Saturday, October 31, 2020

ලෝකයේ අනාගතයට වඩා හොඳ කවුද?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.10.21, පි. 10 (Vidusara)

http://www.vidusara.com/2020/10/21/feature5.html





ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය 2020 නොවැම්බර් මාසයේ තුන්වැනි දින පැවැත්වීමට නියමිතය. වර්තමාන ජනාධිපති රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඩිමොක්‍රටික් පාක්ෂික අපේක්ෂක ජෝ බයිඩන් මෙවර එරට ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයෝ වෙති. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණයට පැමිණෙන්නේ වසර හතරකට ආසන්න කාලයක් එරට පාලනය කළ නායකයා ලෙසය. එසේම ජෝ බයිඩන් වසර ගණනක දේශපාලන අත්දැකීම් ඇති හිටපු උප ජනාධිපතිවරයෙකි.

මේ අපේක්ෂකයන් දෙදෙනාගෙන් කෙනෙකු ඇමරිකාවේ ජනාධිපති ලෙස එරට ජනතාව විසින් තෝරාගනු ඇත. ඒ තීරණය සඳහා මූලිකව බලපානු ඇත්තේ එරට ආර්ථිකය, රැකියා උත්පාදනය හා සෙසු දේශපාලන පිළිවෙත්ය. එහෙත් මෙහි ඇති ගැටලුව වන්නේ ඇමරිකානු ජනතාව තෝරාගන්න ජනාධිපතිවරයා ලෝකයට, මෙන්ම ලෝකයේ අනාගතයට ද බලපෑම් කළ හැකි අයෙකු වීමය. ඇමරිකාවේ ජනාධිපතිවරයා අනුගමනය කරන පරිසර ප්‍රතිපත්තිය, විශේෂයෙන් ‌දේශගුණ වෙනස්වීම සම්බන්ධව අනුගමනය කරන ප්‍රතිපත්තිය අනාගතයේදී ලෝකයේ පරිසරයට මෙන්ම ජනතාවට ද බලපායි.

එබැවින් මේ අපේක්ෂකයින් දෙදෙනා දේශගුණ වෙනස් වීම සම්බන්ධයෙන් දක්වන ආකල්ප හා ඒ පිළිබඳ පිළිවෙත් සංසන්දනය කිරීම වැදගත් වන්නේ දේශගුණ වෙනස් වීම යනු නූතන ලෝකයේ බරපතළම පාරිසරික ගැටලුව වන නිසාය. 

ට්‍රම්ප් පිළිවෙත්


ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු පාලන සමය දේශගුණ වෙනස් වීම මෙන්ම, සමස්තයක් ලෙස පරිසරය පිළිබඳව ද සුභවාදී කාලයක් නොවීය. දේශගුණ වෙනස් වීම විශ්වාස නොකරන බව පවසූ ඔහු පැරිස් ගිවිසුමෙන් ඉවත්වීමට තීරණය කළේය. දේශගුණ වෙනස් වීම වැළැක්වීම සඳහා ක්‍රියාත්මක මෙම ගිවිසුම, ඒ සම්බන්ධව මෙතෙක් ඇතිකරගෙන තිබෙන වඩාත් අපේක්ෂා සහගත ජගත් ගිවිසුම වෙයි. ලෝකයේ මුල් පෙළේ හරිතාගාර වායු විමෝචකයෙකු මෙන්ම ඓතිහාසික විමෝචන සම්බන්ධවද වැදගත් රටක් වන ඇමරිකාව එම ගිවිසුමෙන් ඉවත්වීම ගැටලු සහගත එකකි. එම ඉවත්වීම ක්‍රියාත්මක වන්නේ මේ වර්ෂයේ නොවැම්බර් මාසයේ සිටය. එදා පැරිස් ගිවිසුමෙන් ඉවත්වෙමින් එම ගිවිසුම සම්බන්ධව නැවත සාකච්ඡා කළ යුතු බව ඔහු පැවසූ නමුත් මේ දක්වා ඒ සම්බන්ධව කිසිදු පියවරක් ඔහු විසින් ගෙන නැත.

අනෙක් අතට ට්‍රම්ප් විසින් අනුගමනය කළ බලශක්ති ප්‍රතිපත්තියද දේශගුණ වෙනස් වීමට හිතකර එකක් නොවේ. එයින් කාබන් විමෝචන අධික බලශක්ති නිෂ්පාදනයට අවශ්‍ය අවස්ථා ඉහළ නංවා ඇත. ආරක්ෂිත ප්‍රදේශවල තෙල් හා ගෑස් නිධි ලබාගැනීම සඳහා කැනීම් කිරීමට ඉඩ දීම එවැන්නකි. ගෑස් හා තෙල් ලබා ගැනීම සඳහා අධි පීඩන ජල ප්‍රවාහ යොදාගනිමින් ක්‍රියාත්මක කළ ෆ්‍රැකින් ක්‍රමය (fracking) නිසා ඇමරිකාව පසුගිය වර්ෂයේදී කෙටි කාලයකට ලෝකයේ ඉහළම තෙල් අපනයනය කරන රට බවට පත්විය. 

ට්‍රම්ප් නැවතත් ජයග්‍රහණය කිරීමෙන් පසුව පොසිල ඉන්ධන සඳහා තවදුරටත් රාජ්‍ය සහයෝගය, බලපත් හා සහන ආදිය ලැබෙනු ඇති බව අනුමාන කෙරෙයි. එය ලෝකයේ හරිතාගාර වායු විමෝචන ඉහළ දැමීමට උපකාර වනු ඇත. ඇමරිකාව සිය විමෝචන අඩු කිරීමට හෝ සීමා කිරීමට කිසිදු පියවරක් නොගන්නා තත්ත්වයක් තුළ එසේ වුවහොත් ඇති විය හැක්කේ කෙබඳු තත්ත්වයක්ද? 

වඩා යහපත් තත්ත්වයක් එළැඹෙන තුරු තවත් වසර හතරක් බලා සිටීමට සිදුවිය හැකි බව හා එවිට දේශගුණ වෙනස් වීම වඩාත් බරපතළ විය හැකි බව කොලොම්බියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මයිකල් ජෙරාඩ් පවසයි. එසේ වුවහොත් පැරිස් ගිවිසුමෙන් අපේක්ෂිත සෙල්සියස් අංශක දෙකේ ඉලක්කය තුළ රැඳීම අපහසු විය හැකිය. ට්‍රම්ප් බලයේ සිටි කාලයේදී වෙනත් කිසිදු රටක් ඍජුව ආක්‍රමණය නොකළ බව ඇත්තක් විය හැකිය. එහෙත් දේශගුණ වෙනස් වීම උග්‍ර වීමට ඉඩදීමෙන් ඔහු ලෝකයේ පරිසරයද, බොහෝ රටවල විවිධ ප්‍රදේශ ද දැඩි අවදානමකට දමා ඇත. ඒ අතර වැඩි වශයෙන් ඇත්තේ දුප්පත් හා දියුණු වන රටවල් හා දූපත් රාජ්‍යයන්ය.
පසුගිය වසර තුනක පමණ කාලයේදී ට්‍රම්ප් පාලනය විසින් ආපසු හරවන ලද පාරිසරික නීති රීති ගණන 160ක් පමණ වන බව නිව්යෝකිහි කොලොම්බියා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් පෙන්වා දී තිබෙයි. විවිධ අංශවලට අදාළ ඒ නීතිරීති මොනවාද මොනවාද යන්න https://climate.law.columbia.edu/climate-deregulation-tracker වෙබ් අඩවියෙන් බලා ගත හැකිය. 

දේශගුණ වෙනස් වීම විශ්වාස නොකළ ට්‍රම්ප් එරට රජයේ ආයතන සමහරක විද්‍යාත්මක කටයුතුවලය ඍජු හා වක්‍ර සීමා පැන වූ බව එකල වාර්තා විය. මේ තත්ත්වය ගැන එරට පරිසර ආරක්ෂන ඒජන්සියේ හිටපු ප්‍රධානී ගීනා මැකාති පවසා ඇත්තේ ජනතාව දැනටමත් දකින, දැනෙන හා රසවිඳින දේ ඔවුන් ඉදිරිපිට සිදුනොවන බව පැවසීමට වර්තමාන පාලනය උත්සාහ ගෙන ඇති බවයි.
මේ අනුව ට්‍රම්ප් නැවතත් ජනාධිපති බවට‌ පත්වුවහොත් ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම පාලනය කිරීමට නොහැකි වනු ඇති බව විද්‍යාඥයින් රැසක් පවසති.

ජෝ බයිඩ්න් ප්‍රතිපත්ති


ජෝ බයිඩ්න් අතීතයේ සිටම පරිසර හිතවාදී ක්‍රියාකාරකම් සඳහා ප්‍රකට වූවෙකි. සෙනෙට් සභිකයෙකු ලෙස 1986 දී දේශගුණ ආරක්ෂණ පනතක් යෝජනා කළේය. එසේම පසුකලක ඔබාමාගේ දේශගුණ හිතවාදී පිළිවෙත්වලට ඔහුගේ සහාය පළ විය (පැරිස් ගිවිසුම සම්බන්ධ ඔහුගේ දායකත්වය නම් අතිශයෝක්තියෙන් හුවා දක්වා ඇති බව මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.)

ජෝ බයිඩ්න්ගේ දේශගුණ සැලසුම මීට වඩා වෙනස් එකකි. මේ වන විට ප්‍රකාශිත ඔහුගේ ප්‍රතිපත්තිය අනුව 2035 වර්ෂය වන විට ඇමරිකාවේ බලශක්ති අංශය කාබන් විමෝචනවලින් තොර පිරිසිදු එකක් වනු ඇත. එමෙන්ම එමගින් 2050 වර්ෂය වන විට ඇමරිකාවේ ශුද්ධ විමෝචන ප්‍රමාණය ශුන්‍ය බවට පත් කිරීම ද ඔහුගේ දේශගුණ සැලසුම්වල ඇතුළත්ය.
 
විදුලියෙන් ධාවනය වන වාහන හා දුම්රිය යොදාගනිමින් එරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් මේ යටතේ යෝජනා කර තිබෙයි. එසේම තිරසර නිවාස මිලියන 1.5ක් ගොඩනැගීමට ද ඔහු අදහස් කරයි. එමෙන්ම සිය විමෝචන අඩු කිරීමට ක්‍රියා නොකරන රටවලට එරෙහිව ඇමරිකාව විසින් දේශගුණ බද්දක් අය කළ යුතු බව ද බයිඩ්න් යෝජනා කරයි. ඔහු පිරිසිදු බලශක්ති අංශයේ ආයෝජනය කිරීමට අපේක්ෂා කරන මුදල ඩොලර් ට්‍රිලියන 2කි. බැරැක් ඔබාමා විසින් යෝජනා කළ ආකාරයට, පිරිසිදු බලශක්තිය වෙත පිවිසෙන අතරමැදි බලශක්තියක් ලෙස ස්වාභාවික ගෑස් යොදාගැනීම ද මීට ඇතුළත්ය. ෆෙඩරල් රජයට අයත් භූමියේ හා ජල ප්‍රදේශවල තෙල් හා ගෑස් කැනීමට බලපත් නොදෙන බවද හෙතෙම පවසා තිබෙයි.

එසේම ජෝ බයිඩ්න් ජනාධිපති වුවහොත් ඇමරිකාව යළිත් පැරිස් ගිවිසුම හා එක් වන බව ද ඔහුගේ දේශගුණ සැලසුමෙහි එන්නකි. ඒ සඳහා ගත වනු ඇත්තේ මසක පමණ කාලයක් පමණකි. මේ නිසා බයිඩ්න්ගේ සැලසුම් හුදෙක් ඇමරිකාවට පමණක් නොව ලෝකයේම උෂ්ණත්වය පහළ හෙලීමට උපකාරී වනු ඇති බව ඔහුට සහාය දක්වන කණ්ඩායම්වල අදහසයි. මේ සියලු කරුණ අනුව ජෝ බයිඩ්න් ඇමරිකාවේ ජනාධිපති ලෙස පත්වුවහොත් ලෝකයට දේශගුණ වෙනස් වීම පිළිබඳව කටයුතු කිරීමට අවස්ථාවක් ලැබීමට ඉඩ ඇති බව දේශගුණ විද්‍යාඥයින් රැසකගේ අදහස වෙයි. 

කෙසේ වෙතත් බයිඩ්න් ප්‍රකාශ කරන දේ හා ක්‍රියාකාරිත්වය අතර වෙනසක් ඇති බවට ද අදහස් පළ වී ඇත. ව්‍යාපාරිකයන් සමඟ පැවති හමුවක දී කිසිවත් මූලිකව වෙනස් නොවනු ඇතැයි ඔයා පවසා ඇති බව සඳහන්ය. එසේම ඔහුගේ නවලිබරල් අදහස් අනුව ද ව්‍යාපාරික අංශ වෙත යම් නැඹුරුවක් ඇති බව පැහැදිලිය. එමෙන්ම ෆ්‍රැකින් ක්‍රමය මගින් තෙල් ලබාගැනීම ඇමරිකාව හරිත ආර්ථිකයක් වෙත ගමන් කිරීමේදී පැවතිය යුතු බවක් ඔහු පවසා තිබෙයි. එය තරමක් මතභේදාත්මක වන බැවින් සමහර විචාරකයන්ගේ විවේචනයට ලක් විය. එහෙත් බයිඩ්න් එය ජනාධිපතිවරණයේදී තීරණාත්මක විය හැකි ප්‍රාන්තවල ඡන්ද අපේක්ෂාවෙන් කළ එකක් බව සිතිය හැකිය. නමුත් ඔහු අනාගතයේදී කවර පියවරක් ගනු ඇතිද යන්න මෙහිදී මතුවන අපැහැදිලි කරුණකි. 

සමස්යක් ලෙස ගතහොත් ඇමරිකානු ජනතාව ඉදිරියේ මෙවර ඇත්තේ එරටට පමණක් වැදගත් තීරණයක් නොවේ. ඔවුන් මෙවර ජනාධිපතිවරණයේ දී ‌තෝරාගනු ලබන්නේ එරටට පමණක් සුදුසු නායකයා ද, නොඑසේ නම්, එරට ද ඇතුළුව ලෝකයට හා ලෝකයේ අනාගතයට ද සුදුසු නායකයා ද යන්න අපට ඉදිරියේදී බලාගත හැකිය. කෙසේ වෙතත් ඇමරිකාවේ බහුතර ජන මනස තුළ තවමත් පරිසරය මෙන්ම දේශගුණ වෙනස්වීම ද මුල් පෙළේ ප්‍රමුඛතා අතර නැති බව අප අමතක නොකළ යුතුය.

No comments:

Post a Comment