේ ෆොසිලයට ලබා දී ඇති කාල නිර්ණය අනුව නූතන මානවයා අප්‍රිකාවෙන් පිට වූ දිනය මෙතෙක්‌ දන්නා දිනයට වඩා වසර 50,000ක්‌ පමණ පමණ ඈතට යන බව උක්‌ත පර්යේෂකයන් ගේ අදහස වේ. මෙතෙක්‌ පැවැති පැරැණි ම සාධකය වන්නේ අදින් වසර 90,000ත් 120,000ත් අතර කාලයකට දින නියම කර තිබූ ස්‌කුල් (Skhul) හා කෆ්සේ (Qafzeh) නම් ඊශ්‍රායලයේ ම පිහිටා ඇති ස්‌ථානවලින් හමු වී ඇති මානව ශේෂ ය. ඒ අනුව ඒවාට වඩා මේ මිස්‌ලියා ෆොසිලය වසර 50,000ක්‌ පමණ පැරැණි බව පර්යේෂකයන් ගේ මතයයි.

එමෙන් ම මේ ෆොසිලය හමු වූ ලෙනෙන් විශේෂ වර්ගයක ශිලා මෙවලම් හමු වීම ද වැදගත් සොයාගැනීමක්‌ ලෙස දක්‌වා ඇත. ලෙවලියොස්‌ (Levallois) මෙවලම් ලෙස හඳුන්වා ඇති මේ මෙවලම් පැතලි, තුනී තියුණු මුවහතක්‌ සහිත ආයුධ වර්ගයකි. මේවා මානව ප්‍රාග් ඉතිහාසයේ වැදගත් සන්ධිස්‌ථානයක්‌ ලෙස සැලකේ. මොරොක්‌කෝවේ ජෙබෙල් ඉර්හුද් ස්‌ථානයෙන් මෙන් ම ඉහත සඳහන් ඊශ්‍රායලයේ මිස්‌ලියා ගුහාවෙන් ද මේ වර්ගයේ ශිලා මෙවලම් හමු වීම වැදගත් ය. මේවා ඇතැම් විට නූතන මානවයන් විසින් සොයාගන්නා ලද ආයුධ වර්ගයක්‌ වීමට අවස්‌ථාව ඇති බව ඔවුන් දක්‌වා ඇති අතර, එම තාක්‌ෂණය මේ මානවයන්ට අප්‍රිකාවෙන් පිටතට යැමට උපකාරී වූවා ද විය හැකි බවට ද අදහසක්‌ මතු කර තිබෙයි.

මතභේද පවතී


කෙසේ වෙතත් මේ ෆොසිලය හා එමඟින් ඉදිරිපත් කරන මත පිළිබඳ ව ඇතැම් විද්‍යාඥයන් අතර සැක සහිත බවක්‌ ඇති බව ද පෙනේ. එය නූතන මානවයා ගේ බවට පිළිගත හැකි සාධක තිබේ ද යන්න ගැන ඇතැම් විද්‍යාඥයන් අතර සැකයක්‌ ඇති බව පෙනෙයි. ඒ සඳහා භාවිත කර ඇති සාධක කෙතරම් දුරට පිළිගත හැකි ඒවා වන්නේ ද යන්න ඔවුන් මතු කර ඇති පැනය වෙයි. අනෙක්‌ විශේෂවලට වඩා මේ ෆොසිලය Homo sapiens විශේෂයට සමාන වුව ද, එය එක්‌ අස්‌ථි කොටසක්‌ පමණක්‌ බව ඔවුන් පෙන්වා දී තිබේ. එසේ ම එක්‌ විද්‍යාඥයකු පෙන්වා දී ඇති ආකාරයට එම ෆොසිලයේ, දත් වඩාත් නූතන ස්‌වභාවයක්‌ දක්‌වයි.

ඉහත සඳහන් කළ මේ මානව ශේෂ සමඟ හමු වන ශිලා මෙවලම් පිළිබඳ ව ද මතභේද ඇත. නූතන මානවයා බිහි වීමට පෙර කාලයකට දින නියම කර ඇති ස්‌ථානවලින් ද මේ වර්ගයේ ආයුධ හමු වන බව ඇතැම් විද්‍යාඥයන් දක්‌වා තිබෙයි. මේවා නියෑන්ඩර්තාල් වැනි මානවයන් ගේ වාසස්‌ථානවලින් ද හමු වන බවක්‌ ද වාර්තා වෙයි.

කෙසේ වෙතත් මේ සොයාගැනීම මඟින් මෑත දී අනාවරණය වූ තවත් කරුණක්‌ පිළිබඳ ව සාධක ලැබෙයි. එනම් අප්‍රිකාවෙන් පිටත විසූ නියෑන්ඩර්තාල් හා ඩෙනිසෝවන් වැනි මේ වන විට වඳ වී ගොස්‌ ඇති ආදි මානවයන් හා නූතන මානවයන් අතර අන්තර් සම්බන්ධතා පැවැති බවට ප්‍රවේණික පර්යේෂණ මඟින් දක්‌වා ඇති මතයට මෙමඟින් වැඩි අවස්‌ථාවක්‌ ලැබීමයි. වඩා කලින් අප්‍රිකාවෙන් නික්‌මුණු නූතන මානවයන් හා ආදි මානව විශේෂ අතර මෙවැනි සම්බන්ධතා අන්තර් සම්බන්ධතා ඇති වීමේ අවස්‌ථාව අධික ය.

මේ කරුණු අනුව නූතන මානවයා අප්‍රිකාවෙන් නික්‌මීම පිළිබඳව ඇති මතවාද තවදුරටත් සංකීර්ණ වන බව පැහැදිලි ය. එසේ ම නූතන මානවයා ගේ බිහි වීම පිළිබඳ දින වකවානු ද මේ අනුව වෙනස්‌ විය හැකි ය. අනෙක්‌ අතට අප්‍රිකාවෙන් නික්‌මීම එක්‌ වරක්‌ නො ව කිහිප වරක්‌ සිදු වූ නික්‌මීමක්‌ විය හැකි බව ද පෙනෙයි. කලින් නික්‌මුණු මානව ප්‍රවාහය පසු කලක ආ ප්‍රවාහයෙන් යටපත් වී ගියා වීමට ද හැකි ය. ප්‍රවේණික පර්යේෂණවලින් පෙනෙන පරිදි වසර 60,000කට පමණ පෙර අප්‍රිකාවෙන් පිටතට පැමිණි නූතන මානව ප්‍රවාහයක්‌ වර්තමාන මානවයන් අතර ප්‍රධාන ප්‍රවාහය වන්නේ ඒ නිසා විය හැකි ය.

මූලාශ්‍රය: Science, DOI: 10.1126/science.aap8369

Thursday, February 1, 2018

අපි නිදහස් ද?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 31.01.2018 පි. 4 (Vidusara)


ශ‍්‍රී ලංකාවේ 70 වන නිදහස් දිනය 2018 වර්ෂයේ පෙබරවාරි මස 4 වැනි දාට යෙදී ඇත. 1948 පෙබරවාරි මාසයේ ලංකාව බි‍්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලැබුවේ ඩොමීනියන් තත්ත්වයේ පාලනයක් සහිතවය. එනම්, ඉන් පසුවද මෙරට රජු හෝ රැජින වූයේ බි‍්‍රතාන්‍යයේ රජු හෝ රැජින විය. ඔහු හෝ ඇයගේ නියෝජිතයා වූයේ අග‍්‍රාණ්ඩුකාරවරයාය. (එහෙත් ඊට තිබූ බලය සීමා සහිත විය) මේ තත්ත්වය වෙනස් වී ශ‍්‍රී ලංකාව ජනරජයක් බවට පත් වූයේ 1972 වර්ෂයේ මැයි මස 22 වන දිනදීය. ඇතැම් අයට අමතකව ඇති එම සිදුවීම මෙරට නිදහස පූර්ණ වූ අවස්ථාව සේ සැලකිය හැකිය.

මෙරට හැත්තෑ වන නිදහස් උත්සවයේ බි‍්‍රතාන්‍ය රැජින නියෝජනය කරමින් බි‍්‍රතාන්‍ය රජ පවුලේ සාමාජිකයකු වන එඞ්වඞ් කුමරු සහභාගි වන බව වාර්තා වෙයි. මීට පෙරදීද බි‍්‍රතාන්‍ය රාජකීයයන් අපේ රටේ නිදහස් උළෙලවලට සහභාගි වී ඇත. නිදහසක් ලෙස ගතහොත්, 1998 වර්ෂයේ පැවැති 50වන නිදහස් උත්සවය සඳහා බි‍්‍රතාන්‍ය රජ පවුලේ ඔටුන්න හිමි කුමරු වන චාල්ස් කුමරු මෙරටට පැමිණියේය. එහෙත් බි‍්‍රතාන්‍යයන් යටත්විජිතයක් ලෙස මෙරට පාලනය කළ සමයේ සිදු වූ දේ අනුව ඔවුන් හා එක්ව හෝ නිදහස සැමරිය හැකිද යන්න අපට නම් ගැටලුවකි.

එහෙත් මෙරට තීරණ ගන්නා ඇතැමුන්ගේ අතීත ක‍්‍රියාකාරකම් අනුව එය එතරම් පුදුමයක් නොවේ. පෘතුගීසීන් මෙරටට පැමිණ වසර 500ක් සම්පූර්ණ වීමට නියමිත වූ 2005 වර්ෂයේදී පෘතුගාලයෙන් නියෝජිතයන් මෙරටට ගෙන්වීමට හෝ දෙරටේම උත්සවාකාරයෙන් සැමරීම සඳහා මෙරට ඇතැම් දේශපාලන නායකයින්ට අවශ්‍යතාවයක් පැවැති බව වාර්තා වෙයි. පෘතුගීසීන් මෙරට සිදු කළ මහා විනාශය, අපේ රට හා සංස්කෘතිය උඩු යටිකුරු කළ වෙනසක් ඇති කළේය. එය පරාධීන සමයක ආරම්භය ද විය. වාසනාවකට මෙන් 2004දී සිදු වූ ආණ්ඩු මාරුවත් සමඟ එම සැලසුම් වෙනස් විය.
 
1796 සිට මෙරට පහතරට ප‍්‍රදේශවලත්, 1815 සිට සමස්ත රට තුළ බි‍්‍රතාන්‍යයන් විසින් සිදුකරන ලද පාලනය යටතේ මෙරට තුළ ඇති වූ වෙනස්කම් මෙරට අනෙක් යටත්විජිත පාලන සමයවල සිදු වූ දේට වඩා එතරම් වෙනස් නොවේ. මේ පිළිබඳව අංශ කිහිපයකින් පමණක් මෙහිදී සලකා බලමු.

පරිසරය හා සම්පත් සූරාකෑම


ශ‍්‍රී ලංකාවේ පරිසරය සම්බන්ධව බි‍්‍රතාන්‍ය පාලනය යටතේ සැලකිය යුතු විනාශයක් සිදුව ඇත. අතීතයේ සිට මෙරට මධ්‍ය කඳුකර ප‍්‍රදේශය වැසී තිබුනේ වනාන්තරවලිනි. උඩරට රාජධානි සමයේ පවා විශාල වනාන්තර බිම් ප‍්‍රමාණයක් රාජධානියේ ආරක්ෂිත වී තිබිණි. එහෙත් බි‍්‍රතාන්‍ය පාලන සමයේදී වනාන්තරවලින් වැසී ගොස් තිබූ විශාල ප‍්‍රදේශයක් පළමුව කෝපි වගාව සඳහා ද, පසුව තේ වගාවට හා රබර් වගාව සඳහා ද එළිපෙහෙළි කරන ලදි. බි‍්‍රතාන්‍ය ඉඩම් ප‍්‍රතිපත්තිය අනුව, විවිධ නීති රීති යටතේ පුද්ගලික මෙන්ම විහාර දේවාල සතු ඉඩම්ද රජයට ලබාගෙන වතුවගා සඳහා යොදාගන්නා ලදි.

බි‍්‍රතාන්‍යයන් මෙරට හැරයන අවස්ථාව වන විට මේ වතුවගාවලින් වැසී ගොස් තිබූ බිම් ප‍්‍රමාණය මේ වනාන්තර විනාශයේ තරම පෙන්වයි. 1948 වර්ෂය වන විට ශ‍්‍රී ලංකාවේ පැවැති රබර් වගාබිම් ප‍්‍රමාණය වර්ග කිලෝමීටර් 2,660ක් (හෙක්ටයාර 266,000) වූ අතර, 1950 වන විට තේ වගාව සඳහා වර්ග කිලෝමීටර් 2,250ක් (හෙක්ටයාර 225,000) යොදාගෙන තිබිණි. එ් අනුව තේ හා රබර් වගා දෙක සඳහා පමණක් එළි කර තිබූ තෙත් කලාපීය බිම් ප‍්‍රමාණය ඒ අනුව වර්ග කිලෝමීටර් 4,910ක් හෙවත් රටේ බිම් ප‍්‍රමාණයෙන් 7.48%ක් පමණ වෙයි. පොල්, කෝපි, කොකෝවා, ආදි වතු වගාද මෙකල ව්‍යාප්ත වී තිබිණි. මේ සඳහා යොදාගත් බිම් අතරින් වැඩි ප‍්‍රමාණක් වනාන්තර වෙයි.
මෙහි ඇති වැදගත් කරුණු දෙකක් ඇත. ඉන් පළමුවැන්න මේ වගා සඳහා එළි පෙහෙළි කරන ලද වනාන්තර සියල්ලම හෝ වැඩි ප‍්‍රමාණයක් ජෛව විවිධත්වයෙන් ඉහළ තෙත් කලාපීය වනාන්තර වීමය. අනෙක් වැදගත් කරුණ වන්නේ මේ වනාන්තර එළි කර භූමිය ලබාගන්නා ලද්දේ මෙරට වැසියන්ගේ යැපුම් අවශ්‍යතාවයක් සඳහා නොව අපනයනය සඳහා සිදුකරන ලද නිෂ්පාදනයක් වෙනුවෙනි. එහි ලාභය උපයන ලද්දේ බි‍්‍රතාන්‍යයන් හා බි‍්‍රතාන්‍ය සමාගම් විසිනි. 

මේ ආකාරයටම බි‍්‍රතාන්‍ය යුගයේදී වියළි කලාපයේ පිහිටා තිබූ වනාන්තර ප‍්‍රදේශ විශාල වශයෙන් හෙළි පෙහෙළි කරන ලදි. ඒ දැව ලබාගැනීම පිණිසය. කළුවර, බුරුත වැනි දැව සඳහා තිබූ ඉහළ ඉල්ලූම සඳහා දැව හෙලීම නිසා ඇති වූ තත්ත්වය පරිපාලන වාර්තාවල සඳහන් වෙයි. පාලනයකින් තොරව ඇති වූ මේ තත්ත්වය නිසා, එම වනාන්තර හා ඇතැම් දැව වර්ග තුරන්ව හා හැකි බව බි‍්‍රතාන්‍ය නිලධාරීන් විසින්ම සඳහන් කර ඇත. මෙම තත්ත්වය පාලනය කර දැව ලබාගැනීම විධිමත් කිරීම කැලෑ දෙපාර්තමේන්තුවක් ඇති කිරීම සඳහා මූලික වූ හේතුව විය. එහි මුල් අවස්ථාවේදී සංරක්ෂණ අරමුණක් නොවීය.

මේ හැරුණු කොට මෙරට තිබූ වෙනත් සම්පත්ද හුදු ආර්ථික වාසි වෙනුවෙන් උකහාගැනීම බි‍්‍රතාන්‍ය සමයේදී සිදු විය. මිනිරන් කර්මාන්තය මීට නිදසුනකි.

යටිතල පහසුකම් ඇතිකිරීම


බි‍්‍රතාන්‍යයන් විසින් සිදු කළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මෙරට වැසියන්ගේ යහපත වෙනුවෙන් සිදුකරන ලද්දක් හෝ ඉන් මෙරට වැසියන්ට යහපතක් සැලසුනු බවක් ඇතැම් අය විසින් පුන පුනා දක්වන කරුණකි. එහෙත් එය සැබැවින්ම එසේද යන්නද විමසා බැලිය යුත්තකි.

බි‍්‍රතාන්‍යයන් ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශවල මහා මාර්ග ඉදි කළේ මූලික වශයෙන්ම මෙරට පාලනය පහසුවෙන් පවත්වා ගැනීම සඳහාය. උඩරට ප‍්‍රදේශ හා පහතරට ප‍්‍රදේශ සම්බන්ධ කරමින් මහාමාර්ග ඉදිකිරීම පිළිබඳව සැලකීමෙන් ඒ බව පැහැදිලිව පෙනෙයි. අනෙක් අතට විවිධ ප‍්‍රදේශවලදී ජනතාව විසින් රජයෙන් ඉල්ලා සිටි ඇතැම් මාර්ග ඉදිකිරීම සඳහා බි‍්‍රතාන්‍ය පාලකයින් උනන්දුවක් නොදැක්වීම මීට මනා නිදසුනකි. එවැනි අවස්ථාවලදී ඇතැම් මාර්ග ජනතාව විසින්ම තනාගත් අවස්ථා තිබෙයි.

එසේම බි‍්‍රතාන්‍යයන් විසින් දුම්රිය මාර්ග ඉදි කළේ වතු වගාව ව්‍යාප්ත වීම හා සමඟ එ්වායේ නිෂ්පාදන පහසුවෙන් කොළඹ වරාය වෙත ප‍්‍රවාහනය කිරීම අරමුණු කරගනිමිනි. දුම්රිය මාර්ග ව්‍යාප්ත වූ ප‍්‍රදේශ පිළිබඳව විමසා බැලීමේදී මේ තත්ත්වය මනාව පැහැදිලි වෙයි. ඇතැම් නිලධාරින් විසින් ජනතාවගේ යහපතට හේතුවන ලෙස නම් කරන ලද දුම්රිය මාර්ග ඉදිකිරීම රජය විසින් ප‍්‍රතික්ෂේප කරන ලද්දේ ඒවායින් ආර්ථික වශයෙන් යහපතක් නොසැලසෙන බව පවසමිනි. මේ සඳහා හොඳම නිදසුන වන්නේ මාතරින් ඔබ්බට හම්බන්තොට දක්වා දුම්රිය මාර්ගයක් තැනීම පිළිබඳ යෝජනාවට අත් වූ ඉරණම සැලකීමේදීය. එය මුලින්ම යෝජනාව වූයේ 1894දී තරම්ය. විටින් විට දිසාපතිවරුන් ඉල්ලීම් සිදුකරන ලද නමුත් හම්බන්තොට දක්වා වූ දුම්රිය මාර්ගයක් සඳහා වූ මිණුම් කටයුතු පවා සිදුකරන ලද්දේ 1921-22 වර්ෂවලදීය. එ් සඳහා වූ ඇස්තමේන්තුද සකස් කරන ලදි. එහෙත් 1925 දී පත් කරන ලද කොමිසමක නිර්දේශ මත එම යෝජනාව ක‍්‍රියාත්මක කිරීම නවත්වන ලදි. එයට හේතුව වූයේ ඉන් වියදමට සරිලන ආදායමක් නොලැබීමය. (ඉන් දශක ගණනාවකට පසුව මේ දුම්රිය මාර්ගය යළි ඉදිකිරීම සඳහා 1990 දශකයේදී හා 2000 දශකයේදී උත්සාහ ගත්තද එ්වා අසාර්ථක විය. එය මේ වන විට ඉදි කෙරෙමින් තිබෙයි.)
 
එසේම මෙරට සියලූ දුම්රිය මාර්ග ඉදිකිරීමේදී විවිධ කණ්ඩායම් විසින් ඉදිරිපත් කළ ඉල්ලීම්, පෙත්සම් ආදිය අනුව පෙනෙන්නේ එය හුදෙක් පහසු කාර්යයක් නොවු බවයි. එසේම වතු වගා පැවැති ප‍්‍රදේශවලට දුම්රිය මාර්ග ව්‍යාප්ත කිරීමේදී අදාළ වගාවල නිෂ්පාදනවලින් අතිරේක බද්දක් ගෙවිය යුතු වූ අවස්ථා තිබෙයි.

වාරිමාර්ග දියුණු කළේ ඇයි?


බි‍්‍රතාන්‍ය සමයේ මෙරට වාරිකර්මාන්ත අලූත්වැඩියා කිරීම සඳහා කිසියම් පියවරක් ගෙන ඇති බව සත්‍යයකි. එහෙත් එ් ඔවුන් මෙරට පාලනය කිරීම පටන්ගෙන අඩ සියවසක් පමණ ගත වූ පසුවය. ඊට පෙර එවැනි උත්සාහයක් ගෙන නොමැති තරම්ය. ඊට හේතුව මෙරටට සහල් ආනයනය කිරීම සඳහා දැරිය යුතු වූ අධික වියදම නිසා ඉන්දියාව හා මෙරට අතර තිබූ වෙළෙඳ ශේෂය යහපත් තත්ත්වයක පවත්වා ගැනීමට ඇති වූ අවශ්‍යතාවයයි. 

එසේම රජයේ වියදමින් වැව් ප‍්‍රතිසංස්කරණය කිරීමේදී එම වැව්වලින් ජලය ලබාගන්නා ගොවීන් කිසියම් කාලයක් යනතුරු වැඩි බදු මුදලක් ගෙවිය යුතු විය. එය අස්වැන්නෙන් 10%ක් පමණ විය. රජයේ අපේක්ෂාව වූයේ එමගින් අදාළ කටයුතු සඳහා වූ වියදම පියවා ගැනීමය.

නිදහස් අරගලය


ඇතැමුන් සිතන්නේ මෙරට නිදහස් ලබාගත්තේ ලේ හැලූණු අරගලයකින් නොවන නිසා සුද්දා කැමැත්තෙන් රට අපට දී ගිය බවකි. එහෙත් එය එසේ නොවේ. 1818 හා 1848 වැනි නිදහස් සටන්ද (ඇතැමුන්ට මේවා කැරලිය) එ් හැරුණු විට වරින් වර බි‍්‍රතාන්‍ය පාලනයට එරෙහිව මෙරට තුළ ඇති වූ කුඩා ප‍්‍රමාණයේ නැගී සිටීම්ද සියල්ල බි‍්‍රතාන්‍යයින් විසින් මර්දනය කරන ලදි. 1818 හා 1848 ඇති වූ අරගල මර්දනය කළ අතිශය ක‍්‍රෑර ආකරය අපි අසා ඇත්තෙමු. විශේෂයෙන් 1818 වෙල්ලස්සෙන් ඇරඹුනු නිදහස් අරගලය ඉතා කෲර ලෙස මර්දනය කරන ලද්දේ විශාල විනාශයක් රටට සිදුකරමිනි. සියලූ ගම් බිම් කෙත් වතු පාළු කර, වයස අවුරුදු දහසයට වඩා වැඩි පිරිමින් මරාදමා සිදු කළ විනාශය බරපතළය. එදා වෙල්ලස්ස වැනි ප‍්‍රදේශවල කළ ජන හා දේපොළ විනාශය සැලකිය යුතු කාලයක් යනතුරු එම පළාත් රටේ සෙසු පළාත්වලට වඩා පසුබා තිබිණි. 1848 අරගලයද මර්දනය කරන ලද්දේ ක‍්‍රෑර ආකාරයෙනි. 1915දී ඇති වූ සිංහල-මුස්ලිම් කෝලාහලය අවස්ථාවේදී පවා එ් වන විට නැගී එමින් තිබූ ජාතික නායකත්වය මර්දනය කිරීමට උත්සාහ ගත් බව පැහැදිලි කරුණකි.

කෙසේ වෙතත්, පැවැති ලෝක දේශපාලන තත්ත්වය තුළ 1948දී බි‍්‍රතාන්‍යයට මෙරටට නිදහස ලබාදීමට සිදු විය. එහෙත් එය අහසින් වැටුණු නිදහසක් නම් නොවේ. මෙරට නායකයින් හා වැසියන්ගේ දීර්ඝකාලීන ඉල්ලීමක ප‍්‍රතිඵලයක් බව ඉතිහාසය හදාරන්නවුන්ට රහසක් නොවේ. අනෙක් අතට අද අප අත් දකින තවත් බොහෝ ගැටලූද බි‍්‍රතාන්‍ය පාලනයේ ප‍්‍රතිඵල වෙයි. මීට නිදසුන ඔවුන්ගේ බෙදා පාලනය කිරීමේ න්‍යායයේ ප‍්‍රතිඵලයක් වූ ජනවාර්ගික අර්බුදයයි (එවැන්නක් තිබේ නම්).
 
මේ කරුණු අනුව ශ‍්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය පාලනයේ සැබෑ තත්ත්වය පිළිබඳව විමසන විට බි‍්‍රතාන්‍යයන් සමඟ සහයෝගයෙන් මෙරට නිදහස් දිනය සැමරිය හැකිද යන්න ඉතිහාසය දෙස යථාර්ථවාදීව සිතන ඕනෑම අයෙකුට නැගෙන පැනයකි. එහෙත් අපේ රටේ ඇතැමුන් තවමත් මානසිකව බි‍්‍රතාන්‍යයෙන් හෝ බටහිරින් නිදහස් වී නොමැති වීම කණගාටුවට කරුණකි.