Wednesday, April 29, 2009

ලෝකයේ අද ඇතිවෙමින් පවතින්නේ ‘දේශගුණ වෙනස් වීම’ ද ‘කාලගුණික විපර්යාස’ ද?

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 2009.04.29, පි. 9 (Vidusara)


මේ ලිපියේ මාතෘකාව කියවන ඔබට එය අද ලෝකයේ ප‍්‍රධානතම පාරිසරික ගැටලූව පිළිබඳව සැකකරමින් ලියැවෙන ලිපියක්දැයි මෙහොතකට සිතෙන්නට හැකි ය. දේශගුණ වෙනස් වීමක් ඇතිවෙමින් පවතින්නේ ද යන්න සැකකරන විවිධ පිරිස්, එනම් ‘දේශගුණ සංශයවාදීන්’, විසින් රචනා කරනු ලබන එවැනි ලිපි බටහිර මාධ්‍යවලට නම් අරුමයක් නො වේ. එහෙත් මේ එවැන්නක් නොව දේශගුණ වෙනස් වීම හැඳින්වීම සඳහා මෙරට ජනමාධ්‍ය භාවිත කරන යෙදුම් පිළිබඳව විමසුමක් කිරීම සඳහා ලියනු ලබන්නකි. 

වර්තමාන ලෝකයේ අංක එකේ පාරිසරික ගැටලූව බවට පත්ව ඇත්තේ දේශගුණ වෙනස් වීම බවට විවාදයක් නොමැත. ඉන් කියැවෙන්නේ අනෙක් පාරිසරික ප‍්‍රශ්න වැදගත්කමෙන් හෝ අපේ අවධානයෙන් ඈත්ව ඇති බවක් නොව, දේශගුණ වෙනස් වීම වඩා බරපතල බවය. එහි අහිතකර බලපෑම් විවිධ අංශවලට තදින් බලපායි. ඒ බවට සාධක සමහරක් මේ වනවිටත් දැකිය හැකි අතර පුරෝකථන අනුව ලෝකයේ අනාගතය අවදානම් බව පෙනේ. 


ශ්‍රී ලංකාවේ මාධ්‍යවල දේශගුණ වෙනස් වීම 

දේශගුණ වෙනස් වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍යවල අවධානය යම් ප‍්‍රමාණයකින් යොමුව පවතී. මේ අවධානය 2007 වර්ෂයේ මුල් භාගයේ පටන් පොදුවේ ලෝකය පුරා ජනමාධ්‍යවල මේ ගැටලුව පිළිබඳව වර්ධනය වූ අවධානය හා සමගාමී බවක් දැකිය හැකි ය. එහෙත් ශ්‍රී ලංකාවේ දේශගුණ වෙනස් විම පිළිබඳ මාධය අවධානය පුවත් වලින් ඔබ්බට වර්ධනය වන්නේ සෙමින් ය. අපේ රටේ විද්‍යුත් මාධ්‍ය වල වැඩි වශයෙන් දැකිය හැක්කේ මේ හා සම්බන්ධ පුවත් වන අතර මුද්‍රිත මාධ්‍ය තුළ පුවත්වලට අමතරව මෙන් ම විශේෂාංග ලිපි ද දැකිය හැකි ය. වරක් එක්තරා විද්‍යුත් මාධ්‍යයක් කෙටිකාලයක් සඳහා මේ අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා දිනපතා මිනිත්තුවක පමණ කාලයක් වෙන් කළේ ය.

කෙසේ වෙතත් අපේ රටේ ජනමාධ්‍යවල දේශගුණ වෙනස් වීම පිළිබඳව හැඳින්වීම සඳහා යොදාගන්නා යෙදුම් පිළිබඳව මදක් විමසා බැලීම යෝග්‍ය බව සිතේ. බොහෝ මාධ්‍ය මේ සංසිද්ධිය හැඳින්වීම සඳහා වැඩි වශයෙන් ‘දේශගුණ වෙනස් වීම’ හෝ ‘දේශගුණික වෙනස් වීම්’ හෝ 'දේශගුණ විපර්යාස' යන යෙදුම් යොදා ගනී. එහෙත් අපේ රටේ ඇතැම් මාධ්‍ය කලක පටන් දේශගුණ වෙනස් වීම හැඳින්වීම සඳහා යොදාගන්නේ ‘කාලගුණික විපර්යාස’ හෝ ‘කාලගුණ වෙනස් වීම’ යන යෙදුම ය. ඒ අනුව ලෝකයේ පැවැත්වෙන දේශගුණ වෙනස් වීම පිළිබඳව ජගත් මට්ටමේ සමුළු, වැඩමුළු ආදිය අපේ රටේ ඇතැම් ජනමාධ්‍ය වාර්තා කරන්නේ කාළගුණික වෙනස්වීම් පිළිබඳ සාක යනුවෙනි. ආයතන සාකච්ඡා කරන එහෙත් මේ අතරින් නිවරදි යෙදුම වන්නේ දේශගුණ වෙනස් වීම වන අතර කාලගුණ වෙනස් වීම් යන යෙදුම සදොස් සහිත ය. මේ පිළිබඳව මදක් විමසා බැලීම යෝග්‍ය ය.


දේශගුණ වෙනස් වීම ද - කාළගුණ වෙනස් විම ද?

පළමුව මෙහි වචනාර්ථය පිළිබඳව සලකා බලමු. දේශගුණ වෙනස් වීම හෙවත් දේශගුණික විපර්යාස යනුවෙන් සිංහල භාෂාවෙන් හැඳින්වෙන්නේ ඉංග‍්‍රීසි භාෂාවෙන් climate change ලෙස නම් කෙරෙන සංසිද්ධිය යි. ඉංග‍්‍රීසියෙන් climate යනුවෙන් හැඳින්වෙන්නේ දේශගුණයයි. කාලගුණය යනුවෙන් හැඳින්වෙන්නේ ඉංග‍්‍රීසියෙන් weather ලෙස නම් වන සංසිද්ධියයි. මේ ක‍්‍රියාවලි දෙක පිළිබඳ පිළිගත් අර්ථ දැක්වීම් පළමු සටහනේ දැක්වේ. ඒ අනුව climate change යන්න කාලගුණ වෙනස් වීම් ලෙස හැඳින්වීම නිවැරදි නොවන බව පැහැදිලි ය. එසේ නම් climate change යන්න දේශගුණ වෙනස් වීම හෙවත් දේශගුණ විපර්යාසය යනුවෙන් හැඳින්වීම නිවැරදි ය.


දෙවනුව දේශගුණ වෙනස් වීම පිළිබඳ අර්ථ දැක්වීම් මදක් සලකා බලමු. දෙවන සටහනේ දේශගුණ වෙනස් වීම පිළිබඳ පිළිගත් අර්ථ දැක්වීම් දෙකක් දක්වා තිබේ. ඉන් පළමු අර්ථදැක්වීම අනුව දේශගුණ වෙනස් වීම යනු දේශගුණයේ හෝ එහි වෙනස් වීමේ දිගු කලක් පවත්නා (දශකයක් හෝ ඊට වඩා) සැලකිය යුතු වෙනස්කම් ය. එ් අනුව දේශගුණ වෙනස් වීම යනු කෙටි කාලයක් පවත්නා කාලගුණ වෙනස් වීම් හා සම්බන්ධ සංසිද්ධියක් නොවන බව පැහැදිලි ය.


තුන්වනුව අප සලකා බැලිය යුත්තේ දේශගුණ වෙනස් වීම හා කාලගුණ වෙනස් වීම් අතර ඇති සම්බන්ධකම ය. කාලගුණය වූ කලී ස්වභාවයෙන්ම නිතර වෙනස්වන්නකි. දේශගුණ වෙනස් වීම නිසා ඇති විය හැකි එක් බලපෑමක් වන්නේ ආන්තික කාලගුණික තත්ත්ව (extreme weather conditions) සුලභ වීම ය. ආන්තික කාලගුණ තත්ත්ව සඳහා නිදසුන් ලෙස අධික වැස්ස, දැඩි සුළං සහිත ස්වාභාව, ඉහල උෂ්ණත්වය හා වියළි තත්ත්ව ආදිය දැක්විය හැකි ය. දේශගුණ වෙනස් වීමේ බලපෑමක් ලෙස ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යමින් තිබේ. ඇතැම් ප‍්‍රදේශවල වර්ෂාපතනය ඉහළ යයි. තවත් ප‍්‍රදේශවල වර්ෂාපතනය පහළ යමින් තිබේ. අදික වැසි නිසා ක්ෂණික ගංවතුර ඇති විය හැකි ය. එසේම දේශගුණ වෙනස් වීමේ බලපෑම් නිසා කුණාටු හා සුළිසුලං වැනි කාලගුණික තත්ත්ව ද වඩා ප‍්‍රබල වීමට ඉඩ තිබේ. 

එහෙත් ආන්තික කාලගුණ තත්ත්ව සුලබ වීම දේශගුණ වෙනස් වීම නිසා ඇති වන එක් අහිතකර බලපෑමක් පමණි. දේශගුණ වෙනස් වීම පිළීබඳව පැවති ජගත් සාකච්ඡුා හා සමුළු ආදියේ දි මේ සියළු බලපෑම් පිළිබඳව ද අවධානය යොමු වී ඇත. මේ නිසා තවත් බොහෝ බලපෑම් ඇති වෙමින් පවත්නා බවත් ඇති විය හැකි බවත් පර්යේෂණවලින් පෙන්වා දී තිබේ. ය. නිදසුනක් ලෙස දේශගුණ වෙනස් වීම පරිසරයට, කාෂිකර්මයට, සෞඛ්‍යයට, සමාජයට, ආර්ථිකයට හා ආරක්ෂාවට ආදි වශයෙන් විවිධ ක්ෂේත‍්‍රවලට බලපාන බව මේ වන විටත් පැහැදිලි ය. පරිසරය පිළිබඳව සැලකුව ද එය පරිසරයේ විවධ අංශවලට දැඩි බලපෑම් ඇති කළ හැකි ය. තෙත්බිම් හා වනාන්තර ඇතුළත්ව විවිධ පරිසර පද්ධතිවලට, වනජීවින්ට, ආක‍්‍රමණික ජීවී විශේෂවලට ආදි අංශවලට දේශගුණ වෙනස් වීම මගින් ඇති කළ හැකි අහිතකර බලපැම් බොහෝ ය. මේ පිළිබඳව බොහෝ දේ අප විදුසර පුවත්පත් තුළින් ද සාකච්ඡා කර ඇත.

ඉහත දැක්වූ කරුණු අනුව මේ නිසා ගෝලීය උණූසුම් වීම වර්තමානයේ ඇති වී තිබෙන ප‍්‍රතිඵල ඇතුළත් සමස්ත සංසිද්ධිය හැඳින්වීම සඳහා දේශගුණ වෙනස් වීම යන යෙදුම යොදැගැනීම නිවැරදි බව පැහැදිලි ය. කාලගුණික වෙනස්වීම් යනුවෙන් හැඳින්වීම තුළින් එහි සැබෑ අර්ථය නිරුපණය නොවේ. ඉදිරියේ දී මේ යෙදුම නිවැරදි කරගැනීම සඳහා කටයුතු කරනු ඇතැයි යන්න අපේ බලාපොරොත්තුවයි. 

බ්ලොග් පළකිරීම - 2022.12.07

No comments:

Post a Comment